Total Pageviews

Thursday, June 11, 2015

අලූත් බෝතලේ පරණ වයින් හා 
ආණ්ඩුව හොරු ඇල්ලීම

(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
අලූත් ආණ්ඩුව මගින් කරන ‘‘හොරු ඇල්ලීමේ’’ මෙහෙයුම් නිසා දැන් පරණ ආණ්ඩුවේ විශාල පිරිසක් ‘‘රිමාන්ඞ්’’ සිර ගෙවල්වල ය. තවත් සෑහෙන පිරිසක් දිනපතාම පාහේ විමර්ශන අංශවල ප‍්‍රශ්න කිරීම්වලට ලක්වෙමින් සිටිති. ඔවුන් වැඩිපුරම විමර්ශනය කරමින් සිටින්නේ, මූල්‍ය වංචා හෝ දූෂණ අක‍්‍රමිකතා ආදියයි. එහෙත් ඊට අමතරව දේශපාලනික පසුබිමක් ඇති කාරණා ගැනද විමර්ශන පැවැත්වෙයි. පරණ ආණ්ඩුව හෙවත් පැරදී ගෙදර ගිය ආණ්ඩුවේ නායකයාව සිටියේ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. එකල පැවතියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවකි. ඉකුත් ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පැරදුණු අතර, විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා බවට පත්විය. ඔහුගේ කණ්ඩායමේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය තනතුරට පත් කෙරිණි.

පොදු අපේක්‍ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ, පැවති ලොකුම පොරොන්දුවක් වූයේ, පැවති රජයේ සිටි ‘‘හොරුන්’’ හෙවත් මහජන මුදල් ගසා කෑ අයටත් රාජ්‍ය මුදල් අවභාවිත කළ අයටත්, දේශපාලන බලය අයුතු ලෙස භාවිත කළ අයටත්, එරෙහිව උපරිමයෙන් කටයුතු කරන බවයි. ඔවුන් නීතිය හමුවට ගෙනවිත් උපරිම දඬුවම් දෙන බවයි. මේ සඳහා පැවති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය විමර්ශන ආයතනවලට අමතරව, ‘‘රජ්‍ය මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය’’ නමැති විශේෂ පොලිස් ඒකකයක්ද පිහිට වනු ලැබීය. විමර්ශන සඳහා විදේශ සහාය ගැනීමටද අලූත් ආණ්ඩුව අපේක්‍ෂා කරයි.

අලූත් ආණ්ඩුව බලයට ඒමෙන් පසුව, පරණ ආණ්ඩුවේ පාලකයන්ට එරෙහිව කෙරුණු මුල්ම පැමිණිල්ල වූයේ, ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත් වෙද්දී බලය ඩැහැ ගැනීමේ කුමන්ත‍්‍රණයක් සිදුවූවාය යන්නයි. අලූත් ආණ්ඩුවේ විදේශ ඇමති මංගල සමරවීර මහතා ඒ ගැන පැමිණිලි කළේ, සී. අයි. ඞී. ය හෙවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා ඇති අන්දමට දැනට ඒ ගැන හත් දෙනෙකුගෙන් ප‍්‍රශ්න කොට ඇත. මෙම පැමිණිල්ල පිළිබඳ බොහෝ කතිකාවන්ද හට ගත්තේය. ඒ පිළිබඳ තවමත් පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබේ.

