හුදී ජන සහෘදයින් වෙනුවෙන් සිංහලෙන් පළ කෙරෙන, ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ සඟරාමය අන්තර්ජාල කතිකාව-krishnawijebandara@gmail.com (වස-විස නැති දේශීය ගොවිතැනක් සඳහා-masuranbath.blogspot.com පිවිසෙන්න.)
Total Pageviews
Wednesday, April 10, 2019
උණුසුම සැරයි-වන අලි ගම් වදිනවා ගෙම්බන් වේලිලා මැරිලා යනවා මධ්‍යම කඳුකරයේ කැලෑ මැරි මැරී යනවා
උණුසුම සැරයි-වන අලි ගම් වදිනවා
ගෙම්බන් වේලිලා මැරිලා යනවා
මධ්‍යම කඳුකරයේ කැලෑ මැරි මැරී යනවා
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පසුගිය දිනයක (මාර්තු 25) අපූරු නිරීක්ෂණයක් කළේ ය. එදා දහවල් 12.00ට පමණ ඔහු කොළඹ, බත්තරමුල්ලේ මධ්‍යම පරිසර අධිකාරියේ සිටිය දී උෂ්ණත්වය සෙල්සියස් අංශක 33කි. දහවල් 12.30ට පමණ, ඊට මදක් නුදුරු රාජගිරියේ දී උෂ්ණත්වය සෙල්සියස් අංශක 36කි!
මේ ආකාරයට, අංශක තුනක උෂ්ණත්ව වෙනස පෙන්නුම් කළේ කොළඹ නගරයේ බොහොම ළඟ ළඟ ස්ථාන දෙකක ය. මධ්‍යම පරිසර අධිකාරිය පිහිටි බත්තරමුල්ලේ රොබට් ගුණවර්ධන මාවත ඉසව්වේ ගස් කොලන් බොහොම තිබෙනවා ය. එහෙත් ඊට නුදුරු රාජගිරියේ ගස් කොලන් අඩු ය. ගස් කොලන් වෙනුවට එහි වැඩිපුර ම ඇත්තේ කොන්ක‍්‍රීට් ගොඩනැගිලි හෝ කොන්ක‍්‍රීට් ඉදි කිරීම් ය. ඒවා ඉක්මණින් රත් වෙයි. එයින් පරිසරයේ උෂ්ණත්වය ද වැඩි වෙයි!
දැන් රටපුරා පවතින්නේ අතිශයින් ම උණුසුම් සහගත කාලගුණයකි. පරිසරයේ උෂ්ණත්වය කොතෙක් අධික ද යත්, දහවල් කාලයට එළියේ පහළියේ ඉන්නට ද බැරි තරම් රස්නයක් දැනෙයි! මේ උණුසුම් සහගත තත්ත්වය මනුෂ්‍යයන්ට මෙන් ම සතුන්ට ද දැඩිව බලපාන්නේ ය. එහෙත් ජන සමාජයේ වැඩියෙන් ම කතාබහට ලක්ව ඇත්තේ අධික රස්නය නිසා මනුෂ්‍යයන්ට සිදුවන අලකලංචිය ගැන පමණි. එසේ වුව ද අධික රස්නය නිසා සත්ත්ව ලෝකයේ ද සිදු වෙමින් යන්නේ මහත් ව්‍යසනයකි.
නියඟ හෝ වර්ෂාව නො ලැබීම නිසා අධික උණුසුමක් පැතිරීම සොබාදහමේ සංසිද්ධියකි. එයින් ඇළ දොළ ආදී ජල මූලාශ‍්‍ර සිඳී ගොස්, ජලය හිඟ දැඩි වියලි තත්ත්වයක් ඇති වේ. මේ කාලයට වැඩියෙන් ම අසන්නට ලැබෙන කාරණය වන්නේ, ජලය සොයා එන ‘වන අලි’ ගම් වදිනවා යන්නයි. එයින් ඈත ගම් ප‍්‍රදේශවල ජන ජීවිතයට ඇති අවදානම ද වැඩි වෙනවා ය යන්නයි.
කොයිහැටි වෙතත්, මේ දිනවල පවත්නා අධික උණුසුම වන අලින්ට පමණක් නොව, උන් තරම් කැපී නො පෙනෙන කුඩා සතුන්ට ද එක සේ බලපාන බව කිව යුතු ය. ඉන් සමස්ත ජෛව පද්ධතියට ම බලපෑම් හට ගනියි.
