Total Pageviews

Thursday, May 14, 2015

මිනිස් ශරීර ඇතුළේ සැඟවී දරණ ගසා ගත් පිළිකා මාරයා

 රටම පිළිකා අනතුරේ


 (ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
 පිළිකා වූ කලී, මිනිස් ශරීර ඇතුලේ සැඟවී දරණ ගසා ගත් බියකරු ‘‘මාරයෙක්’’ වැන්න. පිළිකාව සිරුරේ සැඟව සිටින බව එක්වරම නොදැනේ. එබැවින් එය කල්තියා හඳුනා ගැනීමට ක‍්‍රමයක් නැත. එය මිනිස් සිරුර ටිකෙන් ටික ආක‍්‍රමණය කරන්නේ ද බොහොම හොර රහසේ මය. සිරුර අයිති තැනැත්තාට ඒ කිසිවක් නොතේරේ. රෝග ලක්ෂණ පහළවූ පසුව බොහොම දෙනෙක් පිළිකා මාරයා හඳුනා ගනිති. ඉන් පසුව මරණය එළඹෙනතුරු ශෝකාකූලව බලා සිටීමට සිදු වේ. පිළිකා රෝග නිට්ටාවටම සුව කළ හැකි ඔසුවක් මිහිපිට නො තිබීම ඊට හේතුවයි. පිළිකා රෝගවලට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට කළ හැක්කේ , යම් යම් ක‍්‍රම මගින් රෝගය පාලනය කොට රෝගියාගේ ජීවිත කාලය තව ටිකක් දිගුකර දීම පමණකි. ඖෂධ පමණක් නොව විකිරණ සහ ශල්‍යකර්ම ප‍්‍රතිකාර පවා ඒ සඳහා භාවිතා කෙරේ.
 


පිළිකා රෝග පිළිබඳ මේ කරුණු සඳහන් කළේ විශේෂ කතිකාවකට ඉඩකඩ පදා ගන්නටය. එනම් පිළිකා රෝග තත්ත්වයන් ඉතා බියකරු ලෙස ලංකාවේ ජනගහණය ආක‍්‍රමණය කර සිටිති.   එය මෙම ලිපියේ නිමිත්තයි. දැන් දැන් අනාවරණය වන තොරතුරු අනුව, පිළිකා මාරයා ඉතා බිහිසුණු ලෙස ලංකාවේ ජනතාව හඹා එමින් සිටින්නේ ය. ඊට අදාළ තොරතුරු, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2012 වාර්ෂික සෞඛ්‍ය දත්ත වාර්තාවේ ^Annual Health Bulaten - 2012& ද, මහරගම ජාතික පිළිකා ආයතන වෙබ් අඩවියේ ද සඳහන්කර ඇත.
 

පිළිකා රෝග ක්ෂේත‍්‍රය, හිරුගේ හෝ ඈත අභ්‍යවකාශයේ ඇතැයි කියන ‘‘කළු කුහරයකටත්’’ වඩා අඳුරුය. බිහිසුණුය. ශෝකාකූලය. රෝගය හට ගන්නේ කෙසේදැයි කිසිවකු හරියටම නො දනිති. ශරීරයට එන්නේ කොයි මෙහොතේද යන්න, කිසිවෙකුත් නො දනිති. කුමන මොහොතක මරණය එළඹෙත් ද යන්න පවා දන්නා කෙනෙක් නැත.
 





2012 ජාතික සෞඛ්‍ය දත්ත වාර්තාව, ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ තොරතුරු පළ කෙරුණු අලූත්ම වාර්තාවයි. එහි සඳහන් වන ආකාරයට, 1985 වසර වන විට ලංකාවේ පිළිකා රෝගීන් වාර්තා වුයේ, ජනගහණයෙන් ලක්ෂයකට, පුද්ගලයන් 31.6 කි. 2007 වසර වන විට එය පුද්ගලයන් ලක්ෂයකට 68.0 ක් දක්වා ඉහළ නැගේය. මෙහි තේරුම කුමක් ද? ගෙවී ගිය වසර 07 ක කාලය තුල රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව, දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බවයි. 2012 වසර වන විට, රට පුරා සිටින අලූතින් ලියාපදිංචි වූ පිළිකා රෝගීන් සංඛ්‍යාව 26,303ක් විය.
 

මහරගම ජාතික පිළිකා විද්‍යායතනයේ සේවය කරන ජයන්ත බලවර්ධන මහතා පිළිකා සම්බන්ධයෙන් ඉතාමත් ජනප‍්‍රිය වෛද්‍යවරයෙකි. ඉකුත් වසරේ දෙසැම්බරයේ ඔහු පවසා තිබුණ හැටියට , වසරකට ලේඛණගත වන අලූත් පිළිකා රෝගීන් සංඛ්‍යාව දැන් 30,000 ද ඉක්මවයි. රෝගය ඉතා බිහිසුණු ලෙස ව්‍යාප්ත වෙමින් යන ආකාරය එයින්ම පෙනේ.
 

පිළිකා රෝගයෙන් හට ගන්නා ව්‍යසනය, රෝගයට ගොදුරුවූ පුද්ගලයාට පමණක් නොවේ. එය ඔහු අයත් මුළු පවුලම ඉක්මණින් බිලි ගෙන, දුබල කරවයි. රෝගය වෙනුවෙන් මුළු පවුලම කැපවන අතර, පවුලේ සියලූ ආර්ථික ඉපයීම්ද ඔහු සුවකර ගැනීම පිණිස වෙන් කරයි. පවුලේ අය උත්සහ කරන්නේ තම රෝගියා කෙසේ හෝ බේරා ගැනීමට ය. ඒ සඳහා අධික ලෙස වියදම් කරන්නට ද සිදු වේ.
 

මෙය මුළු පවුලේම වැඩ කටයුතු බිඳ වැටෙන සුළු තත්ත්වයකි. ඉන් සැවොම අසරණ වෙති. අවසන පිළිකා මාරයා ජය ගනී. ඒ වන විට ඉතිරිව සිටින්නේ අකාලයේ අසරණකමට ඇඳ වැටුණු දුක්ඛිත දරු පවුලකි.
පිළිකා රෝගයේ බිහිසුණුම කාරණය වන්නේ, එය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීම ය. වෛද්‍යවරුන්ගේ බසින් කියනවා නම්, අලූතින් ලියාපදිංචි වන රෝගීන් සංඛ්‍යාව වසරින් වසර ඉහළ යාම ය. 2012 ජාතික සෞඛ්‍ය දත්ත වර්තාවේ සඳහන් වන අන්දමට, මහරගම ජාතික පිළිකා විද්‍යායතනයට අමතරව, රට පුරා තවත් පිළිකා රෝග ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 08ක් පිහිටා තිබේ ඒ. මහනුවර,කරාපිටිය, යාපනය, අනුරාධපුරය, මඩකලපුව සහ කුරුණෑගල ශික්‍ෂණ රෝහල්වල සහ බදුල්ල හා රත්නපුර යන මහ රෝහල්වල ය. මේ සියල්ලේම පිළිකා රෝග ප‍්‍රතිකාර පහසුකම් ක‍්‍රියාත්මක වෙයි. 2012 ජාතික සෞඛ්‍ය දත්ත වාර්තාව පවසන අන්දමට, මහරගම ජාතික පිළිකා විද්‍යායතනය ද ඇතුළුව සියලූම රෝහල් වලට, 2008 වසරේ වාර්තාවූ  අලූත් රෝගීන් සංඛ්‍යාව 19309 කි. එය 2009 වසරේ දී 20,538 ක් දක්වා ඉහළ ගිය අතර, 2010 වසරේදී 21,517 ක් විය. 2011 දී එම සංඛ්‍යාව 25,457 ක් දක්වා ඉහළනැගි අතර, 2012 වසරේ එය 26,303 ක් විය. මේ අනුව බලන විට , 2008න් ඇරඹුණු පස් වසර තුළ පිළිකා රෝගවලට බිලිවූ ජන සංඛ්‍යාව 1,13,124 කි.
 

2012 වසරේ තොරතුරු අනුව මහරගම ජාතික පිළිකා විද්‍යායතනයට වාර්තා වූ රෝගීන් ගණන 12,550 කි. ඊළඟට වැඩිම රෝගීීන් ගණනක් වාර්තාවී ඇත්තේ, මහනුවර, කරාපිටිය, බදුල්ල, මඩකලපුව සහ කුරුණෑගල යන රෝහල්වලට ය. එය ඉතා බරපතල තත්ත්වයක් පිළිබිඹු කරන්නකි.
 

බටහිර වෛද්‍ය මතයට අනුව, පිළිකාව යනු නිට්ටාවටම සුවකළ නො හැකි රෝගී තත්ත්වයකි. එහෙත් පිළිකා රෝග සදහටම සුව කරන්නෙමැයි කියන හොර වෙද්දු ද කොතෙකුත් සිටිති. නිසියාකාර සෙවිල්ලකින් තොරව ඔවුන්කරා ගොස් විනාශය ළඟාකර ගන්නා අයද වෙති. අනෙක් අතට බොහෝ පෞද්ගලික රෝහල් ද, පිළිකාව පිළිබ`ද ඇති ‘‘මර බිය’’ විකුණා පිළිකා රෝග නැති අයගෙන්ද මුදල් උපයන බව රහසක් නොවේ. ඒ සියල්ලේ වියදම් බර සහ ව්‍යසනය මහජනයාටය!
 

වෛද්‍යවරුන් කළ විශ්ලේෂණ අනුව, පිරිමින්ට වැඩිපුර පිළිකා ඇති වන්නේ, දෙතොල්, මුඛය සහ උගුර ආශි‍්‍රතවය. ඊට අමතරව, පෙනහළු හා ශ්වසන පද්ධතිය ආශි‍්‍රතවද, ගලනාලය සහ ආමාශය ආශ‍්‍රිතවද, වසා ග‍්‍රන්ථි, බඩවැල් සහ ගුද මාර්ගය ආශි‍්‍රතවද, වෘෂණ කෝෂ ආශි‍්‍රතව ද, වැඩි පුරම පිරිමින්ට පිළිකා වැළෙ`ද්. ලියුකේමියා හෙවත් ලේ පිළිකා තත්ත්වයන් ද හට ගනී. කාන්තාවන් සම්බන්ධයෙන් ගත් කල, වැඩිපුරම වැළදෙන්නේ පියයුරු, ගැබ්, ගෙළ සහ ඩිම්බ කෝෂ ආශ‍්‍රිත පිළිකා ය. කොයි හැටි වෙතත් පිළිකා යනු, කොයි මොහොතක හෝ ශරීරයේ  ඕනෑම තැනක වැළඳිය හැකි මාරයෙකි.!
 

පිරිමින්ට වැඩිපුරම වැළෙඳන මුඛ පිළිකාවලට හේතුව, බුලත් විට කෑම බව වෛද්‍යවරු කියති. බුලත් විටට භාවිත කරණ හුණු - දුම්කොළ ආදී විෂ සහිත ද්‍රව්‍ය ඊට බලපාන බව ප‍්‍රකට ය. මූලික පරීක්‍ෂා කිරීම් මගින් ඒවා කල්තියා හඳුනා ගැනීමට දැන් පහසුකම් දී සලසා තිබේ. කල් පවතින යම් ගැටිත්තක් හෝ ඉන්නෙක් බඳු අසාමාන්‍ය තත්ත්වයක්වේ නම් වහාම පරීක්‍ෂා කරවා ගන්නැයි වෛද්‍යවරු උපදෙස් දෙති.
 

වැළ‍ෙඳන වේලාවක් හෝ වැළඳුණු බවක් නො තේරෙන පිළිකා රෝග, මුළු සමාජයටම ඇති කරන්නේ ඉමහත් කම්පනයකි. ගස් - ගල් වගේ ජීවත්ව සිටි ළමයින් හෝ වැඩිහිටි පුද්ගලයන්, ඉතා කෙටි කලක දී මරු වසඟයට යාම ඊට හේතුවයි. බොහොමයක් අවස්ථාවල, වැළඳී තිබෙන අසනීපය පිළිකාවක් බව සොයා ගන්නේ අන්තිම මොහෙතේදී ය. ඒ වන විට එය වෛද්‍යවරුන්ට ද පාලනය කර ගන්නට බැරි තරම් සිරුර තුළ පැතිරී ගොසිනි. ඉක්බිති සිරුර තුළ දරණ ගසා ගත් පිළිකාව, ඉතා ඉක්මණින් මුළු සිරුරම තම ග‍්‍රහණයට හසුර ගනී. ඉන් පසුව බොහොම කෙටි කලකින් මරණය එළඹේ. ගස් ගල් වගේ සිටි මිනිසුන් කෙටි කාලයකදී මිය යන්නේ ඒ ආකාරයට ය.
 

පිළිකා සඳහා භාවිත කරන ඖෂධ ද බොහොම බලවත් ය. ඒවායින් බොහොමයක් රෝගීන්ට යළි ජීවිතය ලබා දීමට ද හැකිවන අවස්ථා තිබේ. පිළිකා වැළඳුණු ශරීරාංග ඉවත් කර දැමීමේ ශල්‍යකර්ම ද, විකිරණ ප‍්‍රතිකාර ද ඊට එක් කර ගනී. එහිදී වැඩි දෙනෙකුගේ හිසකෙස් ගැලවී, තට්ටය පෑදී, සිරුර වැහැරී මහත් දුක්ඛිත පෙනුමකට පත් වෙති. ඒ තත්වයද තමන්ට පිළිකාවක් වැළඳී ඇති බව දැනකියා ගැනීම නිසා ද බොහෝ රෝගීන් ද මානසිකව ඇද වැටෙති. එයින්ම මරණයට ළං වෙති!
 

පිළිකා රෝග හට ගැනීමට හේතුව කුමක් ද? යන්න, තවම ලොව හරි හැටි නො විසඳුණු මාතෘකාවකි. එහෙත් අධික කාර්මිකකරණයෙන් හට ගත් පරිසර දූෂණයත්, කෘෂි රසායන අධික ලෙස භාවිතාවත් නිසා පිළිකා හට ගන්නා බවට ප‍්‍රබල මතයක් තිබේ. වස විස සහිත පරිසරයක වාසය කරන්නට සිදුවීමත්, වස විස සහිත ආහාර වළඳන්නට සිදු වීමත් නිසා පිළිකා රෝග වැඩි වැඩියෙන් ව්‍යාප්ත වන බව සමහරු අදහති. ආහාර බෝග වගාව සඳහා ද ඒවා කල්තබා ගැනීම් සහ සැකසීම් ආදිය සඳහා ද අද ලංකාවේද වස විස යහමින් භාවිත කෙරේ. ඒවා නිසා පිළිකා රෝග හට ගැනීම ඉහළ ගිය බව බොහෝ දෙනා පිළිගනිති. මේ කාරණා දැන දැනම කාර්මික පරිසර දූෂණය අවමකර ගැනීමටත්, වස විස භාවිතය පිටු දැකීමටත් රටට නිසි වැඩ පිළිවෙලක් ඇති බවක් නො පෙනෙයි.

ඉරුදින-2015/04/26.

No comments:

Post a Comment