Total Pageviews

Thursday, May 14, 2015

ලොව කාර්යබහුල 33 වැනියා

වරාය විවේචනවලට ජාත්‍යන්තර පිළිතුරක්


 (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
 ‘කන්ටේනර්’ හෙවත් නාවික ‘බහලූම්’ ප‍්‍රවාහනය සම්බන්ධයෙන් ඇගයීම් කරන, zWorld Shipping CouncilZ නමැති ජාත්‍යන්තර ආයතනය (එය ඇමරිකාවේ ‘වොෂින්ටන්’ සහ බෙල්ජියමේ ‘බ‍්‍ර‍්‍රසල්ස්’ යන නගරවල සිට ක‍්‍රියාත්මකවේ), පසුගිය දා ලොව කාර්යබහුලම සහ හොඳම වරාය 50ක් ලයිස්තුගත කළේ ය. 2013 වසරේ ලොව පුරා කෙරුණු කන්ටේනර් මෙහෙයුම් ඊට පදනම්කර ගැනුණි. ඒ අනුව, ලංකාවේ ‘කොළඹ වරාය’ ද 2013 වසරේ ලොව හොඳම කන්ටේනර් මෙහෙයුම් වරාය පණහේ කාණ්ඩයට ඇතුළත්කර තිබේ. කොළඹට හිමිවී ඇත්තේ එහි 33 වැනි ස්ථානයයි. අපට අසල්වැසි ඉන්දියාවේ මුම්බායි වරායට ^JNPT& 34 වැනි ස්ථානය ලැබී ඇත්තේ ය. ඒ අනුව, ජාත්‍යන්තර කන්ටේනර් ප‍්‍රවාහන මෙහෙයුම් අතින් ලංකාව සිටින්නේ ඉන්දියාවට ඉදිරියෙනි!
 

ඔවුන්ගේ ලැයිස්තුව අනුව, කන්ටේනර් මෙහෙයුම් පිළිබඳ ලොව හොඳම වරාය චීනයේ, ‘ෂැංහයි’ ජාත්‍යන්තර වරායයි. එයට හිමි තැන අංක ‘01’ ය. සිංගප්පූරුවේ වරාය, අංක ‘02’ ය. ලොව අංක එකට තේරුණු චීනයේ ෂැංහයි වරාය, 2013 වසරේ මෙහෙයවූ කන්ටේනර් සංඛ්‍යාව මිලියන 33.62කි. සිංගප්පූරුවේ වරාය මෙහෙයවූ කන්ටේනර් සංඛ්‍යාව මිලියන 32.6කි. ලැයිස්තුවේ 33 වැනි ස්ථානය දිනා ගත් කොළඹ වරාය, 2013 වසරේ මෙහෙයවූ කන්ටේනර් ගණන මිලියන 4.31කි. ඒ අතින් බැලූව හොත්, ලංකාවේ අපට ලොව ඉහළ පෙළේ වරාය දැවැන්තයන් සමග ‘අලගු තියන්නටත්’ බැරිය. එසේ වුව ද, ලංකාව කන්ට්නර් මෙහෙයුම් ලෝකයේ හොඳම වරාය 50 අතුරෙන් 33 වැනි ස්ථානය දිනා ගැනීම සුවිශේෂ ජයග‍්‍රහණයකි. ඒ මන්ද, ඔවුන්ගේ ඇගයීම් අනුව 2011දී කොළඹ වරායට හිමිව තිබුණේ 35 වැනි ස්ථානයයි. ඉන්දියාවේ මුම්බායි වරාය, එම වසරේ ලොව 34 වැනි කන්ටේනර් වරාය ලෙස තේරී තිබිණි. දැන් 2013 වර්ෂය වන විට, අපේ කොළඹ 33 වැනි ස්ථානයට පැමිණ, මුම්බායි වරායට වඩා ඉදිරියෙන් සිටින්නේ ය. කොළඹින් මෙහෙයවූ කන්ටේනර් සංඛ්‍යාව ද ඉහළ ගොසිනි.
 
මහ බැංකු වාර්තාව 
නොබෝදා නිකුත් කෙරුණු 2014 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ ද, අපේ රටේ වරාය ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සුවිශේෂ තොරතුරු පළකර තිබිණි. (එය නව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ අත්සනින් මුදල් ඇමතිවරයාට පිළි ගැන්වුණු, අජිත් නිවාඞ් කබ්රාල් හිටපු අධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සැකසුණු වාර්තාවකි.) එහි සඳහන් වන ආකාරයට, 2014 වසරේ කොළඹ ද ඇතුළුව ලංකාවේ වරාය පද්ධතියට සේන්දුවූ සමස්ත නෞකා සංඛ්‍යාව, පෙර වසරට වඩා සියයට 7.2කින් වර්ධනයවී ඇත. ඒ අනුව, 2014 වසරේ ලංකාවට සේන්දුවූ නෞකා ගණන 4264කි. එය 2013 වර්ෂයට වඩා නෞකා 288ක වැඩිවීමකි. 2014 වසරේ කොළඹ වරායට සේන්දුවූ නැව් සංඛ්‍යාව ද පෙර වසරට වඩා නෞකා 75කින් ඉහළ ගොසිනි. මහ බැංකු වාර්තාවේ සඳහන්කර ඇති අන්දමට, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට යාත‍්‍රා කළ නැව් සංඛ්‍යාව 2013 දී 139ක්වූ අතර, 2014දී එය නෞකා 335ක් දක්වා, සියයට 141කින් ඉහළ ගියේ ය. කොළඹ වරාය 2014 වසරේ කන්ටේනර් 49,08,000ක් (මිලියන 4.9ක්) මෙහෙයවූ අතර, එය පෙර වසරට වඩා සියයට 14ක වර්ධනයක් විය. 2014 වසරේ කොළඹින් මෙහෙයවූ ප‍්‍රති නැව්ගත කිරීමේ කන්ටේනර් ගණන 37,81,000ක්වූ (මිලියන 3.7ක්) අතර, එය පෙර වසරට වඩා සියයට 15.5ක වර්ධනයක් පෙන්නුම් කළේ ය. හම්බන්තොට වරායේ වාහන ප‍්‍රති නැව්ගත කිරීම් 2014දී සියයට 206.7කින් ඉහළ ගොස්, තිබිණි.
 


 ලංකාවේ වරාය සේවා, ජාත්‍යන්තර වෙළෙඳ නාවික ලෝකයට දැනෙන තරමට ඉදිරියට පැමිණ ඇති බව දෙස්-විදෙස් වාර්තා මගින් හෙළිදරව්වීම, අතිශයින්ම දෛවෝපගත කාරණයකි. ඉකුත් ජනවාරි මස 08 වැනිදායින් බලයට පත්වූ මෛත‍්‍රී-රනිල් පාලනය, ලංකාවේ මෙතෙක් පැවති වරාය ක‍්‍රියාවලිය පස්-පඩංගුවේ දෝෂ දර්ශනයට ලක් කරමින් සිටීම, ඊට හේතුවයි.



එක්සත් ජාතික පක්ෂයේ අය, විපක්ෂයේ සිටි කාලයේ දිගින් දිගටම පැවසුවේ, හම්බන්තොට වරායෙහි ‘ගලක්’ ඇති බැවින් එය අසාර්ථක වන බවයි. ගල කඩා, වරාය විවෘත කළ පසුව, ඔවුහු එය ‘නැව් එන්නේ නැති’ වරායක් ලෙස හඳුන්වා දුන්හ. ඉකුත් දෙසැම්බර් සහ ජනවාරියේ, ජනාධිපතිවරණ රැස්වීම් වේදිකාවල පවා මෙම කතා පට්ටා ගසනු ලැබී ය. එහෙත් නැව් එන්නේ නැතැයි කියූ හම්බන්තොට වරායට, 2014 වසරේ සේන්දුවූ නැව් සංඛ්‍යාව 335ක් බව මහ බැංකු වාර්තාව කියයි. එහි තේරුම අඩුතරමින්, පැය 40කට වරක් වත් නැවක් එහි එන බවයි! හම්බන්තොට වරාය විවෘත කෙරුණේ, 2010 වසරේ නොවැම්බර් 18 වැනිදා ය. එහි නාවික ඉන්ධන සහ ජල පහසුකම් සම්පාදනය කෙරුණේ බොහොම මෑතක ය. තවම එහි කන්ටේනර් මෙහෙයුම් පහසුකම් ද සකසා නැත. එබැවින් දැන්ම නැව් වැඩි සංඛ්‍යාවක් එහි එතියි අපේක්ෂා කළ නො හැකි ය. වරාය ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට, 2014 වසර අවසන් වන විට හම්බන්තොට වරායෙන් ප‍්‍රති අපනයනය කළ වාහන සංඛ්‍යාව 2,04,063කි. මින් පෙනී යන්නේ, හම්බන්තොට, ජාත්‍යන්තර වරායක් හැටියට සිය ‘ගමන’ පටන් ගෙන ඇති  බව ය.
 
කොළඹ වරාය, අලූත් ආණ්ඩුවේ අයගේ දැවැන්ත චෝදනාවට ලක්වූ ආයතනයකි. ඒ, දූෂණ, මුදල් වංචා, සහ සොරකම් ආදිය සම්බන්ධයෙනි. වරාය භාරව සිටි, පැරණි ආණ්ඩුවේ නිලධාරීන්ට පවා චෝදනා එල්ලවී තිබිණි. චෝදනාවල ඇත්ත-නැත්ත, ලියුම්කරු නො දනියි. වරායෙහි දූෂණ, මුදල් වංචා, සහ සොරකම් ආදිය සිදු නො වූයේ යයි ද, ලියුම්කරු නො සිතයි. එසේ වුවත් ගතවූ කාලය තුළ කොළඹ වරාය, ජාත්‍යන්තර මට්ටමේ දියුණුවක්, වර්ධනයක් ලබා ගෙන ඇති බව,   zWorld Shipping CouncilZ ජාත්‍යන්තර ආයතනය කළ ලැයිස්තුගත කිරීමෙන්ම පෙනී යයි. 2014 මහ බැංකු වාර්තාව ද කොළඹ වරායෙහි දියුණුව පිළි ගනියි. මෙහි අරුත කුමක් ද?. ඉකුත් කාලයෙහි ලංකාවේ වරාය ක‍්‍රියාවලියට දේශපාලන මට්ටමෙන් නායකත්වය දුන් අය ද, පරිපාලන සහ වෘත්තික මට්ටමෙන් එය මෙහෙයවූ අය ද, විවිධ තරාතිරම්වල සේවකකාරකාදීන් ද, මහත් කැපවීමෙන් සිය මෙහෙවර ඉටුකර ඇති බව නොවේ ද? ආසියානු කලාපීය කන්ටේනර් වරායන් සමග කරට කර තරගයක් දී ඇති බව නොවේ ද? ඔවුන් එසේ නො කළේ නම්, කොළඹ ලොව 33 වැනි කන්ටේනර් වරාය බවට පත් නො වෙන්නට ඉඩ තිබූ බව සහතික ය.
 


 කොළඹ වරායේ යටගියාව
මනුෂ්‍යයන්ට උපන් ගමන් ඇවිදින්නට බැරි යයි, පැරණි කියමනක් තිබේ. ඔවුහු බඩගෑම්, දණගෑම්, වැටි වැටී නැගිටීම් ආදී කාල වකවානු පසුකර, ක‍්‍රමයෙන් ඇවිදින බව කවුරුත් දනිති. වරායකට වුව මේ කාරණය වලංගු ය. ලංකාව බටහිර-නැගෙනහිර ජාත්‍යන්තර වෙළෙ`ද නැව් මාර්ගයේ පිහිටි රටකි. රටේ පිහිටීම අනුව, ජාත්‍යන්තර වෙළෙඳ නැව් මාර්ගයට ළඟම තැන හම්බන්තොට ය. එසේ වුවත් අතීතයේ දී රටේ ප‍්‍රධාන ජාත්‍යන්තර වරාය බවට පත්කර ගන්නේ, ඈතින් පිහිටි ‘කොළඹ’ ය. එහි අතීතය පිරික්සන විට ද, උපන් ගමන් ඇවිදින්නට බැරි යයි ප‍්‍රකට කියමන පසක් වේ!
 

ලංකාවේ යටත් විජිත පාලන සමයෙහි (පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි), එනම් වර්ෂ 1505 සිට 1882 දක්වා රටේ ප‍්‍රධාන වෙළෙඳ වරාය ලෙස පැවතියේ, ගාල්ල ය. පසුව වර්ෂ 1869 දී සූවස් ඇල විවෘත කිරීමත් සමගම එහි සේන්දු  වන නැව් සංඛ්‍යාව වැඩි විය. වර්ෂ 1870 දී නැව් 82ක් ද, වර්ෂ 1871 දී නැව් 110ක් ද ගාල්ලට පැමිණුනි. ඉන් ගාල්ල වරායෙහි ඉඩකඩ ද ප‍්‍රමාණවත් නොවීය. එබැවින් එකල බි‍්‍රතාන්‍ය පාලකයෝ වර්ෂ 1872 දී කොළඹ වරාය පුළුල් කිරීම් ඇරඹූහ. වර්ෂ 1882 දී එය නැව් මෙහෙයුුම් පිණිස විවෘත කෙරිණි. එකල ප‍්‍රවාහනය කෙරුණේ සාමාන්‍ය නැව් බඩු ය. කෙසේ වෙතත්, දෙවැනි ලෝක යුද්ධයෙන් (වර්ෂ 1939-1945) පසුව, ඇමරිකාවේ පුරෝගාමිත්වයෙන් ‘යකඩ බහලූම්’ හෙවත් ‘කන්ටේනර්’ මගින් නැව් බඩු ප‍්‍රවාහනය ඇරඹිණි. එය ලොව පුරා නැව් බඩු ප‍්‍රවාහනයේ, නව පෙරළියක් ඇති කළේ ය.
 

මේ අතර එවකට බලයේ පැවති එ. ජා. ප. රජයට, කන්ටේනර් මෙහෙයුමේ ඇති ආර්ථික විභවය වැටහිණි. ඔවුහු 1966 වසරේ දී කොළඹ වරායේ එළිසබෙත් රැුජින ජැටිය, කන්ටේනර් මෙහෙයුම් සඳහා සංවර්ධනය කරන්නට තීරණය කළහ. එහි යෝජනාවට අනුව, ජැටිය (පාලම) මීටර් 300ක් දිගු කෙරෙන අතර එය මීටර් 12.8ක් ගැඹුරු කරන්නට නියමිත විය. වැඩ ඇරඹුව ද, මුදල් ප‍්‍රශ්න නිසා, 1970-1977 සමගි පෙරමුණු රජය සමයේ පවා එහි ඉදි කිරීම් කරන්නට නො හැකි විය. 1977 වසර වන විටත් ඉන් සාදා තිබුණේ මීටර් 180ක කොටසක් පමණි.
 

ජාත්‍යන්තර වෙළෙ`ද නැව් මාර්ගයක් අසල සිටිය ද ලංකාවේ ආණ්ඩු, වර්ෂ 1945න් පසුව එළඹුණු ‘කන්ටේනර් ප‍්‍රවාහන වසන්තයේ’ නාඩිය අල්ලා ගත්තේ නැත. ඉන් රටට සිදු වූයේ අවාසියකි. 1956න් පසුව ලංකාවේ වරාය ජනසතු කෙරුණ ද වැඩි ප‍්‍රතිඵලයක් නො වීය. 1964 වසරේ වැඩ වර්ජන ගණනාවක් ඇති විය. සිංගප්පූරුවේ ලී ක්වාන් යු මහතා, 1959 වසරේ එරට බලයට පත් විණි. ඔහු එරට වරාය දියුණු කළේ ය. පෙරදිග රටවලට ඉන්ධන බෙදීම ද සියතට ගත්තේ ය. ඉක්බිති, ඔහු වර්ෂ 1972 දී කන්ටේනර් නැව් මෙහෙයුම් ඇරඹී ය. 2013 දත්ත අනුව සිංගප්පූරුව අද, කන්ටේනර් මෙහෙයුම් අතින් ලොව දෙවැනි ජාත්‍යන්තර වරායයි. එය 2013 වසරේ මෙහෙයවූ කන්ටේනර් සංඛ්‍යාව මිලියන 32.6කි! ලංකාවේ ප‍්‍රමාදය සිංගප්පූරුවේ වාසියට ගිය හැටි!
 

පසුව 1977 දී ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් නව එ. ජා. ප. රජයක් බිහි විය. 1978 වසරේ පටන් එහි නාවික කටයුතු භාර වූයේ ලලිත් ඇතුලත්මුදලි ඇමතිවරයාට ය. ඒ වන විට ලොව නැව් බඩු මෙහෙයවීම අතින් කොළඹට හිමිව තිබුණේ, 138 වැනි ස්ථානයයි. එබැවින් ඔහු කන්ටේනර් මෙහෙයවීම ඉලක්කකර ගෙන, කොළඹ වරාය සංවර්ධනය කරන්නට පටන් ගත් අතර, 1979 දී ‘ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය’ පිහිට වීය. 1980 වර්ෂයේ දී ජපන් රජයේ අනුග‍්‍රහය ඇතිව රැජින පාලමේ ඉතිරි වැඩ නිමවා, ලංකාවේ ප‍්‍රථම කන්ටේනර් මෙහෙයුම් පර්යන්තය විවෘත කිරීමට ලලිත් ඇතුලත්මුදලි මහතා සමත් විය. එය ‘ජය බහළු පර්යන්තයයි’. ඉන් පසුව 1984 වසරේ දී අපේ කොළඹ, ලොව කන්ටේනර් මෙහෙයවන වරාය අතුරින් 22 වැනි තැනට පත් විය. 1999 වසරේ දී ‘සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්’ ආයතනය ද ඇරඹුනු අතර, කන්ටේනර් මෙහෙයුම් තවත් වර්ධනය විය.
 

විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝෂයේ දත්ත අනුව, කන්ටේනර් මෙහෙයුම් අතින් 2002 වසරේ කොළඹට හිමි වූයේ 35 වැනි ස්ථානයයි. ඉන් පසුව 2004 වසරේ 33 වැනි තැන ද, 2005 දී 34 වැනි තැන ද හිමි විය. ජාත්‍යන්තර ‘කන්ටේනරයිසේෂන්’ සඟරාව, 2008 වසරේ දී කොළඹ වරාය 27 වැනි ස්ථානයට තෝරා ගෙන තිබිණි. විකිපීඩියාවට අනුව, 2011 දී කොළඹට 32 වැනි ස්ථානය ලැබී තිබුනු අතර, 2012 දී ප‍්‍රති නැව්ගත කිරීම් අතින් ලොව 14 වැනි තැන කොළඹ වරායට හිමි විණි. එම වසරේ කොළඹින් කෙරුණු කන්ටේනර් මෙහෙයුම්වලින් සියයට 71ක්ම ප‍්‍රති නැව්ගත කිරීම් විය. zWorld Shipping CouncilZ’ ජාත්‍යන්තර ආයතනය පවසන අන්දමට, 2013 දී කොළඹ පසුවන්නේ 33 වැනි ස්ථානයේ ය. ‘සිංගප්පූරුව’, ඉන්දියාවේ ‘මුම්බායි’,  ඕමානයේ ‘සලාලා’ සහ ‘ඩුබායි’ යන කලාපයේ අසල්වැසි වරායන් ද මේ කාලය තුළ සීග‍්‍ර දියුණුවක් අත්කර ගත්තේ ය. ඉන් ලංකාවට උග‍්‍ර තරගයක් එල්ල විණි. එහෙත් අපේ අය ද ‘වැඬේ අත්හැර නැති බව’ දැන් පෙනී යයි.

 
කොළඹ වරායේ මෙම දියුණුව ඇති වූයේ නිකම්ම නොවේ. වසර 2010 දී පටන් මහින්ද රාජපක්ෂ රජය යටතේ, එහි විවිධ නවීකරණ කටයුතු රාශිියක් කෙරිණි. 2011 දෙසැම්බර් 16 වැනි දා එහි පුළුල් කිරීම් ඇරඹිණි. කොළඹ දකුණු වරාය සහ අලූත් දියකඩන ඉදිකර විවෘත කෙරිණි. 2013 වසරේ අගෝස්තු 05 වැනි දා එහි මීටර් 1200ක් දිග, මීටර් 18ක් ගැඹුරු දියකඩනයක් හිටපු ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි. ඒවා මීටර් 18ක් ගැඹුරු ය. වරායේ නැගෙනහිර පර්යන්තයේ ද ගැඹුර මීටර් 18ක් දක්වා වැඩි කෙරිණි. දැන් කොළඹ වරායෙහි ‘මහා කන්ටේනර් නෞකා’ ^Mega Vessal&  හැසිරවිය හැකිය. 2010 දී ‘ඔටාවා එක්ස්ප‍්‍රස්’ නම් විශාල නැවක් කොළඹට ආවේ ය. 2013 පෙබරවාරියේ ‘ක්වීන් මේරි-02’ නම් මගී නෞකාව, මගීන් 2500ක් ද කැටුව කොළඹට ආවේ ය. එම වසරේම ඔක්තෝබරයේ කන්ටේනර් 13,808ක ධාරිතාව ඇති ‘තලාසා හෙල්ලාස්’ නැව කොළඹට සේන්දු විය. 2014 නොවැම්බරයේ ‘එම්.එස්.සී. නිව්යෝක්’ නැව (මීටර් 400ක් දිග), කන්ටේනර් 16,650ක් රැගෙන කොළඹට ආවේ ය. ලොව වටා යාත‍්‍රා කරන ‘මහා නෞකා’ පැමිණීම, කොළඹ වරාය පුළුල් කිරීමෙහි ප‍්‍රතිඵලයයි.
 


2014 වසරේ කොළඹින් කන්ටේනර් මිලියන 4.9ක් මෙහෙයවා තිබේ. ඉන් මිලියන 3.7ක්ම ප‍්‍රති නැව්ගත කිරීම් ය. කන්ටේනර් ප‍්‍රති නැව්ගත කිරීම් යනු, රට සල්ලි උල්පත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කොළඹ වරායට මේ දියුණුව ලබන්නට, 1980 සිට මේ දක්වා වසර 30ක්ම ගත විය. එබැවින් වරායක් යනු දවසට දෙකට දියුණු වන දෙයක් යයි කියන්නට පුළුවන්්කමක් නැත! එය ‘හම්බන්තොටට’ වුව සාධාරණ බව ලියුම්කරුගේ අදහසයි.
(පින්තූර-අන්තර්ජාලයෙනි)
 
ඉරුදින/2015.05.10.

No comments:

Post a Comment