Total Pageviews

Sunday, July 30, 2017

උඹලයි දිහා ගොං ඉන්නවද සර්?



උඹලයි දිහා ගොං ඉන්නවද සර්?
පැරණි ප‍්‍රවාහන ක‍්‍රමයක ආනන්දය



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-නදීක දයා බණ්ඩාර-මහනුවර)
එය 1990 දශකයේ මුල් භාගයේ දවසකි. අලූත් සර්දුෂ්කර පළාතේ ඉස්කෝලයට  ගියේ, බදුල්ලෙන් හැරී මහියංගණ පාරේ යන විට හමුවන මීගහකිවුලනම් කුඩා නගරය ඔස්සේ ය. ඔහු එතැනින් ද හැරී, කැටවත්ත ඔස්සේ මොරහෙලගමට ද, එතැනින් තවත් වනගත ගමකට ද යා යුතු විය. මේ ඉසව්ව වියළුවමැතිවරණ කොට්ඨාශයයි.

වනගත ගමේ ඉස්කෝලයේ මල් කැකුළු වන් හුරුබුහුටි ළමුන් කැලක්ම උන්හ. එකල කැටවත්ත ප‍්‍රදේශයේ පාසැල්වලට පිට පළාත්වලින් එන ගුරුවරුන්ට හරිහැටි නවාතැන් පහසුකම් තිබුණේ නැත.  ඔවුන්ගේ පොදු නවාතැන් තිප්පොළ වූයේ, කැටවත්ත, මොරහෙල ඉස්කෝලයට (මොරහෙල මහා විද්‍යාලය) යාබදව පිහිටි, පෞද්ගලික ගොඩනැගිල්ලකි. එකල එහි වැඩිහිටි ගුරු යුවලක් ද පදිංචිව සිටියහ. ඉතිරි කාමරවල, නිවසමින් චමරියකමෙන් උයා-පිහා ගෙන, පිට පළාත්වලින් පැමිණි ගුරුවරියන් එහි නවාතැන් ගෙන උන්හ. ඊට නුදුරු තවත් නිවසක පිරිමි ගුරුවරුන් නවාතැන් ගෙන සිටියහ. අලූත් සර්ටද නවාතැන් ගන්නට සිදු වූයේ එම නවාතැනේ ය. එකල මොරහෙල ගමේ නිවාසවල තත්ත්වය එතරම්  පුළුල් නොවූ බැවින්, ගමට එන ගුරුවරුන්ට නවාතැනක් දෙන්නට බොහොමයක් ගම්මුන්ට පුළුවන්කමක් නො තිබිණි. අවට පාසැල් කිහිපයකම ගුරුවරු විටින් විට මේ ස්ථාන දෙකෙහිම නවාතැන් ගෙන සිටියහ.

මොරහෙල සිට කඳුකර වන මං ඔස්සේ දුෂ්කර ගමනක යෙදෙන්නට සිදු වුව ද, වනගත ඉස්කෝලය අලූත් සර්ට නම් ප‍්‍රියමනාප තැනක් විය. මුළු පාසැලටම ගුරුවරුන් සිටියේ තුන් දෙනෙකි. විදුහල්පතිනිය,  තවත් එක් ගුරුවරයෙක් සහ අලූත් සර් පමණි. එය කුඩා පාසැලකි. ගමට ඔබ්බෙන් වූ රෝබේරිය කන්දනිතරම පාහේ මීදුමින් බුම්මා ගෙන හුන්නා ය.

ඉස්කෝලයට ගිය මුල්ම දවසේ එහි කුඩා පිරිමි ළමෝ අලූත් සර්වටකර ගත්හ.

සර්, උඹලැයි දිහාත් ගොං ඉන්නව ද බං?’
ගම් දරුවන් ඔහු ගෙන් ඇසූ පළමුවැනි ප‍්‍රශ්නය එයයි!

අලූත් සර් අන්දමන්ද විය.

ළමයින්ගේ භාෂා ව්‍යවහාරය නම් තේරුම් ගැනීමට පුළුවන. එහෙත් ගොං ඉන්නවා දැයිඇසීම ඔහුට විමතිය දැනෙව්වේ ය.

අලූත් සර්පසුව දැන කියා ගත් පරිදි, ළමුන් විමසූ  ගොංපිළිබඳ කතාව බොහෝ ගැඹුරුඑකකි. එයින් වනගත ගමේ ජන ජීවිතයෙහි අපූර්ව පැතිකඩක් හෙළිදරව් වීම ඊට හේතුවයි.

අලූත් සර්ගේ ඉස්කෝලය පිහිටියේ වියළුව ආසනයේ, කැටවත්තට නුදුරු කඳුකර ගමක ය. එයට පමණක් නොවේ, එවකට කැටවත්තේ, මොරහෙලින් ඔබ්බට මාර්ග පහසුකම් ද නො වීය. වනගත ගම්වලට යා යුත්තේ, කඳු හෙල් නගිමින්, ඇල-දොළෙන් පනිමින්, කැලෑ අඩි පාරවල් ඔස්සේ පියමං වෙමිනි. එකල කඳුකර ගම්මුන්ගේ ලොකුම භාණ්ඩ ප‍්‍රවාහන ක‍්‍රමය වූයේ, ‘තවලමයි’. තවලම යනු, ‘ගොන් කරත්තහෝ මෝටර් වාහනභාවිතයට එන්නට පෙර ලංකාවේ පැවති ජනප‍්‍රිය භාණ්ඩ ප‍්‍රවාහන ක‍්‍රමයකි. ප‍්‍රවාහනය කෙරෙන බඩු භාණ්ඩ එළ ගොනුන්ගේ පිටේ දෙපැත්තට සවිකළ මල්ලක් බඳු ගෝනියක බහා, උන් අවශ්‍ය තැනට දක්කා ගෙන යාම, තවලමේ ස්වභාවයයි.

අතීතයේ දී එක් තවලමක ගොනුන් තිහ හතළිහක්වත් සිටියහ. ඇතැම් තවලමක ගොන් සියයක් සිටි අවස්ථා ගැන ද අසන්නට ලබේ. තවලම දක්කන්නා, ‘තවලම්කාරයාය. තවලම් ගොනුන් නිසි පරිදි හසුරුවා ගෙන, අවශ්‍ය ස්ථානයට බඩු ප‍්‍රවාහනය කිරීම, ඔහුගේ කාරියයි. ඇතැම් විට සහායකයෙකු ද සිටියි. එබඳු විශාල තවලමක ලොරි ලෝඞ් එකකතරම් භාණ්ඩ තොගයක් ප‍්‍රවාහනය කෙරේ. අඩු තරමින් ගොන් කරත්තයක් හෝ ගමන් කළ නො හැකි, මාර්ග පහසුකම් නැති කඳුකර ගම්වලට, ‘තවලමහොඳ ප‍්‍රවාහන ක‍්‍රමයක් විය. තවලමක් ගමන් කරන විට, ගොනුන් ගෙල බැඳි මිණි ගෙඩිනාදය ඈතට  ද ඇසේ. තවලම් බැඳි එළ ගොනුන්,  ඕනෑම කඳු කපොල්ලක් ඔස්සේ, ඉතා කුඩා අහරකින් වුව ගමන් කරන්නට තරම් රුසියෝ ය!

හරි හමන් පාරක් තොටක් නැති කඳුකරයක පිහිටි බැවින්, ‘අලූත් සර්ගිය ඉස්කෝලය අයිති ගම්මානය ද තවලම් බහුල ගමක් වූයේ ය. ගම්මුන්ගේ කුඹුරු පිහිටියේ ද, කඳු පහළ මොරහෙල ඉසව්වේ ය. ඒවායෙහි වී අස්වැන්න කඳුකර ගමට ගෙන යන්නේ ද තවලමිනි. ගමේ නිෂ්පාදන (කිතුල් පැණිි-හකුරු, කෙසෙල්, බඩ ඉරිඟු, එළවළු, අඹ ආදී) අලෙවි වන්නේ මීගහකිවුල පොළට ය. ඒවා මුලින්ම තවලම් මගින් කැටවත්තේ,  මොරහෙලට  ගෙන එති. ඊළඟට බසයෙන් හෝ වැලි ටිපරයකින්මීගහකිවුලට ගෙන යති. එබැවිින් තවලම’, කඳුකර ගම්වලට අතිශයින්ම වැදගත් දෙයක් විය.

ගමේ සැම දෙනාටම තවලම් ගොනුන් සිටියේ නැත. ඉතින් තවලම් ගොනුන් හිමි සුළු පිරිස නගරයේ ලොරි හිමියන්පරිද්දෙන් ගමෙන් සැලකුම් ලැබූහ. ඔවුන්ට ධන සම්පතින් ද හිඟයක් නො විණි. තවලම් දක්කන්නන්, ලොරි රියදුරන්මෙන් මහත් උදාරම්ව කල් ගෙවූහ. තවලම’, ගම් දරුවන්ට පෙනෙන්නට ඇත්තේ, ඈතින් පිහිටි නවීන නගරයේ (බදුල්ල?) රූසිරිය තම කැලෑ ගමට කැන්දා ගෙන එන මහාර්ඝ ප‍්‍රවාහයක් පරිද්දෙන් විය හැකි ය!

පුුතාලා ලොකු වුණාම කවුරු වෙන්න ද කැමති?’ යන ප‍්‍රශ්නයට, වැඩි දෙනෙක් දෙන උත්තරය අපූරු එකක් විය.

මං ලොකු වුණාම තවලංකාරයෙක් වෙනවා!යයි ඇතැම් ළමෝ අලූත් සර්ට කීහ.
පාඨක මිත‍්‍රවරුණි, මේ පූර්විකාව ඔබ හමුවේ දිග හරින්නට සිතුණේ මෙවර තවලම් ගැන ලියන්නට සිතුණු නිසාවෙනි. එයට නිමිත්ත පෑදුවේ මහනුවර වෙසෙන නදීක දයා බණ්ඩාරනම් සහෘද මාධ්‍යවේදියා ය. ඉකුත් සතියක ඔහු හඟුරන්කෙතට නුදුරු ලැමසූරියවෙල් යායේ වී අස්වනු ප‍්‍රවාහනය කරන පින්තූර පෙළක් මාධ්‍යයට මුදා හැර තිබිණි. ඒවා ප‍්‍රවාහනය කරමින් තිබුණේ තවලම්මගිනි. ඉන් කීපයක් ඊමේල් මගින් ලියුම්කරුට ද ලැබිණි. ඉතින් තවලම් අරභයා ලියුම්කරුගේ පැරණි මතකයන් ඇවිස්සී ගියේ නිරායාසයෙනි.

ලියුම්කරුගේ බිරින්දෑ, කලක් මීගහකිවුල, කැටවත්ත, බ/මොරහෙල මහා විද්‍යාලයේ ද, තවත් කලක් බලගොල්ලේ කණිටු විද්‍යාලයේ ද, සිය ගුරු වෘත්තියේ දුෂ්කර සේවා සමයගත කළා ය. එකල ඇය ද මොරහෙල, ගුරු නවාතැනේ සාමාජිකාවකි. ලියුම්කරුට මුල්වරට අලූත් සර්මුණ ගැසෙන්නේ ද එහි දී ය.
වරක් අලූත් සර්ගේඉස්කෝලයේ පිරිමි ළමයින් කිහිප දෙනෙක් පාසැල් නො පැමිණ කට්ටි පනින බව නිරීක්ෂණය විය. ඔවුන්ට ඉගෙන ගැනීමේ දක්ෂකම් ද තිබිණි. මේ ගැන සොයා බැලූ විට ලැබුණේ අපූරු ආරංචියකි. ඔවුන් පාසැල් එන්නා සේ නිවෙස්වලින් පැමිණ, මග දී කැලේ පනින බවත්, මහ කැලේ දී ගොනුන් දක්කමින් තවලම්යන්නට පුරුදු වෙන බවත් ඉන් කියැවිණි!

එදා රාත‍්‍රියේ අලූත් සර්’, මේ ආරංචිය සිය නවාතැනේ සහෝදර ගුරුවරුන් සමග කතිකා කළේ ය.

ඉක්බිති, ‘අපි ප‍්‍රින්සිපල් එක්කත් කතාකරලා, උන්ව අල්ලා ගෙන එමුයයි යෝජනාකර ගත්හ.

පසුවදාම අනෙක් පාසැල්වල සර්ලාත්නිවාඩු දමා ගෙන, සිය සගයා ද සමග වනගත ගමේ ඉස්කෝලයට ගියහ. කට්ටි පනින දරුවන්ගේ දෙමව්පියන් ද සමග හීන් සීරුවේම වනයට රිංගූහ.

ආරංචිය ඇත්ත ය. ගමෙන් වසංගා ගෙන පැමිණි ගොනුන් කිහිප දෙනෙක් ද හසුරුවමින්, සිසුන් පස් දෙනෙක් පමණ තවලම් යන්නට පුහුණු වෙමින් උන්හ! ජීවිතයේ කවදා හෝ තවලම්කාරයෙක් වීම ඔවුන්ගේ සිහිනයවී තිබිණි!

ළමයිනේ, තවලම් දක්කන්න නෙවෙයි, අඩු තරමින් කවදා හරි ලොරියක අයිතිකාරයෙක් වෙන්නවත් ජීවිතේ ගොඩදා ගනිල්ලායයි අලූත් සර් ඇතුළු පිරිස සිසුන්ට මහත් සෙනෙහසින් අවවාද කළහ. පසුව තවලම් සිහිනය අත්හරවා, උන් යහමගට ගන්නට ගුරුවරුන්ට හැකි විණි.

බිරින්දෑ මොරහෙල පාසැලේ සේවය කරන සමයේ, ලියුම්කරු විසුවේ රත්නපුර, කිරිඇල්ලේ මහ ගෙදර ය. ඇය සති අන්තයට (සති අන්තය යයි කීවාට, මාසයකට පමණ වරක්) ගෙදර එන්නේ ද, ආපසු මොරහෙලට යන්නේ ද, පානදුර, බදුල්ල හරහා කැටවත්ත ලංගම බස් රථයෙනි. එය කැටවත්තට ළඟා වන විට සෑම දිනකම සවස 5.30-6.00 පමණ වෙයි. බසය ගමන හමාර කරන්නේ, කැටවත්තේ ගමරාල මාමාගේ කඩයඅසලිනි. එසැණින් කඳුකරයෙන් පැමිණි තවලම් ගොනුන් එය වටකර ගනිති. හෙට උදේ පාන්දරින්ම බදුල්ලට ගෙන යන බඩු භාණ්ඩ (කෘෂි නිෂ්පාදන) උන්ගේ පිටෙහි බැඳ තිබේ. ගම්මු ලහි ලහියේ ඒවා බසයට පටවති. ආසන යටට කදිමට අඩුක් කරති! එකල පානදුරලංගම ඩිපෝවේ බස් රථය, ‘නවීන ලෝකයෙන්’ ‘කැටවත්තනම් හද්දා පිටිසර තවලම් ගමට ප‍්‍රාදූර්භූත වූ මහාර්ඝ වස්තුවක් බඳු විය! එය යළි පානදුර බලා ගමන් අරඹන්නේ පසුවදා උදේ 5.00ට ය.

ලියුම්කරු වරක් ලක්බිම ඉරිදා සංග‍්‍රහයවෙනුවෙන් වියළුව ප‍්‍රදේශයේ තවලම් විත්ති සොයා සංචාරයක යෙදුණේ ය. ගමනේ ඡායාරූප ශිල්පියා වූයේ, බුද්ධික වීරසිංහයන් ය. මීගහකිවුලේ, ‘අරාවහන්දියෙන් හැරී දුර බැහැර ගමකට ගිය අපට තවලම් කතා රශිියක් අසා ගන්නට හැකි විය. ගෝනියකින් සෑදූතවලම් පැස’, ගොනුගේ පිටට සවි කරන්නේ පස්ස පටියනම් රෙදි ලණුවකිනි.

තවලම් පැසඔවුන්ගේ වහරින් ගොං ගෝනියයි’. එහි දෙපසට සාමාන්‍යයෙන් කිලෝ 25-40ක පමණ බර පැටවෙයි. බඩු පැටවූ ඉක්බිති, තවලම්කරුවා ගොනුන්ට ඉදිරියෙන් ගමන් ගනී. ගොනුන් එකා  පසුපස එකා වැටී ඔහු පසුපස ගමන් කරති. ඇතැම් ගොනුන් තම ස්වාමියාගේ නිවස හෝ තවලම ගෙන යායුතු තැන ඉවෙන් මෙන් දනිති. බඩු පොදි ද රැගෙන උන් තනිවම ගමනාන්තයට යන අවස්ථා ද තිබේ! ඇතැම්විට ගොනුන් ගමන් කරන්නේ, උන්ටම ආවේණික මාර්ගවලිනි!

රථවාහන කර්මාන්තය සහ බඩු භාණ්ඩ ප‍්‍රවාහනය ඩිජිටල් ලෝකයක්දක්වා තල්ලූ වුව ද, අධිවේගී මාර්ග පවා ඉදි වුව ද, ‘තවලමමධ්‍යම ක`දුකරය ආශ‍්‍රිත හුදෙකලා ගම්වල දැනුදු ක‍්‍රියාත්මක වෙයි. නදීකගේ කැමරා ඇසට හසුවුණු ලැමසූරියඉන් එක් තැනකි. එමෙන්ම වලපනේ, නිල්දණ්ඩාහින්න, සහ බදුල්ලේ, පස්සර ආශ‍්‍රිත කඳුකර ගම්මානවල ද අදත් තවලම්යන බව අසන්නට ලැබේ!

00000000000000000000000000000000000000000000000000
2017/06/07.






2 comments:

  1. මම කියවා ඇති රසවත්ම ලිපියක්

    ReplyDelete
  2. අද මම මේ ලිපිය බැලුවේ. මොන තරම් රසවත්ද ? සාරවත්ද ? ඒත් ක්‍රිෂ්ණා ඔබ අප හැර ගොස් ඇත. ඔබට සුඛ ප්‍රතිපදාවෙන් වහ වහා නිර්වාණය සාක්ශාත් වේවා !

    ReplyDelete