Total Pageviews

Friday, September 11, 2015

හතළිස් වසරකට පසුව වහලයෙන් හමුවූ රත්තරන් කොඩිවිනය


හතළිස් වසරකට පසුව 
වහලයෙන් හමුවූ රත්තරන් කොඩිවිනය
සත්‍ය කතාවක් ඇසුරිණි
 




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘හියාරේ’, ගාල්ලට නුදුරු පැරණි ගමකි. ගාලූ නගරයට ජලය සම්පාදනය කරන ජලාශය  ද එහි පිහිටා තීබීම නිසා, එය බොහොම ප‍්‍රසිද්ධ ය. ජලාශයට යාබද කුඩා වන රොද පවා එය නරඹනු පිණිස එහි යන එන අයගේ සිත් බඳියි. ගෘහ භාණ්ඩ තැනීම මෙන්ම, නිවෙස්වල වහලවල් ඉදි කිරීම සම්බන්ධයන් ද කොළඹ රටේ පවා ප‍්‍රසිද්ධව සිටින ‘හිච්චි බාස් උන්නැහේ’ නමැති ‘වඩු මහත්තයා’ නිවසන්නේ ද හියාරේ ය. ‘එගොඩ යන’ වයසේ පසුවන ඔහු, දක්ෂ වඩුවෙකු සේම අතිශයින්ම නිහඬ පුද්ගලයෙකි. ගමේ කොයි කාගේත් ගෞරවය දිනූවෙකි.

‘සසංක’ ද හියාරේ වැසි තරුණයෙකි. මෑතක දී ලංකා වදුලි බල මණ්ඩලයට එක් වුණු ඔහුගේ රැකියාව ගෙයින් ගෙට ගොස් ‘ලයිට් බිල්’ ලිවීම ය. දිනක් ඔහු ලයිට් බිල ලිවීම පිණිස හිච්චි බාස් උන්නැහේගේ නිවසට ගිය අතර, හා වැස්සක් කඩා වැටීමෙන් ආපසු එන්නට ප‍්‍රමාද විය. හිච්චි බාස් උන්නැහේ සසංක මෙන්ම ඔහුගේ මව්පියන් ද හොඳින් හඳුනයි. ඒ ඔවුන් ද ගමේ අසල් වැසියන් නිසා ය. වැස්ස පායන තුරු වල්පල් දොඩමින් සිටින අතරතුර හිච්චි බාස් උන්නැහේ,

 

‘මහත්තයලට හරිම කරදර නේ ද? හැමදාම එක එක ප‍්‍රශ්න නේ ද? දැන් මහම්මාට සනීප ද? ඔයාලගේ අම්මත් නිතර අසනීපෙන් නේ ද?’ යයි සසංකගෙන් අමුතු ප‍්‍රශ්නයක් ඇසී ය.
 ඒ ප‍්‍රශ්නයෙන් සසංක මදක් කලබල විය. හිච්චි බාස් උන්නැහේ ගමේ අසල්වැසියෙක් වූවාට, සසංකලා ළඟින් ආශ‍්‍රය කරන කෙනෙක් ද නො වේ. එසේ නම් ඔහු තම පවුලේ ප‍්‍රශ්න ගැන දන්නේ කෙසේ ද? යන්න ඔහුට ගැටළුවක් විය.

‘නෑ අංකල්, දැන් හුඟක් දේවල් හොඳයි. අම්මත් දැන් පැන්ෂන් නේ’ යයි සසංක කෙටි පිළිතුරක් දුන්නේ ය.

 



සසංකගේ අම්මා, හිටපු තැපැල් ස්ථානාධිපතිවරියකි. එබැවින් ගමේ අය ඇය හඳුන් වන්නේ ‘හියාරේ තැපැල් නෝනා’ යනුවෙනි. ඔහුගේ පියා ‘වීරවර්ධන මහත්තයා’ ය. හෙතෙම හිටපු ග‍්‍රාම නිලධාරියෙකි. තේ, කුරුඳු ඉඩම් හිමි වැවිලිකරුවෙකි. සසංක ඔවුන්ගේ එකම දරුවා ය. ඔවුන්ගේ පවුලත්, තැපැල් නෝනාගේ අම්මාත් (මහම්මා), වීරවර්ධන මහත්තයාගේ අවිවාහක සහෝදරයෙකුත් ජීවත් වන්නේ සසංකලාගේ නිවසේ ය. ඒ නිවසෙහි කවුරුත් නිරන්තරවම ලෙඩින් දුකින් පෙළෙන වුන් වෙති. වයස්ගත මහම්මා වැඩි හරියක් ගත කරන්නේ ගෙදර නොව, කරාපිටිය රෝහලේ ය. තැපැල් නෝනාට ද කලක පටන්ම එක එක අසනීප ය. තාත්තාට ද වරින්වර කුමක් හෝ අසනීපයක් වැළෙඳෙයි. මෑතක දී ඔහු ගල් වැටකින් ඇද වැටී, දිගු කලක් තුවාල ලබා හුන්නේ ය. ඒ මදිවාට ඔවුන් ඉඩම් නඩුවකට ද පැටලී සිටිති. පවුලට ලැබෙන ආදායමේ කිසි ඉතුරුවක් නැත්තේ ය. ණය බර ද අධික ය. එහෙත් සසංකලාගේ පවුලේ අය, මේ දුක් කරදර පිටතට අඟවන්නෝ නො වෙති. සියල්ල නිහඬව විඳ දරා ගෙන වසන්නෝ ය!

නිවසට කොඩිවිනයක් !
‘ඔය ගොල්ලන්ගෙ කරදර ගැන මම දන්නවා. ඔය ගැන සාස්තරයක්වත් අහලා බැලූවේ නැද්ද?’, සසංකගේ කෙටි පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ පරිද්දෙන්, හිච්චි බාස් උන්නැහේ විමසී ය.
 

‘අපේ අම්මලා ඔය මොනව ද බැලූවා. ඒත් පලක් වුණේ නෑ’, සසංක  පිළිතුරු දුන්නේ  ඕනෑවට එපාවට ය.
 

‘පලක්  වෙන්නෙ නෑ තමයි. මම ඒක දන්නවා. සසංක පුතාට මම පොඩි දෙයක් කියන්න ද?, මේක කියන්නෙ කොහොමද කියලයි මෙච්චර කල් හිටියේ. ඒත් දැන් බලන් හිටියා ඇති. කෙරිච්ච දේවල්වල හැටියට දැන් ඔතන ගෙයක් තියෙන්නත් බෑ. පුතාලා තාම ඔතන ඉන්නේ පෙර පිනකට වෙන්න ඇති!’, හිච්චි බාස් උන්නැහේ පැවසුවේ බැරෑරුම් විලාශයෙනි.
 

සසංකට ඇති වූයේ මහත් කුතුහලයකි. සමීපව ආශ‍්‍රය නො කරන කෙනෙක් වුව ද, හිච්චි බාස් උන්නැහේ තම පවුලේ විස්තර ද මැනවින් දනියි. ඊටත් වඩා ඔහුගේ සිත ව්‍යාකූල වූයේ, ‘කෙරිච්ච දේවල්වල හැටියට දැන් ඔතන ගෙයක් තියෙන්නත් බෑ’ යයි කියූ වදන් පෙළයි. දැනටමත් නිවසේ වහලය දිරා ගොස්, අඩක් බිඳ වැටී මුක්කු ගසා ඇති බවත් ඔහුට මතක් විය. එය අලූත්වැඩියා කිරීම පමා වන්නේ ද මුදල් නැතිකම නිසාවෙනි. එය ගාම්භීර පෙනුමක් සහිත, පැරණි පන්නයේ දැකුම්කළු නිවසකි. එය වසර 40ක් පමණ පැරණි ය. එවැන්නක් අලූත්වැඩියා කිරීම ද අද ලෙහෙසි වැඩක් නොවේ!

‘ඇයි අපේ ගෙට මොනවා වෙලාද අංකල්?’ සසංක විමතියෙන් ඇසී ය.

හිච්චි බාස් උන්නැහේ ඊට දුන් පිළිතුරින් ඔහු ගල් ගැසිණි!
 

‘පුතාලා දන්නෙ නෑ. ඔය ගේ හැදුවේ අපි. මම තමයි වහල ගැහුවේ. ‘සුමනපාල ඉස්කෝලේ මහත්තයා’  ඕක හැදුවේ ආයේ ගමෙන් පිට යන්නේ නෑ කියලයි. ඒත් එයාලට ඔය ගෙයි ඉන්න බැරි වුණා. මරණත් දෙකක් ද කොහෙද වුණා. බැරිම තැන ඒ ගොල්ලෝ  ඕක විකුණලා කළුතර පැත්තේ ඉඩමක් අරන් පදිංචියට ගියා. පවුල් නෑදෑකමුත් නැති වුණා. ඔය ගෙට ඒ කාලේ ‘කොඩිවිනයක්’ කරලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ ඉන්න අයට උන්හිටි තැන් නැතිවෙන්නයි. පුතාලාගෙ තාත්තා  ඕක සල්ලිවලට ගත්තේ ඊට පස්සෙයි. එයා ඔය ගැන කිසි දෙයක් දන්නේ නෑ. ඇයි ගමෙන් පිටනේ හිටියේ. තාත්තාට වෙලාවක මාව හම්බ වෙන්න කියන්න. මේක වෙන කාටවත් කියන්න හෙම එපා’, හිච්චි බාස් උන්නැහේ කීවේ ය.

 

මේ කතා ඇසූ සසංක, එදා වැඩ ඇරී ගෙදර ගියේ අවුල්වූ සිතිනි. තමන්ට නිරන්තරයෙන්ම වන කරදර නිසා, සංකලාගේ අම්මා (තැපැල් නෝනා) සාස්තර බැලූවේ වරක් දෙවරක් නො වේ. ඒ සෑම තැනක දීම කියැවුණේ, තම නිවසට බලගතු කොඩිවිනයක්කර ඇති බවයි. එය ඉවත් කිරීම පිණිස නොයෙකුත් ගුරුකම් කළ ද, ඒ සියල්ල අසාර්ථක විය. කිසිදු ‘යද්දෙහි මහත්තයෙකුට’, ඇදුරෙකුට, කොඩිවිනය හමු වූයේ ද නැත. පේන බැලීම්වලින් ගෙවත්ත හෑරුව ද, හමුවූ කොඩිවිනයක් නො වීය. වීරවර්ධන මහත්තයාත්, තැපැල් නෝනාත් මේවා කළේ ද හොර රහසිනි. ඒවායෙහි ආවතේවකම් කරන්නට පවා ගෙන්වා ගත්තේ ද වීරවර්ධන මහත්තයාගේ මුල් ගම වන හල්ගස්මුල්ලේ, මාබැවුල්කන්ද ගමේ විශ්වාසවන්ත උදවියයි. ගමේ අසල්වැසියන් ද මේවා ගැන දැන සිටියේ නැත. ඔවුන් සිතා සිටියේ, මහම්මා සනීපකර ගන්නට තොවිල් කරනවා යනුවෙනි. මේ සියල්ල නිසා, සසංකලාගේ පවුලේ හට ගෙන තිබුණේ මහත් පීඩාකාරී තත්ත්වයකි.

 

සසංකලාගේ නිවස තනා, එහි මුලින්ම පදිංචිව සිටියේ ‘ ‘සුමනපාල ඉස්කෝලේ මහත්තයා’ ය. ඔහු මහම්මාගේ (තැපැල් නෝනාගේ මව), ලොකු අක්කාගේ දෙටු පුත‍්‍රයා ය. ඔහු නිවස තනවා ඇත්තේ ගාල්ලෙන් පිට පළාත්වල ගුරු සේවයේ යෙදෙන අතරතුර ය. නිවස තැනූ ඉඩම සිය පවුලෙන් ඔහුට උරුමවූ බිම් කොටසයි. නිවස තැන වීමේ කටයුත්ත කෙරුණේ, ‘පිටදෙණියේ හාමිනේ’ හෙවත් තැපැල් නෝනාගේ අක්කාගේ මෙහෙය වීමෙනි. සුමනපාල ඉස්කෝලේ මහත්තයා මෙන්ම, වීරවර්ධන මහත්තයාත් රැකියා කටයුතු පිණිස ගමෙන් පිටවී සිටීම නිසා ඒ බර කරට පැවරුණේ ‘පිටදෙණියේ හාමිනේට’ ය. පවුලේ ඉඩකඩම් බෙදිල්ල ගැන යම් ආරෝවක් ඇයට තිබිණි. ඉන් තමන්ට අසාධාරණයක් වූවා යයි ද, සුමනපාල ඉස්කෝලේ මහත්තයා එයට වග කිව යුතු යයි ද ඇය ඇදහුවා ය. කෙසේ වෙතත්, ඥාති අයියණ්ඩිය වෙනුවෙන් නිවස ඉදි කරවා දීමට ඇය මැදිහත් වූවා ය. මේ කියන කාලයේ සසංක ඉපදීලාත් නැත. පිටදෙණියේ හාමිනේ සසංකලාගේ ලොකු අම්මා ය. මහප්පා ඇතුළු ඒ පවුලේ අය, ඔහුගේ පවුලේ ද සමීපයෝ ය. ඔහු සිය පවුලේ අතීතය ගැන දන්නේ, වැඩිහිටියන් පවසන තොරතුරු ඇසුරිණි. ‘පුතාලා දන්නෙ නෑ. ඔය ගේ හැදුවේ අපි. මම තමයි වහල ගැහුවේ’ යයි හිච්චි බාස් උන්නැහේ කී කාරණාව, ඔහුගේ සිතෙහි තදින්ම කා වැදුණේ එබැවිනි. එය මෙතෙක් නො දැන සිටි කරුණකි!

 

සසංකගේ කතාව ඇසූ වීරවර්ධන මහත්තයාත්, තැපැල් නෝනාත්, අන්දමන්ද වූහ. ‘හිච්චි බාස් උන්නැහේ මේ ගෙයි වහලේ ගහන්ඩ ආවා කියන කතාවක්, අක්කා කවදාවත් කියලා නෑ’ යයි, තැපැල් නෝනා සිහිපත් කළා ය. ‘ ඕක මොකක් ද දන්නෙ නෑ. මං කොයිකටත් ඔය මනුස්සයා හම්බ වෙන්නම්, එතකල්  නෝනේ  ඕක ගැන කාටවත් කියන්ඩ එපා’, වීරවර්ධන මහත්තයා සිය බිරියට උපදෙසක් ද දුන්නේ ය.

දින කිහිපයක් ගෙවී ගියේ ය. ඒ අතර, හිච්චි බාස් උන්නැහේ හමු වන්නට ගිය වීරවර්ධන මහත්තයා ගෙදර ආවේ නො සන්සුන්ව ය.
 

‘මොක ද වුණේ?’ තැපැල් නෝනා විමසුවා ය.
 

‘වෙන්ඩ තියෙන සේරම වෙලා ඉවරයි නෝනේ. කොඩිවිනේ කිව්වාට, ඒක මතුරලා, රත්තරන් ගාපු ඇණයක්ලූ. ගෙයි මුදුන් යටලීයටලූ හයිකරලා තියෙන්නේ. බාස් උන්නැහේ මගේ අත් දෙක අල්ලගෙන ඇඬුවා. ඒක හයි කළේත් එයාමලූ. ඒකට ඒ කාලේ සල්ලිත් ලැබුණලූ. මේකේ බරපතලකමක් දන්නෙ නැතිව, සල්ලි නිසා ඒක කලා කියලයි හිච්චි බාස් උන්නැහේ කිව්වෙ. මේක අපට කරපු දෙයක් නෙවෙයිලූ. මගෙන් සමාවත් ගත්තා. ඉතිං මං ඇහුවා මේක කළේ කාගේ  ඕනෑකමකට ද කියලා. කිව්වේ නෑ. මං කිව්වා, ළඟදි වහලේ ගලවන්නයි, රෙපයාර් කරන්නයි ඉන්නේ කියලා. එතකොට ඇවිත් ඒක පෙන්නන්නම් කීවා. පෙන්නලා, ඒක කළේ කවුද කියලත් කියන්නම්ය කිව්වා’, වීරවර්ධන මහත්තයා දීර්ඝ හෑල්ලක් කියා ගෙන ගියේ, තැපැල් නෝනාත්, සසංකත්, තුෂ්ණිම්භූත කරවමිනි!
 

ඔවුන්ට එදා රාත‍්‍රියේ නින්ද ගියේ ද නැත.
 



මරු කතිරයෙන් රත්තරන් ඇණය හමුවේ!
කොළඹ ප‍්‍රදේශයේ වහලවල් ගැසීම් ආදී කොන්ත‍්‍රාත් කරන ‘පොඩි තිලක්’ සසංකලාගේ ගමේ පදිංචි තරුණයෙකි. දක්ෂ වඩුවෙකු ලෙස ප‍්‍රසිද්ධියක් උසුලන්නෙකි. සසංකලාගේ නිවසේ අබලන් වහලය ගලවා, එය අලූත්වැඩියා කිරීම පැවරුණේ ද ‘පොඩි තිලක්ට’ ය. ඔහු සිය කණ්ඩායම ද සමග පැමිණ මුලින්ම වහලය මිණුම් කළෝ ය. ඊලඟට ඊට සරිලන සේ යට ලී, පරාල ආදී දැව දඬු සැකසුවෝ ය. එය වැසි රහිත සමයකි. එබැවින් නිවසෙහි වහල ගැල වීමට බාධාවක් නො වුණේ ය. නිවැසියෝ තාවකාලිකව, ගෘහය පිටුපස කොටසෙහි වාසයට ගියහ.

පොඩි තිලක්ගේ කණ්ඩායම, මුලින්ම වහලයේ ඇති උළු කැට ගලවා පරිස්සමින් බිමට බෑහ. අනතුරුව පරාල සහ යටලී ගැලවූහ. ඒවා බොහාමයක් දිරා ගොස් පැවතුණි. අසල්වැසි නෑයන් කිහිප දෙනෙක්ම  වැඩවල අත් උදව්වට පැමිණුනහ. එහෙත් පිටදෙණියේ හාමිනේ නම්, වාත අමැරුවකට බෙහෙත් ගන්නේ යයි කියමින් සසංකලාගේ නිවස පැත්තට වත් ආවේ නැත.

වහලය ගලවන දවසේ, හිච්චි බාස් උන්නැහේ පැමිණියේ සිය පුත‍්‍රයාගේ ත‍්‍රීවීලයෙනි.
‘මට දැන් වහලවල්වල නගින්න වාරු නෑ. අපි ‘මුදුන් යට ලීය’ බානකල් ඉම්මු. හැබැයි වීරවර්ධන මහත්තයා මෙතැන කලබල ඇතිකර ගන්න නම් එපා. මට මේක මෙච්චරකල් කියන්න හිත් නො දුන්නෙ, මහත්තයලා මේක කෙහොම බාර ගනීවි දැයි හිතා ගන්න බැරුවයි. ඒත් එදා සසංක පුතා හමු වුණාම  ඕන එකක් කියලා මේක කියන්ඩ හිතුවා’, ඔහු වීරවර්ධන මහත්තයාට පැවසුවේ රහසින් මෙනි.

මේ වන විට පොඩි තිලක් සිටියේ වහලය මත ය. වීරවර්ධන මහතා කොඩිවිනයේ කාරණය  ඔහුට පමණක් රහසින් පවසා තිබිණි. එබැවින් ඔහු වහලයේ වැඩ කළේ විමසිල්ලෙනි. එහෙත් මුදුන් යට ලීය පරීක්ෂා කළ ද, එබඳු යමක් ඇස නො ගැටිණි. එය තැනින් තැන දිරාපත්ව ඇති වග නම් පෙනෙන්නට තිබිණි. තිලක්ගේ ඉල්ලීම පරිදි මුදුන් යට ලීය, කඹ පොටක ආධාරයෙන් බිමට බා ගැනුණි. මුදුන් යට ලීයේ කොඩිවින කාරණය දන්නේ, සසංකගේ මව්පියන්, සසංක, පොඩි තිලක් සහ හිච්චි බාස් උන්නැහේ පමණි. එබැවින් එහි සිටි අනෙක් අයට ඒ ගැන නිනව්වක් නො වීය.

දැන් කාගේත් අවධානය, බිමට බා ගත් මුදුන් යට ලීයට ය. හිච්චි බාස් උන්නැහේ වහාම එහි එක් ස්ථානයක් සලකුණු කළේ ය. එය නිවස පිහිටි භූමියේ ද, වහලයේ ද, වාස්තු විද්‍යාත්මකව ‘මරු කතිරය’ යනුවෙන් හඳුන්වන ස්ථානයයි!

පොඩි තිලක්, හිච්චි බාස් උන්නැහේ සලකුණු කළ ස්ථානය නියනකින් හාරා දැමී ය. ඒ තුළ තඹ කොලයක එතූ අඟල් දෙකක පමණ රත්තරන් පාට ඇණයක් විය! ඇණය, මුදුන් යට ලීයේ හෑරූ සිදුරකට බස්සා, දැවමය ඇබයක් ගසා තිබිණි. එය රන් ආලේප කළ තඹ හෝ ලෝකඩ ඇණයකි. එය දෑතින්ම ගත් හිච්චි බාස් උන්නැහේ, ඇණය වීරවර්ධන මහත්තයා අතට දී, දණ ගසා වැන්දේ ය. හඬමින් සමාව ඉල්ලූවේ ය. මේ සිද්ධිය දැක වැඩෙහි යෙදී සිටි අනෙක් අය ද එතැනට ආවෝ ය. ‘රත්තරන් ඇණය’ දැක ගත්හ.

ඉක්බිතිව, වීරවර්ධන මහත්තයා එතැනින් ඉවතකට කැඳවා ගෙන ගිය හිච්චි බාස් උන්නැහේ, බොහෝ වේලාවක් මොන මොනවා දෝ රහසින් කතා කළහ. ඉන් පසුව ඔහු පුත‍්‍රයාගේ ත‍්‍රීවීලරයේ නැගී යන්නට ගියේ ය.

හතළිස් වසරකට පසුව, වීරවර්ධන මහත්තයාගේ වහලයෙන් කොඩිවිනයකට දැමූ රත්තරන් ඇණයක් හමුවූ බව, එදා සවස් වන විට මුළු ගම පුරා පැතිරිණි. ඇතැම්හු ‘රත්තරන් ඇණය’ දැක බලා ගන්නට ද පැමිණියහ.
 

මේ අතර, තැපැල් නෝනේ සිය අක්කණ්ඩිය හමු වන්නට ගියේ හඬමිනි. කලබලයෙනි. ඇය පිටදෙණියේ හාමිනේ ගෙන් ඇසුවේ එකම ප‍්‍රශ්නයකි. ඒ, ‘ඇයි අක්කේ මෙහෙම දෙයක් කළේ?, ඇයි අපිට මේක කිව්වෙ නැත්තේ?’ යනුවෙනි. දෑස් මහත් කොට සිය නැගණිය දෙස තුෂ්නිම්භූතව බලා සිටි පිටදෙණියේ හාමිනේ, නිහඬව සිටියා මිස එක වචනයකුදු නො කීවා ය!

 



දැන් ඒ පවුල් දෙක විරසක ය. කාගේ දෝ උපදෙසක් අනුව, යාබද ගමක පන්සලකට ගිය තැපැල් නෝනේ, රන් ආලේපිත කොඩිවින ඇණය එහි බෝ ගස මුලට විසිකර දැමුවා ය.


පසු සටහන
කතාවෙහි කියැවෙන ආකාරයට, වහලයට හෝ වෙනත් තැනකට කොඩිවින දැමීමෙන් යම් අනර්ථයක් වන්නේ ද? නැද්ද? යන්න, ලියුම්කරු නො දනියි. එහෙත් ඉඩම් තණ්හාව නිසා මුළු පවුලක්ම අඳුරට ගිය බවත්, එය පෙනෙන්නටම තිබුණු බවත්, ඒ ගමේ වැසියන් දනිති. සිද්ධියට සම්බන්ධ පිරිස, කොඩිවින ආදිය ගැන ගැන අසීමිත විශ්වාසයෙන් අන්ධව පසුවූ බව ද කතාවෙන් වැටහේ. මුදලට වහල්වී කොඩිවිනය සවි කළ වඩු මහත්තයා, වසර 40කට පසුව ඒ ගැන හෙළි කරන ආකාරය ද අධ්‍යනය කිරීම වටී.
 

(ගාලූ දිස්ත‍්‍රික්කයේ එක්තරා ගමක, 2015 වසරේ දී  හට ගත් සත්‍ය සිද්ධියක් ඇසුරිණි. මෙහි එන නම්, ගම් පමණක් මනංකල්පිත ය.)

ඡායාරූප-අන්තර්ජාලයෙනි.

2015/09/11.










1 comment:

  1. මල්ලි ගොන් පාට් දාන්න කලින් ගොන්පාට් එකක් කියලා කියන්න.

    ReplyDelete