Total Pageviews

Saturday, December 22, 2018

ක‍්‍රීඩා ලෝලී සැමට කෙරෙන ආයාචනයයි!


ක‍්‍රීඩා ලෝලී සැමට කෙරෙන ආයාචනයයි!
දිලිප්ට උදව් කරමු




(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එදිනෙදා කුලී වැඩ කිරීම සහ ගස් නැග පොල් කැඩීම ජීවන වෘත්තියකර ගත් ගාල්ලේ තරුණ මැරතන් ක‍්‍රීඩකයෙක්, ලබන වසරේ මාර්තු මස තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමේ බරපැන සොයා ගැනීම සඳහා මහජන ආධාර පතයි!
ඔහු නමින් ගුණසිංහගේ රොෂාන් දිලිප් කුමාර (38)වන අතර, මේ වන විට මැරතන් ධාවන තරඟ ඉසව්වෙන් ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් ලබා සිටින්නෙකි. ඔහු පදිංචිව සිටින්නේ. ගාල්ල, පෝදදලට නුදුරු නරාවල හන්දියේ ය.
වයසින් දහතුන් හැවිරිදි වියෙහි පටන් මැරතන් දිවීමට ඇළුම් කරන මෙම ක‍්‍රීඩකයා, 2000 වර්ෂයේ මහනුවර පැවති වයස අවුරුදු 21න් පහළ සමස්ත ලංකා පාසැල් මැරතන් තරඟයෙන් 02 වැනි ස්ථානය ලබා ගැනීම, 2003 වසරේ බස්නාහිර පළාත් මැරතන් තරඟයෙන් 03 වැනි ස්ථානය ලබා ගැනීම, 2015 වසරේ බුලත්සිංහල පැවති ජාතික මැරතන් තරඟාවලියෙන් 14 වැනි ස්ථානය ලබා ගැනීම, එම වසරේ ම, අනුරාධපුරයේ පැවති කිලෝමීටර්-50 (අටමස්ථාන වටා) මැරතන් තරඟයෙන් 09 වැනි ස්ථානය ලබා ගැනීම, 2016- SLMA-Health Run and walk-මැරතන් තරඟයෙන්-(කිලෝමීටර්-05) 01 වැනි ස්ථානය ලබා ගැනීම, 2017 වර්ෂයේ පැවති SLMA-Health Run and walk-මැරතන් තරඟයෙන් 02 වැනි ස්ථානය හිමිකර ගැනීම, 2017 මාර්තු 19 වැනි දා පැවති අක්මීමන අන්තර් ක‍්‍රීඩා සමාජ මැරතන් තරඟයෙන් (මීටර් 10,000) 02 වැනි ස්ථානය හිමිකර ගැනීම, 2017- LSR-කලම්බු මැරතන් තරඟයෙන් 34 වැනි ස්ථානය ලබා ගැනීම, 2018 වසරේ මැයි මස 05 වැනි දා පැවති ගාල්ල දිස්ත‍්‍රික් විවෘත මැරතන් තරඟාවලියෙන් 03 වැනි ස්ථානය හිමිකර ගැනීම ඇතුළු කැපී පෙනෙන  ජයග‍්‍රහණ රැසක් හිමිකර ගෙන ඇත.


කොලොන්නාව, කුඩා බුත්ගමුවේ, ශ‍්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙන් අ. පො. . (සා/පෙළ) දක්වා අධ්‍යාපනය ලබා ඇති දිලිප් කුමාර මහතාට නිශ්චිත රැකියාවක් නැත. ඔහු රැකියාව වශයෙන් කරන්නේ, ගස් නැග පොල් කැඩීම සහ එදිනෙදා කුලී වැඩ කිරීමයි. ඔහු දෙදරු පියෙකි.
පොල් කැඞීමෙන් සහ කුලී වැඩ කිරීමෙන්, තමන්ට මැරතන් ක‍්‍රීඩකයෙකු වශයෙන් ඉදිරියට යෑමට ප‍්‍රමාණවත් ආදායමක් නො ලැබෙන බව, දිලිප් කුමාර මහතා කියයි. පොල් කැඞීමෙන් සහ කුලී වැඩ කිරීමෙන් ලැබෙන ආදායමේ හැටියට, දරු පවුල පෝෂණය කිරීම සහ මැරතන් ක‍්‍රීඩාව පවත්වා ගෙන යාමට ද අසීරුවී ඇතැයි ඔහු පවසයි. දිලිප් පවසන අන්දමට, මැරතන් තරඟ සඳහා පුහුණු වීම්වල යෙදෙන්නේ ද මහත් දුෂ්කර තත්ත්වයන් යටතේ ය.
ඔහු ජීවත්වන නරාවල ගමේ වැඩි දෙනෙක්, දිලිප් ජාත්‍යන්තර මට්ටමේ දස්කම් දක්වා ඇති මලල ක‍්‍රීඩකයෙකු බව නො දනිති. දිලිප් කුමාර, මේ වන විට සහභාගිවී ඇති විවිධ වර්ගයේ මැරතන් තරඟ  සංඛ්‍යාව දහස ද ඉක්මවයි. එයින් පනහකට වැඩි සංඛ්‍යාවක් ජාතික මට්ටමේ තරඟ ය. එයින් එකක්, 2015 වසරේ අනුරාධපුරයේ අටමස්ථාන වටා පැවති කිලෝමීටර් පනහේ මැරතන් තරඟයයි. තවත් එකක් වන්නේ 2000 දශකයේ මුල් භාගයේ  පාකිස්ථානයේ පැවති FUN RUNනමැති සංචාරක ක්ෂේත‍්‍රයේ මැරතන් තරඟයයි.


‘2017 දී චීනයේ මලල ක‍්‍රීඩා උළෙලක් තිබුණා. ඒකට තෝරා ගැනීමේ තරඟ තිබුණේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ. ඒකට සහභාගි වෙන්න මට රුපියල් 1700ක් මදි වුණා. ඉතින් ගියේ නෑ. 2018 අවුරුද්දේ ප‍්‍රංශයේ මලල ක‍්‍රීඩා උළෙලක් තිබුණා. ඒකට තෝරා ගැනීමේ තරඟ තිබුණේ කොළඹ සුගතදාස එකේ,  පහුගිය ජූනි මාසේ. ඒකට යන්න රුපියල් 2000ක් සොයා ගන්න බැරි වුණා. අපි මේ තරඟවලට සහභාගි වෙන්න යම් ලියාපදිංචි ගාස්තුවක් ගෙවන්න  ඕනෑ. ඒ දවස් ටිකේ පොල් කැඩිලි ආවෙත් නෑ. කුලී වැඩක් හම්බ වුණෙත් නෑ. මට හරිහමන් රස්සාවක් නැති හින්දා කවුරුවත් ණයටවත් මුදලක් දෙන්නේ නෑ’, දිලිප් කියන්නේ දුක්මුසුව ය.

ඔහු විවාහවී ඇත්තේ ගාල්ලේ, පෝද්දල,  නරාවලගමෙනි. ඔහුගේ බිරිඳ, උදය කුසුම් සඳමාලි (30) . ඔවුන් නරාවල ගමේ පදිංචියට පැමිණියේ 2006 වසරේ ය. දැන් ඔවුහු දරුවන් දෙදෙනෙකුගේ මව්-පියවරුන් වෙති. දිලිප්ගේ ලොකු පුතා මන්තක පියුමාල් (09) . බාල දියණිය, හිරුණි හිමාෂි ය. ඇගේ වයස තවම මාස එකොළහකි.

දිලිප්  ජීවත් වන්නේ, ගාල්ලේ පෝද්දලට නුදුරු නරාවල හන්දියේ, (වලං කඩයපිටුපස) තනා ගත් කුඩා පැල්පතක ය. ඒ ඉඩම ද ඔහුට අයත් එකක් නොවේ. ඔහුගේ බිරිඳගේ අයියාට අයත් ඉඩමකි. දිලිප් එතැන පැල්පතක් තනා ගෙන සිටින්නේ තාවකාලිකව ය.

කුලී වැඩ කරමින් ද, පොල් ගස් නගිමින් ද උපයන සල්ලි සොච්චම  දරු පවුලේ යැපීමට දිය වෙයි. ඉන් පසුව  මැරතන් පුහුණුවීම්වල යෙදෙන්නට, තරඟවලට සහභාගි වන්නට සල්ලියක් ඉතිරි වන්නේ නැත. එදා-මෙදා තුර දිලිප්ට අනුග‍්‍රහය දක්වන්නට කෙනෙකු ඉදිරිපත් වූයේ ද නැත.

මැරතන් හෙවත් දුර ධාවනයෙහි යෙදෙන මලල ක‍්‍රීඩකයන් හොඳ පෝෂණීය ආහාර ගත යුතු ය. එසේම, යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටිය යුතු ය. එහෙත් මැරතන් දිව්ව ද, නො දිව්ව ද, ඔහු ඇතුළු පවුලේ අයගේ කුස පිරෙන්නේ පොල් කැඩීමක් හෝ වෙන යම් කුලී වැඩක් ලැබුණ හොත් පමණකි. එබැවින් ඔවුන්ගේ ආහාර වේල ගැන අමුතුවෙන් කියන්නට  ඕනෑ නැත. අනෙක, ජාත්‍යන්තර මට්ටමට සුදුසුකම් සපිරූ මැරතන් ක‍්‍රීඩකයන්ට, ඔවුන්ගේ ශරීර පෝෂණය ගැන බලාකියා ගන්නා උපදේශකයන් ද සිටිති. දිලිප්ට මේ කිසිවෙක් නැත. ඔහුට දුකට සැපට සිටින්නේ,  තම පුහුණුකරු වන විශ‍්‍රාමික ගුවන් හමුදා නිලධාරී, ගාල්ලේ සුජීව රෝහිත ලියනගේ මහතා පමණි. දිලිප්ගේ ආර්ථික ගැටළු සම්බන්ධයෙන් ඔහුට ද කරන්නට දෙයක් නැත!

මැරතන් දුවන අය පළඳින පාවහන්, දිලිප් නගින  පොල් ගස්වලටත් වඩා උසට උසේ මිල ය. දිලිප් කියන හැටියට, මිල අඩු ම සපත්තු කුට්ටමක් රුපියල් 25,000ක් පමණ වේ. දිලිප් ඒවා ගැන කතා කරන්නේ තමන්ගේ ඇති-හැකිකම අනුව ය!

රුපියල් විසිපන්දාහක් හොයන්න මං පොල් ගස් කීයක නගින්න  ඕනෑ ද? මං දැනට පාවිච්චි කරන්නේ රුපියල් හාරදාහකට ගත්තු, පුහුණුවීම්වලට පාවිච්චි කරන සපත්තු දෙකක්’, ඔහු කියයි.

ලබන වසරේ (2019) මාර්තු 08-10 යන දිනවල, තායිලන්තයේ බැංකොක් නුවර දී 24th THI VETERANS CHAMPIONSHIP ATHLETICS MEETනම් ප‍්‍රවීණයන්ගේ  මැරතන් තරඟයක් පැවැත්වෙයි. ඒ සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ තරඟයක් පසුගිය ඔක්තෝම්බර් 20-21 යන දිනවල හෝමාගම, දියගම, ‘මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි දී දිලිප් තරඟ කළේ මීටර් 5000 මැරතන් ඉසව්වට ය. එයින් ඔහුට දෙවැනි ස්ථානය හිමි විණි. ඔහු එහි දී වාර්තා කළ කාලය, විනාඩි 18යි-තත්පර 46.09ක් විය.

මාව බැංකොක් තරෙඟට තෝරා ගත්තා කියලා ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති, ප‍්‍රශාන්ත් ඩබ්ලිව්. මානවඩු මහත්තයා දන්වලා තියෙනවා. ඔය තරෙඟට යන්න ගුවන් ටිකට් පත්, ඉඳුම් හිටුම් සහ ක‍්‍රීඩා උපකරණ ආදියට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක්  ඕනෑ වෙනවා. ඒ අය කියන්නේ මට අනුග‍්‍රාහකයෙක් සොයා ගන්න කියලයි. මට ඉතින් කවුද උදව් කරන්න ඉන්නේ? බැංකොක් තරෙඟට ක‍්‍රීඩකයන් තෝරා ගන්න දියගම තිබුණු තරෙඟට යන්න රුපියල් දාහක් දුන්නෙත් නරාවල කොමිනිකේෂන් එකේ දර්ශන මල්ලියි. මට ඉතින් සල්ලි කොයින් ද?, දිලිප් දුක්මුසුව විමසයි!

දිලිප් දැන් ඉන්නේ මහත් උභතෝකෝටිකයක ය. බැංකොක් තරඟයට යන්නට සල්ලිත් නැත. අලූත් සපත්තුත් නැත. මැරතන් බැනියමක්ගන්නට රුපියල් හත් දාහක්වත්  ඕනෑ ය!

2020 ඔලිම්පික් මැරතන් තරඟයට දිවීම, දිලිප්ගේ දුරස්ථ සිහිනයයි. ලබන මාර්තුවේ බැංකොක් තරඟයට යාම, අත ළඟට පැමිණ ඇති සිහිනයයි.
එක්කෝ මට පොල් ගස් 1500ක් නැගලා ලක්ෂ එකහමාර හොයා ගන්න වෙනවා. නැතිනම් ටිකට් එකක්වත් ගහලා මහජනයා ගෙන් උදව් ඉල්ලන්න වෙනවා’, දිලිප් පවසන්නේ සුසුම් හෙලමිනි!

මිත‍්‍රවරුණි, අපි මේ දිරිය සම්පන්න මැරතන් ක‍්‍රීඩකයාගේ සිහින බොඳ වැටෙන්නට ඉඩ හැරිය යුතු ද?

දිලිප්ගේ දුරකතන අංකය-070-3985988

පදිංචි ලිපිනය-වාඩියවිල වත්ත, නරාවල, පෝද්දල (නරාවල වළං කඬේ පිටුපස)

ස්තුතියි.
දිලිප් කුමාරට හිතවත් ගම් වැසියන් පිරිසක්----------------
2018/12/22

No comments:

Post a Comment