Total Pageviews

Saturday, April 11, 2015

පාහියන්ගල කෙල්ල -වයස අවුරුදු 10,000යි

පාහියන්ගල ආදි කල්පික කෙල්ල-වයස අවුරුදු 10,000යි

උස හීන්දෑරි එකියක්

පාහියන්ගල 
(පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පර්යේෂක සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් විෂය භාර හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරිණි.)

ආචාර්ය නිමල් පෙරේරා මහතා

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එය 2012 වසරේ ජූනි මාසයයි. ඒ වන විට ද, බුලත්සිංහල, පාහියන්ගල ප‍්‍රාග් ඓතිහාසික ගල් ලෙනෙහි රැන්ද යටින් මතුවෙමින් තිබුණු ‘පාෂාණිභූත මිනිස් රූපකාය’, ගැහැණියක් ද?, පිරිමියෙක් ද? යන්න ගැන, කිසිවෙකුට පැහැදිලි අදහසක් නොවී ය. ඒ පිළිබ`ද මුල්ම ආරංචිය පැතිර ගියේ, එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් විෂය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා මහතා කළ දැනුම්දීම අනුව ය. ඉක්බිති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල යන මහත්වරු ඇතුළු විද්වතුන් රැුසක් කඩිනමින් පාහියන්ගලට පැමිණියහ. ‘පාහියන්ගලින් අලූත් ඇටසැකිල්ලක් හමු වෙලා’ යනුවෙන් ජන මාධ්‍ය ඔස්සේ පැතිරුණු ආරංචිය, රට පුරා ඇවිල වූයේ මහා කුතුහලයකි.

ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි, ප‍්‍රාදේශීය කැණීම් කෞතුකාගාර නිලධාරී, පාලිත වීරසිංහ, කැණීම් නිලධාරීන් වන කමල්නන්ද සිරිසේන, යූ. ඩබ්ලිව්. කරුණාසේන, සමන් කුමාර ඇ?ගම, ඇල්ප‍්‍රඞ් ද මැල් (මැල් අයියා), සුසන්ත නිහාල්, සහ පී. පී. ගුණදාස, ජූඞ් පෙරේරා, රුවන් ප‍්‍රමෝද්, කේ. පී. සුමනදාස, යන මහත්වරු ඇතුළු කැණීම් කණ්ඩායමේ පිරිස, ඒ වන විටත් ‘පාෂාණිභූත මානව රූපකාය’ රැක ගෙන සිටියහ. පාහියන්ගල පුරාවිද්‍යා කැණීමෙහි ස්ථාන භාර නිලධාරිවරයා ලෙස කටයුතු කළ, ඔෂාන් වෙදගේ මහතා ඔවුන් මෙහෙය වූයේ ය. 

මතු කෙරෙමින් පැවති පාෂාණිභූත රූපකාය නිරීක්ෂණය කළ විද්වතුන්ගේ මතය වූයේ, එය මෙතෙක් දකුණු ආසියානු රටකින් හමුවූ ප‍්‍රථම, ‘පෞරාණික සම්පූර්ණ මානව ඇටසැකිල්ල’ වන බවයි. එබ`දු වටිනා මානව පුරාවස්තුවක් මින් පෙර අසල්වැසි ඉන්දියාවෙන් පවා සොයා ගෙන නො තිබිණි. ඒ සමගම 1986 වසරේ සිට පාහියන් ලෙනේ පුරාවිද්‍යා කැණීම්වලින් හමුවූ සමස්ත මානව ඇටසැකිලි සංඛ්‍යාව ද 15 ක් දක්වා ඉහළ නැංගේ ය. ‘මට හිතෙන විදිහට නම් මේක ළාබාල ගැහැණු ළමයෙකුගේ ඇටසැකිල්ලක්’, ඇල්ප‍්‍රඞ් ද මැල් (මැල් අයියා) ප‍්‍රමුඛ කැණීම් ශිල්පීන් ද සමග ඇටසැකිල්ල නිරීක්ෂණය කළ ආචාර්ය සිරාන් දැරණියගල සූරීහු මහත් හැ`ගුම්බරව කීහ. 

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප‍්‍රමුඛ පුරාවිද්‍යාඥයන් ද, කැණීම් නිලධාරීන් ද, මාධ්‍යවේදීන් ද, මහජනයා ද, මොහොතකට ගල් ගැසුණි. මෘදු නිහැඬියාවක් පැතිරිණි. ආදි කල්පික ලාලිත්‍යයෙන් යුත් කෝමල රේඛාවන් සියල්ල දිරාපත්වූ  ඕ, පාෂාණිභූතව වැතිර සිටියා ය. හරිත වර්ණයෙන් යුත් නිවර්තන තෙත් කලාපීය වර්ෂා වනාන්තරය සෙවණෙහි ඇති සිහිල, ඇයට හො`දින් හුරුපුරුදු ය.  ඕ වසර දහස් ගණනක් මුළුල්ලේ, එහි සිහිලසත්, පොළෝ ගැබෙහි උණුසුමත්, රිසි සේ විඳ ගනිමින් නිසොල්මනේ වැතිර සිටින්නට ඇත. 

‘බලංගොඩ මානව පරපුරේ ගෑණු ළමයෙක්?, ඒ අතර කවුදෝ නිහැඬියාව බින්දේ ය. ඒ එදා ය. 2012 වසරේ ජූනි මාසයේ දවසක ය.

දැන් ගෙවී යන්නේ 2015 වසරේ අප‍්‍රියෙල් මාසයේ පළමු සතියයි. හරියටම ඉකුත් සතියේ, එනම් මාර්තු 28 වැනි සෙනසුරාදාවේ, ‘පාහියන්ගල ගෑණු ළමයා’ පිළිබ`ද අබිරහස හෙළි වුණේ ය. ඒ, ඇය පිළිබ`ද පර්යේෂණ පවත්වන එංගලන්තයේ, කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ජීව මානව විද්‍යාඥ, ආචාර්ය ජේ. ස්ටොක් මහතා, කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ දී කළ විශේෂ දේශනයක දී ය. ‘ඉරුදින’ මේ සමග දිග හරින්නේ, එහි දී හෙළිවුණු කරුණු අනුව, ‘පාහියන්ගල ගෑණු ළමයා’ගේ කතා පුවතයි.


ශ‍්‍රී ලංකාවේ ඇති විශාලතම ප‍්‍රාග් ඓතිහාසික ගල් ලෙන ලෙස සැලකෙන, ‘පාහියන් ලෙන’, කළුතර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල නගරයට නුදුරුව යටගම්පිටිය ග‍්‍රාමයෙහි පිහිටියේ ය. එය ‘පාහියන් ලෙන’ නම්න් ප‍්‍රකට වූයේ, ක‍්‍රිස්තු වර්ෂ 05 වැනි සියවසෙහි ලංකාවේ චාරිකා කළ ‘ෆාහියන්’  නමැති චීන ජාතික බෞද්ධ භික්ෂුව නිසා වෙනි. ලංකාවට පැමිණි උන් වහන්සේ, ශ‍්‍රී පාද වන්දනාවේ යන අතර, ලෙනෙහි විහරණය කළ බවක් ජන ප‍්‍රවාදයෙහි එයි. ඒ කාරණය නිසා යටගම්පිටියේ ගල්ලෙන ‘ෆාහියන් ලෙන’ (පාහියන් ලෙන) නමින් ප‍්‍රසිද්ධ විය. පසු කාලීනව මහනුවර යුගයේ දී එය ආශ‍්‍රිතව බෞද්ධ විහාරයක් ඉදිවූ අතර, මෑත භාගයේ ලෙනෙහි විහාරයක් ද ඇරඹිණි.





පාහියන්ගල ඇටසැකිල්ල හමුවූ අවස්ථාවේ
පාහියන් ලෙනෙහි, මුල්වරට ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීම් කෙරුණේ, වර්ෂ 1986 සහ 1998 කාලයේ දී ය. ඒ, එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂවරයාවූ ද, පසු කලෙක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ද, ආචාර්ය එච්. ඩබ්ලිව්. විජයපාල මහතාගේ මෙහෙයවීමෙනි. පර්යේෂණයෙන් එය, දකුණු ආසියාවේ විසූ ‘නවීන මානවයා’ හෙවත් ‘බලංගොඩ මානවයාගේ’, පැරණිතම ජනාවාසයක්  බව හෙළි විය. ඔහුගේ කැණීම්වලින් මානවයන් 14 දෙනෙකුගේ අවශේෂ හමු විය. මානව ඇටසැකිලි සහ අවශේෂ විශ්ලේෂණය කළේ, ඇමරිකාවේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. ඒ. ආර්. කෙනඩි මහතා ය. ලංකාවේ ආදි මානවයන් ගින්දර භාවිතා කිරීම පිළිබඳව පැරණිම සාධක හමු වූයේ ද පාහියන් ලෙනෙනි. එය අදින් වසර 34,000 ක් පැරණි ය. පසුව 2005 වසරේ දී පාහියන් ලෙනෙහි ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීම් යළි ඇරඹිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (කැණීම්) ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් එය ක‍්‍රියාත්මක විය. 

 පෘථිවි ඉතිහාසයේ පැවති අවසන් ‘ප්ලයිස්ටෝසීන යුගය’ හෙවත් අවසන් හිම යුගය, ලෝක මානව පරිණාම ඉතිහාසයේ දී අතිශය වැදගත් කාල පරිච්‍ෙඡ්දයකි. එතැන් පටන් එළඹි වකවානුව හඳුන් වන්නේ, ‘මධ්‍ය ශිලා යුගය’ හෙවත් ‘ගල් යුගය’ නමිනි. ලංකාව සම්බන්ධයෙන් ගත් කල, මධ්‍ය ශිලා යුගය අදින් වසර 48,000 ක් පමණ පැරණි ය. මේ කියන කාලයේ ලංකාවේ වාසයකර ඇත්තේ ‘නවීන මානවයන්’ ය. ලංකාවේ පුරාවිද්‍යාඥයන් ඔවුන් හ`දුන් වන්නේ, ‘බලංගොඩ මානවයන්’ නමිනි. ආචාර්ය නිමල් පෙරේරා මහතා 2005 වසරේ කළ කැණීම් මගින්, පාහියන් ලෙනෙහි පැවති බලංගොඩ මානව ජනාවාසය අදින් වසර 37,000ක් පැරණි බව අනාවරණය විය. ඉන් පසුව ඔහු 2012 වසරේ කළ කැණීම්වලින් එය අදින් වසර 48,000ක් පැරණි බව, 2014 වසරේ මැයි මාසයේ හෙළි විය.

ආචාර්ය සිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා යන පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, ලංකාව යනු දකුණු ආසියාවේ විසූ නවීන මානවයා පිළිබඳව පැරණිම සාධක හමුවන රටකි. එබඳු පැරණි සාධක හමුවන ගල් ලෙන් තුනක් අපේ රටේ තිබේ. ඉන් ප‍්‍රමුඛතම ස්ථානය පාහියන් ලෙන ය. ඊළඟට, අදින් වසර 40,000ක් පැරණි කුරුවිට බටදොඹ ලෙන ය. අනෙක කිතුල්ගල බෙලි ලෙන ය. එහි පැවති නවීන මානව ජනාවාසය අදින් වසර 31,000 ක් පමණ පැරණි ය. 

පාහියන් ලෙනෙහි නව කැණීම් වාරයට මුල පිරුණේ, ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ගල් ලෙන්වලින් හමුවන මානව අවශේෂ නවීන තාක්ෂණික ක‍්‍රමවේද මගින්, වඩා විධිමත් ලෙස කාලනිර්ණය කිරීම ස`දහා කෙරුණු වැඩ පිළිවෙලක් ඔස්සේ ය. එය, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මග පෙන්වීම යටතේ සිදු විය. 2007 වසරේ සිට එය ඇරඹී තිබිණි. ඒ අනුව, පාහියන් ලෙනෙහි නව කැණීම් වාරය, 2012 වසරේ පෙබරවාරියේ පටන් ගැනුණි. විජයපාල මහතා කැණීම් කළ ගල් රැුන්දේ පැරණි කැණීම් වලට සමීපව, නව කැණීම ඇරඹිණි. එය ද ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙය වීමෙන් සිදුවූ අතර, ව්‍යාපෘතියේ ස්ථාන භාර නිලධාරිවරයා ලෙස කටයුතු කළේ, ඔෂාන් වෙදගේ මහතා ය. රට පුරා මහත් කුතුහලයක් ඇවිලවූ ඉපැරණි මානව ඇටසැකිල්ල, ඔවුන් විසින් 2012 ජූනි මාසයේ දී සොයා ගන්නා ලදී. 

එය තැන්පත්ව තිබුණේ, කැණීම් වලේ ගල් තට්ටුවක් මත ය. එබැවින් ඇටසැකිල්ල නිරුපද්‍රිතව ගොඩ ගැනීම, දුෂ්කර කටයුත්තක් විය. ඒ ස`දහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ද ලංකාවට නැත. එබැවින්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල යන මහත්වරුන්ගේ උපදෙස් මත, එය ගොඩ ගැනීම ස`දහා විදේශීය විශේෂඥයන්ගේ සහාය ගැනීමට තීරණය කෙරුණි. 

බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යාව පිළිබඳ සුප‍්‍රකට මහාචාර්යවරයෙකු වන මයිකල් පැට‍්‍රාලියා මහතා, පාහියන්ගල ඇටසැකිල්ලගැන ඒ වන විටත් මහත් විමසිල්ලෙන් පසු වූවෙකි. ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ ද මිතුරෙකි. ලංකාවේ තීරණය දැනගත් ඔහු සිය මිතුරා අමතා, එ රට කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ සේවය කරන, ආචාර්ය ජේ. ස්ටොක් නමැති ජීව මානව විද්‍යාඥයා හඳුන්වා දුන්නේ ය. ඒ සබඳතාව අනුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි, ඔහුට ශ‍්‍රී ලංකා රජයේ අවසරය ලැබිණි. ඉන් පසුව ආචාර්ය ජේ. ස්ටොක් මහතා වහාම ලංකාවට පැමිණියේ ය. අනතුරුව ඔහු, රට පුරා අති විශාල ජන අවධානයක් දිනා ගත් මානව ඇටසැකිල්ල ප‍්‍රවේශමෙන් ගොඩ ගෙන, 2012 වසරේ ජූනි මාසය අග භාගයේ දී, වැඩිදුර පර්යේෂණ සඳහා බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයට රැුගෙන ගියේ ය. කෙසේ වෙතත්, ඇටසැකිල්ල සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය සැකසූ මූලික කාලනිර්ණ වාර්තාවක්, අගෝස්තු මාසයේ දී ආචාර්ය ජේ. ස්ටොක් මහතා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එවා තිබිණි. එය සකස් කෙරුණේ, ඔක්ස්ෆර්ඞ් සරසවියේ  කාලනිර්ණ රසායනාගාරයේ අධිපති, මහාචාර්ය ටොම් හිග්හැම් මහතා අතිනි. ඒ අනුව පාහියන් ලෙනෙහි නව ඇටසැකිල්ල, අදින් වසර 10,000ක් පැරණි බව අනාවරණය විය. ඇටසැකිල්ල හිමි මානවයා, නිවර්තන කලාපීය වර්ෂා වනාන්තර සහිත පරිසරයෙන් යැපුණු බව ද හෙළි විණි. 

ඉක්බිති පාහියන්ගල මානව ඇටසැකිල්ල යළි කරළියට ආවේ, ඉකුත් සෙනසුරාදා (මාර්තු 28) ය. ඊට නිමිත්ත වූයේ එංගලන්තයේ, කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ජීව මානව විද්‍යාඥ, ආචාර්ය ජේ. ස්ටොක් මහතා, එතෙක් කළ සිය පර්යේෂණ අරභයා කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ දී කළ විශේෂ දේශනයයි. ඉන් හෙළිවූ තොරතුරු අනුව, පාහියන්ගල පාෂාණිභූත ඇටසැකිල්ල නිසැකවම බලංගොඩ මානව පරපුරේ ‘තරුණියකි’. අවුරුදු 18ත්, 22ත් අතර වයස්කාරියක වන ඇය, කිලෝග‍්‍රෑම් 54ක් පමණ බරැති, තැනැත්තියකි. ඇගේ උස සෙන්ටිමීටර් 155-165ක් (අඩි 05යි, අඟල් 03ක්) පමණ වේ. පෘථිවි ඉතිහාසයේ අදින් වසර 1,00,000ත්, 4000ත් අතර වකවානුව, අවසන් ප්ලයිස්ටෝසීන යුගයෙන් (අවසන් හිම යුගයෙන්) පසුව එළඹුණු ‘හොලෝසීන යුගයයි’. ආචාර්ය ජේ. ස්ටොක් මහතා පවසන අන්දමට, පාහියන්ගල තරුණිය ඒ යුගයෙහි විසූ, හොඳින් වැඩුණු සිහින් සිරුරැති, උස කාන්තාවකි. ඇගේ උස සහ සිහින් සිරුර අසාමාන්‍ය ලක්ෂණයකි. දකුණු ආසියාවේ කිසිදු ප‍්‍රාග් ඓතිහාසික කැණීමකින් මෙතෙක්, ඇය වැනි උස කෙනෙකුගේ සම්පූර්ණ පාෂාණිභූත ඇටසැකිල්ලක් හමුවී නැත. තරුණියට සෞම්‍ය පෙනුමක් තිබෙන්නට ඇතැයි ස්ටොක් මහතා විශ්වාස කරයි. තරුණිය කිසියම් දන්ත රෝගයකින් ද පෙළුණා ය. ඇය මියගොස් ඇත්තේ නිදන්ගත රෝගයකිනි. ලෙන් වාසීහු ඇගේ මළ සිරුර, තම ගෙබිමෙහි කෙළවරක, නො ගැඹුරු වලක තැන්පත්කර ඇත. සිරුරට යටින් ගල් තුනක් තැන්පත්කර තිබිණි. එය අවමගුල් චාරිත‍්‍රයක් ද යන්න පැහැදිලි නැත. නිසැකවම ඇය, ලංකාවේ විසූ ‘නවීන මානවයන්’ හෙවත් ‘බලංගොඩ මානවයන්’ගේ පරපුරේ තැනැත්තියකි.




ආචාර්ය ජේ. ස්ටොක් මහතා පාහියන්ගල දී
විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝෂයට අනුව, ලංකාවේ වර්තමාන ගැහැණුන්ගේ සාමාන්‍ය උස (උසෙහි සාමාන්‍යය) සෙන්ටිමීටර් 151.4කි. එනම්, අඩි 04යි අඟල් 11කි. ඒ අනුව, පාහියන්ගල තරුණිය අදට වඩා උසැති එකියකි. වර්තමාන ලංකාවේ උසම තරුණිය ලෙස වාර්තාවී ඇත්තේ, දර්ශනී සිවලිංගම් ය. ඇගේ උස සෙන්ටිමීටර් 208.3කි. එනම් අඩි 06කි. ඇය හා සසඳන විට, පාහියන්ගල තරුණිය මිටි එකියකි. ලංකාවේ බලංගොඩ මානවයන්ගේ රූපකාය පිළිබඳව මුල්ම විශ්ලේෂණය කෙරුණේ, ඇමරිකාවේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ  මහාචාර්ය කෙනත් ආර්. කෙනඩි මහතා විසිනි. වර්ෂ 1972 දී බෙල්ලන්බැඳිපැලැස්සේ මානව අවශේෂ විශ්ලේෂණය කරමින් ඔහු පැවසුවේ, බලංගොඩ මානව පිරිමියෙකුගේ උස සෙන්ටිමීටර් 174ක් (අඩි 05යි අඟල් 08ක්) සහ ගැහැණියකගේ උස සෙන්ටිමීටර් 166ක් (අඩි 05යි අඟල් 05යි) වන බවයි. ඔහු එම දත්ත ඉදිරිපත්කර තිබුණේ පාහියන්ගල ඇටසැකිල්ල බඳුසම්පූර්ණ ඇටසැකිලි ආශ‍්‍රයෙන් නො වේ. කෙසේ වෙතත් පාහියන්ගල තරුණිය, යෝධියක් බඳු උසැති එකියක බව පිළි ගැනීමට සිදු වේ.

ඇය පිළිබඳ පර්යේෂණ ද තවම අවසන් නැත. එබැවින් ආචාර්ය සෙනරත් දිසානායක, ආචාර්ය සිරාන් දැරණියගල, ආචාර්ය නිමල් පෙරේරා, ආචාර්ය ජේ. ස්ටොක්, මහාචාර්ය මයිකල් පැට‍්‍රාලියා, කැණීම් කණ්ඩායමේ ඔෂාන් වෙදගේ, පාලිත වීරසිංහ, කමල්නන්ද සිරිසේන, යූ. ඩබ්ලිව්. කරුණාසේන, සමන් කුමාර ඇරෑගම, ඇල්ප‍්‍රඞ් ද මැල් (මැල් අයියා), සුසන්ත නිහාල්, සහ පී. පී. ගුණදාස, ජූඞ් පෙරේරා, රුවන් ප‍්‍රමෝද්, කේ. පී. සුමනදාස, යන දෙටු සහ කණිටු පුරාවිද්‍යාඥයන් පාහියන්ගලට බැඳි අකලංක පේ‍්‍රමය, තව බොහෝ කලක් පවතිනු නිසැකය.
ඉරුදින-2015/04/05.

No comments:

Post a Comment