Total Pageviews

Monday, April 11, 2016

හැඩ ඔය නිම්නයෙන් මතුවන රුහුණු-මාගම් ලකුණ-01-නීලගිරි සෑ වරුණ

හැඩ ඔය නිම්නයෙන් මතුවන
රුහුණු-මාගම් ලකුණ-01

 


හැඩ ඔයෙන් එතෙර වෙමින්


නීලගිරි සෑ වරුණ
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-ප‍්‍රෑන්ක් ද සොයිසා)

අලූයම් හඳ පළුව, හැඩ ඔය නිම්න මහා වන පෙතට ඉහළ අහසේ කෙළවරක රැඳී සිටියේ උවසු ලීලාවෙනි. මද සුළඟ ’සට-සට’ සරින්, බොහොම පරිස්සමින් පිණි කැට එකතු කළේ ය. අඳුරේ වුව ද, ඔය ඉවුරේ සිටින විට ‘නීලගිරි සෑය’ පින් බිම උස් කඳු ගොඩැල්ලක් පරිද්දෙන් අඩ අඳුරු අහස් ගැබෙන් යාන්තමට වෙන්කර හඳුනා ගත හැකි ය. වන මල් සුවඳ තැවරුණු නිරාමිස සුළං රැල්ලක්, උන් හිටි ගමන් නින්දත් නො නින්දත් අතර මිහිරියාවකට කිති කවනු දැනෙයි. හැඩ ඔයෙහි දියවර බසින ජුබු ජුබුව හැර, අලූයමෙහි ගිලූණු හාත්පස වන පෙත් නිහඬ ය. අපි, ඔය ඉවුරේ ඉදි කෙරුණු ‘පුරාවිද්‍යා වාඩිය’ ආලින්දයේ ලෑලි බංකුවක දිගෑදී සිටියෙමු.
 

‘කාටුව මැදින් තමයි යන්න තියෙන්නේ. ඒත් උදෙන්ම යන්න බෑ. වල් අලි ඉන්නවා. වලස්සු ඉන්නවා. කොටියා ඉන්නවා. උන් ටිකක් ඉවත් වුණාම තමයි කැලේට යන්න වෙන්නේ. සෑය ළඟ ඉඳලා කිලෝමීටර් හත අටක් කැලෙන් යන්න වෙනවා’, නිහැඬියාව බිඳිමින් සම්පත් කීවේ ය.
 

පුරාවිද්‍යා වාඩිය
සම්පත් ගුරුසිංහ, ‘නීලගිරි සෑය’ පුරාවිද්‍යා කැණීම් භූමියේ ස්ථාන භාර නිලධාරියා ය. 2011 වසරේ ජූලි මාසයේ දී පොතුවිල්, ලාහුගල ඔස්සේ හැඩ ඔය නිම්නයට පැමිණි හෙතෙම, මේ වන පෙත් අරභයා බොහෝ දේ දනියි. ඒ දැනුම නිර්ලෝභීව අපට පහදයි.
 

‘කාටුව’ හරි ‘කටුව’ හරි කියන්නේ, කටු පඳුරු සහිත කැලෑව කියන එකයි. ඔය ගමන යන්න හරියට පාරක් තොටක් නෑ. වල් අලි, කුළු හරක් වගේ සත්තු ගිය අහරවල්, වල් ඌරෝ අල හිටවන්ඩ කොරටු හාරපු මඩ වලවල්, වැහි වතුර බැහැපු ආරවල් දිගේ තමයි යන්න වෙන්නේ, කැලේ පුරාම නටබුන් තියෙනවා. චෛත්‍ය ගොඩැලි, ආරාම සංකීර්ණ වගේ තැන්, සඳකඩ පහන්, මුරගල් බොහොමයක් දකින්න පුළුවන්’, ඔහු කියා ගෙන යයි.
 

අපි මහත් කුතුහලයෙන් යුතුව අසා සිටියෙමු. ඔහු කියන ඉතිහාස කතා බෙහෙවින් විචිත‍්‍රවත් ය.
 

අම්පාර දිස්ත‍්‍රික්කයෙහි පොතුවිල් නගරයට නුදුරින් වූ ‘ලාහුගල’, පෞරාණික ප‍්‍රදේශයකි. එය පිහිටියේ, මරගල කන්ද ඇතුළු මොණරාගල දිස්ත‍්‍රික්කයෙහි සාර වන පෙත්වලින් උපත ලබා, අරුගම්බේ කලපුවෙන් සමුදුර සිප ගන්නා ‘හැඩ ඔයේ’ පහළ නිම්නය දෙසිනි. ලාහුගල-කිතුලාන ජාතික වනෝද්‍යානයත්, ලාහුගල ම`ගුල් මහා විහාරයත්, මේ ඉසව්ව රටට ප‍්‍රකට කළ  අනෙකුත් ගාම්භීර අංගයෝ වෙති. නැගෙනහිර පළාතේ සුප‍්‍රකට ‘දීඝවාපී සෑයට’ පමණක් දෙවැනි ‘නීලගිරි සෑය’ පිහිටියේ ද ලාහුගලට නුදුරු මහ වන මැද ය. එය ලංකාවේ ඉතා පෞරාණික බෞද්ධ ආරාම සංකීර්ණයකි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නීලගිරි සෑයේ කැණීම් වැඩ ඇරඹුවේ 2011 වසරේ ජූලි මාසයේ ය. එය පර්යේෂණ කැණීමකි. ඒ අතරතුර, කැණීම් නිලධාරීහු සෑයට නුදුරු නීලගිරි කන්ද ගවේෂණය කළහ. ඒ අසල පිහිටි ලෙන් ගුහා සංකීර්ණයක් මෙන්ම, වනයේ විශාල ප‍්‍රදේශයක විසිරී ඇති බෞද්ධ ආරාමික නටබුන් ද ගවේෂණය කළහ. ඉන් බොහොමයක් නටබුන්, ඊට පෙර මිනිස් ඇසට හසුවී නො තිබිණි. 


කැණීම්වලින් ද සිරිපතුල් ගල්, සධාතුක රන් කරඬු, පළිඟු කරඬු ආදිය ද හමු විය. නීලගිරි කන්දේ පෞරාණික ලෙන් ගුහා සංකීර්ණයෙන් ‘සීගිරි සිතුවම්වලට’ සමාන බිතු සිතුවම් සමූහයක් පවා සොයා ගැනුණි. එකල ඒ සියල්ල, පත්තර ලෝකයට  මහත් කුතුහලය දැනවී ය.
 

එහි ප‍්‍රතිඵලය වූයේ 2012 වසරේ අප‍්‍රියෙල් මාසයේ දී, නීලගිරි සෑය කැණීම් දැක බලා ගැනීමේ චාරිකාවක් සංවිධානය වීමයි. අපි එක් සති අන්තයක ‘නීලගිරි සෑය’ සොයා හැඩ ඔය නිම්නයට ගියෙමු.
ලාහුගලින් හැරී, කරවටක් වතුරේ බැස, කඹයක එල්ලී, හැඩ ඔය තරණයකර නීලගිරි සෑය පින් බිමට ද, එතැනින් මහ වන මැදින් නීලගිරි කන්දට ද ගිය ගමන, යම් තරමකට ත‍්‍රාසජනක එකක් විය. නීලගිරි සෑය කැණීම් භූමියෙහි ස්ථාන භාර නිලධාරී සම්පත් ගුරුසිංහ සහ පර්යේෂණ සහකාර පාලිත අත්තනායක යන මහත්වරු අපට හමු වූයේ එහි දී ය. නිදි වර්ජිතව ගෙවෙන මේ අලූයම් කතාබහ, අපේ ගමනේ මනරම් අත්දැකීමක් වූයේ ය. 


‘අපි ගමේ දෙතුන් දෙනෙකුටත් එන්ඩ කියලයි තියෙන්නේ. උදේ අටට විතර යමු’, පාලිත අත්තනායක මහතා කීවේ ය.
 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එකල නීලගිරි සෑය කැණීම් ව්‍යාපෘතිය ආරම්භ කළේ, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ මග පෙන්වීම අනුව ය. විෂය භාර අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා ද, අමාත්‍යංශ ලේකම් කාන්ති විජේතුංග මහත්මිය ද, මේ සඳහා මහත් උනන්දුවක් දැක්වූවෝ ය. කැණීම් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වූයේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ ය. එවකට නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ආචාර්ය නිමල් පෙරේරා මහතා කැණීම මෙහෙය වීය. ව්‍යාපෘතිය කරට ගෙන සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයයි. ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ගත් කල, නීලගිරි කැණීම සුවිශේෂ ය. ඉන් ඉපැරණි රුහුණ යළි මතු වීම, ඊට හේතුවයි.
 

කොළඹින්-අලූයමින්
කොළඹ ‘ලක්බිම’ කන්තෝරුවෙන් අලූයමින් පිටත් වුව ද, මග දිගට වට වැස්ස අපේ ගමන් වේගය බාල කළේ ය. කෙසේ වෙතත්, සන්ධ්‍යා භාගය එළඹෙද්දී අප හැඩ ඔය නිම්නයට කැටුව යාමට අපේ මාතලී, ‘බණ්ඩාරට’ හැකි විණි. ලාහුගල කුඹුරුවලට හැඩ ඔයේ දියවර බෙදන ඇලක, අබලන් බෝක්කුවකින් අසීරුවෙන් එතෙර වුව ද, ගමනේ මුල් අදියර හැඩ ඔය ඉවුරෙන් හමාර කිරීමට අපට සිදු විය. බණ්ඩාර වෑන් රථය උස් බිමක ගාල් කළේ ය. දෙගොඩ තලා යන හැඩ ඔය, දැන් අප ඉදිරියේ ය. එය ගලා බසින්නේ ඇත්තටම සැඩ පරුෂ ලීලාවෙනි. ගඟෙන් මෙගොඩ, ලාහුගල ගම්මානයයි. එගොඩ, ලාහුගල මහ වනපෙතයි. වසර දහස් ගණනක් පුරාවට පොළොවෙහි නිදන, බොදු බැතියෙන් ඇළලූණු දියුණු ශිෂ්ඨාචාරයක නටබුන්, මහ වනය සහ වන සතුන්  මිස, එහි කිසිදු මිනිස් වාසයක් නැත්තේ ය. කැණීම් නිලධාරීන් විසින් ගඟට බසින තැන, දෙපස ඇති කුඹුක් ගස් දෙකක දිගු කඹයක් ගැට ගසා තිබේ. ගඟෙන් එතෙර විය යුත්තේ එහි එල්ලී ගෙන ය. ගඟ දෙස බැලීම වුව ද, සිතට තිගැස්මක් ඇති කරයි!

මේ අතර, කිසියම් තරුණයෙක් කඹයේ එල්ලී ගඟ තරණය කරමින් මෙගොඩට පැමිණියේ ය.
 

‘මහත්තයල ද ‘ලක්බිම’ පත්තරෙන් ආවේ?’ ඔහු ඇසී ය.
අපි ‘ඔව්’ කීවෙමු.
 

‘මම වසන්ත. පුරාවිද්‍යා වාඩියෙන් ආවෙ මහත්තයලා එක්ක යන්න. ගඟේ අනෙක් පැත්ත පපුවට විතර ගැඹුරුයි. ඒත් කඹේ අල්ල ගෙන යන්න පුළුවන්’, ඔහු කීය.
 ඉක්බිති තවත් දෙදෙනෙක් එගොඩින් පැමිණියහ. ඔවුන්ගේ පිහිටෙන් අපි එතෙර වීමු. (වර්තමානයේ මෙම ස්ථානයෙහි කුඩා පාලමක් ඉදිකර තිබේ. එබැවින් දැන් ගඟේ බසින්නට  ඕනෑ නැත.)
 

නීලගිරි කැණීම් කණ්ඩායම ලැගුම් ගෙන සිටින වාඩිය පිහිටා ඇත්තේ එතැන ගඟ ඉවුරේ ය. එතැන සිට නීලගිරිසෑය කැණීම් භූමියට, ගුරු පාරක් ඔස්සේ කිලෝමීටර් හතරක් පමණ වනය මැදින් යා යුතු ය. අපි පුරා විද්‍යා වාඩියට ගියෙමු. සම්පත්ලා, පාලිතලා ඇතුළු පිරිස අප මහත් සෙනෙහසින් පිළි ගත්හ. ‘අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිමල් පෙරේරා සර්රුත් අද රෑට මෙහේ එනවා’, ඔවුහු අලූත් ආරංචියක් ද දුන්හ. පුරාවිද්‍යා වාඩිය, ටකරන් ගසා, බූරු ඇඳන් දමා කදිමට සකස්කර තිබිණි. ඔවුන් එය ඉදිකර තිබුණේ වනයේ එකම ගසක්වත් කපා දමන්නේ නැතිව ය.
 

රුහුණේ ඉතිහාස පුවත
‘රුහුණ’ හෙවත් ඉපැරණි මාගම රාජධානියේ කතාව විචිත‍්‍රවත් ඉතිහාස පුවතකි. මහාවංශය ඇතුළු ලිිඛිත මූලාශ‍්‍රවල සඳහන් වන අන්දමට, එය ඇරඹෙන්නේ රාජකීය කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙසිනි.
 

එකල, අනුරාධපුරයේ පාලකයා දේවානම්පියතිස්ස (ක‍්‍රි. පූ. 307) රජ්ජුරුවෝ ය. ඔහුගේ බාල සොහොයුරු වූ ‘මහානාග කුමාරයා’ යුව රජු  ය. එනම් දේවානම්පියතිස්ස රජුගේ ඇවෑමෙන් රටේ රජකම හිමි වන්නේ ඔහුට ය. කෙසේ වෙතත් දේවානම්පියතිස්ස රජුගේ විසවුන්ගේ කැමැත්ත අනෙකකි. ඇය උත්සාහ කරන්නේ,, ඊළඟට රටේ රජකම තම පුතණුවනට පැවරීමට ය. ‘මහානාග කුමාරයා’ එයට බාධාවකි. එබැවින් ඇය කළේ ඔහු මරා දමන්නට සැලසුම් කිරීමයි. එය මහානාග කුමාරයාට සැලවිණි. ඉක්බිති ඔහු හොර රහසේම රුහුණට පලා යන්නේ ය. එහි දී ඔහු ‘රෝහණ රාජ්‍යය’ බිහි කරන අතර, ‘මාගම් නුවර’ හෙවත් ‘මහාගාමය’ අගනුවර බවට පත්කර ගනිමින් රජකම් කරන්නේ ය. මෙය සිදු වන්නේ අදින් වසර 2300කට පමණ ඉහත ක‍්‍රි. පූ. 03 වැනි සියවසේ දී ය. මහානාග කුමරුන් පැමිණෙන විටත් රුහුණේ ‘දස බෑ රජවරුන්’ සහ ‘ක්ෂත‍්‍රිය පෙළපත්’ දෙකක් විසූ බව මහාවංශය කියයි.
 

කැණීම් කෙරුණු හැටි
මහානාග කුමරුන් ඇරඹූ රෝහණයේ අක්මුල් සොයා, හැඩ ඔය නිම්නයට ගිය මුල්ම පර්යේෂකයා, ඒ. එම්. හෝකාර්ට් මහතා ය. ඔහු බි‍්‍රතාන්‍ය පාලකයන් යටතේ, අපේ රටේ දෙවැනි පුරාවිද්‍යා කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරද්දී හැඩ ඔය නිම්න ප‍්‍රදේශයේ ගවේෂණවල යෙදුණි. ඉක්බිති, 1965 සහ 1981 යන වර්ෂවල පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ හැඩ ඔය නිම්නයට වැඩමකර, නීලගිරි සෑය සහ නීලගිරි කන්දේ නටබුන් ගවේෂණය කළහ. ඊට පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇරයුම පරිදි, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ, මහාචාර්ය රාජ් සෝමදේව මහතා නීලගිරි ඉසව්වේ නටබුන් ගවේෂණය කළේ ය. ඔවුන්ගේ පා සටහන් අනුව යමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නීලගිරි සෑය කැණීම් ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ, 2011 වසරේ ජූලි මස 07 වැනිදා ය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා නීලගිරි කැණීම් ව්‍යාපෘතියෙහි අරමුණු පැහැදිලි කරන්නේ මෙසේ ය.
‘වසර තිහක යුද්ධය නිසා රටේ උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල පුරාවිද්‍යා ස්ථාන නිසි පරිදි සංරක්ෂණය කරන්න නො හැකි වුණා. ඉතින් යුද්ධය අවසන් වුණාට පස්සේ, ඒ ප‍්‍රදේශවල ඇති පුරා විද්‍යා ස්ථාන හඳුනා ගෙන, ලේඛනගත කරලා ‘ගැසට් කරන්න’ අපි තීරණය කළා. ‘නීලගිරි සෑය’, රුවන්වැලි සෑය, දීඝවාපිය වාගෙ වන්දනීය ස්මාරකයක්. ඒක සංරක්ෂණය කළ යුතුයි. ඊට පෙර එහි මුල් සැලැස්ම, පසු ප‍්‍රතිසංස්කරණ අවධි සහ අවසාන ප‍්‍රතිසංස්කරණ අවධිය නිසි නිවැරදිව හඳුනා ගත යුතුයි. ඒ සඳහා තමයි අපි මේ පර්යේෂණ කැණීම කරන්නේ. ඒ සමගම අපි මේ වනාන්තර ඉසව්ව විධිමත් ලෙෂ ගවේෂණය කරනවා. එයින් හමුවන පෞරාණික ස්ථාන ලේඛණගත කරනවා. මේ සියල්ල වෙහෙර-විහාර, ලෙන් ගුහා, වැව්, ජනාවාස, සෙල් ලිපි, ගොඩනැගිලි අවශේෂ විය හැකියි. අවසානයේ නීලගිරි සෑය ආශ‍්‍රිත භූමිය, ‘බෞද්ධ විහාරාරාම සංකීර්ණයක්’ හැටියට ගැසට් කරලා නීතිගත කරනවා’
(මතු සම්බන්ධයි)
(ඡායාරූප ලක්බිම පුවත්පත අනුග‍්‍රහයෙනි.)
2016/04/06.


2 comments:

  1. ඉතාම සිත්ගන්නා සුළු විස්තරයක්. යුද්දකාලේ මහා සේනාවක් එක්ක වවුනියාවේ ඊසාන දෙසින් පිහිටි ඒරුපොතාන ගලට ගිහින් සෙල්ලිපි සහ නටඹුන් නැරඹු හැටි මතක් වුණා.

    මේ තැන් දැකබලාගන්න මහජනතාවට දැනට වඩා පහසුකම් සැලැස්වීම වැදගත්. අනික මේවා රැකගැනීම. රැකගත්තේ නැත්නම් සංස්කෘතික ආක්‍රමණ එන්න පුළුවන්.

    ReplyDelete
  2. ප්‍රතිචාරයට ස්තුතියි.

    ReplyDelete