Total Pageviews

Wednesday, October 5, 2016

යාපනයේ උමතු-දීර්ඝ සටනක් ගැන තොරතුරක්



සපරගමු සමන් දේවාල බිමේ
සිමොන් පිඤ්ඤෝ කවු ද?-02
යාපනයේ උමතු-දීර්ඝ සටනක් ගැන තොරතුරක්
දෙවැනි කොටස




(සීගිරියේ, ජයන්ත විජේරත්න හේරත්-
විශ‍්‍රාමලත් පුරාවිද්‍යා නිලධාරි)

එස්.ජී.පෙරේරා (එස්.ජේ.පියතුමා) 1948.11.07 සහ 14 දිනැති සිළුමිණ පුවත්පත්වල ශාස්තී‍්‍රය සහ ඓතිහාසික අතිරේකයට, මහා සමන් දේවාලයේ අපූර්ව ගල් පුවරුවක්  යන මැයෙන් ලිපියක් සපයමින් මෙසේ කියයි.
කැටයමක් සහ රෝමන් අක්‍ෂරයෙන් යුත් මේ ගල් පුවරුව ගැන පළමුවෙන්ම සටහනක් කර ඇත්තේ, විලියම් ස්කින්ගේ ඇඩම්ස්පීක්  ( Adams Peak )  නම් ග‍්‍රන්ථයේ ය. ආවුධ සන්නද්ධ ප‍්‍රතිකාල් සිරකරුවකු හා සිංහල සෙබළකු අතර සිදු වූ මාරාන්තික හටනක අවසාන ජවනිකාව නිරූපණය කරන්නකි යනුවෙන් ස්කින් සඳහන් කරයි.’
ස්කින් තවදුරටත් මෙසේ සඳහන් කරති. සිංහල සෙබළා සටනින් පරාජිතව හෙළනු ලැබ සිටී. ඔහුගේ කඩුව හා පළිහ ද බලාපොරොත්තු විරහිත ලෙස පසෙකට විසිකර දමා තිබේ. ඔහුගේ ප‍්‍රතිමල්ලවයා බිම වැටී තිබෙන ඔහුගේ සිරුර පයින් මැඩ ගෙන ඔහුගේ ප‍්‍රාණය අවසාන කඩු පහරින් තුරන් කිරීමට ආසන්න ය.’
පෝල් ඊ.පීරිස් මහතා මුලින් සඳහන් කරන්නේ, එම සෙබලා එක්කෝ කුරුවිට රාල නමින් හඳුන්වන අන්තෝනි බරෙත්තු විය හැකි බවයි. නමුත් ඔහු එම අදහස නැවත වෙනස් කරමින් කියා සිටින්නේ, ඔහු අන්තෝනි බරෙත්තු නොව,රත්නායක මුදියන්සේ’ (රත්නැක රාළ) බවයි.’
එස්.ජී.පෙරේරා පියතුමා, තමන් මෙම පෘතුගීසි අභිලේඛනය කියවූ බව සඳහන් කරමින් මෙසේ ද කියයි.
ලංකාණ්ඩුව වෙනුවෙන් පෘතුගීසි අත් ලිපියක් පරිවර්තනය කරමින් සිටි මට, එම සෙල් පුවරුවෙහි නිරූපිත දර්ශනයත් වැටී සිටින මිනිසාගේ නමත් සම්භ විය. ඒ සෙල් පුවරුවේ කොටා තිබෙන දර්ශනය වූ කලී ඒ රූවලින් ඇඟවෙන පරිදිත්, සාමාන්‍ය වශයෙන් විශ්වාස කරන පරිදිත්, මාරාන්තික සටනක් නොව යාපා පටුනේ ( යාපනේ ) රජු බේරා ගැනීමේ දර්ශනයකි. එහි නිරූපණය කර තිබෙන දර්ශනය වූ කලී ඒ සිද්ධිය සියැසින් දුටුවකු කළ විස්තරයක් අනුව කොටන ලද්දකැයි සැලකීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.’

