වසූරිය රෝගීන්
රූමස්සලට ගෙන ගොස් දැමූ
එංගලන්ත පාලන කාලේ
ගාල්ල (පින්තූරය-අන්තර්ජාලයෙනි)
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එඞ්වඞ් ජෙනර් නම් බි්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරයා ‘වසූරිය’ (Small
Fox) රෝගය මර්දනය කිරීම පිණිස ‘එන්නතක්’ සොයා ගත්තේ වර්ෂ 1798 දී ය. ලොව පුරා වේගයෙන් පැතිර යමින් තිබුණු ‘වසූරිය වසංගත රෝගය’ මර්දනය කරන්නට එයින් ඉමහත් ශක්තියක් ලැබිණි.
මහාචාර්ය කේ. ඩී. පරණවිතානයෝ සිය ‘ගාලු පුරාණය’ කෘතියෙහි කදිම පුවතක් අනාවරණය කරති. එනම් ලන්දේසි පාලන සමයේ ගාලු රෝහලේ සිටි වෛද්‍යවරු, වර්ෂ 1796 දී ‘වසූරිය රෝගය’ පාලනය කිරීම සඳහා ‘ප්‍රතිශක්තිකරණ ක්‍රමයක්’ සාර්ථකව අත්හදා බැලූ බවයි. එය සිදුකර ඇත්තේ එකල එහි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා වශයෙන් කටයුතු කළ ආබ්‍රහම් ස්ට්‍රාස්බර්ග් මහතා විසිනි. අපුර්වත්වය වන්නේ, එය බි්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකු වන එඞ්වඞ් ජෙනර් මහතා විසින් ‘වසූරිය මර්දන එන්නත’ ලෝකයට දායාද කරන්නට දෙ වසරකට පමණ පෙර කළ අත්හදා බැලීමක් වීමයි. එය ‘එන්නත් ක්‍රමයක්’ ද යන්න අපැහැදිලි ය. එසේ වුව ද එයින් ‘වසූරිය’ රෝගය පාලනය කළ හැකි විය.
වසංගත රෝග සම්බන්ධයෙන් මෙබඳු වාර්තා බොහොමයක් ‘ගාල්ලට’ තිබේ. ගාල්ල, අතීතයේ පටන් ම ‘වරාය නගරයකි’. පෙරදිග-අපරදිග වෙළෙඳ නැව් මාර්ග ඔස්සේ පැමිණි ඉසුරුමත් නාවික වෙළෙන්දන් එකට මුණ ගැසුණේ ගාල්ල වරායේ දී ය. එය උඩරට සිංහල රජවරුන්ගේ වරායකි. පහළොස් වන ශත වර්ෂය වන විට, ගාල්ල වරායේ වෙළෙඳ බලය ඩැහැගෙන තිබුණේ, රජවරුන්ගේ අනුග්‍රහයෙන් කුළුබඩු වෙළෙඳාමෙහි නිරතව සිටි අරාබියානු මුස්ලිම් වෙළෙන්දන් ය. ඔවුන් ඉන්දියාව, ලංකාව සහ ඉන්දුනීසියාව ආදී රටවල් වෙත නෞකා මෙහෙයවමින් කුළුබඩු වෙළෙඳාම ජයට ම කර ගෙන ගියහ.
ලංකාවට සේන්දු වූ ප්‍රථම යුරෝපීය ජාතිය, ‘පෘතුගීසීන්’ ය. වර්ෂ 1505 දී ඔවුන් ගොඩ බැස්සේ ද ගාල්ලට ය. ඔවුන් ගාල්ලට එන විට, එහි වෙළෙඳ බලය පැවතියේ අරාබියානු වෙළෙන්දන් අතේ ය. ඇත් දළ, කැටයම් භාණ්ඩ, අලි ඇතුන්, මුතු-මැණික්, රේන්ද, කුරුඳු, ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග, එකල ගාල්ලෙන් නැව්ගත කෙරිණි. ඒ වෙනුවට පෝසිලේන් භාණ්ඩ, මිදි යුෂ, සේද රෙදි සහ විවිධ ආහාර ද්‍රව්‍ය ආදිය හුවමාරු කෙරිණි. පෘතුගීසීන් ලංකාවට ගොඩ බැස්සේ ද කුළුබඩු මිල දී ගනු පිණිස ය. පසුව ඔවුහු අරාබීන්ගේ සාගරීය ‘වෙළඳාම’ කොල්ල කා, තමන් වෙත නතුකර ගත්හ.
