Total Pageviews

Sunday, September 20, 2015

ඩිජිටල්කරණයෙන් ඡායාරූපයක තිබුණු ස්වාභාවිකත්වය ගිලිහුණා

මාධ්‍ය ඡායාරූප   ශිල්පියෙකු සමග පිළිසඳරක්

ඩිජිටල්කරණය  ලොකු පහසුවක්
ඒත් ඡායාරූපයක තිබුණු ස්වාභාවිකත්වය ගිලිහුණා
ප්‍රවීණ මාධ්‍ය ඡායාරූප ශිල්පී ප්‍රෑන්ක් ද සොයිසා


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘යුද්ධ වේවා, වීදි සටන් හෝ කල කෝලාහල වේවා, කැරලි වේවා, අලි-මිනිස් ගැටුම් වේවා, ඒවා කොයිකත් ‘ගැටුම්’ බව අප සිහි තබා ගත යුතුයි. ගැටුම් ‘කවර් කරන්න’ යන මාධ්‍යවේදියා බොහොම පරිස්සමින් කටයුතු කළ යුතුයි. තොරතුරු හෝ ඡයාරූප ගැනීම්වල දී, නිතරම තමන්ගේ ආරක්ෂාව ගැනත් බලා ගන්න  ඕනෑ. තමන්ගේ ආරක්ෂාව ප‍්‍රධානයි. ඒත් ඔහු වැඬේ හරියටම කරන්නත්  ඕනෑ. ඒ සඳහා ඔහු යම් අවදානමකට මුහුණ දිය යුතු වෙනවා. අවදානම ගැන කලබල නොවී, සිහි බුද්ධියෙන් එය කළමනාකරණයකර ගෙන මාධ්‍ය ආවරණ කටයුත්ත කළ යුතුයි. තමන් සිටින ස්ථානයේ වෙන දේවල් නිවැරදිව තේරුම්-බේරුම්කර ගැනීමට අවබෝධයක් ද ඔහුට තිබිය යුතුයි’, අපේ ඡායාරූප මිතුරා කියා ගෙන ගියේ ය.
 
‘මේ වැඩේට ඉතින් නව තාක්ෂණික මෙවලම් සහ නවීන උපකරණ ද භාවිත කරන්නට වෙනවා’ යයි ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
 
අපේ කතාබහ දිග හැරෙමින් තිබුණේ, සති අන්ත ගාලූ සැන්දෑවක ය.  මිතුරාගේ නම ‘ප‍්‍රෑන්ක් ද සොයිසා’ ය. වෘත්තියෙන් මාධ්‍ය ඡායාරූප  ශිල්පියෙකු වන හේ, දිගු කලක් තිස්සේම ලියුම්කරුගේ ද මාධ්‍ය ගමන් සගයා ය. ඔහු දැනට ‘ලක්බිම’ පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරයි. කතාබහට පදනම් වූයේ, මාධ්‍ය වෘත්තික කටයුතුවල දී නිරුපද්‍රිතව හැසිරෙන්නේ කෙසේ ද? යන්න සහ ‘ඩිජිටල්කරණයෙන්’ හටගත් නවීන තත්ත්වයන් ගැන ය. එය කතිකා කෙරුණේ, අප සහෘද ප‍්‍රෑන්ක් ද සොයිසාගේ වෘත්තීය ජීවිතයේ විවිධ අත්දැකීම් ද පදනම්කර ගනිමිනි. අප ඡායාරූප මිතුරා පළ කරන අදහස් නවක මාධ්‍ය වෘත්තිකයන්ට ඉතාමත් වැදගත් වනු ඇතැයි යන්න, ලියුම්කරුගේ කල්පනාවයි. ඔහු මෙතැන් පටන් සිය ලියවිල්ල සටහන් කරන්නේ, ‘සම්මුඛ සාකච්ඡාවක’ ස්වරූපයෙනි.
 
