Total Pageviews

Wednesday, April 6, 2016

හැඩ ඔය නිම්නයෙන් මතුවන රුහුණු-මාගම් ලකුණ

හැඩ ඔය නිම්නයෙන් මතුවන
රුහුණු-මාගම් ලකුණ

 
 
කැණීම් කළ දිනවල නීලගිරි සෑයේ දර්ශනයක්

පූර්විකාව
 
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-ප්‍රෑන්ක් ද සොයිසා)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, 2011 වසරේ ජූලි මාසයේ දී අම්පාරේ ලාහුගල, ‘නීලගිරි සෑය’ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේ ය. එහි දී මුලින්ම කෙරුණේ, සෑයෙහි ‘පර්යේෂණ කැණීම්’ මාලාවකි. එය එදා-මෙදා තුර ලංකාවේ කෙරුණු විශාලතම පර්යේෂණ කැණීමක් ද විය.
ජනප‍්‍රිය ව්‍යවහාරයේ ‘නීලගිරි සෑය’ නමින් හැඳින්වෙන ‘නීලගිරි ස්තූපය’ (දාගැබ) පිහිටා ඇත්තේ, නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත‍්‍රික්කයට අයත් පොතුවිල් ප‍්‍රදේශයේ, ‘ලාහුගල වනජීවී අභය භූමිය’ තුළ ය. එය හැඩ ඔයෙන් එපිට පිහිටි භූමියකි.
 
නීලගිරිය දාගැබ සහිත පුරාවිද්‍යා භූමිය, පිළිම ගෙයක් ඇතුළු පූජනීය ස්මාරකවලින් සමන්විත බෞද්ධ විහාරාරාම සංකීර්ණයකි. දාගැබට උතුරු දෙසින් පැරණි විහාරාරාම සංකීර්ණයක නටබුන් රාශියකි. සෙල් ලිපි, කටාරම් සහිත ගල් ලෙන් මෙන්ම නීලගිරි හෙළ ආශ‍්‍රිතව පිහිටි කටාරම් හා සිතුවම් සහිත ලෙන් ආදියෙන් එය සමන්විත වේ. එය ඓතිහාසික යුගයේ ඉතා විශාල ප‍්‍රදේශයක ව්‍යාප්තව පැවති විහාරාරාම සංකීර්ණයක් බව ඉන් පෙනී යයි.
 
අම්පාරේ සුප‍්‍රකට ‘දීඝවාපීය’ හැරුණු විට, නැගෙනහිර පළාතේ ඇති විශාලතම චෛත්‍යය ලෙස සැලකෙන්නේ ද ‘නීලගිරි සෑයයි’. එය ඉතා පෞරාණික බෞද්ධ ආරාම සංකීර්ණයක ඉදි කෙරුණු මහා දාගැබකි.
 
නීලගිරි සෑය පිහිටි ලාහුගල සහ පොතුවිල් ප‍්‍රදේශය බොහෝ කලක්ම පැවතියේ, මහජනතාව ගෙන් වසන් වෙමින් අතිශයින්ම හුදෙකලාවේ ය. විසි හය වසරක් පුරාවට (1983-2009) ඇදී ගිය එල්. ටී. ටී. ඊ. යුද්ධයට එම ප‍්‍රදේශ ද බිලිවී පැවතීම, ඊට හේතුවයි. ලාහුගල ආශ‍්‍රිතව පැවති මහා වනාන්තර පවා එකල ‘කොටි ත‍්‍රස්තවාදීන්ගේ’ අණසකට නතුව තිබුණේ ය. එබැවින් නීලගිරි පෞරාණික බෞද්ධ ආරාම සංකීර්ණයේ නටබුන් වනයෙහි සැඟව පැවතුණි.
 
