Total Pageviews

Thursday, April 28, 2016

හැඩ ඔය නිම්නයෙන් මතුවන රුහුණු-මාගම් ලකුණ-02 නීලගිරි සෑ වරුණ

                

       කොට්ට පැදුරු ගල ඔස්සේ කැණීම් භූමියට
 
උදෑසනින්ම නිමල් මහතාගෙන් උපදෙස්

 
වන මැදින් කැණීම් බිමට


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-ප‍්‍රෑන්ක් ද සොයිසා)

එළඹෙන සෑම හිමිදිරියක්ම පුරාවිද්‍යා වාඩියට බෙහෙවින් කලබල ය. පිරිසක් කුස්සියට වැද ආහාර පිසිති. තවත් පිරිසක් කැණීම් භූමියට ගෙන යන ආයුධ-උපකරණ  සූදානම් කරති. දවසේ වැඩ ලේඛනය පෙරළා ගෙන නම් ලකුණු කිරීමත් මේ අතර සිදු වෙයි. උදේ හය හමාර පමණ වන විට, මුළු වාඩියම නො සන්සුන් කමින් පිරී යන්නේ ය. කැණීම් වැඩට ලාහුගල ගමෙන් තාවකාලිකව බඳවා ගත් පිරිස හැඩ ඔය තරණය කරමින් වාඩියට එක් රැස් වීම, ඊට හේතුවයි. ඔවුන් එහි එන්නේ බත් ගෙඩි දෙකක් ද බැඳ ගෙන ය. ඉන් එකක් වාඩියේ දීම අනුභව කරති. අනෙක දවාලට ය.
 

හැඩ ඔය සැර පරුෂ වන්නට පෙර මෙගොඩට (වාඩියට) කොටුවුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ටාටා කැබ් රථය, දැන් කාට කාටත් මහාර්ඝ සම්පතකි. කවදාක හෝ ගඟ  බසින තුරු එය මිනිස් වාසයකට ගෙන යන්නට පුළුවන්කමක් නැත. එබැවින් වාඩියේ සිට නීලගිරි සෑ මළුවට කැණීම් කණ්ඩායම ප‍්‍රවාහනය කිරීම, එයට පැවරී තිබේ. එහි රියදුරු වන ඩබ්ලිව්. ඊ. එම්. උපාලි මහතාට, දැන් මහ වනය මැදින්, අලි මංකඩවල් පසු කරමින් රිය පැදවීම හොඳට හුරු පුරුදු ය. කැණීම් භූමිය පිහිටියේ, වාඩියේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරිනි. උදේ කාලයට ඒ අතර තුර නිතරම පාහේ වන අලි ගැවසෙති.
 

‘දවසක් අපි දවල්ට කන්න ඇවිත් ඔන්න ආපහු සෑයට යනවා. පාරේ එක වංගුවක් අයිනේ අලියෙක්, වංගුව හින්දා ඔහොම-මෙහෙම ළඟට එනකල් ඌව දැක්කේ නෑ. දැන් වාහනේ නවත්වන්නත් බෑ. ආපු වේගෙන්ම අනිත් පැත්තට කපලා අපි ගියා. තව ඩිංගෙන් ඌ අපට ගහනවා’,  උපාලි සිය කැලෑ අත්දැකීම් මුවට නංවන්නේ, අසන අය තුළ යම් භීතියක් ද ඇති කරවමිනි.
 




