සුදෝසුදු වෙරළකුත් නැති
ගල්මලූත් නැති
අවලස්සන හික්කඩුවක් විදෙස් සංචාරකයන්ට කුමට ද?
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-ප‍්‍රෑන්ක් ද සොයිසා)
පහේ පන්තියේ පාසැල් දරුවෙකු හික්කඩුව ගැන ලියන ශිෂ්‍යත්ව රචනාවක මෙබඳු කරුණු ද ඇතුළත් වනු නිසැක ය!
‘හික්කඩුව අපේ රටේ ඇති ප‍්‍රකටත ම සංචාරක පුරවරයකි. එහි ඇති දර්ශනීය වෙරළ තීරය ද, වෙරළාසන්න නො ගැඹුරු මුහුදේ පිහිටි ස්වාභාවික ගල් මල් උයන ද, සීනිගම දේවාලය මෙන් ම, තොටගමුව පුරාණ විහාරය ද, සංචාරක පුරයක් වශයෙන් හික්කඩුවට ඇති වැදගත්කම ඉහළ නංවයි. ලොකු කුඩා සංචාරක හෝටල, නිවාඩු නිකේතන, ආපන ශාලා, දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර සේවා සහ බෝට්ටු සේවා ආදී වශයෙන් දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සපයන තැන් කොතෙකුත් එහි වෙයි.
එහෙත් වර්තමාන හික්කඩුවේ ඇත්තේ පහේ පන්තියේ පාසැල් දරුවන් ද අතරමං කරවන තරම් අවලස්සන පරිසරයකි!
හික්කඩුවට පැවති ලොකු ම විදෙස් සංචාරක ආකර්ෂණය වූ වෙරළබඩ ස්වාභාවික ගල්මල් උයනෙහි ඇති ‘සජීවී කොරල් පර ගහනය සියයට හතක් දක්වා පහත වැටිලා ය. සංචාරක හෝටල් ගණනාවක ම මලාපවාහන නළ හරවා ඇත්තේ ගල්මල් උයන ආශ‍්‍රිත මුහුදට ය. සුදෝ සුදට කිලෝමීටර් ගණනක් ඇවිද යා හැකිව තිබුණු වෙරළ තීරුව ද මුහුදු කෑමට හසුව, ඇත්තේ ම නැති තරමට අතුරුදන් වෙලා ය. වෙරළේ ඇතැම් ස්ථාන කසලින් පිරී අපිරිසිදුව ගොසිනි. ‘කොරෝනා වසංගතයත් සමගම විදෙස් සංචාරකයන් හික්කඩුව හැර ගිය නිසා හෝටල් ද පාලූවට ගොසිනි. කොරල් උයන නැරඹීම පිණිස වරින් වර එහි එන දේශීය සංචාරකයන් ද තැරැව්කරුවන් විසින් ගසා කන්නෝ ය!
හෝටල් හිමියන් කල්පනාකර ගෙන සිටියේ ‘කොරෝනා සමය තුළ තම සංචාරක හෝටල් ටිකක් ලස්සන කරන්නට ය. එහෙත් හෝටල් බොහොමයකට ද හානි සිදුකරමින් මුහුද කඩා වැදුණු නිසා ඒ කටයුත්ත ද අඩාල විය.
හික්කඩුව ගල්මල් උයන සහ ඒ ආශ‍්‍රිතව නිවසන සමුද්‍ර ජීවීන්ගේ ආරක්ෂාව පිණිස, රජය 1979 වසරේ දී එය වනජීවී අභය භූමියක් බවට ප‍්‍රකාශයට පත් කළේ ය. 1988 වසරේ එය ස්වාභාවික රක්ෂිතයක් බවට පත් කෙරිණි. 2002 වසරේ එය ජාතික සමුද්‍ර උද්‍යානයක් බවට පත් කෙරිණි. එයට අයත් සමුද්‍රික භූමිය හෙක්ටයාර් 102කි. එහි ගණ 31කට අයත් කොරල් පර විශේෂ 60 ක් හමුවන බව සොයා ගෙන තිබේ. කොරල් යනු ‘පොලිප් (බහුබාවා) නමැති සාගර ජීවීන්ගේ සැකිලි ය. ඒවා එකක් මත එකක් දීර්ඝ කාලයක් තිස්සේ වැඞීමෙන් කොරල් පර නිර්මාණය වේ.
හික්කඩුවේ කොරල් පර පන්තිය, 1998 කාලයේ ‘එල්නීනෝ නමැති සාගර ජලය උණුසුම් වීමේ සංසිද්ධියට මුහුණ දුන්නේ ය. එයින් හික්කඩුවේ කොරල් දුර්වර්ණ වී යම් කොටසක් මියෑදුණේ ය. සංචාරක ව්‍යාපාරයේ යෙදෙන නො හික්මුණු අතලොස්සකගේ ක‍්‍රියාමාර්ග නිසා ක‍්‍රමයෙන් හික්කඩුවේ කොරල් අභාවයට යන්නට මග පෑදිණි.
බෙන්තර ගඟ මෝයෙහි බෙන්තොට ද, හික්කඩුවේ ගල්මල් උයන ආශ‍්‍රිත සමුද්‍ර ප‍්‍රදේශය ද ‘සංචාරක පුරවරයන් බවට පත් වූයේ රටට විවෘත ආර්ථික ක‍්‍රියාවලිය හඳුන්වා දුන් 1970 දශකය අග භාගයේ ය. ගෙවී ගිය දශක හතරක කාලය තුළ අප කොතරම් දුරට හික්කඩුවේ කොරල් පර රැක බලා ගෙන ඇත් ද යත්, දැන් එය සියයට හතක් දක්වා පහත වැටී තිබේ!
වර්තමානයේ කොරල් පර නැරඹීමට සංචාරකයන් ප‍්‍රවාහනය කරන ‘වීදුරු පතුල බෝට්ටු සංඛ්‍යාව ද වැඩි ය. එවිට ඒවායින් මුහුදට බැහැර වන ඉන්ධන සහ ලිහිසි තෙල් ප‍්‍රතිශතය ද ඉහළ යයි. මේ බෝට්ටු පදවන්නන් ගෙන් ඇතැමෙක් කොරල් පරය මත බෝට්ටුව නැගූරම් දමයි. කොරල් පර උඩින් බෝට්ටු පදවයි. සමහර සංචාරකයෝ කොරල් කැබලි කඩා සිහිවටන පිණිස රැගෙන යති. ඉදි කිරීම් කර්මාන්තයට අවශ්‍ය ‘හුණු ලබා ගන්නේ කොරල්ගල් කඩා, ගොඩ බිමට ගෙනවුත් පිළිස්සීමෙනි. මේ කර්මාන්තය කලින් පැවතියේ හික්කඩුවට නුදුරු අකුරල ය. දැන් අකුරල කොරල් පරය නැත්තට ම නැතිවී ගොසිනි. හොර රහසේ, හුණු නිපදවීම පිණිස හික්කඩුවෙන් ද කොරල් කඩති.
සමස්ත ලංකා ජාතික ධීවර සංගමෙයේ සහ දොඩන්දූව ධීවර සමාජ සංවර්ධන ග‍්‍රාමීය සංවිධානයේ සභාපතිවරයා වන ආර්. කේ. චන්ද්‍රසෝම පවසන ආකාරයට, හික්කඩුව ධීවර වරාය ඔස්සේ දැන් සිදුවන ක‍්‍රියාවලිය, ගල්මල් උයනට, හෝටල් ඇතුලු සංචාරක කර්මාන්තයට මෙන් ම, සමස්ත හික්කඩුවේ ම ආර්ථිකයට ද බලපාන්නේ ය!
හික්කඩුව ධීවර වරාය සංවර්ධනය කෙරුණේ මීට දස වසරකට පමණ ඉහත ය. එහෙත් වසර දෙකක් පමණ යන විට, වාරකන් සමයට දියවැල් මගින් ඇදී එන වැලි වරායේ පිරෙන්නට විය. වරාය පවත්වා ගෙන යාම පිණිස වරායේ පාලකයන් දැන් කරන්නේ, වැලි පිරෙන අවස්ථාවල ඒවා ඉවත් කර දැමීමයි. ඉවත් කෙරෙන වැලි මුලින් දැමුවේ ගැඹුරු මුහුදට ය. වාරකන් කාලයට වෙරළ යම් තීරුවක් ඛාදනය වෙයි. වාරකන් සමය හමාර වුණු පසුව, ස්වාභාවිකව ම, වෙරළ යළි නිර්මාණය වෙයි. මෙය අනාදිමත් කාලයක් තිස්සේ හට ගන්නා සංසිද්ධියකි.
එහෙත් හික්කඩුව ධීවර වරායෙන් ඉවත් කෙරෙන වැලි ගොඩ බිමට දැමීමත් (විකිණීමත්) සමගම තත්ත්වය වෙනස් විය. දැන් වාරකන් සමයට ඛාදනය වන හික්කඩුවේ වෙරළ, වාරකන් අවසන් වුව ද යළි පිරී යන්නේ නැත. මෙවර ද එය සිදු විය.
මේ වන විට, හික්කඩුවේ සංචාරක ආකර්ෂණය ඉහළින් ම දිනා ගත් වෑවල, නාරිගම, තිරාණගම, පටුවත, කුමාරකන්ද, ආශ‍්‍රිතව විහිදී ඇති කිලෝමීටර් හයක පමණ වෙරළ තීරය ඉතා දරුණු ලෙස ඛාදනයවී තිබේ.
ආර්. කේ. චන්ද්‍රසෝම ධීවර සමිති සභාපතිවරයා පවසන ආකාරයට, මීට දස වසරකට ඉහත මෙම පෙදෙස්වල පළලින් අඩි 250ක් පුරාවට ද, දිගින් අඩි හතක් පමණ උසට ද මනරම් වෙරළ තීරයක් තිබිණි. එය වසරින් වසර සිහින් විය. දැන් වෑවල ප‍්‍රදේශයේ ඉතිරිව ඇත්තේ අඩි විස්සකටත් වඩා අඩු වෙරළ තීරයකි!
ප‍්‍රදේශවාසීන් පවසන අන්දමට, ඇතැම් දිනවල රාත‍්‍රියට වැලි ටිපර් 100ක් පමණ හික්කඩුව ධීවර වරායෙන් පිටතට යයි.
ප‍්‍රදේශවාසීන් පෙන්වා දෙන අන්දමට, ධීවර වරායට වැලි පිරෙනවා නම් කළ යුත්තේ, වැලි සහිත දියවැල් එන දෙසින් ගල් වැටියක් ඉදි කිරීමයි. ධීවරයන් කොතෙක් පෙන්වා දුන්න ද, වරාය පාලකයන් එයට කන් දෙන්නේ නැත. මේ ආකාරයට දිගින් දිගට ම සිදු වුව හොත්, හික්කඩුව අවට සමස්ත වෙරළ පරිසරය නැත්තට ම නැතිව යනු ඇත.
හික්කඩුවට නුදුරින් පිහිටි පැරැලිය ධීවර වරායට සිදුව ඇත්තේ දමේ ආනිසංසයම ය. එහි ද වැලි පිරෙයි. ඒවා හාරා ගොඩට දමයි. ඉන් පසුව අලෙවි කරයි. අන්තිමේ දී සමස්ත වෙරළ ම ඛාදනය වේ!
අන්තිමේදී ඉතිරි වනු ඇත්තේ, ඇවිද යන්නට වෙරළකුත් නැති, ගල්මලූත් නැති අවලස්සන හික්කඩුවක් පමණි. එවන් හික්කඩුවක් විදෙස් සංචාරකයන්ට කුමට ද?
2020-09-16
No comments:
Post a Comment