දැන් ගෙවී යන්නේ 2016 වර්ෂයයි. නීලගිරි සෑයට යාම, දැනුදු දුෂ්කර කාරියකි. සියඹලාණ්ඩුව-පොතුවිල් ප‍්‍රධාන මාර්ගයේ, ලාහුගල දහයේ කණුවෙන් හැරී බොරළු පාරක් ඔස්සේ කිලෝමීටර් 03ක් පමණ ගමන් කළ විට සැඩ පරුෂ ‘හැඩ ඔය’ හමු වේ. එතැන ඇති කුඩා පාලමෙන් එතෙරවී, මහ වනය මැදින් තවත් කිලෝමීටර් 04ක් පමණ පා ගමනින් චාරිකා කළ විට නීලගිරි සෑයට යා හැකි ය. පුරාවිද්‍යා කැණීම් ආරම්භ වුණු 2011 ජූලි මාසයේ නම්, හැඩ ඔයෙන් එතෙර වීමට එතැන පාලමක් තිබුණේ නැත. ඔයෙන් එතෙර විය යුතුව තිබුණේ, බඩු පොදි ද කර ගසා ගෙන, දෙපස ගැට ගැසූ කඹ පොටක එල්ලෙමින් දියෙහි බැස යාමෙනි. ගමන දුෂ්කර වුව ද, වන මැද පිහිටි මේ දාගැබ මුල් වරට දකින  ඕනෑම කෙනෙකුට මහත් සැනසිලිදායක සිත් පහළ වනු ඇත්තේ ය. දාගැබ පිහිටි වනගත භූමි භාගය, එතරම්ම රමණීය දසුනක් වීම ඊට හේතුවයි.
 
හැඩ ඔය

දාගැබේ පර්යේෂණ කැණීම් ආරම්භ කිරීම නිමිත්තෙන් මාධ්‍යයට අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා, මෙසේ සඳහන්කර තිබිණි.
 
‘මේක අනුරාධපුරේ රුවන්වැලි සෑය, අම්පාරේ දීඝවාපී සෑය වාගෙ වන්දනීය ජාතික ස්මාරකයක්. එය දැන් තැනින් තැන ගරා වැටිලා. ගස් කොලන් වැවිලා වල් බිහිවෙලයි තියෙන්නේ. අපි ඒක සංරක්ෂණය කළ යුතුයි. යුද්ධය නිසා පසුගිය කාලයේ අපට ඒවා හරි හැටිකර ගන්න බැරි වුණා. දැන් අපි උතුරු-නැගෙනහිර යුද්ධයට හසුවුණු ප‍්‍රදේශවල ඇති පුරාවිද්‍යා ස්ථාන ගවේෂණය කරලා, ලේඛණගත කරමින් යනවා. නීලගිරි සෑය සංරක්ෂණය කරන්නට යන්නෙත් ඒ අනුවයි. අපි වැඩ කරන්නේ ජාතික පුරාවිද්‍යා ප‍්‍රතිපත්තියට අනුවයි. අපි මුලින්ම නීලගිරි සෑයේ පර්යේෂණ කැණීම් කරලා එහි ඉදි කිරීම් පසුබිම අධ්‍යනය කරනවා. ඒ තොරතුරු අනුවයි, දාගැබ සංරක්ෂණය කරන්න සැලසුම හදන්නේ. මේක බොහොම පරිස්සමින් කළ යුතු වැඩක්’
 
දාගැබ් පිළිබඳ යටගියාව බෙහෙවින් විචිත‍්‍රවත් ය. එය අදින් වසර 2600කට පමණ ඉහත, බුදුරදුන්  ජීවමානව විසූ සමය තෙක් දිවෙයි. මුල් කාලයේ දී දාගැබ් තැන වුණේ, බුදුරජාණන් වහන්සේගේ ශාරීරික අවශේෂයන් (ශාරීරික ධාතු) තැන්පත් කරන්නට ය. එය සොහොන් ගැබක් වශයෙන් භාවිත කිරීමකි. උන් වහන්සේගේ ධාතූන් මහත් පූජනීය වස්තූන් බව, බෞද්ධයන්ගේ ගෞරවණීය පිළි ගැනීමයි. එබැවින් බුදුරදුන්ගේ ශාරීරික අවශේෂ තැන්පත්කර තැනූ දාගැබ්, පූජනීය ස්මාරක බව පත් විය. දාගැබ, පාලි බසින් ‘ථූප’ වේ. ‘ථූප’, ජන වහරේ දී ‘ස්තූප’, ‘වෙහෙර’, ‘සෑය’ හෝ ‘චේතිය’ යනුවෙන් නම්වර ලබයි.
 
