Total Pageviews

Wednesday, October 26, 2016

ඉන්දියන් සාගර රණබිම-01

 නො සි‍ඳෙන ඩෙලර් උල්පත හෙවත්
ඉන්දියන් සාගර රණබිම-01
ඉන්දීය රජය, තමිල්නාඩු ප‍්‍රාන්තයේ, කන්‍යකුමාරි ප‍්‍රදේශයේ, ‘කොලචෙල්’ නමින් නව වරායක් ඉදි කරන්නට යාම,  දැන් නාවික  ක්ෂේත‍්‍රයේ  දැඩි  කතාබහකට හේතුවී තිබේ. යෝජිත වරාය ‘කොළඹ’ තරම් විශාල එකක් බව කියැවේ.  ‘කොලචෙල් වරාය’ ඉදි වන්නේ, කිලෝමීටර් 7500ක් දිගැති ඔවුන්ගේ  වෙරළ තීරය ‘ආර්ථික කලාපයක්’ වශයෙන් සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් අනුව ය.   ‘සාගරමාලා ව්‍යාපෘතිය’ නම් එය ඉන්දීය ජන මාධ්‍යවල ද අවධානය දිනා ගෙන ඇත. ඉන් ලංකාවට ඇතිවිය හැකි ආර්ථික අභියෝගයන් මෙම ලිපි පෙළින් සාකච්ඡා කෙරේ.



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ශ‍්‍රී ලංකාවට ගිනිකොණ දිගින්, යාල ජාතික වනෝද්‍යානයට ඔබ්බෙන් මුහුද මැද පිහිටි ‘රාවණා ගල් පර පන්තිය’, අතීතයේ පටන්ම කිසියම් අබිරහස් බවකින් වෙළී තිබුණේ ය. එහි රළපතර කවදත් බෙහෙවින් ප‍්‍රචණ්ඩ ය. බොහොමයක් නාවිකයන්ට තම යාත‍්‍රා හරිහැටි හික්මවා ගන්නට බැරි වන තරම් භයංකර ය. ප‍්‍රචණ්ඩ රළපතරට ගොදුරු වුණු ඇතැම් නෞකාවෝ, අනාදිමත් කාලයක් මුළුල්ලේ රාවණා පර ආශ‍්‍රිත මුහුදු පත්ලෙහි නටබුන්ව වැතිර නිදමින් සිටිති!

රාවණා ගල් පර පන්තිය ආශ‍්‍රිත සමුද්‍ර කලාපය සුවිශේෂ ඉසව්වකි. ලෝකයේ පෙරදිග සහ අපරදිග යා කෙරෙන ප‍්‍රධාන වෙළෙඳ නැව් මාර්ගය ඊට සමීපයෙන් පිහිටා තිබීම, එයට හේතුවයි. එය zEast-West Shipping RouteZ යන නමින් ප‍්‍රකටව තිබේ. එසේම එය, වර්තමානයෙහි ‘ලොව කාර්ය බහුලම නැව් මාර්ගය’ යන යශෝකීර්තිය ද හිමිකර ගෙන තිබේ.

මෑත ඉතිහාසය ගත් විට, රාවණා පර පන්තිය අරභයා ලොකුම කතිකාව ගොඩ නැගෙන්නේ, අපේ රට බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ ය. එකල නෞකා ගණනාවක්ම රාවණා පරවල හැපී සමුදුර පත්ලට ඇදී ගොස් තිබිණි. ඉන් හට ගත්තේ භයංකර ස්වභාවයකි. රාවණා පර ආශ‍්‍රිත මුහුද ‘මරු කපොල්ලක්’ හැටියට ප‍්‍රකට විය.  ඉක්බිති බි‍්‍රතාන්‍ය පාලකයෝ වර්ෂ 1873 දී රළපතර හික්මවා ගෙන ‘මහා රාවණා’ ප‍්‍රදීපාගාරය (උස මීටර් 37) ද, වර්ෂ 1878 දී ‘කුඩා රාවණා’ ප‍්‍රදීපාගාරය ද (උස මීටර් 37) ඉදි කළහ. මින් ‘මහා රාවණා’ පිහිටියේ කිරින්ද වෙරළ තීරයට කිලෝමීටර් 15.5ක් ඈත මුහුදේ ය. ‘කුඩා රාවණා’ පිහිටියේ, කිරින්දට කිලෝමීටර් 47.5ක් ඇත මුහුදේ ය. ඔවුහු වර්ෂ 1890 දී දෙවුන්දර (Dondra Point)  ප‍්‍රදීපාගාරය (උස මීටර්-49) ද ඉදි කළහ.