‘ලන්දේසීන්’ හෙවත් ඕලන්ද නාවිකයන් ද, මේ අතර කුළුබඩු සොයා ගෙන පෙරදිගට යාත්‍රා කළහ. ඉන්දියන් සාගරයට පිළිපන් ඔවුහු, වර්ෂ 1658 දී ලංකාවෙන් පෘතුගීසීන් පලවා හැරියහ. ඉක්බිති ගාල්ල වරායේ වෙළෙඳාම අල්ලා ගත්හ. බි්‍රතාන්‍යයන් 1796 දී ගාල්ලට පැමිණියහ. ලන්දේසීන් පලවා හැර වෙළහෙළඳාම් ඇතුළු ගාල්ලේ පාලන බලය තහවුරුකර ගත්හ. මේ සෑම විදෙස් ආක්‍රමණයකට ම හේතුව වූයේ ලංකා භූමියේ ‘උපක්‍රමික පිහිටීමයි’. අපේ රට පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේ මැද හරියට වන්නට ය.
ගාලු වරාය ඔස්සේ රට තුළට ගැලූ ආර්ථික සමෘද්ධිය සුවිශේෂ ය. එහෙත් ඒ සමගම, නොයෙකුත් වසංගත රෝග ද වරින්වර ගාල්ලට පැමිණුනි. ඒවාට මුහුණ දීමට ගත් ක්‍රියාමාර්ග නිසා පැරණි ගාල්ල, ‘නිරෝධායන වරාය නගරයක්’ වශයෙන් නාමකරණය කෙරිණි. ගාල්ලේ වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් දියුණු වීමට ද මේ කාරණය බලපෑවේ ය.
‘කොවිඞ්-19’ (කොරෝනා) වසංගතය වර්තමානයේ ගාල්ලට ද බලපා තිබේ. ඒ සමගම, කරාපිටිය ශික්ෂණ රෝහලේ ‘පී. සී. ආර්.’ පරීක්ෂණ ධාරිතාව වැඩි කෙරිණි. ගාල්ලට නුදුරු බූස්ස සහ හබරාදූව යන ප්‍රදේශවල ‘නිරෝධායන මධ්‍යස්ථාන’ ස්ථාපිත කෙරිණි. එහෙත් යුරෝපීය ආක්‍රමණිකයන්ගේ පාලන සමයේ ‘නිරෝධායනය’ යනු බොහොම සාමාන්‍ය කාරණයක් විය. එකල, වසංගත රෝගවලට ගොදුරු වූවන් නිරෝධායනය කෙරුණේ ගාලු වරායට නුදුරු උණවටුන සහ රූමස්සල ආශ්‍රිත ප්‍රදේශවල ය.
ඉපැරණි ලංකාවේ සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ක්‍රියාත්මක වූයේ, ආයුර්වේදය සහ අනෙකුත් දේශීය වෛද්‍යක්‍රම මත පදනම් වෙමිනි. ඒ සඳහා ගම් මට්ටමින් ‘වෙද මහත්තුරු’ බිහිවී සිටියහ. බෞද්ධ විහාරස්ථානවල වැඩ සිටි ඇතැම් භික්ෂූන් වහන්සේලා ද දේශීය වෛද්‍යවරුන් වශයෙන් (වෙද හාමුදුරුවරුන්) රෝගී ජනයාගේ සුවසෙත පිණිස කටයුතු කළහ. එකල සිංහල රජුන්ට සේවය කිරීම පිණිස ‘රාජකීය වෛද්‍යවරුන්’ පත්කර ගෙන සිටියහ. ඈත අතීතයේ පටන් ගාල්ලේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ද, ඒ ආකාරයට සංවිධානය වී තිබිණි.
කෙසේ වෙතත්, අරාබියානු නාවික වෙළන්දන් ගාලු වරාය පරිහරණය කරන්නට වීමත් සමගම, ඔවුන්ගේ ‘යුනානි’ වෛද්‍ය ක්‍රමය ද ගාල්ලේ ක්‍රියාත්මක විණි. රටේ මුහුදුබඩ පළාත් යුරෝපීය ආක්‍රමණිකයන් විසින් අණසකට නතුකර ගැනීමත් සමගම තත්ත්වය වෙනස් විය. ක්‍රමයෙන් ‘බටහිර වෛද්‍ය ක්‍රමය’ ස්ථාපිත වන්නට පටන් ගත්තේ ය.