ලංකාවට දාගැබ් නිර්මාණ කලාව පැමිණෙන්නේ, දෙවැනිපෑතිස් රජු දවස (ක‍්‍රි. පූ. 250-210), බුදු සමයත් සමගිනි. මහාවංශයේ ස`දහන් වන අන්දමට, අපේ රටේ මුලින්ම දාගැබක් බඳවා ඇත්තේ ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දී දෙවැනිපෑතිස් රජජුරුවන් විසිනි. එය අනුරාධපුරයේ ‘ථූපාරාමයයි’. එහෙත් ‘මහියංගණයේ මහා දාගැබ’ සහ ත‍්‍රිකුණාමලය දිසාවේ ‘ගිරිහඩු සෑය’, ඊට වඩා පැරණි ය. ඒවා ඉදිකර තිබෙනුයේ බුදුරදුන් ජීවමානව වැඩ සිටි කාලයේ ය.
 
පැරණි පොත-පතෙහි සඳහන් වන අන්දමට දාගැබ් හෙවත් ‘ස්තූප’ හත් වැදෑරුම් ය. එනම්,
x    ඝණ්ඨාකාර (ඝණ්ඨාවක හැඩය)
x    ඝඨාකාර (කල ගෙඩියක හැඩය)
x    බුබ්බුලාකාර (බුබුලක හැඩය)
x    ධාන්‍යාකාර (වී ගොඩක හැඩය)
x    පද්මාකාර (නෙළුමක හැඩය)
x    ආම්ලාකාකාර (නෙල්ලි ගෙඩියක හැඩය)
x    පලන්ද්වාකාර (සුදුලූණු ගෙඩියක හැඩය) වශයෙනි.

 
ලංකාවේ හැදූ මුල්ම ස්තූපයවූ අනුරාධපුරයේ ථූපාරාමය ‘ධාන්‍යාකාර’ හැඩයකි. පසු කාලීනව අපේ රටේ ඝන්ඨාකාරව ස්තූප ඉදි කෙරිණි. ඒ හැඩය ජනප‍්‍රිය විය. දාගැබ්වල ඇති මේ හැඩතල නිර්ණයකර ඇත්තේ, ඒවායෙහි  බඳෙහි (අණ්ඩයෙහි) ස්වභාවය අනුව ය. දාගැබක් යනු ඉතා ගැඹුරු පාදමක් මත කෙරෙන ඉදි කිරීමකි. එය එහි බර දැරීමට තරම් සවිමත් ලෙස තනනු ලැබේ. ඊළඟට, ‘පේසා වළලු’, ‘වේදි’ හෙවත් වැට, ‘අණ්ඩය’ හෙවත් බඳ (ගර්භය), ‘හතරැස් කොටුව’, ‘දේවතා කොටුව’, සහ ‘කොත් කැරැුල්ල’ (යූපය සහ ඡත‍්‍රය) ආදී වශයෙන් තවත් කොටස් කිහිපයක්ම එහි ඉදි කෙරේ. මෙයින් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කෙරෙන්නේ ස්තූපයෙහි ගර්භය හෙවත් අණ්ඩය තුළ ය. එබ`දු දාගැබක් බෞද්ධයන් අතර සැලකෙන්නේ ‘ජීවමාන බුදුන්’ වශයෙන් පූජනීය වෙමිනි.
මේ ආකාරයට තැනවුණු මහා දාගැබ් ගණනාවක්ම අපේ රටේ ඇත. ඉන් කිහිපයක් මෙසේ ය.
x    අනුරාධපුරයේ ‘රුවන්වැලි මහා සෑය’-(උස අඩි-350/විෂ්කම්භය අඩි-300)
x    අනුරාධපුරයේ ‘මිරිසවැටි දාගැබ’-(උස අඩි-192/විෂ්කම්භය අඩි-141)
x    අනුරාධපුරයේ ‘ජේතවන දාගැබ’-(උස අඩි-232/විෂ්කම්භය අඩි-367)
x    අනුරාධපුරයේ ‘අභයගිරි දාගැබ’-(උස අඩි-235/විෂ්කම්භය අඩි-310)
x    පොළොන්නරුවේ ‘දෙමළ මහා සෑය’-
x    පොළොන්නරුවේ ‘සෝමාවතිය’-
x    අම්පාරේ ‘දීඝවාපි දාගැබ’
x    තිස්සමහාරාමයේ ‘මහාරාම දාගැබ’-(උස මීටර්-55.8/විෂ්කම්භය මීටර්-165)
x    තිස්සමහාරාමයේ ‘සඳගිරි දාගැබ’
x    තිස්සමහාරාමයේ ‘යඨාල වෙහෙර’
 
ලාහුගල ‘නීලගිරි සෑය’ දාගැබේ ගරා වැටුණු උස ද අඩි 72කි. විෂ්කම්භය අඩි 628ක් පමණ වේ. එය මහා පරිමාණ ඉදි කිරීමකි.
 
රජවරුන්ගේ සමයෙහි තැනවුණු මහා දාගැබ් ප‍්‍රතිසංස්කරණය කිරීමත්,  ඒවා සංස්කරණය කිරීමත්, ලෙහෙසි-පහසු කටයුත්තක් නොවේ. දාගැබෙහි මුල් ස්වරූපය ඉතා පරිස්සමින් අධ්‍යනය කරමින් කළ යුතු දෙයකි. ප‍්‍රතිසංස්කරණය කරන්නට දැරූ උත්සාහයේ දී අපේ රටේ පැරණි දාගැබ් කිහිපයක්ම කඩා වැටුණි. ඇතැම් දාගැබ්, පිළිසකර වැඩ වැරදියට කෙරුණු නිසා කඩා වැටුණු බවට  රජයට ද චෝදනා නැගිණි. අනුරාධපුරයේ මිරිසවැටිය, අම්පාරේ දීඝවාපිය සහ තිස්සමහාරාමයේ සඳගිරි දාගැබ ද, මෙසේ කඩා වැටුණු ස්තූප අතර තිබිණි. තිස්සමහාරාමයේ මහාරාම දාගැබ ද ඉරිතලා ගිය අවස්ථාවක් දක්නට ලැබිණි. මේවා යළි ප‍්‍රතිසංස්කරණය කරන්නට මහත් පරිශ‍්‍රමයක් දරන්නට ද සිදු විය.
 
සම්පත් ගුරුසිංහ මහතා

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිමල් පෙරේරා මහතා එවකට නීලගිරි සෑය පර්යේෂණ කැණීම් ව්‍යාපෘතිය භාර අධීක්ෂණ නිලධාරියා විය. එකල ඔහු කැණීම ගැන කරුණු දැක්වූයේ මේ අයුරිනි.
 
‘නීලගිරි සෑය බඳු මහා පරිමාණ බෞද්ධ ස්මාරක ඉදිකර තිබෙන්නේ, ඉපැරණි රජවරුන්ගේ කාලයේ දීයි. මුල් ඉදි කිරීමෙන් පස්සේ, ඊළඟට ආපු රජවරු මේ ස්තූප තවදුරටත් විශාල කරලා ගොඩ නගලා තියෙනවා. සමහර චෛත්‍ය කිහිප වතාවක්ම පිළිසකර කරලා තියෙනවා. වර්තමානයේ අප දකින බොහොමයක් දාගැබ් නිර්මාණය වෙලා තියෙන්නේ ඒ ආකාරයටයි. ඉතින් නීලගිරි සෑය හරි වෙනත් දාගැබක් හරි ප‍්‍රතිසංස්කරණ කරන්න, සංරක්ෂණය කරන්න කලින් පර්යේෂණ කැණීමක් කරන්න වෙනවා. එයින් දාගැබේ අවසන් ප‍්‍රතිසංස්කරණ අවධිය ගැන තොරතුරු හෙළිකර ගන්න  ඕනෑ. ඊට පස්සේ තමයි නිවැරදිව, විද්‍යානුකූලව ප‍්‍රතිසංස්කරණයක් කරන්න අවස්ථාව ලැබෙන්නේ’
 
නීලගිරි කැණීම් ව්‍යාපෘතිය මෙහෙය වූයේ එහි ස්ථාන භාර නිලධාරී සම්පත් ගුරුසිංහ, පර්යේෂණ සහකාර පාලිත අත්තනායක යන මහත්වරු විසිනි.
 
‘අපි මේ කැණීමෙන් දාගැබේ පාදම සහ මුල් පේසා වළලු ගැන සොයා බලනවා. පසුකාලීනව කළ ප‍්‍රතිසංස්කරණ ගැන සොයා බලනවා. දාගැබ ප‍්‍රතිසංස්කරණ සැලසුම හදන්නේ එයින් පසුවයි. මේකට පුරාවිද්‍යා, වාස්තු විද්‍යා සහ ඉංජිනේරු ආදී වශයෙන් අංශ ගණනාවක විද්වතුන් දායක වෙනවා’ ඔවුහු කීහ.
 
පුරාවිද්‍යා නිලධාරීන් නීලගිරි සෑයේ කැණීම් ආරම්භ කළේ, 2011 වසරේ ජූලි මාසයේ ය. මුල් අදියරේ දී ඔවුහු දාගැබේ මුල් පේසා වළලු කිහිපයක්ම මතුකර ගත්හ. සධාතුක රන් කරඬු ද, පළිඟු කරඬු සිය ගණනක් ද, ඔවුන්ට හමු විණි.
 
නීලගිරි සෑය ආශ‍්‍රිත සෙල් ලිපි සහ අනෙකුත් මූලාශ‍්‍රවලින් හෙළි වන අන්දමට, එය ඉපැරණි ‘උත්තර සීවලී පබ්බත විහාරයයි’. මේ භූමිය වර්ෂ 1928 දී මුලින්ම ගවේෂණයකර ඇත්තේ, හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වන බි‍්‍රතාන්‍ය ජාතික ඒ. එම්. හෝකාර්ට් මහතා ය. ඊළඟට 1965 සහ 1981 යන වර්ෂවල පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් ද නීලගිරි සෑය සහ ඒ ආශ‍්‍රිත ලෙන් ගුහා ගවේෂණය කළහ. ඉන් පසුව 2011 වසරේ දී මහාචාර්ය රාජ් සෝමදේව මහතා ද නීලගිරි සෑය ආශ‍්‍රිත භූමිය ගවේෂණය කළේ ය.
 
කෙසේ වෙතත්, නීලගිරි සෑය බෞද්ධාරාමික සංකීර්ණය කොපමණ පැරණි දැයි තවම සොයා ගෙන නැත. එහෙත් එය භාතිකාභය තිස්ස (ක‍්‍රි. පූ. 01 වැනි සියවස) රජුගේ පාලන කාලයේ ද පැවතුණු බවට සාක්ෂි තිබේ. ඒ බව හෙළිව ඇත්තේ, ඔහුගේ බිසව වූ චූලසීවලී දේවිය විසින් නීලගිරි සෑයට (එකල ‘උත්තර සීවලී පබ්බත විහාරය’) කළ පූජාවක් ගැන සඳහන් සෙල් ලිපියකිනි. එය සෑයට සමීපයෙන් පිහිටා තිබේ.
 
නීලගිරි ගමන

ලියුම්කරු 2012 වර්ෂයේ අප‍්‍රියෙල් මාසයේ දී, අවස්ථා කිහිපයක්ම නීලගිරි සෑය ඉසව්වේ සංචාරය කළේ ය. ඒ, එකල ඔහු සේවය කළ ‘ලක්බිම’ දිනපතා පුවත්පතට විශේෂාංග සම්පාදනය කරනු පිණිස ය. සියලූ චාරිකාවල ඡායාරූප ශිල්පියා වූයේ ප‍්‍රෑන්ක් ද සොයිසා මහතා ය. එම ලිපි පෙළ 2012 වසරේ මැයි මාසයේ ‘ලක්බිමෙහි’ පළ විය.
 
යම් යම් කාලීන සංශෝධන ද සහිතව ‘නීලගිරි සංචාර ලිපි පෙළ’, මෙතැන් පටන් කොටස් වශයෙන් ‘වලස්පතිගේ අඩවියෙහි’ පළ වේ.
 
(මතු සම්බන්ධයි)
2016/03/10.





4 comments:

  1. Replies
    1. ප්‍රතිචාර දැක්වූවාට ස්තුතියි.

      Delete
  2. බොහොම රසවත් සහ කාලීන වටිනාකමක් සහිත විස්තරයක්. මේ පැත්තට ගිහින් නැහැ. කොහොමහරි යන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි. අලුත් පර්යේෂණ ඔස්සේ පැරණි රුහුණ මතු වෙමින් යනවා. ඒවා නැරඹීම වටිනවා.

      Delete