Total Pageviews

Wednesday, June 10, 2015

නේපාල භූමිකම්පාවෙන් උගත හැකි පාඩම්

නේපාල භූමිකම්පාවෙන් අපට උගත හැකි පාඩම්



(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
 නේපාල රාජ්‍යයට 2015 අප‍්‍රියෙල් 25 වැනි සෙනසුරාදා දහවලේ හටගත් කම්පනය සහ ශෝකය තවම පහව ගොස් නැත. මියගියවුන්ගේ සිරුරු මෙන්ම සුන්බුන් අතර සිරවී පණපිටින් සිටින උදවියද තවමත් හමු වෙමින් තිබේ. කොටින්ම අද මුළු නේපාලයම සොහොන්බිමක් වැන්න. සෙනසුරාදා හටගත් රිච්ටර් 7.9 ක භූමි කම්පාව එරට ජන ජීවිතය එහැමපිටින්ම සමතලාකර තිබේ. ප‍්‍රධාන භූමි කම්පාවෙන් පසුව හට ගත් පසු කම්පන සංඛ්‍යාව ද 60 කි. ඉකුත් බ‍්‍රහස්පතින්දා වන විට ඒජන්සි වාර්තා සඳහන් කළේ මියගිය ජන සංඛ්‍යාව දැන් පන්දහස ඉක්මවා යාමට ඉඩ ඇති බවයි. තුවාල ලැබූ පිරිස දස දහස ද ඉක්මවන්නේ ය. භූ කම්පනය නිසා හිමාල අඩවියේ හිම සුනාමි බඳු තත්ත්වයන්ද හටගත් අතර, ඉන් විදේශික සංචාරකයන් රැසක්ද මරු වැළඳ ගත්හ. නේපාලය වූ කල්හි බුදුන් උපත් දේශයයි. එබැවින් ලාංකික බෞද්ධයන්ට ද නේපාල භූ කම්පනය තදින්ම දැනෙන්නකි.

මේ සටහන ලියන්ගේ නේපාල භූමි කම්පාවෙහි හැඩතල ගැන හෙළි කරන්නට නොවේ. ඉන් අපේ රටට යම් බලපෑමක් තිබේද? යන්න ගැන කතිකාවකට මුලපුරණු පිණිස ය. මෑත ඉතිහාසයෙහි මහා භූමි කම්පාවකට ගොදුරු නොවුවද, ශී‍්‍ර ලංකාව ද වරින්වර භූ කම්පන දැනෙන රටකි. එබැවින් නේපාල භූමි කම්පාව ඔස්සේ අපේ කලාපයට දැනෙන කාරණා ගැන කතිකා කිරීම කාලෝචිත වෙයි.

නේපාලය පිහිටා ඇත්තේ, ලංකාවට සැතපුම් දහස් ගණනක් දුරින්, උතුරු ඉන්දියාවේ හිමාල කඳු පන්ති ආශ‍්‍රිතව ය. කඳුකර රටක් වූ එය, මුහුදු මට්ටමේ සිට උපරිම වශයෙන් මීටර් 6500 කටත් වඩා උසින් පිහිටියේ ය. එය දුර බැහැරින්, ලංකාවට සැතපුම් දහස් ගණනක් වන බව ඇත්තය. එසේ වුවත් නේපාලය, ඉන්දියාව මෙන්ම ලංකාවද, ඒවාට සමීප රටවල් ද භූ විද්‍යාත්මකව පිහිටා ඇත්තේ එකම භූ තලයක හෙවත් එකම ‘‘ප්ලේටයක’’ ය. එබැවින් නේපාල භූමි කම්පාව ඔස්සේ මතුවන භූ විද්‍යාත්මක ආරවුල් ලංකාවේ අපට ද බැහැර කළ නො හැකි ය. ඒජන්සි වාර්තාවල සඳහන් වූ ආකාරයට, ඉන්දීය භූ තලය සහ යුරෝ ඒෂියා භූ තලය එකට ගැටීම නිසා නේපාල භූ කම්පනය හට ගෙන තිබේ.



 ශී‍්‍ර ලංකාවටද භූමි කම්පාවක් පිළිබඳ ඉතා පැරණි වාර්තාවක් තිබේ. පත පොතෙහි එන තොරතුරු අනුව, එය හට ගෙන ඇත්තේ වාර්ෂ 1615 දී, පෘතුගීසීන් ලංකාවේ මුහුදු බඩ ප‍්‍රදේශ පාලනය කරමින් සිටි සමයේ ය. එහිදී, පෘතුගීසීන්ගේ පාලන මධ්‍යස්ථානය වූ කොළඹ කොටුවෙහි සහ ඒ ආශී‍්‍රතව පිහිටි නිවාස හා ගොඩනැගිලි 200 කට අධික සංඛ්‍යාවකට හානි සිදු විය. කොටුවෙහි විසූ පුද්ගලයන් 2000 ක පමණ පිරිසක් මරු වැළඳ ගත්හ. එය එකල මහත් කම්පනීය සිද්ධියක් වූහයි, පසුකාලීන වාර්තා ලියූ ලේඛකයන් සඳහන්කර ඇත. ඉන් පසුව, භූ කම්පනයක් පිළිබඳ ලංකාවට තියුණුව දැණුනු කාරණය 2004 වසරේ දෙසැම්බරයේ එළැඹි සුනාමි තත්ත්වයයි. එයට මුල්වූ සාගර භූමි කම්පාව හට ගෙන තිබුණේ ලංකාවට සැතපුම් 6000ක් පමණ ඔබ්බෙන් ඉන්දුනීසියාව ආශී‍්‍රත මුහුදේ ය. ඉන් ලංකාවේ 60,000 ක පමණ පිරිසක් මියගිය අතර, හට ගත් කම්පනය අදත් දෝංකාර දෙයි.

වර්ෂ 1615 භූ කම්පනයේ පටන් මේ දක්වා, ලංකාවේ ජනතාවට දැනී ගිය භුමි කම්පා (භූ චලන) සංඛ්‍යාව 63ක් බව, ඒවා ගැන උනන්දුවක් දක්වන අය පවසති. 2007 වසරේ ජූලි මාසයේ දින තුනක්ම තිස්සමහාරාමයේ බෙරලිහෙළ ප‍්‍රදේශයට පොළොව සෙලවෙනු දැනුණි. 2009 වසරේ මහනුවර, කුණ්ඩසාලේ ප‍්‍රදේශයටද, ඊට පසුව අම්පාර ප‍්‍රදේශයටද සුළු සුළු භූ චලන දැනුණි. ඒවා ඉතා ප‍්‍රබල අනතුරු ඇඟවීම් බව, ඇතැමුන්ගේ අදහසයි.



 භූ විද්‍යාඥයන් පවසන අන්දමට, ලංකාවට වැඩිපුරම බලපෑම් ඇතිවන භූමි කම්පා හට ගන්නේ, අපට නැගෙ නහිර හෝ ගිනිකොණ දෙසින් පිහිටි ඉන්දුනීසියාව, ජාවා සහ සුමාත‍්‍රා යන රටවල් ආශී‍්‍රතව ය. ඊට හේතුව වන්නේ, ලංකාවට කිලෝමීටර් 500- 600 ක් පමණ ඈතින් ‘‘නව භූ තල මායිමක්’’ බිහිවෙමින් යාමය. භූ විද්‍යා විශේෂඥයෙකු වන මහාචාර්ය සී. බී. දිසානායක මහතා පෙන්වා දෙන අන්දමට, බොහෝ කලකට ඉහත ඉන්දියාව, ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව යන රටවල් අයත් භූමිය පිහිටා තිබුණේ එකම භූ තලයක (ප්ලේට් එකක) ය. පසුව එය පැලී ගොස් නව භූ තලයක් (නව භූ තල මායිමක්) බිහි වන්නට පටන් ගත්තේ ය. එය නිර්මාණයවීම දැනුදු සිදු වෙමින් පවතී. මහාචාර්යවරයා පවසන අන්දමට, නව භූ තලය සම්පූර්ණයෙන්ම බිහිවීම ස`දහා තව වසර මිලියන ගණනක් ගත වෙනු ඇත.

නව භූ තලය බිහිවීමේ ක‍්‍රියාවලිය නිසා දැන්  ඕස්ටේ‍්‍රලියානු භූමිය, ඉන්දීය ප්ලේටයෙන් වෙන්වී ගොසිනි. එසේ වුවද ඉන්දියා සහ ලංකා භූමියද, භූමි කම්පාවට ගොදුරුවූ නේපාලයද, ඉන්දියාව අවට රටවල්ද තවමත් පිහිටා ඇත්තේ එකම ප්ලේටයකය. ලංකාවට නැගෙනහිරින් මෙන්ම ගිනිකොණ දිගින් ද, ඉන්දුනීසියාව, ජාවා සහ සුමාත‍්‍රා යන රටවල් ආශී‍්‍රතවද වරින් වර නොයෙක් පරිමාණයේ භු කම්පන හට ගත්තේ, මෙම භූ තල ඝට්ටන හේතුවෙනි. ඒ ඇතැම් භූමි කම්පා, වරින් වර ලංකාවටද දැනී ඇත්තේ ය. 2004 දෙසැම්බරයේ සුනාමි භූමි කම්පාව අවස්ථාවේ, තණමල්විල සහ වැල්ලවාය අතර ප‍්‍රධාන මාර්ගයේ පිහිටි භූගත උල්පතෙහි ජල දහරාව වෙනස් විය. මාතලේ මඩවල උල්පතෙන් බොර වතුර ගැලූ බව වාර්තා විය. දිඹුලාගල ප‍්‍රදේශයේ උණුදිය උල්පතක ජල ගලනය ද වෙනස් වූ බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි. සුනාමියට හේතු වූ සාගර භූමි කම්පාවෙන් හටගත් කම්පනය, ලංකා භූමියේ ඇති ඉතා ගැඹුරු ස්වභාවික පැලූම් ඔස්සේ විලම්බනයවීම නිසා එම සිදුවීම් හටගත් බව විද්වතුන්ගේ අදහස විය. ඈතින් හෝ වේවා, ලංකාව අවට කොතැනක හෝ හට ගන්නා භූ කම්පනයක් රට ඇතුළට ‘‘දැනෙන බව’’ ඉන් පැහැදිලි වේ.

ඉන්දියාව මෙන්ම නේපාලයද පිහිටා ඇත්තේ ලංකාවට උතුරින් සහ වයඹ දෙසිනි. මීට ඉහත ඉන්දියාවේද භූමි කම්පා සිදුවී තිබේ. එසේම, නේපාලයද ප‍්‍රබල භූ කම්පනයකට මුහුණදී ඇත්තේ වසර 81 කට පසුවය. කෙසේ හෝ වේවා, ඉන්දුනීසියා අන්තයට සාපේක්‍ෂව, ලංකාවේ උතුරු සහ වයඹ දිගින් භූමි කම්පා සිදුව ඇත්තේ ඉතාමත් අඩුවෙනි. එසේ වුවද ලංකාවෙන් වයඹ හෝ උතුරු ප‍්‍රදේශය, භූමි කම්පාවලින් විනිර්මුක්ත වූ කලාපයක්ය යන්න, ඉන් අදහස් නොකෙරේ. ලංකාවේ බස්නාහිරින්, වයඹින් හෝ උතුරින් කිනම් මොහොතක හෝ භූ කම්පනයක් ඇති වන්නට ද පුළුවන. අපේ රටට ආසන්න මුහුදේ එබඳු විපතක් සිදුවුවහොත් ඉන් ඇතිවිය හැකි සුනාමිය කොතෙක් බිහිසුණුවේ දැයි සිතා ගැනීමටද නුපුළුවන.



භූමි කම්පා කොයි මොහොතේ සිදුවන්නේ දැයි කල් තියා දැන ගත හැකි විධි ක‍්‍රමයක් නැති බවට, පොදුවේ විද්‍යාඥයන් සැවොම එකඟ වෙති. එහෙත් වරින් වර සිදුවන ඉතා සුළු භූ කම්පන පවා නිරීක්‍ෂණය කළ හැකි නම් අනාගත තත්ත්වයන් ගැන යම් තක්සේරුවකට පැමිණිය හැකි බව ඔවුහු පිළිගනිති. එහෙත් 2004 වසරේ සුනාමි භූමි කම්පාව ගැන නම් අනාවැකි පළ නොවීය. කෙසේ වෙතත් නේපාල භූමි කම්පාව ගැන නම් පෙර දැනුම් දීම් පැවති බව පසුව පළවූ මාධ්‍ය වාර්තා මගින් හෙළිකර තිබිණි. 2013 වසරේ මැයි මාසයේදී ඉන්දීය භු විද්‍යාඥ විනෝද් හවුර් මහතා කළ අනතුරු ඇඟවීම ඉන් එකකි. භූමි කම්පාවට සතියකට ඉහත නේපාලයේ සංචාරය කළ බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා පර්යේෂණ අංශයේ ප‍්‍රධානි, මහාචාර්ය ජේම්ස් ජෑන්ස් මහතා ඇතුළු පිරිසක්, නේපාල භූමියට යම් භූ අනතුරක් ඇති බව සොයා ගෙන තිබිණි. ඔවුන් ඒ ගැන එරට රජයට දැනුම් දී තිබුණු බව, ඒජන්සි වාර්තාවල පළවිය. මෙබඳු අනතුරු ඇඟවීම් ගණන් නො ගැනීම කොතෙක් බිහිසුණුද යන්න, නේපාල ඛේදවාචකයෙන් පෙනේ.

‘‘ඉරුදින’’ කළ විමසුමකට පිළිතුරු දෙමින් මහාචාර්ය සී. බී. දිසානායක මහතා පැවසූයේ නේපාල භූමි කම්පා සිද්ධියෙන් ලංකාවට බලපෑමක් සිදු නොවන බවයි. ‘‘ඉන්දියාවයි අපියි එක ප්ලේට් එකේ ඉන්න බව ඇත්ත. ඒත් නේපාල භූමි කම්පාවෙන් ලංකාවට එතරම් බලපෑමක් නෑ. එයින් පොදුවේ මුළු ලොවටම, ඇමරිකාවට පවා ඉතා සුළු බලපෑමක් තියෙනවා. පොළොව අභ්‍යන්තරයේ තරංග ගමන් කිරීම ඔස්සේ ඒක සිදු වෙනවා. සමහරවිට මුහුදේ කැළඹීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉන්දියාවේ ජල චක‍්‍ර වෙනස් වෙන්න පුළුවන්. හිමාල භූමියේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ලංකාව පැත්තට, දකුණු ඉන්දියාවට බලපෑම් ඇතිවීම අවමයි, යයි ඔහු සඳහන් කළේය.

නේපාල සිද්ධිය ඇසූ සැණින්ම ලියුම්කරුට හැඟුණේ වෙනත් කාරණයකි. ඒ ලංකාවට එවන් තත්ත්වයක් ඇති වුවහොත්, එහි හානි අවමකර ගැනීම සඳහා අප සූදානම්ද? යන්නයි. භූමි කම්පාවකින් දිවි ගලවා ගැනීම සඳහා ලංකාවේ ජනයා දැනුම්වත්ද? යන ප‍්‍රශ්නය මෙහිදී පැන නැගේ. භූමි කම්පාවකදී ජනාකීර්ණ කොළඹ නගරය තවදුරටත් ආරක්‍ෂිතද? කඳුකර ජලාශවලට කුමක් වේද? යන ගැටලූද එහිදී ඉස්මතු වේ.

බලපෑමක් නො දැනුණද, සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටියද, නේපාල සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගැනීම, ලංකාවට බෙහෙවින් වැඩදායක වන බව කිව හැක්කේය. 
ඉරුදින-2015/05/03.

No comments:

Post a Comment