ඡායාරූප ශිල්පයට එකතු වුණේ කොහොම ද?
‘අපි පදිංචි වෙලා හිටියේ හෝමාගම. මම පාසැල් ගියේ පන්නිපිටියේ ධර්මපාල මහා විද්‍යාලයට. දැන් ප‍්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන ‘සුමේධ ලියනගේ’,  මගේ පාසැල් මිතුරෙක්. ඔහුගේ පියා, ඞී. බී. ලියනගේ අංකල් ලේක්හවුස් ආයතනයේ ඡායාරූප ශිල්පියෙක් වශයෙන් සේවය කළා. ඔහුගේ නිවස පිහිටා තිබුණේ හෝමාගම තැපැල් කන්තෝරුව අසල ස්ථානයකයි. සුමේධ සමග මම නිතර එහේ යනවා. ඔය කියන්නේ 1985-1986 කාලය ගැනයි. ඒ වෙන කොට අපි පාසැල් අධ්‍යාපනය හමාර කරලයි හිටියේ. තාත්තා වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් නිසා, සුමේධට පාසැල් කාලේ පටන්ම ඡායාරූප ශිල්පය ගැන යම් අත හුරුවක් තිබුණා. මටත් ඒ ගැන පෙළඹවීමක් ආවේ ඔහු ගෙනුයි. ඒ කාලේ ‘සෙනිත්’ වර්ගයේ රෂියන් කැමරාවකුත් සුමේධට තිබුණා. ඒකට සවිකරලා තිබුණේ, මිලිමීටර් 200 හෝ 300 ලෙන්ස් එකක්. ඉතින් අපි සමහර දාට ඒ කැමරාවත් අරන් එයාලගේ වත්ත පහළ වෙලට යනවා. ඒ කාලේ ‘රීල් කැමරා’ නේ. අපි ඉතින් අංකල්ගේ (ඩී. බී. ලියනගේ මහතාගේ) ‘කළු-සුදු’ ෆිල්ම් රෝලකුත් අරන් තමයි යන්නෙ. වෙලට ගිහින් ඔය කොක්කු, කොරවක්කෝ එහෙම පින්තූර ගන්නවා. කැමරාවක් පිළිබඳ මගේ මුල්ම අත්දැකීම ලබන්නේ එහෙමයි. හැබැයි අංකල් කවදාවත් අපිට කියා දුන්නේ නෑ. අපිට එපා කියලා කිව්වෙත් නෑ. එයා අපි ගත්තු සමහර පින්තූරවලට හිනහත් වෙනවා. අපේ වැඩට බාධා කළෙත් නෑ. අංකල් මටත් සුමේධටත් හෙමින් වර්ධනය වෙන්න ඇරියා’
 
කීර්ති කුමාර කලහේ

අද ඒ ගැන මොක ද හිතෙන්නෙ? 
ඩී. බී. අංකල් හරි හොඳ කෙනෙක්. එයා අපිට ස්වාධීනව ඉගෙන ගන්න ඉඩ හැරියා. ඔහුගේ කැමරා බඩු පාවිච්චි කරන්නත් ඉඩ දීලයි තිබුණේ. එයින් අපි විශාල අත්දැකීමක් ලැබුවා’
 
ස්ටුඩියෝ වැඩ ඉගෙන ගත්තෙ කෙහොම ද?
‘ඒ කාලේ තිබුණේ ‘රීල් කැමරා’ නේ. ඉතින් ඒ ෆිල්ම් රෝල් මුලින්ම සුද්ධ කරන්න  ඕනෑ. ඊළඟට ‘ප‍්‍රින්ට්’ කරන්න  ඕනෑ. ඔය හෝමාගම සුපර් මාකට් එක උඩ තට්ටුවේ ‘මාලි පොටෝ’ කියලා ස්ටුඩියෝ එකක් තිබුණා. ඒක අයිති ප‍්‍රවීණ ලේඛක කීර්ති කුමාර කලහේ මහත්තයාගෙ පුතාට. ඔහුගේ පුතා   කුමාර කලහේම තමයි ස්ටුඩියෝ එක ‘රන් කළේ’. එයා අපේ මිතුරෙක්. අපි ඉතින් ‘කළු-සුදු’ ෆිල්ම් රෝල් සුද්ධකර ගන්න මාලි පොටෝ එකට යනවා. එතැන කුමාර කලහේට වැඩ වැඩියි. ඉතින් ටික දවසක් යනකොට එයා කියනවා, ‘මට උඹලගෙ වැඩකර කර ඉන්න වෙලාවක් නෑ. මම කියලා දෙන්නම්. උඹලාම උඹලාගේ පොටෝ සුද්ධකර ගනිල්ලා කියලා’. ඊට පස්සේ ඔහු අපට ‘ඩිවෙලොපර්’ (සේයා පටල සෝදන රසායනික දියරය) හදා ගන්න හැටි, ඩිවෙලොප් කරන හැටි, ‘එන්ලාජරයෙන්’ පින්තූර ප‍්‍රින්ට් කරන හැටි කියලා දෙනවා. ‘ඩාක් රූම් වැඩ’ කියන්නේ හරිම සංකීර්ණ විෂයක්. අපි ඉගෙන ගත්තා. ඔය අතරේ කුමාර කලහේ අපට අඩුපාඩුත් කියල දෙනවා. ඒ අතරේ අපි එයාගේ වැඩවලටත් උදව් කරනවා. අපි ඉතින් ආධුනික අයනේ. අපි ගත්තු සමහර පින්තූර අවුල්. ඉතින් මිතුරා කියනවා, ‘මචංලා, මෙතැන ‘අන්ඩර්’ ගිහින්. මෙතැන ‘ ඕවර් එක්ස්ෆෝස් වෙලා’ ගිහින්. මේකේ පේ‍්‍රම් එක හරි නෑ. ලයිට් බැහැලා’, ඔය වගේ අපේ අඩුපාඩු කියලා දෙනවා. ඒක අපට හොඳ අත්දැකීමක් වුණා. හොඳ පින්තූරයක් ගන්නේ කොහොම ද? කියන එක ගැන තාක්ෂණික පැත්තේ අවබෝධයකුත් ලැබුණා. ඡායාරූප ශිල්පියෙක් වුණාම, කැමරාව හැසිර වීම පමණක් නොවෙයි, ගන්නා පින්තූරයේ කාර්මික-තාක්ෂණික නිමාව ගැනත් දැන සිටිය යුතුයි කියලා අපි ඉගෙන ගන්නේ ඔහු ගෙන්’. පින්තූරයක කාර්මික-තාක්ෂණික නිමාව උසස් තත්ත්වයක තිබීම, එහි කලාත්මක ගුණයට බලපානවා. ඒ කාලේ අද වගේ දියුණු උපකරණ තිබුණෙත් නෑ. ඒත් අපි ඉගෙන ගත්තා. පින්තූර ප‍්‍රින්ට් කරන කොට අඩුපාඩු හදා ගන්න හැටිත් පුහුණු වුණා. ආලෝකයට, අඳුරට අනුරූපව ‘ෂටර් ස්පීඩ්’ හදා ගන්න හැටිත් ඉගෙන ගත්තා’
 
