Total Pageviews

Saturday, October 8, 2016

බත් කන මිනිසුන්ට පණිවුඩයක්-01

බත් කන මිනිසුන්ට පණිවුඩයක්-01
බත් කන මිනිසුන් වෙත ලියා දන්වමි!
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ශ‍්‍රී ලංකාවේ දේශීය පාරම්පරික සහල් වර්ග බොහොමයක් දියවැඩියා රෝගය සහ එයින් හට ගන්නා අතුරු ආබාධ, පිළිකා, ස්නායු, ඉදිමුම් රෝග ඇතුළු බෝ නො වන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දක්වන බව, අපේ රට පිළිබඳව ලෝකය හමුවේ කෙරී ඇති අලූත්ම හෙළිදරව්වයි. එය ප‍්‍රකාශයට පත්ව ඇත්තේ ජර්මනියේ දී ඉංග‍්‍රීසි බසින් පළ කෙරුණු අලූත්ම පර්යේෂණ ග‍්‍රන්ථයක් ඔස්සේ ය.

නව ග‍්‍රන්ථය, ‘Health Food Properties of Traditional Rice in Sri Lanka’ නම් වෙයි. ජර්මනියේ පිහිටි ‘Lambert Academic Publishing’ නමැති ජාත්‍යන්තර ප‍්‍රකාශන ආයතනය, 2016 ජූලි මස 19 වැනි දා එය මුද්‍රණයෙන් නිකුත්කර තිබිණි. ආචාර්ය කාංචනා අබේසේකර සහ ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර යන අපේ විද්වතුන් දෙදෙන, එහි කතුවරුන් වෙති.

ඔවුන් අතරින්, ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතා, කොළඹ කාර්මික තාක්ෂණ ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ය. ආචාර්ය කාංචනා අබේසේකර මෙනවිය  ද, කාර්මික තාක්ෂණ ආයතනයේ, ආහාර තාක්ෂණ අංශයේ පර්යේෂණ විද්‍යාඥවරියකි.

නව ග‍්‍රන්ථය පිටු 392ක් පුරා දිවෙන්නකි. එහි සාකච්ඡුාවට ගැනෙන විෂය වන්නේ ලංකාවේ දේශීය පාරම්පරික සහල්වල ඇති ඖෂධීය සහ පෝෂණීය ගුණාංග සම්බන්ධයෙන් ‘කාර්මික තාක්ෂණ ආයතනය’ කළ පර්යේෂණ මාලාවක අපූර්ව තොරතුරු ය.

ශ‍්‍රී ලංකාවේ දේශීය පාරම්පරික රතු සහල් වර්ග බොහොමයක්, දියවැඩියාව, පිළිකා, ස්නායු ආබාධ ආදී බෝ නොවන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දරන බව, නව ග‍්‍රන්ථය මගින් සවිස්තරාත්මකව අවධාරණයකර තිබේ. කතුවරුන් නව ග‍්‍රන්ථය පළකර ඇත්තේ, වසර 2000 දශකයේ පටන් ඔවුන් පවත්වා ගෙන එන පර්යේෂණ මාලාවක් පදනම්කර ගනිමිනි.

ලංකාවේ දේශීය පාරම්පරික සහල් වර්ගවල ගුණාංග සම්බන්ධයෙන්, ඇතැම් කාරණා හෙළිදරව්කර ගෙන ඇත්තේ ප‍්‍රථම වතාවට ය. එසේම, ලංකාවේ දේශීය පාරම්පරික වී සම්පතින් නිපැයෙන රතු සහලේ බතට, ‘බෝ නො වන රෝග’ පාලනය සහ මැඩ පැවැත්වීමේ විශිෂ්ට හැකියාවක් ඇති බව සොයා ගෙන ඇත්තේ ද ලොව මුල් වරට ය. එය අලූත්ම සොයා ගැනීමකි.

 දියවැඩියාව සහ එයින් ඇති වන අතුරු ආබාධ , පිළිකා, ස්නායු සහ ඉදිමුම් රෝග, එසේ දේශීය පාරම්පරික සහලින් මැඩ පැවැත්විය හැකි රෝග අතර වේ. දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ බොහොමයකි. ඇස් පෙනීම දුර්වලවීම, තුවාල සුව නොවීම, වකුගඩු දුර්වලවීම, ශරීරය දුර්වලවීම සහ හෘද රෝග තත්ත්වයන් පවා ඇති වීම, ඒවා අතර වේ. දේශීය පාරම්පරික රතු සහල් වර්ගවල ඒවා ද පාලනය කිරීමේ සහ මැඩ පැවැත්වීමේ ගුණාංග තිබෙන බව, කතුවරුන්ගේ හෙළිදරව්වයි.

