Total Pageviews

Monday, November 9, 2015

වඳුරු-මොණර-මිනිස් ගැටුමට අලූත් සිතිවිල්ලක්

        පරිසර ‍ඛේදවාචකයකින් අංශු මාත්‍රයක්
 




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
රැකියාව අහිමිව ගෙදර ගිය බව දැන ගත් පසු, බොහෝ හිත මිතුරන් දුරකතනයෙන් මා අමතා තොරතුරු විමසූහ. එහි දී ඔවුන් නැගූ එක් පොදු ප‍්‍රශ්නයක් ද තිබිණි. එනම්, ‘දැන් ඉතින් කුමක් කරමින් සිටින්නේ ද?’ යන්නයි. ඒ සඳහා මට ඇත්තේ ඔවුන් අන්දමන්ද වන තරමේ පිළිතුරකි.
 
‘මම මගේ පවුලේ අය හා එක්ව, දැන් අපේ අතිරේක ආහාර කොටස සඳහා වඳුරන් සහ මොණරුන් සමග සටන් වැද සිටිනවාය’ යන්න, මට ඇති පිළිතුරයි!
 
මෙතෙක් කලක් ලංකාවේ මිනිසුන් තම ආහාර සඳහා සටන් වැදුණේ, වන අලින් සමගිනි. වන අලින් සතු නිජබිම්, මිනිසුන් විසින් තම වාසස්ථාන සහ වගා භූමි බවට පත්කර ගත් අතර, ඉන් වන අලින්ට තම වාස භූමිය සහ ආහාර අහිමි විය. එබැවින් උන් මිනිස් ජනාවාසවලට කඩා වැදී, මිනිසුන් වැවූ ආහාර බෝග බුදින්නට පටන් ගත්හ. මිනිසුන් ඊට එරෙහිව ගියහ. එය ගැටුමකි. ගැටුම ප‍්‍රසිද්ධ වූයේ  ‘අලි-මිනිස් ගැටුම’ නමිනි. අද ලංකාවේ සමස්ත භූමියෙන් සියයට 60ක වත් අලි-මිනිස් ගැටුම පවතිනු පෙනෙයි. දැන් දෙ පිරිසම, තම තමන්ගේ ආහාර සඳහා දිවි පරදුවට තබා සටන් වදිමින් සිටින්නෝ ය.
 

ලංකාවේ වන අලින් බහුලවම සිටිනුයේ වියලි කලාපීය ප‍්‍රදේශවල ය. ඒ අතරින්, වයඹ, උතුරු මැද ආදී පළාත්වල  ඇත්තේ උග‍්‍ර අලි-මිනිස් ගැටුමකි. මා දැන් ජීවත් වන්නේ, ගාලූ දිස්ත‍්‍රික්කයේ බද්දේගම මැතිවරණ කොට්ඨාශයට අයත් ‘කීඹිය’ නමැති ගම්මානයේ ය. එහි වසන වඳුරන් සහ මොණරුන් සමග අපට ඇති ගැටුම ද දැන් උග‍්‍ර තත්ත්වයට පත්ව එනු පෙනෙයි. දැන් අපි දෙගොල්ලන්ම ආහාර සඳහා එකිනෙකා සමග සටන් වදිමින් සිටින්නෙමු. දවසේ කාලයෙන් වැඩි කොටසක් වැය වන්නේ ද ඒ කටයුත්ත පිණිස ය. කොතෙක් උත්සාහ කළ ද, වන අලින් මිනිස් ජනාවාස පරිසරයෙන් ඉවත් කරන්නට නො හැකිවී ඇත්තේ, දැන් උන් මිනිස් ආහාරවලින් යැපීමට ඇබ්බැහි වීම නිසා ය. වී වගාවේ සරුසාර ගොයම හෝ වී කරල් සහිත ගොයම, බඩ ඉරිඟු, කෙසෙල්, අඹ, උක් වගාව සහ අනෙකුත් මිනිස් ආහාර බෝග දැන් උන්ගේ ජනප‍්‍රිය ආහාර බවට පත් වී තිබේ. අපේ ගම් පළාතේ වඳුරන් සහ මොණරුන් ද, අද මිනිස් ආහාරවලට ඇබ්බැහිවී සිටිති. උන් ගිල දමන්නේ අපේ  ‘අතිරේක ආහාර කොටස’ යි.
 

