Total Pageviews

Friday, March 13, 2015

ලංකාවට න්‍යෂ්ඨික යකෙක් ?

 තොවිල් වීදියට නො පැමිණි 
න්‍යෂ්ඨික යකෙක් ?



චර්නොබිල් ඛේදවාචකය

(කි‍්‍රෂ්ණ විජේබණ්ඩාර)

මුලින්ම හටගත්තේ ඇස් දැවිල්ලය. ඊළඟට හුස්ම ගන්නට බැරිකමය. ඉවසා ගන්නට බැරිම තැන දහස් ගණන් මිනිස්සු ගෙවල්වලින් එළියට පැන ගත්හ. ඉක්බිති සරණක් සොයා හිස් ලූ ලූ අත දුවන්නට වූහ. එහෙත් බොහෝ දෙනෙක් එතැනම ඇද වැටී මරුමුවට පත්වූහ. සියුම් සීතලක්ද සමඟ රමණීය අරුණෝදයකට එළඹෙන්නට සිටි අලූයම් යාමය, ඉන්දියාවේ මුළු බෝපාල් නුවරටම බිහිසුණු මරණයක් තිළිණ කර තිබුණේය.  

ඇමරිකාවේ යුනියන් කාබයිඞ් සමාගමට අයත්වූ බෝපාල් රසායන ද්‍රව්‍ය කම්හල, මීතෙන් ගෑස් කාන්දුවකට ලක්ව පුපුරා ගියේ අදින් වසර 31 කට ඉහත, 1984 වසරේ දෙසැම්බර් මස 02 වැනිදාය. ඉන් ගැලූ මාරක ගෑස් සහ රසායනික ගංගාවට හසුව 20,000ක් දෙනා අමු අමුවේ මරණයට පත්වූහ. බෝපාල් ඛේදවාචකය හටගත්තේ ඉන්දියාවේ බෝපාල් නුවරය. ඉන් අපේ රටට බලපෑමක් ඇතිවූයේ නැත. එසේ වුවද, එය, මහා පරිමාණ කර්මාන්තය හෝ රසායනිකමය ඛේදවාචකයකට අදත් අපට ඇති බිහිසුණුම උදාහරණයයි. එහි බිහිසුණුකම වසර 31 කට පසුව වුවත් ලංකාවේ අපටද තවමත් දැනෙන්නේය.

බෝපාල් ඛේදවාචකය සිහිපත් කරන්නට සිදුවූයේ අනෙකක් නිසා නොවේ. ලංකාවේද න්‍යෂ්ඨික බලාගාරයක් බිහි කරන්නට දැන් කලක පටන්ම පිඹුරුපත් සැකසෙමින් යන නිසාය. න්‍යෂ්ඨික බලාගාරයක් යයි කී පමණින්ම සිතෙහි නැගෙන්නේ බෝපාල් ඛේදවාචකයයි. එය න්‍යෂ්ඨික පිපිරීමක්ද නොවේ. එහෙත් එබඳු මහා පරිමාණ ව්‍යසනයක භීතිය අති විශාලය. 


 ෆුකුසිමා ඛේදවාචකය-ජපානය
ලංකාව 2009 වසර සමයේ පටන්ම න්‍යෂ්ඨික බලශක්තිය ගැන උනන්දු වන රටකි. අනාගත විදුලිබල ඉල්ලූම සපුරා ගැනීමට අන් සුදුසු මඟක් නැති බැවින් අනාගතයේදී න්‍යෂ්ඨික බලාගාරයක් තැනීමට අපේ රටේ පාලකයන්ද ටිකෙන් ටික සූදානමින් පසුවෙති. ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉන්දියාවේ කළ සංචාරයේදී, 2015 පෙබරවාරි මස 16 වැනිදා දෙරට අතර ‘‘සිවිල් න්‍යෂ්ඨික බලශක්ති සහයෝගිතා ගිවිසුමට’’ අත්සන් තැබීම, මේ සම්බන්ධයෙන් අලූත්ම සිදුවීමයි. නවදිල්ලි අගනුවරදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාත්, ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාත්, නව ගිවිසුමට අත්සන් තබා ඇත. එය මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරයේදී දෙරට අතර අත්සන් කෙරුණු ප‍්‍රධාන ද්විපාර්ශ්වික ගිවිසුම් හතරෙන් එකකි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද, ගිවිසුම් අත්සන් කරන අවස්ථාවට සහභාගී වී සිටියේය.