සාමාන්‍යයෙන්, උදේ හත හමාර වන විට කැණීමට යන සියල්ලන්ම නීලගිරි සෑය පාමුල ය. ඉනික්බිතිව ඔවුහු වැඩ පටන් ගනිති. කැණීම් භූමියෙහි දිනකට 40කට අධික පිරිසක් සේවයෙහි යෙදෙති. ‘උදේ පාන්දරම, මම වාඩියේ ඉඳලා ටි‍්‍රප් දෙකක් විතර ගහනවා’, උපාලි කියන්නේ ය.
 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නීලගිරි සෑයේ කැණීම් කරන්නට පැමිණුනේ 2011 වසරේ ජූලි මාසයේ ය. ඒ, ඊට පෙර පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා නීලගිරියට පැමිණ කළ ගවේෂණයෙන් පසුව ය. නීලගිරි සෑය පර්යේෂණ කැණීම් ව්‍යාපෘතියෙහි ස්ථාන භාර නිලධාරියා වශයෙන් පත් කෙරුණු සම්පත් ගුරුසිංහ මහතා, මුලින්ම එහි පැමිණියේ තනිවම ය.
 

‘මං මුලින්ම තනිවම ලාහුගලට ආවා. ඊට පස්සේ ලාහුගලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  වැඩට සම්බන්ධ වෙලා ඉන්න පද්ම ශාන්ත (ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී) හතාත් සමග, ගඟෙන් එතෙර වෙලා පයින්ම නීලගිරියට ආවා. කැණීම් වැඩ පටන් ගන්නේ කොහොමද?, වාඩිය ගහන්නේ කොහේ ද?, වගේ තොරතුරු මුලින්ම සොයලා බැලූවා. නීලගිරි සෑය ළඟ බොන්නවත් වතුර ටිකක් නෑ. ඉතින් එතැන වාඩියක් ගහන්න බෑ. පස්සේ අපි මෙතැන ගඟ ඉවුරේ උස තැනක් තෝරා ගෙන වාඩිය ගහන්න තීරණය කළා. මම මුලින්ම එන කොට සෑය වටේටම කැලෑව. අපි ඒවා එළි පෙහෙළි කරලයි වැඩ පටන් ගත්තේ’, සම්පත් කියයි.
 

ඉන් පසුව, දකුණු පළාත් පුරාවිද්‍යා ගබඩාවෙන් ලබා ගත් යකඩ බට, ආදිය යොදා හැඩ ඔය ඉවුරේ මැද වාඩිය ඉදි කෙරුණි.  එය වකරන් වාඩියකි.  එහි ඇතුළත ඇත්තේ බූරු ඇඳන් ය. ලාහුගල ගමට නම් විදුලිය තිබේ. නීලගිරි සෑය ඉසව්වට ඒ පහසුකම් නැත. එබැවින් පුරාවිද්‍යා වාඩියේ රාත‍්‍රී ආලෝකය ‘පැට්‍රෝමැක්ස් ලාම්පු සහ ලන්තෑරුම් ය.
 

2012 වසරේ පෙබරාරි මාසයේ ඔවුන්ට හරි ඇබැද්දියකට මුහුණ පෑමට සිදු විය. එක් වැහිබර රාත‍්‍රියක උන්හිටි ගමන් හැඩ ඔය පිටාර ගලා, පුරාවිද්‍යා වාඩිය සහ අවට භූමිය ජලයෙන් යට විය. එදා වාඩිය ඇතුළේ ද අඩි දෙකක් පමණ උසට පිටාර වතුර ය. වාඩියේ ඇත්තෝ, එහි තිබුණු යකඩ බට දමා මැස්සක් තනා ගෙන, සීතලෙන් ගැහෙමින්, මදුරුවන් තලමින් රැය පහන් කළහ. ඉක්බිති  ජලය  බැස යන තුරු දින කිහිපයක්ම කැණීම් නතර කිරීමට සිදු විය.
 
නීලගිරි සෑ රදුන්

එළඹුණු හිමිදිරිය වන සියොතුන්ගේ කූජනයෙන් ඇළලී ගොසිනි. අපේ මාතලී බණ්ඩාර උදේ පාන්දරින්ම කඹයේ එල්ලී හැඩ ඔයෙන් එතෙරව, එගොඩ ඉවුරේ ගාල්කර තිබූ වෑන් රථය සුරක්ෂිත දැයි දැකබලා ගෙන ආවේ ය. රාත‍්‍රියේ වන අලි සැරිසැරූ බවට අඩි සලකුණු ඔය ඉවුරේ දක්නට ලැබිණි. ‘මෙතැනත් අලි මංකඩක්. රෑට වල් අලි මෙතැනින් ගඟට බහිනවා. ඒත් අපි ආවාට පස්සේ උන් මීට එහායින් ගඟට බහින්නේ’, වාඩියේ අයෙක් අප හා පැවසී ය.
 

