Total Pageviews

Thursday, March 12, 2015

ලංකාවට දේශගුණික විපර්යාස

දේශගුණික විපර්යාස 

ලංකාවටත් ආහාර අහිමිවීමේ අවදානමක්


 
නියඟ (ඡායාරූපය රතු කුරුස සංවිධානයෙනි)


(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

සොබාදහමේ එන විපර්යාස හෝ වෙනස්වීම් සඳහා මනුෂ්‍යන්ට වඩා සත්ත්ව ප‍්‍රාණීහු ඉතාමත් සංවේදීවෙති. 2004 වසරේ ලංකාවට කඩාවැදුණු සුනාමි ව්‍යසනයේදී යාල වනෝද්‍යානයේ වෙරළබඩ විසූ වල් අලි සහ අනෙකුත් සත්ත්වයෝ ක්‍ෂණිකව රට මැදට දුවමින් දිවි බේරා ගත්හ. 2014 වසරේ කොස්ලන්දේ මීරියබැද්ද නාය යාම හට ගන්නට දින දෙක තුනකට පෙර පටන්ම, තම හීලෑ බල්ලන් නොසන්සුන් ඉරියව් පළකළ බව විපතින් දිවි ගලවා ගත් ඇතැම් දමිළ වතු කම්කරුවෝ ප‍්‍රකාශ කළහ. කිරළා රජයට හෝ නුවර කලාවියේ වියළි කලාපීය ගොවීන්ට නිතර හමුවන සත්ත්වයෙකි. පාළු වැව් පිටිවල කිරළ බිත්තර දක්නට ලැබුණේ නම් ඉදිරියේදී නියං හෝ ඉඩෝර තත්ත්වයක් එළඹෙන බව එහි වැසි ගොවීහු දනිති. යම් කාලයක කපුටු කූඩුවල බිත්තර සංඛ්‍යාව අඩු නම්, ජලජ පරිසරයේ නිිවසන පිිළිහුඩු පක්‍ෂීන්, ගංගා, ඇළ - දොළ ඉවුරෙහි පහතින් ලැගුම් හල් සකසා ගන්නේ නම්, ළඟදීම මහා නියං සමයක් එළඹෙන බව ගොවීහු දනිති. වියළි කලාපීය ලතාවක් වන බොකල වැල්වල මල් පිපෙනවා නම්, ඉදිරි සති දෙක තුන තුළ තද වර්ෂා සමයක් එළඹෙතියි ගොවීහු කියති. සොබා දහමේ වෙනස්වීම්, සත්ත්ව ප‍්‍රාණීන්ට පමණක් නොව ශාක ප‍්‍රජාවටද සංවේදී බව පැරණි මිනිස්සු දැන සිටියහ.
 

සොබා දහමේ වෙනස්වීම් සම්බන්ධයෙන් අප නිතර නොදකින සංවේදී පැතිකඩක් පිළිබඳ කරුණු සටහන් කළේ, ඉතා වැදගත් කතිකාවතකට ඉඩක් පාදාගන්නටය. එනම්, නිවර්තන කලාපීය රටක් හැටියට, වර්තමානයේ ලංකාව මුහුණ දෙන ‘‘දේශගුණ විපර්යාසයන්’’ පිළිබඳව කතා කරන්නටය. එයින් ලංකාවේ කෘෂිකර්මාන්තයට එල්ලවන අභියෝග ගැන කතා කරන්නටය.
 

‘‘දේශගුණ විපර්යාස’’ හෝ ‘‘දේශගුණ වෙනස්වීම්’’ යනු පුළුල් විෂය පථයකි. ඉතා සරලව ගතහොත්, ‘‘වායුගෝලයෙහි දිගු කාලීනව පවත්නා තත්ත්වයෙහි ඇතිවන වෙනස්වීම්’’ය.
 

ස්වභාවිකව හෝ මානව කි‍්‍රයාකාරකම්වල බලපෑමෙන්, වායුගෝල සංයුතියේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් දේශගුණ රටාවේ හටගන්නා විවිධ විපර්යාසයන්, ‘‘දේශගුණ විපර්යාස’’ හෝ ‘‘දේශගුණ වෙනස්කම්’’යනුවෙන් විග‍්‍රහ කෙරේ.
 

මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් හරිතාගාර වායු (මීතෙන් සහ කාබන්ඩයොක්සයිඞ් වැනි) වායුගෝලයට එකතුවීම නිසාද දේශගුණ විපර්යාස ඇතිවේ. එය ස්වභාවික හේතූන්වලට වඩා බරපතලය.
ලොව කාර්මික විප්ලවය හට ගත්තේ 16 වැනි ශත වර්ෂයේදීය. ඉන් ඇතිවුණු මහා පරිමාණ කාර්මික ව්‍යාපාර ඔස්සේ ලොව පොසිල ඉන්ධන (පෙට්‍රෝලියම්) දහනය අධිකවී දේශගුණ විපර්යාසවලට මුල පිරුණි.
වනාන්තර එළිපෙහෙළිවීම, අහිතකර වායු නිකුත් කරන ශීතකරණ භාවිතය අධික වීම සහ රසායනික පොහොර භාවිතය ඉහළ යාම වැනි ලෝක මට්ටමෙන් සිදුවූ කාරණා නිසා ද වායුගෝලයේ සංයුතිය වෙනස් විය. ඉහළ අහසේ වළාකුළු සැකැස්ම වෙනස්වී,  ඕසෝන් ස්ථරයට හානි පැමිණිනි. ඉන් ‘‘දේශගුණික විපර්යාස’’ හට ගත්තේය.
 

‘‘දේශගුණික විපර්යාස’’ නිසා දැන් ගෝලීය උණුසුම අධික වෙමින් තිබේ. ඒ නිසාම උත්තර සහ දක්‍ෂිණ ධ‍්‍රැවවල ග්ලැසියර් (හිමකඳු) දියැවී යාම සිදුවෙයි. වර්ෂා රටාව වෙනස්වී දැඩි ස්වභාවයක් ඇතිවී තිබේ. නිතර නිතර නියං වකවානු හට ගනියි.
 

ලොව දේශගුණික සංසිද්ධිවල සමතුලිත භාවයක් තිබීම, අත්‍යවශ්‍යය කාරණයකි. ලොව ජීවයේ පැවැත්ම එයින් තීන්දු වීම, ඊට හේතුවයි. වර්තමාන ලෝකයේ ඒ සමතුලිත භාවය ඇත්තේ නැත. එබැවින් අද අපි ‘‘දේශගුණික විපර්යාස’’ හෝ ‘‘දේශගුණික වෙනස්වීම’’ ඉතා බිහිසුණු ලෙස අත්විඳිමින් සිටින්නෙමු.
 

මිහිතලයේ උණුසුම වැඩිවී, ග්ලැසියර් දියවී, සාගර ජල මට්ටම ඉහළ යන අතර,මෙම සියවස ඇතුළත එය සෙන්ටිමීටර් 26-82 ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ යා හැකි බව විද්වතුන් පවසති. මෙම තත්ත්වය නිසා මාලදිවයින මුහුදේ ගිලී යනු ඇතැයි කියති. ලංකාවද දූපත් රටකි. අපේ වෙරළබඩ ගොඩබිමින් යම් කොටසක්ද මුහුදට යටවනු ඇති බවට දැනටමත් ප‍්‍රකාශ වී තිබේ. දේශගුණය වෙනස්වීම පිළිබඳව අන්තර් ආණ්ඩු මණ්ඩලය (IPCC) මණ්ඩලය මගින් 2014 වසරේ නිකුත් කළ ''Climate Change 2014 : Impact, Adaptation and Vulnerability''  නමැති වාර්තාව පවසන අන්දමට, වර්ෂ 1880 සිට මේ දක්වා කාලයෙහි ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.85 කින් පමණ ඉහළ ගොස් තිබේ.
 

මෙම තත්ත්වය නිසා ලොව ආහාර නිෂ්පාදනය සහ ආහාර සුරක්‍ෂිතභාවයට දැඩි බලපෑම් ඇතිවේ. ඒ අනුව ලොව ප‍්‍රදාන ආහාර බෝගයක් වූ තිරිඟු, වී සහ ඉරිඟු වැනි බෝගවල අස්වනු සම්බන්ධයෙන් බරපතළ ගැටලූ මතුවනු ඇත. වර්ෂ 2030 පමණ වන විට බව බෝග අස්වැන්න, එක් දශකයකට සියයට 02 බැගින් අඩුවීමට ඉඩ ඇතැයිද වාර්තාවන් පෙන්වා දී තිබේ.
 




ලෝක මට්ටමෙන් කතිකා කෙරෙන ‘‘දේශගුණ වෙනස්වීම්’’ ශී‍්‍ර ලංකාවටද අදාළය. නිවර්තන කලාපීයව, සමකයට නුදුරින්, ඉන්දියන් සාගර පරිධියේ පිහිටි ලංකාව ඈත අතීතයේ පටන්ම විවිධාකාර දේශගුණ වෙනස්කම්වලට මුහුණ දෙමින් සිටින රටකි. ජෛව විවිධත්වය අතින් බැලූවද එය තිබෙනුයේ ලොව ඉහළම තැනකයි. අපේ රට සුප‍්‍රකට බෙංගාල බොක්කට සමීපයෙන් පිහිටා තිබීම නිසා නිරන්තරවම කාලගුණික සහ දේශගුණික වෙනස්වීම්වලට නතුවන බව කවුරුත් දනිති. ලංකාව කෘෂිකාර්මික රටකි. රටේ ප‍්‍රධාන ආහාරය වන බත නිපදවන වී ගොවිතැන, ලංකාවේ ප‍්‍රධානතම ආහාර බෝගයයි. ප‍්‍රධානතම වගාවයි. අපේ රටට නිරිත දිග සහ ඊසාන දිග යන ප‍්‍රධාන මෝසම් දෙකින්ද, අන්තර් මෝසම් කාල දෙකකින්ද වර්ෂාව ලැබේ. ඒ මත පදනම්ව ඈත අතීතයේ පටන්ම වී ගොවිතැන අරභයා ‘‘යල’’ සහ ‘‘මහ’’ යන වගා කන්න ක‍්‍රමයද කි‍්‍රයාත්මක වේ. රටේ සමස්ත භූමියෙහි කොටසක් මහ කන්නයට වැඩි වර්ෂාවක් ලැබෙන තෙත් කලපායයි. අනෙක් කොටස යල කරන්න සමයේ අඩු වර්ෂාවක් ලැබෙන රටේ වියලි කලාපයයි. රට පුරා විහිදෙන 103 ක් වූ ගංගා මණ්ඩලයක් ඔස්සේ රටට ජල සම්පත ලැබේ.
 

කරුණු මෙසේ හෙයින් ගෝලීය සහ ආසියානු කලාපීය දේශගුණික වෙනස්වීම් ඔස්සේ එන බලපෑම්වලින් ශී‍්‍ර ලංකාවටද ගැලවිය නොහැකිය. ඉන් ලංකාවේ කෘෂිකර්මාන්තයට ඇතිවන නරක බලපෑම් ඉතාමත්ම බරපතල බව දැනටමත් පෙනී යමින් තිබේ. කොටින්ම, දේශගුණික වෙනස්වීම් හෝ විපර්යාස ඔස්සේ කෘෂිකර්මාන්තයට එල්ලවන දැඩි බලපෑම් කෙසේ හෝ අවම කර ගත යුතුවේ. එසේ නොකළ හොත් මුළු රටම මහා ආහාර අහේනියකට තල්ලූ වී යන දිනය වැඩි ඈතක නොවේ.
 

            ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අත්දැකීම් ඇති විද්වතුන්
                             තිදෙනෙකුගේ අදහස්ද මෙහි පළවේ.
ගෝලීය උණුසුමට ඔරොත්තු දෙන
වී වර්ග තවම නිපදවා නෑ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා
 
බුද්ධි



‘‘අපේ රටේ අතීතය ගත්තාම, රජවරුන්ගේ කාලේ පටන් දේශගුණ විචල්‍යතාවක් තිබුණු බව දැන සිටියා. වැසි සමයට එන වර්ෂා ජලය වැව්වල රැුස්කරලා, වියළි සමයේ වගාවට ප‍්‍රයෝජනයට ගත්තේ ඒ අවබෝධය නිසයි. එකල ගොවීන් මෙන්ම රටේ පාලකයන්ද, රටට වර්ෂාධික සමයක්ද නියං සමයක්ද එන බව දැන සිටියා. ඔවුන් තම ගොවිතැන ඒ අනුව ගලප්පා ගත්තා. එකල පැවති දේශගුණ විචල්‍යතාව අද, ‘‘දේශගුණ විපර්යාස’’ කියන පුළුල් අරුත් ඇති කාරණයක් බවට පත්වෙලා තියෙනවා. විපර්යාසය කිව්වාම එය බලපාන්නේ අනාගතයටයි.
 

‘‘අයහපත් මිනිස් කි‍්‍රයාකාරකම් නිසා ලොව දේශගුණ විපර්යාස බහුලව ඇති වෙනවා. ඉන් හට ගන්නා උෂ්ණත්වයේ ඉහළ යාම මෙන්ම අධික වර්ෂාවද මනුෂ්‍යන්ට හොඳින් දැනෙනවා. ලංකාවේ විසූ පැරණි අය දැන හෝ නොදැන මේ බලපෑම්වලට ගැලැප්පිලා තියෙන බව පේනවා. ඔවුන් වැව් බැඳලා, ජලය හිඟ කාලෙට ගොවිතැන් කළා. බව බෝග මාරුකරලා වගාකළා. පසු කාලීනව ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩි අස්වනු ගෙන දෙන වී වර්ග නිපදවූවා. ඊට පසුව ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන වී වර්ග නිපදවූවා. අතීතයේ පටන්ම අපිට අඩු වයස් වී වර්ග සහ වැඩි වයස් වී වර්ග තිබුණා. දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බී.ජී.250 කියලා දින 80 ක් වයස වී වර්ගයක් නිපදවා තිබෙනවා. එයින් ඉතා කෙටි කාලයක් තුල අස්වැන්න ගන්න පුළුවන්.
 

‘‘යල කන්නය කියන්නේ කෙටි කාලයක් තුල රටේ වියළි කාලපයට අඩු වර්ෂාපතනයක් ලැබෙන සමයක්. මහ කන්න සමයේ වර්ෂාව ඊට වඩා වැඩියි. දැන් දශක දෙකක පමණ සිට යල කන්නයේ වර්ෂාපතන විචල්‍යතාව වැඩිවෙලා. ඒ කියන්නේ වර්ෂාව අඩුවෙලා. මහ කන්නෙත් වර්ෂාව අඩුවෙලා. නියං කාල නිතර නිතර එනවා. ඒක නිසා අපට වැඩි වයස් වී හෝ දිගුකාලීන බෝග කරන්න බෑ. කෙටි කාලීන වී වර්ග නිර්මාණය වූයේ ඒ නිසයි. දේශගුණ විපර්යාස ඔස්සේ එන උණුසුම වැඩිවීම ලොකු ගැටලූවක්. ඒකට ඔරොත්තු දෙන වී වර්ග අපි තවම නිපදවලා නෑ. ඒ ගැන පර්යේෂණ කරනවා’’.
 

‘‘වෙනදාටත් වර්ෂාව වැඩියෙන් ලැබෙන ප‍්‍රදේශවලට පවා දැන් දැන් වර්ෂාව ලැබීම අධික වෙලා. ජල ගැලීම් අවස්ථාව වැඩියි. ඒ වාගේම වියළි කාල ඇතිවීමත් වැඩිවෙලා. ජලය අධිකවීම්වලට ඔරොත්තු දෙන වී වර්ග ටිකක් අපට අතීතයේ සිටම තියෙනවා. මාවී වර්ග විශේෂයි. මහ මාවී හුඟක්ම හොඳයි. අපට ඒවගේ වී ප‍්‍රභේදවල අඩුවක් තියෙනවා.’’
‘‘රටේ වියළි කලාපයේ ගොවීන් ගෙවතුවල නියෙඟට ඔරොත්තු දෙන බෝග වවනවා. ඉඳල් ඉරිඟු සහ බඩ ඉරිඟු නියෙඟට ඔරොත්තු දෙනවා. මුං ඇට මාස දෙකයි. අතරමැදි කන්නෙට ඒවා වගා කරන්න නිර්දේශ කරනවා.’’
 

‘‘ශාකවලට වඩා සතුන්ට දේශගුණ විපර්යාස දැනෙනවා. ඒ නිසා සත්ත්ව පාලනය කරන අයට දේශගුණ විපර්යාස සමඟ ගැලැප්පීමට ඇති හැකියාව වැඩියි. ගම්බද දේශීය කුකුළු විශේෂ  වගේම ගවයනුත් නියං කාලෙට ඔරොත්තු දෙනවා. නියං කාලෙට සත්ත්ව පාලනයට නැඹුරු වෙනවා නම් කිරි ටිකක් හරි ලැබෙනවා.’’


ආහාර හිඟවීමේ  ගැටලූවක්
ජන තාක්‍ෂණ ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී
රංග පල්ලාවල මහතා
 

 
රංග


‘‘ගෝලීය කාරණා තුළ එන දේශගුණ විපර්යාසවලට ලංකාව හැටියට මුහුණ දෙන්නේ කෙසේද ?’’ යන්න ගැන පරිසර සහ ආපදා කළමනාකරණ යන අමාත්‍යංශවල මූලිකත්වයෙන්, ඒ වගේම පරිසර සංවිධානවල සහභාගීත්වයෙන් යම් ප‍්‍රයෝජනවත් කතිකාවක් සහ වැඩපිළිවෙලක් තිබෙනවා. නමුත් මේ ගැන සමාජයේ කතිකාව ප‍්‍රමාණවත් නෑ. පසුගිය වසර 6-7 ඇතුළත අපේ රට එක දිගට නියඟ සහ ගංවතුර තත්ත්වයන්ට මුහුණ දුන්නේය. ඉන් ආහාර නිෂ්පාදනය අඩාල විය. මිලද ඉහළ ගියේය. යටිතල ව්‍යුහයන් නිතර නිතර පිළිසකර කරන්නට සිදුවිය. සහනාධාර සඳහා දිගින් දිගටම වියදම් කරන්නට සිදුවිය.
‘‘අපි ඉතා පැහැදිලිවම දේශගුණ විපර්යාසවලින් වන හානි අවම කර ගන්නට කටයුතු කළ යුතුය. දැනටමත් ඒ ගැන සැලසුම් කි‍්‍රයාත්මක වෙයි. සැලසුම් හැදීමටත් වඩා බරපතල ගැටළුවක් වන්නේ ඒවා නිවැරදිව කි‍්‍රයාත්මක කිරීමයි. එහෙත් මේ ජලය ගැන සමාජයේ පවතින දැනුම, අවබෝධය ප‍්‍රමාණවත් නොවන හෙයින් ගැටලූ ඇතිවේ. දේශගුණ විපර්යාස මගින් ලංකාවේ කෘෂිකර්මාන්තයට ඇතිවන ගැටලූ හරිහැටි කළමණාකරණය කර නොගතහොත්, මුළු රටටම ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්ද තිබේ. ’’
 

‘‘අපේ රටට රජකාලේ පටන්ම දේශගුණ වෙනස්වීම් ගැන අවබෝධයක් තිබුණා. ඒ කාලේ වැව් හදා ගොවිතැන් කිරීම ඊට උදාහරණයක්. යල කන්නයට ජල සැපයුම අඩු බැවින් අඩු වයස් වී වගා කළ යුතු බව ගොවීන් දන්නවා. අතීතයේ පටන්ම මේවා ගැන අනාවැකි කීමේ හැකියාවක් අපට තිබුණා. දැන් දැන් අපට ඒක අඩුවී යමින් තිබෙනවා. ඉදිරියේ කුමන තත්ත්වයක් ඇතිවේදැයි පුරෝකතනය කළ හැකිනම්, අපට හානි අවම කර ගැනීමට පිළියම් සෙවිය හැකියි. මෙහිදී දේශීය ඥාන සම්පත ඉතා වැදගත්’’.
 

‘‘නියඟ එතියි සිතන කාලෙට පැරණි ගොවියෝ දේශීය ‘‘හැටදා වී’’ වගා කළා. ඒක දින 60න් අස්වනු ලැබෙනවා. වැසි ආවොත් ඉක්මනින් පූදිනවා. නියඟ එනවිට අස්වනු නෙලා හමාරයි. මේවගේ විභවයන් හඳුනාගෙන ප‍්‍රයෝජනයට ගැනීම වැදගත්’’.
‘‘දේශගුණ විපර්යාස රටේ ආර්ථිකයටත් බලපානවා. තේ වගාව ගනිමු. යුරෝපයට සහ ඇමරිකාවට යැවෙන්නේ ලංකාවේ සීතල කඳුකරයේ හදන තේ. ඒක රසය පිළිබඳ ප‍්‍රශ්නයක්. රුසියාවට සහ මැදපෙරදිගට යැවෙන්නේ පහතරට තේ. යම් හෙයකින් අපේ උඩරට කඳුකර තේ වගාවට යම් බලපෑමක් ආවොත් ඒක තේ රසයට මෙන්ම, එයින් රටේ ආර්ථිකයටද බලපානවා. නියඟ ආවා. ඊළඟට ගංවතුර ආවා. උඩරට හා අනෙකුත් ප‍්‍රදේශවල එළවළු වගා විනාශ වුණා. එළවළු මිල ඉහළ ගියා.’’
‘‘දේශගුණ විපර්යාසවලින් ආහාර නිපැයුමට වියහැකි බලපෑම් පිළිබඳ සමාජයේ පුළුල් කතිකාවක් ඇති විය යුතුයි’’.


අධික ලවණතාවත් එක් ගැටලූවක්

දේශීය බීජ හා කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනයේ ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක සහ ''Rice Chain Development Asia'' සංවිධානයේ සාමාජික හේමන්ත අබේවර්ධන මහතා
 

 
හේමන්ත


‘‘දේශගුණ විපර්යාස කියන කාරණාව ලංකාවේ ගොවීන් හඳුනාගන්නේ ඔවුන් මුහුණ දෙන අව්ව - වැස්ස ඇසුරෙනුයි. ඒ ප‍්‍රපංචයන් හමුවේ තමන්ගේ ගොවිතැන කර ගන්නේ කෙසේද ? යන්න ඔවුන්ට ඇති ගැටළුවයි. අපට අතීතයේ පටන්ම දේශගුණ විපර්යාසවලට ගැලැප්පුණු ක‍්‍රමයක් ද තිබිණි. ඒවා වර්ෂා රටාව මත පදනම් විය. එහෙත් අද ඒවා වෙනස්වී තිබේ. බෙංගාල බොක්ක ඔස්සේ එන කාලගුණ විපර්යාස පවා අපට බැලපෑම් ඇති කරනවා.’’
 

‘‘ගෝලීිය උණුසුම ඔස්සේ එන කාරණා නිසා සාගර ජල මට්ටම ඉහළ යනවා. දැනටමත් ලංකාවේ වෙරළබඩ කලාපේ කුඹුරුවල අධික ලවණතාවක් දක්නට ලැබෙනවා. හුඟක් කුඹුරු අත්හැර දමලා. ඒක ආහාර නිෂ්පාදනයට යම් බාධාවක් ඇති කරනවා. එපමණක් නොවේ. රට ඇතුළේ - පුත්තලම ප‍්‍රදේශයේ පවා මේ ගැටලූව තියෙනවා. ගෝලීය කාරණා සමඟ එන මේ ප‍්‍රවණතාවලට මුහුණදී ලංකාවේ ආහාර නිපැයුම රැුක ගන්නේ කෙසේද ? යන්න විශාල ගැටලූවක්. එහෙත් අප ඒ ගැටලූව පරිසර හිතකාමී විදියට ජයගත යුතුයි.’’
 

2015/03/08-ඉරුදින

No comments:

Post a Comment