එදා පටන් අද දක්වාම දෙවුන්දර ප‍්‍රදීපාගාරය මෙන්ම රාවණා ප‍්‍රදීපාගාර දෙබෑයන් ද, ඒ ඉසව්වෙන් යාත‍්‍රා කරන නාවිකයන්ට ලෙන්ගතුව මග පෙන්වමින් සිටින්නේ ය. වර්තමාන නාවික ශාස්ත‍්‍රය මෙන්ම තාක්ෂණය ද බෙහෙවින් දියුණු ය. එහෙත් මෙම ප‍්‍රදීපාගාරවල උපකාර ද අත්හැරිය හැකි නොවේ! ප‍්‍රචණ්ඩ රළපතර සහ භයංකර ගල්පර වලින් මිදෙන්නට ඉන් ලැබෙන සහාය අගනේ ය.
ඉන්දියන් සාගර රණබිම
රාවණා ප‍්‍රදීපාගාර ආශ‍්‍රිත සමුද්‍ර ප‍්‍රදේශය, හම්බන්තොට හෙවත් ‘රුහුණු මුහුද’ මෙන්ම දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් පිහිටි මුහුදු ප‍්‍රදේශය ද අතිශය වැදගත් ය. ‘ඉන්දියන් සාගරය’ නමැති ප‍්‍රකට ‘නාවික රණ බිමෙහි’ ගති සොබාව තේරුම් ගැනීමට ඉන් රුකුලක් ලැබීම, එයට හේතුවයි.

ලෝකයේ පෙරදිග සහ අපරදිග යා කෙරෙන ප‍්‍රධාන වෙළෙඳ නැව් මාර්ගය, ඉන්දියන් සාගරය මැදින් දිවෙන්නක් වීම නිසා මහ සයුර ‘රණබිමක්’ විය. අද පවා ආසියාතික මෙන්ම, යුරෝපීය සෙන්පතිවරුන් ද එකිනෙකාට රහසින් එහි යුද වැද සිටිනු පෙනෙයි! ලංකාව, ඉන්දියන් සාගර පරිධියෙහි ඉහළට වන්නට පිහිටි රටකි. එබැවින් ‘රණ බිමෙහි’ උණුසුම අපට තදින්ම දැනෙයි.

 ඕස්ටේ‍්‍රලියාව ආදී ඈත පෙරදිගින් මෙන්ම, චීනය ඇතුළු පෙරදිග රටවලින් ද, යුරෝපය (අපරදිග) දක්වා වෙළෙඳ ගමන් ඇරඹුණේ ‘සාගර සේද මාවත’ බිහි වීමත් සමගිනි. එය දිවුණේ, ඉන්දියන් සාගරය ඔස්සේ ය. ලංකාව සම්බන්ධයෙන් එහි ඇති බැඳියාව ‘අනුරාධපුර යුගය’ (ක‍්‍රි. පූ. 04 සිට ක‍්‍රි. ව. 11 වැනි සියවස) තෙක් දිවෙයි.

එකල ලංකාවට, ‘මහාතිත්ථ‘ (මන්නාරම), ‘ගෝකණ්ණතිත්ථ’ (ත‍්‍රිකුණාමලය) සහ ‘ගොඩවාය’ (අම්බලන්තොට) යයි නම් ලද ප‍්‍රධාන වෙළෙඳ වරාය ත‍්‍රිත්වයක් විය. අනුරාධපුර රාජධානියෙහි එතෙර-මෙතෙර වෙළෙඳ කටයුතු ඒවා සමග බැඳී පැවතිණි. රුහුණු මුහුදෙහි  පැවති ‘ගොඩවාය වරාය’, ක‍්‍රිස්තු පූර්ව 03-04 වැනි සියවස්වල පටන්, ක‍්‍රිස්තු වර්ෂයෙන් 09 වැනි සියවස දක්වා ක‍්‍රියාත්මකව පැවතුණේ ය. අතීත ලංකාව චීනය ඇතුළු පෙරදිග රටවල් සමග ද, මැද පෙරදිග ඔස්සේ යුරෝපීය වෙළෙඳපොළවල් සමග ද ගනුදෙණුකර ඇත්තේ ගොඩවාය වරාය මගිනි. එය පිහිටා තිබුණේ වලවේ ග‍ඟේ මෝය ආශ‍්‍රිතව ය. ලොව ‘සාගර සේද මාර්ගය’ ඇරඹුණු සමයේ පටන් අතිශයින්ම අභිමානවත් අතීත නාවික කතා පුවත්, පැරණි වරාය සම්බන්ධයෙන් අදත් අසන්නට ලැබෙයි.