හැඩ ඔය දෙස සරුවට වැවී ඇති ළපටි තණ පත් හා ළදළු, වන අලින්ට නම් රස ආහාර ය. එහෙත් මිනිස් වාසයක් නැති, මහ වන මැද තැනූ වාඩියක වෙසෙන මිනිසුන්ට රස මසවුළු කොයින් ද? ඒ කාරණය කෙසේ වුවත්, වාඩියේ හැදෙන ආහාර දිව බොජුන් බඳු ය. එදා උදේ අපි ඒ අත්දැකීම ලැබුවෙමු. වන මැද දී නම්, ආහාර පිළිබඳ කාරණාව තරමක් බැරෑරුම් ය.
 

‘ක‍්‍රිෂ්ණ, අපි උදෙන්ම ගිහිල්ලා ආපහු එන කොට දවල් දෙකවත් පනී. වාඩියට ඇවිල්ලා දවල්ට කමු. එතකල් බඩගින්නට ‘පාන්’ අරන් යමු’, යයි සම්පත් යෝජනා කළේ ය. ඒත් මේ කැලේ ‘පාන්’ කොයින් දැයි අපි කල්පනා කළෙමු.
 

පෙරදා දහවල් කවුදෝ ලාහුගලින් ගෙනා පාන් ගෙඩි කිහිපයක් වාඩියේ තිබිණි. ගමනට සකස්කර ගැනුණේ ඒවා ය.
 

ඊට පෙර අපි සම්පත්ලා සමග උදේ ආහාරය ගතිමු. කැකුළු හාලේ බතට, හාල්මැස්සන් මුසු අල කිරි හොද්දකින් ද, කට්ට සම්බලයකින් ද, පුරාවිද්‍යා වාඩියේ ප‍්‍රණීත උදේ ආහාරය සමන්විතව තිබිණි. ප‍්‍රථමයෙන්ම නීලගිරි සෑය කැණීම් භූමියටත්, ඉන් පසුව වනය මැදින් ගොස් නීලගිරි කන්දේ ගල් ලෙන් නිරීක්ෂණයත් අපේ ගමනේ ඉලක්කය  විය.
 

නීලගිරි සෑයට යාම පිණිස අපට ලැබී තිබුණේ, පුරාවිද්‍යා කැබ් රථයේ තෙවැනි ගමන් වාරයයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා, බිතුසිිතුවම් සංරක්ෂණ ශිල්පීන් වන ආර්. ඒ. ආරියවංශ සහ රංජන් පුෂ්පකුමාර යන මහත්වරු ද අප සමග වූහ. රියදුරු අසුනට අමතරව, රථයේ ඇති එකම අසුනට නිමල් පෙරේරා මහතා නැංවූ අපි, කැබ් රථයේ පසුපසට ගොඩ වීමු. ‘මග දී අලි ඉඳීවි, පරිස්සමෙන්’, පර්යේෂණ සහකාර උපාලි අත්තනායක මහතා රියදුරු උපාලිට කීවේ ය.
 

කැබ් රථය දැන්, ඩෝසර්කර හැදූ බොරළු පාර දිගේ වන මැදට ඇදෙයි. වනය මහ අරුම පුදුම ය. එහි රූස්ස ගස් නැත. මිටි පඳුරු සහ කුඩා ගස් කොලන් උදා සුළඟින් නැහැවෙමින් අප දෙස බලා සිටිනු පෙනුණි. වනයේ විසූ රූස්ස වනස්පතීහු, යුද්ධය පැවති සමයේ අතුරුදන්වූ බව, කැණීම්භූමියට යමින් සිටි ලාහුගල වැසියෙක් රහසින් මෙන් තෙපලේ ය. වනය අතරින් බලන බලන තැන ඇත්තේ, අතීතයෙන් ශේෂ වූ ගල් කණු හෝ වෙනත් ශෛලමය නටබුන් ය. 

