කුලියට පොල් ගස් නගිමින්
2019 මාර්තුවේ
බැංකොක් මැරතන් සිහිනයට
පෙරුම්පුරන ගාල්ලේ දිලිප්
රැකියාව-පොල් කැඩීම සහ එදිනෙදා කුලී වැඩ
ජීවිත සිහිනය-2020 ඔලිම්පික් මැරතන් තරඟයට දිවීම
ගාල්ලෙන් බිහිවුණු මැරතන් ශූරයෙකුගේ කඳුළු කතාව
(ක‍්‍රිෂ්ණ
විජේබණ්ඩාර)
ගස් නැග පොල් කැඩීමට ලැබෙන කුලිය, එක් ගසකට රුපියල්
සියයකි. රුපියල් එක් ලක්ෂ පනස්දාහක් උපයා ගන්නට නම්, පොල් ගස් එක්දහස් පන්සියයක පොල් කැඩිය යුතු
වේ. ගාල්ලේ, පෝද්දලට
නුදුරු නරාවල හන්දියේ වෙසෙන ගුණසිංහගේ රොෂාන් දිලිප් කුමාරට, එය මහත් අසීරු
ඉලක්කයකි. එහෙත් ලබන පෙබරවාරිය වන විට ඔහු එය සපුරා ගත යුතු ය. එසේ නො කළ හොත්, ලබන වසරේ (2019) මාර්තු 08-10 යන දිනවල තායිලන්තයේ
බැංකොක් අගනුවර පැවැත්වෙන ‘ප‍්‍රවීණයන්ගේ
විවෘත මලල ක‍්‍රීඩා උළෙලේ’
මැරතන් එක දුවන්නට අවස්ථාව නො ලැබෙනු ඇත්තේ ය!
බැංකොක් මලල ක‍්‍රීඩා
උළෙල සඳහා සහභාගි වීමට වැය වන වියදම් මුදල රුපියල් එක් ලක්ෂ පනස්දාහක් බව, ‘ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ
මලල ක‍්‍රීඩා සංගමය’ දැනටමත්
දිලිප්ට දැනුම් දී තිබේ!
ගුණසිංහගේ රොෂාන් දිලිප් කුමාර (38), ලියුම්කරුට
මුණගැසෙන්නේ අහම්බෙනි. එය සිදු වන්නේ, ලියුම්කරුගේ නිවසේ ගස් කිහිපයක පොල් කඩන්නට පැමිණි
අවස්ථාවේ ය. ඔහු ජාත්‍යන්තර මට්ටමට සුදුසුකම් ලැබූ මැරතන් ක‍්‍රීඩකයෙකු බවත්, දිළිඳුකම නිසා විදෙස්
මැරතන් තරඟ ගණනාවක්ම මග හැරුණු බවත්, එහි දී කළ කතාබහේ දී දැන ගන්නට ලැබිණි.
මේ මැරතන් ක‍්‍රීඩකයාගේ ජීවිකාව, එදිනෙදා කුලී වැඩ කිරීමයි.
නැතිනම් ගස් බඩගා පොල් කැඩීමයි. ඔහු ජීවත් වන්නේ, ගාල්ලේ පෝද්දලට නුදුරු නරාවල හන්දියේ, ‘වලං කඩය’ පිටුපස තනා ගත් කුඩා
පැල්පතක ය. ඒ ඉඩම ද ඔහුට අයත් එකක් නොවේ. ඔහුගේ බිරිඳගේ අයියාට අයත් ඉඩමකි. දිලිප්
එතැන පැල්පතක් තනා ගෙන සිටින්නේ තාවකාලිකව ය.
ඔහුට හැමදාම කුලී වැඩ ලැබෙන්නේත්
නැත. නිතරම පොල් කැඩිලි ලැබෙන්නේ ද නැත. දිලිප් දෙදරු පියෙකි. ලැබෙන සොච්චම්
සල්ලියෙන් දරු පවුල නඩත්තු කරනවා විනා, මැරතන් ජීවිතය පවත්වා ගෙන යාම අසීරු ය. එහෙත් ඔහු
දිනපතාම පාරවල් ගානේ දුවමින් පුහුණුවීම්වල යෙදෙයි.
ඔහු නිවසන ගමේ මිනිස්සු දිලිප් ජාත්‍යන්තර මට්ටමේ දස්කම්
දක්වා ඇති මලල ක‍්‍රීඩකයෙකු බව නො දනිති. ඔවුන් ඔහු ගැන දන්නේ නිතරම පාරවල් ගානේ
දුවන, මිනිසෙකු
වශයෙනි!
දිලිප් කුමාර, මේ වන විට
සහභාගිවී ඇති විවිධ වර්ගයේ මැරතන් තරඟ
සංඛ්‍යාව දහස ද ඉක්මවයි. එයින් පනහකට වැඩි සංඛ්‍යාවක් ජාතික මට්ටමේ තරඟ ය.
එයින් එකක්, 2015 වසරේ
අනුරාධපුරයේ අටමස්ථාන වටා පැවති කිලෝමීටර් පනහේ මැරතන් තරඟයයි. තවත් එකක් වන්නේ 2000 දශකයේ මුල්
භාගයේ පාකිස්ථානයේ පැවති ‘FUN RUN’ නමැති සංචාරක ක්ෂේත‍්‍රයේ
මැරතන් තරඟයයි.
‘2017 දී චීනයේ මලල
ක‍්‍රීඩා උළෙලක් තිබුණා. ඒකට තෝරා ගැනීමේ තරඟ තිබුණේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ
ක‍්‍රීඩාංගණයේ. ඒකට සහභාගි වෙන්න රුපියල් 1700ක් මදි වුණා. ඉතින් ගියේ නෑ. 2018 අවුරුද්දේ ප‍්‍රංශයේ
මලල ක‍්‍රීඩා උළෙලක් තිබුණා. ඒකට තෝරා ගැනීමේ තරඟ තිබුණේ කොළඹ සුගතදාස එකේ,
පහුගිය ජූනි මාසේ. ඒකට යන්න රුපියල් 2000ක් සොයා ගන්න බැරි
වුණා. අපි මේ තරඟවලට සහභාගි වෙන්න යම් ලියාපදිංචි ගාස්තුවක් ගෙවන්න ඕනෑ. ඒ දවස් ටිකේ පොල් කැඩිලි ආවෙත් නෑ. කුලී
වැඩක් හම්බ වුණෙත් නෑ. මට හරිහමන් රස්සාවක් නැති හින්දා කවුරුවත් ණයටවත් මුදලක්
දෙන්නේ නෑ’, දිලිප්
කියන්නේ දුක්මුසුව ය.
දැන් ගාල්ලේ සිටිය ද, ගුණසිංහගේ රොෂාන් දිලිප් කුමාර ඉපදී ඇත්තේ 1980 වසරේ කොළඹ දී ය.
ඔහුගේ ළමා කාලය බොහොම කටුක එකකි. දිලිප්ගේ මෑණියන් ඔහු කුඩා අවදියේ ම, හදිසියේ මියෑදෙයි.
පියා ඔවුන් හැර යයි. එබැවින් දිලිප් හැදී වැඩෙන්නේ, අංගොඩ, කොහිලවත්තේ පිහිටි සිය සීයාගේ නිවසේ ය. ඔහු අකුරට ගියේ ද
කොලොන්නාව, කුඩා
බුත්ගමුවේ, ශ‍්‍රී
රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට ය. ඔහු එයින් අ. පො. ස. (සා/පෙළ) දක්වා අධ්‍යාපනය
ලැබුවේ ය. ‘මං මැරතන්
දුවන්න එකතු වුණේ වයස අවුරුදු දහතුනේ ඉඳලයි’, දිලිප් කියයි.
දිලිප් එදා ඉඳන් මැරතන් දුවනවා ය. දුවනවා ය. මේ දැනුත්
දුවනවා ය. ඒ අතර රස්සාවට පොල් ගසුත් බඩ ගානවා ය. කුලී වැඩටත් යනවා ය. මොන වැඩේ
තිබුණත් සවසට ගාල්ල කොටුවේ දකුණු පළාත්
සභා ‘ජිම් එකට’ ගොසින් ‘ප්රැක්ටිසුත්’ කරනවා ය. කුලියට පොල්
කඩන, කොන්ක‍්‍රීට්
අනන, අත්තිවාරම්
කපන අතරතුරේ, 2020 ඔලිම්පික්
මැරතන් එකට දුවන්නට ද දාහක් හීන මවනවා ය!
‘ෆුල් මැරතන්
එකකට කිලෝමීටර් හතළිස් දෙකකුත් මීටර් 195ක් දුවන්න වෙනවා. මම දැනට ඒ සඳහා වාර්තා
කරලා තියෙන කාලය පැය දෙකයි,
විනාඩි තිස් හතයි. 2020 දි ඔලිම්පික්
යන්න නම්, ඒක පැය දෙකයි
විනාඩි දහයකට හදා ගන්න ඕනි’, දිලිප් කියන්නේ මහත්
බලාපොරොත්තු සහගතව ය. හෙතෙම වැඩි කැමැත්තක් දක්වන්නේ ‘ෆුල් මැරතන්’ රේස්වලට ය.
දිලිප් විවාහ වූයේ ගාල්ලේ, පෝද්දල, නරාවල ගමෙනි.
ඔහුගේ බිරි`ද, උදය කුසුම් සඳමාලි (30) ය. ඔවුන් නරාවල ගමේ
පදිංචියට පැමිණියේ 2006 වසරේ ය. දැන්
ඔවුහු දරුවන් දෙදෙනෙකුගේ මව්-පියවරුන් වෙති. දිලිප්ගේ ලොකු පුතා මන්තක පියුමාල් (09) ය. බාල දියණිය, හිරුණි හිමාෂි ය. ඇගේ
වයස තවම මාස එකොළහකි. කුලී වැඩ කරමින් ද, පොල් ගස් නගිමින් ද උපයන සල්ලි සොච්චම දරු පවුලේ යැපීමට දිය වෙයි. ඉන් පසුව මැරතන් පුහුණුවීම්වල යෙදෙන්නට, තරඟවලට සහභාගි වන්නට
සල්ලියක් ඉතිරි වන්නේ නැත. වයස අවුරුදු දහතුනේ පටන් මැරතන් දිව්ව ද, එදා-මෙදා තුර දිලිප්ට
අනුග‍්‍රහය දක්වන්නට කෙනෙකු ඉදිරිපත් වූයේ ද නැත. ඔහුගේ ක‍්‍රීඩා ජීවිතය මහා දුක්
කම්කටොළු ගොන්නකි!
‘මං මෙතන
මුලින් ම හිටියේ බෝඩ් කෑලි, ලෑලි සහ ඉටි රෙදිවලින් අටවා ගත්තු ගෙයකයි. 2012 වසරේ අගෝස්තු මාසයේ අපි ගෙදර නැති වෙලාවක මගේ ගෙට
හොරු ආවා. මැරතන් දුවලා ගත්තු පදක්කම් ටික පෝර බෑග් එකක දාලයි තිබුණේ. හම්බ වෙච්චි
සහතික ටිකත් තිබුණේ ඒකේ. හොරු ඒකයි, අවුරුදු උත්සවයකට දුවලා හම්බවුණු ටී. වී. එකයි අරන්
ගිහින්’, සිය කටුක
දිවියෙහි අත්දැකීම් ඔහු අප හමුවේ ඉදිරිපත්
කරයි!
2000 වර්ෂයේ
මහනුවර පැවති වයස අවුරුදු 21න් පහළ සමස්ත
ලංකා පාසැල් මැරතන් තරඟයෙන් 02 වැනි ස්ථානය ලබා ගැනීම, 2003 වසරේ බස්නාහිර පළාත් මැරතන් තරඟයෙන් 03 වැනි ස්ථානය ලබා
ගැනීම, 2015 වසරේ
බුලත්සිංහල පැවති ජාතික මැරතන් තරඟාවලියෙන් 14 වැනි ස්ථානය ලබා ගැනීම, එම වසරේ ම, අනුරාධපුරයේ පැවති කිලෝමීටර්-50 (අටමස්ථාන වටා) මැරතන්
තරඟයෙන් 09 වැනි ස්ථානය
ලබා ගැනීම, 2016-
SLMA-Health Run and walk -මැරතන් තරඟයෙන්-(කිලෝමීටර්-05) 01 වැනි ස්ථානය ලබා
ගැනීම, 2017 වර්ෂයේ පැවති
SLMA-Health
Run and walk-මැරතන් තරඟයෙන් 02 වැනි ස්ථානය හිමිකර ගැනීම, 2017 මාර්තු 19 වැනි දා පැවති
අක්මීමන අන්තර් ක‍්‍රීඩා සමාජ මැරතන් තරඟයෙන් (මීටර් 10,000) 02 වැනි ස්ථානය හිමිකර
ගැනීම, 2017-
LSR-කලම්බු මැරතන් තරඟයෙන් 34 වැනි ස්ථානය ලබා ගැනීම, 2018 වසරේ මැයි මස 05 වැනි දා පැවති ගාල්ල
දිස්ත‍්‍රික් විවෘත මැරතන් තරඟාවලියෙන් 03 වැනි ස්ථානය හිමිකර ගැනීම ඇතුළු කැපී පෙනෙන මැරතන් තරඟ
වාර්තා ගණනාවක් ම ඔහු සතු ය.
දිලිප්, LSR -කලම්බු මැරතන් තරඟාවලියට 16 වතාවක් ම සහභාගිවී
තිබේ.
දෛවය හැමදාමත් දිලිප්ට පිරිනමා ඇත්තේ අතිශය සරදම් සහගත
අත්දැකීම් ය!
‘පහුගිය (2018) ඔක්තෝම්බර් මාසේ 07 වැනි දා ‘LSR-කලම්බු මැරතන් තරඟයට’ යන්නත් මට සල්ලි තිබුණේ
නෑ. තරඟයට රුපියල් පන්සීයක් සල්ලි බඳින්නත්
ඕනෑ. අතේ තිබුණේ රුපියල් හත් සීයක්
විතරයි. ඉතින් මම කලින් දවසේ උදේ පාන්දරින් පයින් ම අම්බලන්ගොඩට ගියා.
එතැනින් බස්
එකේ ගිහින් කොල්ලූපිටියේ බැස්සා. එතැන ඉඳන් ටොරින්ටන්වලටත් පයින් ම ගියා. කන්නවත්
සල්ලි තිබුණේ නෑ. රෑට කන්න ලැබුණේ නූඩ්ල්ස්. බඩගින්නෙ ම, කොහොම හරි මං
කිලෝමීටර් විසි එකේ අර්ධ මැරතන් රේස් එකට ගියා. දුවද්දී මට බඬේ අමාරුවක් හැදුණා.
ඒත් දිව්වා. බඩ යද්දීත් දුවලා 28 වැනි තැන හම්බ වුණා. දැන් ගෙදර එන්නත් සල්ලි නෑ. එතැන
දී හමු වුණු කෙනෙකු ගෙන් සල්ලි ඉල්ලා ගෙනයි එදා ගෙදර ආවේ’, ඔහු කියයි.
මැරතන් හෙවත් දුර ධාවනයෙහි යෙදෙන මලල ක‍්‍රීඩකයන් හොඳ
පෝෂණීය ආහාර ගත යුතු වීමත්,
යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටිය යුතු වීමත් සාමාන්‍ය කාරණයකි. එහෙත් දිලිප්
කුමාරට එවන් තත්ත්වයක් නැත. මැරතන් දිව්ව ද, නො දිව්ව ද, ඔහු ඇතුළු පවුලේ අයගේ කුස පිරෙන්නේ පොල් කැඞීමක් හෝ වෙන
යම් කුලී වැඩක් ලැබුණ හොත් පමණකි. එබැවින් ඔවුන්ගේ ආහාර වේල ගැන අමුතුවෙන්
කියන්නට ඕනෑ නැත.
අනෙක, ජාත්‍යන්තර මට්ටමට
සුදුසුකම් සපිරූ මැරතන් ක‍්‍රීඩකයන්ට, ඔවුන්ගේ ශරීර පෝෂණය ගැන බලාකියා ගන්නා උපදේශකයන් ද
සිටිති. දිලිප්ට මේ කිසිවෙක් නැත. ඔහුට දුකට සැපට සිටින්නේ,
තම පුහුණුකරු වන විශ‍්‍රාමික ගුවන් හමුදා නිලධාරී, ගාල්ලේ සුජීව රෝහිත
ලියනගේ මහතා පමණි. දිලිප්ගේ ආර්ථික ගැටළු සම්බන්ධයෙන් ඔහුට ද කරන්නට දෙයක් නැත!
මැරතන් දුවන අය පළඳින පාවහන් පොල් ගස්වලටත් වඩා උසට උසේ
මිල ය. දිලිප් කියන හැටියට,
මිල අඩු ම සපත්තු කුට්ටමක් රුපියල් 25,000ක් පමණ වේ. දිලිප් ඒවා ගැන කතා කරන්නේ
තමන්ගේ ඇති-හැකිකම අනුව ය!
‘රුපියල්
විසිපන්දාහක් හොයන්න මං පොල් ගස් කීයක නගින්න
ඕනෑ ද? මං දැනට
පාවිච්චි කරන්නේ රුපියල් හාරදාහකට ගත්තු, පුහුණුවීම්වලට පාවිච්චි කරන සපත්තු දෙකක්’, ඔහු හිනැහෙමින් කියයි.
කලකට ඉහත දිනයක උදෑසනක, දිලිප් කොළඹ, කෝට්ටේ පාර්ලිමේන්තු මාර්ගයේ පුහුණුවට
දුවමින් උන්නේ ය. ඔහු දුවමින් සිටියේ නිරුවත් දෙපයිනි. ඒ අතර, තවත් කෙනෙක් ද පාරේ
දුවමින් ගියේ ය. ඔහු දිව්වේ මහත් ඕනෑකමින්
දිලිප් දෙස බලමිනි. දිලිප් ඔහුට ප‍්‍රතිචාර දැක්වුයේ මද සිනාවකිනි. පාරේ දිවූ
තැනැත්තා, ලොව පරසිදු ක‍්‍රිකට්
ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් ය!
පසුව දා උදේ ද මේ අහඹු හමුව සිදු විය.
එහි දී දිලිප් ඇමතූ මුරලි, ‘ඇයි නිකම්ම දුවන්නේ?’, යයි විමසුවේ දිලිප්ගේ
නිරුවත් දෙපා දෙස බලමිනි.
දිලිප් ඇත්තම කීවේ ය.
‘මං මොකක් හරි
කරන්න බලන්නම්’, මුරලි කිව්වේ
ය.
මුත්තයියා මුරලිදරන් සිය පොරොන්දුව අමතක කළේ නැත. ඔහු
දිලිප්ට මැරතන් සපත්තු කුට්ටමක් ගන්නට
මුදල් දුන්නේ ය.
‘පස්සේ රෝහණ
දිසානායක මහත්තයාත් මට වටිනා සපත්තු කුට්ටමක් අරන් දුන්නා. මුරලි මගේ විස්තර අහලා
මට උදව් කරන්නම් කීවා. මගේ ගෙදර තියෙන තැනත් අසා ගත්තා. දවසක් මම නැති වෙලාවක
මුරලිදරන් මහත්තයා මාව බලන්න නරාවලට ඇවිත් තියෙනවා. මගේ විස්තර කියලා ඇහුවා ම, එහෙම කෙනෙක් ගැන දන්නෙ
නෑ කියලා කවුරුහරි කියලා. ඉතින් එයා ආපහු යන්න ගිහින්’, දිලිප් පවසයි.
ඔහු 2015 වසරේ අනුරාධපුරයේ පැවති කිලෝමීටර් පනහේ මැරතන් තරඟයට
දිව්වේ මුරලිත්, රෝහණ
දිසානායකත් තිළිණ කළ සපත්තු කුට්ටම් පළඳිමිනි. එම තරඟයෙන් ඔහු 09 වැනි ස්ථානය ලැබී ය.
ලබන වසරේ (2019) මාර්තු 08-10 යන දිනවල, තායිලන්තයේ බැංකොක් නුවර දී ‘24th THI VETERANS CHAMPIONSHIP ATHLETICS
MEET’ නම් ප‍්‍රවීණයන්ගේ මැරතන් තරඟයක් පැවැත්වෙයි. ඒ සඳහා ශ‍්‍රී ලංකා
ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ තරඟයක් පසුගිය ඔක්තෝම්බර් 20-21 යන දිනවල හෝමාගම, දියගම, ‘මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ’ දී පැවැත්විණි. එහි දී
දිලිප් තරඟ කළේ මීටර් 5000 මැරතන්
ඉසව්වට ය. එයින් ඔහුට දෙවැනි ස්ථානය හිමි විණි. ඔහු එහි දී වාර්තා කළ කාලය, විනාඩි 18යි-තත්පර 46.09ක් විය.
‘මාව බැංකොක්
තරෙඟට තෝරා ගත්තා කියලා ‘ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ
මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති, ප‍්‍රශාන්ත් ඩබ්ලිව්. මානවඩු මහත්තයා මට දන්වලා තියෙනවා.
ඒ ලියුමේ තියෙන හැටියට, ඔය තරෙඟට යන්න
ගුවන් ටිකට් පත්, ඉඳුම් හිටුම්
සහ ක‍්‍රීඩා උපකරණ ආදියට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ඕනෑ වෙනවා. ඒ අය කියන්නේ මට අනුග‍්‍රාහකයෙක්
සොයා ගන්න කියලයි. මට ඉතින් කවුද උදව් කරන්න ඉන්නේ? බැංකොක් තරෙඟට ක‍්‍රීඩකයන් තෝරා ගන්න දියගම
තිබුණු තරෙඟට යන්න රුපියල් දාහක් දුන්නෙත් නරාවල කොමිනිකේෂන් එකේ දර්ශන මල්ලියි.
මට ඉතින් සල්ලි කොයින් ද?,
දිලිප් දුක්මුසුව අපෙන් විමසයි!
දිලිප් දැන් ඉන්නේ මහත් උභතෝකෝටිකයක ය. බැංකොක් තරඟයට
යන්නට සල්ලිත් නැත. අලූත් සපත්තුත් නැත. ‘මැරතන් බැනියමක්’ ගන්නට රුපියල් හත් දාහක්වත් ඕනෑ ය!
මෑත දිනයක දිලිප් අක්මීමන ප‍්‍රදේශයේ නිවසක පොල් කඩන්නට
ගියේ ය. ඒ ගෙහිමියා දකුණු පළාත් සභාවේ සේවය කරන කෙනෙකි. දිලිප් ඔහුට ද තම දුක කීවේ
ය. එතැනින් මේ ආරංචිය දකුණු පළාත් සභාවේ ක‍්‍රීඩා ඇමති මනෝජ් සිරිසේන මහතාගේ කනට
ගියේ ය. ක‍්‍රීඩා ඇමතිවරයා මේ ක‍්‍රීඩකයාගේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් දකුණු පළාත් සභා
රැස්වීමේ කතා කරන වීඩියෝවක් ද දිලිප්ට ලැබී තිබේ. ක‍්‍රීඩා ඇමතිවරයා දැනුම් දී
ඇත්තේ වහාම පැමිණ තමන් හමුවන ලෙසයි. එතැනදීත් දිලිප්ට දෛවය හරස් වන්නේ ය!
‘පණිවුඬේ
ලැබිලා මං ඉතින් එතුමා හම්බවෙන්න පළාත් සභාවට ගියා. ඒත් මට එතුමා හම්බවෙන්න
අවස්ථාවක් ලැබුණේ නෑ’, දිලිප් පවසයි.
2020 ඔලිම්පික්
මැරතන් තරඟයට දිවීම, දිලිප්ගේ
දුරස්ථ සිහිනයයි. ලබන මාර්තුවේ බැංකොක් තරඟයට යාම, ඔහුගේ අත ළඟට පැමිණ ඇති සිහිනයයි.
‘එක්කෝ මට පොල්
ගස් 1500ක් නැගලා ලක්ෂ
එකහමාර හොයා ගන්න වෙනවා. නැතිනම් ‘ටිකට් එකක්’ වත් ගහලා මහජනයා ගෙන් උදව් ඉල්ලන්න වෙනවා’, දිලිප් පවසන්නේ සුසුම්
හෙලමිනි!
(දිලිප්ගේ
දුරකතන අංකය-070-3985988)
2018/12/22
(පින්තූර සහ
පින්තූර කොපි කිරීම-සුපුන් සහ ඉන්දීවරී)
No comments:
Post a Comment