Total Pageviews

Sunday, November 15, 2015

කූරගල ගැන ඇත්ත කුමක් ද?


විශ‍්‍රාමලත් පුරාවිද්‍යා නිලධාරියෙකු 

කූරගල ගැන

ප‍්‍රථම වරට කරන හෙළිදරව්වක්

ලෙනෙහි අරාබි ශිලා ලේඛන කොටවලා

 

 
කූරගල කන්ද



(රත්නපුර - එච්. එම්. ජයන්ත විජේරත්න-විශ‍්‍රාමලත් පුරාවිද්‍යා නිලධාරි)

ජයන්ත විජේරත්න හේරත් මහතා

බලන්ගොඩ, කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතයේ, ගල් ලෙන් ආශ‍්‍රිතව 2013 වසරේ කළ පුරාවිද්‍යා පර්යේෂණ කැණීම් මාලාම ඉතා වැදගත් එකක් විය. ඉන් හමුවූ මානව ක‍්‍රියාකාරකම් සහිත පාංශු ස්තර, අදින් වසර 6000 සිට 16000 දක්වා කාලයකට අයත් වන බවට ඉකුත් දිනක මාධ්‍යට ප‍්‍රකාශ කළේ, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ය. ඔහු ඒ බව පැවසුවේ කූරගල පර්යේෂණ ගැන ලැබුණු කාලනිර්ණ වාර්තා ඇසුරිණි. කූරගල දැන් කලක පටන්ම මහත් ආන්දෝලනාත්මක භූමියකි.
 

විනාශ කෙරුණු චෛත්‍යය

පැරණි රජ දවස ‘තණ්ඩුලෙය්‍යක පබ්බත’ සහ ‘දත්ත ශෛල පබ්බත’ යන නම්වලින් ද, පසු කාලීනව ‘කුහරගල’ නමින් ද, වර්තමානයෙහි ‘කූරගල’ නමින් ද හඳුන්වන ඓතිහාසික බෞද්ධ පුදබිම, මේ වන විට බහු ආගමික සිද්ධස්ථානයක් වශයෙන් ද ප‍්‍රසිද්ධ ය. එයඅනුරාධපුර යුගයේ මුල් අවධියේ සිටම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් වශයෙන් පැවතුණු ස්ථානයකි. එහෙත් විසි වැනි සියවසේ මුල් භාගයේ සිට, එහි ‘මුස්ලිම් ආගමික දේවස්ථානයක්’ ද ඉදිකර, වන්දනාමාන කටයුතු පවත්වා ගෙන යයි.

කූරගල පුදබිම බෞද්ධ මෙන්ම මුස්ලිම් භක්තිකයන්ගේ ද ගෞරව බහුමානයට පාත‍්‍ර වූ සිද්ධස්ථානයකි.  මේ නිසාම පසුගිය කාල වකවානුව තුළ මේ පුණ්‍ය භූමිය, වරින්වර ඉමහත් ආන්දෝලනයට ද, මතභේදයට ද තුඩු දුන් සිද්ධස්ථානයක් වශයෙන් ද ප‍්‍රසිද්ධ වූයේ ය. බුදුරජාණන් වහන්සේ දිවා විහරණය කළ ‘දිවා ගුහාව’ පිහිටියේ ද මෙම ස්ථානයේ බවටත්, තෙ ලොවටම අධිපතිව විසූ මහා රාවණාවන්ගේ ඉන්ද්‍රගිරි රාජධානිය මෙහි පිහිටා තිබුණු බවටත්, පූජ්‍ය රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති, වටද්දර ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේ විසින් තර්කානුකූල මතයක් ද ඉදිරිපත්කර ඇත.

කූරගල අයත් වන්නේ, රත්නපුර දිස්ත‍්‍රික්කයට ය. එහි බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයේ, කඩවත් මැද කෝරළේ, හෙළ උඩ පත්තුවේ, කූරගල ගමෙහි මෙම වන්දනීය පින්බිම පිහිටා ඇත. බලංගොඩ-කල්තොට මාර්ගයේ 23 වැනි කිලෝමීටර් කණුවට නුදුරින් හෙවත්, තංජන්තැන්න මංගර දේවාලය ඉදිරි පිටින් ඇති අතුරු මාර්ගයක් ඔස්සේ, තවත් කිලෝමීටර් දෙකක් පමණ ගිය පසු කූරගල පුදබිම හමුවේ.


 


කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ පිහිටි මුස්ලිම් පල්ලිය හඳුන්වන්නේ ‘දත්තා ජෙයිලානි (Dafther Jeylany) නමිනි. පල්ලිය පාලනය කරන්නේ ‘භාරකාර මණ්ඩලයක්’ මගිනි. මට පෙනී යන්නේ, පල්ලිය භාරකාර මණ්ඩලය හෝ පල්ලියේ ආදායම් ලබාගන්නා පුද්ගලයන් විසින්, කූරගල ඉතිහාසය පිළිබඳ කලක සිටම ලෝක වාසී ජනතාව නො මග හරිමින් සිටින බවයි. ඒ සඳහා ඔවුන් ‘ව්‍යාජ සෙල් ලිපියක්’, නැවත වතාවක් විකෘතිකර (ප‍්‍රති නිර්මාණයකර) ඉදිරිපත්කර තිබේ. ඔවුන් ඉන් කියන්නට උත්සාහ ගෙන ඇත්තේ, ඉපැරණි කූරගලට මුස්ලිම් අයිතියක් ද ඇති බව ය! මෙය ඉතිහාසය විකෘති කිරීමක් වන බැවින් මෙම සටහන ලියන්නෙමි.

කූරගල ඉතිහාසය
එය අනාවරණය කිරීමට පෙර කූරගල ඉතිහාසය ගැන ද යම් තරමකින් හෝ අධ්‍යයනය කිරීම වැදගත් වනු ඇත. කූරගල ගල්ලෙන් පිළිබඳව අධ්‍යයනයේ දී පැහැදිලි වන්නේ, මුල් අනුරාධපුර යුගයටත් වඩා ඈතට දිවෙන ඉතිහාසයක් එහි ඇති බව ය.  ඒ අනුව කූරගල ලෙන් සංකීර්නයේ මානව ජනාවාස ආරම්භ කරන්නේ, මධ්‍ය ශිලා යුගයට අයත් ‘ප‍්‍රාග් මානවයා’
(Homo sapiens sapiens Balangodensis)   හෙවත් ‘බලංගොඩ මානවයා’ ය. ඔවුන් එහි විසූ බවට සාධක, මෑතක  මේ ගල් ලෙන්වල කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණ මගින් අනාවරණය විය. එය වැදගත් කරුණකි. ගල් ලෙන්වලට අමතරව ඔවුන් එළිමහන් ප‍්‍රදේශවල ද ජනාවාස පිහිටුවා ගෙන තිබූ බවට පැහැදිලි සාක්‍ෂි අනාවරණයකර ගැනීමට හැකි වූයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ප‍්‍රදේශයේ  වසර ගණනාවක් තිස්සේ කළ ගවේෂණ සහ කැණීම්වල ප‍්‍රතිඵලයක් වශයෙනි.  ඒ අනුව ඉකුත් 2013 වසරේ, කූරගල මුස්ලිම් පල්ලියට යාබද ගල් ලෙනෙහි කළ පර්යේෂණ කැණීමන්, එහි මානව ජනාවාසය අදින් වසර 6000 සිට 16,000 දක්වා කාලයක් පැරණි  බව වාර්තා විය.

