Total Pageviews

Sunday, July 30, 2017

බේරියල්ලා, ග්ලයිපොසේට් ආයෙත් එනෝ!



බේරියල්ලා, ග්ලයිපොසේට් ආයෙත් එනෝ!



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ඇත්තටම නිදා සිටින එකා නම්,  ඕනෑම වෙලාවක කෙසේ හෝ අවදි කරවා ගන්නට පුළුවන. එහෙත් හොරට නිදා සිටින එවුන් නම්, කොතෙක් උත්සාහ කළත් මේ සම්ම ජාතියේ දී වත් ඇහැරවා ගන්නට බැරි ය. මාරාන්තික ග්ලයිපොසේට් වල් නාශකයපිළිබඳ කතිකාව ද එවැන්නකි!
රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්න ජයසුමනයන් ඇතුළු පිරිස ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ කණ්ඩායමක් ද, පසුගිය කාලයේ මාරාන්තික කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතු සාධක සොයා ගත්හ. කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන ආසනික්, කැඞ්මියම් ආදී බැර ලෝහ නිසා රෝගය හට ගන්නා බව එයින් හෙළි විය. බැර ලෝහ රසායනික’, කිවුල් ජලයට මුසු වීම නිසා වකුගඩු රෝගය ඇති වන බවත්, ඒ සඳහා වාහකකම් කිරීම  ග්ලයිපොසේට්මගින් සිදු වන බවත් අනාවරණය කෙරිණි. එම තොරතුරු ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවල ද පළ විය.

එසේ වුවත් ලංකාවේ ඇතැම් උගතුන් සහ රට කරවන සමහර දියවන්නා වැසියන්තවමත් කාරණය පිළිගන්නේ නැත. ඔවුන් කියන්නේ, මාරාන්තික වකුගඩු රෝගයට බලපාන නිශ්චිත හේතුවක් තවම සොයා ගෙන නැති බව ය. කෘෂි රසායන හෝ ග්ලයිපොසේට්නිසා රෝගය හට ගන්නා බව තවම හරියටම සනාථවී නැතැයි කීම, ඔවුන්ගේ ජනප‍්‍රිය මතාන්තරයයි. මෙය හරියට හොරට නිදා සිටිනවාක්වැන්න! මේ කපේ දී වත් ඔවුන් ඇහැරවා ගන්නට බැරි ය!

ග්ලයිපොසේට්පිළිබඳ කතිකාව ඉකුත් ජූනි 21 වැනි දා යළි කරළියට නැගුණි. වැවිලි කර්මාන්ත විෂය භාර අමාත්‍ය නවීන් දිසානායක මහතා, ‘ග්ලයිපොසේට් නැතිව මහා පරිමාණයෙන් තේ වගා කරන්න බෑයයි ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කිරීම නිසා එය සිදු විය. ඇමතිවරයාගේ ප‍්‍රකාශය ජුනි 21 වැනි දා රාත‍්‍රියේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය විය. මහා පරිමාණයෙන් තේ වගා කරන භූමි ප‍්‍රදේශවලින් මාරාන්තික වකුගඩු රෝගය වාර්තා නො වන නිසා, තේ වගාව සඳහා යම් පාලනයක් සහිතව ග්ලයිපොසේට්නිදහස් කළ යුතු ය යන්න, ඇමතිවරයාගේ අදහස විය. එසේම තේ වගාවට ග්ලයිපොසේට්යෙදීමෙන් වකුගඩු රෝගය ඇති වෙනවා යයි කීම, විද්‍යාත්මක කාරණයක් නො වන බව ද, හෙතෙම සඳහන් කළේ ය.

නවීන් දිසානායක මහතා මෙම ප‍්‍රකාශය කළේ, ග්ලයිපොසේට් තහනම ඉවත දමා, ග්ලයිපොසේට් යළි ගෙන්විය යුතු යයි කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන්නට යන බවට ආරංචි පැතිර තිබුණු වකවානුවක ය. කාරණය හෙළිකර තිබුණේ ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ද වන, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් ය.

පීඩාවට පත් ගොවීන් කොතෙක් උද්ඝෝෂණ කළ ද, කලින් පැවති මහින්ද රාජපක්ෂ රජය ග්ලයිපොසේට් තහනම් කළේ නැත. ග්ලයිපොසේට්වලට එරෙහි සටන් තවදුරටත් ඉදිරියට යද්දී, එය ලංකාවට ගෙන්වීම තහනම් කළේ 2015 වසරේ ජුනි මස 11 වැනි දා ය. එයට මුල් වූයේ වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ය. දැන් මේ තීන්දුව ආපසු හරවන්නට යම් යම්  බලවේග ක‍්‍රියාත්මක වනු පෙනෙයි. නවීන් දිසානායක ඇමතිවරයා මගින් කරලියට ආවේ ද එවන් අඳුරු සෙවනැල්ලක්  වීමට ද පුළුවන!

රටේ ගොවි ජනපද ප‍්‍රදේශවලින් ලැබෙන ආරංචි අනුව, දැන් වී ගොවීන් බොහොම දෙනෙක් වස-විස සපිරි රසායනික ගොවිතැනින් අත්මිදී සිටිති. මාරාන්තික වකුගඩු රෝගය නිසා හටගත් භීතියඑයට ලොකු තල්ලූවක් වූයේ ය.

ලංකාව ගත් විට, වස විස සපිරි කෘෂි රසායන වැඩිම ප‍්‍රමාණයක් භාවිත කරන්නේ වී වගාවට ය. එය වස විස නිපදවන කෘෂි සමාගම්වලට ලොකු වෙළෙඳපොළකි. ඉතින් ගොවීන් හෙමින් හෙමින් හෝ කෘෂි රසායනවලින් ඈත් වීම, කෘෂි රසායන සමාගම්වලට කොහෙත්ම හිතකර තත්ත්වයක් නො වේ. ග්ලයිපොසේට් අයිතිකාරයා වන ඇමරිකානු මොන්සැන්ටෝවට නම් ලංකාව ලෙකු වෙළෙඳපොළක් නොවේ. එහෙත් ගැටලූව වන්නේ ලොව වෙනත්, ඇතැම් රටවල් ලංකාව අනුගමනය කරමින් ග්ලයිපොසේට් තහනම් කරන්නට ඉඩ තිබීමයි! ග්ලයිපොසේට් ලෝලයන් කියන්නේ එය ලොව තිබෙන සාර්ථකම වල් නාශකය බව ය. එය තහනම් වීම, මොන්සැන්ටෝව කෝප ගන්වන්නක් බව තේරුම් ගැනීම අසීරු නොවේ. ඔවුන් යළි තම කිරුළ දිනා ගැනීම ස`දහා  ඕනෑම දෙයක් කරනු ඇත. එය ඔවුන්ගේ අභිමානයපිළිබඳ ප‍්‍රශ්නයකි.

නවීන් දිසානායක ඇමතිවරයා විසින් අවධාරණය කළ ද, ‘ග්ලයිපොසේට් නැතිව මහා පරිමාණයෙන් තේ වගා කරන්නට බැරියයන අදහස සත්‍යයක් නොවේ. ග්ලයිපොසේට් අඩංගු වල් නාශක මුලින්ම ලංකාවට හ`දුන්වා දී ඇත්තේ 1980 දශකයේ ය. එසේ නම් ඊට පෙර වකවානුවේ අපේ රටේ තේ වගා නො කෙරිණි ද? යන ප‍්‍රශ්නය මතුවේ. අනෙක ග්ලයිපොසේට් රටට ගෙන්වීම තහනම් කෙරුණේ 2015 වසරේ ය. නවීන් දිසානායක ඇමතිවරයා කියන කාරණය ඇත්තක් නම්, ග්ලයිපොසේට් නැති නිසා මේ වන විට ලංකාවේ තේ වගාව අභාවයට ගොස් තිබිය යුතු ය! එහෙත් ගතවූ වසර කිහිපයක තේ නිෂ්පාදනය සහ වගා කළ භූමිය ආදී කාරණා සම්බන්ධයෙන් බලන විට එවන් බිඳ වැටීමක් නො පෙනේ.
කලින් ගෙනා ග්ලයිපොසේට් යම් ප‍්‍රමාණයක් රටේ තැන් තැන්වල හොරෙන් භාවිත කරන බවට ආරංචි ද වරින් වර පැතිර යයි. එහෙත් ග්ලයිපොසේට්වලට වැට බැඳීමෙන් පසුව, වී ගොවීහු ද, තේ ගොවීහු ද වගා කටයුතු සඳහා විකල්ප ක‍්‍රම පිළිවෙත් සොයා ගත්හ. ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන අන්දමට, 2016 වසරේ දී ලංකාවේ සමස්ත තේ නිපැයුම කිලෝග‍්‍රෑම් මිලියන 292.6කි.
කෙසේ වෙතත්, ලංකාවේ තේ වගා ක්ෂේත‍්‍රයේ සැලකිය යුතු බිඳ වැටීමක් ඇති බව බොරුවක් නොවේ. එය අද ඊයේ නොව, 2014 වර්ෂයේ පටන් පැවත ගෙන එන්නකි. ඊට හේතුව කුප‍්‍රකට ග්ලයිපොසේට් ද නොවේ. 2015 සහ 2016 යන ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවලින් එයට බලපෑ හේතු සාධක අනාවරණයකර තිබේ. එහි ග්ලයිපොසේට් ගැන කතාවක් නම් නැත!

මහ බැංකුව සඳහන් කරන අන්දමට, 2014 වසරේ පටන් 2015 වසර එළඹෙන විට ලංකාවේ තේ නිෂ්පාදනය සියයට 2.7කින් පහළ ගොස් තිබිණි. අයහපත් කාලගුණික තත්ත්වය, වතු සේවකයන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ග සහ  ජාත්‍යන්තරව තේ ඉල්ලූම අඩුවී යාම ඊට හේතුවයි.

2007 වසරේ දී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝග‍්‍රෑම් මිලියන 305.2කි. 2014 දී එය කිලෝග‍්‍රෑම් මිලියන 338.0ක් දක්වා වැඩි විණි. එහෙත් 2015 දී එය කිලෝග‍්‍රෑම් මිලියන 329ක් විය. 2016 දී එය තවදුරටත් පල්ලම් බැස කිලෝග‍්‍රෑම් මිලියන 292.6ක් විය. 2014 දී කිලෝවකට රුපියල් 475.11ක් වූ තේ නිෂ්පාදන වියදම, 2016 දී රුපියල් 469.24ක් දක්වා අඩුකර ගෙන තිබිණි. 2007 වසරේ දී හෙක්ටයාර් 2,22,000ක් වූ සමස්ත තේ වගා භූමිය, 2014 දී හෙක්ටයාර් 2,03,000ක් දක්වා අඩු විය. 2016 දී එය එක්  හෙක්ටයාරයකින් වත් වැඩිවී නැත. මහ බැංකු වාර්තාව පවසන අන්දමට, තේ නිපැයුම් ක්ෂේත‍්‍රයේ වර්ධනය 2016 දී සියයට 11කින් පහත වැටී තිබේ. මේ බි`ද වැටීම්, ‘ග්ලයිපොසේට් බැරි බැරියාවක්බවට අර්ථ දක්වන්නේ නම්, එය විකාරයකි!

රාජ්‍ය වතු සහ පෞද්ගලික සමාගම් යටතේ ඇති තේ වතු, තේ නිෂ්පාදන ලෝකයේ රජවරුන් බවට ජනප‍්‍රිය සමාජ මතයක් තිබේ. වර්තමානය ගත් විට එය ඇත්තක් නොවේ. බොරුවකි’. 2015 සහ 2016 යන මහ බැංකු වාර්තාවල දැක්වෙන අන්දමට, ජාතික තේ නිෂ්පාදනයෙන් සියයට 73ක්ම නිපදවන්නේ කුඩා තේ ඉඩම් හිමියන් ය. 2016 වසරේ ජාතික තේ නිපැයුමට ඔවුන්ගේ දායකත්වය සියයට 74.5කි! ඔවුන් ග්ලයිපොසේට් ඉල්ලන්නේ නැත.
2016 වර්ෂයේ දී තේ නිපැයුම් ක්ෂේත‍්‍රය අඩු වර්ධනයක් අත්කර ගැනීමට හේතු ගණනාවක් ඇති බව මහ බැංකුව කියයි. එය, තේ ඉල්ලූම සහ සැපයුම යන සාධක මත පදනම්ව, තේ නිපැයුම පහත වැටීමක් බව, ඔවුන්ගේ විශ්ලේෂණයයි. ඊට අමතරව 2016 වසර මුල් භාගයේ හට ගත් නිය`ග තත්ත්වය, වසර මැද භාගයේ හට ගත් වර්ෂාධික තත්ත්වය, සහ වසර අග භාගයේ  යළි නිය`ග තත්ත්වයක් ඇති වීම යන කාරණා ද, අඩු වර්ධනයට බලපෑ බව ඔවුහු කියති.

තේ නිෂ්පාදන ක්ෂේත‍්‍රය තුළ ඇත්ත කතාවමෙබඳු ය. එබැවින් මහා පරිමාණ තේ වගාවන් ග්ලයිපොසේට්වලින් තොරව පවත්වා ගෙන යන්නට බැරි යයි පැවසීම, පිළිගත හැක්කක් නොවේ.

කෙසේ වෙතත් තේ වගාකාර ග්ලයිපොසේට් ලෝලීන් මතු කරන යම් කාරණයක් ද තිබේ. ග්ලයිපොසේට් අඩංගු වල් නාශක තිබේ නම්, ඉතා අඩු ශ‍්‍රම කුලියකින් (පිරිවැයකින්), වැඩි පහසුවකින්, වල් මර්දනය කළ හැකි ය යන්න’, එම කාරණයයි. එය ඇත්තකි. එමෙන්ම ලාභ තීරුව වැඩි වීමට ද හේතුවකි. එහෙත් ඒ වෙනුවෙන් වියලි කලාපීය ගොවි බිම්වල නිවසන අහිංසක ගොවීන් ලක්ෂ ගණනක්ගේ ජීවිත වකුගඩු රෝග මාරයාටඋගස් කළ යුතු ද? යන්න, මෙහි දී අසන්නට සිදු වේ!

වර්තමානික රිකිලි තේ ශාකය වූකලී, ‘කප්පාදුවෙන්හැඩ ගන්වා, ඉහළම දළු අද්දවා ගන්නා භෝගයකි. එය නිවැරදිව කප්පාදු කරන්නේ නම්, අලංකාර තේ ප`දුරක් වැවී, හිරු එළිය බිමට වැටෙන්නේ ද නැත. මෙය සුද්දාගේ කාලයේ පටන්ම පැවත එන කදිම තාක්ෂණයකි. එවිට වල් පැල ඒමක් නැත! මහා පරිමාණ තේ වගාකරුවන් ග්ලයිපොසේට් ඉල්ලන්නේ, සුද්දාගේ අපූර්ව තාක්ෂණය පිළිකෙව් කරන නිසා ද? යන්න ගැටලූවකි.

ඔවුන් මතු කරන තවත් ගැටලූවක් වන්නේ, මහා පරිමාණ තේ වගා ක්ෂේත‍්‍රය තුළ ඇති ශ‍්‍රම හිඟයයි. එහෙත් ඇත්ත කතාව නම්, වතු පාලකයන් බොහොම දෙනෙක් සිය කම්කරුවන්ට ප‍්‍රමාණවත් තරම් වැඩ ලබා දීමෙන් වැළකී සිටීමයි. මෙය කලක පටන්ම පවතින ප‍්‍රශ්නයකි. එබැවින් දැන් වතු කම්රුකරුවෝ ඒවායෙහි නො රැුෙඳති. ඔවුන් ගෙන් බහුතරය කොළඹ සහ අනෙකුත් නාගරික පෙදෙස්වල රැුකියා සොයා ගෙන ගොසිනි. වතු කම්කරුවාට හිමි තැන, ‘ග්ලයිපොසේට්විසින් අල්ලා ගෙන ඇති සෙයකි!


අනෙක නවීන් ඇමතිවරයා කියන්නේ, තේ වගා භූමිවලින් මාරාන්තික වකුගඩු රෝගය වාර්තා නො වන නිසා, ග්ලයිපොසේට් භාවිතාවේ ගැටලූවක් ඇති නො වන බවයි. මේ කාරණය හාස්‍යජනක ය. ලංකාවේ ප‍්‍රධාන තේ වගා භූමි සියල්ලම පාහේ පිහිටා තිබෙනුයේ, රටේ මධ්‍යම කඳුකරය ආශ‍්‍රිතව ය. ඒවා ඔස්සේ ගලා බසින මහවැලි, කැලණි, වලවේ සහ කළු ආදී ගංගාවෝ මුළු රටටම දියවර බෙදා හරිති. විශේෂයෙන්ම රටේ වියලි කලාපයට දියවර සපයන්නේ, මහා පරිමාණ තේ ඉඩම් ඔස්සේ ගලා බසින මහවැලි ගෙඟනි. ඉතින් කඳුකර තේ වගාවලට ග්ලයිපොසේට් හෝ වෙන යම් විෂ කෘෂි රසායන යෙදුව හොත්, ඒවා ගලා බසින්නේ රජරට ද ඇතුළු වියලි කලාපීය ගොවි බිම්වලට ය!

ඇති තරම් හොරට නිදා ගෙන සිටින බැවින්, ග්ලයිපොසේට් ලෝලයන්ට මේවා වැටහෙන දවසක් එන්නේම නැති වන්නට පුළුවන!
2017/06/24.

(මෙම ලිපිය 2017/07/02 ඉරිදා ලක්බිමෙහි පළ විය.)

No comments:

Post a Comment