ඉන් අනාවරණය වූ වැදගත්ම කාරණය වූයේ, ‘නිවුඞ්ඩ’(Bran) (කුරුට්ට) සහිත,‘මසුරන්’, ‘සුදු හීනැටි’, ‘දික් වී’ සහ ‘ගොඩ හීනැටි’ යන පාරම්පරික රතු සහල් වර්ගවලට, ඒ සම්බන්ධයෙන් ඉහළම තැනක් හිමි වන බවයි. ඒවාට අමතරව, වන්නි දහනල, හේරත් බණ්ඩා, කොට්ටියාර් සහ සුලැයි (සූල) යන දේශීය රතු සහල් වර්ග ද උසස් තත්ත්වයන් පෙන්නුම්කර අත.

සිය පර්යේෂණ සඳහා ඔවුන් මිනිස් රුධිරය, මිනිස් ජීව ෙසෙල, සහ පර්යේෂණ මීයන් ද යොදා ගෙන තිබිණි. සියල්ල විද්‍යාගාර පර්යේෂණ විය. දේශීය පාරම්පරික සහලින් හඳුනා ගත් බෝ නො වන රෝග පාලන සංයෝග, ‘ඖෂධ’ නිපදවීම දක්වා වැඩි දියුණු කළ හැකි බව ද පර්යේෂකයෝ පවසති.

නව සොයා ගැනීම සම්බන්ධයෙන් සැකසූ ප‍්‍රථම ලිපිය, ‘බෝ නො වන රෝග පාලනයට  දේශීය පාරම්පරික රතු සහල්’ යනුවෙන්  2016.10.02 වැනි දා ‘වලස්පති අඩවියෙහි’ පළ විය. මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ, දැන් ඉතින් ලංකාවේ ‘බත් කෑම’ කෙබඳු වෙනසකට ලක්කර ගත යුතු ද? යන කාරණයයි.

වෙනස තේරුම් ගනිමු!

පර්යේෂකයන් හෙළිකර ගෙන ඇති අන්දමට, බෝ නො වන රෝග පාලනය සහ මැඩ පැවැත්වීමේ හැකියාව අතින් නිසැකවම ඉහළ ගුණාංග පෙන්වන්නේ, දේශීය පාරම්පරික රතු සහල් වර්ග ය.

ඒ හැරුණු විට, පොදුවේ දැනට භාවිතයේ පවතින නව වැඩි දියුණු කළ රතු සහල් වර්ගවල ද, බෝ නො වන රෝග පාලනය කිරීමේ ගුණාංග යම් ප‍්‍රමාණයක් තිබේ. එහෙත් පාරම්පරික රතු සහල් වර්ගවල එම ගුණය ඊට වඩා බෙහෙවින් වැඩි ය.

එසේම දේශීය පාරම්පරික ‘සුදු සහල්වල’ මෙන්ම, නව වැඩි දියුණු කළ ‘සුදු සහල් වර්ගවල’ ද බෝ නො වන රෝග පාලනය කිරීමේ ගුණාංග බෙහෙවින් හීන ය! පොදුවේ ගත් කල, සුදු සහල් වර්ගවල පෝෂණ ගුණය ද, රතු සහලට වඩා බෙහෙවින් අඩු ය!

ලියුම්කරුගේ අදහස, මේ කාරණය විශේෂ දෙයක් වන බවයි. ඊට හේතුව, අපේ රටේ වැඩි දෙනෙක් ‘සම්බා’ වර්ග ඇතුළු ‘සුදු සහල්’ බෙහෙවින් ප‍්‍රිය කිරීමයි. අනෙක, ලාංකේය බත් කන සමාජය ‘සුදු සහල්’ වර්ග වැඩි වැඩියෙන් අනුභවයට ඇබ්බැහිව සිටීමයි. මේ අතර,  මෑත භාගයේ දී අභිජනනකරුවන් විසින් වැඩියෙන් නිපදවා ඇත්තේ ද ‘සුදු සහල්’ උපදවන වී ප‍්‍රභේදයන් ය. බලයට එන ආණ්ඩු ද ගොවීන්ගේ වී අස්වනු අලෙවියේ දී වැඩිම මිලක් නියම කරන්නේ ‘සුදු සහල්’ ලැබෙන සම්බා වර්ගවලට ය. ආණ්ඩුව නියමකර ඇති පරිදි වර්තමානයේ වී කිලෝවේ මිල, නාඩු රුපියල් 38කි. සම්බා වර්ග රුපියල් 41කි. කීරි සම්බා රුපියල් 50කි. නාගරිකයන් වැඩි මිලක් ගෙවා වළ`දන ‘කීරි සම්බා’ (බී. ජී. 360) ද සුදු සහලකි. නගරබද හෝටල් බත මෙන්ම, දාන-මාන සහ මගුල්තුලාවල බත ද සැකසෙන්නේ සුදු පැහැති සම්බා සහලෙනි. නගරබදව වැඩි ඉල්ලූමක් ඇත්තේ ද සුදු පැහැති සම්බා සහලට ය. මෙය දැන් කලක් තිස්සේ පවතින තත්ත්වයකි.

