Total Pageviews

Thursday, August 11, 2016

ලංකාවේ නව ගොවි ජනපද සංස්කෘතිය කැමරාවෙන් සටහන් කළ ශ‍්‍රීලාල් ගෝමස්

ලංකාවේ නව ගොවි ජනපද සංස්කෘතිය
කැමරාවෙන් සටහන් කළ
ශ‍්‍රීලාල් ගෝමස්






(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එය ඉකුත් (2016) අප‍්‍රියෙල් මාසයේ මුල් භාගයේ දවසකි. දුරකතනය එහා පැත්තේ සිටියේ, අප හිත මිත‍්‍ර ඡායාරූප ශිල්පී ශ‍්‍රී ලාල් ගෝමස් ය.
 

‘මචං, අර පොතේ අත් පිටපත මං උඹට එවනවා. ඒක උඹට හොඳයි කියලා හිතෙන විදිහට එඩිට් කරලා දීපන්. මං අසනීපෙන් ඉන්නේ. ඒත් කොයි වෙලාවක හරි උඹව බලන්න එනවා. මට ඔය වැඩේ කරලා දීපන් මචං’ ඔහු කියා ගෙන ගියේ ය.
 

පුරා 35 වසරක තම මාධ්‍ය ජීවිතයේ ලැබූ විවිධ අත්දැකීම් අළලා පොතක් ලියමින් සිටින බව, ශ‍්‍රී ලාල් මීට ඉහත ද මට කියා තිබිණි. එහි පෙරවදන ලියා දෙන ලෙස ද ඔහු ඉල්ලූවේ ය. එබැවින් ශ‍්‍රී ලාල් සිය කෘතියේ වැඩ අවසන්කර තිබීම මට අලූත් ආරංචියක් නො වීය. එය ඔහුගේ කුළුඳුල්  ග‍්‍රන්ථයයි! මම ඔහුට සුභ පැතුවෙමි.
 

පසු දින එක්තරා කූරියර් සේවාවක් ඔස්සේ ඔහු සිය අත් පිටපත ගාල්ලේ පිහිටි මගේ නිවසට එවා තිබිණි. එහි කතා පුවත් 63ක් විය. ඒ සියල්ල එක හුස්මට කියවා ගෙන යා හැකි, මහත් කුතුහලය දනවන අපූර්ව කතා පුවත් ය. ශ‍්‍රී ලාල්ගේම ජීවන අත්දැකීම් ය.
 

අත් පිටපත ද සමග අතිශයින්ම සංවේදී කෙටි ලිපියක් ද විය.
‘මා කියූ අර පොත මේ සමග එවමි. ලැබුණු බව දන්වන්න. සුදුසු ආකාරයේ වෙනස්කම් කොට පොත හොඳින් සකසා දෙන්න. ඔබගේ පෙරවදන මේ සමග ලියා එවන්න. මේ අතර වාරයේ මට යම්කිසි කරදරයක් වුවහොත් කරුණාකර පොත සකසා රත්නපුරේ සුනිල්ට භාර දෙන්න’ යයි එහි ලියා තිබිණි.
 

ඔහු තදබල ලෙස අසනීපයෙන් පසුවන බව දැන සිටියෙමි. එහෙත් ඉක්මණින් අප හැර යතියි මොහොතකට වත් නො සිතිණි. ඒ අතර රත්නපුරයේ සුනිල් අයියාට ද (සුනිල් ලීලානන්ද පෙරේරා) දුරකතනයෙන් අමතුවෙමි. අත් පිටපත සමග ලැබුණු අමුතු ලිපිය ගැන ද කියා සිටියෙමි. ‘මම පෙරෙයිදාත් එයා බලන්න ගිහිල්ලයි ආවේ’, සුනිල් අයියා දුක්මුසුව කීය.
 

කෙසේ වුව ද, කෘතියට යොදා තිබුණු ‘නම’ නම් මගේ සිත් නො ගත්තේ ය.
 

‘ආයුබෝවන් කැමරාව’ නව ග‍්‍රන්ථයේ නාමයයි!
එහි අරුත, ඔහු ඡායාරූප ක්ෂේත‍්‍රයෙන් සමුගන්නවා බඳු හැඟීමක් උපදවයි. එසේ විය හැකි ද?
 

‘මචං, මේ නම නම් හරියන්නෙ නෑ. ඒක වෙනස් කරපන්’, මම ශ‍්‍රී ලාල් අමතා පැවසුවෙමි.
 