සුමේධ ලියනගේ
ඒ කාලේ කැමරා උපකරණ?
ඔය කාලේ වෙන කොට මම සුමේධත් එක්ක එයාගේ තාත්තාගේ (ඞී. බී. ලියනගේ මහතාගේ) ‘වෙඩින්  ඕඩර්’ එහෙම කවර් කරන්න යනවා. ඒ අතරේ කුමාර කලහේගේ  ඕඩර්වලටත් පින්තූර ගන්න යනවා. එක කාලයක් අපි ඉස්කෝලවල ‘අයිඩෙන්ටිකාඩ්’ පින්තූර ගන්නත් ගියා. ඒ කාලේ තිබුණේ පරණ තාලේ රෂියන් කැමරා. මාලි පොටෝ එකේ දි අපට විවිධ වර්ගවල කැමරා අතපත ගාන්න ලැබෙනවා. ඒ කාලේ තිබුණේ කපා, පිරවූ කළු-සුදු ‘රිෆීල් ෆිල්ම් රෝල්’. ඒවා ‘ඒ. එස්. ඒ. 55’ කීවොත්, ඇතුළේ තියෙන්නේ ‘ඒ. එස්. ඒ. 80’ රෝලක්! පින්තූර ගැනීමත් අසීරුයි’. ‘ඒ. එස්. ඒ.’ කියන්නේ, දළ සේයා පටලයේ වේගයටයි’
 
මාධ්‍යයට එකතු වෙන්නෙ?
‘වරක් සුමේධගේ ඉල්ලීමක් අනුව, මාධ්‍යවේදීන් පිරිසක් සමග සූරියවැව යන්න වෙනවා. වැව් වගයක් හදන්න ගිය කොරියන් කොම්පැණියකට මැරයෝ ගහලා. ඒ ගමනේ ඡායාරූප ශිල්පියා මම. මගේ පින්තූර තමයි ලේක්හවුස්, දිවයින වගේ පත්තරවල ගියේ. ඒත් මගේ නමින් නොවෙයි. ඒක තමයි මාධ්‍යයට ප‍්‍රථම එළඹුම’.
 
ඔය වෙනකොට තමන්ටම කියලා කැමරාවක් තිබුණ ද?
‘ඔව්, 1986 විතර වෙන කොට මට  ‘සෙනිත්’ වර්ගයේ රෂියන් කැමරාවක් තිබුණා. ඒක ගත්තේ රුපියල් 3000කට. ‘මැනුවල්’ කැමරාවක්. සල්ලි දුන්නේ මගේ අම්මා.  ඕක තමයි ඉතින් මහා සම්පත’
 