‘මේ පැත්තේ ගල් කොරි කීපයකම නටබුන් තියෙනවා. නීලගිරි සෑය බෞද්ධ ආරාම සංකීර්ණයේ සවි කරන්න, ගල් කණු, සඳකඩ පහන්, මුරගල්, ශෛලම පේසා හදලා තියෙන්නේ ඒ ස්නවල වෙන්න ඇති’, අවට පරිසරයේ විසිතුරු පෙන්වමින් පාලිත අත්තනායක මහතා කියයි.
 

කැබ් රථය කෙමෙන් වනයට ඇදුණ ද තවම නීලගිරි සෑය නො පෙනෙයි. එහෙත් අතීතයේ පටන්ම, බොහෝ ඈතින් ප‍්‍රතාපවත්ව නැගී සිටින ‘නීලගිරි කන්ද දැන් ඉතා හොඳින් දිස් වෙයි. කන්ද මුදුනේ, හරස් අතට ඉදි කෙරුණු මහා ප‍්‍රාකාරයක රූපකාය, ඇස ගැටෙන්නේ අඳුරු රේඛාවක් පරිද්දෙනි. එය කොතෙක් විශාල ද යත්, කිලෝමීටර් පහ-හයක් ඈත ලාහුගලට ද දිස් වෙයි. ප‍්‍රාකාරය කුමක් පිණිස ඉදි කළා ද යන්න තවම කිසිවෙක් නො දනිති.
 

‘මෙතැන තමයි කොට්ට පැදුරු ගල’, රථය කොඳු නාරටියක් බඳු ගල් ඇන්දක් නැග, අසීරුවෙන් යන අතර කෙනෙක් අපට  හඳුන්වා දෙයි.
 

‘එතකොට මේක පුරාවිද්‍යා කට්ටිය නිදා ගන්න තැනක් ද?’, අපේ ඡුායාරූප ශිල්පී ෆ‍්‍රෑන්ක් හිනැහෙමින් විමසයි. 

‘කොට්ට පැදුරු අරන් මෙහේ ආවොත් ඉතින් වල් අලියි, වලස්සුයි එක්ක තමයි බුදියන්ඩ වෙන්නේ’, තවෙකෙක් විහිළුවෙන්ම පිළිතුරු බඳියි.
 

නීලගිරි සෑය සම්බන්ධයෙන් ගත් කල,‘කොට්ට පැදුරු ගල’  නමින් හ`දුන් වන ගල් තලාව සුවිශේෂ ය. නීලගිරි සෑයේ ඉතිහාසය ගැන ස`දහන් වන, දැනට හමුවී ඇති එකම සෙල් ලිපිය එහි පිහිටා තිබීම, ඊට හේතුවයි. පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට, නීලගිරි සෑය දාගැබ කවදා ඉදි කෙරුණු එකක් ද?, එය කරවූ රජතුමා කවුරුන් ද? ආදී තොරතුරු තවම හෙළිකර ගෙන නැත. එසේ වුවත්, සෑයට මීටර් 200ක් පමණ ඈතින් වූ කොට්ට පැදුරු ගලේ පිහිටි, බ‍්‍රාහ්මී අක්ෂරවලින්  කෙටූ සෙල් ලිපියක් ඒ සඳහා ප‍්‍රබල සාක්ෂියක් ගෙන  එන්නේ ය. භාතිකාභය තිස්ස (ක‍්‍රි. පූ. 22-ක‍්‍රි. ව. 07 රජුගේ බිසව වූ ‘චූල සීවලී දේවිය’ එකල ‘උත්තර සීවලී පබ්බත විහාරයට’ කළ පූජාවක් ගැන ද, අවට ඇති වැව්වලින් එන බදු ආදායම විහාරයට පිදූ බව ද, එහි සඳහන් වේ.
 

‘මේකේ තේරුම භාතිකාභය තිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ දිත් නීලගිරි සෑය පැවතුණා කියන එකයි’, ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය. පුරාවිද්‍යා නිලධාරීන් පවසන අන්දමට, එකල නීලගිරි සෑයේ නාමය, ‘උත්තර සීවලී පබ්බත විහාරය’ යි. ඉතිහාසයේ කියැවෙන හැටියට, භාතිකාභය තිස්ස යනු බොහෝ විදේශ සම්බන්ධකම් තිබුණු රජ කෙනෙකි. ඒ බව සිහිපත් කරන්නට මෙන් ‘කානේලියන් පබළු’ ආදී විදේශීය ආභරණ කොටස් ද, නීලගිරි සෑය පුරාවිද්‍යා කැණීමෙන් හමුවී තිබේ. නීලගිරි සෑය ඇත්තටම ‘මහානාග’ රජුගේ කෘතියක් ද? යන්න මහත් කුතුහලය දනවන කාරණයකි.
 
කැණීම් කටයුතු

කැබ් රථය නීලගිරි සෑ මළුවට සේන්දු විය. වල්බිහිව ගිය වන උයනක් බ`දු පරිසරයක් මැද, තැනින් තැන ගරා වැටුණු දැවැන්ත දාගැබක පෞරාණික රූපකායක් අප ඉදිරියෙහි නැගී සිටිනු පෙනුණි. එහි පාමුලට එක් වූ පුරාවිද්‍යා සේවකයෝ යුහුසුළුව කැණීම් කරමින් සිටියහ. සෑයෙහි ඉහළ කොටසේ රූස්ස ගස් වැවී තිබුණේ ය. ඈත සිට බලන විට, නීලගිරි සෑය කොතරම් විශාල දාගැබක් ද යන්න පැහැදිලිව පෙනුණි. කැණීම් කරන පිරිස දිස් වූයේ කුඩා දරුවන් පරිද්දෙනි.
 

නීලගිරි සෑයෙහි දර්ශනය  ඕනෑම කෙනෙකුට එක්වරම සිහිපත් කරන්නේ අනුරාධපුරය යි. එිහි ඇති ජේතවනය, රුවන්වැලි සෑය, අභයගිරිය, මිරිසවැටිය වැනි මහා දාගැබ්වල නිරාමිස, එහෙත් දැවැන්ත රූපකායයි.
(මතු සම්බන්ධයි)
(ඡායාරූප ලක්බිම පුවත්පත අනුග‍්‍රහයෙනි.)
2016/04/06.



4 comments:

  1. ඒ අවට නිකං උද්‍යානයක් වගේ පිළිවෙලට පේන්නේ. පුරා විද්‍යාවත් මගෙ හිත ඇදගන්නා විෂයයක්. නමුත් බඩ ජාරි කමටද මන්දා වැඩියෙන්ම හිත ගියේ කෑම ගැන කියපු විස්තරයට.

    ඔය ටාටා කැබ් එක ඔය වැඩේට විශ්වාසවන්තද?

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි. නීලගිරි අඩවිය අතීතයේ මහා බොදු පුරවරයක් බව පේනවා. වනය ඇතුළේ නටබුන් බොහොමයි.

      Delete
  2. බොහොම රසවත් අද්දැකීම්. මේ පින්තූර ගන්න කැමරාවෙන්ම, පොඩි පොඩි වීඩියෝ ටිකක් අරන්, ලිපියට දාන්න බැරිද? ඔබේ නමින්ම යූ ටියුබ් එකට ඇතුළු කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස වටිනවා. එදා වීඩියෝ කළේ නෑ. ඒත් ඉදිරියේදී පින්තූර පිටුවක් කරන්නම්. ඉතා දුලබ පින්තූර තිබෙනවා. ස්තුතියි.

      Delete