වී අලෙවි මණ්ඩලයේ නිල වෙබ් අඩවියට අනුව, 2016.09.26 දින වන විට ඔවුන් මුළු රටෙන්ම මිල දී ගෙන තිබුණු සමස්ත වී තොගය, මෙටි‍්‍රක් ටොන් 25,457කි. ඉන් මෙටි‍්‍රක් ටොන් 9302ක්ම සම්බා වර්ගවල වී අස්වනු ය. තවත් මෙටි‍්‍රක් ටොන් 5077ක් කීරි සම්බා ය. මෙටි‍්‍රක් ටොන් 11077ක් නාඩු වී ය. කීරි සම්බා ඇතුළු සම්බා වර්ග බහුතරයක් සුදු සහල් ය. ඒවා පොළොන්නරුව, අම්පාර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවල බහුලව වගා කෙරේ. ‘සුදු නාඩු’ සහල් වර්ග ද තිබේ.

සාමාන්‍ය ව්‍යවහාරයට අනුව වෙළෙඳ පොළට එන සමස්ත වී අස්වැන්නෙන්, වී අලෙවි මණ්ඩලයට එන්නේ සියයට 10ක පමණ කොටසකි. ඉතිරි සියල්ලම මිල දී ගන්නේ පෞද්ගලික අංශයයි. එසේ වුවද, කීරි සම්බා ඇතුළු සුදු සහල් වර්ගවලට රටේ ඇති පෙළඹුම කොතෙක් ද? යන්න, වී අලෙවි මණ්ඩලයේ සංඛ්‍යාලේඛනවලින් මනාව පෙන්නුම් කෙරෙයි.

කෙසේ වෙතත් සම්බා වර්ග ද ඇතුළුව සියලූම සුදු සහල් වර්ග, රතු සහලට වඩා පෝෂණ ගුණයෙන් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද හීන බව, නව පර්යේෂණ මාලාව අපට පෙන්වා දෙයි. ඉතින් රටේ වැඩි පිරිසක් සුදු සහල් පාරිභෝජනය කරනවාය යන්නෙහි අරුත, ඔවුන් පෝෂණ ගුණයෙන් හීන, එමෙන්ම බෝ නො වන රෝගවලට ද හේතුකාරක වන ආහාර වේලක හුරුපුරුදුවී ඇති බවයි!

වර්තමාන මහජනතාව, වැඩි පෝෂණ ගුණයක් ඇති ‘තැම්බූ සහල්’ ආහාරයට ගැනීමේ  පුරුද්දෙන් ද ඈත් වෙමින් සිටිති.

හරිත විප්ලව බත් සහ එහි ප‍්‍රතිඵල
වැඩි පෝෂණ ගුණයක් නැති, බෝ නො වන රෝගවලට ද තුඩු දෙන ‘නව වැඩි දියුණු කළ සුදු සහල් වර්ග’ මෙන්ම, දේශීය පාරම්පරික රතු සහලට වඩා ගුණයෙන් හීන ‘නව වැඩි දියුණු කළ  රතු සහල් වර්ග’ ගැන තවදුරටත් විමසා බලමු. ඒ සියල්ල ‘හරිත විප්ලවයේ’ හෙවත් නවීන රසායනික ගොවිතැනේ ‘බත්’ ය. 1960 වසරේ එළඹි හරිත විප්ලව ක‍්‍රියාදාමයේ පටන් මේ වන තුරුත් අපි ඒවා වළඳමින් සිටින්නෙමු. දැන් අපට ලැබී ඇත්තේ කුමන ප‍්‍රතිඵලයක් ද?

ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2014 වසරේ නිකුත් කළ ‘National Survey on Self-reported Health in Sri Lanka ambert’ නමැති සමීක්ෂණ වාර්තාවට අනුව, අපේ රටේ ජනගහනයෙන් සියයට 17.8ක් නිදන්ගත රෝගවලින් පෙළෙති. ඉන් සියයට 30.4ක්ම දියවැඩියා රෝගීන් වේ. සියයට 13.8ක් ඇදුම රෝගීන් ය. තවත් සියයට 11.4ක් ආතරයිටීස් රෝගයෙන් ද, සියයට 9.0ක් හෘද රෝගවලින් ද, සියයට 2.1ක් අංශභාගයෙන් ද, සියයට 1.7ක් පිළිකා රෝගයෙන් ද පෙළෙති!

මහාචාර්ය ප‍්‍රසාද් කටුලන්ද මහතා ඇතුළු පිරිසක් වර්ෂ 2005 දී කළ සමීක්ෂණයකට අනුව, ලක් වැසියන් ගෙන් සියයට 11.5ක් දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් (Type 2 Diabetes) පෙළෙමින් සිටියහ. සෞඛ්‍ය අමාත්‍යංශය 2013 වසරේ නිකුත් කළ (Annual Health Bulletin) වාර්තාවට අනුව1985 වසරේ ලංකාවෙන් වාර්තාවූ පිළිකා රෝගීන් සංඛ්‍යාව 5012කි. එනම් එවකට රටේ ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂයකට රෝගීන් 31.6කි. 2008 වර්ෂය වන විට එය පුද්ගලයන් ලක්ෂයකට රෝගීන් 81.6ක් දක්වා ඉහළ ගොස් තිබිණි. 2013 වසර වන විට ලංකාවේ අලූතින් ලියාපදිංචිවූ පිළිකා රෝගීන් සංඛ්‍යාව 25,515ක් විය! අපේ රටේ බහුලව වාර්තා වන පිළිකා තත්ත්වයන් අතර, පෙනහළු, ගැබ්ගෙළ, මුඛ, පියයුරු, බඩවැල් සහ මොළය ආශ‍්‍රිත පිළිකා මෙන්ම ලියුකේමියා තත්ත්වයන් ද වේ. දියවැඩියාව මෙන්ම පිළිකා ද ලංකාවට පමණක් නොව, ලෝකයටම ඉතා බරපතල ප‍්‍රශ්නයකි. එසේම දියවැඩියා රෝගයේ අතුරු ආබාධයක් වශයෙන් මතුවන හෘද්‍යාබාධ මෙන්ම වකුගඩු දුර්වල වීමේ රෝග තත්ත්වයන් ද අපේ රටට ඇතිකර ඇත්තේ නරක දසාවකි. කෘෂි රසායන ඔස්සේ එන ‘ආසනික්’ ඇතුළු බැර ලෝහ නිසා හට ගන්නා, මාරාන්තික වකුගඩු රෝගයක් ද රජරටින් මතු විණි!

ඉහත ස`දහන් කළ බෝ නො වන රෝග පමණක් නොවේ. ‘නීරක්තිය’, ළමා සහ මාතෘ මන්දපෝෂණය වැනි පෝෂණ ඌණතා රෝග තත්ත්වයන් ද අද අපේ රටට බහුල ය.

ඉතා කෙටියෙන් කියන්නේ නම්, දැන් මුළු රටම ලෙඩ ගොඩකි!

නවීන රසායනික ගොවිතැන කර පින්නා ගෙන යන කෘෂිකර්ම බලධාරීන් තවමත් නිතරම කියන්නේ, හරිත විප්ලව ගොවිතැනෙහි අනුසස් ය. කෘෂිකර්ම අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය පවසන අන්දමට, වර්තමාන ලංකාවේ වී අස්වනු ඵලදායිතාවය හෙක්ටයාර් එකකට මෙටි‍්‍රක් ටොන් 3.6කි. එය ඉතා ඉහළ අගයකි. නව වැඩි දියුණු කළ වී ප‍්‍රභේද, රසායනික පොහොර සහ රසායනික පළිබෝධනාශක ආදිය නිසා එම ඉහළ තත්ත්වය ලැබී තිබේ.  එසේ වුව ද නවීන සහලේ බත් කන මිනිසුන් මේ තරම් ලෙඩ දුක් කන්දරාවකට වැටුණේ කෙසේ ද? යන කාරණය ගැන ඔවුහු කතා නො කරති. අද ලෙඩින් වැටී සිටින්නේ වෙනත් පිරිසක් නොව, 1960 වසරෙන් පසුව හරිත විප්ලවය විසින් උපත දුන් බත වළඳමින් සිටින රට වැසියන් ය. ‘සොබාදහම් ගොවිතැන’ නමැති මව් ඇකයෙන් ගලවා, සම්ප‍්‍රදායික ආහාර රටාවෙන් සහ ජීව රටාවෙන් ද එළියට වීසිකර දැමූ පරපුරක වර්තමානිකයන් ය!

හරිත විප්ලවය හෙවත් නවීන ගොවිතැනින් උපන් බත පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් අනූන වූවා නම්, රට මේ තරම් ලෙඩ කන්දරාවකට ගොදුරු වේද? යන්න, මෙහිදී අසන්නට සිදු වන ප‍්‍රශ්නයයි!.
(දෙවැනි කොටසට මතු සම්බන්ධයි)
2016/10/08.

No comments:

Post a Comment