ඊට පස්සේ ?
‘දවසක් සුමේධ ‘ලංකාදීපයට’ ගිය වේලාවක මාව ‘පියල් උදය සමරවීර’ සහ ‘දයා රාජපක්ෂ’ යන මහත්වරුන්ට හඳුන්වා දුන්නා. ඔය 1988 දි විතර. ‘විජය’ ආයතනයෙන් පළ කළ ‘සුරතලා’ ළමා පත‍්‍රයට පින්තූර ගැනීම මට පැවරුණා. එයින් පසුව ‘කීර්ති කුමාර කලහේ’ මහත්තයාගේ (කුමාර කලහේගේ පියාණන්) මග පෙන්වීම පරිදි, 1998 දි විතර ‘ක‍්‍රිකට් ලොව’ ක‍්‍රීඩා සඟරාවට සම්බන්ධ වුණා. මම මුලින්ම වැඩ කළේ ඒ ආයතනයෙන් පළ කළ සතිපතා ළමා පත්තරයටයි. ඊට පස්සේ ‘ක‍්‍රිකට් ලොව’ සඟරාවේ වැඩ කළා. මට පැවරුණේ ‘ක‍්‍රිකට් මැච්’ කවර් කිරීමයි. පස්සේ 2000 අවුරුද්දෙදි  විතර ‘සුමති සමාගමෙන්’ ‘ලක්බිම දිනපතා’ පත්තරය පටන් ගන්නවා. එහි ඡායාරූප කර්තෘ ශ‍්‍රී ලාල් අයියාගේ (ප‍්‍රවීණ ඡායාරූප ශිල්පී, ශ‍්‍රී ලාල් ගෝමස්) ඇරයුම පරිදි මම ‘ලක්බිමට’ ආවා’
 
ඇයි ක‍්‍රිකට් මැච් ජීවිතේ සුන්දර නැද්ද?
‘නෑ එහෙම නෙවෙයි. මට ප‍්‍රවෘත්ති පැත්තට යන්න  ඕනෑකමකුත් තිබුණා. ඒ කාලේ ‘මැච් කවර් කිරීම’ අද වගේ නෙවෙයි, අමුතුම අත්දැකීමක්! එක අතකට හෙන ‘කට්ටක්’
 

ඒ ඇයි?
‘පින්තූර ගැනීම ගැන දැනුමක් තිබුණත්, ‘ක‍්‍රිකට් ලොවට’ යන තුරුම මට ‘මැච්’ කවර් කිරීම ගැන ලොකු අත්දැකීමක් තිබුණේ නෑ. හැබැයි හැදාමත් මම මට පැවරෙන විෂය අධ්‍යනය කරනවා. ඒ අනුව පින්තූර ගැනීමේ සැලසුම් සකස්කර ගන්නවා. ඒත් මේක අමුතු වැඩක්. මට එහි දී ‘රොයිටර්’ පුවත් සේවයේ, අනුරුද්ධ ලොකුහපුආරච්චි, ‘ඇෂෝෂියේටඞ් ප්‍රෙස්’ ආයතනයේ, ගැමුණු අමරසිංහ, ‘ප‍්‍රංශ පුවත් සේවයේ’, සේන විදානගම සහ ‘දිවයින’ පත්තරේ ශ‍්‍රී ලාල් ගෝමස් යන ප‍්‍රවීණ ඡායාරූප ශිල්පීන් මුණ ගැසෙනවා. ඒ ප‍්‍රවීණයන් තමයි මට ‘මැච් කවර් කරන හැටි’ කියා දෙන්නෙ. විශේෂයෙන්ම, අනුරුද්ධ ලොකුහපුආරච්චි සහ ගැමුණු අමරසිංහ යන ශිල්පීන් ‘ග‍්‍රවුන්ඞ් එකේදි’ මට වැඩ ඉගැන්නුවා. කියා දුන්නා’
 
ඔය කාලේ පාවිච්චි කරපු කැමරාව මොකක් ද?
‘රීල් කැමරා’ තමයි ඒ කාලේ තිබුණේ. මට ‘ස්පොටමැටික් පෙන්ටෙක්ස්-02’ වර්ගයේ කැමරාවක් තිබුණා. ඒක ‘මැනුවල්’ කැමරාවක්. ඒකට මිලිමීටර් 500 ‘සෙනිත්’ ලෙන්ස් එකක් දාලා තමයි ක‍්‍රිකට් මැච් පින්තූර ගත්තේ. පින්තූර කළේ වර්ණයෙන්. මොක ද, ‘කළු-සුදු’ ‘හයි ස්පීඞ්’ ෆිල්ම් රෝල් නෑ. ඉතින්  ‘ඒ. එස්. ඒ. 400-800’ වගේ ‘කලර් ෆිල්ම්’ පාවිච්චි කරනවා. ‘ඩේ ඇන්ඩ් නයිට්’ තරගවල දී  ‘ඒ. එස්. ඒ. 1600’ වගේ ‘කලර් ෆිල්ම්’ ගන්නවා. ඒවා නැතිව ක‍්‍රීඩකයන්ගේ  ‘ක්ෂණික ක‍්‍රීඩා ඉරියව්’ හසුකර ගන්න බෑ. අපි නම් පත්තර හෝ ක‍්‍රීඩා සඟරාවල වැඩ කරන අය. අපි නම් මැච් ඉවර වෙලා සවසට ‘සලාකා’ ගිහින් පින්තූර ‘ප‍්‍රින්ට්කර’ ගන්නවා. ඒත් ‘සේන අයියා’, ‘අනුරුද්ධ’, ‘ගැමුණු’ ඇතුළු විදේශ ප‍්‍රවෘත්ති සේවාවල අයට එහෙම බෑ. එයාලා හැමදාම ‘ලන්ච් අවර් එකට’ පින්තූර ‘ෆයිල් කරන්න’ (යවන්න)  ඕනෑ. ඔවුන් මහා වෙහෙසක් දරලා ‘ප්‍රෙස් බොක්ස්’ එකේ දිම වර්ණ පින්තූර ‘ඩිවෙලොප්කර’ ගන්නවා. අද නම් ඒක පුදුමත් හිතෙනවා’
 
ඒ මොක ද?
‘ඇයි ඔය කාලේ ‘ලැප්ටොප්’ කොම්පියුටර්, ‘ජංගම දුරකතන’ නෑ. අද වගේ ‘ඩිජිටලූත්’ නෑ. ඉතින් හැම විදේශ ප‍්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙක්ම ‘ඩාක් රූම්’ උපකරණ කට්ටලයක් කාර් එකේ පටවා ගෙන එනවා. ඒක හරියට ‘ජංගම ඩාක් රූම් එකක්’ වාගෙ. ඒ කාලේ තිබුණේ, තඩි ‘ඩෙක්ස්ටොප් කොම්පියුටර්’. අද වගේ ‘එල්. සී. ඞී. මොනිටරුත්’ නෑ. ඉතින් ඒ අය කොම්පියුටර් කට්ටලයක්, ‘ඩිවෙලොපින් කිට්’ එකක්, ‘ඩිවෙලොපින් ටෑන්ක් එකක්’, ‘චේන්ජින් බෑග් එකක්’, ‘වතුර හීටරයක්’, බේසම්, බාල්දි, ‘ඩිවෙලොපින් රසායනික ද්‍රව්‍ය’ සහ වීදුරු බෝතල් ආදිය කාරෙකේ ඩිකියේ පටවා ගෙන එනවා. පළවැනි යුද්දෙ පටන් ගන්නේ ‘ලන්ච් ටයිම්’ එකේ දියි. මේ අය ‘ප්‍රෙස් බොක්ස්’ එකට ඇවිල්ලා, බේසම්, බාල්දි සූදානම්කර ගෙන හීටරේ ගහලා වතුර උණුකර ගන්නවා. ඊට පස්සේ ‘ඩිවෙලොපර්’ හදලා වීදුරු බෝතල්වලට දමා ගන්නවා. ඊළඟට ‘චේන්ජින් බෑග් එකේ’ දාලා අර ෆිල්ම් කපලා, ‘ඩිවෙලොපර් ටෑන්ක් එකට’ දාලා, ඒවා අතින්ම ‘ඩිවෙලොප්කර’ (දළ සේයාපටල සේදීම) ගන්නවා. දැන් මේ ෆිල්ම් කෑලි වේලා ගන්න  ඕනෑ. වැඬේ හදිසියි නේ. ඉතින් ක්ලිප් ගහලා ප්‍රෙස් බොක්ස් එකේම එල්ලලා, ‘හෙයාර් ඩ‍්‍රයර්’ එකෙන් වේලනවා! එයාල ‘හෙයාර් ඩ‍්‍රයර්’ එකත් ගෙදරින්ම අරන් එනවා. ඒ හැම දෙනෙක් ළඟම ‘නෙගටිව් ස්කෑනර්’ තියෙනවා. වේලා ගත්තු ෆිල්ම් කෑලි ඒකේ ආධාරයෙන් ‘ඩෙක්ස්ටොප්’ කොම්පියුටරයට දාලා, අවශ්‍ය පින්තූර (පේ‍්‍රම්) තෝරලා හදා ගන්නවා. ඒ කාලේත් හැම ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයකම ‘ඉන්ටර්නෙට්’ තිබුණා. ඉතින් තෝරා ගත් පින්තූර, එයින් ක්ෂණිකවම ඒ ඒ ප‍්‍රවෘත්ති මූලස්ථානවලට යවනවා. මැච් එක හවසට නවත්තපුවාම, ආයෙමත් මේ යුද්ධය සිද්ධ වෙනවා. මට ඒ විදිහට ‘කලර් ෆිල්ම්’ ‘ඩිවෙලොප්’ කරන්න කියා දුන්නේ, ගැමුණු අමරසිංහ සහ අනුරුද්ධ ලොකුහපුආරච්චි යන දෙදෙනායි. අපි ඒ අයට උදව් කළා. මිනිස්සු ‘රොයිටර්’ ආදී විදෙස් ප‍්‍රවෘත්ති සේවාවන් ඔස්සේ එන ක‍්‍රිකට් පින්තූර බලලා හරියට සතුටු වෙනවා. ඒත් ඒ කාලේ ඒවා පිටුපස්සේ තිබුණු ශිල්පීය වෙහෙස ගැන කවුරුවත් දන්නේ නෑ. දැන් නම් ඉතින් සේරම ‘ඩිජිටල්’ නේ. පින්තූර ගත්තා, ‘ලැප් එකෙන්’ හරි ‘ටැබ් එකෙන්’ හරි ක්ෂණිකවම ඇරියා!’
 