 එස්.ජී.පෙරේරා පියතුමා තම සිළුමිණලිපියේ, පෘතුගීසි ජාතික ඉතිහාසඥයෙකු වන පර්නාවෝ ක්වේරෝස්ගේ සඳහනක් ද උපුටා දක්වයි. එය යාපනයේ හටගත් සටනක් ගැන විස්තරයකි. එය මෙසේ ය.
 වැඩි අපහසුවක් නොමැතිව අපි සෙල් ලිපිය කියවීමු. අකුරු දෙකක් නොපැහැදිලි නමුත් ලිපිය කොටා තිබෙනුයේ කුමක් අරබයා ද යන වග දන්නාවිට ලිපිය කියවීමවත් එහි අදහස් තේරුම් ගැනීමවත් අපහසු නැත. සෙල් ලිපියේ සඳහන් වගන්තියට අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයයෙන් ක්වේරෝස් පියතුමා මෙසේ විස්තර කරයි.
1691 ඔක්තෝබර් 28 වැනිදා  පෙරවරු 10 ට ඔවුහු ( ඇන්ඩි‍්‍ර පර්ටඩෝ ද මැඩොන්සා යටතේ  පෘතුගීසිහු) නල්ලූර් බලා ඉදිරියට ගමන් කළාහු ය. එසේ ගමන් කළ ඔවුනට දේවාල දෙක අතරදී අපේ මිනිසුන් මෙල්ලකොට පළවා හැරීමට දිව්රුම්දී සිටි රජුගේ ආරක්‍ෂක භටයන් හෙවත් අතපත්තුවේ ලන්සකාරයන් හා භටයන් ද විශාල සංඛ්‍යාවක් මුණ ගැසිණි. ඔවුන් උමතු විලාසයෙන් දීර්ඝ වෙලාවක් සටන් කළේ මරණය නොතකන තරම් අධිෂ්ඨානයකිනි. දේවාලයේ ප‍්‍රධාන බ‍්‍රාහ්මණයාත් ඔවුන්ට ධෛර්යය හා අනුබලය දෙමින් ක‍්‍රියා කළ යෝගියකුත් ඇතුළු ඔවුහු සියලූ දෙනාටම වැටුණාහු ය. රජ කෙනෙකුගේ සොහොයුරකු වූ බාල කුමරු හෙන්දරමානසිංහ කුමර තෙමේ තමා පෙරියපුල්ලේගේ පුත‍්‍රයා නිසා නොමරන ලෙස කෑගසමින් ඉල්ලීය. එවිට සිමාවෝ පින්හාවෝ ඔහුට උදව් පිණිස දුව ගොස් ඔහු ඉදිරිපසින් සිටගති. සිමාවෝ පින්හාවෝ එසේ දුව ගොස් ඔහු ඉදිරිපසින් සිටගන්නාවිට ද ඔහුගේ කන්වල පැළදි ආභරණ කඩා ගැනීමට කළ උත්සහය නිසා ඔහුගේ කන් ඉරී තුවාලවී තිබුණා පමණක් නොව ඔහුගේ පිටි පතුල සහ උදරයද ලන්ස ප‍්‍රහාර නිසා තුවාලවීත් තිබුනේය. ඔහු බිම වැටෙත්ම පින්හාවෝ ඔහු ආරක්‍ෂා කරනු පිණිස ස්වකීය අඩිය ඔහුගේ සිරුර මත තබා ගති. එයින් පින්හාවොට අනතුරක් සිදු නොවූයේ නොවේ. පින්හාවෝගේ අතත් මුහුණත් තුවාලවීය. කැප්ටන් මේජර් (පර්ටාඩෝ) පැමිණියෙන් සිමාවෝ පින්හාවෝ වැටී උන් කුමාරයා ඔසවා ඔහුට භාර දුන්නේ ය.
ඉක්බිති පර්ටාඩෝ විසින් ඒ කුමාරයා පරරාසසේකරන් යන නමින් රජකමට පත් කළේ ය. ඒ රජ ජීවත්ව සිටිතාක් කල් ප‍්‍රතිකාල් රජුට අතිශයින්ම පක්‍ෂපාත වූවා පමණක් නොව ස්වකීය ජීවිතය බේරාදීම ගැන සිමාවෝ පින්හාවෝටද කෘතඥ විය.’