එකල ද ලංකාව, ජාත්‍යන්තර මට්ටමේ නාවික හුවමාරු වෙළෙඳාම්පොළකි. ග‍්‍රීසිය, තුර්කිය (කොන්ස්තන්තිනෝපලය), පර්සියාව ඇතුළු  මැද පෙරදිග ඔස්සේ යුරෝපය දෙසින් එන බඩු භාණ්ඩ ද, චීනය දෙසින් එන සේද රෙදිපිළි ආදී භාණ්ඩ ද එකට මුණ ගැසුණේ ලංකාවේ වරායවල දී ය. ඒ සම්බන්ධව සාධක රැසක්ම මෑතක කෙරුණු පුරාවිද්‍යා කැණීම්වලින් ද අනාවරණය විය.

13 සහ 14 වැනි ශත වර්ෂවල ඉන්දියන් සාගර රණබිමෙහි වෙළෙඳ මාර්ග අරා සිටියෝ, අරාබීහු ය. ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව ආදී පෙරදිග රටවල නිපැයුණු ගම්මිරිස්, කුරුඳු ඇතුළු කුළුබඩු ඔවුන්ගේ නාවික වෙළෙඳාමෙහි ප‍්‍රමුඛතම කොටසක් වූයේ ය. ‘සම්පන්’ නමැති යාත‍්‍රා විශේෂය, චීන වෙළෙඳ නාවිකයන්ට අපූර්ව අනන්‍යතාවයක් පිරිනමා තිබිණි!

රුහුණේ  ‘හම්බන්තොට’ නම් මුහුදුබඩ නගරය පිහිටියේ,  පැරණි ගොඩවාය වරාය පැවති වලවේ ගං මෝයට  මදක් දුරිනි. ජන ප‍්‍රවාදයෙහි දැක්වෙන අන්දමට, ‘හම්බන්තොට’ යන පුරවර නාමය ද ලැබී ඇත්තේ එකල එහි සේන්දු වූ ‘සම්පන්’ යාත‍්‍රා නිසාවෙනි. ‘සම්පන්’ හෙවත් ‘හම්බන්’ නමැති චීන යාත‍්‍රා පැමිණි තොටමුණ, පසුව ‘හම්බන්තොට’ බවට නාමකරණය විණැයි ප‍්‍රකට ය.

ගම්මිරිස්, කුරුඳු, එනසාල් වැනි කුළුබඩු වර්ග ද, ඇත් දළ, ඇතුන්, මුතු-මැණික්, කැස්බෑ ලෙලි අත්කම් භාණ්ඩ සහ පුවක් ආදිය එකල ලංකාවෙන් පිටරට පැටවුණු ද්‍රව්‍ය විය. මැටි සහ පෝසිලේන් බඳුන්, මිදි යුෂ, අශ්වයන්, සුවඳ විලවුන්, වීදුරු, කානේලියන් පබළු සහ ආභරණ, රත්තරන් සහ රිදී, සේද රෙදි ආදිය එකල අපේ රටට පිටරටින් ආනයනය කෙරිණි. ඉන් ගොඩ නැගුණු වෙළෙඳාම් බොහෝ යස ඉසුරු උපදවා තිබිණි. වර්තමාන ‘සමනල වැව’ ජලාශය ආශ‍්‍රිත ඉඹුල්පේ ප‍්‍රදේශය ලංකාවේ පැරණි යකඩ සහ වානේ නිපැයුම් ප‍්‍රදේශයකි. සීගිරියට නුදුරු ‘අලකොල වැව’  සහ හලාවත, ‘පනිරෙන්ඩාව’ යන ප‍්‍රදෙශවල ද යකඩ නිපැයිණි. අතීතයේ දී ඒවා, කඩු සහ අනෙකුත් යුද්ධ ආයුධ සෑදීම පිණිස මැද පෙරදිග පිහිටි ‘දමස්කස් නුවරට’ (වර්තමාන සිරියාව) යවා තිබේ!

මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර මහතා සඳහන් කරන අන්දමට, 13, 14, සහ 15 යන ශත වර්ෂවල කල්පිටිය, හලාවත, කොළඹ, බේරුවල, ගාල්ල, වැලිමඩ සහ හම්බන්තොට යන වරායවල නාවික වෙළඳාම අත්පත්කර ගෙන සිට ඇත්තේ අරාබිවරුන් ය.



යුරෝපීය ආක‍්‍රමණ
ඉන්දියන් සාගර රණබිමෙහි රළපතර කොතරම් ඉසුරුමත් වූයේ ද යත්, චීනයේ නාවික සෙන්පතිවරයෙකු වූ ‘චෙං හේ’, 14 වැනි සියවසේ දී සත් වාරයක්ම ඉන්දියන් සාගරයෙහි මෙන්ම මැද පෙරදිග දක්වා ද චාරිකාකර තිබේ. වර්ෂ 1405-1407 කාලයේ මෙන්ම, වර්ෂ 1411 දී ද ඔහු ලංකාවට ද පැමිණ ඇත. චීනයේ නාවික වෙළෙඳාමට එල්ල වන තර්ජන මැඩපැවැත් වීම, ඔහුගේ සමුද්‍ර චාරිකාවල අරමුණ විණැයි ප‍්‍රකට ය. එකල චීන වෙළෙඳ නැවියන්ට, අරාබි නාවිකයන්ගේ පීඩනයට මුහුණ දීමට සිදු වුණු බව කියනු ලැබේ!

ශ‍්‍රී ලංකාව වර්ෂ 1505 දී පෘතුගීසීන්ට ද, වර්ෂ 1658 දී ලන්දේසීන්ට ( ඕලන්ද) ද, වර්ෂ 1796 දී බි‍්‍රතාන්‍යයන්ට ද නතු විය. බි‍්‍රතාන්‍යයෝ වර්ෂ 1815 උඩරට ගිවිසුම ඔස්සේ කන්ද උඩරට පාලනය ද සියතට ගත්හ. ආක‍්‍රමණ හට ගත්තේ නිකම්ම නොවේ. ඉන්දීය සාගරය ඔස්සේ වැටී තිබෙන වෙළෙඳ නැව් මාර්ගවල ආධිපත්‍ය නතුකර ගැනීම පිණිස ය. ලංකාව පෙරදිග-අපරදිග වෙළෙ`ද නැව් මාර්ගයේ මැද හරියට වන්නට පිහිටා තිබීම, ආක‍්‍රමණික යුරෝපීය නාවික ජාතීන්ට මහත් වාසියක් වූයේ ය.

එහි සැබෑ අරුත කුමක් ද?, ඉන්දියන් සාගරය ඔස්සේ දිවා-රාත‍්‍රී දෙකෙහිම මහේශාක්‍ය ලෙස  රළ නැගෙන මහා ධනස්කන්ධය නතුකර ගැනීමයි! ආක‍්‍රමණික නාවික යුරෝපීහු ඒ සඳහා අරාබිවරුන් ඇතුළු අනෙකුත් නාවික ගණයාගේ වෙළෙඳාම් ඉන්දියන් සාගර රණබිමෙන් පලවා හැරියහ. රටවල් පවා කොල්ලකා, යටත් විජිත බවට පත්කර ගත්හ. තම රටවල් වස්තු සම්පත්වලින් පුරවා ගත්හ. ඉන්දියන් සාගර රණබිම නො සි‍ඳෙන ධන උල්පතක් බව ඔවුහු මැනවින් දැන සිටියහ. ඔවුන්ගේ ග‍්‍රහණයට නතුවූ ලංකාව බඳු රටවලට අන්තිමට ඉතිරි වූයේ සුන්බුන් සහ වියවුල් පමණකි!
(දෙවැනි කොටසට මතු සම්බන්ධයි)

3 comments:

  1. ස්තුතියි ක්‍රිෂ්ණ.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ....

    ReplyDelete
  3. වැලිමඩ වරාය?

    ස්තූතියි විස්තරයට

    ReplyDelete