(පින්තූරය-විමුක්ති)

දැන් ඩිජිටල් හින්දා පහසුයි ද?
‘නිව්ස් කවරේජ්’ වැඩවලට නම් ඩිජිටල් ඉතා පහසුයි. මොක ද, ‘නෙගටිව්’ නෑ. ‘කලර් ලැබ්වල’ රස්තියාදුව නෑ. ‘ෆිල්ම් රෝල්’ සහ ‘ප‍්‍රින්ටින් වියදම්’ නෑ.  ඕන රෑක වුණත් පින්තූර දෙන්න පුළුවන්. කැමරාත් ඩිජිටල්. ඉතින් ‘පොටෝෂෝප්’ (ඡායාරූප සකස් කිරීමේ හා සංස්කරණය කිරීමේ මෘදුකාංගයක්) දාලා සකස් කරලා, ලෝකේ  ඕනෑම තැනට ඊමේල් කරන්නත් පුළුවන්. ජංගම දුරකතනයකින් වුණත් යවන්න පුළුවන්. ජංගම දුරකතනවලත් කැමරා තියෙන නිසා  ඕනෑම මොහොතක පින්තූරයක් ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. අද තාක්ෂණය ඉතා දියුණුයි. මේ සියල්ල හොඳයි. ඒක ඇත්ත. ඒත් මිනිස්සු තාක්ෂණය හරි විදිහට පාවිච්චි කරනවා ද? කියන ප‍්‍රශ්නය මට තියෙනවා.  හුඟක් අය ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරන්නේ වැරදි විදිහටයි. එතැන ඡායාරූපයක තිබිය යුතු ‘කලාත්මක ජීව ගුණය’ තියෙනවා ද? කියන එක ප‍්‍රශ්නයක්. ‘ඡායාරූපමය ගුණය’ තියෙනවා ද? කියන එක ප‍්‍රශ්නයක්. මට නම් හිතෙන්නෙ, ඡායාරූප ශිල්පයට ඩිජිටල් තාක්ෂණය පැමිණීම, හරියට ‘වඳුරාට දැලි පිහිය දුන්නා වාගේ’ කාරණයක්’
 
ඇයි එහෙම කියන්නෙ?
දැන් විවිධ පරාසයේ, ධාරිතාවේ කැමරා වර්ග  ඕනෑ තරම් තියෙනවා. කුඩා ප‍්‍රමාණයේ ඩිජිටල් ‘බට්ටො කැමරාවල’ පටන් රුපියල් ලක්ෂ ගණන්වලට විකිණෙන කැමරා තියෙනවා. ඊට අමතරව, ජංගම දුරකතන සහ ‘ටැබ්වලටත්’ කැමරා ඇවිත්. මේ තත්ත්වය නිසා අද ජන සමාජයේ හැමෝම ඩිජිටල් ‘ඡායාරූප ශිල්පීන්’ බවට පත් වෙලා. හැබැයි ඒ අය ඒක හරියට භාවිත කරනවා ද? අද ඡායාරූප ශිල්පය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කරන ආකාරය එහැමපිටින්ම විකෘතියක්. පින්තූර ගහලා, කොම්පියුටරයට දාලා, ‘පොටෝෂෝප්වලින්’ මොනව හරි හදනවා. ඒක පින්තූරවලට කරන හානියක්. පින්තූරයක් කියන්නේ, ඒක කැමරාවට හසුකර ගන්න අවස්ථාවේ ඇහැට පෙනුණු දේ. ඒක පින්තූරයට ගත්තාම, අපට ඒක විකෘති කරන්න අයිතියක් නෑ. අවශ්‍ය නම් පින්තූරයේ පෙනෙන අරමුණ යම් උද්දීපනය කිරීමක් කළ හැකියි. හැබැයි විකෘති කරන්න බෑ. දැන් ඩිජිටල් තාක්ෂණයෙන් පින්තූර විශාල ලෙස විකෘති කරනවා. හරි නම් තියෙන්න  ඕනේ, ඒ අවස්ථාවේ තිබිච්ච දේ. ‘වෙඩින් ඇල්බම්වල’ දෙන්නෙම විකෘති පින්තූර. සමහර ‘වෙඩින් කපල්වල’ පින්තූරවලට, දාලා තියෙන්නේ එංගලන්තයේ ‘බෑක් ග‍්‍රවුන්ඞ්’! ප‍්‍රශ්නය තියෙන්නේ මේ විකෘතියට සමහර අය කැමතියි!’
 