ෆුකුසිමා කඳුළු
ලෝක මට්ටමෙන් ගත්කල, විදුලිය ජනනය කිරීම සීමා කෙරෙන ගැටලූ කීපයක්ම මතුවී තිබේ. ඉන් ප‍්‍රධාන ගැටලූව නම්, තවදුරටත් ජල විදුලිය නිපදවීම සීමාවී තිබීමයි. අනෙක, විදුලිය නිපදවීම පිනිස පොසිල ඉන්ධන (පැට්‍රෝලියම් සහ ගල් අඟුරු) භාවිත කිරීමේ හැකියාවද හීන වී යමින් පැවතීමයි. එසේම පොසිල ඉන්ධන මගින් විදුලිය නිපදවීමේදී, ඒවා දහනය වීම ඔස්සේ අතිවිශාල කාබන්ඩයොක්සයිඞ් වායු ප‍්‍රමාණයක් වායුගෝලයට එක්වීම නිසා, අහිතකර තත්ත්වයන් පැන නැගීමයි. මීළඟට ඇත්තේ සූර්ය ශක්තිය සහ සුළං බලශක්තියයි. එහෙත් න්‍යෂ්ඨික බල ශක්තිය ඊට වඩා කාර්යක්‍ෂම සහ ලාභදායක බවත්, පරිසර හිතකාමී බවත් කියනු ලැබේ. එබැවින් ලොව බොහොමයක් රටවල විදුලිය උපදවා ගැනීම සඳහා න්‍යෂ්ඨික බලාගාර භාවිත කරයි. 

න්‍යෂ්ඨික විදුලි බලය ජනනයේදී මූලිකවම වන්නේ, විකිරණශීලි පරමාණුවල න්‍යෂ්ඨීන් පාලනය කළ විඛණ්ඩනයකට  ^Controlled nuclear fissionලක්කර ශක්තිය ලබා ගැනීමයි. ඉන් ජලය රත්කර ලබා ගන්නා වාෂ්ප මගින් ටර්බයින් කරකවා විදුලිය ජනනය කෙරේ. අපේ අසල්වැසි ඉන්දියාවද ඇතුළුව ලොව රටවල් 31ක් දැනටමත් න්‍යෂ්ඨික විදුලිය නිපදවා ගනිති. ඒ සඳහා න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරක (න්‍යෂ්ඨික විදුලිබලාගාර) 436ක් පමණ ලොව පුරා කි‍්‍රයාත්මක වේ. දැනට ලොව සමස්ත විදුලිබල සැපයුමෙන් සියයට 17ක් පමණ නිපදවා දෙන්නේ න්‍යෂ්ඨික විදුලි බලාගාර මගිනි. න්‍යෂ්ඨික බලාගාර සඳහා භාවිත කෙරෙන්නේ ‘‘යුරේනියම්’’, ‘‘තෝරියම්’’ සහ ‘‘ප්ලූටෝනියම්’’ වැනි විකිරණශීලි මූල ද්‍රව්‍යයන්ය. එයින්ද ලොව වැඩියෙන්ම භාවිත වන්නේ යුරේනියම්ය. විශේෂඥයන් පවසන අන්දමට, යුරේනියම් ග‍්‍රෑම් 01 කින් නිපදවෙන න්‍යෂ්ඨික විදුලි ඒකක ප‍්‍රමාණය නිපදවීම සඳහා, ගල් අඟුරු කිලෝග‍්‍රෑම් 3000ක් වත් අවශ්‍යය. න්‍යෂ්ඨික විදුලිය එතරම්ම කාර්යක්‍ෂම සහ ලාභදායක බව කියනු ලැබේ. 

විකිරණශීලි මූලද්‍රව්‍ය යනු මනුෂ්‍යයන්ට බෙහෙවින්ම අන්තරායකාරී දෙයකි. ඒවා පදනම්කර ගෙන විදුලිය නිපදවන න්‍යෂ්ඨික බලාගාර පවා බෙහෙවින් අන්තරායකාරි බව ලොව පුරා පැතිර ඇති මතයකි. විකිරණවලට හසුවීම නිසා මනුෂ්‍යයන්ට පිළිකා ආදී රෝග සෑදී ඉක්මනින් මරණයට පත්වන බව කවුරුත් දනිති. මේ තත්ත්වය නිසා, ලොව පුරා න්‍යෂ්ඨික බලාගාරවලට එරෙහිව විශාල ජන මතයක්ද පැන නැගී තිබේ. 

න්‍යෂ්ඨික විදුලිය නිපදවීමේදී විකිරණශීලි මූලද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමද, ගබඩා කිරීමද, අපද්‍රව්‍ය බැහැර කිරීමද ඉතා පරිස්සමින් කළ යුතු බව ප‍්‍රකාශිතය. එම රෙගුලාසි පනවා ඇත්තේ න්‍යෂ්ඨික බාලාගාර සම්බන්ධයෙන් පවත්නා අන්තර්ජාතික නීති පද්ධති යටතේය. අන්තර්ජාලයේ එන තොරතුරු අනුව, න්‍යෂ්ඨික බලාගාර සම්බන්ධයෙන් අනතුරු අවස්ථා තුනක් තිබේ. ඉන් ප‍්‍රධානම අවස්ථාව ‘‘පිපිරීම්’’ය. දෙවැන්න න්‍යෂ්ඨික මූලද්‍රව්‍ය ‘‘කාන්දුවීම්’’ය. තුන්වැන්න අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම්ය. අවස්ථා තුනේදීම  ඕනෑම න්‍යෂ්ඨික බාලාගාරයකින් මහා ව්‍යසනයක් හට ගත හැකිය. 1957 දී බි‍්‍රතාන්‍යයේ ‘‘වින්ස්කේල්’’ න්‍යෂ්ඨික බාලාගාරයේ ද, 1979 දී ඇමරිකාවේ ‘‘තී‍්‍රමයිල්හිදී’’ද, 1986 දී යුක්රේනයේ ‘චර්නොබිල්’’ බලාාගාරයේද, 2011 මාර්තුවේදී ජපානයේ ‘‘ෆුකුසිමා’’ බලාගාරයේද, මහා පරිමාණ අනතුරු සිදුවිය. ඒවා මුළු ලොවටම අප‍්‍රසන්න අත්දැකීම් විය. පරමාණුක පිපිරීම් කොතෙක් බිහිසුණුද යන්න, දෙවැනි ලෝක යුද සමයේදී ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි යන නගරවලට එල්ලවුණු පරමාණු බෝම්බ ප‍්‍රහාර මාලාවෙන්ම තේරුම් ගත හැකිය. 

 කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරය-තමිල්නාඩුව
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට, පෙබරවාරි 16 වැනිදා නවදිල්ලියේදී අත්සන් කෙරුණු, ලංකාවත් ඉන්දියාවත් අතර සාමකාමී කටයුතු සඳහා න්‍යෂ්ඨික ශක්තිය භාවිතාව පිළිබඳ සහයෝගිතා ගිවිසුමකි. එම එකඟතා ගිවිසුම කෙටුම්පත් කිරීම සඳහා, 2012 ඔක්තෝබර්, 2014 මැයි සහ 2014 ඔක්තෝබර් යන වකවානුවල ද්විපාර්ශ්වික සාකච්ඡුා වට තුනක් පවත්වා තිබේ. රටවල් දෙකම න්‍යෂ්ඨික බලශක්තිය සම්බන්ධයෙන් අන්තර්ජාතික සම්මුතිවලටද අත්සන් තබා ඇත. එබැවින් අවසාන එකඟතාවක් ඇති කර ගත හැකිවූයේ, න්‍යෂ්ඨික බල ශක්තිය සාමාකාමී කටයුතුවලට භාවිත කිරීම සඳහා ඉන්දීය සහාය ලබාගැනීමේ ගිවිසුමකටය. න්‍යෂ්ඨික කටයුතු සම්බන්ධයෙන් ලංකාවේ අය පුහුණු කිරීම, දෙරට අතර න්‍යෂ්ඨික දැනුම සහ විශේෂඥයන් හුවමාරු කර ගැනීම, උපදේශක සේවා ලබාගැනීමට හැකිවීම, සාමුහික පර්යේෂණ සහ අධ්‍යයන පැවැත්වීමට අවකාශ ලැබීම, ක්‍ෂේත‍්‍රයට අදාළ තාක්‍ෂණික උපකරණ ආදිය ලබා ගත හැකිවීම සහ විකිරණශීලි සමස්ථානික සේවා සැපයීම ආදී ප‍්‍රතිලාභ නව ගිවිසුමෙන් ලැබෙන බවද වෙබ් අඩවියෙහි සඳහන් කර ඇත.

ඉන්දියාව පමණක් නොවේ. ලංකාව රුසියාව සහ පකිස්ථානය සමඟද න්‍යෂ්ඨික බලශක්ති සහයෝගිතාවන් ඇතිකර ගන්නට යන බව, අමාත්‍යාංශයෙන් එන තොරතුරුවල දැක්වේ. 2030 වසර පමණ වන විට, අපට අවශ්‍ය න්‍යෂ්ඨික බලය අපම නිපදවා ගන්නා වැඩපිළිවෙළක් ඇති කර ගැනීම, සමස්ත කි‍්‍රයාවලියෙහි අරමුණ බව පෙනෙයි. රුසියාව න්‍යෂ්ඨික බලය අතින් ලොව ඉහළම තැනක සිටින රටකි. ඉන්දියාවෙන්ද දැනටමත් න්‍යෂ්ඨික ප‍්‍රතික‍්‍රියාකාරක (න්‍යෂ්ඨික විදුලිබලාගාර සංකීර්ණ) 20ක් කි‍්‍රයාත්මක වේ. එබැවින් ලංකාවේ පාලකයන් ඔවුන්ගේ සහාය පැතීම තර්කානුකූලය.

කෙසේ වෙතත්, න්‍යෂ්ඨික විදුලිබලාගාර හොඳ නැතැයි එක එල්ලේම කියන්නටද පුළුවන්කමක් නැත. එහි ගුණාත්මක ලක්‍ෂණද බොහොමයක් තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් බරපතළ ගැටලූ ගණනාවක්ම ඇති බව පෙනේ. ඉන්දියන් සාගර පරිධියේ පිහිටි කුඩා දූපතක් වන ලංකාවට, න්‍යෂ්ඨික විදුලිබලාගාරයක් ඔරොත්තු දේද? යන්න ඉන් ප‍්‍රධානම ගැටලූවයි. 

සාමාන්‍යයෙන් න්‍යෂ්ඨික විදුලි බලාගාරයක් පිහිටුවීමේදී ප‍්‍රධාන කාරණා තුනක් සලකා බලන බව, ආචාර්ය විමලධර්ම අබේවික‍්‍රම මහතා එක් වෙබ් අඩවියක් මගින් පෙන්වාදී තිබිණි. ඒ අනුව, න්‍යෂ්ඨික විදුලිබලාගාරයක් ස්ථානගත කරන්නේ ජන ශූන්‍ය පෙදෙසකය. එම ස්තානය, ජලාශයක් අසල පිහිටා තිබීම හෝ ඉතා හොඳ ජල පහසුවක් සහිත තැනක් විය යුතුය. එය පළමු කාරණයයි. දෙවැන්න, තෝරා ගත් භූමිය ස්වභාවික විපත්වලට හසු නොවන්නක් විය යුතුය. බලාගාරය තැනීම සඳහා මහජන සහයෝගයක් තිබීම තුන්වැනි කාරණයයි. කුඩා දූපතක් වන ලංකාවේ දැනටමත් දෙකෝටියකට අධික ජනතාවක් වාසය කරති. ඉතින් එබඳු ජන ශූන්‍ය භූමියක් සොයා ගත හැකිද ? යන්න ප‍්‍රශ්නයකි. 

ප‍්‍රථම අදියරේදී මෙගාවොට් 1000ක විදුලිය ජනනයක් සඳහා විවෘත කෙරුණු තමිල්නාඩුවේ කූඩන්කුලම් බලාගාරය, ඉන්දියාවේ ඉදි කෙරුණු අලූත්ම න්‍යෂ්ඨික විදුලි බලාගාරයයි. එය ඉදිවන සමයේ ඊට එරෙහිව තමිල්නාඩුවේ පමණක් නොව ලංකාවේද විරෝධතා ඇතිවිය. කූඩන්කුලම් බලාගාරයට ලංකාවේ කල්පිටියේ සිට ඇති දුර කිලෝමීටර් 220කි. ඉන් අපේ රටට ද බලපෑම් ඇතිවේ යයි විරෝධතාකරුවෝ කීහ. ලංකාවේ ආණ්ඩුව න්‍යෂ්ඨික බලාගාරයක් ඉදි කරන්නට කැස කවන්නේ, අල්ලපු රටේ න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකරනවාටද එරෙහිව පෙළපාලි ගිය රටකය. 

න්‍යෂ්ඨික බලය නිපදවීම සඳහා යොදා ගන්නේ, යුරේනියම්, තෝරියම් සහ ප්ලූටෝනියම් වැනි විකිරණශීලි මූල ද්‍රව්‍යයන්ය. බේරුවල සිට මීගමුව තෙක් වෙරළ තීරයේ ද උතුරු මුහුදේ කච්චතිව් දූපත ආශ‍්‍රිතවද තෝරියම් නිධි ඇති බව දැන් හෙළිදරව් වී තිබේ. ලංකාවේ තැනවෙන අනාගත න්‍යෂ්ඨික විදුලිබලාගාරය සඳහා ඒවා භාවිත කෙරෙන බව කියති. 

 කූඩන්කුලම් විරෝධය
න්‍යෂ්ඨික විදුලිබලාගාර සම්බන්ධයෙන් මතුවන අනෙක් බරපතලම ප‍්‍රශ්නය, ‘‘න්‍යෂ්ඨික අපද්‍රව්‍ය’’ හෙවත් ‘‘අළු’’ පිළිබඳ ප‍්‍රශ්නයයි. විශේෂඥයන් ගණන් බලා ඇති ආකාරයට, මෙගාවොට් 1000ක විදුලිබලාගාරයකින් වසරකට මෙටි‍්‍රක් ටොන් 27 ක පමණ න්‍යෂ්ඨික අපද්‍රව්‍ය පිට කෙරේ. ඒවායෙහි ප්ලූටෝනියම්, කියුරියම්, කි‍්‍රප්ටෝන් සහ බේරියම් ඇතුළු විකිරණශීලි විවිධ අපද්‍රව්‍ය අඩංගුය. අපද්‍රව්‍ය ඉවත්කළ යුත්තේ ජන ශූන්‍ය කලාපවලටය. ඉවත්කර වසර 40 කදී ඒවායෙහි විකිරණශීලි ගතිය (විෂ) සියයට 99.9 කින් පහව යන බව සම්මතයයි. එහෙත් ඉතිරි කොටසෙහි විකිරණශීලි ගතිය වසර 10,000ක් පවතින බව කියති. මෙබඳු අපද්‍රව්‍ය ඉවත් කරන්නේ ලංකාවේ කුමන පෙදෙසකටද ? යන්න ගැටලූවකි. විදුලිබල අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන අන්දමට, අනාගතයේ ඉදි වන්නට අර අඳින න්‍යෂ්ඨික විදුලි බලාගාරය පිහිටුවීම සඳහා, ස්ථාන 10 ක් දැනටමත් නිරීක්‍ෂණය කොට ඇත. 

අනාගතයේ තැනවෙන්නට යන න්‍යෂ්ඨික විදුලි බලාගාරය, තවම හරිහැටි තොවිල් වීදියට නො කැන්දු යකෙකු වැන්න. එබැවින් උගේ හැඩතල නිවැරදිව හඳුනා ගැනීම බොහෝවක් වටින්නේය.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

ඉරුදින-2015/03/15.

No comments:

Post a Comment