බිනර මල් |
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘මහාචාර්ය ඇන්ඩෘ රයිස්මාන්’ (Prof. Andrew Riseman) යනු කැනඩාවේ වැන්කුවර් නුවර පිහිටි ‘බි‍්‍රටිෂ් කොලොම්බියා උද්භිද උද්‍යානය සහ ශාක පර්යේෂණ ආයතනයේ’ සේවය කරන මහාචාර්යවරයෙකි. හෙතෙම විසිතුරු පැලෑටි සහ මල් වර්ග දෙමුහුන් කිරීම පිළිබඳ (Applied Biology and Plant Breeding) ලොව ඉහළම කීර්තියක් උසුලන විද්‍යාඥයෙකි. ඇන්ඩෘ රයිස්මාන් අපේ රටට ද වැදගත් ය. ලංකාවේ වැවෙන, ලංකාවට ආවේණික ‘බිනර (ගිනිහිරියා) ශාක (Exacum)’ විශේෂ ගණනාවක් ම හොරෙන් පන්නා ගෙන ගොස්, වාණිජ පදනමින් අලූත් මල් විශේෂ නිපදවූ තැනැත්තා රයිස්මාන් වීම, ඊට හේතුවයි!
ඒ අර්ථයෙන් ගත් කල මහාචාර්ය ඇන්ඩෘ රයිස්මාන්, ලොව අංක එකේ ජාන සහ ජෛව සම්පත් මංකොල්ලකාරයෙකි. ඉකුත් සතියේ ‘සතිඅග අරුණ’ හෙළි කළ නාඋල, බොබැල්ලේ බිනර ශාකය පවා ඔහු ගෙන් බේරී නැත!
ඇන්ඩෘ රයිස්මාන් |
ලෝක මට්ටමෙන් ඇති පිළිගැනීම අනුව, ශ‍්‍ර‍්‍රී ලංකාව ලොව ජෛව විවිධත්වයෙන් බහුල (උණුසුම්) ස්ථාන අතර 25 වැනියා ය. ලංකාවේ ඇති මල් පිපෙන ශාක විශේෂ සංඛ්‍යාව 3154කි. අපේ රටට ඇති ඉහළ ජෛව විවිධත්වය ලොව පුරා ජාන සහ ජෛව සම්පත් මංකොල්ලකාරයන්ගේ ‘ඇහැට කටු අනින්නාක්’ බඳු ය. ඔවුහු අපේ රටේ ජෛව සම්පත් මංකොල්ල කන්නට නිරන්තරයෙන් ම මාන බලමින් සිටින්නේ ය. ඉකුත් පෙබරවාරි මාසයේ දී ස්ලෝවෙකියානු ජාතිකයන් පස් දෙනෙක් ශාක කොටස් සහ සතුන් දහස් ගණනක් ද සමග සිංහරාජ වනයේ දී කොටු වූහ. එය වුව ද, අපේ රට මුහුණ දී සිටින ජෛව සම්පත් මංකොල්ලයේ දිග-පළල මෙතෙකැයි තේරුම් ගන්නට ප‍්‍රමාණවත් ය. එය එදා මෙදා තුර අපේ රටේ සිදු වුණු විශාලතම ජෛව මංකොල්ලයයි.
ඉකුත් සතියේ නාඋල, බොබැල්ලේ බිනර ශාක ඉසව්ව පිළිබඳව ලියන්නට කරුණු සෙවූ ලියුම්කරුට, තවත් අපූරු කාරණයක් හෙළිදරව් විණි. ලංකාවේ බිනර විශේෂ ගණනාවක් ම දැනටමත් ජෛව සම්පත් මංකොල්ලකාරයන්ගේ අතට පත්වී ඇතැයි යන්න, ඒ කාරණයයි!
‘අපි රටක් හැටියට යමක් නො කළොත් ‘බිනර වර්ග’ හැම එකක් ම වාගේ විදේශික විද්‍යාඥයන්ගේ සාක්කුවලට වැටේවි’, බොබැල්ලේ බිනර සම්බන්ධයෙන් උනන්දු වන පරිසරවේදී ප‍්‍රදීප් සමරවික‍්‍රම කියයි.
උද්භිද විද්‍යාත්මක විග‍්‍රහයන්ට අනුව, ‘බිනර’ හෙවත් ‘ගිනිහිරියා’ අයත් වන්නේ ‘Exacum’ නමැති ශාක කුලයට ය. එයට අයත් ශාක විශේෂ, මැඩගස්කරය, ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව සහ අග්නිදිග ආසියානු රටවල පැතිර පවතියි. බිනර ශාකයෙහි ‘ගණ’ නාමය ‘Gentianceae’ වන අතර, ලොව එයට අයත් ශාක විශේෂ 1550ක් පමණ වෙතැයි උද්භිද විද්‍යාඥයෝ පවසති. ලංකාවෙන් ද ‘බිනර’ විශේෂ අටක් හමු වේ. එයින් විශේෂ හයක් ම, අපේ රටට ආවේණික ය. ‘2012 ජාත්‍යන්තර රතු දත්ත වාර්තාවෙහි’ පළකර ඇති පරිදි, එයින් හයක් ම වඳවී යාමේ තර්ජනයට ලක් වුණු ශාක විශේෂයෝ ය. බොබැල්ලේ බිනර විශේෂය ද එලෙස වඳවී යාමේ අවදානමට ලක් වූවකි.
දේශීය භාවිතාවේ හැටියට, ඇතැම් බිනර ශාකයක් ‘සුදු බිනර’ ය. තවත් ඇතැම් ශාකයක් ‘නිල් බිනර’ ය. සමහර ශාක, ‘මහ බිනර’ යනුවෙන් ද හඳුන්වයි. බිනර, අතිශය අලංකාර පුෂ්පයක් පුබුදුවන ශාකයකි. එහි අලංකාරය කොතෙක් ද යත්, අපේ රටේ දූ දරුවන්ට නම් තැබීමේ දී ‘බිනර’, ‘බිනර මලී’ හෝ ‘බිනරී’ යන වදන් භාවිතා වනු දැකිය හැකි ය. බිනර ශාකය විදෙස් ජාවාරම්කරුවන් අතට යන්නට මුල පුරන්නේ ද, එහි පුෂ්පවල ඇති අලංකාරය නිසා ය.
1990 දශකය මුල් භාගයේ දී ‘ශාක සම්පත්’ පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් කොළඹ දී පැවැත් විණි. එහි දී ලංකාවේ බිනර මල් පිළිබඳ විස්තර ද ඉදිරිපත් කෙරිණි. නෙදර්ලන්ත ජාතික (ඕලන්ද) උද්භිද විද්‍යාඥන් පිරිසක් ද මේ සමුළුවට සහභාගි වෙමින් සිටියහ. ලංකාවේ බිනර පිළිබ`ද විස්තර අසා, ඔවුහු කුල්මත් වූහ. ඉන් පසුව ඔවුහු උපක‍්‍රමශීලීව සමුළුව මග හැරියහ. පෞද්ගලික ගමනක් යන ආකාරයෙන් කෙලින් ම ‘හෝර්ටන්තැන්නට’ ගියහ. ලංකාවේ ‘බිනර’ ශාක සාම්පල් රැස්කර ගෙන ඉක්මණින් ම රටින් පිටව ගියහ!
‘මේක තමයි බිනර හොරකම ගැන පරණ ම සිද්ධිය. ඊට පස්සේ ඒ ගොල්ලෝ නෙදර්ලන්තයේ දී මේක වැඩි දියුණු කළා. ලොකු මලක් එන විදිහට ශාකය වෙනස් කළා. ඊට පස්සේ ‘රෝයල් බ්ලූ’ සහ රෝයල් වයිට්’ කියලා අලූත් නමකුත් දැම්මා. ඔවුන් කළ අලූත් නිෂ්පාදනයට පේටන්ට් බලපත‍්‍ර පවා ගත්තා. බිනර හැදුණු අපේ රටට කිසිවක් නෑ’, එසේ කියන්නේ ශ‍්‍රී ලංකා රේගුවේ, ජෛව විවිධත්ව ඒකකයේ හිටපු ප‍්‍රධානි රේගු අධිකාරී සමන්ත ගුණසේකරය. මේ සිද්ධියත් සමගින් ශ‍්‍රී ලංකාව ජෛව සම්පත් කොල්ලකරුවන්ගේ දැලට හසුව ඇති බව, රටේ අවධානයට ලක් වන්නට වූයේ ය.
එයින් පසුව 1998 දී ඩෙන්මාර්ක් ජාතිකයෙක් වන එරින් රොසන්ඩාල් නමැත්තා ද අපේ බිනර සොරකම්කර ගෙන ගොස් ‘Best rose’ යනුවෙන් නව ශාකයක් නිර්මාණය කළේ ය. ඒ සඳහා ඔහු ඇමරිකානු පේටන්ට් බලපත‍්‍රයක් ද (07/142,590) අයදුම් කළේ ය.
අපේ බිනර මලේ කොල්ලය එතැනින් නතර වුයේ නැත. කොල්ලය සහා ඊළඟට සම්බන්ධ වුයේ කැනඩාවේ, වැන්කුවර් නුවර, බි‍්‍රටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩෘ රයිස්මාන් ය. ඔහු ලංකාවේ බිනර ශාක කොල්ලකමින් දෙමුහුන් මල් වර්ග නිර්මාණය කරන්නේ 2000 දශකය මැද භාගයේ සිට ය. එය අතිශයින් ම සූක්ෂම ශාක මංකොල්ලයකි.
කතාවේ සුලමුල දිග හැරෙන්නේ 1980 දශකයේ මුල් භාගයේ සිට ය. මහාචාර්ය වී. ආරිය සුමනසිංහ මහතා එවකට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකි. කෘෂි ජීව විද්යාවAgricultural Biology) ඔහුගේ විෂය පථයයි. සුමනසිංහ මහතා පශ්චාත් උපාධිය (PHD) හදාරන්නේ 1980 දී ඇමරිකාවේ පෙන්සිල්වේනියා සරසවියෙනි. එහි විෂය පථය ‘Micro Biology’ ය. ඔහු සිය පර්යේෂණය සඳහා තෝරා ගන්නේ ලංකාවේ වැවෙන ‘බිනර’ Exacum) විශේෂ පිළිබඳ මාතෘකාවකි. එහි දී ඔහු ලංකාවේ බිනර විශේෂවල සාම්පල රැස්කර ඇමරිකාවට ගෙන යන්නේ ය. 1986 වසරේ දී ආරිය සුමනසිංහ මහතාගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු හමාර වේ. මේ තොරතුරු සඳහන් වන්නේ ඔහු සම්බන්ධයෙන් අන්තර්ජාලයේ එන ලේඛනවල ය.
ඇන්ඩෘ රයිස්මාන් මහතා ද (වර්තමානයේ මහාචාර්ය ඇන්ඩෘ රයිස්මාන්* උසස් අධ්‍යාපනය ලබන්නේ ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙනි. ඔහු මුලින්ම එහි ඇතුළත් වන්නේ 1984 වර්ෂයේ ය. ඊට පසුව 1997 වසරේ ඔහු සිය පශ්චාත් උපාධිය ලබා ගනියි. දැන් ඔහු විසිතුරු පැලෑටි සහ මල් වර්ග දෙමුහුන් කිරීම පිළිබඳ (Applied Biology and Plant Breeding) ලොව පතළ විද්‍යාඥයෙකි.
අලුතින් නිපදවූ බිනර |
ප‍්‍රසිද්ධව ඇති කතා පුවත්වලට අනුව, ඇන්ඩෘ රයිස්මාන් මහතා ‘නව බිනර මල් ප‍්‍රභේද’ නිර්මාණය කිරීම සඳහා ලංකාවේ බිනර විශේෂ ලබා ගෙන ඇත්තේ, ආරිය සුමනසිංහ මහතා සිය පර්යේෂණ කටයුතු සඳහා ලංකාවෙන් ඇමරිකාවට ගෙන ගිය ශාක සාම්පලයෙනි. රයිස්මාන් මහතා ඒවා විද්‍යාගාරයේ දී බෝකර ගත් බව කියනු ලැබේ! ඒ අනුව මතුපිටින් නම් පෙනී යන්නේ, ඇන්ඩෘ රයිස්මාන් මහතාගේ ‘නව බිනර’ නිර්මාණවලට සුමනසිංහ මහතාගේ සම්බන්ධයක් නැති බවයි.
එහෙත් මේ කාරණය සැක සහිත බව, ලංකාවේ බිනර සම්බන්ධයෙන් පළවී ඇති පර්යේෂණ වාර්තා සහ පේටන්ට් බලපත‍්‍ර අධ්‍යනය කරන විට පෙනී යයි!
මහාචාර්ය ඇන්ඩෘ රයිස්මාන් මහතා ‘නව බිනර මල් ප‍්‍රභේද’ දෙමුහුන් කිරීම සඳහා භාවිතා කළ ශ‍්‍රී ලංකාවේ බිනර විශේෂ පහක් භාවිතාකර තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත්කර ඇති අංක ‘US2008$0028491 A1-An Exacum Hybrid’ පේටන්ට් බලපත‍්‍ර අයදුම්පත අනුව, ‘E. pedunculatum’’ (නිල් බිනර-ලංකාව (බොබැල්ල) සහ ඉන්දියාව), ‘E. macranthum’ (උප විශේෂය/මහ බිනර-ලංකාවට ආවේණික), ‘E. pallidum’ (නිල් බිනර/ගිනිහිරිය-ලංකාවට ආවේණික), ‘E. trinervium’ (නිල් බිනර/ගිනිහිරිය-ලංකාවට ආවේණික), ‘E. ritigalensis’ (උප විශේෂය/නිල් බිනර-ලංකාවට ආවේණික) යනුවෙන් ලංකාවේ වැවෙන බිනර විශේෂ පහක් භාවිතාකර තිබේ.
මින් ‘E. pedunculatum’ නම් නිල් බිනර විශේෂය සොයා ගෙන ඇත්තේ දඹුල්ලේ ‘ලෙනදොර’ සහ නාඋල, ‘බොබැල්ල’ යන ප‍්‍රදේශවලිනි. ‘E. macranthum’ උප විශේෂය, මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් ලෙනදොර, ඉලූක්කුඹුර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයට අයත් අඹේවෙල යන ප‍්‍රදේශවලින් ද, ‘E. trinervium’ විශේෂය කළුතර දිස්ත‍්‍රික්කයට අයත් හෙවෙස්ස, හොරකැලේ සහ පැලවත්ත, රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් කරවිට, සිංහරාජය යන ප‍්‍රදේශවලින් ද, මහනුවර දිස්ත‍්‍රික්කයට අයත් නකල්ස්, කෝබට් කපොල්ල (අට්ටලමෙට්ටුව) යන ප‍්‍රදේශවලින් ද රැස්කර ගෙන ඇත. ‘E. ritigalensis’ නම් නිල් බිනර උප විශේෂය, මහනුවර දිස්ත‍්‍රික්කයේ දන්තුරේ, ලූල්වත්ත, මාඩුගොඩ, හන්තාන යන පෙදෙස්වලින් ද, කෑගල්ල දිස්ත‍්‍රික්කයට අයත් දොළොස්බාගේ සහ මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් ඉලූක්කුඹුර ප‍්‍රදේශයෙන් ද රැස්කර ගෙන ඇත. මේ තොරතුරු සඳහන් වන්නේ, ‘www.researchgate.net’ නම් වෙබ් අඩවියෙහි ඇන්ඩෘ රයිස්මාන් මහතා පළ කළ වාර්තාවක ය.
ලංකාවේ බිනර ශාක විශේෂ පහක් දෙමුහුන් කිරීමෙන්, රයිස්මාන් මහතා නව විසිතුරු බිනර ශාක විශේෂ ගණනාවක් නිපදවා තිබේ. ඒවා හඳුන්වන්නේ ‘Styer Group’ යනුවෙනි. ඔවුන් මෙම කටයුත්ත සිදුකර ඇත්තේ 2005 වසරේ දී ය. දැන් ඒවා ‘මල් පැල බඳුන්’ වශයෙන් ලොව පුරා අලෙවි වෙයි. එයින් උපයන මුදල් යන්නේ ඇන්ඩෘ රයිස්මාන්ලාගේ සාක්කුවට ය! ශ‍්‍රී ලංකාවට එක සතයක්වත් නැත.
රයිස්මාන් මහතා බිනර සම්බන්ධයෙන් පළකර ඇති පර්යේෂණ පත‍්‍රිකා ගණනාවක ම, ආරිය සුමනසිංහ මහතාගේ නම ද සඳහන් වෙයි. ඔවුන් එකට පර්යේෂණ කළ බව එයින් පෙනී යයි. ‘International
Journal of Plant Science’ සඟරාවේ 2006 මාර්තු කලාපයේ පළකර ඇති ‘Cytology,
Crossability, and Pollen Fertility of Sri Lankan Exacum (Gentianaceae) and
Their Hybrids’ නම් ලියවිල්ල ඊට නිදසුනකි. ‘Hortscience 40(5)
1580-1583-2005’ ජාත්‍යන්තර සඟරාවේ ‘New Name ‘Styer Group’
Proposed for Interspecific Hybrids of Exacum Species Native to Sri Lanka’ යන ලියවිල්ල තවත් නිදසුනකි. 2015 වර්ෂයේ පළ කෙරුණු, ‘Jan j.
Rybczynski/Michal R.Davey/Anna Mikula’ සංස්කරණය කළ ‘The
Gentianaceae/Vol-2-Biotechnology (Springer)-නම් ග‍්‍රන්ථයේ 396 වැනි පිටුව ‘Styer
Group’ ගැන දක්වා ඇත. ‘Prof. Andrew Riseman-Exacum-Sri
lanka’ යනුවෙන් අන්තර්ජාලයේ විපරම් කළ විට ඔවුන්ගේ නම් ස`දහන් පර්යේෂණ පත‍්‍රිකා රාශියක් හමු වේ!
අලුත් බිනර |
කෙසේ වෙතත් මේ පිළිබඳව විමසීම සඳහා මහාචාර්ය වී. ඒ. සුමනසිංහ මහතාට දුරකතනයෙන් අමතන්නට කළ උත්සාහය ව්‍යවර්ථ විය.
පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසන අන්දමට, මහාචාර්ය ඇන්ඩෘ රයිස්මාන් මහතා ගෙන් ශ‍්‍රී ලංකාවට සිදුව ඇත්තේ බරපතල හානියකි. ඔහු ඉදිරිපත්කර ඇති අංක ‘US2008/0028491 A1-An Exඳacum Hybrid’ පේටන්ට් බලපත‍්‍ර අයදුම්පත අනුව, පර්යේෂණ සඳහා ලංකාවෙන් දායක කර ගත් බිනර විශේෂ පහේ ම පේටන්ට් අයිතියට ඔවුන් හිමිකම් කියති. එසේ කරන්නේ බිනර විශේෂ පහේ ම, දෙමුහුන් කිරීමේ අයිතියට සහ එයින් නව නිෂ්පාදන කිරීමේ අයිතියට හිමිකම් ඉල්ලා සිටීමෙනි. මේ බව පේටන්ට් අයදුම්පතෙහි 28 වැනි පිටුවේ සඳහන්කර ඇතැයි ජගත් ගුණවර්ධන මහතා කියයි. ඔහු පවසන අන්දමට, එහි ‘හිමිකම් ප‍්‍රකාශන’ 16ක් දක්වා තිබේ.
දැන් ඉතින් අපේ ම බිනර මල් ආශ‍්‍රයෙන් නව නිර්මාණ කරන්නේ නම් මහාචාර්ය ඇන්ඩෘ රයිස්මාන් ගෙන් අවසර ලබා ගත යුතු ය!
------------------------------------------
------------------------------------------
(මෙම ලිපිය 2019/09/01 දින සතිඅග අරුණ පුවත්පතෙහි පළවිය)
No comments:
Post a Comment