මේ සෙල් පුවරුවෙහි නිරූපිතව තිබෙනුයේ ඒ මේ දර්ශනයයි. පින්හාවෝ ස්වකීය අඩිය ඔහුගේ සිරුර මත තබන අවස්ථාවේදී ඔහු රජවී සිටියේ නැත. එමෙන්ම එය සෙල් පුවරුවේ සටහන්වලින්  ඇඟවෙන පරිදි ද්වන්ධ හටනක් ද නොවීය. පින්හාවෝ අසිපතක් අමෝරාගෙන සිටින නමුත් එය වැටී සිටින තැනැත්තාට  විරුද්ධව එසවුණ කඩුවක් නොව ඔහු ඉදිරියේ සිටි ඔහුගේ හතුරන්ට විරුද්ධව එසවුනු කඩුවකි.’
ලංකා ඉතිහාසයේ සමහර සිද්ධීන් පිළිබඳව කොතරම් අගනා තොරතුරු ක්වේරෝස් පියතුමාට ලැබුණේ ද යන වග එයින් සලකාගත හැකි ය.’යනුවෙන් සිළුමිණලිපියෙහි සඳහන්කර ඇත.
මෙම ශෛලමය පුවරුවේ ඉහත කැටයම සම්බන්ධයෙන් පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් සිය  සපරගමුවේ පැරණි ලියවිලි  ග‍්‍රන්‍ථයේ මෙසේ සඳහන් කරයි.
මෙහි වැටී සිටින්නේ පෘතුගීසි බලකොටුවට වැද සාදා තිබුණ පෘතුගීසි පල්ලියත් බිඳ දමා සියතින්ම සිය ගණනක්  පෘතුගීසීන් කැපූ මෙම දේවාලයේ නිල සයට අයත් රත්නායක (ස්වර්ණාභරණ ගබඩාව භාර) නිලේ දැරූ රත්නැකරාල (රත්නායක මුදියන්සේ). මොහු එදිරිමානසිංහ යයි ද අන්තෝනියෝ බරෙත්තු (කුරුවිට රාළ) යයි ඇතැම් ගවේෂකයන්ගේ මතයකි. මෙයින් බරෙත්තු මැරුම් කෑවේ මින් කලකට පසු මාතර දී සිදු වූ සටනකින් ය. අන්තිමේදී මෙතෙම සතුරන්ගේ අතට අසු විය. එයින් ඔද‍ෙතද වැඩුනු ඔවුන් රූ සටහන සහිත  මේ සෙල්ලිපිය මෙලෙස කරවන්නට ඇත. (මෙම යුද්ධය ගැන කරුණු සඳහන් තල්පතක් අපට හමුවී තිබේ.) යුරෝපීය හේවායා සිමන් පින්යං නැමැත්තා ය.’
උන් වහන්සේගේ මතයවී ඇත්තේ බිම වැටී සිටින පුද්ගලයා, මහ සමන් දේවාලයේ නිලමක්කාරයෙකු වූ රත්නැක රාළ නැමති අය බවයි. එමෙන්ම උන් වහන්සේ අදහස් කරන්නේ රත්නැකරාල වැනි අභීත සිංහල වීරයෙක් මරාදැමීමට පෘතුගීසින්ට හැකිවීම නිසා එයින් සතුටට පත් ඔවුන් එම සිදුවීම මෙලෙස කැටයම්කර තැබූ බවයි.
තවත් සමහර අයගේ මතය නම් මෙහි වැටී සිටින පුද්ගලයා වෙන කිසිවකුත් නොව අන්තෝනියෝ බරෙත්තු හෙවත් කුරුවිට රාළ නැමති පුද්ගලයා බවයි. මොහු ද ඉතාමත් රණකාමි පුද්ගලයකු වූ අතර සමන් දේවාල බලකොටුවේ පැවති යුද්ධයේදී කුරුවිට රාළ විසින් පෘතුගීසි සෙබළුන් පනස් දෙනෙකුට අධික පිරිසක් මරා දමා ඇත. එහිදී කුරුවිටරාළ ද මරා දමා ඇත්තේ ගෝමස් නැමති පෘතුගීසි සෙබළකු විසින් ය. මෙයින් උද්දාමයට පත් පෘතුගීසින් විසින් සිදුවීම ගල් කැටයමක නිරූපණය කළ බව කියති.