‘හරි, උඹ නමක් යෝජනා කරපන්’ යයි ඔහු එය මට පැවරීය.
එහෙත් සුදුසු නමක් මගේ සිතට ආවේ නැත. එබැවින් අත් පිටපත සංස්කරණයකර යැව්වෙමි. තම කෘතිය ‘ෆාස්ට් ඇඞ්’ සහ ‘සුරස ප‍්‍රකාශන’ අධිපති පේ‍්‍රම් දිසානායක මහතා විසින් මුද්‍රණය කරන බව ද ශ‍්‍රී ලාල් මා සමග පැවසී ය.
 

ඉකුත් ජූලි මාසයේ අග හරියේ දිනක ඔහු යළිත් මට කතාකර, පොත මුද්‍රණයකර අවසන් බව කියා සිටියේ ය. එය ‘තිත්ත රස’ යනුවෙන් නම්කර තිබිණි. ඒ නම අලංකාර ය!
 

‘මචං, පොතේ උත්සවේ දි උඹ කතාවක් කරපන්’ යයි ද ඔහු ඉල්ලී ය. මම ‘හා’ කීවෙමි.
 

‘උත්සවේ මෙහෙයවන්න කැලූම් ශ‍්‍රීමාල්ට දෙනවා’, ශ‍්‍රී ලාල් සිය පොතේ දොරට වැඩුමේ උත්සවය ගැන සිතැඟි හෙළි කළේ මහත් සතුටිනි! ‘තිත්ත රස’ කෘතිය අතිශයින්ම ශෝභමානව මුද්‍රණය කෙරී තිබිණි.
 

කාලය ඉගිල යන්නේ අපට  ඕනෑ හැටියට නොවේ! මේ සටහන ලියන අද අගෝස්තුවේ 11 වැනි දා ය. අද උදේ පාන්දරින්ම අපේ මාධ්‍ය සගයෙකු වන ප‍්‍රෑන්ක් ද සොයිසා මා ඇමතී ය.
 

‘අයියේ, අද පාන්දර ශ‍්‍රී ලාල් අයියා නැති වෙලා!’ ඔහු කියා සිිටියේ ය.
 

‘අපේ ශ‍්‍රී ලාල් ?’
 

මම තුෂ්නිම්භූත වූයෙමි.
 

මා මෙන්ම මගේ බිරින්දෑ  ද අසනීපයෙනි. එබැවින් ශ‍්‍රී ලාල්ගේ සුව දුක් බැලීමට යන්නට ද අපට නො හැකි විය. එහෙත් ඔහු මියගියේ යයි කෙලෙසක සිතන්න ද? 27 වසරැුති මගේ මාධ්‍ය ජීවිතයේ ඔහු පිළිබඳ මතක සටහන් ඊයේ-පෙරේදා වාගේ ය! ඒවා ඇතුළේ සිටින ශ‍්‍රී ලාල් ගෝමස් තවමත් ජීවමාන ය!
 

මියයන විට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් සේවය කළ ශ‍්‍රී ලාල්, මෑත ලංකාවේ විසූ කීර්තිමත් මාධ්‍ය ඡායාරූප ශිල්පියෙකි. ප‍්‍රවෘත්ති ඡායාරූප කලාවේ ප‍්‍රවීණයෙකි. 2000 වසරේ ඇරඹුණු ‘ලක්බිම’ දිනපතා පුවත්පතේ ආරම්භක ඡායාරූප කර්තෘවරයා වූයේ ඔහු ය. අපි දස වසරකට වැඩි කාලයක් එහි එකට වැඩ කළෙමු. හැමවිටම ඔහු හොඳ සහෘදයෙක් වූයේ ය.
 

රූපකායෙන් නො දුටුව ද, මට ඔහු මුලින්ම හඳුනා ගන්නට ලැබෙන්නේ 1980 දශකයේ මුල් භාගයේ දී ය. ඒ, එවකට මහවැලි සංවර්ධන අමාත්‍යංශය මගින් පළ කෙරුණු ‘ඉසුර’ සඟරාවෙනි. එකල මම උසස් පෙළ හදාරමින් සිටියෙමි. ඒ අතර ‘ඉසුර’ පාඨකයෙක් වීමි. එහි පළ වූ ශ‍්‍රීලාල්ගේ ඡායාරූප මගේ සිත් ගත්තේ ය.
 

