Total Pageviews

Wednesday, November 4, 2015

වන්නිලැත්තන්නෙ බාසා පොජ්ජ ඉස්කෝල පොජ්ජට?


වන්නිලැත්තන්නෙ බාසා පොජ්ජ
 ඉස්කෝල පොජ්ජට මන්දො කොරන කතා?
                           
 



කිරිකොරහ ශාන්තිකර්මය


(කතාව සහ පින්තූර-කමලා අතරගල්ල)
 සිංහල භාෂාව පිළිබඳ කතිකාවත් කොතෙකුත් තිබේ. ඉන් සමහරක් සාහිත්‍ය හා කලාව පිළිබඳ කතිකාවත් ය. සමහරක්, රස වින්දනාත්මක භාවිතයන් හෝ වියරණ පිළිබඳ කතිකාවත් ය. කතිකාවත් කොපමණ පැවතිය ද, සිංහල බස මියයනු ඇතැයි යන ක්ෂණික භීතියක් අපට නැත්තේ ය. එසේ වුව ද, ලංකාවේ ‘ආදිවාසීන්’ හෙවත් වැදි ජනතාවට නම් එසේ නො වේ. ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවතුණු සිය බස් වහර, ඉක්මණින් මියයනු ඇතැයි අද ඔවුහු බිය පත්ව සිටිති! ආදිවාසී ජනයා ක‍්‍රමයෙන් නූතන සමාජයට අනුගත වෙමින් තිබීම ඊට හේතුවයි.
 
බහුතරයක් රට වැසියන් නො දන්නේ වුව ද, ඔවුන් සිය බස රැක ගැනීම අරභයා යම් අරගලයක නිරතව සිටින්නේ බොහොම කලක සිට ය.
 
‘මේ ඇත්තො මියඹට දමන්න ඉච්චරින්, පරම්පරා පොජ්ජෙන් මංගච්චන  භාෂා පොජ්ජ  ආරක්ෂා තැන මංදොකර ගන්න හිත්ලානවා.  ඒ වැඩ පොජ්ජ මංදොකර ගන්න කොදොයි උනොත් මේ ඇත්තන්ට මියඹට දමන්න වෙන්නෙත් දුක් පොජ්ජෙන්’ යයි ආදිවාසී ප‍්‍රධාන නායක, ඌරුවරිගයේ වන්නියලැත්තන්   අදින් වසර දහයකට පමණ ඉහත දී ප‍්‍රකාශකර තිබිණි. ‘මම මැරෙන්න කලින් පරම්පරාවට  උරුම භාෂාව රැුකෙන ක‍්‍රමයක් හදන්න  ඕන.  නැත්නම් මට සතුටින් මැරෙන්නවත් ඉඩක් ලැබෙන එකක් නැහැ’ යන්න, එහි තේරුමයි. සිය භාෂාව සම්බන්ධයෙන් ඔවුන් කොතරම් ඇල්මක් දක්වනවා ද යන්න තේරුම් ගැනීමට, ඒ වචන කිහිපයම ප‍්‍රමාණවත් ය. 2005 වසරේ පටන් ඔවුහු, සිය බස ‘පාසැල් විෂයක්’ බවට පත් කරන්නැයි පාලක කාරකාදීන්ගෙන් ඉල්ලමින් සිටිති. තවමත් සිය ඉල්ලීම ඉටු නො වුණැයි මැසිවිලි කියති! දුක් වෙති.
 
ඔවුන් එලෙස දුක්වන්නේ අනාදිමත් කලක සිට, පරපුරෙන් පරපුරට මුඛ පරම්පරාවෙන් ගෙනා බස,  අද විනාශ වෙමින් යන බව ඇස් පනාපිටම පෙනෙන බැවිනි.  ඇතැම්  ප‍්‍රාදේශීය ආදිවාසී නායකයින් පවා මේ වන විට,  ආදිවාසී බස (වැදිබස) අමතකකර දමා,  සිංහල බස වහරන්නට පටන් ගෙන තිබෙන බව ආදිවාසීහු කියති.  පැරණි ප‍්‍රාදේශීය නායකයින් මියයන විට, අලූතෙන් පත් වන ප‍්‍රාදේශීය නායකයින් නූතන  සාමාජයට අනුගත වීමත්, ආදිවාසී දරුවන් පාසල් අධ්‍යාපනයට යොමු වූ විට, සිංහල බසට හෝ දෙමළ බසට නැඹුරුවීමත් හේතුවෙන්  තම භාෂාව අභාවයට යමින් තිබෙන බව ආදිවාසී ප‍්‍රධාන නායක, ඌරුවරිගයේ වන්නියලැත්තන්ගේ මතයයි.   එබැවින්  මෙපමණ කලක් ඉතා අපහසුවෙන් රැක ගෙන ආ බස, වර්තමානයෙහි නැසී යාමේ තර්ජනයට  ලක්ව ඇති බව ඔහුගේ අදහසයි. මෙම අභියෝගය හමුවේ ආදිවාසී නායකයාට ඇති කම්පනය ඉමහත් ය.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය  පෙන්වා  දෙන ආකාරයට,  දැනට ලොව පුරා රටවල් 136ක පමණ ආදිවාසීන් ජීවත් වෙති. ඒ අතරින් තම තමන්ට  ආවේණික භාෂාවක් ඇත්තේ, රටවල් අතලොස්සක ආදිවාසීන්ට පමණි.  ලංකාවේ ආදිවාසීන් ද ගැනෙන්නේ ඒ අතලොස්සට ය. එය සුවිශේෂ කාරණයකි. ලොව තම තමන්ට ආවේණික භාෂාවක් සහිත ආදිවාසීන් ද, දැන් දැන් ඔවුන්ගේ රටවල පාලනයට අනුගත වෙමින්, ඒ රටවල රාජ්‍ය භාෂාවන් වැළඳ ගෙන තිබේ. එයින් ඔවුන්ගේ ආදිවාසී භාෂා මැකී යමින් තිබෙනු පෙනෙයි. මෙය ලංකාවට ද පොදු කාරණයකි. ලංකාවේ ප‍්‍රධාන ආදිවාසී නායකයා පවසන්නේ, තම භාෂාව එලෙස මළ භාෂාවක් වීමට ඉඩ නොදිය හැකි බවයි.
 
එම අරමුණ වෙනුවෙන් ඔවුන් වසර 2005 සිට විවිධ කටයුතු ඉටුකර තිබේ. ආදිවාසී ප‍්‍රධාන නායක, ඌරුවරිගයේ වන්නියලැත්තන් පවසන පරිදි, 2005 වසරේ සිට ඔවුන් විවිධ අවස්ථාවල  අධ්‍යාපන අමාත්‍යාංශය,  අධ්‍යාපන කොමිෂන් සභාව සහ  ජනාධිපති ලේකම් කාර්යාලය වැනි රාජ්‍ය ආයතන සමග, මේ සම්බන්ධයෙන් ලිපි ගනුදෙණුකර ඇත. ලංකාවේ ආදිවාසී භාෂාව රැක ගැනීම සඳහා ඔවුන් එයින් සරල විසඳුමක් යෝජනාකර තිබේ. අඩු තරමින් ආදිවාසී දරුවන් අධ්‍යාපනය ලබන පාසල්වල  පමණක්වත් ඔවුන්ගේ භාෂාව, ‘පාසල් විෂයක් බවට පත් කිරීම’, ඒ යෝජනාවයි.  එසේ වුවත් තවමත් එය ඉටු නො වූ බව ඔහු පවසන්නේ කණගාටුවෙනි. ආදිවාසී බස පාසැල් විෂයක් බවට පත් කිරීම මගින්, එය නො නැසී පවතින්නට මග පෑදේය යන්න,   ඌරුවරිගයේ වන්නියලැත්තන්ගේ විශ්වාසයයි.
 
ආදිවාසීන් යනු කවරහු ද?
‘විකිපීඩියා’ අන්තර්ජාල විශ්වකෝෂයට අනුව, ‘ආදිවාසී ජනයා’
(Indigenous peoples)    යනු විශාල බටහිර සංස්කෘතිය සම්බන්ධ ශිෂ්ඨාචාරයට නිරාවරණය වීමට පෙර, කිසියම් භූගෝලීය ප‍්‍රදේශයක විසූ, දැනට පවතින හෝ වඳවී ගිය ඓතිහාසික සන්තතියකින් යුත් සංස්කෘතිකමය කණ්ඩායමක් හෝ, එවැන්නන් ගෙන් පැවත එන අයයි.  මොවුන් බටහිර ජාතීන් විසින් එම ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරීමට පෙර සිටම සිටින අතර, බටහිර ජාතීන්ගේ සමූල ඝාතනයට ලක්වී හෝ රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවී හුදෙකලාව ජීවත් විය හැකි ය. එසේම ඔවුන් අනෙකුත් ජන වර්ගවලින් වෙනස්වූ භාෂාවන්, සංස්කෘතීන් හා සමාජ සංවිධාන තත්ත්වයන් පවත්නා ජන කොටස් වේ.  
 
වන්නිලැත්තෝ


ඇතැමුන් ඔවුන් හඳුන් වන්නේ,   ‘ප‍්‍රාථමික මානව ජන සමාජ’ වශයෙනි.
කෙසේ වෙතත් ඔවුන් ද, අදින් වසර විසි ලක්ෂයකට පමණ ඉහත දී ඇරඹිණැයි ප‍්‍රකට මානව පරිණාමයේ කොටස්කරුවන් වෙති. පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට, ලෝකයට මනුෂ්‍යයන් බිහි වූයේ අදින් වසර විසි ලක්ෂයකට පමණ ඉහත දී ය. ඉන් පසුව, අදින් වසර 1,00,000ක් 80,000ක් තරම් කාලයේ දී ඔවුන් ‘නවීන මානවයන්’ බවට පත්වී තිබේ. ඒ කාලයේ පටන්ම ඔවුන්ට, ශබ්ද නැගීමේ යම් සංඥා සන්නිවේදනයක් තිබෙන්නට ඇත. එහෙත් ඔවුන් සිය ලෙන් ගුහාවල චිත‍්‍ර ඇඳීමෙන් ද අදහස් ප‍්‍රකාශනයෙහි යෙදුණහ. අදින් වසර 23000කට පමණ පෙර  ප‍්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ  ප‍්‍රාග් ඵෙතිහාසික මානවයා, ලැස්කෝ සහ අල්ටමීරා ගුහාවන්හි  ඇඳි සිතුවම් මීට හොඳ නිදසුන් වෙයි.
     
මෙලෙස කාලයක් තිස්සේ යම්කිසි රටක ජීවත්වූ ජන කොට්ඨාශ, එ රට තුළ ආදිවාසින් වෙති. කාලයක් යද්දී විවිධ ආක‍්‍රමණිකයන් ඔවුන්ගේ මව්බිමේ උරුමය බලහත්කාරයෙන් උදුරා ගෙන තිබෙනු දැකිය හැකි ය. ඉන් පසු ඔවුහු තම රටෙහිම යටත් වැසියන් ලෙස, දහසකුත් එකක් කරදර මැද ජීවත් වෙති. අපේ රටේ ජීවත් වන ආදිවාසින්ට ද විජය රජුගේ පැමිණීමත් සමග එවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදු විණි. එදා පටන් අද දක්වාම ඔවුහු,  භූමිය අහිමි වීම, දිළිදුකම පැතිරීම, අධ්‍යාපන අවස්ථා නොමැතිකම,  අවි ගැටුම්වලට මැදි වීම, සංස්කෘතිය ආරක්ෂාකර ගැනීමට නො හැක වීම, ජාතික හෝ රාජ්‍ය භාෂාව විසින් ඔවුන්ගේ භාෂාව යටපත් කිරීම යන ගැටළු රාශියකට ඔවුන් මුහුණ දෙමින් සිටිති. ඒවා අපේ රටට පමණක් නොව, ආදිවාසීන් වෙසෙන ලොව අන් රටවලට පවා පොදු කාරණා ලෙස සැලකේ. ආදිවාසින්ගේ මුලික නිදහස සහ මානව අයිතිවාසිකම් පිළිබඳ   සොයා බැලීමට, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය පත් කළ  විශේෂ නියෝජිත, රොඩෙල්ෆෝ ස්ටැවන්හේගන්  විසින් ඉදිරිපත් කළ වාර්තාවේ ද මේ කාරණය සඳහන්ව ඇත.  එබැවින් අපේ රටේ ආදිවාසී බස මැකී යාම, විශේ්ෂ වැදගත්කමක් ඇති කාරණයක් බවට පත් වෙයි.

අපේ ආදිවාසීන් වැදගත් යැයි පවසන්නේ මන්ද?
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා පවසන ආකාරයට, ලංකාවේ ප‍්‍රාග් ඵෙතිහාසික මානව ජනාවාස, අදින්  වසර 1,25,000ක් තරම් පැරණි ය. තරමක් දියුණු සංස්කෘතියකට නෑකම් කියන ‘බලංගොඩ මානවයා’ ද අදින් වසර 40,000ක් හෝ ඊටත් වඩා පැරැන්නෙකි. පුරාවිද්‍යා පර්යේෂණ ඇසුරින් ඔහු කියන තොතුරු අනුව වැද්දන් හෙවත් ලංකාවේ ආදිවාසීන්, බලංගොඩ මානවයාගෙන් පැවැත එන්නන් වෙති. එසේම අපේ ආදිවාසී ජනයා මෙරට මුල් පදිංචිකරුවන්  බව ද පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණයවී තිබේ. 
 

ආචාර්ය සිරාන් දැරණියගල මහතා ගෙන් ඒ පිළිබඳ  විමසූ අවස්ථාවේ ද,  ඔහු එය පැහැදිලි කළේ, 
ආචාර්ය සිරාන් දැරණියගල
‘බලංගොඩ  මානවයා  කායික වශයෙන් සමාන වෙන්නේ,  ලංකාවේ ජීවත් වන වැදි ජනතාවටයි.  වැද්දන් බලංගොඩ මානවයාගෙන් පැවත එද්දැයි යන්න පිළිබඳ මට  කිසිම සැකයක් නැහැ. ජාන පරීක්ෂාවෙන් තමා අපි ඒ ගැන තීන්දු කරල තියෙන්නේ.  අපි මේ දවස්වල බලංගොඩ මානවයාගේ ඞී. එන්. ඒ.  පරීක්ෂණයක් කිරීම පිළිබ`ද වැඩකර ගෙන යමින් සිටිනවා’ යනුවෙනි.
 
ආචාර්ය සිරාන් දැරණියගල යනු, සුප‍්‍රකට මානව විද්‍යාඥයෙකු වූ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන්ගේ පුතණුවෙකි. මේ දෙදෙනාම ලංකාවේ  ප‍්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳ පර්යේෂණ රැසක් පවත්වා තිබේ. ඔවුන්ට අමතරව තවත් දෙස් විදෙස්  මානව විද්‍යාඥයින් සහ පුරාවිද්‍යාඥයින් කිහිප දෙනෙක්ම, අපේ ආදිවාසීන් බලංගොඩ මානවයාගෙන් පැවත එන්නන් බව ප‍්‍රකාශකර ඇත. ඒ අතර, මහාචාර්ය  කේ. ඒ. ආර්. කෙනඩි සහ ආචාර්ය ඩයනා හෝකි යන මානව විද්‍යාඥයින් කළ ප‍්‍රකාශ, ඉතා ප‍්‍රබල ය. ඩයනා හෝකි පවසා ඇත්තේ, ‘ලංකාවේ බලංගොඩ මානවයා වඩාත්ම  සමානතාවක් දක්වන්නේ, සිංහලයින්ට දමිළයන්ට හෝ ආසියාවේ වෙනත් මානව කණ්ඩායම්වලට වඩා වැද්දන්ට ය.’ යනුවෙනි.  මහාචාර්ය කේ.  ඒ.  ආර්. කෙනඩි,  ‘වැදි ජනයා නිසැක ලෙසම ජීව විද්‍යාත්මක පරම්පරාවක් නියෝජනය කරන අතර, ඔවුන්  බලංගොඩ මානවයාගෙන් පැවත එයි’ යනුවෙන් පවසා තිබේ. ඔවුන්ගේ  කියමන් අනුව පැහැදිලි වන්නේ, අපේ ආදිවාසී ජනයා නො දියුණු ම්ලේච්ඡ ගෝති‍්‍රකයින් පිරිසකැයි ඇතැම් උගතුන්, දේශපාලනඥයන් සහ විවිධ ආයතන ප‍්‍රධානීන් පවසන මතය මිත්‍යාවක් බවට පත්ව ඇති බවයි.
 
මෙරට අනෙකුත් ජනයාට මෙන් ආදිවසීන්ට බලාපොරොත්තු රාශියක් නොමැත.   ඔවුන්ගේ ඉතා සරල  දිවිපෙවත තුළ, කිසිවකුගේ උපකාරයක් නොමැතිවකර ගත හැකි දෑ බොහෝ ය.  නමුත් රජයෙන් ඉල්ලා සිටින ප‍්‍රධාන ඉල්ලීම් තුනක් ඔවුන්ට ඇතැයි පවසයි. ඒ අතරින් ද තම මව්බස රැක ගැනීම ප‍්‍රධාන  බව, ආදිවාසී උප නායක ගුණබංඩියලැත්තන් පවසයි.
 
නල්ලතම්බිගේ වේලායුදන් මහතා
‘මේ ඇත්තන්ගේ අප්පිලැත්තො  මාමකැච්චක් වෙහෙස පොජ්ජ මන්දො කරනවා, පරම්පරා පොජ්ජෙන් ඇන්න මංගච්චන භාෂා පොජ්ජ  ආරක්ෂා තැන මංදොකර ගන්න.  ආණ්ඩු පොජ්ජෙ  මහ හූරලා මේ පරම්පරා පොජ්ජෙ  වටිනාකම් පොජ්ජ හිත්ලා ගන්න කොදොයිවෙලයි රඳන්නෙ. මේ ඇත්තන් මන්දොවෙලා ඉඳින්නෙ කුවේණිලැත්තන්ගෙ  ජීවහත්ත-දිසාල කැකුළන් දෙකමෙන් කියලයි හිත්ලා ගෙන රඳන්නෙ.  මේ රට පොජ්ජෙ හැම එකමෙක්ම  ඉතිහාස පොජ්ජ හරිතැන මේ හිත්ලා ගත්ත නම්  ගැටලූ පොජ්ජක් කොදොයි.’ ඔහු කියන්නේ ය. (මගෙ තාත්ත ගොඩක් මහන්සි වෙනවා පරම්පරාවේ භාෂාව රැකගන්න. රජයේ ඉහළ නිලධාරින්  අපේ පරම්පරාවෙ වටිනාකම දන්නෙ නැහැ. ඒ අයගෙන් වැඩි දෙනෙක් හිතාන ඉන්නෙ අපි පැවතෙන්නෙ කුවේණියගෙ දරු දෙදෙනගෙන් කියලා. මේ රටේ හැම කෙනෙක්ම ඉතිහාසෙ හරියට දැන ගත්තනම්  කිසි ප‍්‍රශ්නයක් නැහැ.)
 
කරුණු මෙසේ තිබිය දී, ආදිවාසීන්ගේ බස පිළිබඳ ඉල්ලීම නො සලකා සිටින්නේ මන් ද? යන්න ගැටළුවකි. එය මානව හිමිකම් කඩ කිරීමක් වන්නට ද බැරි නැත.
                            
ලෝකයේ කොතැනක ජීවත් වුවද, ‘එක්සත් ජතීන්ගේ සංවිධානය’ ආදිවාසී ජනයා මුහුණ දෙන  විවිධ ගැටළු සහ ප‍්‍රශ්න  නිරාකරණය කිරීමට ඉදිරිපත් වෙයි. එයින් ඔවුන්ගේ භාෂාව, සංස්කෘතිය, ජීවනෝපාය ක‍්‍රම ආරක්ෂාකර දීමට විවිධ ප‍්‍රඥප්ති ඉදිරි පත් කර ඇත. එහෙත් අප රට තුළ මෙතෙක් ඒ කිසිවක් සඳහා සුභවාදී ප‍්‍රතිචාරයක් ලැබී නොමැත.  එයට හේතු වශයෙන් ආදිවාසී උප නායක ගුණබංඩියලැත්තෝ පවසන්නේ,  එක්සත් ජතීන්ගේ සංවිධානය  ආදිවාසීන්ගේ ප‍්‍රශ්න ගැටළු නිරාකරණය කිරීමට වෙන් කළ 1994-2004 ප‍්‍රථම දශකය (එක්සත් ජාතීන්ගේ මහා මංඩලයේ අංක 48 / 163 දරණ යෝජනාවට අනුව) තුළ, එවකට පැවති රජය ඔවුන් වෙනුවෙන් කිසිම සේවාවක් නො කළ බවයි.  ඉන් පසු  ආදිවාසීන්ගේ දෙවෙනි දශකය  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අංක 5/ 1174 දරණ  යෝජනාවෙන් සම්මතකර ගෙන තිබිණ. 2004 සිට 2014 දක්වා පැවති එය, අවසන් වූයේ පසුගිය වසරේ ය. මෙම කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආදිවාසීන් මුහුණපාන සංස්කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය, මානව හිමිකම්, පාරිසරික සහ සමාජ ආර්ථික ගැටළු නිරාකරණයකර ගැනීමට වෙන්කර තිබිණි.  ගුණබංඩියලැත්තන් පවසන ආකාරයට, එම කාලය තුළ ඔවුන්ට එබඳු ගැටළු වැඩියෙන් තිබිණි. අඩුම තරමේ තම භාෂාව රැක දෙන්නැයි, එවකට පැවති රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම ද ප‍්‍රතික්ෂේප වූ බව ඔහු කියන්නේ ය.
 
ලංකාවේ ආදිවාසීන් සිය භාෂාව රැක ගැනීම පිණිස ගත් ක‍්‍රියාමාර්ග ද ගණනාවකි. 2005 වසරේ දී ආදිවාසීන්ගේ භාෂාව රැක ගැනීමට උදව් ඉල්ලා, උගතුන් බුද්ධිමතුන් සමග එක්ව ‘ආදිවාසී භාෂාව සුරැකීමේ සංවිධානයක්’ පිහිටුවා ගෙන ඇති අතර,  එදින ආදිවාසී නායකයා කරන ලද මූලාසන කතාව,  2006 මාර්තු 16 දින ‘‘ආදිවාසී භාෂාව පාසල් විෂය නිර්දේශයට  ඕනෑ’’  යන සිරස්තලය යටතේ ‘ලක්බිම’ පුවත්පතේ පළවී තිබිණි. එතැනින් නො නැවතුන  ඔවුන්  2006 ජූලි 12 වැනි දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දීර්ඝ ලිපියකින් කරුණු දක්වා,  ඔවුන්ගේ භාෂාව නැතිවී යාමට පෙර පාසල් විෂයට ඇතුළත් කර දෙන ලෙස ඉල්ලා  ඇත. ලිපියට ප‍්‍රතිචාරයක් දක්වමින්  එවකට ජනාධිපති සහකාර ලේකම්වරයාව සිටි  මහින්ද ගුණරත්න මහතා, එම ලිපිය 2006-08-25 දින ‘‘අවශ්‍ය කටයුතු සදහා යොමුකරමි’’ යනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකර ඇත.  එයට පිළිතුරු ලියන  එවකට සිටි  අධ්‍යාපන ලේකම්   ආරියරත්න හේවගේ මහතා,  2006-09-06 දාතමින් ලිපියක් යවමින්, ‘‘මෙම ලිපියේ සඳහන් කරුණු ඔබගේ විෂය පථයට අයත් වන්නක් බැවින් එය මේ සමග එවමි. අවශ්‍ය පියවර ගෙන මට ද පිටපත් සහිතව  අදාළ ලියුම්කරුට දන්වන්න.’’  යැයි රාජගිරියේ නාවල පිහිටි ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති වරයාට  යොමුකර ඇත. පිළිතුරු ප‍්‍රමාද බැවින්, නැවතත් ජනාධිපති කාර්යාලයට,  ෆස්ට් ලේඩි සංවිධානයේ  ප‍්‍රධානී ශිරන්ති රාජපක්ෂ මහත්මියට, මහනුවර මල්වතු මහා විහාරයේ මහනායක හිමියන්ට,  2006 වසරේ දී  ලිපි මගින් ඉල්ලීම් කර ඇත.  නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුව එම වසර තුළ ඉටුකර ගැනීමට නො හැකිවී ඇත.
 
දඹානේ ගුණවර්ධන
නැවතත් 2007 වසරේ දී එවකට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සුසිල් ෙප්‍ර්ම් ජයන්ත මහතාට ලිපි යවා ඇත. ඒවා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්, එච්. ඒ. ජී. බංඩාර මහතා  ජාතික  අධ්‍යාපන කොමිසමට යොමුකර ඇත.  එයට පිළිතුරු ප‍්‍රමාද බැවින් නැවතත් අධ්‍යාපන අමාත්‍යාංශයට  ලිපියක් යවා ඇති අතර,  එයට දීර්ඝ පිළිතුරක් සපයන  අධ්‍යාපන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් පේ‍්‍රමසර ඈපාසිංහ මහතා, ‘ජාතික විෂයමාලා ප‍්‍රතිපත්තියට අනුව යම් ජන කොට්ඨාශයකට විශේෂිත  විෂය මාලාවක් කි‍්‍රයාත්මක නො කරන බවත,  උප භාෂාවක් එක් සුඵ කොටසකට පමණක් ඉගැන්වීම කාලෝචිත නො වන බවත්,  එවැනි විශේෂිත විෂයක් ඉගැන්වීම ජාතික විභාගවල දී ගැටළු සහගත බවත,  එනිසා ඉල්ලීම ඉටු කළ නො හැකි බවත්  දන්වා එවා ඇත.
 
ආයතනික මට්ටමින් එලෙස ආදිවාසී බස පිළිබඳ කතා කළ ද, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සෑම වර්ෂයකම  අගෝස්තු 09 වෙනි දින ලෝක ආදිවාසි දිනය ලෙස නම් කර ඇත.  එම දිනය ලංකාවේ දී ප‍්‍රථම වරට පැවැත්වූයේ 2006 වසරේ දී ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඒ තුළින් බලාපොරොත්තුවූ කාරණා රැසක් තිබිණි. ඒ අතර ආදිවාසින්ගේ භාෂාව ආරක්ෂාකර දීම, ඔවුන් ජීවත් වන රටේ රජය සතු බව පැහැදිළිවම දක්වා තිබිණි. පළමු ලෝක ආදිවාසී දින උත්සවයට පසු  සෑම වර්ෂයකම රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව  ආදිවාසී ගම්මානයක ආදිවාසී දින උත්සවය පවත්වා ඇත. ඒ සෑම අවස්ථාවකම  සහභාගී වන ප‍්‍රධාන රාජ්‍ය ආරාධිතයා ගෙන්, තම භාෂාව ආරක්ෂාකර දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි ආදිවාසී නායකයා පවසයි. 

 සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා අධ්‍යාපන අමාත්‍යවරයාව ලෙස සිටි කාලයේ  වරක් දඹාන ආදිවාසි ගම්මානයට පැමිණ ඇත. එම අවස්ථාවේ දී ආදිවාසි භාෂාව  තම දරුවන්ටවත් ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස  ඉල්ලූ විට, ඒක සුළු දෙයක් යැයි පැවසූ බව ද ආදිවාසී නායකයා පවසයි. එසේ වුව ද ලිපි මගින් එය ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටි විට එය නො සලකා හැරි බව ද ඔහු සිහිපත් කළේ ය.
 
ආදිවාසී භාෂාව පිළිබද වත්මන් කතිකාව
පසුගිය කාලයේ ආදිවාසීන් මුහුණ දුන් ගැටළුවලට වත්මන් උගතුන් සහ බුද්ධිමතුන් මෙන්ම රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්  කෙබදු ප‍්‍රතිචාරයක් දක්වන්නේ දැයි විමසා බැලූවමු.

ජාතික අධ්‍යාපන අයතනයේ සම්භාව්‍ය සහ විදේශ භාෂා අංශයේ අංශාධිපති, තෙරිපැහැ මේධංකර හිමියන්
‘වැදි බස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාදේශීය භාෂා ගණයටනෙ වැටෙන්නේ.  ඒක වෙනම එකක් නෙමෙයි, සිංහලේම ප‍්‍රභේදයක්. වචන මාලාවේ යම් යම් වෙනස්කම් කිහිපයක් තියෙන්නේ. සම්පූර්ණ විෂයක් නෙමෙයි.  උප භාෂාවක් විදියට  ඉගැන්වීම වැදගත්. මොකද ඒ  අය අපේම පැරන්නන්  පිරිසක්නෙ. එසේ වුවත් ආදිවාසී භාෂාව සංවර්ධනය කිරීම සහ සංරක්ෂණය කළ යුතුයි. ඒ ගැන ජනතාවගේ ඉල්ලීමක් තිබෙනවා නම්,  එය ඉටුකිරීම යුතු කමක්. මෑත කාලය තුළ ඉතා කොරියන් භාෂාවට විශාල ඉල්ලූමක් ඇති වුණා. නමුත් ජාතික අධ්‍යාපන ආයතනයට කිසිසේත්ම එවැනි අවශ්‍යතාවක් තිබුණේ නෑ. එහෙත් රටේ ජනතාවගේ හඬට ඇහුම්කන් දීමක් විදියට,  කොරියන් භාෂාව විෂයක් විදියට ඇතුළත්කර ගත්තා. ආදිවාසී භාෂාව තමන්ට අයත් විෂයක් නො වූව ද එම විෂය ප‍්‍රාදේශීය භාෂාවක් ලෙස පාසල් තුළ ඉගැන්වීම සුසුසු බව මම සිතනවා’

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියක්
‘යම් පාසල් විෂයක්, විෂය නිර්දේශයට ඇතුළත්කර ගැනීම  ජාතික අධ්‍යාපන ආයතනය සතු කාර්යයක්. මෙහි දී වැදි භාෂාව ක‍්‍රමවත් භාෂාවක් ද කියන ගැටළුව මතු වෙනවා.  මොකද භාෂාවක් විදියට  පාසල් විෂයකට ඇතුළත් කරන්න නම් ව්‍යාකරණ පිළිබඳව බලනවා.’ 
 
ජාතික අධ්‍යාපන ආයතනයේ, සමාජ විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා,  රංජනී ධනවර්ධන මහත්මිය
‘භාෂාවන් ගත්තාම විවිධ අංශවලට බෙදල තියෙනවා. අපි විධිමත් පාසලේ  භූගෝලය විෂයට  ශ‍්‍රි ලංකාවේ ආදිවසීින් පිළිබඳ උගන්වනවා.  දැනට හය, හත, අට, නවය, දහය ශ්‍රේණිවල භාෂාවේ විකාශනය සහ පුංචි පුංචි කවි ගී උගන්වනවා. උසස් පෙළටත්  ශ‍්‍රී ලංකාවේ ආදිවාසීන් ගැන ඉගැන්වීමක් කෙරෙනවා. විෂය නිර්දේශය වෙනස් කරන්නේ ඉහළ කළමණාකරණයෙන්. ජාතික අධ්‍යාපන ආයතනය කමිටුවක් පත් කරනවා.  ඒකට අධ්‍යක්ෂ ජනරාල්තුමා, අධ්‍යාපන ඇමතිතුමා එහෙමත් ඇතුළත් වෙනවා.’                    
 
අධ්‍යාපන අමාත්‍ය අකිලවිරාජ් කාරියවසම් මහතා ගෙන් තොරතුරු විමසීමට අවස්ථා කිහිපයක දී උත්සාහ ගත්ත ද, ඒ සෑම අවස්ථාවකම යම්කිසි භාරදූර කාර්යයක නියැලී සිටියෙන් එම අවස්ථා ගිලිහී ගියේ ය.  එනිසා ජාතික  අධ්‍යාපන  ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ගුණපාල නානායක්කාර මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගන්නා ලදී.
 
ගුණපාල නානායක්කාර මහතා මාධ්‍යයට දැක්වූ අදහස් මෙසේ ය.
 
‘අධ්‍යාපන ඇමතිතුමාගේ අදහසක් තියෙනවා විෂය නිර්දේශය වෙනස් කරන්න  ඕන කියලා.  ඒ අනුව මේ දිනවල විෂය නිර්දේශ පිළිබඳ ප‍්‍රතිපත්ති කමිටුවක් අලූතෙන් පත් කරල තියෙනවා. එයාලා තමයි තීන්දු කරන්නේ මොන මොන විෂයන් ද අලූතෙන් එකතු කරන්නේ කියලා. කමිටුවක් ඉදිරියේ තමයි මේ තීරණ ගන්නේ.  රාජ්‍ය භාෂාව නැත්නම් මව්බස සිංහල දෙමළ වශයෙන් බෙදෙනවා. ඉතින් මේ වැදිබස නැත්නම් ආදිවාසි භාෂාව  සිංහල භාෂවෙන් කැඞී ආ භාෂාවක් විදියට ඇතුළත්කර ගැනීමට කිසිම බාධකයක් නැහැ. ඒ නිසා ඒ අයට ඉල්ලීමක් කරන්න කියන්න. මේ සති දෙක ඇතුළත අපි ඒ වැඩ අවසන් කරනවා.
 
තවදුරටත් අදහස් දැක්වූ නානායක්කාර මහතා පැවසුවේ, ආදිවාසී භාෂාව  ආරක්ෂාකර ගැනීම සඳහා තමා පුද්ගලිකව මේ වන විටත්  විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් සමග සාකච්ජා කරමින් සිටින බවකි. දැනටත් එම භාෂාව විවිධ පුද්ගලයින් වෙතින් විකෘතිකර විනාශවී  ඇති බව ද ඔහු පැවසීය. 
 
සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදිවාසී ජන අධ්‍යයන කේන්ද්‍රයේ නිර්මාතෘ  සහ නයිජීරියාවේ ගෝම්බේ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා පීඨයේ පීඨාධිපති, මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා
‘සිංහලයට අනුවර්තනය වුණු භාෂාවක් ප‍්‍රධාන විෂයක් විදියට උගන්වන්න අපහසුයි. මාලදිවයින් භාෂාවත් සිංහලෙන් කැඩිල ගිය භාෂාවක්. ආදිවාසී භාෂාවත් එහෙමමයි.  ඒ  පිළිබඳ  ශිෂ්‍යයින් දැනුවත් වුණාට කමක් නැහැ. එවැනි විවිධ භාෂා දැනුම තියෙන එක හොඳයි.  පාසලේ සිංහල  විෂය යටතේ උගන්වන්න  පහසුයි.’
 
කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන  අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය,  සමන් රාජපක්ෂ මහතා
‘ආදිවාසී බස පාසල් විෂයට එකතු වුණාට කිසි වරදක් නැහැ. ඒ අය මේ රටේ මුල් පදිංචිකරුවොනේ.  ඒ භාෂා නැති වෙන්න නොදී ආරක්ෂාකර ගැනීම කරන්න  ඕන දෙයක්. අදටත් ප‍්‍රාදේශීය භාෂා පිළිබඳව අපි විවිධ අවස්ථාවල ඉගැන්වීම් කරනවා. ඒක තව විධිමත් වුණා නම් හොදයි.’
 
ආදිවාසී ප‍්‍රථම උපාධිධාරියා වන දඹානේ ගුණවර්ධන මහතා,  ගුරු වෘත්තියේ යෙදෙන්නෙකි.  එසේම ලේඛකයෙකි.  ඔහු ආදිවාසී භාෂාව පමණක් නොව ආදිවාසී ජන ගී ආරක්ෂාකර ගැනීමට ද වෙහෙසෙන්නෙකි. තමාට හැකි අයුරින් දායකත්වයක් ඒ සඳහා සපයන ඔහු බොහෝ විට නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නෙකි. ඔහු අදහස් දක්වන්නේ මෙසේය.
 
‘බොහෝ දෙනෙක් ආදිවාසින්  වසර ලක්ෂ ගණනකට එපිට සිට පැවත එන්නන් බව පවසයි. අපේ වටිනාකම ඇත්තේ ඉතිහාසය මත නො වන බව මගේ හැගීමයි. ගවේෂකයෙකුට අපේ දිවිපැවැත්ම ඊට වඩා වැදගත්.  ඒ අපේ සරල බව  ස්වයංපෝෂිත බව සහ පරිසරයට බද්ධ වුණු ජීවිතය නිසයි.  ඒ සදහාම නිර්මාණය වූ භාෂාවක්  අපිට තියෙනවා. එය ආරක්ෂාකර ගැනීමට  ඉතිහාසය ගැන කතා කරනවා වගේම වැදගත් තැනක් දෙනවා නම් තමා හො`ද.’   
 
දඹාන විදුහලේ ගුරුවරයෙක් ලෙස සේවය කරන විමල් රණසිංහ මහතා
‘වැදි බස සඳහා භාෂාවක් සතු අක්ෂර, වියරණ විධි සහ රීති නොමැති බැවින්, පාසල් විෂයක් විදියට ඉගැන්වීම අපහසු වුව ද, ප‍්‍රාදේශීය භාෂාවක් විදියට සිංහල භාෂාව පොතේ උප කොටසක් ලෙසින්,  ව්‍යවහාරික භාෂා යටතේ හෝ පාසලේ උගන්වන්නේ නම් කාලෝචිතයි’
 
දඹාන ආදිවාසි පෙර පාසලේ පාලිකාව වන නිල්මිණි දිසානායක මහත්මිය පවසන්නේ, ආදිවාසී නායක තුමා භාෂාව රැක ගැනීමට කාලයක් තිස්සේ මහන්සි වුවත්, තවම එය ඉටුකර ගැනීමට නො හැකි වූ බවයි. එහෙත් ඔවුන් ඒ ගැන සිතා අධෛර්යමත් නො වන බවත්, හැකි ආකාරයට පෙර පාසල තුළ දී සහ ගමේ දී භාෂාවත්,  වැදි ජන ගීතත්  බාල පරම්පරාවට  උගන්වන්නට උත්සාහ කරන බවයි.
 
දඹානේ පෙර පාසැල් ගුරුවරිය සිය දරුවන් ද සමග
නැගෙනහිර පළාතේ ආදිවාසී නායක, නල්ලතම්බිගේ වේලායුදන් මහතා පවසන්නේ,  ඔවුන්ට ගැටළු රාශියක් ඇති බවයි. ජාතිය පවා වැරදියට සඳහන්කර තිබිය දී භාෂාව ඉගෙන ගන්නට උදව් ඉල්ලීමෙන් වැඩක් වේදැයි ඔහු විමසයි.  දැනට ඔවුන්ගේ දරුවන් විධිමත් පාසලේ දී දෙමළ බස ඉගෙන ගන්නා බැවින්, ආදිවාසී භාෂාව දෙමළෙන් උගන්වන්නේ දැයි ඔහු ප‍්‍රශ්න කරයි.  ඔවුන්ට වැදි බසත්,  සිංහල බසත්, යන දෙකම ඉගෙන ගැනීමේ අවශ්‍යතාව ඇතැයි ඔහු පෙන්වා දෙයි.
 
නැගෙනහිර පළාත් ප‍්‍රධාන ලේකම් ඩී. එම්. සරත්  අබේගුණවර්ධන මහතා
‘අධ්‍යාපන විෂය ධාරාවත් එක්ක එසේ අලූත් විෂයක් එකතු කිරීමෙන් මොන වගේ දෙයක් සිදු වේද යන්න, අධ්‍යාපන විශේෂඥයින්  අවබෝධකර ගත යුතුයි.  ලංකාවේ ආදිම ජනයා දැනට භාවිත කරන භාෂාවක් විදියට,  අපි පිළිගන්නවා මේ රටේ දරුවන් විසින් ඒ භාෂාව දැන ගත යුතුයි, හැදෑරිය යුතුයි කියලා.  අධ්‍යාපන විෂය මාලාවට එකතු වෙනවද නැද්ද යන්න, ජාතික අධ්‍යාපන ආයතනය සතු කාර්යයක්’
 
ඌව පළාත් වැඩ බලන ප‍්‍රධාන ලේකම්,  සුමිත් සුරධීර මහතා
‘පාසල් විෂයක් විදියට පාඨමාලාවක් කරන්න තරම් දෙයක් නම් ඒකෙ නැහැ.  මටත් ආදිවාසී භාෂාව පුළුවන්. මම ආදිවාසීන් ඉන්න ප‍්‍රදේශයක දිසාපති ලෙස කටයුතු කරපු කාලෙය ඉගෙන ගත්තේ. උදාහරණයක් විදියට ගත්තොත්, බදුල්ල සෙන්ට‍්‍රල් එකේ ළමයින්ට ආදිවාසී  භාෂාව ඉගෙන ගැනීමෙන් වැඩක් තියෙනව ද ?’

විවිධ පළාත්වල ජීවත්වන, විවිධාකාර බුද්ධි මට්ටම්වල පිරිස් ආදිවාසි බස  පිළිබඳ  එලෙස අදහස් දැක්වුව ද, ආදිවාසී ප‍්‍රධාන නායක  ඌරුවරිගයේ වන්නියලැත්තන්  වෙනස් අදහසක් දරයි. 

ඔහු පවසන්නේ මේ රටේ මුල්ම පදිංචිකරුවන් වන ආදිවාසීන්ගේ භාෂාව, රටේ සියලූම දෙනා ඉගෙන ගත්ත ද එයින් අවැඩක් නො වන බවයි. මේ ලෝකයේ ජීවත් වන සෑම මිනිසෙක්ම, කුමන හෝ රටක, කුමන හෝ ගෝත‍්‍රයකට අයත් ආදිවාසීන් විය හැකි වීම ඊට හේතුවයි.     ඕනෑම ජාතියක අනන්‍යතාව භාෂාව සහ සිරිත් වරිත් මත රඳා පවතින බවත්, ඒවා රැක ගැනීමට නම් ආදිවාසී දරුවන් භාෂා දැනුමෙන්  පරිණත විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.  එය ඔවුන්ට පමණක් සීමා කළ හොත් උනන්දුවෙන් ඉගෙන නො ගන්නා  බව ද ඔහු පවසයි.  තරග විභාවල දී සහ  භාෂා දින තරග  ආදියේදී ද ආදිවාසී භාෂාවට යම් වටිනාකමක් ඇති වන ආකාරයට කටයුතු කරන්නේ නම් වඩාත් සුදුසු යැයි ඔහු පෙන්වා දෙයි. නිසි සංගණනයක් නැතත්, දැනට ලංකාවේ ආදිවාසීන් ජීවත්වන දිස්ති‍්‍රක්ක හයක් ඇති බවත්,  ඒවායෙහි ගම්මාන 62ක දළ වශයෙන්, ආදිවාසීන් ලක්ෂ හයක්වත් ජීවත් වන බවත් ආදිවාසී නායකයාගේ මතයයි.  ආදිවාසී බස ඉගෙන ගැනීමෙන් ඔවුන්ට ඉමහත් සෙතක් සැලසෙන බව, ඔහු තරයේ විශ්වාස කරන්නේ ය.
 
2015/11/05.

8 comments:

  1. හොඳ පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  2. ආදීවාසීන්ගේ බස විෂය නිර්දේශයට ඇතුලත් කිරීම හෝ නොකිරීම නෙවේ මගේ හිතට ඇතිවූ ගැටළුව. ලංකාවේ සිංහල භාෂාවට ඇති ඉතිහාසය අවුරුදු දෙදාස් පන්සීයක් වගේ කියලනෙ පිළිගැනීම. එතකොට ආදිවාසීන් සිංහලයන්ට පෙර ඉඳන් මෙහි ජීවත් වුනු ජාතියක් හැටියට මෑතකදි ආ සිංහල භාෂාවෙන් බිඳිලා ආපු භාෂාවක් පාවිච්චි කරන්නේ කොහොමද කියන එකයි මට හිතාගන්න බැරි. එක්කෝ ආදි වාසීන්ගේ නියම භාෂාව ඔය අද තියෙන වැදි භාෂාව නෙවෙයි. ඒ එක්කම සිංහල වැදි භාෂාවෙන් බිඳිලා ආවත් නෙවෙයිනම් මොකක්ද මෙතන ඇත්තටම සිද්ද වෙලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. හොඳ තර්කයක්. ප්‍රතිචාරයට ස්තුතියි.-ක්‍රිෂ්ණ.

      Delete
    2. ඔබ මගේ ලිපිය කියවීම ගැන මට සතුටුයි. ඒවගේම ස්තුතියි. ඔබේ ගැඹුරු ප‍්‍රශ්නයට පිළිතුර තවමත් මගේ ගවේශනයේ තියෙන්නේ. නමුත් දැනට මම අවබෝධ කරගෙන තියෙන දේ පැවසීම මගේ යුතුකමක්. මම මේ කියන දේට අපේ රටේ උගතුන් බුද්ධිමතුන් මට විරුද්ධව කතා කරයි. අභියෝග කරයි. නමුත් මම සොයාගත් දේ දැනගත් දේ පැවසීමට බියවිය යුතු නැහැ කියන එකයි මගේ හැගීම.
      මම විශ්වාස කරන්නේ මානවයා ලේඛන කලාවට බිහිවූදා පටන් ක‍්‍රමක‍්‍රමයෙන් දියුණුවූ භාෂාවේ එක් අවස්ථාවක නියෝජනය ආදිවාසී භාෂාව කියලයි. සිංහලයේ ආරම්භක අවස්ථාවේ සිට යමකිසි පරිනාමීය අවස්ථාවක ලක්ෂණ ආදිවාසීන්ගේ භාෂාවේ හදුනා ගැනීමට ඇත. එයද තවදුරටත් සංවර්ධනය වෙමින් විධිමත් වූ භාෂාවක් ලෙස මම සිංහල භාෂාව දකිමි. ආදිවාසීන් දැන් වහරන්නාවූ බස මහනුවර, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, මාතලේ වැනි ආදිවාසීන් බහුලව ජීවත්වූ දිස්ති‍්‍රක්ක වල ග‍්‍රාමීය ජනයා අදටත් භාවිතා කිරීම හොදම සාක්ෂියයි ඔබට මෙය ගැටලූවක් වී ඇති නිසා එම වචන කිහිපයක් මෙසේ සදහන් කරමි.
      01 දඩුකැච්ච - වාහනය ( රාවණා රජු හැදුව වාහනේද දඩු මොණරය බව පොත පතේ ඇත )
      02 රුවතැනයි - ලස්සනයි ( රුව කියන වචනය අදටත් කන්ද උඩරට ජනයා භාවිතා කරයි )
      03 අම්මිලැත්තො - අම්මා ( නුවර ග‍්‍රාමීය ඇතැම් ජනයා මේ වචනයම අම්මට භාවිතා කරයි එහි වැඩි පිරිසක් සහ කෑගල්ලෙ වැඩි පිරිසක් අම්මට අපෙ අම්මා යන්න භාවිතා කරයි
      04 අප්පිලැත්තො තාත්තා
      දඩයම් සදහා වනයට යන අවස්ථා වලදී භාවිතා කරන වචන බොහොමයක් අපේ ගැමිබසට සමානකම් පෙන්වයි.
      උදාහරණ නිච්චිනැහැ, දූසාමානෙට, අත්තම්, සයියට, කෙළිපාමින්, අත්ගල, මුලිච්චි, හොරතැනින්
      අප රටේ ඇතැම් උදවිය උගුරට හොරා බෙහෙත් කනවා වගේ ඇත්ත දැන දැනම එය වසා තැබීමට උත්සාහ කළද ඔවුන් භාවිතා කරන සිංහලෙන් බිදී ආ බව මෙම වචන වලින් පැහැදිළි නොවේ.
      උදාහරණ - බොටකදා අලියා
      පොල්ලැච්චා කොටියා
      කලූමඤ්ඤා වලහා
      කබරා මුවා
      කන්කුනා ගෝනා
      හොච්චදික්කා ඌරා
      ආදිවාසී භාෂාවේ ආරම්භය කොතැනකද යන්න තව තවත් සොයමින් ගවේශනයේ යෙදෙන බැවින් වැඩිදුර තොරතුරු පසුවට තබමි. -මම කමලා අතරගල්ල

      Delete
    3. ස්තුතියි ක්‍රිශ්ණ. (සහ කමලා අතරගල්ල)
      මට හිතුන දේත් අවංකවම කියන්නම්. මට හැමදාම හිතුනේ වැදි භාෂාව කියන්නේ සිංහල භාෂාවේ නාම පද වලට පොජ්ජ පොජ්ජ කියලා එකතු කරලා මන්දො කරනවා, කොදොයි වගේ වචන ටිකක් ඒ අතරට විසි කරලා හදාගත්ත අනුකාරක භාෂාවක් කියලයි. ඒ මට හිතුන හැටි.
      මේ උදාහරණෙ දිහා බලන්නකො.
      Mein Name ist Dude
      My name is Dude.
      උඩ තියෙන්නේ ජර්මන්. ඊ ලඟට ඉංග්‍රීසි.
      දැන් කොයි භාෂාව කොයි භාෂාව කොපි කරලා හදාපු එකක් කියලද හිතෙන්නේ?
      කොහොම හිතුවත් ඉංග්‍රීසි අයිති ජර්මැනික් භාෂා පවුලට.
      (හෙහ් හෙහ්, මගෙ චූටි පුතා දවසක් කිව්වා ජර්මන් කියන්නේ ඉංග්‍රීසියෙන් හදාගත්ත fake language එකක් කියලා.)

      Delete
  3. ඇත්තෙන්ම ඉතාමත් වැදගත් කරුණු රාශියක් මෙන්ම නොදත් කරුණු ගණනාවක් මේ ලිපිය කියවීමෙන් මම දැනගත්තෙමි ස්තූතියි කමලා අතරගල්ල මහත්මියණි (කමලා අක්කේ) සහ ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහත්මයානණි.ආධිවාසීන් පිළිබඳව අපේ ඇස් ඇරවූයේ අතරගල්ල මාධ්‍යය වේදිනියයි එය තවත් මෙ ලිපිය කියවීමෙන් පසුව වර්ධනය වුනි.ආදිවාසින්ගේ භාෂාව පාසැල් විෂයට ඇතුලත් වීම සම්බන්දවනම් මගේ අදසත් එය කාලොචිතය යන්නයි.නමුත් ප්‍රායෝගික තත්වයනම් බොහෝවිට ඔවුනුත් දිය සීරවක් වී ගලනට මහ ප්‍රයත්නයක යෙදෙනවාද සාමාන්‍යය සිංහල ජන සාමජය නම් ගඟටම එක් වී භෞතික සම්පත් ඔවුන් මෙන් විඳිනවාද යන ගැටළුවයි එයින් දෙවන් කාරණය දැනටම සීග්‍රයෙන් ව්‍යාපත්වන බව පැහැදිලියි ,එහි වරදක් ඇතත් මටනම් එහි සදාචාරත්මක පැනයක් ඇත ..අපට කිව හැකිද නුඹලා ආදිවාසීන් ලෙසම තව බොහෝකල වෙසිය යුතුයි කියා? එය අනුචිතයි මගේ අදහස අනිත් කාරණය වන්නේ ඇත්ත වශයෙන්ම මේ අද ඉන්නේ 100% එදා සිටි ආදී වාසින්මද ( කුවේණිගෙ පරම්පරාව ) පිරිස්ද එය විද්‍යාත්මක පර්යේෂණයකට ලක්කර ඇතිද? නො එසේනම් එක හෙලා අපට කෙසේනම් තීන්දු කල හැකිද? මා අසා තිබෙනවා ලෝකයේ සමහර ගෝත්‍රවල DNA පර්යේෂණ මගින් සනාථ කරගෙන ඇති බව ...කෙසේනමුත් ඉතාමත් සිත් ගන්නා සුළු ලිපියක් ස්තූතියි ඔබලාට

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාර සම්බන්ධයෙන් අශෝකට ස්තුතියි. ආදිවාසීන් සම්බන්ධයෙන් දැනට ඇති පුරාවිද්‍යා මතය මෙහෙමයි. ආචාර්ය සිරාන් දැරණියගල සහ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩයනා හෝකිගේ පර්යේෂණ අනුව, ලංකාවේ ආදිවාසීන් යනු බලංගොඩ මානවයාගේ පසු පරපුරයි. එය ඉතා ගැඹුරු අධ්‍යනයක්. අපේ ආදිවාසීන් වත්මන් ලංකාවාසීන්ට (සිංහල හා දෙමළ) විද්‍යාත්මකව නෑකම් දක්වන්නේ අඩුවෙන් බව හෝකි කියනවා.-ක්‍රිෂ්ණ විජේබණ්ඩාර.

      Delete