ගින්දුර නිම්නයට ආලෝකය ගෙනා
යුරෝපීය නාවිකයා
ගිං ගඟ |
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-සමන් සී. ලියනගේ සහ දිමුතු නවීන්ද්‍ර)
‘ගිං ගඟ’, පැරණි ව්‍යවහාරයට අනුව ‘ගිම්හ නදියයි’. එය ඇරඹෙන්නේ, රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් රක්වාන ඉසව්වේ, සිංහරාජ වනයට යාබද බුළුතොට කඳුවලිනි. ඉක්බිති එය ගාල්ල දිස්ත‍්‍රික්කයේ හිනිදුම, මාපලගම, නාගොඩ, බද්දේගම සහ වක්වැල්ල ඔස්සේ ගමන්කර, ගාල්ලේ ගිංතොට මෝයෙන් මුහුදට ගලා බසියි. විදේශිකයන් ගාල්ලේ අතීත විසිතුරු ගැන ලියූ ග‍්‍රන්ථ බොහොමයක ගිං ගඟ හඳුන්වා ඇත්තේ ‘ගින්දුර ගංගාව’ (Gindura River)යනුවෙනි.
ගිං ගඟ කිලෝමීටර් 113ක් දිග ගංගාවකි. ගිං ගඟ නිම්නය, අතීතයේ සිට ම බොහොම සරුසාර ජනාවාස ඉසව්වකි. එකල ගඟ ඉහළ පෙදෙස් සහ ගාල්ල නගරය දක්වා බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කෙරුණේ ගිං ගඟේ යාත‍්‍රා කළ ඔරු-පාරු මගිනි. කෙසේ වෙතත්, ඇතැම් වර්ෂා කාලවල ගිං ගඟ උතුරා, ගංවතුර ගලා ගාලූ ගඟබඩ පත්තුවේ ජන ජීවිතය ද ආල-පාළු වෙයි. මේ කාරණය ජන කවියාගේ මුවට නැංවෙන්නේ ‘ගිංතොට නැන්දගෙ දූවරු හින්දයි ගඟබඩ පත්තුව වැනසෙන්නේ’ කියා ය.
වර්ෂ 1974-1982 කාලයේ දී පමණ ගිං ගඟේ ගංවතුර පාලනය පිණිස ‘බන්ට් වේලි’ සහ පොම්පාගාර ඉදි කෙරිණි. එබැවින් වර්තමානයේ ගිං ගඟ දෙගොඩ තලා ගිය ද, ඉස්සර තරම් කරදරයක් නැත්තේ ය.
ගිං ගඟේ මාපලගමින් පහළ බද්දේගම ඔස්සේ ගිංතොට දක්වා වූ භූමි තීරය, ‘ගිං ගඟ පහළ නිම්නය’ යයි හඳුනා ගැනීමේ වරදක් නැත. හල්පාතොට, ගිනිමැල්ලගහ, අම්පේගම, සහ වක්වැල්ල ආදී පෙදෙස් ඊට අයත් වෙයි. ගිං ගඟ පහළ නිම්නයේ බද්දේගම ප‍්‍රදේශය, බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ දී (වර්ෂ 1796-1957) ‘ලන්ඩන් නුවර’ සමග සබැඳියාවක් ඇතිකර ගෙන සිටියේ ය. එය, නිෂ්පාදනය සහ අලෙවිය පිළිබඳ වෙළෙඳ සබැඳියාවකි. ගාලූ වරාය ඔස්සේ ලංකාවට ගොඩ බට එක්තරා බි‍්‍රතාන්‍ය ජාතිකයෙක් එයට පුරෝගාමී වූයේ ය. හෙතෙම, නමින් ‘ජෝර්ජ් වින්ටර්’ ය.
බි‍්‍රතාන්‍ය ලන්ඩනයේ ඉපිද, ලංකාවේ ගාල්ලේ දී සිය දිවිසැරිය හමාර කළ ජෝර්ජ් වින්ටර්, බද්දේගම ඉසව්වේ මෑත කාලීන දියුණුව සම්බන්ධයෙන් අමතක කළ නො හැකි චරිතයකි. ඔහු බද්දේගමට ඉංග‍්‍රීසි බස ද, නවෝත්පාදන දැනුම ද, නව ජනාවාස සමූහයක් ද රැගෙන ආවේ ය!
අතීත පුවත්
ජෝර්ජ් වින්ටර් උපන්නේ වර්ෂ 1798 දී, බි‍්‍රතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ ‘වෝල්වොර්ත්’ (Walworth) නම් ප‍්‍රදේශයේ ය. ඔහුගේ පියා ‘ජේම්ස් වින්ටර්’, ගොඩනැගිලි ඉදි කිරීමේ ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයෙකි. තරුණ වියට එළඹුණු ජෝර්ජ්, වැඩිපුර උනන්දුවක් දක්වන්නේ නාවික ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට ය. පසුව ඔහු ‘විටෝරියා’ නම් භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවෙහි හවුල්කරුවා බවට පත් විය.
ජෝර්ජ් වින්ටර් විවාහ වූයේ ‘සාරා කේ‍්‍රසි’ නම් තරුණියක සමගිනි. ඇය ප‍්‍රංශයේ සිට ලන්ඩනයට සංක‍්‍රමණයවූ වංශාධිපතිවරයෙකු වන ඬේවිඞ් කේ‍්‍රසිගේ දියණියයි.
ජෝර්ජ් වින්ටර්ගේ ව්‍යාපාරික කටයුතු ගැන පැහැදුණු ඬේවිඞ් කේ‍්‍රසි මාමණ්ඩිය, ඔහුට යම් මුදලක් පිරිනැමුවේ ය. එයින් සතුටට පත් ජෝර්ජ් වින්ටර්, දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන් වරාය සමීපයෙන් බඩු ගබඩාවක් මිලයට ගත්තේ ය. එතැන් සිට, දකුණු අප‍්‍රිකාවේ ‘මොසැම්බික්’ රාජ්‍යයේ පටන් ඈත පෙරදිග දක්වා නැව් මගින් වෙළෙඳ බඩු ප‍්‍රවාහනය ආරම්භ කළේ ය. මේ කාලය වන විට ඊජිප්තුව හරහා ‘සූවස් ඇළ’ ඉදි කෙරී තිබුණේ නැත. එබැවින් යුරෝපයේ සිට ඉන්දියන් සාගරය ඔස්සේ ඈත පෙරදිගට ( ඕස්ටේ‍්‍රලියාව දෙසට) යාත‍්‍රා කරන නෞකා අනිවාර්්‍යයෙන් ම දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන් වරාය ඔස්සේ ගමන් කළ යුතු විය. මේ කටයුත්තට බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහය ද ලැබිණි. ටික කලක් වන විට, ජෝර්ජ් වින්ටර් බි‍්‍රතාන්‍යයට අයත් ‘නැගෙනහිර ඉන්දීය වෙළෙඳ සමාගමේ’ නාවික නියෝජිතයෙකු වශයෙන් පත් කෙරිණි.
ලංකාවට පැමිණීම
ජෝර්ජ් වින්ටර් මහතා සිය බිරිඳ වන සාරා කේ‍්‍රසි ද සමග (ජෝර්ජ් වින්ටර් (55)- (1798-1853)/සාරා කේ‍්‍රසි වින්ටර් (93)-1799-1892) ලංකාවට පැමිණියේ 1818 වර්ෂයේ ය. ‘විටෝරියා’ නැව මෙහෙයවමින් ඔහු 1818 වසරේ ජුනි මස 26 වැනි දා ගාල්ලට ගොඩ බැස්සේ ය. ඒ වන විට ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පැවතිණි. ගාල්ල, රටේ ප‍්‍රධාන වාණිජ වරාය විය. ඔහු ගාල්ලට පැමිණියේ බි‍්‍රතාන්‍යයේ මිෂනාරී ආගමික දේවගැතිවරුන් කණ්ඩායමක් ද සමගිනි. එහි නායකත්වය දැරුවේ ‘රොබට් මේයර්’ සහ ‘බෙන්ජමින් වෝඞ්’ යන පියතුමන්ලා ය. බෙන්ජමින් වෝඞ් පියතුමා යාපනයට ගිය අතර, රොබට් මේයර් පියතුමා ගාල්ලේ රැඳුණේ ය.
එකල හිනිදුම, නාගොඩ සහ බද්දේගම ආදී ප‍්‍රදේශවල සිට ගාලූ වරායට බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කෙරුණේ ද, ගාලූ වරායේ සිට එම ප‍්‍රදේශවලට භාණ්ඩ ප‍්‍රවාහනය කෙරුණේ ද ‘ගිං ගඟ’ හෙවත් ‘ගින්දුර ගඟ’ ඔස්සේ ය. ඒ සඳහා ඔරු-පාරු භාවිතා කෙරිණි. ජොර්ජ් වින්ටර් ද, තමන් සමග පැමිණි රොබට් මේයර් පියතුමා ද සමගින් ගිං ගඟ ඔස්සේ රට ඇතුළට යාත‍්‍රා කළේ ය.
ගිං ගඟ (Gindura river) ඔස්සේ ඉහළට යාත‍්‍රා කළ ඔවුහු බද්දේගමට පැමිණියහ. ඉක්බිති එහි පැලපදියම් වූහ. ජොර්ජ් වින්ටර් මුලින් ම පදිංචි වූයේ, වර්තමානයේ බද්දේගම ‘වින්ටර් තොටුපොළ’ නමින් හඳුන්වන ස්ථානයේ ය. ඔහු එහි මුලින් ම ඉදි කළ ‘සනිසයිඞ්’ මන්දිරය අදත් දකින්නට පුළුවන.
හෙතෙම වර්ෂ 1821 දී රොබට් මේයර් පියතුමා සමග එක්ව බද්දේගම ‘ක‍්‍රිස්තුදේව දේවස්ථානය’ ඉදි කරන්නට පුරෝගාමී විය. එය ඉදි කෙරුණේ ‘සනිසයිඞ් මන්දිරයට’ හොඳින් පෙනෙන පල්ලි කන්දේ ය. බද්දේගම ක‍්‍රිස්තු දේවස්ථානය, 1825 දී කල්කටාවේ බිෂොප්වරයා වූ
Reginald Heber විසින් අභිෂේක කරන ලදී. ජෝර්ජ් වින්ටර්, සනිසයිඞ් මන්දිරයේ සිට ගිං ගඟ එහා ඉවුරේ පිහිටි පල්ලි කන්දට යාම්-ඊම් කළේ බෝට්ටුවකිනි. එබැවින් සනිසයිඞ් මන්දිරය අසල ‘වින්ටර් තොටුපොළ’ බිහි විය.
බද්දේගම ක්‍රිස්තු දේවස්ථානයේ පැරණි ගොඩනැගිල්ලක් |
මේ අතර, කිතුණු දේවස්ථානය තුළ ‘ඉංග‍්‍රීසි පන්තියක්’ ආරම්භ කෙරිණි.
වින්ටර්ලාගේ සැබෑ අරමුණ, වතු වැවිලි ආරම්භකර ලාභ ඉපයීම සහ ලංකාවේ ක‍්‍රිස්තියානි ආගම පතුරුවා හැරීම වන්නට ඇත. එහෙත් කිතු සමය පැමිණීම නිසා බද්දේගම ප‍්‍රදේශයට ලැබුණු ඥාණාලෝකය ඉතා විශාල ය. වර්තමාන බද්දේගම, දැන උගත්කමින් ද, බෞද්ධ, ක‍්‍රිස්තියානි සහ හින්දු ආදී වශයෙන් ද ආගමික සාම්‍යයෙන් යුත් පුරවරයකි.
අභිනව දේවස්ථානයේ ඇරඹුණු ඉංග‍්‍රීසි පන්තිය ක‍්‍රමයෙන් දියුණු විය. ඉන් පසුව ‘තල්ගස් කන්ද’ නම් යාබද කඳු ගැටය මත 1821 වසරේ දී මුලින් පිරිමි ළමුන් සඳහා පාසැලක් ඉදි විණි. ඉන් පසුව බාලිකා පාසැලක් ද ඉදි විණි. එය බද්දේගම ක‍්‍රිස්තුදේව විද්‍යාලයේ ආරම්භයයි. ජෝර්ජ් වින්ටර් මේ සියල්ලට උදව් කළේ ය. බද්දේගම ක‍්‍රිස්තුදේව විද්‍යාලය, වර්තමානයේ ගාලූ දිසාවේ ප‍්‍රමුඛතම අධ්‍යාපන ආයතනයකි. රොබට් මේයර් පියතුමා 1846 වසරේ ජූලි මාසයේ දී ස්වර්ගස්ථ විය.
වර්ෂ 1823 වන විට ජොර්ජ් වින්ටර්, බද්දේගමින් කොළඹට පැලපදියම්ව සිටියේ ය. ඔහුගේ ව්‍යාපාරික සමාගම ‘ජෝර්ජ් වින්ටර් සහ සමාගම’ යයි හඳුන්වනු ලැබිණි. එකල ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා ඉන්දියාවේ මදුරාසි නුවරට (වර්තමාන චෙන්නායි) ද සම්බන්ධ විණි. කෙසේ වෙතත් 1825 වසර වන විට, ඔහුගේ ව්‍යාපාර ක‍්‍රමයෙන් අසාර්ථක වෙමින් පැවතුණි. ඔහු යළි කොළඹ ආවේ ය.
ඉන් පසුව කුරුඳු වගාව කෙරෙහි උනන්දු විය. මීගමුවේ පටන් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දක්වා ඔහුගේ කුරුඳු වගාවන් ව්‍යාප්ත විණි. 1925 වසරේ හෙතෙම ‘මස්කට් ඇන්ඞ් යං’ නමැති ව්‍යාපාරික ආයතනය සමග හවුල් විය. 1828 වසර වන විට ‘ජෝර්ජ් වින්ටර් සහ සමාගම’ විසුරුවා හරින්නට යෙදිණි.
වර්ෂ 1834 දී ඇරඹුණු ‘ද කලම්බු ඔබ්සවර් ඇන්ඞ් කොමර්ෂල් ඇඞ්වටයිසර්’, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ස්වාධීන ඉංග‍්‍රීසි පුවත්පතයි. එය මුද්‍රණය කෙරුණේ කොළඹ සිට කටයුතු කළ බි‍්‍රතාන්‍ය ජාතික ව්‍යාපාරිකයන් විසිනි. එහි ආරම්භක කර්තෘවරයා ලෙස සේවය කළේ ජෝර්ජ් වින්ටර් ය. එහි පළ කෙරුණේ එවකට පැවති ආණ්ඩුව විවේචනය වන ප‍්‍රවෘත්ති ය. ටික කලකට පසුව, එනම් 1835 දී වින්ටර් පත්තර කතුකමින් ඉවත් විය. ඉන් පසුව කතුකමට පත් වූයේ ඩාර්ලි බට්ලර් ය. පසුව කොළඹ ව්‍යාපාරිකයෝ 1837 දී පුවත්පත ක‍්‍රිස්ටෝපර් එළියට් නමැත්තාට විකුණා දැමූහ. එතැන් පටන් ඔහු එහි අයිතිකරුවා මෙන් ම, කතුවරයා වශයෙන් ද කටයුතු කළේ ය. ජෝර්ජ් වින්ටර් ආපසු බද්දේගමට ගියේ ය. ඒ, 1841 දී පමණ ය.
(මතු සම්බන්ධයි)
(මෙම ලිපිය 2020/02/23-සති අග අරුණ පුවත්පතේ පළවිය)
No comments:
Post a Comment