ඊට පසුව ඔහු හමු වූයේ 1990 වසරේ දිනක ය. එවකට මම ප‍්‍රාදේශීය වාර්තාකරුවෙකු වශයෙන් ‘දිනමිණ’ පුවත්පතට වැඩ කරමින් සිටියෙමි. ඔහු ‘දිවයින’ පුවත්පතේ සේවය කරමින් සිටියේ ය. දිනක් ඔහු අපේ ගම වන කිරිඇල්ලට ආවේ, එකල සබරගමු පළාත් සභාවේ ප‍්‍රවෘත්ති නිලධාරියා වූ සුනිල් ලීලානන්ද පෙරේරා මහතා ද සමගිනි. ඔවුන් සමග ‘දිවයිනේ’ චන්ද්‍රසිරි දොඩන්ගොඩයන් ද විය. අපි එදා දුම්බර මිනිරන් පතල් පැවති ප‍්‍රදේශයේ චාරිකා කළෙමු. චන්ද්‍රසිරි දොඩන්ගොඩයන් ඒ ගැන ‘ඉරිදා දිවයිනට’ ලියූ විශේෂාංගය, ශ‍්‍රීලාල්ගේ පින්තූරවලින් හැඩවී තිබිණි. එයින් පසුව ඔහු යළි මට හමු වූයේ ‘දිවයිනෙන්’ නික්ම, ‘දිනපතා ලක්බිමට’ පැමිණි පසුව ය. ලක්බිමේ වැඩ කළ සමයේ මගේ විශේෂාංග ගමන් ගණනාවකටම ඔහුගේ අනගි සහාය ලැබිණි.
 

පත්තර කන්තෝරු ජීවිතයේ දී ශ‍්‍රීලාල් සම්බන්ධයෙන් මට ඇති මතක සටහන් බොහෝ ය. අප මිතුරන් බව ඇත්ත ය. එහෙත් වෘත්තීය ජීවිතයේ දී අප අතර විශිෂ්ඨ සාම්‍යයක් පැවතුණා යයි කියන්නට පුළුවන්කමක් නැත. වඩා හොඳ ප‍්‍රවෘත්තියක්, වඩා හොඳ විශේෂාංගයක් හෝ වඩා හොඳ ඡායාරූපයක් වෙනුවෙන් අප අතර ‘වෘත්තීය ගැටුම්’ පැවතුණි. ඔහු සුහද විවේචකයෙකු වූයේ ය. හැමවිටම සිය ඡුායාරූප ශිල්පී සගයින් වෙනුවෙන් මෙන්ම, වඩා හොඳ ඡායාරූපයක් වෙනුවෙන් ද පෙනී සිටියේ ය.
 

මා අසා ඇති ආකාරයට, ශ‍්‍රී ලාල් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයෙනි. එහි දී ඔහුට එවකට එහි අමාත්‍යවරයා වූ (දිවංගත) ගාමිණී දිසානායක මහතාගේ මගපෙන් වීම් ලැබේ. මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානියා වූයේ ශිවපාල බණ්ඩාර මහතා ය. ඔහු මාධ්‍ය ලෝකයේ දැවැන්තයෙකි. එකල ලංකාවේ ප‍්‍රබලතම මාධ්‍ය ඒකකය පැවතියේ ‘මහවැලියේ’ ය. කලාකරුවන්, මාධ්‍යවේදීන්, සිනමාකරුවන්, ඡායාරූප ශිල්පීන්, ලේඛකයන් සහ වෘත්තීයවේදීන් විශාල පිරිසක් එහි සේවය කළහ. ශ‍්‍රී ලාල් ගෝමස් ද, සුනිල් ලීලානන්ද පෙරේරා ද එහි සාමාජිකයන් ය. ගාමිණී දිසානායක ඇමතිවරයා, ඔවුන් හඳුන්වා ඇත්තේ ‘ඒන්ජල්ස්ලා දෙන්නා’ යනුවෙන් ලූ!
 

 
යාරූපය-ශ්‍රී ලාල් ගෝමස්

මහවැලියේ ගත කළ සමයේ ශ‍්‍රී ලාල් අතින් ඉතා වටිනා සේවාවක් ඉටු විය. අලූත බිහිවන නව මහවැලි ගොවි ජනපද සංස්කෘතිය සහ එහි හදගැස්ම, කැමරාවෙන් සටහන් කිරීම ඒ අනගි සේවාවයි. මට වැටහෙන ආකාරයට, ලාංකේය නව ගොවි ජනපදකරණයේ ජන හදගැස්ම කැමරා කාචයට හසුකර ගත් ප‍්‍රමුඛතම ඡුායාරූප ශිල්පියා ඔහු ය! ඔහුගේ කාච සටහන් පිරික්සන විට ඒ සඳහා ඔහුට තිබුණු ශිල්පීය පරිචය අපූර්ව බව පෙනී යයි. දේශපාලන ඡායාරූප සම්බන්ධයෙන් ද ඔහුට තිබුණේ කදිම පරිචයකි. වරින්වර කොළඹ දී පැවැත්වූ ඡායාරූප ප‍්‍රදර්ශනවලින් ඔහු සතුව පැවති කුසලතාවය අපූරුවට හෙළිදරව් විය.

