Total Pageviews

Wednesday, December 13, 2017

ඇත් දළ සහ ගජමුතුවල අමුතු බලයක් තිබේ ද?




ඇත් දළ සහ ගජමුතුවල 
අමුතු බලයක් තිබේ ද?


(පින්තූරය-අන්තර්ජාලය)

 (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
වන අලි හෝ දළ ඇතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නම් දැරූ උදවියසිටියේ, ලංකාවේ බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී ය. එකල, විසූ ලොකුම අලි ඝාතකයන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් වන්නේ වර්ෂ 1845 දී වැවිලිකරුවෙකු වශයෙන් ලංකාවට පැමිණි සැමුවෙල් බේකර්. ඔහු විසින් දඩයම් කළ අලි-ඇතුන් සංඛ්‍යාව දහස ඉක්මවූ බව කියැවේ. අනෙකා උප දිසාපති වරයෙකු වශයෙන් කටයුතු කළ මේජර් තෝමස් විලියම් රොජර්ස්. ඔහු විසින් මරා දැමූ අලි-ඇතුන් සංඛ්‍යාව 1400ක් පමණ වන බව කියැවේ. ලංකාවේ මහා මාර්ග සැලසුම්කර, ඉදි කිරීම් කළ මේජර් තෝමස් ස්කිනර්ද අලි-ඇතුන් 700ක් පමණ දඩයම් කළ තැනැත්තෙකි.

ලංකාව ආක‍්‍රමණය කළ බි‍්‍රතාන්‍යයෝ සිය වැවිලි භෝග වගා කිරීම් සඳහා රටේ මධ්‍යම ක`දුකරය ඇතුළු විවිධ භූමිභාග විශාල වශයෙන් එළි පෙහෙළිකර නිරාවරණය කළහ. ඔවුහු මුලින්ම කෝපි, ඉන් පසුව තේද වගා කළහ. එහි දී වන අලි රංචුවල ගැවසීම් බාධකයක් විය. ඉන් පසුව ඔවුන් කළේ කැලයට වැදී වන අලි රංචුපිටින් වෙඩි තබා මරා දැමීමයි. බි‍්‍රතාන්‍ය වැවිලිකරුවන් එය සැලකුවේ, ‘මහත්වරුන්ගේ ක‍්‍රීඩාවක්වශයෙනි. එකල මරා දැමුණු අලි-ඇතුන් සංඛ්‍යාව 10,000 ද ඉක්මවන බැව් පැරණි වාර්තාවල සඳහන් වේ.

බි‍්‍රතාන්‍ය දඩයක්කාරයන්ගේ අලි ඝාතන සම්බන්ධයෙන්, එකල ලාංකේය ජන සමාජය තුළ කෙතරම් ප‍්‍රබල කම්පනයක් හට ගත්තේ ද? යන්න, අපැහැදිලි ය. එසේ වුව ද, අලි-ඇතුන් 1400ක් පමණ මරා දැමු මේජර් තෝමස් විලියම් රොජර්ස් මියගියේ වර්ෂ 1845 දී අකුණු සැරයක්’ (හෙණයක්) වැදීමෙනි. ඔහු අකුණට ගොදුරුවී තිබෙන්නේ, අලි දඩයමේ යන්නට කල්යල් බලමින් හපුතලේ තානායම් අලින්දයේ සිටින මොහොතක ය. ඉන් පසුව හපුතලේ දේවස්ථාන භූමියෙහි ඉදි කළ රොජර්ස්ගේ සොහොනට ද අකුණු (හෙණ) වැදුණු බව ප‍්‍රකට කාරණයකි!

මේ දිනවල අපේ රටේ වැසියන් බොහොම දෙනෙක් ද කෝපයට පත්ව, ‘වැහි නැති හෙණඉල්ලමින් සිටිති. ඒ අනිකෙකුට නොව, ‘ගල්ගමුවේ දළ පූට්ටුවානමින් ප‍්‍රකටව සිටි සද්දන්ත දළ ඇතා අමු අමුවේ මරා දැමූ උදවියට එරෙහිව ය! ඇතුගේ මළ සිරුර 2017 නොවැම්බර් 29 වැනි දා සවස, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කලාවැවට නුදුරු කහල්ල-පල්ලෙකැලේ වන රක්ෂිතයේ හොරොව් වැවඅසලින් සොයා ගැනුණි. ඇතු මරා දමා කපාගත් දළ යුවළ, ඊට පෙර පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සොයා ගෙන තිබිණි. ගල්ගමුවේ දළ පූට්ටුවාඇත් දළ ජාවාරම්කරුවන් අතින් කුරිරු ලෙස මියයාම, මෑත කාලයේ  රට වැසියන්ට මහත් කම්පනයක් ගෙන දුන් සිද්ධියක් විය.

අලි-මිනිස් ගැටුම හමුවේ දැඩි ලෙස කෝපයට පත්ව සිටිය ද, ලාංකේය ජන සමාජය වන අලි-ඇතුන් සම්බන්ධයෙන් බොහොම ලැදි ය. විශේෂයෙන්ම දළ ඇතුන් සම්බන්ධයෙන් ඔවුන් දක්වන්නේ අප‍්‍රමාණ ගෞරවයකි. අපේ රටේ බෞද්ධාගමික දිවි පෙවෙතෙහි මුදුන්මල්කඩ බඳු, මහනුවර වැඩ හිඳින ශ‍්‍රී දන්තධාතූන් වහන්සේ ඇසළ මහ පෙරහැරෙහි වැඩමකර වන්නේ ද දිගු දළ සහිත හස්තිරාජයෙකුගේ පිට මතිනි. අපේ රටේ විසූ අතීත නරපතීන් පවා, තේජාන්විත දළ සහිත හස්තීහු, රාජකීය මඟුල් ඇත් තනතුරේ තබා ගත්හ. උන් සටන් බිමෙහි ජය පතා මෙහෙය වූහ. සිය අලි-ඇත් පරපුර කෙරෙහි ලාංකිකයන්ට ඇති ගෞරවාදරය, අනාදිමත් කාලයක් තිස්සේ පැවත එන්නකි.

ගෙවී ගිය නොවැම්බර් 29 වැනි දායින් ඇරඹුුණු වකවානුව, ලංකාවට දැඩි සුළං සහ වැසි විපත් රැුගෙන ආවේ ය. ඉන් විශාල පිරිසක් පීඩාවට පත් වූහ. හටගත් අලාභානි ද විශාල ය. එවේලෙහි රටවැසි වැඩි දෙනෙක් පැවසුවේ, ‘ ඕක නම් අර ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දාපු එකේ සාපේ තමයියනුවෙනි. ගල්ගමුවේ දළ පූට්ටුවාමරා දැමීමෙන් රටට හටගත් කම්පනය කොතරම් ද යන්න, එයින්ම පෙනේ!

කුරුණෑගල සහ අනුරාධපුරය යන දිස්ත‍්‍රික්ක වෙන්වන සීමාවේ පිහිටි ගල්ගමුව’, ලංකාවේ සුප‍්‍රකට වන අලි සංක‍්‍රමණ මාර්ගයකට අයත් ය. එහි එක් කෙළවරක්, පුත්තලම දිස්ත‍්‍රික්කය ඔස්සේ රටේ වයඹ දිග මුහුදු සීමාව තෙක් පැතිරෙන, විල්පත්තුව ජාතික වනෝද්‍යානය තෙක් දිවෙයි. අනෙක් කෙළවර, ගල්ගමුව, සියඹලන්ගමුව වැව් ඉස්මත්ත ඔස්සේ, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කලා වැවේ වන රක්ෂිතයදක්වා දිවෙයි. එය වත්මනෙහි කහල්ල-පල්ලේකැලේ වන රක්ෂිතයයි’. සංක‍්‍රමණික වන අලි, සෑම වසරකම ජූලි-අගෝස්තු යන මාසවල විල්පත්තුවේ සිට  කලා ඔය පැන, නවගත්තේගම, ඉඟිනිමිටිය, සංගප්පාලය තේක්ක කැලය, අඹන්පොළ සහ ගල්ගමුව ඔස්සේ කලාවැව (කලා-බළලූ වැව) ඉස්මත්තේ වන ගොමු තුළට පැමිණෙති. ඉන් පසුව ඔක්තෝබර් මාසය අග භාගයේ එන ඊසාන දිග මෝසම් වැසි    සමයත් සමගම ආපසු යන්නට ගමන් අරඹති. එය වයඹ වනජීවී කලාපයේ සිදුවන විශාලතම වන අලි සංක‍්‍රමණ කටයුත්තයි. මෑත කාලයේ පටන් එය වන අලි-ඇතුන්ට මාරකයක්වී තිබේ!

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් 2004 වසරේ දී, වයඹ වනජීවී කලාපයෙහි වන අලි පිළිබඳ සමීක්ෂණයක් කෙරුණි.  එහි දී ගණන් ගැනුණු සමස්ත වන අලි සංඛ්‍යාව 1076කි. උන් අතර සිටි දළ ඇතුන් සංඛ්‍යාව 43ක් විය. සමීක්ෂණයෙන් හෙළිවුණු අන්දමට, ‘කලාඔය අලි කණ්ඩායම’ (කලා ඔය ආශ‍්‍රිතව නිතර ගැවසෙන)  81 දෙනෙක් විය. උන් අතර සිටි    දළ ඇතුන් සංඛ්‍යාව හය දෙනෙකි. ඇත් දළ ජාවාරම්කරුවන් අතින් නොබෝදා  ඝාතනය වුණු ගල්ගමුවේ දළ පූට්ටුවාද එකල උන් අතර සිටින්නට ඇත!

1998 වසරේ අගෝස්තු මස 03 වැනි දා රාත‍්‍රියේ ද කලාවැව හා බැඳුණු බළලූ වැවඉස්මත්තේ, හෙට්ටියාව ප‍්‍රදේශයේ දී දළ ඇතෙක් වෙඩි තබා මරා දැමුණි. ඝාතනය සිදුකර තිබුණේ දළ කපා ගැනීම පිණිස ය. මෙම හස්තියාට අඩි හතරක් පමණ දිග දළ යුගලක් තිබිණි. ඒ කාලයේ දීම ගල්ගමුවට නුදුරු සියඹලන්ගමුව වැව ඉස්මත්තේ දී ද තවත් දළ ඇතෙක් මරා දමා තිබුණු බව වාර්තා විය. මේ ඇතුන් විල්පත්තුව සහ කලාවැව රක්ෂිතය අතර සංක‍්‍රමණයෙහි යෙදෙන හස්තීන් ය.

අතීතය ගත් විට, මුළු රටම කම්පනයෙන් සසල කළ හස්තියා පනාමුරේ ඇත් රජු. ජන වහරෙහි ඇත් රජුයයි කීවාට, පණු දළසහිත දැවැන්ත හස්තියෙකි. එවකට ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් කටයුතු කළ ශ‍්‍රීමත් ප‍්‍රන්සිස් මොලමුරේ මහතාගේ මෙහෙයවීමෙන්, වර්ෂ 1950 දී රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත්  කොලොන්නේ, පනාමුරේ ග‍්‍රාමයේ ඇත් ගාලක් බැඳවිණි. එහි දී මෙම හස්තියා පිට පිට වෙඩි තබා මරා දැමුණි. එය සිදු වූයේ ගාලට හසු වුණු සිය අලි සගයන් මුදා ගැනීමට සටනෙහි යෙදී සිටියදී ය. වෙඩි තැබීමට අණ දුන්නේ මොලමුරේ මහතා ය.

එකල එය මුළු රටම කම්පනයට පත් කළේ ය. එයින් ඇත් ගාල් බැඳීමට එරෙහිව ජන මතයක් ද ගොඩනැගිණි. අවසන ඇත් ගාල් බැඳීමේ ක‍්‍රමය, නීතියෙන්ම තහනම් කෙරිණි. ඒ අනුව පනාමුරේ’, ලංකාවේ අවසන් ඇත් ගාල බවට පත් වුණි. ඊට ටික කලකට පසුව, එනම් වර්ෂ 1951 දී ප‍්‍රැන්සිස් මොලමුරේ මහතා කතානායක අසුනෙන් ඇද වැටී, හදිසි මරණයකට ගොදුරු විය! පනාමුරේ ඇත් රජුපිළිබඳ කතා පුවත්, වර්තමානයේ පවා ලාංකේය ජන සමාජයෙහි නින්නාද වන්නේ මහත් කම්පනයෙන් යුතුව ය.

ලංකාවේ කැලෑවල වන අලි කොතෙක් සිටිය ද දළ සහිත සතුන් (ඇතුන්) බෙහෙවින් දුර්ලභ ය. වනජීවී නිලධාරීන් පවසන අන්දමට ලංකාවේ ඇත් ප‍්‍රතිශතය සියයට හතරක් තරම් සුළු සංඛ්‍යාවකි. උන් අතර දළ පූට්ටුවන්ද ඉතා දුලබ ය. දළ පූට්ටුවන්යනු, දළ යුගල එහි අගින් එකිනෙක හරහා කතිරයක් මෙන් පිහිටා තිබෙන හස්තීන් ය. ඒ අතරින් වඩාත් ප‍්‍රකටව සිටි හස්තියා, 1960 දශකයේ පමණ යාල වනයේ විසූ වලස්කෙම දළ පූට්ටුවා. වර්ෂ 1970 දී පමණ ඌ ඇත් දළ ජාවාරම්කරුවන් විසින් ඝාතනය කෙරිණි! එය ද අපේ ජන සමාජය මහත් කම්පනයට පත් කළ සිද්ධියක් විය.

2003 වසරේ පෙබරවාරි මාසයේ දී, ශ‍්‍රීපාද වන අඩවියේ රත්නපුර බැවුමේ දී තවත් හස්තියෙක් දළ කපා ගැනීම පිණිස ඝාතනය කෙරිණි. සිරිපා හිමය පාමුල පිහිටි ගම්මානවල කුරු ඇතානමින් ප‍්‍රකටව සිටි මෙම හස්තියා, කුඩා දළ සහිත (පණු දළ?) එකෙකි. ඌ ගැමියන් අතර බොහොම ගෞරවාදරයට පාත‍්‍රව සිටියේ ය. කුරු ඇතාමරා දැමීම රත්නපුරයේ ගම්වලට මහත් කම්පනයක් ගෙන දුන්නේ ය. පුද්ගලයන් 500කට අධික පිරිසකට මරු කැඳවමින්, 2003 වසරේ මැයි මාසයේ හටගත් මහා වැසි සහ නායයාම් විපත, සිරිපා හිමයේ කුරු ඇතාමරා දැමූ ශාපය නිසා හටගත් එකක් බව රත්නපුරේ බොහෝ මිනිසුන්ගේ අදහස විය. ඇතුන් මරා දැමීම, ශාප දෙන වැඩක් බව ඔවුන්ගේ සිතිවිල්ලයි!
ඇතුන් සේම ඇත් දළය ද අපූර්ව නිර්මිතයකි. අප ඇත් දළයයි හ`දුන්වන්නේ ඇතුන්ගේ (පිරිමි සතුන්ගේ) මුවෙහි ඇති කෘන්තක දත්වලට. ඒවා සාමාන්‍යයෙන් අඩි හතරක් පහක් හෝ ඊටත් වඩා ටිකක් දිගින් වැඩෙයි. ඇත් දළයක පිටතින් දක්නට ලැබෙන්නේ එහි සමස්ත දිගින් තුනෙන් දෙකක කොටසක් පමණි. ඉතිරි කොටස ඇතුගේ මුවෙහි හනුව ඔස්සේ හිසට සවිවී තිබේ. හිටපු නියෝජ්‍ය වනජීවී අධ්‍යක්ෂකවරයෙකු වන වෛද්‍ය නන්දන අතපත්තු මහතා සිය අලි ඇතුන්ගේ සැ`ගවුණු ලෝකයනම් ග‍්‍රන්ථයෙහි සඳහන් කරන අන්දමට, ඇත් දළයක සංයුතිය මූලික වශයෙන් කැල්සියම් සහ පොස්පරස් යන මූල ද්‍රව්‍යවලින් සමන්විත වේ. එය සාමාන්‍ය අස්ථියක සංයුතියට සමාන ය. ඇතුන්, සිය වන සැරියේ දී ජලය සහ ලවණ ලබා ගැනීම පිණිස පොළොව හෑරීම සඳහා ද, අලි සටන්වල දී අවියක් වශයෙන් ද දළ පාවිච්චි කරති. එසේම ඉන් හො`ඩවැලට ආරක්ෂාවක් ද සැලසෙයි. වෙහෙසට පත් අවස්ථාවන්හි දී හොඬය දළ මත රඳවා සිටීමට ද උන් කැමති ය!
හස්තීන් මිනිස් සමාජයෙහි ගරු බුහුමන් ලබන්නේ උන්ට පිහිටන දුර්ලභ දළසම්පත නිසා ය. එය මහාර්ඝ වස්තුවක් බව වැඩි දෙනෙකුගේ ඇදහීමයි. පූජනීය වස්තූන් දෙපස ඇත් දළවලින් සරසා තැබීමට ද මිනිසුන් පුරුදුව සිටිති. එසේම ආභරණ සහ කැටයම් භාණ්ඩ නිපදවීම පිණිස ද අනාදිමත් කාලයක පටන්ම ඇත් දළ භාවිත කෙරේ. ඇත් දළ යනු, ලංකාවේ මෙන්ම ලෝකයේ ද අංක එකේ හොර ජාවාරමකි. ඇත් දළ සහ ඇතුන් මහාර්ඝ වස්තූන් ලෙස සැලකීමේ මනුෂ්‍ය සිරිත උන්ට නම් මාරකයකි!
ඇත් දළ තූළ ඉතා කලාතුරකින් පිහිටන ගජමුතුසිතූ පැතූ සම්පත් ගෙන දෙන දෙයක් බව ඇතැමුන් විශ්වාස කරති. එහෙත් ගජමුතුයයි කියන්නේ, ඇත් දළයක (කෘන්තක දතෙහි) කල්ක කුහරය තුළට එහි බිත්තියෙන් ගිලිහී වැටෙන ඩෙන්ටීනමයදන්ත කොටස් ය. ඇතු හිස සැලීමේ දී හට ගන්නා ඝර්ෂණය නිසා, කලක් ගතවන විට ඒවා ගෝලාකාර හෝ  ඕවලාකාර හැඩයක් ගනියි. විශාල ගජමුතුවක් ඇතැම් විට වෙරළු ගෙඩියක් තරම් විශාල වන්නට ද පුළුවන. දළ ඇතුළත ගජමුතු හට ගන්නේ, ඇතු බොහොම වියපත් තත්ත්වයට පත්වන කාලයේ ය. ගජමුතු අතිශයින්ම දුලබ නිසා, ඒවාට  මහාර්ඝ වටිනාකමක්ඇතැයි මිනිස්සු අදහති. එහෙත් ඒවා නිකම්ම නිකම් අස්ථි හෝ දන්ත කොටස් පමණි!
ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රවීණ වන අලි පර්යේෂකයෙකු වන වෛද්‍ය පෘථිවිරාජ් ප‍්‍රනාන්දු මහතා දැක්වූ අදහසක් බී. බී. සී. පුවත් වෙබ් අඩවියෙහි පළකර තිබිණි.
ඇත් දළ කියන්නේ අපි වැදගත් තැනක, ගෙදරක හෝ කොතැනකවත් තබා ගත යුතු නැති දෙයක් බව අප තේරුම්ගත යුතුයි. මොකද ඒවා ලේ තැවරුණු දේවල්!
2017/12/06.



 (මෙම ලිපිය 2017/12/10 ඉරිදා ලක්බිම පත‍්‍රයේ පළ විය.)

2 comments:

  1. http://ranwanmakara.blogspot.com/
    - ජෑ මා කාලී -

    ReplyDelete
  2. ‘ඇත් දළ කියන්නේ අපි වැදගත් තැනක, ගෙදරක හෝ කොතැනකවත් තබා ගත යුතු නැති දෙයක් බව අප තේරුම්ගත යුතුයි. මොකද ඒවා ලේ තැවරුණු දේවල්!’
    ජයවේවා..!!

    ReplyDelete