පරෙවි සන්දේශයේ නූතන ඛේදවාචකය!
(ක‍්‍රිෂ්ණ
විජේබණ්ඩාර)
පරෙවියන් යොදා ගෙන දකුණු පළාතට ‘හෙරොයින්’ (කුඩු) බෙදන ජාවාරමක්
ගැන, 2017 අගෝස්තු 08 වැනි දා දකුණු පළාත්
සභා රැස්වීමේ දී හෙළිදරව් විය. එය හෙළිදරව් කරන ලද්දේ දකුණු පළාත් සභාවේ හම්බන්තොට
දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයෙකු වන තෙන්නකෝන් නිලමේ මහතා විසිනි. හම්බන්තොට ප‍්‍රදේශයේ
‘වරාගොඩැල්ල’ නම් ගම් පියසෙහි වෙසෙන
එක්තරා පුද්ගලයෙක් ජාවාරම මෙහෙය වන බව ද, හෙතෙම අනාවරණය කළේ ය. මේ බව අගෝස්තු 09 වැනි දා මාධ්‍ය මගින්
හෙළිකර තිබිණි.
විනෝදයට ඇති කිරීම, පණිවුඩ ගෙනයාම පිණිස
යොදා ගැනීම සහ පැරණි සන්දේශ සාහිත්‍ය සඳහා භාවිත කිරීම ආදිය හැරුණු විට, මත්ද්‍රව්‍ය ජාවාරමක්
ස`දහා පරෙවියන්
යොදා ගන්නා බව හෙළිදරව් වූයේ මුල් වරට ය! හොරුන්ට ගණදෙවි නුවණ පහළ වෙතැයි කීවාක්
සේ, මත්ද්‍රව්‍ය
ජාවාරම්කරුවන්ට ද තම කාරිය හොර රහසේම කරගෙන යාමට නොයෙක් අදහස් පහළ වන බව ද මෙයින්
පෙනී යයි.
කොයි හැටි වෙතත්, වැඬේ නම් හරිම අපූරු ය. ගමනට පුහුණු කළ පරෙවියා සිය
කාරිය අකුරටම ඉටු කරයි. අනෙක ‘කුඩු’ ද සමග පොලීසියට හසු වුවත් පරෙවියෙකුට නඩු දමන්නට ද ක‍්‍රමයක්
නැත! පොලීසිය නිතරම කරන ‘පුළුල් පරීක්ෂණ’ සඳහා ප‍්‍රශ්න කරන්නට
ද හැකියාවක් නැත!
වැඬේ හරි අපූරු වුවත් ලියුම්කරුට නම් ඇත්තේ කේන්තියකි.
මෙතෙක් ‘සන්නිවේදන
මෙවලමක්’ හැටියට භාවිත
කෙරුණු පක්ෂියෙක්, ‘කුඩු
බෙදාහැරීම’ වැනි සමාජ ද්‍රෝහී
කටයුත්තකට යොදා ගැනීම ඊට හේතුවයි!
යම් පණිවුඩයක්, තොරතුරක් තවත් අයෙකුට පැවසීම සඳහා අතීතයේ දී විවිධ ක‍්‍රම
භාවිත කෙරිණි. මුහුණට මුණ ගැසී කතා කිරීම ඉන් ප‍්‍රධාන ය. එකල ‘හූ හඬ’, බෙර හඬ, දුම් රොටු නැගීම, කොඩි දැමීම ආදිය ද
භාවිත කෙරිණි. පසුකාලීනව අක්ෂර භාවිතය ඇති විය. ඉන් පසුව මැටි පුවරුවල ලිවීම, ශිලා ලේඛන සැකසීම වැනි
විධික‍්‍රම යොදා ගැනුණි. ඇතැම් පණිඩුඩ තල්පත්වල ලියා, හීයක අමුණා, යම් නිශ්චිත ස්ථානයකට
දුන්නෙන් විදීම ද පැරණි ලංකාවේ පැවති පණිවුඩ යැවීමේ ක‍්‍රමයක් විය. තොරතුරු රැගෙන
යාම පිණිස පැරණි රජ සමයේ දී පණිවුඩකරුවන් ද යොදා ගැනුණි. පක්ෂීන් මගින් පණිවුඩ
යැවීම ද අද ඊයේ කෙරුණු දෙයක් නොවේ. එය බොහොම පැරණි දෙයකි. අතීතයේ විසූ සාහිත්‍යකරුවෝ, විවිධ පක්ෂීන් ‘දූතයන්’ වශයෙන් යොදා ගනිමින්
අලංකාර ‘සන්දේශ කාව්‍ය’ නිර්මාණය කළහ. පරෙවි, සැලළිහිණි, හංස, මයුර, කෝකිල, තිසර, සහ කොවුල් ආදී සන්දේශ
කාව්‍ය බොහොමයක් ඒ අතර වෙයි.
සන්දේශ කාව්‍යයන් බිහිවීම සඳහා වඩාත් ප‍්‍රකට වූයේ
කෝට්ටේ යුගයයි. එනම් වර්ෂ 1410 සිට 1597 දක්වා වකවානුවයි. ‘පරෙවි’, ‘ගිරා’ ‘සැලළිහිණි’ ‘කොවුල්’ සහ ‘හංස’ ආදී සුප‍්‍රකට සන්දේශ
කාව්‍යයන් බිහිවූයේ කෝට්ටේ යුගයේ දී ය. එසමයෙහි කෝට්ටේ රජ කළ හය වැනි පරාක‍්‍රමබාහු
රජුගේ (ක‍්‍රි. ව. 1410-1467) පාලන සමය ඉන් සුවිශේෂ
ය. රටේ සාහිත්‍ය පෝෂණයට රජු වෙතින් ඉමහත් පිටුවහලක් ලැබීම ඊට හේතුවයි.
පක්ෂීන් දූතයන් වශයෙන් ගෙන සන්දේශ කාව්‍ය නිර්මාණය
කිරීමේ කාරණයට, ගාල්ල දිස්ත‍්‍රික්කයේ, හික්කඩුව,
තොටගමුවේ රජමහා විහාරය (රන්පත් විහාරය) ද ඈඳෙන්නේ
නිරායාසයෙනි! එය, අපේ රටේ මහ පඬිරුවනක්වූ, ෂඞ් භාෂා පරමේශ්වර, තොටගමුවේ ශ‍්‍රී රාහුල
සංඝරාජ නාහිමියන් වැඩ විසූ විහාරස්ථානයයි. එයට අනුබද්ධව පැවති ‘විජයබා මහ පිරුවන’, කෝට්ටේ යුගයේ දී
ලංකාවේ පැවති අග‍්‍රගණ්‍ය උසස් අධ්‍යාපන ආයතනවලින් එකකි. ශ‍්‍රී රාහුල හිමියන් වූ
කලී, ‘පරෙවි’ සහ ‘සැළලිහිණි’ යන පැරණි සන්දේශ කාව්‍ය
සහ ‘කාව්‍යශේඛරය’ ද, ‘පංචසිකාප‍්‍රදීප’, ‘බුද්ධිප්පසාදිනී’ ඇතුළු සාහිත්‍ය හා
ධර්ම ග‍්‍රන්ථ ගණනාවකම කතුවරයාණන් ය.
ඉතිහාස තොරතුරුවල හැටියට, තොටගමුවේ ‘විජයබා මහ පිරුවන’ කරවා ඇත්තේ මහා
විජයබාහු රජතුමා (ක‍්‍රි. ව. 1070-1110) විසිනි. ඊට පසුව කෝට්ටේ රජ කළ හය වැනි පරාක‍්‍රමබාහු
රජුගේ (ක‍්‍රි. ව. 1410-1467*
අනුග‍්‍රහය තොටගමු විහාරයට ලැබිණි.
තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් එහි වැඩ වාසය කළේ හය වැනි
පරාක‍්‍රමබාහු රජු දවස ය. එකල උන්වහන්සේ ‘සංඝරාජ’ පදවිය ද හෙබැවූහ. උන් වහන්සේ කාව්‍යකරණය, සාහිත්‍ය ග‍්‍රන්ථකරණය, වෛද්‍ය ශාස්ත‍්‍රය, ජ්‍යෝතිෂ්‍යය සහ ගුප්ත
විද්‍යා ආදියෙහි හසල දැනුමක් ඇති පඬි රුවනකි. එකල උන්වහන්සේ හඳුන්වා ඇත්තේ, ‘ෂඞ්භාෂා පරමේශ්වර, ත‍්‍රිපිටක
වාගීශ්වරාචාර්ය, සිරිසඟබෝ ශ‍්‍රී
විජයබා පරිවේණාධිපති, තොටගමුවේ
වාචිස්සර ශ‍්‍රී රාහුල සංඝරාජ මාහිමියන්’ වශයෙනි.
තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ ගුරු හිමියන් වූයේ, එකල වීදාගම (රයිගම), ශ‍්‍රී ඝනානන්ද
පිරිවෙණෙහි පරිවේණාධිපතිව වැඩ සිටි වීදාගම මහා මෛත‍්‍රීය නාහිමියන් ය. උන් වහන්සේ
ද, ‘බුදුගුණාලංකාරය’, ‘ලෝවැඩ සඟරාව’ සහ ‘හංස සන්දේශය’ ආදී ග‍්‍රන්ථ රචනා කළ
විද්වත් යතිවරයෙකි. ‘ගුත්තිල කාව්‍යය’ රචනා කළ ‘වෑත්තෑවේ හිමියන්’ ද විජයබා පිරුවණෙහි
උගත් යතිවරයෙකි. ශ‍්‍රී රාහුල හිමියන්ගේ ශිෂ්‍යයෙකි.
කෝට්ටේ යුගයෙහි රචනා කෙරුණු මුල්ම සන්දේශ කාව්‍ය ලෙස
සැලකෙන්නේ ‘පරෙවි සන්දේශය’යි. එහි රචකයා
තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් ය. කතු හිමියන්ගේ දූත පරෙවියා සිය ගමන ආරම්භ කරන්නේ
‘ශ‍්‍රී
ජයවර්ධන පුරයෙනි’ එනම් කෝට්ටේ
අගනුවරිනි. පරාක‍්‍රමබාහු රජුගේ සොහොයුරියවූ චන්ද‍්‍රවතී කුමරියට සුදුසු සැමිියෙකු
ලබා දෙන්නැයි ඉල්ලමිින් ලියැවෙන පරෙවි සන්දේශය රැගෙන යන්නේ රුහුණේ, දෙවිනුවර ‘උපුල්වන් දේවාලයට’ ය.
පරෙවියන් වූකලී වැඩි ආයාසයකින් තොරව දීර්ඝ ගමන්වල යෙදිය
හැකි පක්ෂීන් විශේෂයක් යයි ප‍්‍රකට ය. එසේම උන් ‘මිනිස් අණ’ ඉටු කිරීම සඳහා මැනවින් පුහුණු කළ හැකි ය.
එබැවින් පුරාණයේ සිටම උන් පණිවුඩ රැගෙන යාම සඳහා යොදා ගන්නට ඇත. වර්තමානයේ ද
විනෝදය පිණිස පරෙවියන් ඇති කරන අය සිටිති!
සන්දේශ සාහිත්‍යයට පමණක් නොවේ! පරෙවියන් ජන සන්නිවේදනයට
මෙන්ම, පත්තර කලාවට ද
සම්බන්ධ ය. උන් එයට සම්බන්ධ වීම, තොරතුරු සන්නිවේදනයේ යම් කඩයිමක් බඳු ය. යම් තොරතුරක්
තවෙකෙකු වෙත ඉක්මණින් සන්නිවේදනය කිරීමේ මුල් කාලීන ක‍්‍රමවේදය වූයේ, මුහුණට මුහුණ හමුවී
දැනුම් දීමයි. පසුව සමාජය පුළුල් වීමෙන් පසුව එය දුෂ්කර කටයුත්තක් විය. එබැවින්
කඩින්-කඩ දුවන මිනිසුන් පණිවුඩකරුවන් හෝ යම් යම් ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන්නන්
වශයෙන් යොදා ගැනුණි. අතීතයේ ‘මඩුවන්වෙල මහ දිසාවේ’ නමින් ප‍්‍රකටව සිටියේ, වර්ෂ 1844 දී උපන් ‘මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන්
කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ‍්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල’ නම් ප‍්‍රභූවරයා ය.
ඔහු විසූ ඇඹිලිපිටියේ සුප‍්‍රකට ‘මඩුවන්වෙල වලව්වට’, තංගල්ලේ සිට ‘මාළු’ ගෙන ආවේ කඩින්-කඩ දුවන මිනිසුන් යොදා ගනිමිනි.
පරෙවියන් ජන සන්නිවේදනයට හෝ පත්තර කලාවට එකතු වන්නේ වර්ෂ
1850 දී ය. එනම්
ලංකාවේ බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී ය. කේ. ඞී. පරණවිතාන සූරීහු සිය ‘ගාලූ පුරාණය’ නම් අගනා කෘතියෙහි සඳහන්
කරන පරිදි, ගාලූ වරායට
එතෙරින් පැමිණි නැව් මගින් ගෙනා පණිවුඩ කොළඹට යැවීම පිණිස 1850 සිට පරෙවියන් යොදා
ගෙන තිබේ!
වර්ෂ 1505න් පසුව ලංකාවට එළඹි යටත් විජිත පාලන සමයේ (පෘතුගීසි, ලන්දේසි සහ බි‍්‍රතාන්‍ය), ඉන්දියන් සාගරයේ කැපී
පෙනෙන වෙළෙඳ වරාය බවට පත් වූයේ ගාල්ලයි. එසේම වර්ෂ 1505 සිට වර්ෂ 1882 දක්වා (කොළඹ වරාය බිහිවන තුරු) ලංකාවේ ප‍්‍රධාන
ජාත්‍යන්තර වෙළෙඳ වරාය වූයේ ද ගාල්ලයි. එබැවින් විදේශවල සිට තැපෑලෙන් ලියුම්
ලැබුණේ ද ගාල්ලට ය. මුල් කාලයේ දී ඒවා කොළඹට යවන ලද්දේ දිවීමෙහි සූරකම් ඇති
මිනිසුන් කඩින්-කඩ යොදා ගනිමිනි. පසුව 1838 වර්ෂයේ සිට ‘තැපැල් ගෙන යාම’ සඳහා අශ්ව කරත්ත භාවිත
කෙරිණි. කේ. ඞී. පරණවිතාන සූරීහු සඳහන් කරන අන්දමට, බොහෝ ‘විදේශ ප‍්‍රවෘත්ති’ ගාල්ලට ලැබුණේ ‘දුම් නැව්’ මගිනි. ඒවා ඉතා ඉක්මණින් කොළඹ පත්තර කන්තෝරුවලට යැවීම
පිණිස 1850 වසරේ සිට
පරෙවියන් යොදා ගැනුණි.
ගාල්ලේ ජනප‍්‍රවාද ඉතිහාස කතාවල එන හැටියට, එකල ‘පණිවුඩ’ ගැට ගැසූ පරෙවියන්
මුදා හැරුණේ ගාලූ කොටුවේ පිහිටි ‘ප‍්‍රදීපාගාරය’ මුදුනෙනි. එය ගාලූ කොටුවේ දී අද අප දකින ප‍්‍රදීපාගාරය
නොවේ. ගාලූ කොටුවේ ‘ෆ්ලෑග් රොක් මුර
අට්ටාලය’ (‘කොඩි ගල’ මුර අට්ටාලය) පැවති
ස්ථානයේ එකල තිබුණු පැරණි ප‍්‍රදීපාගාරයයි. අඩි 90ක් උසින් යුත් එය ඉදි වූයේ වර්ෂ 1848 දී ය. වර්ෂ 1936 දී හටගත් ගින්නකින්
එය විනාශ විය. අද අප දකින ගාලූ ප‍්‍රදීපාගාරය ඉදි වූයේ 1939 වර්ෂයේ දී ය. පැරණි ප‍්‍රදීපාගාරය
මුදුනෙන් ගමනට පිටත් වන පරෙවියන්, බිමට බැස්සා යයි කියන්නේ කොළඹ, කොම්පඤ්ඤ වීදියේ
පිහිටි යම්කිසි ස්ථානයකට ය. පරෙවියන්ගේ කොළඹ ගමනට එකල පැය තුනක් පමණ ගතවූ බව
කියැවේ. පරෙවියන්ගේ තැපැල් ගමන් භාරව යම් කොන්ත‍්‍රාත්කරුවෙක් බඳු තැනැත්තෙක් ද
සිටි බව ප‍්‍රකට ය. පසුව ‘විදුලි පණිවුඩ’ (ටෙලි ග‍්‍රාෆ්) ක‍්‍රමය
ගාල්ලට ව්‍යාප්ත විය. 1866 දී ප‍්‍රථම
විදේශීය විදුලි පණිවුඩය ගාල්ලට ලැබුණු බව ‘ගාලූ පුරාණය’ කෘතියෙහි දැක්වේ. ඉන් පසුව ‘පරෙවියන්ගේ විදෙස් ප‍්‍රවෘත්ති
සේවාව’ සහ ‘පරෙවි තැපෑල’
අභාවයට යන්නට ඇත!
බි‍්‍රතාන්‍යයන්, පරෙවියන් මගින් කොළඹට පණිවුඩ එවීමේ ඉතිහාසයට දැන් වසර 167කි. සන්දේශ කාව්‍ය
ලියූ කෝට්ටේ යුගය ඊටත් වඩා පැරණි ය. එහෙත් වර්තමානය නම් පිළිකුල් සහගත ය. එය
කොතෙක් අභාග්‍ය සම්පන්න ද යත්, අතීතයේ සාහිත්‍ය සහ ජනසන්නිවේදනය පොහොණි කිරීමට යොදා ගත්
අහිංසක ක‍්‍රමවේදයක්, දැන්
හම්බන්තොට, ‘වරාගොඩැල්ල’ ගම් පියසෙහි වෙසෙන
පුද්ගලයෙක් නිර්ලජ්ජිතව ‘කුඩු ජාවාරමට’ යොදා ගෙන තිබෙන්නේ ය!
2017/08/28.
No comments:
Post a Comment