ගාල්ලේ ප්‍රථම ‘රෝහල’ ඉදි කරන්නේ පෘතුගීසීන් ය. වර්ෂ 1505 දී මුලින් ම ගාල්ලට පැමිණි ඔවුහු එහි සමුද්‍ර තුඩුව ආශ්‍රිතව යුද බලකොටුවක් (ගාලු කොටුව) ඉදිකර ගත්හ. එකල පෘතුගීසි පවුල් 262ක් එහි පදිංචිව සිටි බව කියැවේ. ඔවුන් නිසැකව ම, පෘතුගීසි යුද හමුදාවේ උසස් නිලධාරීන්, නාවිකයන් සහ ඔවුන්ගේ වෙළෙඳ අංශවලට අයත් යුරෝපීයයන් වන්නට ඇත. රෝහල, බල කොටුව ඇතුළේ ම ඉදි කරන්නට ඇතැයි සිතිය හැකි ය.
කොටුවේ පදිංචිව සිටින පෘතුගීසි පවුල්වල සාමාජිකයන්ගේ ලෙඩට-දුකට ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය කටයුතු පවත්වා ගෙන යාම, රෝහලේ කාර්යභාරය විය. නැව් මගින් එන විදේශිකයන්ට ප්‍රතිකාර කිරීම ද පෘතුගීසි රෝහලෙන් සිදු විණි. එකල නැව් මගින් එන මගීන් බොහොම දෙනෙකු, ‘උණ’ සහ ‘නිව්මෝනියාවෙන්’ පෙළුණු බව පැරණි තොරතුරුවල සඳහන් වේ. පෘතුගීසීන් ගාලු කොටුවේ තැනූ රෝහල, ‘බටහිර ක්‍රමයේ වෛද්‍ය ප්‍රතිකාර’ සඳහා ලංකාවේ බිහිවුණු ප්‍රථම රෝහලයි. කෙසේ වෙතත්, එයින් ස්වදේශික ගාලු වැසියන්ට ප්‍රතිකාර කෙරුණු බවක් අසන්නට නැත.
ඉන් පසුව වර්ෂ 1640 දී ආක්‍රමණික ලන්දේසීන් ගාල්ල අල්ලා ගත්හ. ඔවුන් ද සිය ප්‍රයෝජනය පිණිස ගාලු කොටුව ඇතුළේ රෝහලක් තැනූහ. එය ද හමුදා සේනාංකවල සහ නාවික අංශවල ප්‍රයෝජනය මුල්කර ගෙන ඉදිවුණු රෝහලකි. එහි ප්‍රතිකාර කටයුතු පවත්වා ගෙන යන ලද්දේ ලන්දේසි ජාතික ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ මෙහෙයවීමෙනි.
ඔවුන්ගේ යුද හමුදා නිලධාරීන්, යුද භටයන් සහ ලන්දේසීන්ගේ වෙළෙඳ අංශවල අයට ද, නැව් මගින් පැමිණෙන යුරෝපීය ජාතිකයන්ට ද එයින් ප්‍රතිකාර කෙරිණි. එය පිහිටා තිබුණේ, ගාලු කොටුවේ වර්තමාන අධිකරණ සංකීර්ණය ඉදිරිපිටින් දිවෙන ‘රෝහල් වීදියේ’ ය. එනම් වර්තමානයේ ‘හාබර් මාස්ටර් නිල නිවාසය’ පවත්වා ගෙන යන භූමියේ ය.
ලන්දේසීන්ගේ රෝහල විශාල එකකි. එය ‘ඩච් හොස්පිට්ල්’ වශයෙන් ව්‍යවහාරයට ආවේ ය. ඔවුන් එහි රෝපණය කළ ‘රට දෙල් ගස්’ කීපයක් අදත් දක්නට ලැබේ. රට දෙල්, පෝෂණ ගුණයෙන් පිරිපුන් ආහාරයකි.
ගාලු උරුමය පදනමේ තරංග ලියනාරච්චි මහතා පවසන අන්දමට, සැබෑ ‘ඩච් හොස්පිට්ල්’ යනු වර්තමානයේ වෙළෙඳ සංකීර්ණයක් බවට පත්කර ඇති ‘දෙමහල් බි්‍රිතාන්‍ය රෝහල් ගොඩනැගිල්ල’ නොවේ. අත්තිවාරම් අනුව බලන කල, ලන්දේසීන් හැදූ රෝහල, බි්‍රතාන්‍යයන් තැනූ දෙමහල් රෝහල් ගොඩනැගිල්ල මෙන් තුන් ගුණයක්වත් විශාල තනි මහලේ ගොඩනැගිල්ලකි! අද එය දක්නට නැත.
ලන්දේසි පාලන සමයේ දී ගාල්ල ආශ්‍රිතව වරින්වර ‘වසූරිය’ (Small
pox) නමැති වසංගත වෛරස් රෝගය විශාල ලෙස පැතිරී ගොස් තිබේ. වර්ෂ 1786 දී එයින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 800ක් පමණවූ බව පැරණි තොරතුරුවල එයි. ගාලු කොටුවේ පවත්වා ගෙන ගිය ‘ලන්දේසි රෝහලේ’ දී ඔවුන්ට ප්‍රතිකාර කෙරුණු බව සඳහන් ය.
වර්ෂ 1796 දී ලන්දේසීන් පැරදවූ බි්‍රතාන්‍යයෝ ගාල්ල අල්ලා ගත්හ. ගාල්ල වරාය ද ඔවුන්ගේ පාලනයට නතුකර ගත්හ. ඉන් පසුව ගාලු කොටුව සිය යුද හමුදා සහ පාලන මධ්‍යස්ථානය බවට පත්කර ගත්හ. ඉක්බිති අලුතින් දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ‘රෝහලක්’ තැනූහ. එය ඉදි කෙරුණේ, ඔවුන්ට පෙර එහි සිටි ලන්දේසීන් හැදු රෝහලට සමීපයෙනි. අලුත් රෝහල ඔවුන්ගේ හමුදා නිලධාරීන්, යුද භටයන් සහ කොටුව තුළ පදිංචි යුරෝපීයයන් වෙනුවෙන් පවත්වා ගෙන ගිය එකකි. වසංගත රෝග ආදී අවස්ථාවල එයින් සිංහල ජනයා ට ද ප්‍රතිකාර කරනු ලැබී ය. ඒ සඳහා ඔවුන් ‘Friend-in-need society’ නම් වැඩ පිළිවෙලක් පවත්වා ගෙන ගිය බව ‘Galle medical journal’ සඟරාවෙහි දැක්වේ.
ගාලු කොටුවේ ‘බි්‍රතාන්‍ය රෝහල’ (දෙමහල් ගොඩනැගිල්ල) වර්ෂ 1850 දී හමුදා බැරැක්කයක් වශයෙන් භාවිත කෙරිණි. පසුව වර්ෂ 1915 පමණ සිට එහි ‘ගාල්ල කච්චේරිය’ පවත්වා ගෙන යනු ලැබිණි. කච්චේරිය එතැනින් ඉවත් කිරිමත් සමග, දෙමහල් ‘බි්‍රතාන්‍ය රෝහල් ගොඩනැගිල්ල’, වෙළෙඳ සංකීර්ණයක් වශයෙන් නවීකරණය කෙරිණි. එය 2014 වසරේ දී විවෘත විය.
ලන්දේසි සහ බි්‍රතාන්‍ය පාලන කාලවල, ගාල්ල සහ ඒ අවට ප්‍රදේශයේ ‘නිරෝධායන රෝහල්’ පහක් පමණ තිබෙන්නට ඇතැයි යන්න, ‘ගාලු උරුමය පදනමේ’ විශ්වාසයයි. වර්තමානයේ ගාල්ල ‘බන්ධනාගාරය’ පවත්වා ගෙන යන භූමියේ ද එකල රෝහලක් තිබිණි. වසූරිය සහ අනෙකුත් වසංගත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට රූමස්සල කන්දේ වන පියස ද භාවිත කෙරිණි. එහි කුඩා රෝහල් තිබුණු බව කියැවේ. එම කටයුතු මෙහෙයවා ඇත්තේ කතෝලික පූජකවරුන් විසිනි. රූමස්සල කන්දේ පිහිටි දේවස්ථානය ද එකල ඉදි කෙරුණකි. නැව් මගින් ගාල්ලට පැමිණුනු විදේශික වසංගත රෝගීන්ට ද රූමස්සල දී ප්‍රතිකාර කෙරිණි.
බි්‍රතාන්‍ය පාලන සමයේ ගාලු කොටුවේ පැවති නාගරික පුස්තකාලයේ, පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කළ ‘නෝරා රොබට්ස්’ ලේඛිකාව, ගාලු ඉතිහාසය සම්බන්ධයෙන් ‘GALLE-AS QUIET AS ASLEEP’ නමින් ග්‍රන්ථයක් පළ කළා ය. එහි සඳහන් වන අන්දමට, බි්‍රතාන්‍ය පාලන සමයේ උණවටුන ප්‍රදේශයේ නිරෝධායන රෝහල් දෙකක් තිබිණි. ඉන් එකක් ‘කොලරාව’ වැළඳුණු රෝගීන් වෙනුවෙන් වෙන්කර තිබිණී. බොනවිස්ටා කඳු මුදුනේ පැවති අනෙක් රෝහල, ‘වසූරිය’ රෝගීන් වෙනුවෙන් පවත්වා ගෙන යනු ලැබිණි.
බි්‍රතාන්‍ය පාලකයෝ, 1869 දී ගාලු කොටුවට සමීප කළුවැල්ල ‘මහ මෝදර’ ප්‍රදේශයෙන් වෙරළාසන්න ඉඩමක් අත්පත්කර ගත්හ. එය, වතු වැවිලි කටයුතු සඳහා ඉන්දියාවෙන් කුලී කම්කරුවන් විශාල වශයෙන් ගෙන්වා ගත් කාලයයි. ගාලු වරාය ඔස්සේ ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් ගෙන්වා ගත් කුලීකරුවන් ‘නිරෝධායනය’ කෙරුණේ මහමෝදර භූමියේ දී ය. එහි දී වසූරිය රෝගය වැළැක්වීම පිණිස ප්‍රතිශක්තිකරණ ඔසු එන්නත් කරනු ලැබිණි. ඉන් පසු ඔවුන් වර්තමානයේ මාතර දිස්ත්‍රික්කයට අයත් මොරවක ප්‍රදේශයේ තේ වතුවලට පිටත්කර යැවිණි.
වර්ෂ 1889 දී බි්‍රතාන්‍යයෝ, මහ මෝදර භූමිය නව ගොඩනැගිලි ආදිය ඉදිකර ක්‍රමයෙන් වැඩි දියුණු කළහ. මේ අතර, 1895 වසරේ ‘මැලේරියා රෝගය’ ද වසංගතයක් වශයෙන් ගාල්ල ආශ්‍රිතව පැතීරී තිබේ. බි්‍රිතාන්‍යයන් ගාල්ල සහ මාතර අතර දුම්රිය මාර්ගය ඉදි කරද්දී, ජල වහන මාර්ග අවහිර වීමෙන් මදුරුවන් බෝවී, මැලේරියාව පැතිරෙන්නට මග පෑදුණු බව සඳහන් ය. මේ සියලු රෝග තත්ත්වයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර සැපයුණේ ගාලු කොටුවේ පිහිටි රෝහලෙනි. ක්‍රමයෙන් එහි ඉඩකඩ හිඟ වන බව පෙනී ගියේ ය.
පසුව වර්ෂ 1914 දී මහ මෝදර භූමිය සම්පූර්ණ රෝහලක් බවට පත් කෙරිණි. වක්වැල්ලේ සිට ගිං ගඟෙන් එන ‘කැප්පු ඇල’, ඊට නුදුරින් මුහුදට වැටෙන නිසා එයට ‘මහ මෝදර මහ රෝහල’ යයි නම් පටබැඳිණි. එකල එය දකුණු පළාතේ ප්‍රධාන මහ රෝහල විය. මහජනතාව එය ‘ගාල්ලේ මහ රෝහල’ යයි හැඳින්වූහ.
1922 සහ 1929 යන වර්ෂවල ද ගාල්ලට ‘මහාමාරිය’ රෝග අවදානමක් ඇති විය. එකල ඉන්දියාවේ ද මහාමාරිය රෝගය පැතිරෙමින් පැවතිණි. ඉන්දියාවේ සිට ගාලු වරායට සේන්දු වූ නැව්වල සිටි මීයන් ගෙන් මහාමාරිය බෝවුණු බව එකල ප්‍රකාශ විය. එබැවින් බි්‍රතාන්‍යයෝ, ගාල්ල වරාය ‘වසූරිය නිරෝධායන වරායක්’ වශයෙන් තෝරා ගත්හ.
0000000000000000
(ගාල්ලේ සෞඛ්‍ය සහ වෛද්‍ය ඉතිහාසය සම්බන්ධ කාරණා බොහොමයක් සඳහන් වන්නේ, ‘Galle medical journal- Vol 11:
No. 1, September 2006’ සඟරාවෙන් උපුටා ගෙන අන්තර්ජාලයෙහි පළකර ඇති ලිපියක ය. එය සකසා ගෙන ඇත්තේ රුහුණු වෛද්‍ය පීඨයේ මහාචාර්ය සරත් ලේකම්වසම් මහතා ‘ගාල්ල වෛද්‍ය සංගමයේ’ දී කළ දේශනයක් ඇසුරිනි.)
0000000000000
(මෙම ලිපිය 2020/11/29 දින සති අග අරුණ පුවත්පතේ පළවිය.)
No comments:
Post a Comment