පසුකාලීනව ‘දිවයින’ සහ ‘ලක්බිම’ යන පුවත්පත්වලට ඔහුගේ සේවාව ලැබිණි. ප‍්‍රවෘත්ති ආවරණ කටයුතුවල දී අතිශය අවදානම් අවස්ථාවලට පවා මුහුණ දුන්නේ, කිසි දිනක මැසිවිලි නො කියමිනි. ඒ අතර, තරුණ ඡායාරූප ශිල්පීන් විශාල පිරිසකට ද මාධ්‍ය ක්ෂේත‍්‍රයට එන්නට ඔහු පාර කපා දුන්නේ ය. මියයන විට 61 හැවිරිදි වියෙහි පසුවූ ශ‍්‍රී ලාල්, තිදරු පියෙකි.
 

ශ‍්‍රී ලාල්ට  සිය කුළුඳුල් කෘතිය ඉතා ඉක්මණින් දොරට වඩවන්නට  ඕනෑකර තිබිණි. එහෙත් ඉක්මන් දිනයක් සඳහා කොළඹින් සුදුසු ශාලාවක් නො ලැබිණි. පසුව ඉක්මන් දිනයක් ලැබුණේ, අගෝස්තු 25 වැනි දාට ය. ඒ මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයෙනි. ‘මං ඒක බුක් කළා මචං, උඹ එදාට වරෙං’ ඔහු මට දුරකතනයෙන් කීවේ ය. ඔහුගේ ස්වරයෙහි මහත් සතුටක් ගැබ්වී තිබෙනු හැඳින්නෙමි.
 

ඉකුත් ජූලි 28 වැනි දා රත්නපුරයේ යන අතර, කොළඹ ගියෙමි. මරදානේ  ‘ෆාස්ට් පබ්ලිකේෂන්’ ආයතනයට ගොසින් පේ‍්‍රම් දිසානායක මහතා ද මුණ ගැසුණෙමි. ශ‍්‍රී ලාල්ගේ පොත් උත්සවයේ දී කතා කිරීම පිණිස, ‘තිත්ත රස’ කෘතිය අරභයා මතකය අලූත්කර ගත යුතු ය. එදින ශ‍්‍රී ලාල් ද එහි එන බව පැවසුව ද, යළිත් අසනීප වීම නිසා නො පැමිණෙන බව දුරකතනයෙන් කීවේ ය.
 

ඡායාරූපය-ශ්‍රී ලාල් ගෝමස්
‘ශ‍්‍රී ලාල්ගේ අසනීපෙ නිසා තමයි ඔය පොත ඉක්මණට මුද්‍රණය කළේ. ඒක එයාට තව ධෛර්්‍යයක් වෙනවා’ යයි ‘තිත්ත රස’ කෘතියේ පිටපතක් මා අතට පත් කරමින් පේ‍්‍රම් දිසානායක මහතා පැවසුවේ ය.
කෙසේ වෙතත්, මාරයා ශ‍්‍රී ලාල්ට ඉස්සර විය. මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයේ දී ‘තිත්ත රස’ දොරට වඩින්නට දින තබා, දැන් ඔහු සමුගෙන ගොසිනි!

 

නව ග‍්‍රන්ථයේ නිමාව අලංකාර ය. එහි කවරය සැරසෙන්නේ ද ශ‍්‍රී ලාල්ගේ කාච සටහනකිනි. හුදෙකලා දුම්රිය මගක ගමන් කරමින් සිටින මිනිසුන් දෙදෙනෙකු ඉන් නිරූපනය වෙයි. එය ද අමුතු පින්තූරයකැයි මට සිතේ. ඔවුන්ගේ ගමන බොහෝ දුර ය. හරියට ශ‍්‍රී ලාල් සමු ගෙන ගියාක් මෙනි!
(සමාප්තයි)
2016/08/11.




3 comments:

  1. ඡායාරූප ශිල්පයේ දක්ෂතාව මෙන්ම ඔහුගේ මනුස්සකම ගැන මමද නොයෙක්වර කියවා අසා ඇත්තෙමි. යහපත් මිනිස්සු, යහපත් දේවල් ගොඩක්, කෙටි කලකින් නිමාකර, ආපසු පැමිණ, නැවත යහපත් දේ කරන්නට බලාපොරොත්තුවෙන්, අප හැරදමා යති.

    ඔහුට මෝක්ෂ සුවය අත්වේවා!

    ReplyDelete
  2. ශ්‍රී ලාල් අයියාගේ මතකයත්, මේ එක හුස්මට කියන ජීවිත කතාවත් එක තැනක හිත නතර කළාක් මෙනි. ශ්‍රී ලාල් අයියේ ඔබට මොක් සුව !!

    මේ ලිපිය කියවන්නැයි මම මගේ මුණු පොතේ ලින්කුව දැමුවෙමි

    ReplyDelete
    Replies
    1. විචාරක සහ රමේෂ්-ඔබ දෙදෙනාටම ස්තුතියි.

      Delete