පැවති ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ නිවිතිගල පේ‍්‍රමලාල් ජයසේකර මහතාට ඉකුත් 2015 ජනවාරි 05 වැනිදා එ.ජා.ප. පාක්‍ෂිකයෙකු ඝාතනය කළේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද, හිටපු නියෝජ්‍ය ඇමති ගාල්ලේ නිශාන්ත මුතු හෙට්ටිගම මහතාට වඳුරඹදී පොදු අපේක්‍ෂක වේදිකාවක් ගිනි තැබී යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද චෝදනා ලබා රක්‍ෂිත බන්ධනාගාර ගතවන්නට සිදු විය. මුතුහෙට්ටිගම මහතාට නම් ඇප ලැබිණි. එහෙත් පේ‍්‍රමලාල් ජයසේකර මහතා තවම ඇතුළේ ය. ඒ සිදුවීම පිළිබඳ පරීක්‍ෂණ තවමත් පැවැත් වෙමින් තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සොහොයුරෙකු වන බැසිල් රාජපක්‍ෂ මහතා, පැවති ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකි. ඔහු එහි ආර්ථික සංවර්ධන ඇමතිවරයා විය. තම සොහොයුරා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ වහාම ඔහු ඇමරිකාවට ගියේය. ඉන් පසුව යළිත් මව්බිමට පැමිණි ඒ මහතා, 2015 අප්‍රිෙයල්  22 වැනිදා කොළඹ කොල්ලූපිටියේ, විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනුණි. ඉන් පසුව ඔහු එදිනම කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහි මහේස්ත‍්‍රාත් සහ දිසා විනිසුරු ධම්මික හේමපාල ඒකනායක මහතා ඔහු රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වූ ‘‘දිවිනැගුම’’ ව්‍යාපෘතියේ මුදල් වංචා කළේය යන්න, බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහිව නැගී ඇති චෝදනාවයි. ඔහු යම් රෝගී තත්ත්වයන් ගෙන් පෙළෙන බැවින් පසුව රෝහල්ගත කෙරිණි. ඔහු මැයි 27 තෙක් යළි රිමාන්ඞ්කර තිබේ. බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා පමණක් නොවේ. ඔහුගේ අමාත්‍යංශයේ, හිටපු ලේකම් නිහාල් ජයතිලක, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ආර්. ඒ. කේ. රණවක, දිවිනැගුම බැංකුවේ හිටපු සභාපති පී. බී. තිලකසිරි යන ඉහළ නිලධාරීන්ට ද දිවි නැගුම මූල්‍ය වංචා චෝදනා එල්ලවී තිබේ. ඔවුන්ද රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අලූත් ආණ්ඩුව පත්වූ ගමන් හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ද චෝදනාවක් එල්ල විය. ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේ ජාතික රූපවාහිනී සංස්ථාවට පාඩු සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, මැයි 21 වැනිදා කෙහෙලිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට ද, ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන්ටද එරෙහිව නඩු පැවරීය. හිටපු ඇමතිවරයෙකු වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවති රජයේ ප‍්‍රබලයෙක් මෙන්ම කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රකට දේශපාලනඥයෙකි. පැවති රජයේ ඉතා ප‍්‍රබල භූමිකාවක රැඳුණු කෙනෙකි. අලූත් ආණ්ඩුව පැමිණීමෙන් පසුව ඔහුට ද චෝදනා එල්ල විය. මුලින්ම එල්ල වූයේ ඔහුගේ යයි කියන මත්පැන් නිෂ්පාදන සමාගමක්, රජයට අයවිය යුතු සුරා බදු මුදල් නිසි පරිදි ගෙවා නැතැයි කියන චෝදනාවකි. එහිදී කොළඹ දෙමටගොඩ පිහිටි මත්පැන් ගබඩාවකට ද මුද්‍රා තැබිණි. ඉන් පසුව ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හිටපු ඇමතිවරයා ද රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ සුරා බදු නො ගෙවී යයි කියන චෝදනාවට නොවේ. ස.තො.ස. සමග කළ කිසියම් ණය ගනුදෙනුවක් සම්බන්ධ චෝදනාවකටය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන සජිත් වාස් ගුණවර්ධන මහතාද පසුගිය ආණ්ඩුවේ ප‍්‍රබල චරිතයකි. අලූත් ආණ්ඩුව බලයට පත්වූ දා සිටම ඔහුට චෝදනා එල්ල විය. මේ දිනවල ඔහුද පසුවන්නේ රක්‍ෂිත බන්ධනාගාරයේ ය. පරණ ආණ්ඩුව පැවති සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් අයථා ලෙස පරිහරණය කළේය යන්න, ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවති රජයේ සිටි ප‍්‍රබල ඇමතිවරයෙකි. අලූත් ආණ්ඩුව යටතේ ඔහුගේ නමද ඉහළින්ම ආන්දෝලනයට පත් විය. ඒ ඔහුගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මිය, විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් භාවිත කරතියි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් පොලීසිය විමල් වීරවංශ මහතාගෙන්ද ප‍්‍රශ්න කොට තිබිණි. ශෂි වීරවංශ මහත්මිය ඉකුත් පෙබරවාරි 21 දින රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. පසුව ඇයට ඇප ලැබිණි. සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්‍ෂණ තවමත් පැවැත්වෙමින් තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල සොහොයුරෙකුවන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද අලූත් ආණ්ඩුවෙන් විවිධ චෝදනා ලබා සිටින්නෙකි. ගාල්ලේ පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධිය, ලංකා හොස්පිටල් සමාගමේ ගැටලූ සහ 2006 වසරේදී ‘‘මිග් යානා’’ මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා නැගී ඇතැයි මාධ්‍ය වාර්තා පළවිය. එසේම අලූත් ආණ්ඩුවේ විමර්ශන අංශ කිහිප වරක්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න කළේය.

මේ අතර, තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබේ යයි කියමින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. එය විභාගයට පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මැයි 13 වැනිදා  පවසා තිබුණේ, පෙත්සම් විභාගය හමාර වනතුරු ඔහු අත්අඩංගුවට ගනු නොහැකි බවයි.

දේශපාලනඥයන්ට පමණක් නොවේ. පැවති රජයේ උසස් නිලධාරීන් බොහොම දෙනෙකුට ද විවිධ චෝදනා එල්ලවී තිබේ. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානි ගාමිණි සෙනරත් යන මහත්වරුන්ද ඒ අතර වෙති. විමර්ශන අංශ කිහිපවරක්ම ඔවුන් ගෙන් ප‍්‍රශ්න කොට තිබේ.

අලූත් ආණ්ඩුව කරන විමර්ශනයන් සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත්, ශී‍්‍ර. ල. නි. ප. යේ අයත් එතරම් කැමැත්තක් නැත. ඔවුන් කියන්නේ ඒ සියල්ල දේශපාලන පළිගැනීම් බවය. ශී‍්‍ර. ල. නි. ප. ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ඉකුත් සතියේ මාධ්‍ය මගින් පවසා තිබුණේ, එළඹෙන මහා මැතිවරණයේදී දැනට සිටින ශී‍්‍ර. ල. නි. ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාටම නාම යෝජනා දෙන බවයි. චෝදනාවට ලක්වී සිටින කිසිවෙකු තවම වරදකරුවන් බවට පත්වී නැති බැවින්, නාම යෝජනා දීමේදී ගැටලූවක් මතු නොවන බව ඔහු පවසා තිබිණි.

මේ අතර, දැනට විපක්‍ෂයට වැටී සිටින ශී‍්‍ර. ල. නි. ප යේ මන්ත‍්‍රීවරුද අලූත් ආණ්ඩුවේ අයට එරෙහිව පැමිණිලි කරන්නට පටන් ගෙන තිබේ. රංජිත් සොයිසා, මනුෂ නානායක්කාර, උදිත ලොකු බණ්ඩාර සහ ජාතක චක්කුඹුර යන ශී‍්‍ර. ල. නි. ප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඉකුත් අප‍්‍රියෙල් 01 වැනිදා අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජගත් කුමාර මහතා අලූත් ආණ්ඩුවේ නිවාස හා සමෘද්ධි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට එරෙහිව පසුගියදා අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කළහ. පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල මහතා මැයි 13 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කළේය. වාසුදේව නානායක්කාර සහ විමල්වීරවංශ යන මන්ත‍්‍රීවරයා, හිටපු ජනාධිපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  මහත්මියට එරෙහිව වසර හතකට ඉහත අල්ලස් සහ දූෂණ කොමිසමට කළ පැමිණිල්ලක් යළි සිහි කැඳවීය.

පැමිණිලි කිරීම මෙන්ම රිමාන්ඞ් කිරීම ද තවම අවසන් නැත. ප‍්‍රශ්න කිරීම්ද අවසන් නැත. කවුරුන් හොරුද? කවුරුන් නොහොරුද? යන්න තවම පැහැදිලිවීත් නැත. එබැවින් අලූත් ආණ්ඩුවේ හොරු ඇල්ලීම කොහෙන් කෙළවරවේ දැයි තවම කියන්නට පුළුවන්කමක් නැත
ඉරුදින-2015/05/24

No comments:

Post a Comment