Total Pageviews

Sunday, May 15, 2016

චැනල් පෝලිමේ වැට් බදු ගින්දර

චැනල් පෝලිමේ වැට් බදු ගින්දර
 

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මිත‍්‍රවරුණි, අපි ඉකුත් මැයි මස (2016) 05 වැනි දා සවස ආණ්ඩුවට රුපියල් 513.00ක ‘වැට් බදු’ ගෙව්වෙමු. අපට එය ගෙවන්නට සිදු වූයේ, පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවාවන් සඳහා සියයට 15ක වැට් බද්දක් අය කරන්නට ආණ්ඩුව ගෙන ඇති තීරණය හේතුවෙනි. රටකට බදු අවශ්‍ය බව කවුරුත් දනිති. එහෙත් පෞද්ගලික සෞඛ්‍ය සේවා සඳහා වැට් බදු අය කිරීම, හරියටම එල්ලය බලා  මහජනයාගේ  හිස් මතට එල්ල කළ පොලූ පහරක් බව දැන් මගේ වැටහීමයි.
 
මැයි මස 05 වැනි දා සවස මාත්, මගේ ගාල්ලේ පෞද්ගලික රෝහලකට ගියෙමු. මගේ බිරිඳගේ යම්  අසනීප තත්ත්වයකට ප‍්‍රතිකාර පිණිස චැනල් සේවාව ඔස්සේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පිහිට පැතීම, ගමනේ අරමුණ විය. සියයට පහළොවේ වැට් බද්දෙන් භරිතවූ චැනල් තුණ්ඩුවක් දැන් රුපියල් 1502.50කි. එහි දක්වා ඇති පරිදි, ඉන් විශේෂඥ වෛද්‍යවරයාගේ ගාස්තුව රුපියල් 950.00කි. පෞද්ගලික රෝහලේ සේවා ගාස්තුව රුපියල් 400.00කි. වැට් බද්ද රුපියල් 207.00කි.සියල්ල එක්වූ විට, චැනල් ගාස්තුව රුපියල් 1502.50කි. චැනල් වෛද්‍යවරයාගේ නිර්දේශය පරිදි මගේ බිරිඳට  
zECGZ පරීක්ෂණයක් මෙන්ම රුධිර පරීක්ෂණයක් ද කරවා ගන්නට සිදු විය.

zECGZ පරීක්ෂණයේ ගාස්තුව රුපියල් 207.00කි. ඉන් රුපියල් 27.00ක් වැට් බද්ද ය. රුධිර පරීක්ෂණ ගාස්තුව රුපියල් 2173.00.50කි. ඉන් රුපියල් 283.50ක්ම වැට් බද්ද ය. මේ අනුව එදින අපේ චැනල් ව්‍යාපෘතිය ස`දහා ගෙවන්නට සිදුවූ සම්පූර්ණ වැට් බදු මුදල රුපියල් 513.00කි!
 
වැට් බදු මුදල් එකට එකතු කළ විට මට පෙනී ගියේ, ආණ්ඩුව අපේ හිස් මතට ඉතා බිහිසුණු පොලූ පහරක් පත බා ඇති බවයි!
 
වැට් බද්ද සියයට 15ක් දක්වා ඉහළ දමමින්, ආණ්ඩුවේ අය ඉකුත් දිනවල පැවසුවේ, මුළු රටම ණය උගුලක සිරවී සිටින බැවින් මහජනතාව ද දැන් පටි තදකර ගත යුතු බවයි ඔවුන් වැට් බද්ද ඉහළ නැංවූයේ, රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේ පියවරක් වශයෙන් බව ද කියනු ඇසිණි. වැට් බද්ද තාවකාලික බව ද ඇතැම් ඇමතිවරු කීහ. කෙසේ වෙතත් පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් සඳහා වැට් බදු පැන වීම මගින් එජයට විශාල ආදායමක් ලැබෙන  බව පැහැදිලි ය,
 
ලියුම්කරු ජීවත් වන ගාල්ල ප‍්‍රදේශය ගත් විට, මහා පරිමාණයෙන් චැනල් සේවා සපයන රාජ්‍ය නො වන රෝහල් තුනක් දැක ගත හැකි ය. ඉන් එකක් සමුපකාර රෝහලකි. අනෙක් දෙක පෞද්ගලික රෝහල් ය. ඒවාට දිනකට චැනල් රෝගීන් 1000ක් බැගින් පැමිණුනා යයි උපකල්පනය කරමු. එවිට සමස්ත රෝගීන් සංඛ්‍යාව 3000කි. එක් රෝගියෙකු ගෙන් අය කෙරුණු වැට් බදු මුදල රුපියල් 202ක් බැගින් ගතහොත්, ගාල්ලෙන් පමණක් දිනකට රජයට එකතු වන වැට් බදු ආදායම රුපියල් 6,06,000කි!
 
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පළ කරන, zAnnual Health Bulletin-2013වාර්තාවේ හැටියට, ලංකාවේ වෛද්‍යවරුන් වැඩිම පිරිසක් සේවය කරන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ය. එය රටේ ජනගහණයෙන් පුද්ගලයන් ලක්ෂයකට, වෛද්‍යවරුන් 191 දෙනෙකි. මහනුවර දිස්ත‍්‍රික්කය සඳහා මෙම සංඛ්‍යාව පුද්ලයන් ලක්ෂයකට වෛද්‍යවරුන් 127කි. මේ අනුව, විශේෂඥ වෛද්‍යවරුන් ද වැඩිම පිරිසක් කොළඹට සංකේන්ද්‍රණයවී ඇති බව සිතිය හැකි ය. ඊළඟට මහනුවර ය. කොළඹ සහ මහනුවර යන නගරවල චැනල් මධ්‍යස්ථාන සහ පෞද්ගලික රෝහල් කොතෙක් ඇත් ද? එබැවින් කොළඹ සහ මහනුවර ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් වැඩි වශයෙන් සිටින නගරවලින් දැන් කොපමණ මුදල් කන්දරාවක් වැට් බදු වශයෙන් රජයට එකතු වන්නේ ද? යන්න, හරියටම දන්නා කෙනෙක් නැත. කෙසේ හෝ වේවා, ඒ සියල්ල ජනතාවගේ හිස් මතට පහර දී මිරිකා, සූරා ගන්නා මුදල් බව පැහැදිලි ය.
 
රජයේ ආදායම ඉහළ තලයකට නංවා ගත යුතු බව ඇත්තකි. එහෙත් ඒ සඳහා ආණ්ඩුව ගෙන ඇති ක‍්‍රියාමාර්ගවල නො පැහැදිලි බවක් මෙන්ම, පීඩාකාරී බවක් ද දක්නට ලැබේ.
 
x    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටුණ ද, ලංකාවේ ඉන්ධන මිල ඊට සාපේක්ෂව අඩු වූයේ නැත. ආණ්ඩුව තවමත් මහජනයාට වැඩි මිලට ඉන්ධන විකුණයි. ඉන් ලැබෙන අමතර ලාභය, ඛනිජ තෙල් සංස්ථාවේ පාඩු පියවා ගැනීමට භාවිත කරන බව ආණ්ඩුවේ පාර්ශවයෙන් කියැවිණි. තිරිඟු පිටි සම්බන්ධ කාරණය ද මීට සමාන ය.
 
   ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල පහත වැටුණ ද, ලංකාවේ පාන් පිටි කිලෝවේ හෝ පාන් ගෙඩියේ මිල අඩු වූයේ නැත!
 
‘අලි මදිවාට හරක්’ යයි කීවා සේ, ආණ්ඩුව දැන් වැට් බද්දෙන් ද මුදල් සූරා ගනියි!
 
හෙළිදරව්වී ඇති තොරතුරු අනුව, ලංකාවේ සෞඛ්‍ය හා වෛද්‍ය සේවාවන් ගෙන් සියයට 95ක්ම සැපයෙන්නේ රාජ්‍ය අංශයෙනි. ඉතිරි සියයට 05ක කොටස, පෞද්ගලික අංශයෙනි. එසේ වුවත් රටවැසියන් ගෙන් අති විශාල කොටසක් පෞද්ගලික සෞඛ්‍ය වෛද්‍ය අංශ වෙත ඇදී යති. ඉන් බහුතර පිරිස සමන්විත වන්නේ ‘චැනල් රෝගීන්’ ගෙනි.
 
රාජ්‍ය අංශයේ රෝහල් ක‍්‍රියාවලියේ දී, බාහිර හෝගීන්ට තම ගැටලූ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් මුණගැසීම ලෙහෙසි නැත. බොහෝ විට ඔවුන් තම රෝගීන් පරීක්ෂා කරන්නේ මුල්ම වතාවේ දී පමණි. ඉන් පසුව විශේෂඥ වෛද්‍යවරුන් නොවන වෛද්‍යවරුන් (සාමාන්‍ය වෛද්‍යවරුන්) විසින් ප‍්‍රතිකාර මෙහෙය වනු ලැබේ. එතැන් සිට ඔවුන් තම රෝගියා විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කරන්නේ, යම් විශේෂිත තත්ත්වයක් ඇති වුව හොත් පමණකි. එබැවින්  බාහිර රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන් මුණගැසීමට හැකි වන්නේ පෞද්ගලික අංශයේ චැනල් සේවාවේ දී ය. මේ කාරණය නිසා පෞද්ගලික අංශයේ ‘චැනල් සේවාව’, අද සමාජයට අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී තිබේ. මුදල් හත පදනම් වුව ද, දැන් එය ජනතා අවශ්‍යතාවයකි!
 
ශී‍්‍ර ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන ආකාරයට, 2014 වසර නිම  වන විට රට තුළ පැවති රජයේ රෝහල් සංඛ්‍යාව 625කි. රෝහල් ඇඳන් සංඛ්‍යාව 78,243කි. ඒ වන විට රටේ ජනගහණයෙන්, සෑම 1227 දෙනෙකුටම එක් අයෙක් බැගින් රජයේ වෛද්‍යවරුන් ද සිටියහ. 2014 වසර නිම වන විට, රට තුළ තිබූ පෞද්ගලික රෝහල් සංඛ්‍යාව 221ක් විය.
 

zAnnual Health Bulletin-2013Z වාර්තාවේ සඳහන් වන අන්දමට, 2013 වසරේ රජයේ රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානවලින් ප‍්‍රතිකාර ලැබූ  නේවාසික රෝගීන් සංඛ්‍යාව, මිලියන 05කට අධික ය. බාහිර රෝගීන් සංඛ්‍යාව මිලියන 53කි. මින් පෙනෙන්නේ කුමක් ද?, අපේ රටට රෝගීන් ගෙන් නම් අඩුවක් නැති බවයි.
 
ප‍්‍රතිකාර පතා රාජ්‍ය අංශයේ රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානවලට ඇදී යන පිරිස ඒ තරම් විශාල නම්, පෞද්ගලික අංශයට ඇදී යන පිරිස කොපමණ දැයි සිතා ගැනීම අසිරු නැත. මහජනතාව අතර පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන බෙහෙවින් ජනප‍්‍රියවී ඇත්තේ ‘චැනල් සේවාව’ සහ ‘සී. ටී. ස්කෑන්’, ‘එන්ජියෝ ග‍්‍රෑම්’ ආදී නවීන වෛද්‍ය පහසුකම් පහසුවෙන් සලසා ගත හැකි වීම නිසා බව නො රහසකි. මුදල් ගෙවන්නට හැකි නම්, පෞද්ගලික අංශයේ ඒවාට පෝලිම් නැත. මේ නිසා දිනපතාම ‘චැනල් සේවාව’ සහ අනෙකුත් වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අති විශාල පිරිසක් පෞද්ගලික අංශයට ඇදී එති. එහි සේවය කරන බහුතර පිරිස ද, රාජ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් ය.
 
සමස්තයක් වශයෙන් ගත් කල, චැනල් සේවා සඳහා ඇදී එන බහුතරය කවුරුන් ද? ඔවුන් නම් මහා ධනවතුන් නො වන, සාමාන්‍ය පන්තියේ මහජනතාව ය. චැනල් සේවාවට එන බොහොම දෙනෙක් මුල් වටයේ දී විශේෂඥ වෛද්‍යවරුන් මුණගැසී, දෙවනුව රජයේ රෝහල්වල සායන සඳහා යොමු වීමට පුරුදුව සිටිති. යළි ඉඳහිට චැනල් සේවාවේ ගිය ද ඔවුන් ප‍්‍රතිකාර ගන්නේ රජයේ රෝහල්වලිනි. රජයේ රෝහල්වල දී රිසි සේ විශේෂඥ වෛද්‍යවරුන් මුණගැසීමට අවස්ථාවක් නැතිකම, මහජනයා එබඳු පිළිවෙතකට යොමු වීමට හේතුවයි!
දැන් ‘වැට් බද්ද’ නමැති තඩි පොල්ලෙන් පතබා තිබෙන්නේ එබඳු පිළිවෙතක් ඇති සාමාන්‍ය ජනතාවගේ හිස් මතටය.
 
දැන් ගාල්ලේ චැනල් සේවාවේ මිල රුපියල් 1502.50කි. ඉන් රුපියල් 202.50ක්ම වැට් බද්ද ය. කොළඹ හෝ මහනුවර චැනල් ගාස්තු මීටත් වඩා ඉහළ මිලක් ගන්නවා වන්නට ද පුළුවන.
 
කෙසේ වෙතත් ආණ්ඩුව කියන්නේ චැනල් ගාස්තුව රුපියල් 2000කට වඩා ඉහළ දැමීම තහනම් බවයි. එහි යටි අරුත, චැනල් ගාස්තුව රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට තහනමක් නැති බවයි!
 
වැට් බද්දෙන් අත් වන පීඩාව, හැම දෙයකටම සිංගප්පූරුවේ ‘මවුන්ට් රෝයල්’ රෝහලට යන මැති-ඇමතිවරුන්ට හෝ ධනවත් අයට නොවේ. දුකසේ ජීවත් වන  හුදී ජන පන්තියේ මිනිසුන්ට ය!
2016/05/13.

2 comments:

  1. ඔව් ඉතින් දැන් වැදිලා තියෙන්නේ හතරඅතටම ............

    ReplyDelete
  2. මේක නම් හරිම ඛේදනීයයි. දැං ඕකට නිදහසට කියන්න උත්තරත් තියේවි ඕනෙ තරම්. මේක සාධාරනීකරනය කරන්නත් රෙදි අපුල්ලන්නො ඉඳී ඕනෙ තරම්

    ReplyDelete