දෙේ ඉතිරිව ඇති පෘතුගීසි ලාංඡනයක්

ඇස්.ජී.පෙරේරා පියතුමන් ක්විරොස්ගේ වාර්තාවට අනුව කළ නිගමනය සම්බන්ධයයෙන් යාපනයට අදාල ඓතිහාසික තොරතුරු විමර්ශනය කිරීමේදී ඉහත කාරණයට අදාලව තවත් මතයක් ඉදිරිපත්වී තිබේ. අපි ඒ ගැන ද විමසමු.
යාපනයේ පාලක (රජ) බවට පත්ව සිටි සංකිලි විසින් යාපන රාජ්‍යයට අයත් මුහුදු තීරයේ විනාශයට පත්වෙන පෘතුගීසි නැව්වල තිබෙන බඩු භාණ්ඩ ආදිය තමන් වෙත පවරා ගැනීමට කටයුතු කළේ ඔවුන්ගේ විරුද්ධත්වය ද නොතකමින් ය. පාලක සංකිලිගේ මෙම ක‍්‍රියා පිළිවෙතට උරණ වූ පෘතුගීසීන් 1543 දී මාර්ටින් අපොන්සු ද සූසා යටතේ බල ඇණියක් යාපනයට යවන ලද අතර සංකිලි පරංගි යුධ බලය හමුවේ පරාජයට පත් වූවා පමණක් නොව ඔවුන්ට වාර්ෂිකව කප්පම් ගෙවන්නට ද පොරොන්දු විය.
ආගමික ප‍්‍රශ්නයක් මත ප‍්‍රාදේශීය පාලක සංකිලි සහ පෘතුගීසි පාලකයන් අතර නැවත ගැටුමක් ඇති වූහ.  මේ අතර සංකිලි මියගිය අතර යාපනයේ පාලකයා බවට පත් වූයේ ඔහුගේ පුත් පුවිරාජ පණ්ඩාරම් ය. ඔහුට විරුද්ධව කාසි නයිනර් නැමති අයෙකු කැරැල්ලක් ඇති කර යාපනයේ පාලන බලය ලබා ගත්තේ ය. පෙරියපුල්ලේ නැමති අයකු ඔහු ද බලයෙන් පහකර චෙගරාජසේකරම් නමින් බලයට පත් විය.
ඔහු ගෙන් පසු නැවත බලයට පත්වෙන්නේ පෙර සඳහන් කළ පුවිරාජ පණ්ඩාරම් ය. ඔහු කතෝලිකයන්ට හිරිහැර කරමින් පෘතුගීසින්ට විරුද්ධව යුධ ප‍්‍රකාශ කළේ කැලිකට් හි පාලක සැමොරින්ගේ උදව් ලබාගෙන ය. මෙහිදී පෘතුගීසි පාලනාධිකාරය සයිමන් පිඤ්ඤෝ නැමති කපිතාන්වරයා යටතේ යුධ සේනාවක් යාපනයට යවන ලද අතර එහිදී ඇතිවුන සටනින් පුවිරාජ පණ්ඩාරම් මරා දැමීමට කපිතාන්වරයා සමත් විය.
ඉන්පසු පෘතුගීසින් යාපනයේ පාලනයට පත් කළේ මෙයට පෙර යාපනය පාලනය කළ පෙරියපුල්ලේ හෙවත් චෙගරාජසේකරම්ගේ  පුත‍්‍රයා වූ හෙන්දරමානසිංහම් කුමාරයා ය. මෙය සිදු වුනේ 1591 වසරේදී ය.
ඉහත කතා පුවතේදී කපිතාන් සයිමන් පිඤ්ඤෝ අතින්, පුවිරාජ පණ්ඩාරම් මරා දැමූ අවස්ථාව නිරූපණය කිරීම සඳහා කරවන ලද අභිලේඛනය සිහිවටන ඵලකයක් වශයෙන් එවකට ඔවුන්ගේ පාලනය යටතේ පැවති රත්නපුර සමන් දේවාල බලකොටුවෙහි ස්ථාපනය කළ බව පවතින තවත් මතයකි.
මේ ගැන තවදුරටත් අධ්‍යයනය කිරීමේදී පෝල්..පීරිස් මහතාගේ Sinhala and the Patiriots කෘතියෙහි සඳහන් කරුණක් ගැන ද අවධානය යොමු කිරීම වැදගත් ය. පසුකාලීනව සයිමන් පිඤ්ඤෝ කෝට්ටේ රජුගේ හමුදාවේ සේනාධිපති වශයෙන් කටයුතු කළ අතර ඔහු සපරගමු දිසාව භාර දිසාවේ වශයෙන් පත්වීම් ලැබ ඇත. පැල්මඩුල්ලේ කුට්ටාපිටිය ගම එම මෙහෙවර වෙනුවෙන් ඔහුගේ භුක්තිය සඳහා දෙන ලද ගම්වරයකි.
මෙයින් පැහැදිලි වන වැදගත් කාරණයක් නම් පිඤ්ඤෝ සබරගමුවේ දිසාවේ තනතුර ලබා සිටි බැවින් සහ කලකට පෙර මෙහි පෘතුගීසි බලකොටුවක් ද තිබුණ නිසා ඔහු තමන් යාපනයේදී සිදු කළ දක්ෂතාවය සහ හපන්කම සබරගමු වැසියන්ට ද ප‍්‍රදර්ශනය කිරීමේ අදහසින් මෙම ශිලාමය කැටයම් පුවරුව පසුකාලීනව සවි කරන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය.
(තුන්වැනි කොටසට-මතු සම්බන්ධයි)

3 comments:

  1. ඉතිහාසයේ සොයා ගත හැකි සියලු කරුණු විශ්ලේෂණය නොකොට එක් හෝ සීමිත ප්‍රභවයන් භාවිතා කරමින් හෝ තමන් කැමති දේ හෝ තම මතයන් මත පමණක් සිට ලිවීමේ වැරද්ද ඔය කැටයම ගැන ලිවීම්වලින් පෙන්වනවා නේද?

    ReplyDelete
  2. සැබෑ ඉතිහාසය කවරේද යන්න කෙසේ දැනගත හැකි ද?ඉතිහාස ගත සිද්ධි තම මතයට අනුකූල වනසේ ලෙඛණ ගත කිරීම බොහෝ ඉතිහාස කරුවන් විසින් කර ඇති බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. Difficult to get the exact truth now. Only thing to do is not to jump to conclusions or be influenced by one's own opinions and analyse ALL available sources logically.

      Delete