මෙහි දී  ‘අතිරේක ආහාර’ යයි කීවේ විශේෂ කාරණයක් නිසා ය.  එනම්, අපේ ගම් පළාතේ ‘ප‍්‍රධාන ආහාරය’ වූ ‘බත’ සඳහා වඳුරන් ගෙන් ගැටළුවක් මතුව නැති  බැවිනි. එහෙත් කරල් පැසී ගෙන එන ගොයමට නම්, මොණරුන් ගෙන් සැලකිය යුතු හානියක් ඇති වෙයි. උන් ඇත්තටම හානි කරන්නේ අපේ අතිරේක ආහාර ටිකට ය.
 
මොණරුන් වූ කලී, ගමනින් ද, අලංකාරයෙන් ද පිරිපුන් මහේශාක්‍ය සත්ත්ව කොට්ඨාශයකි. බොහෝ කලකට ඉහත නම් මොණරුන් නරඹන්නට, කතරගම හෝ වෙන යම් වියලි කලාපීය වන පෙදෙසකට සංචාරයේ යා යුතු ය. දැනට වසර හත-අටක පමණ සිට ගාල්ලේ අපට නම් එවන් සංචාර අවශ්‍ය නැත. අප දැන් සෑම අළුයමකම නින්දෙන් පිබිදෙන්නේ ද, මොණරුන් නගන කර්ණ කඨෝර නාද සංධ්වනිය ඇසීමෙනි! මහ දවාලේ වුව, උන් හිටි ගමන් ප‍්‍රාදූර්භූත වන මොණර රංචු, ගෙවතු හෝ මිදුල් ඔස්සේ ‘ආහාර තවලම්’ යන අයුරු අපට සුලභ ය. උන් තවලම් යන්නේ කුඩා පැටවුන් ද පිරිවරා ගෙන ය. රංචුවක සතුන් හත් අට දෙනෙක් සිටින අවස්ථා ද වේ. උන් ගෙවතුවලට වැදී, පැපොල් කරටි හෝ ළපටි කොළ, මිරිස් කරල් සහ දළු, මෑ කරල් ආදී රනිල බෝග ආදිය කා දමති. පැසුණු හෝ කිරි වැදුණු ගොයම් සහිත කුඹුරකට මොණරුන් කඩා වැදුණ හොත්, එක හුස්මට ලියැදි ගණන් කා දමන බව ගොවීහු කියති. ඇතැම් මොණරුන් උන් හිටි ගමන්, ගාම්භීර ලීලාවෙන් නිවෙස්වල වහලවල් මත ලැග සිටින්නටත් කැමති ය. උන්ගේ ඒ චර්යාව උළු වහල ඇති නිවෙස්වලට බරපතල ගැටළුවකි. මොණරුන්ගේ ලැගුම් නිසා, උළු කැට බිඳී යාම ඊට හේතුවයි. ඉතින් උළු වහල ඇති බොහොමයක් නිවෙස් දැන් වැස්සට ද තෙමෙයි! තවම නම් අපේ ගමේ මොණරු, ඝෝෂා කළ විට පලා යති. එහෙත් ඊළඟ වාරයේ, ‘පොල් අතු මිටියක් පරිද්දෙන්’ සිය දිගු පියාපත් ද හකුළා ගෙන උන් බොහොම හොර රහසේ ගෙවතුවලින් මතු වෙති. ගමේ බල්ලන් සමග සහජීවනයෙන් විසීම ද මොණරුන්ගේ සිරිතකි.
 
