Total Pageviews

Sunday, March 13, 2016

ගොවි උද්ඝෝෂණ-පුංචි ඡන්දයෙන් ඇතුළට යාමේ ෂෝට් කට් එකක් ද?

රට පුරා ගොවි උද්ඝෝෂණ රැල්ල
පුංචි ඡන්දයෙන් ඇතුළට යාමේ ෂෝට් කට් එකක් ද?
 
 
(පින්තූරය-Asianmirror.lk)

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
රටට බත හදන වී ගොවීහු දැන් දැඩි ලෙස නො සන්සුන්වී සිටිති. පෙනෙන හැටියට, ඔවුන් පෙළන ප‍්‍රධාන ගැටළු දෙකකි. ඉන් එකක් වන්නේ මෑත ඉතිහාසයේ මුල්ම වතාවට, වී කිලෝවේ විකිණුම් මිල රුපියල් 17ත්-22ත් අතර  පහත් අඩියකට වැටී තිබීම ය. ‘මෑතක ආපු නරකම මිල!’, ගොවීන් ඒ ගැන කියන්නේ කෝපයෙනි. කලකිරීමෙනි.
 
අනෙක ආණ්ඩුවේ පොහොර සහනාධාරය පිළිබඳ ප‍්‍රශ්නයයි. මේ දිනවල රටේ  වී වගා ප‍්‍රදේශවල කෙරෙන්නේ, 2015/2016 මහ කන්නයේ අස්වනු නෙලා ගැනීමේ කටයුතු ය. දැන් ඒවා පසෙක ලා, පොහොර සහනාධාරය වෙනුවෙන් බැංකු ගානේ රස්තියාදු වීමටත්, ඒ සඳහා ලියාපදිංචි වීමටත් ගොවීන්ට සිදුව තිබේ. ගොවීන් පවසන අන්දමට, ලියාපදිංචියේ දී නිලධාරීන් හත් දෙනෙකුගේ අත්සන් ද ලබා ගත යුතු ය. ‘පුරුදු විදිහට රුපියල් 350ට පොහොර සහනාධාර දීපල්ලා’ යන්න, අද බොහෝ ගොවීන් ගෙන් අසන්නට ලැබෙන සටන් පාඨයයි.
 
ගොවීන් කාරණය ඉස්මත්තට ගෙනාවේ සහනාධාරය සඳහා පොහොර වෙනුවට, මුදල් දෙන්නට ආණ්ඩුව ගත් තීරණයත් සමගිනි. ඊට එරෙහිව රටේ විවිධ ප‍්‍රදේශවල ගොවි උද්ඝෝෂණ පවා පැවැත්විණි. පිරිසක් අනුරාධපුරයේ දී කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතාගේ නිවස  පවා වැටලූහ!
 
ගොවීන් පෙළෙන ගැටළු ඔස්සේ ඉකුත් දිනවල, රට පුරා කිසියම් නො සන්සුන් තත්ත්වයක් නිර්මාණය විය. එය සුවිශේෂ ය. ඊට එක් හේතුවක් වන්නේ, දැන් අලූත් ආණ්ඩුවක් බලයේ සිටීම ය. ගොවීන් හඬ නගන්නේ එහි ක‍්‍රියාමාර්ගවලට එරෙහිව ය. අනෙක  වත්මනෙහි රටේ නායකයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතා, රටේ ප‍්‍රමුඛ පෙළේ ගොවි ජනපදයකින් බිහිවූ තැනැත්තෙකු වීම ය. එසේම ඔහුගේ කෘෂිකර්ම ඇමතිවරයා වන දුමින්ද  දිසානායක මහතා ද, ලංකාවේ වියලි කලාපීය මහා ගොවි ජනපදයකින් බිහිවූ දේශපාලනඥයෙකි.  රට කරවන තැනැත්තා ද, රටේ ගොවිතැන මෙහෙය වන තැනැත්තා ද, ගොවි ජනපද පදනමකින් බිහිවූ තත්ත්වයක් තුළ හටගත් ගොවි නො සන්සුන්තාවය, සුවිශේෂ ජන අවධානයක් දිනා ගත්තේ ය.
 
(පින්තූරය-Lankatruth.com)
ගොවි උද්ඝෝෂණ පිටුපස යම් දේශපාලන මෙහෙය වීමක් ද ඇති බවක් දැන් පෙනී යයි!

 
වී අලෙවි ප‍්‍රශ්නය සහ
සහල් මෝල් මුදලාලිලාගේ ඒකාධිකාරය

සාධාරණ මිලකට වී අස්වනු අලෙවිකර ගැනීමේ ප‍්‍රශ්නය ඉතා සංවේදී එකකි. එය වී ගොවියාට මෙන්ම, ඔහුගේ වියෙහි-සහලෙහි බත මිලයට ගන්නා පාරිභෝගික ජනතාවට ද බලපාන්නක් වීම ඊට හේතුවයි. ලියුම්කරු  1992 වර්ෂයේ පටන්ම, ලංකාවේ වී ගොවීන්ගේ ගැටළු සම්බන්ධයෙන් මාධ්‍යකරණයෙහි යෙදෙන පුද්ගලයෙකි. එකල ද වී ගොවීන්ගේ අස්වනු සාධාරණව අලෙවිකර ගැනීමට හැකි වූයේ නැත. දැනුදු එය එසේම ය. අස්වනු නෙලන සමයට, වී මිල හැමදාමත් පහත වැටෙයි. එහෙත් ඊට සාපේක්ෂව සහල් මිල නම් පල්ලම් බසින්නේ නැත. වී ගොවීහු දිළින්දෝ ය. ඔවුන්ගේ වී ටික තුට්ටුවට දෙකට කිරා ගෙන ගිය හාල් මෝල් මුදලාලිලා නම්, මොන්ටෙරෝධාරීව, මහා මන්දිරධාරීව යෙහෙන් වැජඹෙති. වී ගොවියාට මෙන්ම සහල් පාරිභෝගිකයාට ද කිසි කලෙකත් සාධාරණය ඉටු වුයේ නැත. බලයට එන ආණ්ඩු මෙන්ම බැංකු ආයතන ද වැඩියෙන් සලකන්නේ ගොවීන්ට නොව, මහා පරිමාණ වී-සහල් ව්‍යාපාරිකයන්ට ය.
 
යහපත් වර්ෂාවෙන් සපිරි ‘මහ’ වූ කලී, ලංකාවේ වැඩිපුරම වී නිපදවන වගා කන්නයයි. ඉකුත් 2014/2015 මහ කන්නයේ ලංකාවේ වී වගා කළ සමස්ත භූමිය, හෙක්ටයාර් 7,72,626කි. ඉන් ලද වී අස්වනු ප‍්‍රමාණය, මෙටි‍්‍රක්ටොන් 28,76,987කි. කෘෂිකර්ම අමාත්‍යංශයේ ඇස්තමේන්තු අනුව, මෙවර එනම් 2015/2016 මහ කන්නයේ වී වගාවට ඉලක්ක කෙරුණු බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 7,94,015කි. ඉන් නිපැයෙතැයි උපකල්පනය කරන වී අස්වනු තොගය, මෙටි‍්‍රක්ටොන් 30,37,910කි. දැන් රටට ලැබෙමින් තිබෙනුයේ ඒ අස්වැන්නයි.
 
ලියුම්කරු දන්නා කියන කාලයේ පටන්ම, ගොවීන්ගේ වී අලෙවි ගැටළුවට නිසි විසඳුමක් තිබුණේ නැත. බලයේ පැවති ආණ්ඩු වී මිල ස්ථාවර මට්ටමක තබා ගැනීම පිණිස භාවිත කළේ, ‘සහතික මිල’ ක‍්‍රමයයි. එනම් වී කිලෝවක් සඳහා යම් සහතික මිලක් පනවා, ආණ්ඩුවේ පාර්ශවය (වී අලෙවි මණ්ඩලය සහ සමුපකාර සමිති) මගින් සහතික මිලට වී ගන්නට සැලැස් වීම, එහි ක‍්‍රමවේදයයි. එහි දී ආණ්ඩුවේ පාර්ශවය මිල දී ගන්නේ, වෙළෙඳපොළට එන සමස්ත වී අස්වැන්නෙන් සියයට 10ක් තරම් සුළු ප‍්‍රමාණයකි.
 
ආණ්ඩුව මෙසේ කරන විට, ගොවීන් කිසිවෙක් සහතික මිලට වඩා අඩුවෙන් වී අලෙවි කරන්නේ නැත. එබැවින් පෞද්ගලික අංශයට ද සහතික මිල හෝ ඊට වඩා වැඩියෙන් ගෙවා, වී මිල දී ගන්නට සිදු වේ. ඉන් යම් තරඟකාරිත්වයක් ඇති වන නිසා, වී මිල යම් ස්ථාවර මට්ටමක පැවතුණි. සංකල්පයක් හෝ න්‍යායක් හැටියට එය නරක නැත. එහෙත් ක‍්‍රියාත්මක වීමේ දී හට ගත් විවිධ ගැටළු නිසා, ආණ්ඩුවේ වී මිලයට ගැනීමේ යාන්ත‍්‍රණය හැමදාමත් දුර්වල තත්ත්වයක පැවතිණි. එය හැමදාමත් දැඩි විවේචනයට ලක් විය. කෙසේ වෙතත් එහි වාසිය ලැබුණේ පෞද්ගලික අංශයට ය. ඔවුහු අස්වනු නෙලීම ආරම්භයේ පටන්ම කුණු කොල්ලයට වී මිල දී ගන්නට පෙළඹුණහ.
 
2014/2015 මහ කන්නයේ ලංකාවේ සමස්ත වී අස්වනු ප‍්‍රමාණය, මෙටි‍්‍රක්ටොන් 28,76,987කි. එසේ වුවත් වී අලෙවි මණ්ඩලය මිලයට ගෙන තිබුණේ, වී මෙටි‍්‍රක්ටොන් 1,53,996ක් පමණි! ‘සහතික මිල’ යාන්ත‍්‍රණය හොඳ වුවත්, එහි ක‍්‍රියාදාමය ඉතා දිළිඳු බව ඉන් පෙනී යයි.
 
බහුතරයක් වී ගොවීන් යහපත් ආර්ථික මට්ටමක සිටින්නන් නොවේ. ඔවුන් වී වගා කරන්නේ ද ණය-තුරුස් වෙමිනි. ඉතින් වී මිල යහපත් වනතුරු කල් බලා සිටින්නට පුළුවන්කමක් නැත. එබැවින් අඩු මිලට හෝ තම වී ටික විකුණා දමන්නට පෙළඹෙති. මේ වාසිය ඩැහැ ගන්නේ පෞද්ගලික අංශයයි. ඔවුහු වී කිලෝවේ ගැනුම් මිල තීන්දු කරති. අඩු මිලට වී කිරමින් තොග රැස් කරති. ඉක්බිති ‘වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇති වන පරිද්දෙන්’ සීමිතව සහල් නිපදවා වෙළෙඳපොළට එවති. ඉන් ඔවුන්ට වාසිදායක ලෙස සහල් මිල පාලනය වේ. එබැවින් මේ කපේ දී වත් සහල් කිලෝවේ මිල පහත බසින්නේ නම් නැත. රාජ්‍ය අංශය ක‍්‍රියාත්මක වෙනවා යයි කීව ද, ලංකාවේ වී සහ සහල් වෙළෙඳාම අද පෞද්ගලික අංශයේ මහා පරිමාණ වී මෝල් වෙළෙන්දන් අතලොස්සකගේ අණසකට, ඒකාධිකාරයට නතුව තිබේ. ඔවුන් සතු වී තොග කොතෙක් දැයි දන්නා කෙනෙක් ද නැත.
 
අනෙක්  ඕනෑම භාණ්ඩයක මිල නියම කරන්නේ එහි නිෂ්පාදකයා ය. එහෙත් ගොවීන් නිපදවන වියෙහි මිල තීන්දු කරන්නේ, මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන් විසිනි. ඒ අය ගෙන් ඇතැමෙක් රටේ දේශපාලනයට ද සම්බන්ධ බව කවුරුත් දනිති. ලියුම්කරු හොඳින්ම දන්නා වර්ෂ 1992න් පසුව පැමිණි කිසිදු ආණ්ඩුවක්, ඔවුන් පාලනය කරන්නට ගියේ ද නැත. ඒ අය හිතූ පරිදි වී තොග රැස් කරති. වෙළෙඳපොළ පාලනය කරති.
 
වී අලෙවි මණ්ඩලයේ නිල වෙබ් අඩවියට අනුව, ඔවුන් 2016 මාර්තු 10 වැනි දා වන විට ද මුළු රටෙන්ම මිලයට ගෙන තිබුණේ වී මෙටි‍්‍රක්ටොන් 2744.43ක් පමණි. දැන් ගෙවී යන්නේ අස්වනු නෙලන සමයේ උච්ච අවස්ථාවයි. එහෙත් වී අලෙවි මණ්ඩලය බොහොමයක් ප‍්‍රදේශවල වී මිල දී ගැනීම් ආරම්භ කරන්නට යන්නේ මාර්තු 15 වැනි දා ය. ආණ්ඩුවේ වී මිල දී ගැනීමේ යාන්ත‍්‍රණය කොතෙක් ‘බිහිරි’ ද යන්න, එයින්ම පැහැදිලි ය.
 
වී සහ සහල් වෙළෙඳපොළ, මහා පරිමාණ වී මෝල් වෙළෙන්දන් අතලොස්සකගේ ග‍්‍රහණයට හසු වීම නිසා, ඉකුත් කාලයේ රට පුරා පැවති සුළු සහ මධ්‍ය පරිමාණ වී මෝල් වැසී ගියේ ය. ඒවා පරණ යකඩවලට විකිණුනු බව අසන්නට ලැබිණි. ඔවුන් සිටියා නම් යම් තරඟයක් හට ගෙන, වී කිලෝවේ මිල ඉහළට එස වෙන්නට ඉඩ තිබිණි. දැන් සුළු සහ මධ්‍ය පරිමාණ වී මෝල් ද නැති බැවින් ගොවීන් අසරණව සිටිති.
 
වී ගොවීන්ගේ ගැටළුව විසඳීමට නම් කුමක් කළ යතු ද? යන්න, දැන් වැඩි දෙනෙක් විමසන ප‍්‍රශ්නයකි. ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගණනාවක්ම ගත හැකි ය.
 
   එක්කෝ රාජ්‍ය අංශයේ වී මිල දී ගැනීමේ යාන්ත‍්‍රණය තවදුරටත් ශක්තිමත් කළ යුතු ය. පුළුල්කළ යුතු ය. එවිට මීට වඩා වැඩි වී ප‍්‍රමාණයක් කලට වේලාවට මිල දී ගැනීමට හැකි වේ.
 
   නැතිනම් වී ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු ය. ඔහු ආර්ථික වශයෙන් ශක්තිමත් නම්, ගොයම් කපා  පෑගූ හැටියේම වී ටික කාට හෝ විකුණා මුදල් කිරීමේ උවමනාවක් ඇති නොවේ. මේ සඳහා ගොවි නිවෙස්වල හෝ ගම් මට්ටමින්, කුඩා පරිමාණයේ  ගබඩා පහසුකම් පුළුල් කළ යුතු වේ.
 
x    වී ගොවියාගේ වියදම් බර හෑල්ලූ කරන්නට හැකි නම්, ඔහුගේ ආර්ථිකය ශක්තිමත් වනු ඇත.
 
x    ඒ අතර, පෞද්ගලික අංශය සතු වී තොග කොතෙක් දැයි සොයා බැලීමේ රාජ්‍ය යාන්ත‍්‍රණයක් ඇති කළ යුතු ය. එවිට කිසිවෙකුට සහල් වෙළෙඳපොළෙහි ගෙල මිරිකීමට නො හැකි වනු ඇත්තේ ය.


පොහොර සහ මරණය
පොහොර සහනාධාරය වෙනුවට ‘මුදල්’ දෙන්නට ආණ්ඩුව ගත් තීරණය, දැන් ගොවීන් අතර මහත් නො සන්සුන්තාවයක් ඇතිකර ඇතැයි මුලින් ද සඳහන් කළෙමු. උද්ඝෝෂණයේ යෙදෙන ගොවීන් කියන්නේ, තමන්ට පෙර පරිදිම රුපියල් 350 සහනාධාරයට පොහොර දිය යුතු බවයි. එහෙත් ආණ්ඩුව කියන්නේ, කෙලින්ම මුදල් දීම වඩා හොඳ බවයි.
 
ජනප‍්‍රිය ව්‍යවහාරයේ එන පොහොර සහනාධාර ක‍්‍රමය ඇති කළේ, 2005 වසරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙනි. මුලින්ම කිලෝ 50ක පොහොර මල්ලක් වී ගොවීන්ට දුන්නේ රුපියල් 350කට ය. පසුව 2011 වසරේ දී, පොහොර සහනාධාරය සියලූම බෝග සඳහා පුළුල් කෙරිණි. ඒ කිලෝ 50ක පොහොර මල්ලක් රුපියල් 1200ක මිලට ය. වී ගොවීන්ට පොහොර සහනාධාරය ලැබීමත් සමගම, ලංකාවේ වී වගා බිම් ප‍්‍රමාණය තවදුරටත් පුළුල් විය. අස්වනු ප‍්‍රමාණය ද ඉහළ ගියේ ය. ගොවීන්ට ඇත්තටම සහනයක් දැනුණි. 2005 වසරේ සිට 2014 වසර දක්වා, රජය පොහොර සහනාධාර වෙනුවෙන් වැය කළ මුදල රුපියල් බිලියන 238.3කි. එය වාර්ෂික රාජ්‍ය වියදමෙන් සියයට 02ක් බව මහ බැංකු වාර්තාව කියයි.
 
පොහොර සහනාධාරය ඉතා හොඳ ය. එහෙත් එහි යම් ‘කොස්සක්’ තිබේ. සහනාධාරය යටතේ ගොවීන්ට ලැබෙනුයේ ‘රසායනික පොහොර’ වීම ඊට හේතුවයි! රසායනික පොහොර යනු සරු පොළොව විෂ කරන සංඝටක සමූහයක් බව දැන් කවුරුත් දනිති. 2014 වසරේ පමණක් රසායනික පොහොර මෙටි‍්‍රක්ටොන් 7,65,000ක් ලංකාවට ආනයනයකර තිබේ.
 
රසායනික පොහොර සහ විෂ සහිත කෂි රසායන භාවිත කිරීමේ ආදීනව ගැන, විශේෂ කාරණයක් 2016 මාර්තු 07 වැනි දා හෙළිදරව් විය. දැන් වසරකට වකුගඩු රෝගීන් 5000ක් අලූතින් හඳුනා ගන්නා බව (අලූතින් වාර්තා වන  බව) ඒ කාරණයයි. කෘෂි නිෂ්පාදන සඳහා විෂ සහිත රසායන භාවිතය, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ආදී තත්ත්වයන්, ඊට හේතුව බව ද එහි දී සඳහන් කෙරිණි. කාරණය හෙළි වූයේ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමේ දී ය. කොළඹ නාරාහේන්පිට, රුධිර පාරවියලන මධ්‍යස්ථානයේ දී එය පැවැත්විණි.
 
ලැබෙන තෙරතුරුවල හැටියට, දැනට ලංකාවේ සිටින වකුගඩු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ද ඉක්මවයි. ඊට අමතරව වසරකට රෝගීන් 5000ක් ද අලූතින් හඳුනා ගැනෙයි. රෝගය වැළඳුණු විශාල පිරිසක් මිය පරලොව ගොසිනි. මේ කුමක් ද?, 1960 වසරෙන් පසුව රට වස-විස සපිරි ගොවිතැනට තල්ලූකර දැමූ ‘හරිත විප්ලවයේ’ මරණීය ශේෂ පත‍්‍රයයි!
 
බලයට පැමිණි ආණ්ඩු, ඇත්තටම කළ යුතුව තිබුණේ ‘පොහොර සහනාධාර ක‍්‍රමය’ යටතේ මුළු රටම වස-විස නැති කාබනික, පරිසර හිතකාමී ගොවිතැනකට ඔසවා තැබීම ය. එකවර නොව, අදියර කිහිපයක් යටතේ ක‍්‍රමයෙන් රසායනික පොහොර සහ කෘෂි රසායනවලින් ඉවත් වීම ය. ඒ අතර කාබනික පොහොර නිපදවීමේ යාන්ත‍්‍රණ සකසා ඒවා සුලභ කිරීම ය. රසායනික යෙදවුම් අවශ්‍ය නො වන, අතිශයින්ම සෞඛ්‍යමත් දේශීය පාරම්පරික වී වර්ග ව්‍යාප්ත කිරීම ය. එහෙත් රට වැසියන්ගේ අවාසනාවට එවැන්නක් වූයේ නැත. රට තවදුරටත් මාරයාගේ කටට තල්ලූකර දැමිණි.
 
දැන් උද්ඝෝෂණය කරන ගොවීන් කියන්නේ, තමන්ට මුදල් නොව රුපියල් 350හේ සහනාධාර පොහොර ලැබිය යුතු බවයි. එසේ නැතිව ගොවිතැන් කළ නො හැකි බවයි. මේ කතාවෙහි යටි පෙළ කුමක් ද? එකක්, තමන්ට පොහොර සහනාධාරය නැතිව ගොවිතැන් කරන්නට තරම් වත්කමක් නැති (දිළිඳු) බවයි. අනෙක, කෘතිම පොහොර නැතිව දැන් ගොවිතැන් කරන්නට බැරි බවයි. එහි තේරුම වන්නේ, පස හොඳටම නිසරුවී ඇති බවයි. එබැවින් තවදුරටත් රසායනික පොහොර දැමීමෙන් මරණයත්, දරිද්‍රතාවයත් හැර, අන් කිසිවක් ජනිත වන්නේ ද යන්න, වෙනම කල්පනා කළ යුත්තකි.

මේ අතර ආණ්ඩුවේ අය කියන්නේ සහනාධාර පොහොර ඉල්ලා වීදි බැස සිටින ගොවීන්, කෘෂි රසායන සහ පොහොර සමාගම්වලට ක‍ඩේ යමින් සිටින බවයි. තමන් මුළු රටම වස-විස නැති කාබනික ගොවිතැනකට පිය නගන්නට මුල පුරා සිටින අවස්ථාවක, මෙබඳු උද්ඝෝෂණ නුසුදුසු යයි ද ඔවුහු පවසති. එක් බලවතෙක් පවසා තිබුණේ, පොහොර වෙනුවට ලැබෙන මුදලින් ගොවීන්ට කාබනික පොහොර වුව මිල දී ගන්නට පුළුවන් බවයි. එය ඇත්තකි. රට වස-විස නැති ගොවිතැනකට ගෙන යන යාම ද, ඉතා බුද්ධිමත් පියවරකි.
 
එහෙත් අපේ රටේ තවම මහා පරිමාණයෙන් කාබනික පොහොර මිල දී ගන්නට තැනක් නැත. ඒවා විශාල ලෙස නිපදවීමක් ද දක්නට නැත. රට වස-විස නැති ගොවිතැනකට ගෙන යන එක ඉතා හොඳ ය.  එහෙත් කාබනික පොහොර සුලභ කිරීමෙන් තොරව එය කරන්නේ කෙසේ ද? යන්න නම් ගැටළුවකි. එසේම කෘෂි රසායන සහ කෘතිම පොහොර අවශ්‍ය නො වන, දේශීය පාරම්පරික වී වර්ග ඇතුළු බීජ සහ රෝපණ ද්‍රව්‍යය ද සුලභ කළ යුතු ය. එවන් මහා පරිමාණ වැඩ පිළිවෙලක් ද නැත. එසේ නම් රට එක්වරම වස-විස නැති වී ගොවිතැනකට ගෙන යන්නේ කෙසේ ද? යන ප‍්‍රශ්නය මතු වේ.
 
 
(පින්තූරය-Newsfirst.lk)

ලංකාවේ දැනට කුඹුරු හෙක්ටයාර් 7,94,015ක් පමණ තිබේ. කාබනික පොහොර සහ දේශීය බීජ පිළිිබඳ ප‍්‍රශ්නය මහා පරිමාණයෙන් විසඳා ගැනීමකින් තොරව, ඒ සියල්ල එක්වරම පාරිසරික ගොවිතැනකට හැරවීම කළ නො හැකි දෙයකි. ආණ්ඩුව කළ යුත්තේ අඩු තරමින් පස් අවුරුදු සැලසුමක් හෝ පනවා, අදියර පහකින් ඒ ඉලක්කය සපුරා ගැනීම ය. එසේ නැතිව කාබනික පොහොර ගැන කියමින් ‘පොහොර සහනාධාරය’ වෙනුවට මුදල් දෙන්නට යාම, ගොවීන් අවුස්සා ගැනීමකි. නව වැඩ පිළිවෙල පැනවූ පසුව, ලෝක වෙළෙඳපොළේ  පොහොර මිල ගණන් ඉහළ ගිය හොත් කුමක් වේ ද? ආර්ථික අතින් ශක්තිමත් අඩියක නො සිටින වී ගොවීන්ට, එය දරා ගැනීමට හැකි වේ ද? යන්න ගැටළුවකි. මින් පෙනී යන්නේ ආණ්ඩුවට නිසි සැලසුමක් නැති බව ද?
 
රට පුරා කෙරෙන ගොවි උද්ඝෝෂණවල පසුපස දේශපාලන මෙහෙයුමක් ද ඇති බව, ඇතැමුන්ගේ අදහසයි. ගොවි ජනපදවල ඇති ‘බෙදුම් ඇල ගොවි සංවිධානවල’ බලය අල්ලා ගැනීම, ඒවායෙහි අරමුණ බව ඔවුහු කියති. බිම් මට්ටමේ ගොවි සංවිධානවල බලය ඩැහැ ගැනීම, ළඟ එන පුංචි ඡුන්දයෙන් වැඩි පිරිසක් ‘ඇතුළට යවා ගැනීමේ ‘ෂෝට් කට් එකක්’ බව ඔවුන්ගේ අදහසයි. ජනතා විමුක්ති පෙරමුණ, මහින්ද පාර්ශවය සහ පෙරටුගාමීන් ද මේ දිනවල ගොවීන් සමග අත්වැල් බැඳ සිටීමේ රහස එය බව ඔවුන්ගේ මතයයි.
 
කාරණයෙහි ඇත්ත-නැත්ත කුමක් වුව ද, එකක් නම් පැහැදිලි ය. ගොවීන් පාරට බැස සිටින්නේ නිකම්ම නොවේ. ඔවුන්ට බරපතල අද ප‍්‍රශ්නයක් තිබෙන නිසාවෙනි!
2016/03/14.
තොරතුරු මූලාශ‍්‍ර-
01-ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව-2014.
02-වී අලෙවි මණ්ඩලයේ නිල වෙබ් අඩවිය.
03-ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ, වී පිළිබඳ සංඛ්‍යාලේඛන.
04-කෘෂිකර්ම අමාත්‍යංශයේ අන්තර්ජාල වාර්තා.



4 comments:

  1. "අත හොල්ලා කට හොල්ලමු"
    "අපි වවලයි අපි කන්නේ"
    පෙර සිරි ලක ගොවි දරුවෝ අභිමානයෙන් පවසා ඇත ,
    පෙරදිග දාන්‍යාගාරය ලෙස විරුදාවලි ලත් අප රටෙහි ගොවියාට අද ඇතිවී ඇති තත්වය කුමක්ද?
    එය පසෙකලා මොහොතක් හිතමු. මෙයම දේශපාලන වාසියක් කරගැනීමට එකෙකු දෙන්නෙකු මිය යන තුරු පුල පුලා බලා සිටින දේශපාලකයන්ගේ අරමුණු ඉටුකරගැනීමේ හුදු වෑයමක්ද විය හැකිමය

    ReplyDelete
  2. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

    ReplyDelete
  3. ක්‍රිෂ්ණා.......... සහෝ.....

    මුලින් ම කියන්න ඕනේ නිකං හිතෙන දෙයක් ලියනවා වෙනුවට වැදගත් සහ අත්‍යවශ්‍ය මූලාශ්‍රයන් සහිතව ලියා තිබෙන ලිපිය ගැන ස්තූතිය... දෙවැනුව මේ වත්මන් ආණ්ඩුවේ ගමන් මග ගත්තා ම ඇත්තට ම ගොවීන් පිළිබද අවධානය අඩු බව පැහැදිලිව පේනවා. ඒක වෙළදපල ක්‍රමය පදනම් කරගත්තු ධනවාදී දර්ශනයට නෑකම් කියන්නා වූ ආණ්ඩුවක ලක්ෂණ තමා. නමුත් වත්මන් ජනාධිපති සහ ආණ්ඩුවේ සිටින දුප්පතුන් ගැන කතා කරන්නා වූ චරිත තුළින් මෙම තත්වය තුළනය කර ගැනීමට සහය ලබා ගැනීම තමා සුදුසුම තත්වය........

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර-ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. මාර්තු 15 වැනි දා දහවල් ගොවි නායක කවුඩුල්ලේ ජයතිස්ස මහතාට ඇමතුමක් දුන් අවස්ථාවේ කිව්වේ දුක හිතෙන කතාවක්. වී අලෙවි මණ්ඩලයට වී විකිණීමේ පෝලිම සැතපුම් එකහමාරක්වත් දිග බවත්, පිට තැන්වල වී කිලෝව තවම රැපියල් 22 බවත් ඔහු කිව්වා.ඒ වත්මන් ජනපතිගේ දේශපාලන දිස්ත්‍රික්කයයි. මේ සියලු ගොවි සටන් සියල්ල අප්‍රිෙයල් 10 දින අවසන් වෙනවාලු. 10 වැනිදායින් පස්සේ බැංකු, වී අලෙවි මණ්ඩලය අලුත් අවුරුදු නිවාඩුවට වසනවා. ඊට පෙර වී තොග විකුණා ගැනීම අභියෝගයක්. ගොවීන්ට ණයතුරුස් බේරීමට, අවුරුද්ද ගත කිරීම සහ ඊළඟ වතුර මුරය අනුව යල කන්නයේ බිම් සැකසීම් පටන් ගන්න මුදල් ඕනෑ. එබැවින් කීයට හරි වී ටික විකුණනවා ඇරෙන්න විකල්පයක් නෑ. මම 1992 පටන් මේ ගැන ලියනවා. ප්‍රශ්නය එහෙමමයි. වෙනස් වී ඇත්තේ ඉලක්කම් විතරයි. බත හදන මිනිසුන්ගේ දුක, බත් කන මිනිසුන්ට තේරෙන්නෙත් නෑ.

      Delete