ජගත් ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණ අනුව, ගේ කුරුල්ලන්, කහ කුරුල්ලන්, කොණ්ඩ කුරුල්ලන් ආදී පක්ෂීන් දැන් උදේ අටහමාර වන විට ම සිය හොටවල් ඇර ගෙන අමුතු හැසිරීමක යෙදෙනු දිස් වෙයි. එය, මේ දිනවල උන්ට තදින් ම දැනෙන උණුසුම විඳ දරා ගැනීම සඳහා ඇතිකර ගන්නාවූ චර්යාවකි. එයින් උන් සිය සිරුරු සිසිල්කර ගනිති. එසේ ම, ජලජ පරිසරයේ වෙසෙන කොක්කු සහ දිය කාවුන් ද දැන් දැන් නිතර නිතර හිස් සොලවමින්, ගෙල හරවමින්, හොටවල් අයා ගනිමින් සිටිනු පෙනෙයි. එය ද සිරුරු උණුසුම පහකර ගැනීමේ චර්යාවකි. උන් එසේ කරන්නේ ‘තාප ආතතියට’ ලක් වීම නිසා ය.
පරිසරවේදීන් පවසන අන්දමට, උණුසුම් සහගත තත්ත්වය නිසා වැඩි ම බලපෑම් එල්ලවී ඇත්තේ ‘උභය ජීවීන්ට’ ය. එනම් ජලජ සහ ගොඩ බිම් යන පරිසර පද්ධති දෙකෙහිම ජීවත් වන ගෙම්බන්, කක්කුට්ටන් ආදී සත්ත්ව ප‍්‍රජාවට ය. උභය ජීවීන් සම්බන්ධයෙන් ලංකාවේ ප‍්‍රකට විශේෂඥයෙකු සහ පර්යේෂකයෙකු වන මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතා පවසන අන්දමට, උන්ට මේ උණුසුම දරා ගන්නට බැරි තරම් ය. උභය ජීවීන් යනු සොබාදහමට අතිශයින් ම සංවේදී සත්ත්ව කොට්ඨාශයක් වීම ඊට හේතුවයි.
‘පසුගිය දශක හතරක පහක කාලය තුළ ලෝකයේ ගෙම්බන් විශේෂ 35ක් පමණ වඳවී ගියා. ඒක සිද්ධ වුණේ, ගෝලීය උණුසුම ඉහළ යාම නිසා හටගත් දිලීර රෝගයක් උන්ට වැළඳීම නිසයි. ඒක වතුර වලවල් ආදී ස්ථාන ඔස්සේ ඉක්මණින් ව්‍යාප්ත වෙන දිලීරයක්. ඔය වඳවී ගිය ගෙඹි විශේෂ 35න්, විශේෂ 21ක් ම හිටියේ ලංකාවේ. හැබැයි උන් ලංකාවෙන් වඳවී ගියේ දිලීර රෝගය නිසා නෙවෙයි. ඒක වුණේ අපේ රටේ කැලෑ නැති වීම නිසයි. පස්සේ අපේ විද්‍යාඥයන් එයින් තුන් දෙනෙක් ආයෙමත් සමනල අඩවියෙන් සොයා ගත්තා’, මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතා කියන්නේ ය.
මේ කතා අසන කෙනෙකුට, ‘ඉතින් ගෙම්බෝ නැති වුණා ම මොක ද?’, කියා සිතෙන්නට ද බැරි නැත. ගෙම්බන්ගේ ප‍්‍රියත ම ආහාරය කෘමීන් ය. උන් ගොවි බිමේ දී වගාවට හානි කරන ‘කෘමීන්’ කා දමන්නන් ය. එසේම, ගමේ ගෙවල් මණ්ඩිවල දී ‘මදුරුවන්’ කා දමන්නන් ය.
උණුසුම වැඩි වීමත් සමගම, තෙතමනය ඇති තැන්වල ගුල් හාරා ගෙන පොළොව යට සැඟවී යාම ගෙම්බන්ගේ සිරිතයි. ඇතැම් ගෙඹි විශේෂයක් ගස් බෙන හෝ කොළ රොඩු අතර සැඟවී යති. උණුසුම් කාලය දීර්ඝ වෙත් ම, උන්ට ඒ තැන්වල ද පණ රැක ගන්නට බැරි ය. ඉක්බිති උන් වියලී, මැරී යති!
උණුසුම් කාලවල දී ‘කක්කුට්ටන්ට’ හිමි වන්නේ ද මෙබඳු ඉරණමකි. වී කුඩා කෘමීන් කා දැමීමෙන් වී ගොවීන්ට මහත් සේවාවක් සලසන ‘බත් කූරා’ බිහි වෙන්නේ ජලය ඇති ස්ථානවල ය. ඒවා වියැලී යන විට බත් කූරන්ගේ ගහණය ද නැතිවී යයි. සර්පයින් සහ කබරගොයින් ආදී උරග සතුන්ට ද, වඳුරන්, රිලවුන් වැනි ක්ෂීරපායී සතුන්ට ද, මත්ස්‍යයන්, දිය බල්ලන් වැනි සතුන් ට ද, මේ උණුසුම හානිකර ය.
රටේ මධ්‍යම කඳුකරයට අයත් නුවරඑළිය ආදී ප‍්‍රදේශ ද දැඩි උණුසුම් තත්ත්වයට මුහුණ දෙමින් සිටියි. හැටන්, කොටගල, නුවරඑළිය ආදී ප‍්‍රදේශවල ද දැන් ඇත්තේ දැඩි වියලි ස්වභාවයකි. එබැවින් කැලෑ ගිනි තැබීම් ද බහුලව සිදු වේ. ඒවා පිටුපස සිටින්නේ සතුන් දඩයම් කරන්නන් ය. කැලෑ ගිනි නිසා වන ඌරන්, ඕලූ මුවන්, ගෝනුන්, ඉත්තෑවුන් ආදී සතුන් විශාල සංඛ්‍යාවක් දඩයක්කාරයන්ට හසු වෙති. තවත් විශාල පිරිසක් රැුකවරණ පතා ගම්මාන ප‍්‍රදේශවල ඇති කුඩා කැලෑ මණ්ඩිවලට පලා යති!
උන්ගේ පලා යාම කඳුකර ‘කොටින්ට’ බොහොම වැදගත් ය. උන් ද, දඩයම් පිණිස ගම් වදින්නට යන සතුන් පසුපස ඇදෙති. අවසානයේ ජීවිතාරක්ෂාව පතා ගම් වදින සතුන් ගෙන් කොටසක් ගමේ දඩයක්කාරයන්ට බිලි වෙති. තවත් කොටසක් ‘කොටින්ට’ ගොදුරු වෙති. කොටින් ද ඇතැම් විට මිනිසුන්ගේ දඩයමට ලක් වෙති. කඳුකරයේ පරිසර නීති ක‍්‍රියාත්මක වන්නේ ද ‘බින්දුවේ’ ලන්සුවෙනි. බලධාරීන් ගහ කොලට, සතා සීපාවාට සිදුවන දේවල් සොයන බලන බවක් පෙනෙන්නට නැත.
රජය, මේ දිනවල පවත්නා විදුලි අර්බුදයට විසඳුමක් වශයෙන් ‘කෘත‍්‍රිම වැසි’ වැස්ස වීමේ වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන්නට පසුගිය දා උත්සාහ කළේ ය. එහෙත් එය අසාර්ථක විණි. කෘත‍්‍රිම වැසි වස්සන රසායනිකය ගුවනින් ඉසින්නට නම්, පහළ අහසේ වලාකුළු තිබිය යුතු වේ. එහෙත් ප‍්‍රධාන විදුලිබල ජලාශ පිහිටි මධ්‍යම කඳුකර අහසෙහි වලාකුළු නො තිබිණි.
අහසේ වලාකුළු හැදෙන්නට නම්, පොළොවෙන් ජල වාෂ්ප නැගිය යුතු ය. ජල වාෂ්ප නැගෙන්නට නම්, පොළොවේ කැලෑ වැස්මක් තිබිය යුතු ය. පොළොවෙන් උරා ගන්නා ජලය, උත්ස්වේදනය කරමින්, ජල වාෂ්ප වශයෙන් වායු ගෝලයට මුදා හැරෙන්නේ වන වැස්ම ඔස්යේ ය. කඳුකරය කැලෑ ගිනිවලට හෝ ගස් කැපීම් ආදියට බිලි වු විට, ජල වාෂ්ප හැදෙන්නේ නැත. ඉතින් ‘කෘත‍්‍රිම වැසි’ බා ගන්නට ද නො හැක්කේ ය.
උණුසුම් කාලය කඳුකර සමනලූන්ට ද මාරකයකි. ඒ කාලයට උන්ගේ ගහණය අඩු ය. සමනල පර්යේෂකයෙකු වන රාජික ගමගේ මහතා පවසන අන්දමට, උන් උණුසුම් හෝ වියලි කාලවලට වැඩිය එළියට එන්නේ නැත. ගස්වල දළු කොළ ආදිය ද හිඟ බැවින් බිත්තර දැමීමක් ද සිදු වන්නේ ද නැත. අනෙක කැලෑ ගිනි නිසා ලඳු කැලෑ විනාශවී ඇති බැවින් බොහොමයක් සමනලූන් ‘සැඟවුණු ජීවිතයක්’ ගත කරති.
‘සමනලයෝ වියලි සහ උණුසුම් කාලවලට ඔරොත්තු දෙන්නේ එහෙමයි. ඊළඟ වැසි කාලෙන උන් ආයෙමත් පණ ගහලා බෝ වෙනවා’, රාජික ගමගේ මහතා කියයි.
පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, ලංකාවේ වැඩි ම ජෛව විවිධත්වයක් දැකිය හැක්කේ, තෙත් කලාපය ආශ‍්‍රිතව ඇති වනාන්තරවල ය. ගෙවී යන උණුසුම් වකවානුවත් සමගම ඒවායෙහි වසන සත්ත්ව ප‍්‍රජාවට ද හානි වෙමින් තිබේ.
‘මේක සියලූම සතුන්ට බලපානවා. දැන් කාලයක් තිස්සේ ගංවතුර පාලනය කරනවා. නාය යන නිසා කඳුකර පෙදෙස්වල ජල බස්නා මාර්ග කොන්ක‍්‍රිට් කරනවා. මේ තත්ත්වය නිසා පොළොව ඇතුළට ජලය උරා ගන්නේ බොහොම අඩුවෙන්. දැන් අපේ පොළොවේ භූගත ජල මට්ටම හුඟක් පහත වැටිලා. එහෙම වුණාම භූගත ජල මට්ටමයි, පොළොවේ ඉහළම පස් තට්ටුවයි අතරේ තෙතමනය හෝ ජලය සහිත බව නැතිවී යනවා. එතකොට ජලය නැතිව පොළොව වේලිලා ගස් කොලන් පවා මැරෙන්න ගන්නවා. ඔය තෙතමනය සහිත පස් තට්ටුවේ ජීවීන් විශාල ප‍්‍රමාණයක් ජීවත් වෙනවා. භූගත ජල මට්ටම පහත වැටෙන විට, උන් මියයනවා. අපි වන වැස්ම ආරක්ෂා කරලා, භූගත ජල මට්ටම ආරක්ෂාකර ගන්න වැඩ කරනවා නම්, මේ වාගේ උණුසුම් තත්ත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන්. පොළොවේ ඉහළ පස් ස්තරයේ යහ පැවැත්ම තියෙන්නේ, භූගත ජල මට්ටම මතයි. ඒත් අපි වැඩ කරන්නේ ඒක අමතක කරලයි’, එසේ කියන්නේ ප‍්‍රවීණ පරිසරවේදියෙකු වන, ගාල්ලේ ධර්ම ශ‍්‍රී කණ්ඩම්බි මහතා ය.
මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දෙන අන්දමට, දැන් සෑහෙන කලක පටන් ම රටේ මධ්‍යම කඳුකරයේ ගහ කොල මැරී යමින් තිබෙනු පෙනෙයි.
රටේ මධ්‍යම කඳුකරයට අයත් මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත‍්‍රික්ක සැලකෙනුයේ, රටේ ප‍්‍රධානත ම ජල පෝෂක ප‍්‍රදේශ වශයෙනි. ඒවායෙහි ඇති වනාන්තර සම්පත මහා ජල ගබඩා බඳු ය. මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දෙන අන්දමට, දැන් සෑහෙන කලක පටන් ම රටේ මධ්‍යම කඳුකරයේ ගහ කොල මැරී යමින් තිබෙනු පෙනෙයි. එය කුමක් නිසා සිදු වන්නේ දැයි කිසිවෙකුත් නො දනිති. උණුසුම දරා ගන්නට බැරි වූයේ එබඳු සංසිද්ධියක් නිසා ද යන්න ගැටලූවකි.
මේ කාරණා කොයිහැටි වෙතත්, උණුසුම් සහගත තත්ත්වය වාසියට හරවා ගත් පිරිසක් ද වෙති. ඔවුන් නම් දඩයක්කාරයන් ය. උණුසුමට හෝ ඉඩෝර ස්වභාවයට මුහුණ දී ගත නොහී පලා යන වන සතුන්, සිත් පිත් නැති ඔවුන්ගේ ගොදුරු බවට පත්ව, ඇතැම් විට නාගරික කෑම මේසවලට ද පැමිණෙයි!
එසේ වුව ද, ඇතැම් වනගත පෙදෙසක ජනයා සතුන් වෙනුවෙන් ‘ජල බඳුන්’ තබන්නට පුරුදුවී ඇති බවක් ද අසන්නට ලැබෙයි. සිත් පිත් ඇතියවුන් ද ටික දෙනෙක්වත් රටේ ලෝකයේ සිටින බව එයින් පෙන්නුම් කෙරෙන්නේ ය!
(මෙම ලිපිය 2019/03/31 දින සති අග අරුණ පුවත්පතේ පළවිය.)
Labels:
රැව් පිළිරැව්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment