Total Pageviews

Thursday, May 5, 2016

නීලගිරි සෑ වරුණ -03-සධාතුක රන් කරඬු හමුවේ

හැඩ ඔය නිම්නයෙන් මතුවන
රුහුණු-මාගම් ලකුණ-03
 


නීලගිරි සෑ වරුණ








ගරා වැටුණු පස් අතරින් සධාතුක රන් කරඬු හමුවේ
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡුායාරූප-ප‍්‍රෑන්ක් ද සොයිසා)
නීලගිරි සෑය කැණීම් භූමිය හුදෙකලා මහ වන මැද පිහිටිය ද, මහා වැඩ කඳවුරක සිරි ගත්තේ ය. අප එහි ගිය දිනවල කෙරුණේ දාගැබෙහි පාදම මෙන්ම ඉපැරණි පේසා වළලූ ද, අවසාන වරට කෙරුණු ප‍්‍රතිසංස්කරණ ද හඳුනා ගැනීමේ පර්යේෂණ කැණීමයි.
 


පුරාවිද්‍යාඥයන් කියන හැටියට, පැරණි දාගැබ් සංරක්ෂණය ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. එය සම්පූර්ණයෙන්ම විද්‍යානුකූලව කළ යුත්තක් බව, පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා නීලගිරි සෑය අබියස දී අපට කීවේ ය.
 
ආචාර්ය නිමල් පෙරේරා ඇතුලු කැණීම් නිලධාරීන් තිරස් කැපුම අසල

‘විශාලත්වයෙන් වැඩි පැරණි දාගැබ් සංරක්ෂණය කිරීම බොහොම බැරෑරුම් කටයුත්තක්. ඒක උන්හිටි ගමන් කරන්න බෑ. දැනට ක‍්‍රියාත්මක වන පුරාවිද්‍යා ජාතික ප‍්‍රතිපත්තියේ හැටියට, කිසිම පැරණි දාගැබක මුල් සැලැස්මත්, විශේෂයෙන්ම අවසන් ප‍්‍රතිසංස්කරණ අවධියත්, පැරණි පේසා වළලූත් අධ්‍යයනය කරන්නේ නැතිව, ඒවා ප‍්‍රතිසංස්කරණයට අත ගහන්න බෑ. ආවාට-ගියාට වැඩ කළොත් ඒ දාගැබ් කඩා වැටෙන්න පුළුවන්. දැන් අපි නීලගිරියේ කරගෙන යන්නේ, එහි පාදමත්, මුල් පේසාවනුත්, අවසාන ප‍්‍රතිසංස්කරණ අවධියත් සොයා ගැනීමේ කටයුත්තයි.  ඒ සඳහා අපි පර්යේෂණ කැණීමක් කරගෙන යනවා.’ ඔහු පැහැදිලි කළේ ය.
 

නීලගිරි සෑය දුටුමතින්ම අනුරාධපුරයේ ඇති වන්දනීය මහා දාගැබ් සිහිපත්කර වන සුළු බව මීට ඉහත ද පැවසුවෙමු. එසේම එය, රුහුණේ ඇති තිස්සමහාරාමයේ ‘මහාරාම දාගැබ’, ‘යඨාල වෙහෙර’, ‘සඳගිරි දාගැබ’ සහ අම්පාරේ ‘දීඝවාපී දාගැබ‘ ද බැති සිත් ඇතිව අපට සිහිපත් කරවන්නේ ද වෙයි. කිහිප පොළකින්ම ගරා වැටී, මුදුන් කොටසෙහි කැලෑ ගස් ගොමුවක්ම වැවුණු නීලගිරි සෑය, එකල දිස් වූයේ අනුරාධපුරයේ දී ඇස ගැටෙන ජේතවනය හෝ අභයගිරිය වැනි මහ දාගැබක් පරිද්දෙනි. සෑය බැඳි ගඩොළු බැම්මේ සෑහෙන කොටසක් කාලයේ සැඩ ප‍්‍රවාහයට හසු නොවී සුරැකී සිටින්නට වෙර දරනු වැන්න. අපි සෑ රදුන් පැදකුණු කළෙමු. ගල් කණු, ගලින් කළ මල් ආසන, සහ තවත් බොහෝ නටබුන් සෑ මළුව ආශ‍්‍රිතව විසිරී ඇති සැටි දුටුවෙමු. අතරමග හමුවන ශෛලමය සඳකඩ පහනක  හෝ පිය ගැටයක ගෙවී ගිය දාරයක්, වසර දෙදහසක් පමණ මුළුල්ලේ එහි ආ-ගිය බැතිමත් බොදුනුවන් පිළිබඳ නිහඬව සාක්ෂ දරනු වැන්න.
නීලගිරි සැයෙහි වපසරිය වට අඩි 628කි. ගරා වැටුණු තත්ත්වයෙන් පෙන්නුම් කරන උස අඩි 72කි. මේ වන්දනී ජාතික ස්මාරකය එකල ඈතට දිස් වූයේ වන ගොමුවෙන් සුසැදි  කුඩා කඳු ගැටයක් පරිද්දෙනි. දාගැබත්, ඒ ආශ‍්‍රිත වන භූමියත්, හැඩ ඔය නිම්නයෙන් පිබිදුණු ඉපැරණි රෝහණ රාජධානියේ අක්මුල් ලොවට හෙළිදරව් කරන්නට පේවී සිටිනු දැනෙයි.
 
ගරා වැටුණු පස්  ඉවත් කිරීමෙන් පසු

අවිධිමත් ලෙස කෙරුණු ප‍්‍රතිසංස්කරණ නිසා ඉකුත් කාලයෙහි ලංකාවේ මහා දාගැබ් දෙක තුනක්ම කඩා වැටුණි. අනුරාධපුරයේ මිරිසවැටිය සහ තිස්සමහාරාමයේ සඳගිරිය යන දාගැබ්, ඒ සඳහා ප‍්‍රකටතම නිදසුන් වෙයි. එබැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අම්පාරේ දීඝවාපි මහා දාගැබත්, ලාහුගල නීලගිරි සෑයත් සංරක්ෂණය කරන්නේ, ජාතික පුරාවිද්‍යා ප‍්‍රතිපත්තියේ එන කොන්දේසිවලට අනුකූලව බොහොම පරිස්සමිනි. නීලගිරි සෑය 1976 වසරේ දී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රතිසංස්කරණය කරන්නට ගියේ ය. එහෙත් එය ඉදිරියට ගෙන යන්නට හැකි නොවී ය.
 

‘ඒ කාලේ මේ වගේ කැණීමක් කරලා දාගැබ අධ්‍යයනය කරලා, ඊට පස්සේ සංරක්ෂණය කරන ක‍්‍රමයක් තිබුණේ නෑ. දැන් අපි නිවැරදිව වැඩකර ගෙන යනවා’, යයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කොළඹ දී පවසා තිබිණි.
 

ඒ. එම්. හෝකාර්ට් මහතාගේ (1928) ගමනින් පසුව, නීලගිරි සෑය අරභයා සවිස්තරාත්මක සටහනක් හමු තබන්නේ පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් ය. ඒ, 1965 වසරේ දෙසැම්බරයේ දී කළ ගවේෂණයෙන් පසුව ය. 1992 වර්ෂයේ දී පළ කළ ‘උතුරු නැගෙනහිරි හෙළ බොදු උරුමය’, කෘතියෙහි උන් වහන්සේ මෙසේ සඳහන් කරති.
‘ගරා වැටී මුළුමනින්ම රූස්ස ගසින් හා ළඳු කැලයෙන් වැසී කඳු ගැටයක් සේ පෙනෙන මෙහි ප‍්‍රමාණය නිර්ණය කිරීම අපහසුය. ඉතා අපහසුවෙන් යටි වැවිල්ල මඩිමින් එය මුදුනට ගොස්, නැවත වටා ගොස් පරීක්ෂාකර බැලූවෙමි. මට පෙනුණ හැටියට සෑ ගොඩැල්ල අඩි  එකසිය තිහක් පමණ උස් වෙයි. එහි ගර්භයෙන් ඉහළ කොටස පහතට ගරා වැටී, ගර්භයට ද හානි සිදුවී තිබේ. ගර්භය නිදන් හොරුන් හාරා සම්පූර්ණයෙන් ‘පරීක්ෂාකර’ තිබේ. මේ නිසා ස්තූපයේ ගර්භයට මහත් හානි සිදුවී ඇත. එහි ගල් පලූ ඒ මේ අත දමා තිබේ. ගර්භය වසන සෙල් පුවරුව සුන්බුන් අතරින් මදක් ඉදිරියට නෙරා, ස්තූපය මත මතුවී තිබේ. කටු පඳුරු කැලය වැවී මේවා වසා ගත් බැවින්, නියම පරීක්ෂණයක් කළ නො හැකි විය. පැරණි යූප කණුවේ කොටසක් ද ඒ මත පෙරැුලී ඇත. ඡත‍්‍ර ගලේ ඇතැම් කැබලි සෑය මතත්, විශාල කොටසක් මදක් පහතටත් පෙරැුලී රැඳී තිබෙනුත් දක්නට ලැබිණි. ස්තූපයේ ගඩොළු බැම්ම තැන තැන මුල් ස්වරූපයෙන්ම ශේෂවී තිබේ. මේ ගඩොලක් දළ වශයෙන් අඩියක් පමණ දිගු ය. ලාහුගල ප‍්‍රදේශයේ ඉතා පැරණි ස්තූපවල දක්නට ලැබෙන ගඩොළු මේ හා සමාන වේ. යෙ දැනට පවතින ස්වරූපයට වට ප‍්‍රමාණය අඩි දහසක් පමණ වෙයි. ගරා වැටුණු ගඩොලින් සහ පසින් පාදම වැසී, ඒ මත ගස් වැල් වැවී තිබේ. ස්තූපය මත වැවී ඇති විශාල ගස් නිසා ගරා වැටීම නැවතුණා විය යුතු ය. ශාස්ත‍්‍රවෙල ද විශාල ස්තූප දෙකක් රූස්ස ගස් වැවී ඇති නිසා සුරැකී තිබේ. නීලගිරිය රැකගෙන ඇත්තේ වනයම විසිනැයි සිතේ. සමස්තයක් ලෙස සලකන විට, මේ ස්තූපය කොටස් දෙකකින්  නිම වූවක් බව පෙනී යයි.  ස්තූපය වටා ප‍්‍රාකාරයක් තිබූ බවට එහි බිම විසිරී ඇති ශේෂවලින් පැහැදිලි කෙරේ.  ඒ වටා ස්ථාන කිහිපයක නටබුන් ගොඩැලි වශයෙන් තිබේ. මේවායෙහි සමහරක පැරණිම යුගයට වැටෙන චාම් නිමාවෙන් යුත් ගල් කණු තිබේ. ඇතැම් විට මේවා කිසියම් ගොඩනැගිලිවලට අයත්වූ ඒවා විය හැකි ය. මෙවන් විශාල පුරා වස්තුවක් වුව ද, හෝකාර්ට් මහතාගේ ගවේෂණය හැර කිසිදු පරීක්ෂණයක් මේ තාක්කර නැත.’ (මේධානන්ද-1992)
 
සෑයෙහි දර්ශනයක්

පසුව 2011 වසරේ සිට හැඩ ඔය නිම්නයට යන මහාචාර්ය රාජ් සෝමදේවයන්ටත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සම්පත් ගුරුසිංහ, පාලිත අත්තනායක ඇතුළු කැණීම් කණ්ඩායමටත් මුණ ගැසෙන්නේ, ඊටත් වඩා විනාශයට ලක්වූ නටබුන් සමූහයකි.
‘යූප කණුවේ‘ (කොත් කැරැල්ල පිණිස භාවිත කරන පැරණි ශෛලමය නිර්මාණය) කොටස්  ගරා වැටුණු සුන්බුන් අතර තිබිලා අපිට හම්බ වුණා’,සම්පත් සහ පාලිත දුක්මුසුව කීවෝ ය.
 

පුරාවිද්‍යා නිධාරීන් සිය කැණීම් ආරම්භ කළේ, සෑයෙහි ගර්භය ගරා වැටීමෙන් රූටා ගිය පස් රැඳුණු ස්ථානයෙනි. එහිදී ඔවුන්ට සධාතුක රන් කර`ඩු දෙකක් ද, පළිඟු කරඬු දහයක්ද හමු විය. ඉන් පසුව ඔවුන් කැණීම් කළේ දාගැබෙහි පාදම සහ මුල් පේසාවන් හඳුනා ගැනීම පිණිස, එහි සිරස් කැපුමක ආකාරයෙනි. එහි දී ඔවුන්ට ගලින් නිම කළ ඉපැරණි පේසා වළළු සහිත ස්තරයක් හමුවී තිබිණි.
 
උදෑසනින්ම කැණීම් භූමියට

‘ගරා වැටිලා තියෙන්නේ අවසන් වරට පිිළිසකර කෙරුණු නිමැවුම කියලයි අපට හිතෙන්නේ. මේ ගල් පේසාවන් ඊටත් වඩා පැරණි අවධියක් පෙන්නුම් කරන බව පේනවා’ යයි සම්පත් ගුරුසිංහ මහතා කීය.

(මතු සම්බන්ධයි)
(ඡායාරූප ලක්බිම පුවත්පත අනුග‍්‍රහයෙනි.)
2016/05/06.

6 comments:

  1. මිරිසවැටිය කඩා වැටෙන ආකාරයට දේශපාලන වාසි තකා විකාරයක් කිරීම මහා අපරාධයක් නේද?

    ReplyDelete
    Replies
    1. මිරිසවැටිය පසුව පිළිසකර කළා-ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  2. බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  3. පුරා විද්‍යාව ගැන තවත් ආසාවක් ඇතිවෙනවා මේ විස්තර කියවනකොට. දැන් එතකොට ඔය ගස් ඉවත් කරලා, ඔය තරම් මඳ වේගයෙක් කැණීම් කරනකොට ගත වෙන කාලය අතරතුර වැටෙන වර්ෂාවලින් ස්ථූප හානි වෙනවා ඇතිනේ

    ReplyDelete
    Replies
    1. ඔවුන් එයට පියැස්සක් සාදා ගන්නවා. එයින් හානි වෙන්නේ නෑ. මේ දිනවල නීලගිරි ගියොත් මුළු සෑයටම ටකරන් පියැස්සක් හදා ගෙන සංරක්ෂණ වැඩ කරන හැටි දකින්න පුළුවන් බව පුරාවිද්‍යා මිතුරන් කිව්වා. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete