Total Pageviews

Wednesday, May 15, 2019

සමනල පේ‍්‍රමවන්තයන්ගේ ලෝකය


සමරිසියන් නො වන, කපටි කෛරාටික,

සමනල පේ‍්‍රමවන්තයන්ගේ ලෝකය
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘සමනලයන්‘ යනු ස්වාභාවික පරිසරයේ දි බොහොම උපක‍්‍රමශීලීව හැසිරෙන සත්ත්ව කොට්ඨාශයකි. උන් ගෙන් ඇතැමෙක් මහත් කපටි කෛරාටිකයෝ ය. තවත් සමහරෙක් වෙස්වළා ගැනීමෙහි අති දක්ෂයෝ ය. සමහර සමනලයින් බොහොම හො පේ‍්‍රමවන්තයෝ ය. ස්වාභාවික පරිසරයේ අලංකරණය මෙන් ම, බව භෝග පරාගනය සම්බන්ධයෙන් ද උන් කරන මෙහෙවර ගැන සිතන විට, සමනලයන්ගේ කපටි කෛරාටිකකම් අමතකකර දමන්නට පුළුවන!





සමාජයේ බොහොම දෙනෙක් සිතන්නේ සමනලයන්ගේ ලස්සන ගැන විතර ය. එහෙත් උන්, ස්වාභාවික පරිසරයේ යහපත්කම මනින මාපකයක් බව වැඩි දෙනෙක් නො දනිති. යම් පරිසර පද්ධතියක සමනලූන් වැඩිපුර දැකිය හැකි නම්, එය මනුෂ්‍යයන් ඇතුළු ජීවීන්ගේ පැවැත්ම ස`දහා බෙහෙවින් හිතකර පරිසරයක් බව සාමාන්‍ය පිළිගැනීමයි. ගහ කොල, ඇළ-දොළ, බව භෝග සහ මල් සම්පත ආදී වශයෙන් පරිසරයේ තත්ත්වය යහපත් නම් සමනලයන්ට එහි විසිය හැකි ය. නැතිනම් උන් වෙනත් ඉසව්වකට පිටමංව යන්නෝ ය. 

වැඩි කතාබහකට ලක් නො වුව ද, මේ සමනලූන් සිරීපාදේ යන කාලයයි. මෙවර ශ‍්‍රීපාද වන්දනා වාරය ඇරඹුණේ 2018 දෙසැම්බර් මාසයේ උඳුවප් පුර පොහොයෙනි. දැන් ගෙවී යන්නේ, වන්දනා වාරය ආරම්භ වීමෙන් ඉක්බිති එළඹෙන පස්වැනි මාසයයි. එනම් මැයි මාසයයි. මැයි හෙවත් හෙට අනිද්දාට එළඹෙන වෙසක් පුර පොහොය දිනයෙන් ශ‍්‍රීපාද වන්දනා වාරය ද නිමාවට පත් වේ. එහෙත් මෙවර ශ‍්‍රීපාද වන්දනා වාරයේ දී සමනලූන් රංචු පිටින් සිරීපාදේ යන බවක් කතාබහට ආවේ නැත!

වෙනදා නම් සමනලයන් සිය  දහස් ගණන් ‘සිරීපාද වන්දනාවේ යාම‘ සුලභ දර්ශනයකි. ඒ කාලයට වැඩියෙන් ම දැක ගත හැක්කේ සුදු සහ කහපාට සමනලයන් ය. උන් බොහොම දුකසේ පියාඹා, සිරිපා වැ මියයන බවත්, එසැණින් දෙව්ලොව උපදින බවත් ජන වහරෙහි එයි. රටේ කොතැනක සිට බැලූව ද, සිරිපා වන්දනා සමයට රටේ හතර වටකරින් ම සමනලයන් පියා සලන්නේ ශ‍්‍රීපාදස්ථානය ද අයත් වන මධ්‍යම කඳුකරය දෙසට ය. එබැවින් උන් සිරිපා වැ පුදා ගන්නට යන බව ජන වහරෙහි කියැවෙන්නේ අනාදිමත් කාලයක සිට ය. අතිශයින් ම අසාමාන්‍ය ලෙස, මෙවර උන්ට සිරිපා වන්දනාව අමතක වූවා වත් ද?

‘දැන් කලක පටන් ම සමනලයන් අඩු බවක් දකින්නට පුළුවන් ‘එසේ කියන්නේ සුප‍්‍රකට සමනල පර්යේෂකයෙකු වන රාජික ගමගේ මහතා ය.
සමනලූන්ගේ ලෝකය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිවී ඇති තොරතුරු අනුව, ලොව වෙසෙන සමනල විශේෂ සංඛ්‍යාව 24,000ක් පමණ වේ. එයින් ලංකාවෙන් හමුවන සමනල විශේෂ සංඛ්‍යාව 247ක් පමණ වෙයි. උන් කුල හයකට අයත් ය. ලංකාවෙන් හමුවන සමනලූන් අතරින් විශේෂ 23ක් ලංකාවට ආවේණික ය. එසේම, ලංකාවේ සමනල විශේෂ අතරින් වැඩිම සංඛ්‍යාවක් හමු වන්නේ ද තෙත් කලාපීය ප‍්‍රදේශවලිනි.

පර්යේෂකයන් පවසන අන්දමට අපේ රටේ සමනල ගහනය අඩු වීම, අහම්බෙන් ඇති වුණු තත්ත්වයක් නො වේ. ඊට බලපා ඇති හේතු ගණනාවකි. ඒවා අතර මුල් තැනට එන්නේ, සමනලයන් බෝවෙන ශාක මෙන්ම, උන්ට ‘මල් පැණි‘ ආහාර සැපයෙන ශාක විශේෂවල ගහනය ද ක‍්‍රමයෙන් අඩුවී යාමයි. එයට අමතරව, මිනිස් ක‍්‍රියාකාරකම් නිසා වනාන්තර ප‍්‍රමාණය අඩුවී යාම සහ අධික ලෙස කෘෂි රසායන භාවිතය නිසා ඇතිවන තත්ත්වයන් ද සමනල ගහනය අඩුවී යාම කෙරෙහි බලපායි. ගෝලීය දේශගුණ විපර්යාස නිසා හට ගන්නා තත්ත්වයන් ද සමනලූන් ගේ පැවැත්මට අහිතකර වන අවස්ථා තිබේ.

රාජික ගමගේ මහතා මේ කාරණය විස්තර කරන්නේ මෙසේ ය.
‘රටේ වියලි කලාපීය ප‍්‍රදේශ බොහොමයක දැන් කලක පටන් ම, ‘ගිනි ග්‍රාස්‘ කියන ආක‍්‍රමණික තෘණ ශාක විශේෂය පැතිරිලා. මේක උසයි. ඒ නිසා සමනලයන්ගේ බෝ වීම සහ ආහාරවලට ගැනෙන මිටි ශාක ‘ගිනි ග‍්‍රාස්වලින්‘ වැසී යනවා. එයින් සමනලයන්ගේ බිත්තර දැමීම සහ මල් පැණි ආහාර සැපයුමට බාධා පැමිණෙනවා‘

වැඩි දෙනෙක් නො දැන සිටියාට, සමනලයන් ගැන සෙවුම් බැලූම් කරන පර්යේෂකයන්ගේ ලෝකයෙහි ‘සමනල ගස්‘ කියා ව්‍යවහාරයක් තිබේ. එහි තේරුම, සමනලයන්ගේ බෝ වීම සහ යැපීම (ආහාර) කෙරෙහි බලපාන ශාක විශේෂ‘ යන්නයි. සමනලයන් වැඩිපුර ම ප‍්‍රිය කරන්නේ ලඳු කැලෑ සහිත ප‍්‍රදේශ ය. ඒවායෙහි වැවෙන මිටි පඳුරු ශාක, එක් අතකින් උන්ගේ බිත්තර දැමීම සහා භාවිතා වේ. තවත් අතකින්, එයින් මල් පැණි ආහාර‘ ලැබේ. දැන් බොහොමයක් තැන්වල ගිනි ග‍්‍රාස් මිස, ඳු කැලෑ නැත. ගම්වල ගෙවතුවල ද ඇත්තේ මල් පිපෙන ශාක නොව, මල් නො පිපෙන ‘විසිතුරු ශාකයන්‘ ය. මෙබඳු තත්ත්වයන් ද සමනල සංහතියේ පැවැත්මට හානි පමුණුවයි.

රටේ වියලි කලාපයේ හෝ වේවා, තෙත් කලාපයේ හෝ වේවා සමනලූන්ගේ දිවි සැරිය ඇරඹෙන්නේ නිරිත දිග සහ ඊසාන දිග මෝසම් වර්ෂා කාල පදනම්කර ගනිමිනි. ඒ අනුව, තෙත් කලාපීය ප‍්‍රදේශවල සමනල ජීවිතය දිග හැරෙන්නේ, නිරිත දිග මෝසම් වර්ෂාව එළඹෙන මැයි සහ සැප්තැම්බර් මාසවලින් පසුව ය. වියලි කලාපීය ප‍්‍රදේශවල නම් ඊසාන දිග මෝසම් වර්ෂාව එළඹෙන දෙසැම්බර් සහ පෙබරවාරි මාසවලින් පසුව ය.

‘සාමාන්‍යයෙන් මෝසම් වර්ෂා කාල එළඹෙන්නට පෙර වියලි කාලගුණ තත්ත්වයක්, නැතිනම් ඉඩෝර තත්ත්වයක් දැකිය හැකියි. ඊට පස්සේ මෝසම් වැස්ස එනවා. මෝසම් වැස්සත් එක්ක ගහකොල අලූත් පණක් ගහලා, කොල-දළු දාලා සරුසාර බවක් ඇති වෙනවා. සමනල්ලූ බිත්තර දමන්නේ මේ කාලයට යි. වියලි කලාපේ නම්, උන් බුරුත, වීර, ඇහැල, දිවුල්, බෙලි,, වා, තෝර කුලයේ ශාක (ඇත් තෝර, පෙති තෝර ආදී),  එරමිණියා, වෙල්ලන්ගිරිය, වල් කරපිංචා, සස්ස, කිරි අගුණ, කටුපිල සහ ලූණුවරණ වගේ ශාක වර්ගවල පත‍්‍ර යටි පැත්තේ බිත්තර දානවා. තෙත් කලාපේ නම්, උන් බෝඹු, උගුරැස්ස, බෝ මී, කතුරුමුරුංගා, මඩු, අක්කපාන, රත්මල්, කහ-ඉඟුරු, අනෝදා වර්ග, ඳුපියලිය, අරත්ත, කහඹිලියා සහ දෙහි-දොඩම් ආදී ශාක වර්ගවල පත‍්‍ර යටි පැත්තේත් බිත්තර දානවා. එතැනින් තමයි සමනලයන්ගේ ජීවිතය ආරම්භ වන්න්‘ යයි රාජික ගමගේ මහතා පවසන්නේ, සිය නිරික්ෂණ ගෙන හැර පාමිනි.

සමනලයන් බෝවීමට ආධාර වන සමහර ශාක, තෙත් කලාපයේ මෙන් ම වියලි කලාපයේ ද සරුවට වැඩෙනු දැකිය හැකි ය. ඇහැල, කටුපිල, සස්ස, තෝර ආදිය ඉන් කිහිපයකි.

සමනලයන්ගේ ජීවන චක‍්‍රයේ අවස්ථා හතරක් තිබේ.  මුලින්ම බිත්තර අවස්ථාව ය. ඊළ`ගට, බිත්තර පිපිරීමෙන් පසුව එළඹෙන ‘පිලවා‘ හෙවත් දළඹුවාගේ අවස්ථාවයි. ඉන් පසුව දළඹුවාගේ කෝෂ අවස්ථාව එළඹෙයි. අප පරිසරයේ දී අලංකාරයට දකින සමනලයන් බිහිවන්නේ කෝෂ අවස්ථාවෙන් පසුව ය.

සමනල පිලවුන් හෙවත් දළඹුවන් වූ කලී, උග‍්‍ර බඩගිනිකාරයන් ය. තමන් රැ`දී සිටින ශාකයේ කොල-දළු වේගයෙන් කා දැමීම, උන්ගේ සිරිතයි. මහජනයා අතර මේ කාරණය විස්තර කෙරෙන්නේ, ‘ගහේ කොල පණුවෝ කනවා‘ යනුවෙනි. ශක්තිමත් සමනල පරපුරක් බිහි වන්නට නම් සමනල ‘පිලවා‘ හෙවත් ‘දළඹුවා‘ හොඳින් වැඞී සිටිය යුතු ය. සොබාදහම, උන් බිත්තර දමන වකවානුව මෝසම් වැසි කාලවලින් පසුව එළඹෙන්නට සලස්වා ඇත්තේ මේ කාරණය නිසා ය.  මෝසම් වැසි සමයත් සමගම,  වනය නව දළු කොල පුබුදමින් සරුසාර වේ. වියලි කලාපයේ වැව් පිටිවල තෝර කොල, කටුපිල ආදී උසින් අඩු ශාක වර්ග වේගයෙන් වර්ධනය වේ. ඒ කොල-දළු රැල්ල, අලූත බිහිවන බඩගිනිකාර දළඹුවන්ට ආහාර පිණිස ම වෙයි.

‘හැබැයි කාලගුණ වෙනස්කම් නිසා මේ චක‍්‍රය බි වැටෙන්න පුළුවන්. දැන් බොහොමයක් අවස්ථාවල වර්ෂා කාල බොහොම කෙටියි. වර්ෂාව හොට තිබුණොත් තමයි ගස්වල කොල-දළු ලියලා වැඩෙන්නේ. ඒත් කෙටි වර්ෂාකාල ආවාම, සමනලූන් බිත්තර දාන අවස්ථාවෙදි ඉඩෝරයක් එන්න පුළුවන්. එයින් බිත්තර වේලිලා යන්න පුළුවන්. ඉතින් සමනලූන් බිහිවීම අඩු වෙනවා‘, රාජික ගමගේ මහතා පවසයි.

සමනල දළඹුවන් යනු, බොහොම ඉක්මණින් කුරුල්ලන් බඳු විලෝපික සතුන්ට ගොදුරු වීමේ අවදානමක් ඇති සතුන් ය. එබැවින් උන් දිවි රැක ගැනීම සහා විවිධාකාර ස්වරූපවලට  අනුවර්තනය වීමට හුරුවී සිටිති. වර්ණය වෙනස්කර ගැනීම, වර්ණ රටාව වෙනස්කර ගැනීම සහ පරිසරයේ ම කොටසක් ලෙස වෙස්වළා ගැනීම ඉන් ප‍්‍රධාන ය.

ඇතැම් වර්ගයක සමනල දළඹුවන් ශාක පත‍්‍ර මත රැඳී සිටින්නේ ‘කුරුළු වසුරු පිඩක‘ ස්වරූපයෙන් වෙස් මාරුකර ගනිමිනි. එයින් කුරුල්ලන් නො මග යැවීමට උන් හපන්නු ය. තවත් දළඹුවෙක් උන්ගේ හිස කොටස ‘සර්පයෙකුගේ හැඩයට‘ සකස්කර ගනී. ඇතැම් සමනලයන් හෝ දළඹුවන් සිය වර්ණ රටා මගින් බිහිසුණු පෙනුමක් ඇතිකර ගන්නෝ ය. කෝෂ අවස්ථාවේ පසුවන තවත් සමහර දළඹුවන් ඔවුන් සිටින ශාකයේ කොලයක් හෝ දල්ලක් වැනි වෙස් මාරුවක යෙදෙනු පෙනෙයි. ඇතැමෙක්  වියලී ගිය පොත්තක් හෝ කෝටු කැබැල්ලක් වැනි ය. කෝෂ අවස්ථාවේ දී උන් අජීවී ලක්ෂණ පෙන්නුම් කරන්නෝ ය.

මෝසම් වර්ෂා කාලවලට පෙර එළඹෙන වියලි වකවානු, සමනලයන්ගේ ‘අභිජනන සමය‘ සේ සැලකෙයි. වියලි වකවානුවල සමනලයන් විශාල වශයෙන් එළිමහනෙහි ගැවසෙනු ද පෙනෙයි. එය උන් සහකාරියන් හෝ සහකාරයන් සොයා පියා සැලීමේ චර්යාවකි. රාජික ගමගේ මහතා පවසන අන්දමට, සමනලයන්  ‘සිරිපා වන්දනාවේ යාම‘ ද එවැන්නකි!

මෙවර එතරම් දකින්නට නො ලැබුණ ද, සෑම වසරක ම පාහේ දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාසවල ‘සුදු සමනලයන්‘ දහස් ගණන් ලංකාවේ මධ්‍යම කඳුකරය දෙසට පියා සලනු පෙනෙයි. එය රටට වියලි කාලගුණයක් එළඹෙන සමයකි. සම්ප‍්‍රදායිකව ශ‍්‍රීපාද වන්දනා සමය ඇරඹෙන්නේ ද ඒ කාලයට ය. එබැවින් මහජනයා සිතන්නේ උන් සිරිපා වන්දනාවේ යතියි කියා ය! එය ඇත්තක් ද? යන්න ගැන සාකච්ඡා කළ යුත්තේ, සත්ත්ව විද්‍යාත්මක පදනමක පිහිටමිනි. මෙය එක්තරා ආකාරයකට  ‘සමනල සංක‍්‍රමණයකි‘.

ඇත්තටම සමනලයන් ඇදී යන්නේ සිරිපා හිමයට ද? එසේ නම් ඒ කුමක් පිණිස ද? යන්න, තවම හරිහැටි නො විසඳුණු කාරණයකි! ඒ සම්බන්ධයෙන් තවම ප‍්‍රමාණවත් තරම් පර්යේෂණ කෙරී නැතිකම, ඊට හේතුවයි. කෙසේ වෙතත් රටේ බොහොමයක් ප‍්‍රදේශවලට පෙනෙන්නේ, උන් කඳුකරය දෙසට ඇදී යන බවයි. අනෙක රංචු ගැසී පියාඹා යනු පෙනෙන්නේ වැඩිපුරම සුදු පැහැති සමනලයන් ය. උන් ගෙන් වැඩි දෙනෙක් ‘පියරිඬේ‘ නම් සමනල කුලයට අයත් වෙති.

මේ සමනල සංක‍්‍රමණය සිදුවන වකවානුව උන්ගේ අභිජනන සමයයි. එනම් සිය වර්ගයා බෝ කිරීමට කටයුතු යෙදෙන කාල වකවානුවයි. ගැහැනු සතුන් මෙසේ සංක‍්‍රමණයෙහි යෙදෙන්නේ, ඇතැම් විට ශක්තිමත් පිරිමි සමනලයෙකු තෝරා ගැනීම පිණිස විය යුතු ය. (එය ගැහැනු සමනලූන්ගේ උපක‍්‍රමයක් වන්නට ද පුළුවන.)  පිරිමි සමනලූන් විශාල ලෙස උන් පසුපස හඹා යති. එය අපට පෙනන්නේ සමනල රෑන් රෑන් දහස් ගණන් කඳුකරය දෙසට පියාඹා යෑමක් ලෙසිනි. ජන වහරේ එන හැටියට නම් ‘සමනලූන් සිරීපාදේ යාමක්‘ වශයෙනි.

ශ‍්‍රී ලංකාවේ වෙසෙන සමනල විශේෂ 247ක් අතරින්, විශේෂ 56ක් පමණ සිරිපා සමයට සංක‍්‍රමණයේ යෙදෙනු දැකිය හැකි ය. සංක‍්‍රමණයෙහි යෙදෙන සමනලූන් ගෙන් බහුතරය පිරිමි සතුන් ය. සාමාන්‍යයෙන් පිරිමි සතුන් පස් දෙනෙකුට, එක් ගැහැනු සතෙක් පමණ නිරීක්ෂණය කළ හැකි ය. එක් ගැහැනු සතෙක් වටා පිරිමි සමනලූන් කිහිප දෙනෙක් පියා සලනු ද පෙනෙයි.  මෙවර සිරිපා වන්දනා සමයේ දී එවන්  ‘සමනල පේ‍්‍රමයක්‘ දැක ගත හැකි වූයේ නැත.

වර්තමාන ජන වහරෙහි ‘සමනලයා‘ යන්න පර්යාය අරුත් ජනිතකර වන්නකි. එයින් ඉගිලෙන සමනලයන් පමණක් නොව, ‘අහිංසකයා‘ හෝ ‘ළාබාලයා‘ වැනි අරුත් ද ධ්වනිත වෙයි. ඊට අමතරව, වර්තමාන සමාජයේ  දී ‘සමනලයන්‘ යන වචනයෙන් ‘සමරිසියන්‘ හෙවත් ‘සම ලිංගික චර්යාවෙහි‘ ඇළුම් කරන්නන් ද හැඳින්වෙයි!

‘මේක හරි ප‍්‍රශ්නයක්. සමනලයන් උන්ගේ ජීවන චර්යාවෙදි ‘සම ලිංගිකයන්‘ නෙවෙයි. උන් ඔය  අභිජන කාලයට කඳුකරයට කරන සංක‍්‍රමණයෙන් ම ඒක පේනවා. සමරිසි අය හඳුන්වන්න මේ නම කොහෙන් ආවා ද මන්දා. දැන් සමහර අය සමනලයන් ගැන කතා කරන කොටත් බලන්නේ ටිකක් වපර ඇහෙන්, රාජික ගමගේ මහතා කියන්නේ කණස්සල්ලෙනි!

(මෙම ලිපිය 2019-05-12 දින සති අග අරුණ පුවත්පතේ පළවිය)








No comments:

Post a Comment