Total Pageviews

Sunday, November 10, 2013

ඕස්ටේ‍්‍රලියාවට පලා යාමේ සංසාර පුරුද්ද




 ඕස්ටේ‍්‍රලියාවට පලා යාමේ සංසාර පුරුද්ද




   ලංකාව ද ඇතුළුව ආසියාකරයේ මිනිසුන් මුහුදු මාර්ග ඔස්සේ  ඕස්ටේ‍්‍රලියාවට පලායාම, දැන් දෙ-රටටම ලොකු ප‍්‍රශ්නයක් වී තිබෙනු පෙනෙයි. ඔවුන් හ(දුන්වන්නේ ද ‘අනවසර සංක‍්‍රමණිකයන්’ යනුවෙනි. ප‍්‍රශ්නයෙන් බැට කමින් සිටින  ඕස්ටේ‍්‍රලියානු රජය දිගින් දිගටම කියන්නේ, තම රටට අනවසර සංක‍්‍රමණිකයන් පිළි නො ගන්නා බව ය. එසේ පැමිණෙන අය වහාම ඔවුන්ගේ රටවලට ආපසු පටවා යවන බව ද එ රට බලධාරීහු නිරතුරුව පවසති. අනතුරු අ(ගවති.

     අනවසරයෙන්  ඕස්ටේ‍්‍රලියාවට කඩා වැදීම ගැටළුවක් හෝ වරදක් බව ඇත්ත ය. එසේ වුවත්, එය එක් අතකට, ‘සංසාර පුරුද්දක්’ වැනි යයි යමෙකුට කල්පනා විය හැකිය! ලංකාව හා ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල වැසියන්,  ඕස්ටේ‍්‍රලියාව මුලින්ම ජනාවාස කළ නවීන ඇබොරිජින් ආදි වාසීන්ගේ මුතුන්-මිත්තන් වීම, ඊට හේතුව ය! එය අද පුරාවිද්‍යාත්මක හා ජාන විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී ඇති කාරණයකි. අදින් වසර 45,000 ක් තරම් අතීතයේ දී ආසියාතික ‘නවීන මිනිසුන්’  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ බව ඉන් හෙළි වී තිබේ. ඒ අර්ථයෙන් ගත් කල අනවසරයෙන් හෝ  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීම, ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල ජනයාගේ ‘සංසාර අයිතියක්’ බව යමෙකුට තර්ක කළ හැකි ය!

     මේ කාරණා ඉස්මතු වන්නේ, මනුෂ්‍යයා ලෝකයට බිහිවීම, සහ පරිණාමය වෙමින් එක් එක් ප‍්‍රදේශවලට ව්‍යාප්ත වීම ගැන කියැවෙන ‘අප‍්‍රිකාවෙන් නික්මීම’   (Out of the Africa) නමැති සුප‍්‍රකට න්‍යාය ඔස්සේ ය. එයින් විස්තර කෙරෙන ආකාරයට, මනුෂ්‍යයා ලෝකයට බිහි වන්නේ අදින් වසර විසි ලක්ෂයකට පමණ ඉහත අප‍්‍රිකානු මහද්වීපයෙනි. ඉක්බිතිව ක‍්‍රමිකව පරිණාමය වෙමින් යන ඔවුහු, අදින් වසර 1,00,000-80,000 කට පමණ  ඉහත ඊසාන දිග සහ නැගෙනහිර අප‍්‍රිකාවෙන් නික්ම ලොව පුරා ව්‍යාප්ත වෙති. ඒ, ‘හෝමෝ සේපියන්ස් සේපියන්ස්’ හෙවත් අප වන් ‘නවීන මානවයන්’ (Modern Man)  බවට පරිණාමය වෙමිනි. ඉන් එක් පිරිසක්, පැරණි ‘සීනායි අර්ධද්වීපය’ හෙවත් වර්තමාන මැද පෙරදිග ඔස්සේ ‘යුරේසියාව’ හෙවත් වත්මන් යුරෝපය දෙසට සංක‍්‍රමණය වන අතර, තවත් පිරිසක් ‘සීනායි අර්ධද්වීපය’ සහ අරාබි වෙරළ ඔස්සේ ආසියාවට පැතිර යති. ඉන් පසුව ඔවුන්, ආසියාව, ලංකාව, ‘සුන්දා පළිහට’ අයත් රටවල් වන වත්මන් ඉන්දුනීසියාව, ජාවා, මැලේසියාව, සුමාත‍්‍රා සහ බොර්නියෝ දූපත් ඔස්සේ සංක‍්‍රමණය වෙමින් පැපුවා නිව්ගිනියාවට පැමිණති. එතැනින් පැරණි ‘ඔස්ට‍්‍රලේසියාව’ හෙවත් වර්තමාන  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වෙති. පුරාවිද්‍යාඥයන්ට අනුව,    ඕස්ටේ‍්‍රලියාව යනු ‘නව ලොව’ ය. එය මානව පරිණාමයේ කෙළවරින්ම පිහිටි රටක් වීම, ඊට හේතුවයි.


     ‘අප‍්‍රිකාවෙන් නික්මීම’ නමැති න්‍යාය තවදුරටත් පෝෂණය කරන පුරාවිද්‍යාඥයන්, නවීන මානවයන් පෙරදිගට සංක‍්‍රමණය වූ මාර්ගය ‘දකුණු පිවිසුම් මාර්ගය’ (Southern Dispersal Route)  නමින් හ(දුන්වති. සමස්ත සංක‍්‍රමණය වර්ෂ ලක්ෂයකට අධික කාලයක් මුළුල්ලේ කෙරෙන්නට ඇතැයි විශ්වාස කරති.

දකුණු පිවිසුම් මාර්ගය අරභයා වර්තමාන කියවීම, බොහොම විචිත‍්‍රවත් ය. අදින් වසර 80,000 කට පමණ ඉහත අප‍්‍රිකාවෙන් නික්ම ගිය මානවයන්, ලෝකයේ අතුරු දෙසට සංක‍්‍රමණය වී, යුරෝපය, සයිබීරියාව, දකුණු ආසියාව සහ සුන්දා පළිහ ඔස්සේ  ඕස්ටේ‍්‍රලියාවට පැතිරුණු බව එයින් විස්තර කෙරේ. ඔවුන්ගේ සංක‍්‍රමණයේ කෙළවර  ඕස්ටේ‍්‍රලියාවයි.

   මුල් කාලීන මනුෂ්‍යයන් හෙවත්, හැබිලිස්, ඉරෙක්ටස් සහ නියැන්ඩර්තාල් ආදී හෝමෝවරුන් ලෝකයට බිහි වූයේ, අදින් වසර මිලියන 02 කට හෝ, 1.67 කට ඉහත දී ය. එය සිදු වූයේ පෘථිවි ඉතිහාසයේ අවසාන ‘හිම යුගය’ හෙවත් ‘අවසන් ප්ලයිස්ටෝසීන යුගය’ හමාර වීමෙන් පසුව ය. එනම්, පෘථිවි පරිසරය මනුෂ්‍යයන්ට ජීවත් වන්නට තරම් යහපත් තත්ත්වයකට පත් වුණු සමයේ දී ය. ඉන් පසුව අදින් වසර 1,25,000 කට ඉහත දී මනුෂ්‍ය ඉතිහාසයේ මධ්‍ය ශිලා යුගය (අදින් වසර 1,25,000-28,000 අතර කාල පරිච්‍‍‍ඡේදය) එළඹිණි. ලොවට බිහිවූ මානවයා, ඒ වන විට ‘නවීන මානවයෙකු’ බවට පරිණාමය වී සිටියේ ය. ඔහු දකුණු පිවිසුම් මාර්ගය සහ අනෙකුත් මාර්ග ඔස්සේ ලෝකයට ව්‍යාප්ත වූයේ ද නවීන මානවයෙකු වශයෙනි. මනුෂ්‍ය ඉතිහාසයේ ‘මධ්‍ය ශිලා යුගය’ යනු නවීන මානවයන් ලෝකය අස්සක් මුල්ලක් නෑරම ජනාවාස කළ අවධියයි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ, මධ්‍ය ශිලා යුගය යනු ලොව ‘නවීන මානවයන්ගේ යුගය’ බවයි.

   සාගර ජල මට්ටම උස්-පහත් වීම් නිසා අතීතයේ දී ලංකාව සහ ඉන්දියාව, වරෙක එකම ගොඩබිමක් හැටියට පැවතුණි. වරෙක, ගොඩබිම් දෙකක් හැටියට වෙන් වී පැවතුණි. ආචාර්ය සිරාන් දැරණියගල මහතා කළ පර්යේෂණ අනුව, අදින් වසර 7,000-80,000 ත් අතර කාලයේ දී ලංකාව සහ ඉන්දියාව එකම ගොඩබිමක් විය. මේ වකවානුවෙන් වැඩි කාලයක් අයත් වන්නේ, මධ්‍ය ශිලා යුගයට ය. එකල විසූ නවීන මානවයෝ ඉන්දියාව, ලංකාව, මැලේසියාව, බොර්නියෝ දූපත්, ඉන්දුනීසියාව, සහ පැපුවා නිව්ගිනියාව ඔස්සේ ගොඩබිමින් සහ පාරු වැනි යාත‍්‍රා මගින්  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන්න ඇත. පසුව, අදින් වසර 7,000 දී දෙ-රට අතරට සාගර ජලය පැමිණි අතර, ලංකා භූමිය ඉන්දියාවෙන් වෙන් විය.

    නවීන මානවයන් දකුණු ආසියාව ඔස්සේ  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීම සම්බන්ධයෙන් තොරතුරු රාශියක්, මෑතක කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණ ගණනාවකම ස(දහන් විය. ඇමරිකාවේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනත් ඒ. ආර්. කෙනඩි, බි‍්‍රතාන්‍යයේ, කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් මෙලර්ස්, ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් පැට‍්‍රාලියා, ලංකාවේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල,  ඕස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් වන ඬේව්ඞ් බුල්බෙක් සහ ජෝන් කමින්ගා, බි‍්‍රතාන්‍යයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් ඒ. සිම්ප්සන්, හිටපු පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂක සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ පර්යේෂක, ආචාර්ය නිමල් පෙරේරා, බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තෝමස් ක්විස්ල්ඞ්, එස්තෝනියාවේ ටාර්ටා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝර්ජි හජාෂොව්, මහාචාර්ය ජේ. එම්. බවුලර්, සහ මහාචාර්ය ගරම් බාකර් වැනි අය, මේ ගැන පර්යේෂණ කළ විද්වතුන් අතර කැපී පෙනෙති.

    නවීන මානවයන් දකුණු පිවිසුම් මාර්ගය ඔස්සේ  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ බව ඔප්පු කිරීම පිණිස, ඔවුහු කරුණු 03 ක්  සාධක වශයෙන් ගෙන හැර දක්වති. එනම්, නවීන මානව හැසිරීම් (නවීන මානව හැසිරීම් යනු, වර්තමාන මිනිසුන් වූ අපේම හැසිරීම්වල අතීත පිළිබිඹුවකි. එනම්, දුරස්ථ ජනාවාස අතර සංක‍්‍රමණය සහ භාණ්ඩ හුවමාරුව, එකිනෙකා හෝ පවුල් අතර අවකාශය හෙවත් ඉඩකඩ බෙදා-හදා ගැනීම, මළ සිරුරු භූමදානය සහ ආලේපන ගැල් වීම සහ පෞද්ගලිකව ආභරණ පැළ(දීම යන කරුණු හතරයි.), ජ්‍යාමිතික හැඩයේ ක්ෂුද්‍ර ශිලා මෙවලම් ද ඇතුළුව, ගල් ආයුධ සම්ප‍්‍රදායේ සමානත්වය,  සහ පෞද්ගලිකව ආභරණ පැළ(දීමේ චර්යාව යි.

     නවීන මානවයන් විසූ බවට සාධක රාශියක්, ලංකාව ද ඇතුළුව දකුණු පිවිසුම් මාර්ගයේ පුරාවිද්‍යා ස්ථාන ගණනාවකින් හමු විය. ඒ හැම තැනකින්ම, නවීන මානව හැසිරීම් පිළිබිඹු විය. ශිලා මෙවලම් සම්ප‍්‍රදායේ සමානකම් හෙළිදරව් විය. පෞද්ගලිකව ආභරණ පැළ(දීමේ චර්යාව ද දක්නට ලැබිණි. එකම මිනිස් කොට්ඨාශයක් අප‍්‍රිකාවේ සිට ආසියාව ඔස්සේ,  ඕස්ටේ‍්‍රලියාව දක්වා ගමන් කළ බව එහි තේරුමයි!

     නවීන මිනිසා අදින් වසර 60,000-80,000 ත් අතර කාලයේ අප‍්‍රිකාවට සම්ප‍්‍රාප්ත විය. අදින් වසර 70,000-80,000 ත් අතර කාලයේ ඔහු දකුණු අප‍්‍රිකාවේ ‘
Blombos’ සහ ‘Klasies Rever’ යන ලෙන් ගුහාවල ද, අදින් වසර 64,000 කාලයේ ටැන්සානියාවේ  zMumbaZ   සහ කෙන්යාවේ zEnkapune Ya mutoZ     ලෙන්වල ද  විසී ය. අදින් වසර 63,000 කට ඉහත උතුරු ලා ඕසයේ zAnnamite MountainZ නම් භූමියෙහි විසී ය. ඉන් පසුව ඔහු අදින් වසර 40,000 දී ලංකාවේ, කුරුවිට ‘බටදොඹ ලෙන’ (ලංකාවට පැමිණි නවීන මානවයන්, මුලින්ම බිහිකළ ජනාවාසය බටදොඹ ලෙනයි.) ද, බොර්නියෝ දූපත්වල ‘Niah’ ගල් ලෙන ද,  ඕස්ටේ‍්‍රලියාවේ  'Lake Mungo' විල් පන්තිය ද ජනාවාස කළේ ය. අදින් වසර 35,000 කට ඉහත දී ඔහු දකුණු ඉන්දියාවේ ‘ජාවාලපුරම්’ ප‍්‍රදේශය ද ජනාවාස කළේ ය.

     මෙයින් පෙන්නුම් කෙරෙන්නේ, අදින් වසර 80,000-35,000 ත් අතර කාල පරිච්ඡ්දයක දී නවීන මිනිසා අප‍්‍රිකාවේ සිට ආසියාව ඔස්සේ  ඕස්ටේ‍්‍රලියාව දක්වා සංක‍්‍රමණය වෙමින්, ජනාවාස නිර්මාණයකර ඇති බවයි. ඔවුන් ඉන්දියාව, ලංකාව, බෝර්නියෝ සහ  ඕස්ටේ‍්‍රලියාව යන රටවල් ජනාවාසකර ඇත්තේ අදින් වසර 40,000-35,000 ක් තරම් සමාන වකවානුවක ය. ඒ අනුව අද,  ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන මුල් වැසියන් (ඇබොරිජින්වරු), අප‍්‍රිකාව, මැද පෙරදිග, ඉන්දියාව, ලංකාව සහ සුන්දා තලයට අයත් රටවල වෙසෙන මනුෂ්‍යයන්ගේ ලේ ඥාතීන් වන්නේ ය!

  ඉදින්, ලංකාව, ඉන්දියාව, මියැන්මාරය ඇතුළු ආසියාතික රටවල වැසියන් හොර රහසේ හෝ  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීම සංසාරික පුරුද්දක් නො වෙතියි කිව හැකි ද?
2013/11/11.

 
    

No comments:

Post a Comment