‘සිරස ලක්ෂපති’ ජයගත් ශුක්රා මුනව්වර් දැරිය අහම්බයක් නොවේ!
ඇය ගාල්ල, උණවටුණ ඔස්සේ දිවෙන,
වෙරළබඩ උගතුන්ගේ තීරුවේ අලුත් ම නියෝජනයයි
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ගාල්ල, වියත් කලාකරුවන් සහ විද්වතුන් රාශියකගේ උපන් බිමයි. ඒ අතරින් තවත් ගාලු වියතුන් තිදෙනෙකු ඉකුත් දිනවල අපෙන් සමුගෙන ගියහ. වර්ෂ 1921 දී ගාල්ලේ කොග්ගල උපන් මහාචාර්ය සිරිමල් රණවැල්ල, 1922 දී උණවටුනේ ජන්ම ලාභය ලැබූ කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස සහ ගිංතොට දී 1937 වසරේ උපත ලද මහාචාර්ය බන්දුසේන ගුණසේකර, ඒ තුන් දෙනා ය. මින් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා 2020 වසරේ දෙසැම්බර් 26 වැනි දාත්, මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා 2021 ජනවාරි 06 වැනි දාත්, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා 2021 ජනවාරි 22 වැනි දාත් මියැදී තිබුණේ ය.
ඔවුන්ගේ අභාවයන් සමගම, ගාලු ජන සමාජයේ කතාබහට ලක් වූ තවත් සිදු වීමක් වූයේ උණවටුණේ, කටුගොඩ පදිංචි දාහත් හැවිරිදි පාසැල් සිසුවියක් ‘සිරස’ රූපවාහිනී නාලිකාවේ ජනප්‍රිය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වූ ‘සිරස ලක්ෂපති’ ජයග්‍රහනය කිරීමයි. මාගාල්ලේ සුධර්මා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටින ඇය, 2021 ජනවාරි 25 වැනි දා පැවති ‘ලක්ෂපති’ වැඩ සටහනින් ජය ලබා රුපියල් මිලියන දෙක ම දිනා ගත්තා ය. ඇය ‘ශුක්රා මුනව්වර් මෙනවියයි’. ඇය වැඩ සටහනෙහි දී පිළිතුරු දෙමින් හැසිරුණු ආකාරය, මුළු රටේ ම ප්‍රසාදයට හේතු විණි.
‘ශුක්රා’ ලක්ෂපති වැඩ සටහන අතරතුර දී පැවසූ ආකාරයට, ඇගේ පියා ලෙඩ ඇඳේ ය. තමන්ට සියලු දෑ සරිකර දෙන්නී ඇගේ මෑණියන් ය. ඔවුන්ට අගහිඟකම් එමට ය. ‘කොරෝනා වසංගතය’ නිසා දැන් අධ්‍යාපන ක්‍රියාවලිය සිදු වන්නේ ‘ඔන් ලයින්’ ක්‍රමයට ය. එහෙත් ඇයට ඒ සඳහා මුහුණ දීමට වත්කමක් නැත. ශුක්රා දියණිය ‘සිරස ලක්ෂපතියට’ ගොඩ වැදී ඇත්තේ ‘ලැප්ටොප් පරිගණකයක්’ මිල දී ගැනීමට මුදල් සොයා ගැනීමේ අපේක්ෂාවෙනි. පාසැල් දරුවන් බොහොම දෙනෙක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ද ඇය සඳහන් කළා ය. ඇගේ ජයග්‍රහනය වාර්තා කෙරුණේ ජනවාරි 25 වැනි දා ය. එදා පටන් ශුක්රා සමාජ මාධ්‍යවල කතාබහට සහ අවධානයට ලක්ව සිටින්නී ය.
ශුක්රා උපන් උණවටුණ, ගාලු දිසාවෙන් රටට බිහිවූ වියතුන් විශාල පිරිසකගේ නිජබිම ය. ගාලු නගරයේ සිට අහංගම දක්වා වෙරළබඩ තීරුව ගත් විට, ගිහි පැවිදි වියතුන් රැසක් මුණගැසෙති. සමස්ත ගාලු දිස්ත්‍රික්කය ම ගත් විට, වියතුන්, සාහිත්‍යකරුවන්, කලාකරුවන් ආදී උගතුන්ගේ පාරාදීසයක් බඳු ය. ඒ අර්ථයෙන් ගත් කල, මහාචාර්ය සිරිමල් රණවැල්ල, මහාචාර්ය බන්දුසේන ගුණසේකර සහ ආචාර්ය එඩ්වින් ආරියදාස යනු සුවිශේෂ චරිත බව කිවයුතු ය.
සිරිමල් රණවැල්ල සහ එඩ්වින් ආරියදාස දෙපල ද උපන්නේ කොග්ගල සහ ඊට නුදුරින් පිහිටි උණවටුණ ප්‍රදේශයේ ය. මහාචාර්ය සිරිමල් රණවැල්ල මූලික අධ්‍යාපනය ලබන්නේ ‘උණවටුණේ සිංහල බෞද්ධ මිශ්‍ර පාසැලෙනි’. ඔහු වර්ෂ 1953 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ‘ඉතිහාසය’ විෂය හදාරයි. රණවැල්ලගේ උනන්දුව ‘ශිලා ලේඛන’ සම්බන්ධයෙනි. පසුව ඔහු සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් එවකට විද්‍ේයා්දය විශ්ව විද්‍යාලයට (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) එක් වෙයි. ඒ අතර බි්‍රතාන්‍යයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හදාරයි. රටට ප්‍රසිද්ධ මහාචාර්ය සිරිමල් රණවැල්ල ඉතිහාසඥයෙකි. රුහුණේ ඉතිහාසය සම්බන්ධ විද්වතෙකි. ඔහු ලියූ පර්යේෂණ ග්‍රන්ථ ද ගණනාවකි.
ආචාර්ය එඩ්වින් ආරියදාසයන් ද මුල් අධ්‍යාපනය ලබන්නේ ‘උණවටුණේ සිංහල බෞද්ධ මිශ්‍ර පාසැලෙනි’. ඉන් පසුව උණවටුණේ ‘බොනවිස්ටා විද්‍යාලයෙනි’. එතැනින් ඔහු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වෙයි. එහි දී ඔහු මහාචාර්ය ඊ. එපේ. සී. ලුඩොවයික් මහතා යටතේ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නේ ය. විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසුව ‘එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට’ (ලේක්හවුස්) බැඳුණු ඔහු පුවත්පත් කලාවේදියෙකු වශයෙන් නැගී ආවේය. මාධ්‍ය ගුරුවරයෙකු, විදෙස් විත්ති විචාරකයෙකු, කලා විචාරකයෙකු සහ ලේඛකයෙකු වශයෙන් විවිධ භූමිකාවන්ට පණ දුන්නේ ය. එඩ්වින් ආරියදාස මහතා ප්‍රකටව සිටියේ ‘ඇවිදින විශ්ව කෝෂයක්’ යනුවෙන් මහත් ගරු බුහුමනිනි.
මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා පදිංචිව සිටියේ ගාල්ල නගරයේ ය. ඔහුගේ උපන් ගම, ගාල්ලට නුදුරු ගිංතොට ය. දඩල්ලේ ගා/දේවානම්පියතිස්ස විද්‍යාලයෙන් දෙටුපෙළ සමත් වන බන්දුසේන ගුණසේකර, ‘ආධුනික ගුරුවරයෙකු’ වශයෙන් වර්ෂ 1951 දී වැල්ලේතොට සුගතානන්ද විද්‍යාලයට එක් විය. ඉන් පසුව ගම්පහ, නිට්ටඹුව ගුරු විදුහලට බැඳී වැඩිදුර ගුරු පුහුණුව ලබා, එතැන් සිට ගුරු වෘත්තියෙහි නියැලුණේ ය.
බන්දුසේන ගුණසේකරයන් ඉක්බිති, වැඩිදුර අධ්‍යාපනය පිණීස වර්ෂ 1959 දී ‘ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට’ (වර්තමාන කැළණිය විශ්ව විද්‍යාලය) බැඳුණි. එයින් ඔහු ප්‍රථම උපාධිය ලැබී ය. සිංහල භාෂාව සහ සාහිත්‍ය සම්බන්ධයෙන් ඔහුට තිබුණේ විශාල උනන්දුවකි. හෙතෙම, 1968 දී සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට එක් විණි. පසුව බන්දුසේන ගුණසේකර සූරීහු එහි සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා බවට පත් විය. ඔහු 1971 දී එංගලන්තයට ගොස්, ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ගත්තේ ය. 1985 වසරේ අධි ශිෂ්‍යත්වයක් ලැබ සෝවියට් දේශයට ගිය ගුණසේකර මහතා, එ රට ‘පුෂ්කින් භාෂා අධ්‍යන ආයතනයෙන්’ ද වැඩිදුර අධ්‍යාපනය ලැබී ය. විශ්‍රාම යෑමෙන් පසුව ද ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ උපදේශක මහාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කළේ ය. මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා විසින් රචනාකර ඇති ග්‍රන්ථ සංඛ්‍යාව සියයක් පමණ වේ.
‘සිරස ලක්ෂපති’ දිනූ ‘ශුක්රා මුනව්වර්’ දැරිය උපන් කටුගොඩ ද පිහිටියේ උණවටුණට අයත්ව ය. එය ගාලු දිසාවෙන් බිහිවුණු විද්වතුන්, වියතුන් සහ කලාකරුවන් විශාල පිරිසකගේ ද නිජබිම ය. ගාලු නගරයේ සිට අහංගම දක්වා වෙරළබඩ තීරුව ගත් විට, ගිහි පැවිදි වියතුන් රැසක් මුණ ගැසෙති.
ශ්‍රී ලංකාව් ජල විදුලිබලාගාර නිර්මාණයේ පුරෝගාමියා වූ ඩී. ජේ. විමලසුරේන්ද්‍ර (1874-1953) ඉංජිනේරුවරයා ද, ලොව පතළ විද්‍යාඥයෙකු වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1923-1994), මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914-1996), සංගීතඥයෙකු වූ මොරිස් දහනායක (1935-2013), ළමා කතා හා කාටුන් ශිල්පිනී සිබිල් වෙත්තසිංහ (1928-2020), ලංකාවේ වීදි නාට්‍ය කලාවේ පුරෝගාමියා සේ සැලකෙන මහාචාර්ය ගාමිණී හත්තොටුවේගම (1938-2009) යන විද්වතුන් බිහි වූයේ ද ගාල්ලෙනි. ලංකාවේ ඉංග්‍රීසි නාට්‍ය කලාවේ සහ නූතන නාට්‍ය කලාවේ පුරෝගාමියා සේ සැලකෙන මහාචාර්ය ඊ. එපේ. සී. ලුඩොවයික් මහතා (1906-1985) ද හැදී වැඩුණේ ගාල්ලේ ය.
මුලින් සඳහන් කළ මහාචාර්ය සිරිමල් රණවැල්ල සහ ආචාර්ය එඩ්වින් ආරියදාස දෙපළගේ උපන් බිම ද කොග්ගල සහ උණවටුණ ය. ඊට අමතරව, මහාකවි මිහිරිපැන්නේ ධම්මරතන නාහිමියන් (1768-1851), කොග්ගල පඬිතුමා හෙවත් දොන් අන්ද්‍රයස් ද සිල්වා (1827-1867), මහාචාර්ය සෙනරත් පරණවිතාන (1896-1978), මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ (1890-1976), මහාචාර්ය සේනක විලියම් බිබිලේ (1920-1977), සාහිත්‍යසූරී අරීසෙන් අහුබුදු (1920-2011), හෙළ හවුලේ ද. දු. න. වීරකෝන්, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ (1929-1997), මහාචාර්ය ඩී. වී. ජේ. හරිශ්චන්ද්‍ර (1938-2013), කෝදාගොඩ ඤාණාලෝක නාහිමි, ප්‍රවීණ ලේඛක පී. මලල්ගොඩ (1921-1985), ප්‍රවීණ පුවත්පත් කලාවේදී කිත්සිරි නිමල්ශාන්ත (1956-2002), සර්වෝදයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න (1931), ප්‍රවීණ ලේඛක අනදපිය කුඩාතිහි ඇතුළු විද්වතුන් රැසක් ඒ අතර වේ. ඔවුන් එක්කෝ අහංගම ය. නැතිනම් කතළුවේ ය. කොග්ගල හෝ මිහිරිපැන්නේ ය. නැතිනම් උණවටුණේ ය. මහා පත්‍ර කලාවේදී ඩී. බී. ධනපාලයන් (1905-1971) ද, ගාලු මහින්දයේ ඉගෙන ගන්නා කාලයේ නැවතී සිටියේ ද උණවටුණේ ය. ලෝක ප්‍රකට අභ්‍යවකාශ විද්‍යාඥයෙකු වන ආචාර්ය ආතර් සී. ක්ලාක් ද කලක් උණවටුණේ නිවසක ලැගුම් ගෙන සිටි බව ප්‍රකට ය.
කොග්ගල වෙල්ලාල ජයමහ කවියා, ලේඛක ඒ. ටී. සී. ජිනදාස, විශේෂ`ඥ හෘද උරස් ශල්‍ය වෛද්‍ය, නාමල් ගමගේ, චන්ද්‍රකුමාර වික්‍රමරත්න කවියා (1964-1990), කුමාර හෙට්ටිආරච්චි කවියා, ජන ගී ගායක සමන් ලෙනින් කුමාර, නාටය කලාකරුවෙකු වන පී. එච්. ඩේවිඩ්, සහරිසි කුලතන්තිල කවියා, මිහිරිපැන්නේ කිත්සිරි කුමාරසිංහ කවියා ද උපන්නේ උණවටුණේ හෝ ඒ අවට ගම්වල ය.
මේ ඉසව්වෙන් බිහි වූ ව්‍යාපාරිකයන් ද බොහොම දෙනෙකි. උණවටුණ ‘අමරගිරි වලව්වේ’ වාසය කළ වැවිලිකරුවෙකු වූ මුහන්දිරම් මහේන්ද්‍රපාල තෝමස් ද සිල්වා අමරසූරිය (1847-1907), බඩු භාණ්ඩ අපනයන ව්‍යාපාරයක යෙදුණු පවුලක සාමාජිකයෙකුවූ, ශුක්රා දැරියගේ නිජබිමවූ කටුගොඩ උපන් අල්හාජ් ඒ. ආර්. එම්. තාසිම්, ‘ට්‍රයැඩ්’, ‘දෙරණ මාධ්‍ය ජාලය’, ‘සිට්‍රස් සංචාරක හෝටල් ව්‍යාපාරය’ සහ ‘ජොර්ජ් ස්ටුවට්’ ඇතුළු වෙළෙඳ ව්‍යාපාර ගණනාවක ම හිමිකරුවා වන දිලිත් ජයවීර ද ඔවුන් අතර කැපී පෙනෙයි.
බඩු භාණ්ඩ අපනයන ව්‍යාපාරයක යෙදුණු පවුලක සාමාජිකයෙකුවූ අල්හාජ් ඒ. ආර්. එම්. තාසිම් මහතා, 1909 වසරේ ගාල්ල කටුගොඩ දි උපත ලැබී ය. ඔහු දානපතියෙක් සහ සමාජ සේවකයෙක් හැටියට ද ප්‍රකට වුවෙකි. ගාල්ලේ ‘ඒ. ආර්. අබ්දුල් හමීඩ් සහ පුත්‍රයෝ’ සමාගම ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරය විය. එයින් ගාලු වරාය ඔස්සේ රබර්, කොප්පරා සහ පොල් තෙල් ආදී භාණ්ඩ අපනයනය කෙරිණි.
පසුව තාසිම් මහතා ගාලු නගරසභාව ඔස්සේ දේශපාලනයට ද පිවිසියේ ය. ඔහු වර්ෂ 1950-1951 සහ 1954-1962 යන වකවානුවල ගාල්ලේ නගරාධිපති ධුරය ද හෙබවී ය. හෙතෙම බි්‍රතාන්‍යයේ ‘OBE’ ගරු නාමධාරියෙකි. ගාල්ල, වක්වැල්ල පාරේ පිහිටි ‘තාසිම් ළය රෝහල’ ඉදිකර ඇත්තේ ඔහුගේ ධන පරිත්‍යාගයෙනි. ඒ. ආර්. එම්. තාසිම් මහතා 1963 වර්ෂයේ අභාවප්‍රාප්ත විය. සිරස ලක්ෂපති දිනූ ශුක්රා සහ තාසිම් එක ගමේ ය.
දැනට ගාල්ලේ ඇති පැරණිතම පාසැල ‘රිච්මන්ඩ් විද්‍යාලයයි’. එය ආරම්භ කෙරී ඇත්තේ වර්ෂ 1814 දී ය. ඉන් පසුව ‘රිපන් බාලිකා විද්‍යාලය (1817), ගාලු කොටුවේ ඕල්සේන්ට් විද්‍යාලය (1871), ශාන්ත මේරි විද්‍යාලය (1874), මහින්ද විද්‍යාලය (1892), කළුවැල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලය (1895), ශ්‍රී හෘදය කන්‍යාරාමය (1896) සහ වක්වැල්ල පාරේ සංඝමිත්තා විද්‍යාලය (1919) ද ඇරඹිණි. ගාල්ලෙන් බිහි වුණු උගතුන් අඩු වැඩි වශයෙන් අධ්‍යාපනය ලබා ඇත්තේ මේ පාසැල්වලිනි.
එකල උණවටුනේ ජනප්‍රියතම පාසැල වූයේ ‘බොනවිස්ටා විද්‍යාලයයි’. රූමස්සල කන්දට පිවිසෙන බොනවිස්ටා මාර්ගයේ මද දුරක් ගමන් කළ විට, පැරණි ‘බොනවිස්ටා විද්‍යාලය’ හමුවේ. ‘මිෂනාරී ඉංග්‍රීසි පාසැලක්’ වශයෙන් එය ආරම්භකර ඇත්තේ වර්ෂ 1847 දී ය. එනම් බි්‍රතාන්‍ය පාලන සමයේ ය. පාසැල ආරම්භ කරන්නට පුරෝගාමීවී ඇත්තේ ‘මාක්ස්’ නම් පියතුමෙකි.
ඉංග්‍රීසි බසින් ඉගැන්වීම් කෙරුණු බොනවිස්ටා විද්‍යාලය, එකල ගාලු ප්‍රදේශයේ බොහොම ජනප්‍රිය පාසැලක් විය. එය ‘බොනවිස්ටා ඉංග්‍රීසි පාඨශාලාව’ ලෙස ද හැඳින්විණි. වර්ෂ 1869 දී බොනවිස්ටාව වැඩි දියුණු කළ පාසැලක් බවට පත් විය. පසුකාලීනව එය රජයට පවරා ගනු ගැනුණි. වර්තමානයේ එය රජයේ පාසැලකි.
එකල බොනවිස්ටා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අය අතර, ප්‍රථම ශ්‍රී ලාංකික ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, මහාචාර්ය සෙනරත් පරණවිතාන, හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, සර්වෝදයේ නිර්මාතෘ ඒ. ටී. ආරියරත්න, ජ්‍යෙෂ්ඨ කලාකීර්ති එඩ්වින් ආරියදාස සහ සාහිත්‍ය සූරී අනදපිය කුඩාතිහි ආදී කීර්තිමත් පුද්ගලයන් ද වෙති.
මාල දිවයිනේ හිටපු ජනාධිපති, ‘මව්මූන් අබ්දුල් ගයුම්’ (Mamoon Abdul Gayoom) මහතා ද මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බොනවිස්ටා විද්‍යාලයෙනි. පසුව ඔහු කොළඹ, රාජකීය විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා තිබේ. 1978 වසරේ සිට 2008 වසර දක්වා මාල දිවයිනේ ජනාධිපති ධුරය දැරුවේ ගයුම් මහතා ය.
ගාල්ලේ සිට අහංගම දක්වා වෙරළබඩ තීරුවෙහි උගතුන් රාශියක් බිහි වන්නට, ‘බොනවිස්ටා විද්‍යාලයත්,’ ඒ ඔස්සේ ගාල්ල පුරා හට ගත් අධ්‍යාපනික ප්‍රබෝධයත්, පසුව මහින්ද විද්‍යාලය ආදී බෞද්ධ විද්‍යාල බිහි වීමේ ප්‍රවණතාවයත් හේතුකාරක වන්නට ඇත. අධ්‍යාපනය සම්බන්ධයෙන් කලක පටන් ම ගාල්ලේ පාසැල් අතර පවතින්නේ උග්‍ර තරඟයකි. ගාල්ලේ ජනප්‍රිය පාසැල්වලට යන්නට නො හැකි වන දරුවන් සඳහා පසු කලෙක ලබුදූවේ සිරිධම්ම, සුධර්මා සහ අනුලා ආදී විකල්ප උසස් පාසැල් පවා බිහි විය. මේවාට අමතරව ගම් මට්ටමෙන් ද පාසැල් පද්ධතියක් ක්‍රියාත්මක වේ. ඒ සියල්ල ගාලු ජන සමාජයේ දැනුම් සම්භාරය පෝෂණය කිරීම පිණිස හේතු වී යයි කියන්නට පුළුවන.
උණවටුණේ කටුගොඩ ගමේ උපන්, ගාල්ලේ සුධර්මා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශුක්රා මුනව්වර් දැරිය, ‘සිරස-ලක්ෂපති’ ඔස්සේ පෙන්නුම් කළ දැනුම් සම්භාරය සහ සමාජශීලීත්වය තක්සේරු කළ යුත්තේ කුමන පසුබිමක ද? එය තක්සේරු කළ යුත්තේ ගාල්ලේ සිට අහංගම දක්වා වූ වෙරළබඩ තීරුවෙන් උගතුන් රාශියක් බිහි වුණු පසුබිමක තබමිනි. තමන්ට මේ තරම් දැනුමක් ලැබුණේ පාසැල් පුස්තකාලයේ ඇති පොතපත කියවීමෙන් බව ද ඇය ‘ලක්ෂපති’ වැඩ සටහනේ දී කීවා ය.
ඇය ‘අහම්බයක්’ නො වන්නී, ඒ තීරුවේ අලුත්ම නියෝජනයයි!
2021/02/17
No comments:
Post a Comment