 
කූරගල ඉදිකිරීම්

ප‍්‍රාග් ඓතිහාසික යුගයෙන් පසු කූරගල ගැන තොරතුරු සඳහන් වන්නේ මුල් අනුරාධපුර යුගයේ සිටම ය. කටාරම් කෙටූ ගල්ලෙන් සහ පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂරයෙන් යුත් සෙල් ලිපි මගින් ඒ ඉතිහාසය ගොඩ නැගෙයි. පැරණි සෙල් ලිපි 03ක් මෙහි දී දැකගත හැකි ය. ඒවායින් පැහැදිලි වන්නේ, භාවනායෝගි බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා එකල මෙහි ගල්ලෙන්වල වැඩ සිටි බවයි.

 කූරගල ඇති ලෙන් ලිපි සියල්ලම ඉතා කෙටි ලිපි වේ. එය විශේෂත්වයකි. එමෙන්ම බොහෝ ලෙන් ලිපිවල, ‘අගත අනගත චතු දිශ ශගස දිනේ’ (අතීත අනාගත සතර දිසාවෙන් පැමිණියා වූද, නො පැමිණියා වූද, භික්‍ෂු සංඝයා වහන්සේලාට පූජා කළ වගයි) යනුවෙන් සඳහන්කර තිබේ. කූරගල කඳුවැටිය සහ තදාශ‍්‍රිත කලාපයේ තවත් පැරණි ගල් ලෙන් කිහිපයක්ම වෙයි. ඒවායෙහි ඇති ලෙන් ලිපිවල එබඳු සඳහනක් නැත. ඊට හේතුව විය හැක්කේ, එම ස්ථාන ‘ලෙන් ආරාම’ සකස් කිරීමේ ප‍්‍රාථමික අවධියට අයත් ස්ථානයන් නිසා වන්නට පුළුවන. පූජ්‍ය රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති, වටද්දර ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේ මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ, මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමට ප‍්‍රථම හෙවත්, ප‍්‍රාග් බෞද්ධ සමයේ මෙම ගල් ලෙන්, යම් යම් ප‍්‍රදේශාධිපතීන් විසින් බුදුන් වහන්සේ උදෙසා පූජා කරන්නට ඇති බවයි. එම නිසා ඒවායෙහි ‘අතීත අනාගත සතර දිසාවෙන් පැමිණියා වූද, නො පැමිණියා වූද භික්‍ෂු සංඝයා වහන්සේලාට පූජා කළ වගයි’ යනුවෙන් සඳහන් නො කරන්නට ඇති බව උන් වහන්සේගේ අදහසයි.

සුදු දිසාපතිවරුන්ගේ කූරගල
විවිධ හේතූන් නිසා අභාවයට ගොස් වන වැදුණු කූරගල ගැන, නැවතත් යම් යම් තොරතුරු අසන්නට හා දැක ගන්නට ලැබෙන්නේ 20 වැනි සියවස මුල් භාගයේ සිට ය. ඒ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ එකල රාජකාරි කළ බි‍්‍රතාන්‍ය ජාතික දිසාපතිවරුන් සහ සිවිල් නිලධාරින්ගේ දින පොත්, ස්ථානීය පරික්‍ෂණ වාර්තාවන් මෙන්ම සංචාරක ගමන් විස්තර සටහන් අනුව ය.
 

රත්නපුර දිස්ත‍්‍රික්කයේ හිටපු දිසාපතිවරයකු වන ආර්. බී. හෙලින්ස් මහතා (1906-1910) කූරගල අවට ප‍්‍රදේශයේ කළ සංචාරයකින් පසු, 1910.02.12 දින තබන ලද සටහනක මෙසේ සඳහන් වේ.    
 

‘මට පෙනෙන හැටියට මෙම ස්ථානයේ මූලාරම්භයේ සිටම වසර ගණනාවක් යන තුරු ශුද්ධ වූ පූජණීය ස්ථානයක් වශයෙන් සහ භාවනායෝගිව කටයුතු කිරීමට සුදුසු තැනක් ලෙසටත් ප‍්‍රසිද්ධව ඇත. පුරාණ කාලයේ මෙහි තාපසයන් පදිංචිව සිටි බව පෙණුනත්, දැන් එසේ නැත. එහෙත් එක් අයකු පමණක් දැන් මෙහි තාපස ජීවිතයක් ගත කරයි. මගේ මතකය නිවැරදි නම්, මොහු මුලින්ම වාසය කළේ දිල්ලි නගරයට ආසන්න පාඨලීපුත‍්‍ර නගරයේ ය. මොහුගේ පියා එහි සිටි ශුද්ධවන්ත පුද්ගලයකුගේ බිරිඳ නො මග යවා, පසුව බලහත්කාරකමින් දූෂණයකර, ඇයගේ සැමියා ද මරා දමන ලද්දේ ය. අවාසනාවන්ත සිද්ධියෙන් ගැබ් ගත් ඇය, නිසි කල පිරිමි දරුවකු බිහි කළා ය. වයසින් වැඩුණු දරුවා මවගෙන් සිය පියා ගැන අසා සිටි අවස්ථාවක, මව සිය පුත‍්‍රයාට සිදු වූ සියල්ල ඒ පරිද්දෙන්ම කියා සිටියා ය. මින් කෝපයට පත් පුතා, තම මවට අපරාධයක් කළ මිනීමරු පුද්ගලයා හෙවත්  තමන්ගේ සහජාතක පියා මරා දමන බවට මව හමුවේ ශපථ කළේ ය. මේ අතර තමන් කළ අපරාධය ගැන පසුතැවුණු මිනීමරු පුද්ගලයා, පසුව සිය ජීවිතය බේරා ගැනීම සඳහා ලංකාවට පැමිණ සැඟවී සිටියේ කූරගල ය. පළිගැනීමේ අදහසින් මොහු සොයා පැමිණි පුත‍්‍රයා, එක් රාත‍්‍රියක දරුණු අරගලයකින් පසු මිනීමරුවා මරා දමන ලද්දේ ය. රාත‍්‍රිය පුරා ඇසුනු බිහිසුණු ශබ්ද ගැන විමසිල්ලෙන් සිටි පුද්ගලයකු, පසු දින කන්ද නැග එහි ගිය පසු දැක ගන්නට ලැබුණේ වෛරයෙන් දැවෙමින් සිටින තාපසයකු හා ගින්නෙන් දැවෙමින් පවතින අළු ගොඩකි.’ (1910.02.12 දින ලියා ඇති සටහන)
 

හෙලින්ග්ස් මහතාගේ දින සටහනෙන් පැහැදිලි වන්නේ, ඔහු කූරගලට යන විට එම ස්ථානයේ ගල් ලෙනක සිටි පුද්ගලයා, මෙයට පෙර ඔහු විසින් දැක සිටි කෙනෙකු බව ය. ඒ,  ඉන්දියාවේ පාඨලීපුත‍්‍ර නගරයේ දී ය. එසේ නම්, හෙලින්ග්ස් මහතා ලංකාවේ සිවිල් රාජකාරියට පැමිණීමට පෙර ඉන්දියාවේ පාඨලීපුත‍්‍ර ප‍්‍රදේශයේ ද රාජකාරි කරන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. එමෙන්ම ඔහුගේ සටහනින් පැහැදිලි වන්නේ, සිය පියා සොයා කූරගලට පැමිණි පුතා, පියා මරා පුළුස්සා, ඉන් පසුව  තාපසයකුගේ වෙස් ගෙන තිබුණු බවකි. හෙලින්ග්ස් තවදුරටත් කියා සිටින්නේ මෙවන් කතාවකි.
 

‘පැය දෙකක පමණ පා ගමනකින් පසු තන්ජමට යාමට හැකි ය. ඉන් පසු සිදු වන්නේ කූරගලට සහ හිටුවන්ගල කන්ද නැඟීමට ය. ස්ථාන දෙකම මහමදිකයන් වැඳුම් පිදුම් කරන ස්ථානයන් ය. මෙහි ඇති ගල් බිත්තිවල අරාබි, දෙමළ සහ සංස්කෘත අකුරුවලින් වන්දනාකරුවන්ගේ නම් ගම් ලියා ඇත. හිටුවන්ගලට වඩා කූරගල උසින් වැඩි අතර, කඳු දෙක අතර ඇත්තේ කෙටි දුරකි.’
 


පුරාවිද්‍යා කැණීම්

ආර්. එන්. තේන් මහතා (1913-1915) ද රත්නපුර දිසාපති වශයෙන් කටයුතු කරන අතර, කූරගල සංචාරයකර තිබේ. ඔහු 1914.03.26 වැනි දින මෙබඳු දින සටහනක් තබා ඇත.
 

‘මුස්ලිම්වරුන් විසින් මෙම ස්ථානය හඳුන්වන්නේ ‘දස්තර්’  (Dastur) හෝ ‘ඩක්මර් සෙයිලාන්’  (Dukmar seylan) නමින් ය. එහෙත් මගේ දැනුම අනුව ලංකාවේ කිසිම මූලාශ‍්‍රයක මේ ඉතිහාසය ගැන කිසිම සඳහනක් දැක ගන්නට නැත. බෞද්ධ මෙන්ම මහමදාගමිකයන්ද මෙතනට පැමිණෙති.’
 

උමං මග
‘අබ්දුල් කාදර් නමින් හඳුන්වනු ලබන අරාබි ශාන්තුවරයෙක් කලකට පෙර මෙම ස්ථානයේ සිටියේ යයි  දැන ගන්නට ඇත. ස්වර්ගයට යන මාර්ගය ඇත්තේ මෙතන යයි පවසමින් ඔහු මෙහි වාසයකර ඇත. ස්වර්ගයට යන මාර්ගය ඇත්තේ මැද තිබෙන ගුහාවට දකුණු පසිනි. ඉතාමත් පටු සහ පැතලි මාර්ගයක් ඔස්සේ එතනට යා යුතු වන්නේ යාර 20ක් 30ක් පමණ අන්ධකාරයේ බඩගා ගෙන ය. ආලෝකයක් නො තිබුණ බැවින් සහ එතන යාමට කැමැත්තක් නො තිබුණ නිසා මම එතැනට නො ගියෙමි.  මගේ මාර්ගෝපදේශකයා මට කීවේ, මෙතැනට යන වන්දනාකරුවන්ට ඔවුන්ගේ යාඥාකරුවන් දැක ගැනීමට හැකි වන බව ය. ගුහාවේ දැඩි දුර්ගන්‍ධයක් පවතින අතර, මැසි මදුරුවන් මෙන්ම වවුලන් සහ සර්පයන් ගෙන් ද පිරී ගොස් ඇති නිසා, පෙර සඳහන් ප‍්‍රකාශය සත්‍ය යයි සිතිය හැකි ය.’
   

‘ගුහාවට සම්බන්ධ කතා පුවත සිත් ගන්නා සුළු ය. ඔවුන්ගේ විශ්වාසය අනුව මෙතනින් මක්කමට හෝ ස්වර්ගයට යා හැකි ය. අබ්දුල් කාදර් මෙතනින් ස්වර්ගයට යන මාර්ගය සොයා ගත්තේ යයි දැන ගන්නට හැකි විය. එක්තරා දිනයක ඔහු ගලට සිය අත්ල තබා, එතැන තිබූ විවරයකින් ඇතුළට ගොස් ඇති අතර, පසුව විවරය ගලකින් වැසී ගොස් ඇත. ඔහු නැවත කිසිදාක පැමිණ නැත. වන්දනාකරුවන්ගේ විශ්වාසය වනුයේ ඔහු ස්වර්ගයට ගිය බවයි. මුස්ලිම් බැතිමතුන් ගල මත සිය අත්ලේ සටහන තබන්නේ ශුද්ධ වූ ස්ථානයෙන් ස්වර්ගයට යාමට හැකි වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.’
 

කෙටි කාලයක් රත්නපුර දිසාපති වශයෙන් කටයුතුකර ඇති ජී. කුක්සන් මහතා ද, 1911.01.12  වැනි දින කූරගලට පැමිණ  සිය දින පොතෙහි තබන්නේ මෙවැනි කෙටි සටහනකි.
‘මහම්මත් ආගමිකයන්ගේ සඳහන් කරන්නේ, ‘අපගේ දෑස් සීලයෙන්  පාරිශුද්ධ නම්, මේ කන්දේ ගුහා, පැතිකඩවල් සහ උමං තුළින් ස්වර්ගය මෙන්ම නරකාදිය දැකිය හැකි බවයි.”   
ඉහත සඳහන් දිසාපතිවරුන්ට අමතරව තවත් සිවිල් නිලධාරීන් කිහිප දෙනෙක්ම කූරගල නැරඹීම සඳහා ගොස් ඇති බව ඔවුන්ගේ චාරිකා සටහන්වල සඳහන් වේ. 

රත්නපුර දිසාපතිවරුන්ගේ
(Ratnapura - An account of the District From Diaries of Government  Agents.  Supplemented  from  other  records  by  L.B.Abeyaratne. ) දින සටහන්වලින් පෙනී යන්නේ, 20 වන සියවසේ මුල් භාගය වන විට කූරගල ගල් ලෙන්වල මුස්ලිම් ජාතිකයන්ගේ ද ආගමික සිද්ධස්ථානයක් පැවති බවයි. එම වාර්තා තවදුරටත් අධ්‍යයනය කිරීමේ දී (හෙලින්ග්ස්ගේ දින සටහනින් පෙනී යන පරිදි) පෙනෙන්නේ, මෙහි සෙල් ලිපිවල සංස්කෘත අක්‍ෂර ද දැක ගන්නට තිබුණු බවයි. ඔහු (හෙලින්ග්ස්) සංස්කෘත අක්‍ෂර යයි සඳහන් කරන්නේ, ලෙන්වල කොටා ඇති පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂරවලට ය. ගරා වැටුණු බුදු පිළිම සහිත ගල්ලෙන් වන වැදී තිබෙන්නට ඇති නිසා, ඔවුන් ඒ ගැන සඳහන් නො කරන්නට ඇත. ආර්. එන්. තේන් මහතාගේ දින සටහනෙන් පැහැදිලි වන්නේ, බෞද්ධයන් ද වැඳුම් පිදුම් සඳහා මෙම ස්ථානයට පැමිණි බවයි.
 




මෙම පුණ්‍ය භූමියේ ඇති ගල්ලෙන් ආශ‍්‍රිතව බොහෝ දුරට බුදු පිළිම වැනි දේ නො තිබෙන්නට ඇතැයි ද උපකල්පනය කළ හැකි ය. කූරගල ආසන්නයෙහි කුරුදියවල විහාරාරාම සංකීර්ණය සහ බුදුගල, වැනි ස්ථානවල  තවත් බුදු පිළිම සහිත බෞද්ධ සිද්ධස්ථාන පැවති බැවින්, කූරගල ලෙන්වල බුදු පිළිම ඉදි නොකර, එහි සියලූම ගල්ලෙන් භාවනා කටයුතු සඳහා යොදවා ගන්නට ඇත! එමෙන්ම බෞද්ධ සංකේතයක් වශයෙන්, ‘කුහරගල’ මස්ථකයේ චෛත්‍යයක් පමණක් ඉදි කරන්නට ඇත. භාවනා කටයුතුවල යෙදිය හැකි පැරණි ගල්ලෙන් 20කට ආසන්න සංඛ්‍යාවක්, කූරගල, පබ්බත සහ බුදුගල ආශ‍්‍රිත කලාපයෙන් සොයා ගැනීමට අපට හැකි විණි.

අලි මස්තාන්
ආර්. බී. හෙලින්ස් මහතාගේ දින සටහනෙහි එන, පියා මරා දමා කූරගල ගල්ලෙනෙහි පදිංචිවූ පුද්ගලයා, ප‍්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලැබුයේ ‘අලි මස්තාන්’ නමිනි. ඔහු ගංජා සහ දඩ මස් වෙළෙඳාම් කළ බව ප‍්‍රකට ය. කූරගල හරහා යන-එන අරාබි ජාතිකයන්ට අමතරව, මස්තාන් හමුවී ගංජා සහ දඩ මස් ගෙන යාමට පසුව බලංගොඩ ප‍්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන් ද කූරගලට යන්නට එන්නට වූහ. අලි මස්තාන් මේ අතර තවත් ව්‍යාපාරයකට අත ගැසුවේ, අපේ  සිංහල බෞද්ධයන් යයි කියා ගන්නා සමහර අය, බුදුන් සහ දෙවියන් විකුණා ගෙන උදර පෝෂණයකර ගන්නා විධි ක‍්‍රමය ආදර්ශයට ගනිමිනි. ඒ අනුව ගිය ඉන්දීය ජාතික අලි මස්තාන් නැමති මුස්ලිම් ජාතිකයා ද, තමන් නතරව සිටි ගල් ලෙනෙහි අල්ලා දෙවියන් වහන්සේ වෙනුවෙන් පිං කැටයක් තබා ආධාර එකතු කිරීමට පටන් ගත්තේ ය. ඉන් නො නැවතී, ස්වර්ගයට මාර්ගය මෙම ස්ථානයේ දී දැක ගන්නට හැකි යයි ප‍්‍රචාරයක් ද ගෙන ගියේ ය. ඔහුගේ ව්‍යාපාරය කොතරම් ජනප‍්‍රිය වූයේ ද යත්, ස්වර්ගයට යන මාර්ගය දැක බලා ගැනීම පිණිස දේශීය මෙන්ම විදේශීය මුස්ලිම් ජාතිකයන් විහාල ලෙස කූරගලට ඇදී එන්නට වූහ. එහි ප‍්‍රතිඵලය වූයේ ඔහුගේ පිං කැටය පිරී ඉතිරී, කූරගල ලෙන් ඔවුන්ගේ ආගමික ස්ථානයක් බවට පත් වීමයි! එයට ප‍්‍රධාන හේතුවක් වූයේ, හම්බන්තොට සිට රට මැදට යාමට එකල තිබූ ප‍්‍රධාන මාර්ගය, වලවේ නිම්නය ඔස්සේ කූරගල හරහා වැටී තිබීමෙනි.
 

මේ අතර, අලි මස්තාන්ගේ ක‍්‍රියා කලාපය ගැන තවත් පුද්ගලයෙක් විමසිල්ලෙන් සිටියේ ය. ඔහු නම්,  බලංගොඩ පදිංචි ‘මරික්කාර්’ නම් ව්‍යාපාරිකයා ය. කූරගල වන්දනාමාන කිරීමට එන පුද්ගලයන් ගෙන් අලි මස්තාන්ගේ ‘පිං පෙට්ටිය’ පිරී ඉතිරී යන බව දැක, ඔහුට කිසියම් ලෝබ සිතිවිල්ලක් ඇති විය. මේ ස්ථානය තමන්ට අයිතිකර ගත හොත් විශාල ආදායමක් ගත හැකි බව ද ඔහු තේරුම් ගත්තේ ය. ඔහු ඒ සඳහා හීන් සීරුවේම පිඹුරුපත් සැකසී ය.
 

මෙම ස්ථානයේ  අයිතිය ඇත්තේ දකුණු ඉන්දියාවෙන් පැමිණ සැඟවී සිටින අයකුට නොව, බලංගොඩ සිටින තමන්ට බව පවසමින් හෙතෙම අරගල කරන්නට විය. මේ අයිතිවාසිකම් සඳහා මරික්කාර්ගේ සහෝදරයන් කිහිප දෙනෙක් සහ ඥාතීන් කිහිප දෙනෙක් ද සහයෝගය දැක් වූහ. පසුව එය ගැටුම්කාරි තත්ත්වයක් දක්වා වර්ධනය විය. එහි දී මරික්කාර්ට මෙන්ම අලි මස්තාන්ට ද පක්‍ෂව පිරිස් ගොනු වූහ. ගැටුම්කාරි තත්ත්වය කොතෙක්  දුරදිග ගියා ද යත්, අලි මස්තාන් විසින් බලංගොඩ මරික්කාර්ගේ කල්ලියේ සාමාජිකයකු වූ, සෙයියදු බුහාරි මව්ලානා නම් අයකුට පහර දී, ඔහුගේ කකුලක් ද කඩා දැමුවේ ය. මේ හේතුවෙන්, ඉන්දියාවෙන් පැමිණි අලි මස්තාන් හෙවත් එස්. එම්. කේ. මොහොමඩ් අලි මස්තාන් සාහිබු යන අයට විරුද්ධව 1922 වසරේ දී පොලිස් උසාවියේ අංක 22494 යටතේ නඩුවක් ගොණු කෙරිණි.
 

එයට අමතරව, ගල් ලෙනේ  අයිතිය පිණිස සහ එම සිද්ධස්ථානයට පැමිණෙන බැතිමතුන් ගෙන් විදේශිකයෙකු මුදල් අය කරන බව සඳහන් කරමින්, සී. එල්. එම්. අබ්බාස් මරික්කාර් යන අය, එස්. එම්. කේ. මොහොමඞ් අලි මස්තාන් සාහිබු යන අයට එරෙහිව 1922 වසරේ දී තවත් නඩුවක් ද ගොණු කරන ලදී. අලි මස්තාන්ට විරුද්ධව බලංගොඩ පාර්ශවයෙන් සී. එල්. එම්. අබ්බාස් මරික්කාර්,  ඕ. එල්. එම්. අබ්දුල් ලෙබ්බේ, සහ ඒ. එල්. ඒ. මජිඞ්, ඇතුළු තවත් පිරිසකි. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ එම්. ඒ. ඩබ්ලිව්. ගුණසේකර මහතා ය. රත්නපුර දිස්ත‍්‍රික් උසාවියේ විභාග කරන ලද  නඩුව අංක zD.C.56/35’ බව සඳහන් වේ.
 

මුස්ලිම් මස්ජිඩය සහිත ගල්ලෙනෙහි  හිමිකම සම්බන්ධයෙන් 1922 පවරන ලද නඩුවේ, තීන්දුව ප‍්‍රකාශයට පත්කර ඇත්තේ 1936 වසරේ සැප්තැම්බර් මාසයේ ය. එම වසර 14ක පමණ කාලය තුළ පැවති අධිකරණ ක‍්‍රියා කලාපය නිසා, කූරගල පරිශ‍්‍රයේ කිසිදු ඉදි කිරීමක් නො කෙරිණි. ඇත්තටම සියලූ ඉදිකිරීම් ආරම්භකර ඇත්තේ 1936 වසරෙන් පසුව ය. එසේ වුව ද, සී. එල්. එම්. ඒ. මරික්කාර් විසින්, 1922 වසරේ සිටම මෙහි ගොඩනැඟිලි ඉදි කළ බවට නාම පුවරු සවිකර ඇත. එය ඔහු තමන්ගේ අයිතිය තවදුරටත් තහවුරුකර ගැනීම සඳහා ගත් ක‍්‍රියාමාර්ගයකි. නඩුවෙන් බලංගොඩ මරික්කාර් ජය ගෙන තිබිණි. එහෙත් සියලූ දේ  ඉදිකර ඇත්තේ, 1936 වසරෙන් පසුව බව පැහැදිලි ය.
 

ඒ සඳහා හොඳම සාධක සපයන්නේ, පූජ්‍ය විකිළියේ නාරද අනුනායක ස්වාමීන් වහන්සේ ය. උන් වහන්සේ සඳහන් කරන ආකාරයට, තමන් වහන්සේ පළමු වරට කූරගලට වැඩම කරවා ඇත්තේ 1925 වසරේ ය. එම අවධියේ එහි  යාම ඉතාමත් දුෂ්කර කාර්යයක්වූ බව උන් වහන්සේ සඳහන් කරති. බලංගොඩ සිට බෝවත්ත දක්වා යාමට කරත්ත පාරක් තිබුණ අතර, එය ද යා යුත්තේ නිතර අලි, කොටි, වලස්සු වැනි නපුරු සතුන් ගැවසුන මාර්ගයක බවත්, උන් වහන්සේ සඳහන් කරති. උන් වහන්සේ තවදුරටත් කියන්නේ බෝවත්තෙන් එහාට දෙනිපිටිය හරහා කුඩා අඩි පාරකින්  තන්ජමට හා එතැනින් කූරගලට යා යුතු බවයි.  1925 වසරේ කූරගලට වැඩම කළ අවස්ථාවේ, එම කඳු මුඳුනේ පේසා වළලූ තුනකින් සමන්විත, බඹ එක් හමාරක් (අඩි 09ක්) පමණ උස දාගැබක් පැවති බව සඳහන් කරති. හිටුවන්ගලටත්, ඒ අසලින් ගලා යන කුඩා දොළ පාරත් අතර කොටසේ, අඩි 35ක් පමණ දිගින් යුතු පෞරාණික ගොඩනැඟිල්ලක අත්තිවාරමක් දැක ගන්නට ලැබුණු අතර, හිටුවන්ගල ගල්ලෙන් විහාරය ඇතුළත පැරණි කුඩා බුද්ධ ප‍්‍රතිමාවක් ද තිබුණ බව වැඩි දුරටත් සඳහන් කරති. උන් වහන්සේ නැවත 1938 වසරේ දී කූරගලට වැඩමකර ඇත.  එවර පළමු වරට දුටු දාගැබ, පැරණි ගොඩනැඟිලි අත්තිවාරම පමණක් නොව, ගල් ලෙන තුළ තිබූ බුද්ධ ප‍්‍රතිමාව ද දැක ගන්නට නො ලැබුණ බව සඳහන් කරති.  1925 දී බඹ එක හමාරක පමණ උසට තිබූ පැරණි දාගැබේ එකදු ගඩොල් කෑල්ලක්වත් දැක ගන්නට නො ලැබුණු අතර, හිටුවන්ගල විහාරය පැවති තැන මුස්ලිම් පල්ලියක් ගොඩ නඟා  තිබුණු බවත් උන් වහන්සේ සඳහන්කර ඇත.
 

පූජ්‍ය විකිලියේ නාරද අනුනායක ස්වාමීන් වහන්සේ සඳහන් කරන ආකාරයට, 1925 වසර වන විට මුස්ලිම් ජාතිකයන් කූරගල ගල්ලෙන් ආශ‍්‍රිතව යම් යම් දේ ඉදිකර ඇත. එම කාල වකවානුවේ ප‍්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතුකර ඇත්තේ, මුල්ගම කෝරළේ මහත්තයා වන අතර, කූරගල ගම අයිති වූයේ කල්තොට ගම්මුලාදෑනි වසමට ය. එහි  ගම්මුලාදෑනි වශයෙන් කටයුතුකර ඇත්තේ, එම්. ජී. බ‍්‍රාහ්මණහාමි නම් නැමති අයයි. 
 

ඔහු සිය ගම්මුලාදෑනි වසමේ සංචාරයේ යෙදෙන අවස්ථාවක දැක ඇත්තේ, මෙහි පදිංචි මුස්ලිම් ජාතිකයන් ගල් ලෙන්වල  තිබූ බුදු පිළිම කඩා දමමින් සිටින ආකාරයයි. ඔහු මේ පිළිබඳ සිය ඉහළ නිලධාරියා වූ මුල්ගම කෝරළේ මහතාට දැණුම් දී ඇති අතර, කෝරළේ මහතා නියෝගකර ඇත්තේ, අලි මස්තාන් විසින කූරගල අලූතෙන් ඉදි කරන ලද පැල නොහොත් ‘ගේ’ වහාම කඩා, එය කළ බවට නැවත වාර්තා කරන ලෙසයි. අලි මස්තාන් විසින් ඉදි කරනු ලැබූ නිවාසය ඉහත නියෝගය අනුව කඩා ඉවත්කර ඇති අතර, කෙසේ වුව ද 1930 දශකයේ දී නැවතත් මෙහි ගොඩනැගිලි තනා ඇති බව පෙනේ.
 

අනවසර ඉදි කිරීම් ඉවත් කරමින්
කෙසේ වුව ද ගල් ලෙනේ අයිතිය සම්බන්ධයෙන් පවරා තිබූ  නඩුව නිසා ද, කූරගල එකල සිට රට පුරා ප‍්‍රසිද්ධ විය. නඩුවෙන් ජයග‍්‍රහණය කළ බලංගොඩ සී. එල්. එම්. මරික්කාර් හජ්ජියාර් ප‍්‍රධාන දේවස්ථාන භාරකාර මණ්ඩලය, පූර්ව බ‍්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් ලිපි පිහිටි ගල් ලෙන් ආශ‍්‍රයකර ගෙන, ඒවායේ බිත්ති බැඳ කුටි වශයෙන් සකස්කර ගත්හ. ඒවා හැඳින්වූයේ ‘තපස් වාඩි” නමිනි. ඉන් පසු තවත් විශ‍්‍රාම ශාලා කිහිපයක් ද ඉදි කෙරිණි.
 

රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමීන් වහන්සේ ද කූරගල ගවේෂණය කළ තවත් විද්වතෙකි. උන් වහන්සේ ද කූරගල ගැන සපයා ඇති තොරතුරු ඉතාමත් වැදගත් ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරි පිරිසක් සමග උන්වහන්සේ ද වරක් මෙහි ඇති පැරණි ලෙන් ලිපිවල ස්පර්ශ මුද්‍රා (පිටපත්කර) ගැනීමට ගිය අවස්ථාවක, එම කටයුතුවලට බාධාකර තිබේ. එකල එහි ප‍්‍රධාන භාරකරු වශයෙන් කටයුතු කළ සී. එල්. එම්. මරික්කාර් ගේ පුත‍්‍රයකු වන එම්. එල්. එම්. අබුසාලි ප‍්‍රමුඛ අනුගාමිකයන් පිරිසක් එම නිලධාරීන්ට සිය රාජකාරිය ඉටු කිරීමට නොදී, කලහකාරි ලෙස හැසිරුණු බව උන් වහන්සේ සඳහන්කර ඇත.
 

මෙම ස්ථානය ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් වෙනුවෙන් කැපකර ඇති නිසා, සෙල් ලිපි පිටපත්කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව ලබාදීය නො හැකි බව ඔවුන් පවසා තිබේ. ඔවුන් තවදුරටත් සඳහන්කර ඇත්තේ, ගල් ලෙන්වල කොටා ඇත්තේ පැරණි අරාබි අක්‍ෂර මිස, පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂර නො වන බවයි. පසුව අබුසාලි ඇතුළු පාර්ශවය, පුරාවිද්‍යා නිලධාරි පිරිස කඩු, කිනිසි, තුවක්කු ආදිය රැගෙන මුස්ලිම් සංහාරයකට හෝ කැරළි කෝලාහලයකට පැමිණි බවට බලංගොඩ පොලිසියේ පැමිණිල්ලක්කර ඇත. පැමිණිල්ල විභාග කිරීමට බලංගොඩ පොලිසියේ නිලධාරීන් පැමිණ ඇති අතර, ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමෙන් පසු, එය බෞද්ධයන් බිය ගැන්වීම සඳහා අබුසාලි මහතා විසින් කරන ලද බොරු පැමිණිල්ලක් බව තීරණයකර ඇත.
 

අරාබි අක්ෂර සහිත සෙල් ලිපි?
කූරගල සෙල් ලිපි පළමුවරට පිටපත් කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ, රත්නපුර දිසාපති වශයෙන් කටයුතු කළ සී. එච්. කොලින්ස් මහතාට ය. ඒ මහතා 1924.06.25 වැනි දින කූරගල ප‍්‍රදේශයේ පැරණි ස්මාරක සම්බන්‍ධයයෙන් ගවේෂණයක් කර, සෙල් ලිපි පිටපත්කර ඇති අතර, එම ගවේෂණය අළලා 1932 වසරේ රාජකීය ආසියාතික සංගමයේ වාර්ෂික සඟරාවේ 85 වැනි කලාපයෙහි
( J.R.A.S [ Ceylon ] Vol: xxxii/85 ) The Archaeology of the Sabaragamuwa Bintenna :   නමින් ඉතාමත් සාරගර්භ ලිපියක් පළකර ඇත. ලිපියේ කූරගල සෙල් ලිපි ගැන ද සඳහන්කර ඇත. එහෙත් එම ලිපියේ, අරාබි අක්‍ෂර සහිත සෙල් ලිපියක් හෝ ලිපි කිහිපයක් තිබුණු බවක් සඳහන් නොවේ.
 

‘දත්තගේ පර්වතය’  යනුවෙන් හඳුන්වනු ලබන කන්ද පාමුල ඇති ක‍්‍රි: පූ: 02 - 01 සියවස්වලට අයත් පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂරයන්ගෙන් යුත් සෙල් ලිපි 03ක් ඇති බව පෙර සඳහන් කළෙමි.  එම ලෙන් ලිපි, අද මුස්ලිම්වරුන් විසින් සිය අනන්‍යතාවය තහවුරුකර ගැනීම සඳහා ව්‍යාජ ලෙස යොදවා ගෙන ඇත. එහි සඳහන් ‘දත්ත’ යන නම ඔවුන් විසින් පරිවර්තනය කර ගෙන ඇත්තේ ‘ඩැෆ්ටර්’ (දෆ්තර්  -Dafther)වශයෙනි. ඔවුන් කියන්නේ ඒවා අරාබි අක්ෂර සහිත සෙල් ලිපි බව ය.
 

පුරාවිද්‍යා නිලධාරීන් කූරගල සෙල් ලිපි පිටපත්කර ඇත්තේ 1961 වසරේ දී ය. එම අවස්ථාවේ, ඉහත අරාබි අක්‍ෂරයෙන් යුත් සෙල් ලිපි තිබුණේ් නම් ඒවා පිටපත් නො කර සිටින්නේ නැත. මෙම අරාබි සෙල් ලිපි පිටපත්කර ඇත්තේ එයින් දශ වර්ෂයකට පමණ පසවු හෙවත්, 1971 සහ 1972 යන වසරවල ය. එයින් පැහැදිලි වන්නේ,  සෙල් ලිපි දෙකම ‘කොටා’ ඇත්තේ එම දස වසරක කාලය ඇතුළත දී බව ය.
 

මා විසින් ගත් ඡායාරූපය
කූරගල මුස්ලිම් පල්ලියට ඉහළින් ඇති ගල් ලෙනක් පාමුල, කැඩුණු ගල් කැබැල්ලක අරාබි බසින් කොටන ලදැයි කියන  එක් සෙල් ලිපියක් තිබේ. ‘දර්වේෂ් මුහියාදීන් 715 යන පාඨය එහි සඳහන් බව කියති. දර්වේෂ් මුහියාදීන් යනු, ඉස්ලාමීය අනාගත වක්තෲන් කෙනෙකි. එයට අමතරව එහි අන් දෙයක් පැහැදිලි නො වීය. අනෙක් සෙල් ලිපිය පිහිටා ඇත්තේ කූරගලට යන මාර්ගයේ, ඔවුන් විසින් ‘ජින් මලෙයි” (යක්‍ෂයාගේ කන්ද) යනුවෙන් හඳුන්වන ගල් තලාවේ සවිකර ඇති සෙල් පුවරුවේ ය. එහි ‘යා අල්ලාහ් 300” (මෙහි අර්ථය ක‍්‍රි: ව: 907 යනු යි)  නමින් පාඨයක් කොටා ඇති බව සඳහන් වේ. පුරාවිද්‍යා නිලධාරීන් 1971.07.30 වන දින සහ 1972.03.15 දිනවල මෙම සෙල් ලිපි දෙක ද පිටපත් කළ බවත්, එවා පැරණි නො වන බවත්, පුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාවේ දක්වා තිබේ.


මෙම අරාබි සෙල් ලිපිය සම්බන්ධයෙන් මට ගැටළුවක් පැන නැගුණේ, ඉකුත් දිනක අබුසාලි මහතාගේ ‘දෆ්තර් ජෙයිලානි’ ග‍්‍රන්ථයේ ඇති (දර්වේෂ් මුහියාදීන්  715 - අරාබි සෙල් ලිපිය-අබුසාලිගේ පොත -53 පිටුව) ඡායාරූපයත්, මා විසින් ගනු ලැබූ ඡායාරූපයත් පරික්‍ෂා කිරීමේ දී ය.
 

ඡායාරූප දෙක විමසිල්ලෙන් පරික්‍ෂා කිරීමේ දී පෙනීී යන්නේ අකුරු පිහිටීම්වල වෙනසක් ඇති බවයි. අරාබි අකුරු වර්ණාලේපකර ඇත්තේ ඔවුන් විසින් ය. මා විසින් ලබාගත් ඡායාරූපයේ සඳහන් අරාබි සෙල් ලිපිය පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ දැකගන්නට තිබෙන අතර,  අබුසාලිගේ පොතේ දැක්වෙන ආකාරයේ සෙල් ලිපියක් පුරාවිද්‍යා රක්‍ෂිතය තූළ හෝ ඒ අවට දැක ගන්නට නැත. ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ, මේ ගල් පුවරු දෙකම තමන්ගේ අවශ්‍යතාවය සහ වාසියට සරිලන පරිදි අබුසාලි පාර්ශවය විසින්  ‘කොටා’ ඇති බවයි.  පොතට ඡායාරුපයක් අවශ්‍ය නිසා අබුසාලි පාර්ශවය විසින් වෙනත් ස්ථානයක ඇති ගලක අරාබි අකුරු ඛන්ඩය කොටා, පොතට අවශ්‍ය ඡායාරූපය ලබා ගෙන ඇති බවයි. මෙය ඉතා පැහැදිලිවම ඉතිහාසය විකෘති කිරීමකි.
   
කෘතියෙහි පළකර ඇති ඡායාරූපය

කූරගල සැබෑ ඉතිහාසය යළි මතු කිරීම
කූරගල ජෙයිලානි මුස්ලිම් දේවස්ථානයේ  ආගමික වතාවත් කිරීමට පැමිණෙන්නේ කල්මුණේ, මඩකළපුව, අක්කරෙයිපත්තුව වැනි ඈත ප‍්‍රදේශවල මුස්ලිම් ජනතාවයි. ආගමේ නාමයෙන් මෙහි දී කරන සත්ත්ව ඝාතන නවතා දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගත් අතර, බෞද්ධ මෙන්ම තවත් සමාජ සත්කාරක ආයතන ද සත්ත්ව ඝාතනවලට විරුද්ධව හඬ නැගූහ. එසේම බෞද්ධ බලවේග ද කූරගල මුස්ලිම් දේවස්ථානය එතනින් ඉවත් කරන ලෙස ප‍්‍රබල ඉල්ලීම් කරන්නට වූහ. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණ ක‍්‍රියාමාර්ග ගත්තේ ය. එහි දී පුරාවිද්‍යා  රක්‍ෂිතයේ ඉදිකර තිබූ පෞද්ගලික නිවාස 04ක් ඉවත් කරන ලෙසට බලංගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ ය. පල්ලියේ භාරකරුවන්ගේ උපදෙස් පරිදි, තීන්දුවට එරෙහිව කඩ හිමියන් මහාධිකරණයට නඩු ගොණු කළත්, මහාධිකරණ තීන්දුව වූයේ ද පෙර තීන්දු බලාත්ත්මක කිරීම ය.
 

ඉතිරිවූ සොහොන්
හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා ද කූරගල ප‍්‍රශ්නය විසඳීමට උත්සාහ කළේ ය. ඔහු, මුස්ලිම් දේවස්ථානයේ ඉදිකර ඇති ගොඩනැගිිලි ඉවත්කර, වෙනම ස්ථානයක ස්ථාපිත කිරීම සඳහා පුරාවිද්‍යා රක්‍ෂිතයට යාව  හෙක්ටයාර් 11.309ක  භූමියක් මුස්ලිම් දේවස්ථාන භාරකාර මණ්ඩලයට බදු පදනමක් මත දුන්නේ 1990.03.25 දින ය. එහෙත් අබුසාලි ප‍්‍රමුඛ මුස්ලිම් භාරකාර මණ්ඩලය එම ගොඩනැගිලි ඉවත්  නො කිරීම නිසා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යළිත් අධිකරණයට යාමට සිදු විය. ඒ අනුව පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ පිහිටි පෞද්ගලික වෙළඳසැල් 04ක් ඉවත් කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝගයක් ලැබිණි.

මේ අතර, කූරගල මුස්ලිම් ආගමික ස්ථානය වහා ඉවත් කරන්නැයි බෞද්ධ සංවිධාන ද හඬ නැගුවේ ය. එහි එක් ප‍්‍රතිඵලයක් වූයේ  එවකට රාජ්‍යාරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා, 2013.04.08 වන දින කූරගල පරිශ‍්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගි වීම ය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දුන්නේ ද, පුරාවස්තු ආඥා පනත යටතේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ලැබී ඇති බලතල ක‍්‍රියාත්මකකර, පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ඇති සියලූම අනවශ්‍ය ගොඩනැගිලි ඉවත් කරන ලෙස ය. මෙම ස්ථානයේ තමන්ගේ ආගමික කටයුතු පවත්වා ගෙන යාමට කිසිදු බාධාවක් නැති බවත්, ඉවත් කරනු ලබන්නේ මුස්ලිම් ආගමට හෝ වෙනත් ආගමකට හෝ අයත් ගොඩනැගිලි නොව, පුරාවිද්‍යා රක්‍ෂිතයක් නිසි අයුරින් පවත්වා ගෙන යාම සඳහා, රක්‍ෂිතයේ තිබෙන සියළුම අනවශ්‍ය ගොඩනැගිලි බව ය.
 

අනුරාධපුරය පූජා නගරයක් බවට පත් කිරීම සඳහා අලූතෙන් ඉදිකර තිබූ විහාරස්ථාන කිහිපයක්, කතෝලික පල්ලියක්, ස්ථිර නිවාස, රාජ්‍යායතනවල ගොඩනැඟිලි පමණක් නොව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි ද කඩා ඉවත් කළ බැවින්, මෙය ආගමකට විරුද්ධව ගත් ක‍්‍රියා මාර්ගයක් නො වන බව, ඒ අවස්ථාවට සහභාගි වූ මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයට පැහැදිලිකර දුන් අතර, භාරකාර මණ්ඩලය තීරණය පිළිගනිමින් කියා සිටියේ,  ඒ තීරණයට තමන් ද සහයෝගය ලබා දෙන බව ය.
 

මේ වන විට, කූරගල මුස්ලිම් දේවස්ථානය පැවති ස්ථානයේ මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙකුගේ සොහොන් කොත් කිහිපයක් හැරෙන්නට අනෙක් සියළුම ගොඩනැගිලි ඉවත්කර ඇත. දැන් ස්ථානය වන්දනාමාන කිරීමට සහ නැරඹීමට පැමිණෙන ජනතාවට දැක ගන්නට ඇත්තේ මුස්ලිම් සොහොන් භූමියකි. එම නිසා පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ඉතුරුකර ඇති සොහොන් ද ඉවත් කිරීමට පුරාවිද්‍යා බලධාරීන් කටයුතු කළ යුතු ය. ඇත්ත තිත්ත වුණත් කිව යුත්තේ, පුරාවිද්‍යා බලධාරීන් කූරගල අනවශ්‍ය ඉදි කිරීම් ඉවත් කිරීමට යම් මැලි බවක් දක්වන බවය.

(ලේඛකයාගේ, ‘මානව පරිණාමයේ රත්නපුර ලකුණ’  නම් ග‍්‍රන්‍ථය ඇසුරෙනි)

2015/11/15.

සේයාරූ:- රත්නපුර - ජයන්ත විජේරත්න හේරත්.



   
        

4 comments:

  1. ඔබට බොහොමත්ම පින් සිද්ධ වෙනවා මහත්මයා ,
    වටිනා සහ බොහෝ අවධානය යොමු වෙන්නට ඕනෑ කරුණු රාශියක්..
    දිගටම ලියන්නට දිරිය ශක්තිය ලැබේවා !!!
    ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ජයන්තගේ ලිපියට ප්‍රතිචාර දැක්වූවාට ස්තුතියි-ක්‍රිෂ්ණ(වලස්පතියේ සංස්කාරක)

      Delete
  2. බොහමෙ වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි.-ක්‍රිෂ්ණ

      Delete