වඳුරන්ගේ අනුවර්තනය 
වඳුරන්ගේ කරදරය ද සුළුපටු එකක් නොවේ. ගෙවතුවලට වදින වඳුරන්, කුඩා පොල් ඇට්ටි සහ ගොබළු ගෙඩි කා දමති. නො පීදුණු පොල් මල් කොපු පළා,  ඇතුළත ඇති මල් ඇට ටික හූරා ගෙන කති. එබැවින් දැන් පොල් ඵලදාව හීනවී යමින් තිබේ. උන් කෙසෙල් කැන්වලට බැල්ම හෙලන්නේ, ඒවා යාන්තම් මලෙන් එළියට එද්දීම ය. උන් කෙසෙල් කැන බදා වැළඳ ගෙන, එහි ගෙඩි කා දමති. උන් කන්නේ ද, කෙසෙල් ගෙඩියෙන් බාගයකි. ඉතිරි බාගය විසිකර දමා තවත් ගෙඩියක් කඩා ගනිති. වරක් අපේ ඉඩමට පැමිණි වඳුරෙක් විනාඩි 20ක පමණ කාලයක් තුළ කෙසෙල් ගෙඩි 10ක් පමණ කෑ හැටි මගේ නිරීක්ෂණයට හසු විය. මේ ආකාරයට, එක් කෙසෙල් කැනක් දින තුන හතරක දී, නිකම්ම වහල්ලක් බවට පත් වෙයි. ළපටි කැන් ‘පෝර කවරවලින්’ වසා දැමුව ද (ගෝසු දැමීම), ඒවා ඉරා කෙසෙල් ගෙඩි කෑමට උන් පසුබට නො වෙති. ළපටි පැපොල් ගෙඩි සහ ඒවායෙහි කොළ-දළු ද උන්ගේ ජනප‍්‍රිය ආහාරයන් ය. ගෙවතුවල ඇති කොස්, දෙල්, අඹ, දෙහි, දෙළුම්, පේර, ජම්බු ආදිය පමණක් නොව, මංඤ්ඤාක්කා අල සහ කොළ-දළු පවා අද වඳුරු ආහාර බවට පත් වී ගොසිනි. මෑතක අපේ සොහොයුරියක්, දහවලට පිසීම පිණිස මංඤ්ඤාක්කා අලයක් ගලවා කුස්සියේ දොරකඩ අසල තබා වෙනත් කටයුත්තකට ගියා ය. ආපසු එන විට මංඤ්ඤාක්කා අලය එතැන නො වුණු බැවින්, ඇය ඒ ගැන විපරම් කළා ය. පුදුමයකි. වඳුරෙකු එය ඩැහැ ගෙන ගොසිනි. නිවස අසල පිහිටි ගසක අත්තක වාඩි වුණු වඳුරා, මහත් ප‍්‍රීතියෙන් එය බුදිමින් සිටියේ ය. ඇතැම් වඳුරන් බිමට බැස, පොළොව මතුපිටට පෑදී ඇති මංඤ්ඤාක්කා ආදී අල වර්ග හොරෙන්ම හාරා ගන්නා බව, අපේ ගමේ උදවිය කියති.
 
වඳුරන් මෙසේ හැසිරෙන්නේ මන්ද? ඊට හේතුව උන් උග‍්‍ර ආහාර හිඟයකින් පෙළෙන නිසාය යන්න, ලියුම්කරුගේ අදහසයි. එසේම උන් දැන් දැන් සාම්ප‍්‍රදායික ‘වඳුරු ආහාර’ ආදියෙන් දුරස්ව යන බවක් ද පෙන්නුම් කරයි. ගස්වල කොළ-දළු කොතෙක් තිබුණ ද, උන් නිතරම උත්සාහ කරන්නේ කෙසෙල් ගෙඩි, පොල් ඇට්ටි සහ පොල් මල්, ළපටි පුවක් ගෙඩි, පැපොල් ගැට වැනි මිනිස් ආහාර කෙසේ හෝ කඩා වඩා ගන්නට ය. එය ඇබ්බැහියක් යයි සිතිය හැකි ය.
 
වඳුරන්ගේ සහ මොණරුන්ගේ කඩා වැදීම් කෙසේ ආරම්භ වී ද? යන්න, විශේෂයෙන්ම විමසා බැලිය යුතු කාරණයකි. අපේ ගෙවල් මණ්ඩිය, එක් පැත්තකින් අක්කර 15ක පමණ පෞද්ගලික තේ වත්තකින් ද, අනෙක් පැත්තෙන්, ඊට ටිකක් කුඩා තවත් පෞද්ගලික තේ ඉඩමකින් ද වට වූවකි. ඉතිරි අන්තයේ, ගම කෙළවරින් පිහිටියේ සුප‍්‍රකට ‘සිට‍්‍රස් වතු යායයි’. එහි අපට සමීප ඉසව්වේ රබර් සහ ‘කටු පොල්’ වගාකර තිබිණි. ගමේ ඇත්තන්ගේ ප‍්‍රධාන ආර්ථික ක‍්‍රියාවලිය ද තේ වගා කිරීමයි. ඊට අමතරව සෑම ගෙවත්තකම පාහේ කොස්, පොල්, අඹ, දෙල් ආදී ගස්කොලන් ද වවා ගෙන තිබේ. ගෙවතු ඉඩම්වලට යාබදව හෝ ඉඩම් මායිම්වල කුඩා මූකලාන් බඳු කැලෑ  කුට්ටි ද විය. ඒවා ඩොංගා, ඇටඹ, රඹුටන්, ගොරකා, පුවක්, වැනි වෘක්ෂයන් ගෙන් සජ්ජිත වූයේ ය. ලොකු-කුඩා තේ ඉඩම්වල ‘ඇල්බීසියා’ නමැති සෙවණ වෘක්ෂ වවා තිබිණි.
 
කලකට පෙර ද අපේ ගම ආශ‍්‍රිතව වඳුරන් සහ මොණරුන් සිටියහ. වඳුරන් නිරන්තරව තේ ඉඩම්වල වැවුණු ‘ඇල්බීසියා’ ගස් ඇසුරේ කොළ-දළු කමින් කල් ගෙවූහ. ඇතැම් විට, ගම ආශ‍්‍රිත කුඩා කැලෑ කුට්ටිවල සැරිසැරූහ. මොණරුන් එක්ව ‘ඇල්බීසියා’ ගස් සිය රාත‍්‍රී ලැගුම් පොළවල් බවට පත්කර ගත් අතර, දහවල් ආහාර චාරිකා තේ ඉඩම් සහ කැලෑබදව සිදුකර ගත්හ. උන්ට ආහාර හිඟයක් තිබුණු බවක් නො පෙනුණි. එබැවින් එකල ඒ කිසිවෙකු ගෙන් ගමට හෝ ගෙවතුවලට කරදරයක් නො වීය. එසේ වුවත්, පොල් පැළ, කිරි අල ගස් සහ මංඤ්ඤාක්කා වගාවන් පරීක්ෂා කරන්නට රාත‍්‍රී කාලයේ එන 
‘වල් ඌරු ගණයා’ ගෙන් නම් අඩුවක් නො තිබුණේ ය.
 
සියල්ල වෙනස් වන්නට මුල පිරුවේ, මීට වසර තුන හතරකට ඉහත එක්තරා මැයි මාසයක හදිසියේ කඩා වැදුණු මහා සුළඟක් නිසා ය. ඉන් තේ ඉඩම්වල පැවති ඇල්බීසියා, කොස් ගස් සහ හවරි නුග (ගිනිකූරු) ගස් රාශියක් ඉදිරී වැටිණි. ඉඩම් අයිතිකරුවෝ ඒවා ගස් මුදලාලිලාට විකිණූහ. එයින් ද නො නැවතී, සුළඟින් දිවි ගැලවුණු ගස් පවා විකුණා මුදල්කර ගත්හ. මේ ආසන්න කාලයේම ‘සිට‍්‍රස් වත්තට’ අයත් පැරණි රබර් වගාවක් ද, ‘නැවත වගාව’ පිණිස ගලවා ඉවත් කෙරිණි. මේ අතර හොරණ ප‍්‍රදේශයේ ඇති මහා පරිමාණ ‘දැව බෝඩ්’ කම්හලක, ගම් මට්ටමේ ඒජන්තවරුන්ගේ බලපෑම ද වැඩි වූයේ ය. එයින් කුඩා මූකලාන්, කැලෑ කුට්ටි සහ වැට මායිම්වල තිබුණු විවිධ ගස් කොලන් හොරණ පැක්ටරිය බලා ලොරි නැංගාහ. මෙයින් වූයේ කුමක් ද?, වඳුරන්ට, මොණරුන්ට සහ දඬු ලේනුන්ට සිය ආහාර, ලැගුම් පොළවල් සහ සැරිසරුම් ඉසව් අහිමි වීමයි. ඉන් පසුව උන් අලූත් තත්ත්වයට අනුවර්තනය වෙමින්, ගෙවතු ආක‍්‍රමණය කරන්නට පටන් ගත්හ! කාගේ හෝ ගෙවත්තකට පැන, කුමක් හෝ කා දමමින් කුස් පුරවා ගැනීමට පුරුදු වූහ. එතැන් පටන් වඳුරු, මොණර සහ මිනිස් ගැටුම ඇරඹිණි!
 
ගැටුමට මුහුණ දෙන උදවිය ද වඳුරන් පලවා හැරීම පිණිස විවිධ උපක‍්‍රම යොදන්නට වූහ. වඳුරන් ද යම් බුද්ධිමත් සත්ත්ව කොට්ඨාශයකි. ඉතින් උන් ක‍්‍රම ක‍්‍රමයෙන් මිනිස් උපක‍්‍රමවලට අනුවර්තනය වෙන්නට පටන් ගත්හ. මුල් දවස්වල නම් ගෙවතුවලට වදින වඳුරන් මිනිසුන්ගේ කෑකොස්සමට බියව පලා ගියහ. ටික දිනක් යන විට උන් ඊට හුරුපුරුදු වූහ. මිනිස්සු ඉන් පසුව, උන් පලවා හරිනු රිසියෙන් රතිඤ්ඤා දල්වන්නට ඉගෙන ගත්හ. මුල දී එහි ශබ්දයට උන් බියපත් වූ බව, ගස් කොලන් දෙකකර ගෙන දිවීමෙන්ම පෙනුණි. ටික දිනක් යන විට වඳුරන් ද රතිඤ්ඤා ගැන යමක් ඉගෙන ගත්හ. ගස් මත සැරිසරන තමන්ට, ඉන් හානියක් නො වන බව තේරුම් ගත්තා සේ උන් රතිඤ්ඤා පුපුරන ශබ්දය ගණන් නො ගෙන සිටින්නට හුරු වූහ. ඉන් පසුව අපේ ගමේ උදවිය වඳුරන් පලවා හැරීම පිණිස ‘පී. වී. සී.’ පයිප්ප බටවලින් ‘තුවක්කු’ සාදා ගත්හ. ‘ආකාස’ හෙවත් ‘අහස් කූරු’ නමින් හඳුන්වන ඉරටුව සහිත වෙඩි කරලක්, පයිප්ප බටයේ රුවා, වඳුරන් සිටින දෙසට එල්ලකර දැල්වීම, එහි ක‍්‍රියාවලියයි. අහස් කූර එයින් අපට අවශ්‍ය දිශාවට යොමු  කළ හැකි ය. වඳුරන් මේවාට බිය පත් වූහ. මුල දී නිකම්ම පයිප්ප බටයක් පෙන්වුව ද, තුරු මතින් පැන පලා යන්නට පුරුදු වූහ. එහෙත් නිකම්ම පයිප්ප බටයකින් කිසිදු අනතුරක් නො වන බව, ටික කලක දී උන් තේරුම් ගත්හ. දැන් උන් පලා යන්නේ, අහස් කූර සහ ගිනි පෙට්ටියක් අතට ගෙන, ඇත්තටම අහස්කූර දල්වන්නට යන්නේ නම් පමණි! ඇතැම් වඳුරෙක් අහස් කූරු වෙඩිල්ලට බියව, උස් තුරු මුදුනක සැඟවෙන අයුරු ද අපූරු ය. ටික වේලාවක් යන විට මිනිසුන්ගේ හැලහොල්මනක් නැතැයි දැන ගන්නා උන්, හොරෙන්ම ගෙවතුවලට වදිති. මේවායෙහි තේරුම, උන් ක‍්‍රමයෙන් මිනිස් පලවා හැරීම්වලට අනුවර්තනය වෙමින් යන බවයි.
 

රහසිගත වඳුරෝ 
උන් මුල දී ගෙවතුවලට වැදුණේ ගස් මතින් පැන එමිනි. එයින් නැගෙන ශබ්දය, වඳුරන් තම ගෙවත්තට පැමිණෙන බව මිනිසුන්ට හැඟවූ සංඥාවක් විය. ඉන් කලබලවන මිනිස්සු, වහාම උන් පලවා හැරීම පිණිස ඉදිරිපත් වූහ. වර්තමාන වඳුරන් ගෙවතුවලට පනින්නේ මේ කාරණය ද සිත් තබා ගනිමිනි. දැන් උන් ශබ්ද නැගෙන සේ අත්තෙන් අත්තට පනින්නේ නැත. ඒ වෙනුවට උන් අත්තෙන් අත්තට, සිවු පයින් ඇවිද ඒමේ ක‍්‍රමයක් අනුගමනය කරති. එහි දී ශබ්ද නො නැගේ. ඇතැම් සතුන් නිවෙස්වලට ඇද ඇති විදුලි වයර් (මේන් වයර්) දිගේ බොහොම අපූරුවට ගමන්කර, හොරෙන්ම වහලවලට ගොඩ වෙති. එය විශේෂ ය. ඇතැම් මතයකට අනුව, වඳුරන් නිතර පැන ගෙන එන මාර්ග දුරස් කළ විට, උන්ගේ ගමන් අවහිර වේ. ඉතින් සමහර අය සිය නිවෙස් සමීපයේ ඇති ගස් කොලන් කපා දැමූහ. ඇතැම් ගස්වල අතු කපා දැමූහ. දැන් එවන් නිවසකට හෝ වහලකට උන්ට තුරු මතින් එන්නට නුපුළුවන. එහෙත් ටික දිනකට පසුව උන් යම් කාරණයක් අවබෝධකර ගත්හ. එනම් නිවෙස්වලට ඇද ඇති විදුලි වයර් (මේන් වයර්) දිගේ නිරුපද්‍රිතව ගමන් කළ හැකි බවයි! දැන් උන් නිවෙස් පිටුපස ඇති කෙසෙල් පඳුරු ආදියට වදින්නේ, විදුලි වයර් දිගේ වහලවලට පැමිණීමෙනි. ඇතැම් අවස්ථාවල ‘හැට පැන්නත් බිම නො යන’ කතාව බොරු කරමින් බිමින් ඇවිදිති. බල්ලන් හෝ වෙන යම් කලබලයක් දැනුණ හොත්, සැණෙකින් ගසකට ගොඩ වෙති. ගෙවතුවලට වදිද්දී උන් දැන් ‘වඳුරු නාද’ පවත්වන්නේ ද නැත! උන් මිනිසුන්ට හොර රහසින් ගෙවතුවලට වැදීමේ ක‍්‍රමවේද, පුරුදු පුහුණුකර ගෙන ඇති බව ඉන් පෙනී යයි.
 

සාමාන්‍යයෙන් ගාල්ල ද ඇතුළුව ලංකාවේ තෙත් කලාපයේ දී හමුවන්නේ, ‘කළු වඳුරා’ ^Purple Faced Monkey& ය. ඌ ලංකාවට ආවේණික සත්ත්වයෙකි. ඒ අනුව අපේ ගමේ සැරිසරන්නේ ද කළු වඳුරන් වෙති. වඳුරන්  ඕනෑම පරිසරයකට අංලකාරයකි. එසේම උන් පරිසර ජෛව විවිධත්වයේම කොටසකි. එසේ වුවත් උන් මහත් නාස්තිකාර සත්ත්ව කොට්ඨාශයකි. ආහාර ගැනීමේ දී උන් යමක් කෑමට ගන්නවාට වඩා කරන්නේ, සියල්ල කඩා විනාශකර දැමීම ය. කොළ-දළුවලින් හෝ වේවා, වන ඵලවලින් හෝ වේවා, උන් ආහාරයට ගන්නේ ඉතා සුළු ප‍්‍රමාණයක් පමණි. ඉතිරි කොටස වීසිකර දමන උන්, යළිත් අලූත් එකක් කඩා ගනිති. වඳුරු ග‍්‍රහණයට හසුවූ පෙදෙස්වල පොල් ගස් යට, යාන්තම් ලෑටි ගෑ පොල් ඇට්ටි ද, කෙසෙල් පඳුරු යට, බාගෙට කා දැමූ ළපටි කෙසෙල් ගෙඩි ද, කොස් ගස් යට විසිරුණු පොළොස් ගැට ද, අඹ ගස් යට විසිරුණු ළපටි අඹ ගෙඩි ද දක්නට ලැබෙන්නේ මේ හේතුවෙනි. මෙසේ වැනසී යන්නේ මිනිසුන්ට හෝ අනෙක් සතුන්ට ආහාරයට ගත හැකිව තිබුණු දේවල් ය. වඳුරන්ට ආහාර අරපිරිමැස්ම උගන්වන්නට ක‍්‍රමයක් නැති බැවින්, අපට ඒ ගැන කරන්නට දෙයක් ද නැත.
 
සාමාන්‍යයෙන්  අපේ රටේ  ඕනෑම ප‍්‍රදේශයක රතිඤ්ඤා හෝ අහස් කූරු සඳහා වැඩි ඉල්ලූමක් ඇති වන්නේ, අප‍්‍රියෙල් මාසයේ එන අලූත් අවුරුදු සමය, දෙසැම්බරයේ එන නත්තල ආදී උත්සව කාලවලට ය. එසේ වුවත් අපේ ගම් පළාත්වල නම් වසරේ සෑම කාලයකම ඒවා බහුලව විකිණෙයි. ඒ වඳුරන් පලවා හැරීම පිණිස ය. මේ දිනවල අපේ ප‍්‍රදේශයේ කඩවල රතිඤ්ඤා හෝ අහස් කූරු නැත. එබැවින් ගාල්ලේ, පොදු වෙළෙඳ පොළ අසල ‘හේමන්තාස්’ නමැති තොග කඩයෙන් ඒවා මිල දී ගන්නෙමු. සෑම මසකම අපට රතිඤ්ඤා හෝ අහස් කූරු සඳහා රුපියල් 800ක්-1000ක් වැය කරන්නට වීම, සාමාන්‍ය දෙයක් වී හමාර ය. එසේ නො කළ හොත් අපට පොල්, පැපොල් ආදී අතිරේක ආහාර ටික අහිමි වන්නට මග පෑදෙයි!
 
අපේ ගමට දැන් තවත් නරක ආරංචියක් ලැබී තිබේ. අපට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි සිට‍්‍රස් වත්තට අයත් ‘උමංදොළ’ කොටසේ, අක්කර 70ක පමණ පැරණි රබර් වගාව ද ගලවා ඉවත් කරන්නට යාම, ඒ නරක ආරංචියයි. එහි තුරු මුදුන් අතරේ වඳුරන් මෙන්ම දඬු ලේනුන්ගේ ද අති විශාල ජනාවාස ඇති බව කවුරුත් දනිති. හෙට අනිද්දාම උන්ට ද යන එන මං අහිමි වනු ඇත්තේ ය. එවිට අපේ ගම් පළාත් මුහුණ දෙන වඳුරන් ඇතුළු වන සත්ත්ව කලි කලහයන් තව තවත් උත්සන්න වනු නිසැක ය! තේ සහ රබර් ආදී වැවිලි බෝග ගැන අපේ සිත්වල පැන නැගෙන්නේ, ඒවා ජාතික ආර්ථිකය සවිමත් කරන වගාවන් හැටියට ය. එහෙත් ඉන් පරිසරයේ තුලිතතාවයට වන මෙහෙවර, කොතෙක් දැයි සිතෙන්නේ මෙවන් අවස්ථාවල දී ය.
 
වඳුරු-මොණර හිරිහැරය සම්බන්ධයෙන් ඇතැමුන් ආණ්ඩුවට බණිති. මිනිස් ජනාවාස සහ වගා භූමි පුළුල් වීම මෙන්ම, වන ගහණය ද අඩු වීම, වන සතුන් සහ මිනිසුන් අතර ගැටුම් ඇති වීමට හේතුවයි. 1970 දශකයේ අග භාගයේ පටන් රට තුළ කෙරුණු සංවර්ධන ක‍්‍රියාදාම නිසා ගැටුම් උග‍්‍ර අතට හැරිණි. එකල පටන් අද දක්වාම බලයේ පැවති කිසිදු ආණ්ඩුවකට, එබඳු ගැටුමක් සම්බන්ධයෙන් ජාතික මට්ටමෙන් පුළුල් දැක්මක් තිබුණු බවක් ද දක්නට නො ලැබේ. එසේම ගැටුම නිවැරදිව කළමණාකරණයකර ගැනීමට හැකියාවක් ද නො තිබුණු බව පෙනේ. රටේ පාලකයන් වරින්වර යම් යම් ක‍්‍රියාමාර්ග ගත් බව ඇත්ත ය. එහෙත් සත්ත්ව-මිනිස් ගැටුමට තවමත් විසඳුමක් ලැබී නැත්තේ ය. අලි-මිනිස් ගැටුමම එයට හොඳ උදාහරණයකි! ප‍්‍රචණ්ඩ වන අලින් කුදලා වෙනත් වනාන්තරවලට ගෙන යාම, විදුලි වැට ඉදි කිරීම ආදී ක‍්‍රියාමාර්ග හැම විටම සාර්ථක නො වන බව, දැන් පසක්වී තිබේ. වඳුරු සහ රිලා හිරිහැර සම්බන්ධයෙන් ද ඉතා සීමිතව හෝ කෙරෙන්නේ, වනජීවීය මගින් උන් වෙනත් වන ප‍්‍රදේශවලට රැගෙන යාමයි. වඳුරන් සහ රිලවුන් අල්ලා ගැනීම ප‍්‍රායෝගිකව ඉතා දුෂ්කර කටයුත්තක් බැවින්, එය එතරම් ප‍්‍රචලිත නොවූ ක‍්‍රියාමාර්ගයකි. ඇතැම් ප‍්‍රදේශවල ගොවීන්ට ආණ්ඩුව මගින් ‘වායු රයිපල්’ සපයා ඇති බව ද කියැවෙයි. අපේ ගම් පළාතේ නම් එවැන්නක් දැන ගන්නට නැත. කෙසේ වෙතත් වන අලින්, වඳුරන් සහ රිලවුන් ආදී සතුන් මිනිස් ආහාරවලට ඇබ්බැහිවූ තත්ත්වයක් තුළ, උන් ගැටුමෙන් වළකා ගැනීම මහත් අසීරු කටයුත්තකි.
 

1970 දශකයේ අග භාගයෙන් ඇරඹුණු සංවර්ධන ප‍්‍රවාහය සහ ජන සමාජ ක‍්‍රියාවලිය තුළ, රටේ වනාන්තර වපසරිය සීමා විය. ජනගහණය ද වැඩි විය. එයින් සත්ත්ව-මිනිස් ගැටුමක් නිර්මාණය විණි. දැන් කළ යුත්තේ, මුලින්ම රට එබඳු ගැටුමකට මුහුණ පා ඇති බැව්, ජාතික ගැටළුවක් වශයෙන් පිළි ගැනීම ය. ඊළඟට වන සත්ත්ව ජීවිතය සම්බන්ධයෙන් ප‍්‍රාමාණික විද්වතුන් ද, ගැටුම් පවතින ප‍්‍රදේශවල වෙසෙන ජනයාගේ අත්දැකීම් ද එක්කර ගෙන, ගැටුම නිවැරදිව කළමණාකරණය කිරීමේ ක‍්‍රමවේදයක් නො පමාව සැකසීම ය. එවිට වන සතුන්ට සහ අපට, අපේ ආහාර පංගු රැක ගැනීමට හැකි වනු ඇත.
 
(පින්තූර-අන්තර්ජාලයෙනි)
 
2015/11/10.





5 comments:

  1. මොනරුන්ගේ කරදරේ නම් අත්විඳලා තියෙනවා මමත්... මොනරු මිරිස් කරල් කන්නේ නිකම් පපඩම් කන්න වගේ... සීට් වහලේ උනත් මුදුන් උළු ටික විනාසයි මොනරු වහලේ ලගින්න ගත්තාම..

    ReplyDelete
  2. ක්‍රිශ්ණ මේක මෙහෙම බරපතල ප්‍රශ්ණයක් බව මට කවදාවත් හිතුනේ නෑ. ඔය මොණර සහ වඳුරු ජනගහනයේ කැපීපෙනෙන හදිසි වැඩිවීමක් තීයෙනවද? එහෙම වෙන්න මොකක් හරි ආහාර දාමයේ පුරුකක් අඩුවෙලා ඇති සමහරවිට.

    ඔය වඳුරු කරදරේ බස්නාහිර පලාතේ ඉන්න අපිටත් තියෙනවා ක්‍රිශ්ණ. පැලවත්ත, බත්තරමුල්ල වගේ කොළඹට නුදුරු පැතිවල වගේම ගම්පහ දිස්ත්‍රික්කයෙත් හරියට වඳුරෝ ඉන්නවා. රඹුටන් කාලෙට පුදුම කරදරයක් තියෙන්නේ.

    ReplyDelete
  3. ඒක නෙවෙයි බං ක්‍රිශ්ණ. 2012 ඉඳන් බ්ලොග් ලියන එකාගේ හිට් කවුන්ටර් එක 4867ක් විතරක් වුනේ කොහොමද බං? කවුටර් එක ලඟදිද එල්ලුවේ?

    ReplyDelete
    Replies
    1. අම්බල්ගොඩ කතා සහ dude දෙන්නාටම ප්‍රතිචාර ගැන ස්තුතියි.
      ලංකාවේ වැඩිපුරම පර්යේෂණ කරලා තියෙන්නේ වල් අලින්, කුරුල්ලන්, සමනලුන්, ආදී සතුන් ටික දෙනෙක් ගැන විතරයි. වදුරන් ගැන එහෙමට යමක් කෙරුණු බවක් නෑ. වඳුරන්ගේ ගහණය වැඩි බවක් පේනවා. ඒවගේම උන්ගේ වාසස්ථානත් සීමා වෙලා. වනාන්තර සහ ගෙවතු ආශ්‍රිත කුඩා කැලෑ රොදවල් අහිමි වෙන කොට සතුන්ට යන එන මං නැතිවෙනවා. මේ ගැන වැඩිදුර සෙවීම් අවශ්‍යයි.
      බ්ලොග් එක 2012දි පටන් ගත්තත්, එය වැඩිදුර යාවත්කාලීන කරන්න ගත්තේ 2014 මැයි මාසේ විතර ඉඳලයි.
      -ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

      Delete
    2. ලංකාවෙ රිලව් ගැන නම් නැට්ජියෝ එකේ දවසක් ගියා හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කාලෙකට කලින්.

      Delete