ඔබ කියන්නේ ‘ඩිජිටල්කරණය’ හොඳ නැහැයි කියලා ද?
‘එය හොඳයි. හැබැයි ඒක භාවිත කරන විදිහේ අවුලක් තියෙනවා. ඩිජිටල්කරණය නිසා ඡායාරූප ශිල්පීන්ට ලොකු පහසුවක් ලැබුණා. ඒත් එක්කම, ඡායාරූපයක තිබුණු ස්වාභාවිකත්වය ගිලිහී ගියා’
 
ඔබ ‘කට්ට කන්න’ කැමති මාධ්‍ය ඡායාරූප ශිල්පියෙක් හැටියට ප‍්‍රසිද්ධයි!
‘පොටෝග‍්‍රැපි’ ඇවිල්ලා ‘කට්ටක්’ තමයි. විශේෂයෙන්ම ‘නිවුස් පොටෝග‍්‍රපර් කෙනෙක්’ කියන්නේ ‘කට්ට කන්නම’ වෙන් වුණු කෙනෙක්. එහෙම නැතිව හොඳ පින්තූර ලැබෙන්නේ නෑ.’
 
මොනවාද, පහුගිය කාලේ කාපු ඒ වගේ කටු?
‘ගොඩක් තියෙනවා. 2002 දී ප‍්‍රවීණ මාධ්‍යවේදී නුවන් ගන්කන්ද එක්ක, දෙසතියක් විතර මහවැලි ගඟ දිගේ ගියා. අපි ඒ ගමන ගියේ ‘ඉරිදා ලක්බිමට’. මහියංගණෙන් පටන් අරන්, ඩිංගි බෝට්ටුවක නැගලා, ත‍්‍රිකුණාමලයේ ගං මෝය දක්වාම අපි යාත‍්‍රා කළා. ඒ කාලේ යුද්ධය පැවතුණා. අපට ආරක්ෂක හමුදා සමග මෙන්ම ‘කොටි ත‍්‍රස්තවාදීන්’ සමග ද කතාබහ කරන්න වුණා. දවසක් අපි මනම්පිටියට නුදුරින් මහවැලි ගඟේ දූපතක නිදා ගත්තා. අපට ආරක්ෂක අංශවල දැඩි ප‍්‍රශ්න කිරීම්වලට මුහුණ දෙන්න වුණා. කන්තලේ සිත්තාරු පාලමේ දී අපි හමුදා අත්අඩංගුවට පත් වුණා. පස්සේ මුදා හැරියා. එතැනින් පහළට තිබුණේ ‘කොටි කඳවුරු’ ප‍්‍රදේශ. ඔවුනුත් අපෙන් ප‍්‍රශ්න කළා. සෝමාවතිය හරියේ දී අපි වල් අලින්ට කොටු වෙලා, බේරුණේ හරිම අමාරුවෙන්. ජැක්සන් ඇන්තනි මහත්තයා ‘ගඟ දිගේ’ රූපවාහිනී වැඩ සටහන් මාලාව කළේත්, නුවන් පත්තරේට ලියූ කතා පෙළින් පස්සෙයි. ඊට පස්සේ ආයෙමත් නුවන් එක්ක ‘කතරගම පාද යාත‍්‍රාවේ’ ගියා. අපි ද්‍රවිඩ බැතිමතුන් සමග පොතුවිල් ඉඳලා, පානම, ඔකඳ, කුඹුක්කන් ඔය ඔස්සේ යාල කැලේ මැදින් පයින්ම කතරගමට ආවා. ඒකට දින ගණනක් ගියා. ඇයි අයියේ ඔයත් එක්ක ‘සේතු සමුද්‍රම්’ සොයන්න තලේ මන්නාරමේ වැලි පර දූපත්වලට ගිය ගමන, ඒ වගේම ලාහුගල නීලගිරි සෑයේ කැණීම් බලන්න ගිය ගමන, පාහියන්ගල කැණීම් බලන්න ගිය ගමන. ඒවා බොහොම දුෂ්කර ගමන්. මම යුද්ධයත් කවර්කරලා තියෙනවා. වවුනියාවේ සනත් ප‍්‍රියන්තත් එක්ක උතුරේ ඇවිදලා තියෙනවා. නුවන් එක්කත් උතුරේ ‘ඩෙල්ෆ්ට්’ සහ ‘කච්චතිව්’ යන දූපත්වල සංචාරය කරලා තියෙනවා. යුද්ධයේ අවසන් සමයේ යුද්ධයත් කවර් කරන්න වුණා. මේ වගේ අත්දැකීම් නම් බොහොමයි. කටු කන්නේ නැතිව මාධ්‍යවේදියෙකුට අත්දැකීම් ලැබෙන්නේ නෑ’
 
දුෂ්කර ගමන්වල දී හොඳ පින්තූර ලැබෙන්න ඇති?
‘මෙහෙමයි, ඔය වාගේ ගමනක දී ආකාර කීපයකට පින්තූර ගන්න වෙනවා. එකක් ‘නිවුස් පින්තූර’. ඊළඟට ලියැවෙන්නට යන විශේෂාංගයට අවශ්‍ය ‘විශේෂාංග පින්තූර’. අනෙක, පසු අවස්ථාවල දී පාවිච්චි කරන්න පුළුවන් ‘ලයිබ‍්‍රරි පින්තූර’. මම නම් ඔය කොයිකත් අත්හරින්නේ නෑ’
 
මේ වාගේ වැඩවලට පෙර සූදානමක් තියෙනව ද?
 
‘තියෙනවා. ගමන සංවිධානය වෙද්දී මම නම් ලේඛකයා ගෙන්, තොරතුරු විමසනවා. ඔහු හා සාකච්ඡා කරනවා. ගමනේ අරමුණ ගැන විමසනවා. ගත යුත්තේ කුමන ආකාරයේ පිනතූර දැයි විමසා දැන ගන්නවා. මොකද, විශේෂාංගය රචනා කිරීමේ සැලසුම තියෙන්නේ ඔහු අතේ. මට පැවරී තිබෙන්නේ, එය උසස් ගණයේ පින්තූරවලින් අලංකාරකර දීමේ රාජකාරියයි. මම ඒ සඳහා උපරිමයෙන් කැප වෙනවා. එහෙම අවබෝධයක් නැතිව ගියොත්, අන්තිමට වැඩේට අවශ්‍ය පින්තූර නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොහොමයක් ප‍්‍රවෘත්ති ලේඛකයෝ, තම අරමුණු ගැන ඡායාරූප ශිල්පියා දැනුවත් කරනවා. ඒත් සියල්ල සහසුද්දෙන්ම අසා ගැනීම, අපේ රාජකාරියේ කොටසක්. තවත් දෙයක් තියෙනවා. සෑම ඡායාරූප ශිල්පියෙක්ම, තමන් ආවරණය කරන විෂයන් ගැන ප‍්‍රාමාණික දැනුමක් ඇතිව සිටිය යුතුයි. යුද ගැටුම් කාලයේ නම් ඔහු යුද්ධය ගැන ද, පරිසර පින්තූර ගන්නේ නම්, වන සතුන්, ගහ කොල, ආදිය ගැන ද, දේශපාලනය වාර්තා කරන්නෙක් නම්, දේශපාලන ප‍්‍රවණතා ගැන ද දැන සිටිය යුතුයි. මේක ඉතා පුළුල් කාරණයක්. එය ‘වෙඩින්වලටත්’ පොදුයි. එහෙම අවබෝධයක් නැතිව වැඩ කරන්න බෑ. ක‍්‍රීඩා පින්තූර ගන්න යන කෙනා, ඒ ක‍්‍රීඩාවේ හැඩතල ගැන දැන සිටිය යුතුයි. ඒ වාගේම, මාධ්‍ය ඡායාරූප ශිල්පියෙක් වුණාම, තමන් ගන්නා පින්තූරවලට ‘කැප්ෂන්’ (පින්තූර විස්තරය) ලියන්නත් දැන සිටිය යුතුයි. එය මාධ්‍ය ඡායාරූපකරණයේම කොටසක්. දැන් ඩිජිටල් සහ පොටෝෂෝප් සංස්කෘතියේ ගිලී ඉන්න බොහොමයක් දෙනාට මේ වගේ අවබෝධයක් තියෙනවා ද? කියන එක ඇත්තටම ප‍්‍රශ්නයක්’
2015/09/21.












1 comment:

  1. අදහස් ගොන්න අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete