Total Pageviews

Tuesday, November 7, 2017

මුහුදම කඳුළු බිඳුවකි-දුෂිත සම්මාන හිමිකර ගත් බොහෝ පද්‍ය සංග‍්‍රහයන්ට වඩා උසස් නිර්මාණ කෘතියක්




  ‘මුහුදම කඳුළු බිඳුවකි   
දුෂිත සම්මාන හිමිකර ගත් බොහෝ පද්‍ය සංග‍්‍රහයන්ට වඩා උසස් නිර්මාණ කෘතියක්
-සුනිල් ගුණවර්ධන 




මුහුදම කඳුළු බිඳුවකි

කර්තෘ-තුෂාර ද සිල්වා

 මිල රුපියල් 300 /-
සයුරි ප‍්‍කාශනයක්
                              තුෂාර ද සිල්වාගේ අලූත්ම කාව්‍ය සංග‍්‍රහය නෙත ගැටුණුු මොහොතේ මගේ මතකය ගමන් කළේ ඔහුට සිප් නැණ ලැබ දුන් කාල වකවානුව හා මුහුදු රළ වගේ ඔහුගේ කුළුදුල් කෘතිය වෙතයි. එදා කවි ලිවීමට වෙර දැරූ ඔහු අද කවියෙකු වී සිටී. නීති වෘත්තියෙහි
නිමග්නවීම හා මුහුදු බඩ පෙදෙසක ඉපිද හැදී වැඩිමත්, තවමත් එවන් පරිසරයක දිවිගෙවීමත් තුෂාරගේ කාව්‍ය නිර්මාණයන්ට බෙහෙවින් බලපෑමක් කර ඇති බව පෙනේ. මට මෙහිදී මා මෙන්ම ඔහුට සහාය දුන් රත්න ශ‍්‍රී සිහියට නැගෙයි. එහෙත් ඔහු වඩා සයුරටම ඇලූණු ගුණයක් මොහුගේ කාව්‍ය නිර්මාණවල විද්‍යාමාන වෙයි. ඔහු සයුර සම්බන්ධ කොටගෙන විරචිත බොහෝ නිර්මාණ අතුරෙන් ත‍්‍රිත්වයක් කැපී පෙනෙන බව කිව යුතුය. ඒ අතරින් ද වැටකේ පඳුර අපුරු පෙම් කවියකි. ධීවර ජීවිතයේ යථාර්තයත්, මේ කවියාට විරිතකට යමක් ඉදිරිපත් කළ හැකි බවත්, ඔහුගේ කවිත්වයෙහි ගැබ්ව ඇති අව්‍යාජත්වයත් මෙයින් මැනවින් ධිවනිත වේ.

එකමත් එක දිනක ඔබටත් නොකියාම

සිප ගත්තා මතකයි මා ඔබේ මුහුණ

වටකර ගෙන දැලක් යන විට රළ පතර

මා හිරවුණේ ඒ දැල් මන්දක් තුළම



අමතක ඇති ඔබට මගෙ නම ගම එහෙම

ඒ විතරක් ද ඇයි මේ වැටකේ පඳුර

ලියුවත් අකුරු වැල්ලේ පුළුවන් තරම

පිළී ගඳ අපට නෑ සරසවි බැල්ම

කුඩා දැරියක මුහුදු වෙරළට පැමිණ සිප්පි කටුවක් අහුලා ගනී. රචකයා එය සොරකමක් ලෙස දකී. දැරිය එය දැන ගත හොත් සිත රිදේවි යයි ඔහු අහක බලා ගනී. මේ හැරුණු විට බොහෝ රහස් රචකයා දන්නා බවද පවසයි. මේ කෘතියට හැඳින්වීමක් සැපයු ප‍්‍රවීණ කවිවර සෙනරත් ගොන්සල් කෝරාල ප‍්‍රකාශ කළ සේ මෙය ඉසියුම් නිර්මාණයකි.

රැගෙන ගියත් අත්ලෙහි සඟවගෙන

 හෙමින් හෙමින්

 අඩි තිය තිය

 වෙරළටත් නොදැනෙන ලෙස

----

-----

ඉවත බලන් ඉන්නම් මම

හිත රිදෙන නිසා

දුටු බව දැන ගත්තොත් මම

අප කාටත් අමතක නොවන ත්සුනාමිය තවමත් නිර්මාණකාරකයන්, නිර්මාණකාරියන් අත ප‍්‍රබල අමු ද්‍රව්‍යයකිමෙය හොඳින් අත් විඳි රචකයා එහි රුදුරු බව, ඉන් අත්වු ප‍්‍රතිඵල හා වර්තමානයෙහි මුහුදේ ස්වභාවය මැදහත්ව චිත‍්‍රණය කර තිබේ. සැබෑ කවිකම යනු එයම බව අමුතුවෙන් කිවයුතු නොවේ.

               රකුස් වෙස්ගෙන

                ගලා අවේ මෙගොඩට

                අහිමි කළා ඔබ

                සියලූ නෑදැ පරපුර

                ඉඩක් දුන්නේම නෑ ඔබ

                බේරී පලා යන්නට

                දෝතින් උදුරාගෙන

                පොළොවේ ගැසුවා සෑම දෙය

මේ පද්‍ය කණ්ඩයෙහි වචනයක් වචනයක් පාසා ත්සුනාමියෙහි ප‍්‍රචණ්ඩත්වය යස රඟට ගැබ් වී තිබේ.

කුටුම්භය පිළිබඳ ගැටලූවක් තුෂාර තමන්ගේ ජීවිතය පුරා දැව ටී ඇති නීතිය මත තබා විවරණය කර ඇති අයුරු ශරීර ඇපය නම් රචනය තහවුරු කරයි. බිරිය කථකයාට පෙම් කළ අයුරු ඔහු වෙනුවෙන් කැපවු අයුරු මෙලෙස චිත‍්‍රිතය.

                              ඔබේ කල නරක බව

                               ගුරුන්නාන්සේ මාමා කිව්වම

                               රූපෙට රූපයක්

                               භාර වුණා මම
එහෙත් අන් විකල්පයක් නොවු තැන දරු දෙදෙනා වෙනුවෙන් උසාවියට පියමං කළ ඇය මෙසේ  කියන්නීය.

                              ‘උසාවියෙන් ඉල්ලයි

                              තවත් ඇපයක් ඔබට

                              තවත් ඇප මොකටද

                              ඔබට

                              වලංගුව ඇති විට තවම

                              මගේ ශරීර ඇපයම
මෙය කොතරම් ප‍්‍රභල කරුණා රසයක් ජනනය කරන නිර්මාණයක් ද?
මීළඟට මා සිත ඇදී යන්නේ වරෙන්තුව වෙතය. ඉහත කාව්‍ය නිර්මාණයෙහිත්, මෙහිත්, මාතෘකා දෙස බලන්නැයි මම පාඨකයාගෙන් ඉල්ලා සිටිමි. පළමුවැන්නට නොදෙවෙනි මානුෂිකත්වයක් දෙවැනි රචනයෙහි ගැබ්ව පවතී. නීතිය නොව ඔහුට බලපාන්නේ හෘද සාක්ෂියයි.

               රැගෙන වරෙන්තුව දෝතට

                ඇවිද ගියෙමි දොරින් දොර

                අන්තිමේ ඔබ හමුවුණේ

                ගුලි හැගී මගේ හදවත තුළම

තුෂාර කවියෙකු වුයේ නීතිඥයෙකු වීමට පෙරාතුවය. ඔහුගේ සැබෑ දිවියේත් මෙය කැපී පෙනිය යුතුය. ඒ තරම් වටිනාකමක් තවත් මිහිපිට ඇද්ද?
ලේනා’, ‘මහ අඹ ගස’,පොලිතින් කෑ කපුටා තුෂාර සයුරින් හා නීතියෙන් එ පිටට ගමන් කරමින් කළ කාව්‍ය නිර්මාණය. එහි දී ඔහු පරිසරයට කොපමන ඇලූම් කළ කවියෙක් ද යන්න මැනවින් තහුවරු වෙයි. මේ නිර්මාණ ත‍්‍රිත්වයෙහි මනෝ විද්‍යාත්මක ස්වරූපයක් ගැබ්ව තිබීමත් සුවිශේෂී වු කරුණකි. ලේන් පැටියෙකු ගේ නිවසක් අහිමි වී යාමේ ඛේදවාචකය කථකයා වැඩිහිටියෙකු වු පසුව ද ඔහුට බල පෑමක් කරයි. පොලීතින් අනුභව කරන කපුටුවකු එයින් වළක්වා නොගැනීම ද කථකයාට පසු කලෙක පවා බලපෑමක් කරයි. මේ මනෝවිද්‍යාත්මක ස්වරූපය අප අගය කළ යුත්තකි.

                              පොළොවේ ගැසුවේය

                               අල්ලා ඇඳ

                               ඇහැ ඇරිණි මට

                               ඇඳ පොල්ලක්

                               බිම වැටෙන සද්දයට

                               අදත් බයයි මම

                               ලේනෙකුගෙ

                               ඇස් දෙකක් බලන්නට



                              රෝගීව සිටින විට

                                අද ඒ ඇඳ මත

                                පොලිතීන් රසක්
                                ඉඳහිට දැනෙයි උගුරට

මේ සදහන් කරන්නට යෙදුණේ තුෂාර ද සිල්වා ගේ මුහුදම කඳුළු බිඳුවකිකාව්‍ය සංග‍්‍රහයෙහි රචනා කිහිපයක් ගැන පමණකි. මේ කෘතියෙහි ඔහුගේ පරිණත කවිත්වය මුර්තිමත් වන රචනා රැසක් ඇති බව නොබියව නොසඟවා පවසමි. ‘සඳවතිය, ‘හෝ ගාන පොකුණ, ‘කලූ අයියේ’, ඉන්දියාවේ මළ ගෙදරක් ඉතා කැපී පෙනෙන නිර්මාණ ගණයට වැටේ. කවියා සතු මානව දයාව, කවියෙහි ආත්මය වන භාෂා භාවිතයෙහි ලා පෑ පරිචය මේ රචනාවලින් පසක් කර ගැනීම කිසිසේත් අපහසු නොවේ. මේ නිදසුන් පිණිස දක්වනු ලබන එක් පද්‍ය කණ්ඩයක් පමණකි.

                              ‘කලූ රෙද්ද ගලවා වීසි කර
                                සඳවතී පැන්නා වැව් දියට
                                උතුරා යයි සඳ වතුර
                                කුඹුක් අතු තෙතබරිත කර 
පසු ගිය කාලයේ විවිධ සම්මාන උත්සවයන්හිදී විවිධ දුෂිත සම්මාන හිමිකර ගත් බොහෝ පද්‍ය සංග‍්‍රහයන්ට වඩා උසස්  පද්‍ය රචනා  රැුසක් තුෂාරගේ ‘මුහුදම කඳුළු බිඳුවකි  කෘතියෙන් විඳගත හැකි බව පවසන්නේ ද මැනවින් තතු දැන ගෙනය. තුෂාරගේ නිර්මාණ සංග‍්‍රහය කවියට ළැදි කාගේත් අවධානයට පාත‍්‍ර වේවායි ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමි.

                                                                               -සුනිල් ගුණවර්ධන




No comments:

Post a Comment