සිංහරාජයේ ජෛව සම්පත් මංකොල්ලය,
මාර්ටින් අයියා සහ
ස්ලෝවෙකියානු හොරු
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයට ජෛව සම්පත් හොරකමේ
පැමිණි ස්ලෝවෙකියානු ජාතිකයන් කණ්ඩායමක්, විවිධ වර්ගවල සතුන්
දහස් ගණනක් ද සමග අත්අඩංගුවට පත්වීම දැන් රට පුරා ආන්දෝලනයට තුඩු දී හමාර ය. වන සංරක්ෂණ
දෙපාර්තමේන්තුවේ සිංහරාජය භාර නිලධාරීන් විසින් ඔවුන් අල්ලා ගෙන තිබුණේ පෙබරවාරි 02 වැනි දා, එනම් ඉකුත් සෙනසුරාදා
පෙරවරුවේ ය. එහි දී ස්ලෝවෙකියානු
ජාතික සංචාරකයන් පස් දෙනෙක් අත්අඩංගුවට පත් විණි. වැටලීම සිදු වූයේ, වැද්දාගල, කුඩව වන කඳවුරට නුදුරින් පිහිටි
ස්ථානයක දී ය. ස්ලෝවෙකියානුවන්ගේ ගමන් මලූ තුළ අසුරා තිබුණු කුරුමිණියන්, ගෝනුස්සන්, පක්ෂීන්, හකරැුල්ලන්,
බඹරුන් සහ දෙබරුන්, සමනලූන්, දර කෝටුවා යයි හඳුන්වන සතුන් සහ කෘමීන්
ආදී සතුන් දෙදහසක පමණ තොගයක් ද එහි දී වන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විණි. උන් ගෙන් ඇතැම් සතුන්
ඒ වනවිටත් පණ පිටින් ය. ඇතැම් සතුන් ඇසුරුම්
ඇතුළේ ම මිය ගොසිනි. ස්ලෝවෙකියානුවන් පිරිස
හසුවී තිබුණේ සිය ‘චාරිකාව’ අවසානකර සිංහරාජයෙන්
නික්ම යන්නට ගිය අවස්ථාවේ ය.
මෙය එදා-මෙදාතුරසිංහරාජයෙන්
සොයා ගත් විශාලතම ජෛව සම්පත් ජාවාරම බවට සැක නැත. එහෙත් එය රට පුරා
ආන්දෝලනයට පත් වූයේ ඒ හේතුව නිසා ම නොවේ. එම සිද්ධිය ද සමගින්, සිංහරාජයේ සුප‍්‍රකට ‘මාර්ටින් අයියාගේ’ (මාර්ටින් විජේසිංහ) නම ද ඈඳී තිබීම නිසාවෙනි!
කලවානේ, වැද්දාගල උපන් මාර්ටින් විජේසිංහ මහතා, කලක් වන සංරක්ෂණ
දෙපාර්තමේන්තුවේ සේවය කළ කෙනෙකි. එසේම, අනාදිමත් කාලයක්
මුළුල්ලේ සිංහරාජයට යන-එන දෙස් විදෙස්
පර්යේෂකයන් සමග ගැවසෙමින්,
සිංහරාජය සහ එහි ඇති ගහකොල පිළිබඳව මහා දැනුම්
සම්භාරයක් උපයා ගත්තෙක් ද වෙයි. ඔහු සිංහරාජය නරඹන්නට
එන කොයි කවුරුන් සමගත් සුහද ය. කුළුපග ය. එසේම ඔහු, තමන් උකහා ගත් දැනුම්
සම්භාරය අවශ්‍ය අවස්ථාවල දී අනුන්ට බෙදා දෙන්නට ද නො පැකිලෙන්නේ ය. මහජනතාව අතර නම් ඔහු ප‍්‍රකටව සිටියේ ‘සිංහරාජයේ මාර්ටින්
අයියා’ යන ලෙන්ගතු නාමයෙනි. සිංහරාජයේ වරින්වර
කෙරුණු විවිධාකාර සංරක්ෂණ වැඩ සටහන්වල දී මාර්ටින් අයියා ගෙන් ඉටු වූයේ විශාල
මෙහෙවරකි. හෙතෙම ලංකාවේ බහුතරයක්
පරිසරවේදීන්ගේ ද, මාධ්‍යවේදීන්ගේ ද
මිතුරෙකි. ඔහු පිළිබඳව ලියැවී ඇති දෑ ද
ඉමහත් ය!
දැන් සිංහරාජයේ
හටගත් ලොකු ම ජෛව සම්පත් මංකොල්ලය සම්බන්ධයෙන්, එහෙව් ‘මාර්ටින් අයියාගේ’ නම ද ගෑවී තිබේ! ඔහුගේ නම එයට ගෑවී
තිබෙන්නේ වෙනත් කාරණයක් නිසා නොවේ. අත්අඩංගුවට පත් වුණු
ජාවාරම්කාර ස්ලෝවෙකියානු ජාතිකයන් කණ්ඩායම, මාර්ටින් විජේසිංහ මහතාට අයත් ‘මාර්ටින්ස් ලොජ්’ නමැති පෞද්ගලික
ලැගුම්හලෙහි නවාතැන් ගෙන තිබීම හේතුවෙනි! ‘මාර්ටින්ස් ලොජ්’ ලැගුම්හල පිහිටා ඇත්තේ
ද මාර්ටින් අයියාගේ නිවසට සමීපයෙනි. එනම්, සිංහරාජයේ පිවිසුම්
දොරටුවට නුදුරිනි. ජාවාරම්කාර විදේශික
කණ්ඩායම සිය සිංහරාජ සංචාරයේ දී ලැගුම් ගෙන ඇත්තේ එතැන ය.
ස්ලෝවෙකියානුවන්ගේ ගමන් මලූ තුළ අල්ලා ගත් සතුන්ට අමතරව, විවිධ උපකරණ රාශියක් ද
තිබිණි. රාත‍්‍රී කාලයට කෘමීන්
ආදී සතුන් ආකර්ෂණයකර ගන්නා විදුලි පහන්, අධිසැර විදුලි පන්දම්, ඉතා දිගු විදුලි වයර්, කැමරා, අල්ලා ගත් සතුන්
ඇසුරුම් කිරීම සඳහා සැකසුණු භාජන, සත්ව මළ සිරුරු කල්තබා
ගන්නා රසායනික වර්ග, නිර්වින්දන ද්‍රව්‍ය, සතුන් ඇල්ලීමේ උගුල්
ලෙස භාවිතා කරන දැල් සහ ගොටු වැනි උපකරණ ආදී බඩු භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් ඒ අතර
තිබිණි. ඔවුන්ගේ බඩු භාණ්ඩ අතර
අධිතාක්ෂණික ‘ඩ්‍රෝන කැමරාවක්’ ද විය! වනාන්තරවල දී එබඳු බඩු භාණ්ඩ පාවිච්චි
කරන්නේ, වෘත්තීය මට්ටමෙන් ම
සතුන් රැස් කරන්නන් ය. අත්අඩංගුවට පත් වුණු
ස්ලෝවෙකියානුවන් ද එබඳු වෘත්තිමය පරිචයක්
ඇත්තවුන් බව වැටලීම කළ වන නිලධාරීන්ට පෙනී ගියේ ය.
ස්ලෝවෙකියානුවන් පිරිස නීතියේ රැහැනට හසු වීම අතිශයින් ම
කුතුහලය දනවන කාරණයකි. එසේම,
ජෛව සම්පත් හොරකම් කරන්නට සිංහරාජයට පැමිණි විදේශිකයන්
පිරිසක්, නවාතැන් ගැනීම සඳහා සිංහරාජ වනයට
අතිශයින්ම පෙම්බැඳි මාර්ටින් අයියාට අයත්
ලැගුම්හල ම තෝරා ගැනීම ද මහත් කුතුහලය දනවන්නේ ය.
ස්ලෝවෙකියානුවන් පිරිස සිංහරාජයට පැමිණ තිබුණේ ඉකුත්
ජනවාරි 30 වැනි දා ය. කුලියට ගත් වෑන්
රියකින් පැමිණි ඔවුන් සමග ‘සංචාරක මග පෙන්වන්නෙක්’ හෝ රියදුරෙක් ද සිටියේ
නැත. රථය පදවා ගෙන පැමිණ ඇත්තේ ද ඔවුන් ම ය. එය තරමක් අසාමාන්‍ය
හැසිරීමකි. මාර්ගය අබලන්ව ඇති
නිසා, ‘මාර්ටින් ලොජ්’ ලැගුම්හලට වෑන් රියක්
ගෙන යන්නට නො හැකි ය. එබැවින් ඔවුන්
ලැගුම්හලට ගොස් ඇත්තේ, වාහනය අතරමග දමා පා
ගමනිනි.
වන සංරක්ෂණ නිලධාරීන් පවසන අන්දමට, මෙම පිරිස ප‍්‍රථම
දිනයේ ම, වන සංරක්ෂණ
දෙපාර්තමේන්තුවේ සංචාරක මග පෙන්වන්නෙකු
නැතිව සිංහරාජයේ සංචාරය කරන්නට අවසර දෙන්නැයි ඉල්ලා තිබේ. ‘අපි ටිකට් ගන්නම්, අරන් තනිවම යන්නම්’ යයි එහි දී ඔවුන් පවසා
ඇත. එහෙත් වන නිලධාරීන්
ඔවුන්ගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේපකර තිබේ. සිංහරාජයේ වන
නිලධාරීන් සහ එහි සිටින සංචාරක මගපෙන්වන්නන්
මෙම විදේශික කණ්ඩායම ගැන සැක කරන්නට පටන් ගෙන ඇත්තේ ඔවුන් කළ අසාමාන්‍ය
ඉල්ලීමත් සමගිනි. ඔවුන් තම දෛනික වැඩ
කටයුතුවල නියැලී ඇත්තේ, ස්ලෝවෙකියානුවන්
කණ්ඩායම ගැන ද සෝදිසියෙන් සිටිමිනි.
විදේශික කණ්ඩායම සංචාරය නිමවා ආපසු යන්නට සූදානම් වෙද්දී, වන නිලධාරීන් ඔවුන්
අත්අඩංගුවට ගන්නට කටයුතු කරන්නේ ද සෝදිසියේ දී ඉස්මතු වුණු කාරණා අනුව ය. අවසානයේ ශ‍්‍රී ලංකාවේ
විශාලතම ජෛව හෝ ජාන සම්පත් මංකොල්ලය බඩුත් සමග ම අත්අඩංගුවට ගන්නට ඔවුන්ට හැකි
විණි. ඒ සඳහා ‘ඔත්තුව’ දී තිබුණේ ද අනිකෙකු
නොව, ජාවාරම්කරුවන්ගේ ම ‘අසාමාන්‍ය හැසිරීම්’ විසිනි. එම තොරතුරු වන
නිලධාරීන් අතට පත්ව තිබුණේ සිංහරාජයේ මග පෙන්වන්නන් ජාලය ඔස්සේ ය.
මෙම වැටලීම කෙරුණේ සිංහරාජයේ වන පාලක අජිත් ජයසිංහ, කලාවාන අඩවි වන
නිලධාරී ලක්ෂ්මන් රත්නවීර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙනි. බීට්ටු වන නිලධාරීන්
වන, ජී.ඞී.අනුර, එම්.ජී.මංජුල කුමාර, වන ව්‍යාප්ති නිලධාරි
වයි.එම්.එස්.යාපා බණ්ඩාර සහ වගා
කම්කරුවන් වන බී.ඩබ්.වසන්ත පේ‍්‍රමතිලක, එච්.සුනිල්, එම්.සුසන්ත මුණසිංහ, පී.පී.තචින්ද්‍ර ජයලාල් ගමගේ,
ඕ.තරංග ප‍්‍රසාද් යන
මහත්වරු ද ඊට එක් වූහ.
සිංහ
රාජයේ සිද්ධිය දෙස විපරමෙන් බලන කල, ප‍්‍රධාන කාරණා දෙකක්
ඉස්මතු වේ. ඉන් එකක් වන්නේ, සිංහරාජයේ සිදුවන
දේවල් අතැඹුලක් සේ දන්නා මාර්ටින් විජේසිංහ මහතාට මේ කිසිදු තොරතුරක් දැන ගන්නට නො
ලැබුණේ මන්ද? යන කාරණයයි. අනෙක් කාරණය වන්නේ
ස්ලෝවෙකියානුවන් කුඩව වන කඳවුරේ මුල් ම
බැරියරයෙන් (කුඩව පාලම අසල) ඇතුළු වෙද්දී ඔවුන්ගේ ගමන් මලූ සහ වාහනය පරීක්ෂාවකට ලක් නො
වුයේ මන්ද? යන්න යි. කුඩවේ එවන් පරීක්ෂණ
වැඩ පිළිවෙලක් තිබුණු බවක් දැන ගන්නට නැත. සංචාරයට එන දෙස්
විදෙස් පුද්ගලයන් ගෙනෙන ගමන් මලූ ආදිය පරීක්ෂා කරන වැඩ පිළිවෙලක් තිබුණා නම්, ස්ලෝවෙකියානුවන්ගේ ‘අමුතු බඩු කට්ටලය’ කලින් ම හසු වන්නට ඉඩ
තිබිණි. එහෙත් ඔවුන් ‘මාර්ටින්ස් ලොජ්’ දක්වා ද, එතැනින් ඔබ්බට ද, පරීක්ෂාවකට ලක් නොවී
ගමන්කර තිබේ! කුඩව වන කඳවුර අසල දී පරීක්ෂා
කිරීම් නැතිකම ගැටලූවකි.
‘ඔබ ඇත්තට ම, මේ අය ගැන දැන සිටියේ
නැද්ද?’, එය, ලියුම්කරු මාර්ටින්
විජේසිංහ මහතා සමග කළ දුරකතන සාකච්ඡාවේ දී විමසූ මුල් ම ප‍්‍රශ්නයයි. ඔහු එයට දුන් පිළිතුර
වුයේ, ‘මුල දී මං මේ තරම්
දෙයක් දැන ගෙන හිටියේ නෑ’
යන්නයි.
එහි දී ඔහු වැඩිදුරටත් පැවසුවේ, ‘මං මේ කට්ටිය ගැන සැක
හිතන්න පටන් ගත්තේ පෙබරවාරි පළවැනි දා හවස ඉඳලයි. එදා ඔවුන් ‘ඩ්‍රෝන එකක්’ ඇරියා. ඒක ගේන්න අවසර ගත්තා ද? කියලා මං ඇසුවාම, ඒකට අවසර ගත්තේ නෑ
කිව්වා. එතැන් පටන් මට ඔවුන්
ගැන ලොකු සැකයක් ඇති වුණා’
යනුවෙනි.
මාර්ටින් විජේසිංහ මහතා පවසන අන්දමට, ඔහු තම සැකය ගැන
දැනුම් දීම සඳහා එදා කිහිප වරක් ම, කුඩවේ වන නිලධාරීන්ට
දුරකතන ඇමතුම් ලබා ගෙන ඇත. එහෙත් වන නිලධාරීන්
කිසිවෙක් දුරකතනයට අල්ලා ගැනීමට ඔහුට නො හැකිවී තිබේ. වන පිවිසුමේ සිට පහළට
යන විශ්වාසවන්ත කෙනෙකු මගින් හෝ වන නිලධාරීන්ට පණිවුඩයක් යැවීමට හෝ ඔහුට කල්පනාවී
නැති සෙයකි!
ස්ලෝවෙකියානුවන් පිරිස භාවිතකර ඇති උපකරණ ගැන බලන විට, ඒවා ‘හංගා ගෙන’ එහා මෙහා කළ නො හැකි
බව පෙනී යයි. එහෙත් මාර්ටින්
අයියාගේ නවාතැනේ කිසිවෙකුත් ඒවා දැක්ක බවක් හෝ දැන ගන්නට නැත්තේ ය. එය ඇත්තට ම පුදුම සහගත
ය! විදේශිකයන් පිරිස එතරම් සූක්ෂමව වැඩ කළා ද
යන්න මෙහි දී මතුවන ප‍්‍රශ්නයයි.
‘මාර්ටින්ස් ලොජ්’ ලැගුම්හල පවත්වා ගෙන
යන්නේ මාටින් විජේසිංහ මහතා සහ ඔහුගේ පවුලේ අය විසිනි. ඒ සැම දෙනාගේ ම ඇස්
වසා මේ තරම් විශාල ජෛව සම්පත් කොල්ලයක යෙදුණේ කෙසේ ද? යන්න ද ගැටලූවකි.
වන නිලධාරින් පවසන අන්දමට, ස්ලෝවෙකියානුවන් පිරිස, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
මග පෙන්වන්නෙකු ද සමග වන සංචාරයේ යෙදී ඇත්තේ එක් දිනක් පමණි. එහි දී ඔවුන් කිසිදු
නීති විරෝධී ක‍්‍රියාවක නියැලී නැත. එහෙත් ඔවුන් රාත‍්‍රී
කාලයේ හොර රහසින් වනයට වදිමින් සතුන් එක්
රැස්කර තිබේ.
ස්ලෝවෙකියානුවන් අත්අඩංගුවට පත් වුණු දාට පසු දිනයේ වන
සංරක්ෂණ නිලධාරීහු අධිකරණ නියෝගයක් ද රැගෙන ‘මාර්ටින්ස් ලොජ්’ ලැගුම්හල පරීක්ෂා කළහ. එහි දී ඔවුන්ට පිළිස්සුණු කුණු ගොඩක තිබී අඩක් පිළිස්සුණු ‘සමනල පැකට්ටුවක්’ හමු විය. එය පෙර දින අත්අඩංගුවට
පත් ස්ලෝවෙකියානුවන්ගේ ගමන් මලූවල තිබුණු සත්ව අසුරුම්වලට සමාන ය! එහි සමනල සිරුරු
කිහිපයක් ද තිබිණි.
විදේශිකයන් පිරිස නවාතැන හැර යන්නට පෙර එය පුළුස්සා
දැමුවා ද?, එසේ නැතිනම් ලැගුම්හලේ
වෙනත් කෙනෙක් එය පුළුස්සන්නට තැත් කළා ද? යන්න ගැටලූ සහගත ය. ලැගුම්හලට සම්බන්ධ
කෙනෙක් එවන් ඇසුරුමක් දුටුවා නම්, ඔවුන් එය වන නිලධාරීන්ට නො දැන්වූයේ ඇයි? යන ප‍්‍රහ්නය ද මෙහිදී
ඉස්මතු වෙයි!
මේ ජාවාරම කෙසේ සිදු වූවා ද? යන්න තවම හරිහැටි
අනාවරණයවී නැත. එබැවින් අපි සිද්ධියට
සම්බන්ධ විවිධ පාර්ශව සංවාදයට කැඳවා ගතිමු!
000000000000000000000000
ඩ්‍රෝනයක් ඇරියාට පස්සේ මට සැක හිතුණා
මාර්ටින් ලොජ් ලැගුම්හලේ හිමිකරු මාර්ටින් විජේසිංහ මහතා
‘ඔය සුද්දෝ ටික නතරවෙලා
හිටියේ අපේ ලොජ් එකේ. ඔවුන්ට යාල වනයේ දී
මගේ මිත‍්‍රයෙක් හමු වෙලා තියෙනවා. ඔහුගේ මග පෙන්වීම අනුව
තමයි ඔවුන් මෙහේ ඇවිත් තියෙන්නේ. මේ අය මෙහෙම වැඩක් කරන
බවක් මම දැන හිටියේ නෑ.’
‘ඔවුන් මෙහේට ආවේ
ජනවාරි 30 වැනි දා සවසයි. ඊට පස්සේ රාත‍්‍රියේ
මේ ගොල්ලෝ පහළට යන්න ගියා. ඔවුන්ගේ වාහනේ නවත්වලා
තිබුණේ පල්ලෙහා තැනකයි. ඒකේ මොකක්ද ප‍්‍රශ්නයක්
තියෙනවා, ඒක බලන්න යනවා, වාහනේ එයාලගේ බඩුත්
තියෙනවා කියලයි ගියේ. ඔවුන් ආපහු ලොජ් එකට
ආවේ පාන්දර හතරට විතර. 31 වැනි දා උදේ කෑම කාලා ඔවුන් ගමට යනවා කියලා පහළට ගියා. හවස ආපහු ආවා.’
‘පෙබරවාරි 01 වැනි දා සවස 2.30ට විතර ඔවුන් ඩ්‍රෝන
එකක් ඇරියා. මං ඇහුවා ඒකට පර්මිෂන්
ගත්තා ද කියලා. ඔවුන් නෑ කිව්වා. රාත‍්‍රී නමයට විතර ඔවුන්
කැලේට ගියා. ඔය වෙලාවේ මෙහේ තව
ටුවරිස්ට් ගයිඞ් කෙනෙකුත් හිටියා. මම එයාලට කිව්වා
සුද්දෝ ගැන සැකයි, සොදිසි කරන්න කියලා. පස්සේ එයා ගිහින්
සුද්දෝ ටික ආපහු කැඳවා ගෙන ආවා.’
‘රාත‍්‍රියේ එයාලා නිදා
ගත්තා. මට ඔවුන් ගැන සැක
හිතුණා. මං කුඩවේ පොරස්ට් එකට
කතා කළා. ඒත් දුරකතන වැඩ කළේ නෑ. පස්සේ දෙවැනි දා උදේ
මම ඔවුන් ගැන ‘ධනුෂ්ක’ කියන ගයිඩ්ට කිව්වා. වැටලීම කෙරුණේ ඊට
පස්සෙයි.’
‘මේ ගොල්ලෝ ගයිඩ් කෙනෙක් එක්ක කැලේට
ගියේ එක පාරයි. ඒ පෙබරවාරි 01 වැනි දා විතරයි.’
‘මං දැන් ගෙදරින් පිට
යන්නේ නෑ. ඇවිදින්න අමාරුයි. මේ ගොල්ලෝ මෙහේ නැතුව
වෙන කොහේ හරි හිටියා නම් මේක අහුවෙන්නේ නෑ’
000000000000000000000000000000000000000000
අට වතාවක් ලංකාවට ආවාය කියලා
එක්කෙනෙක් කිව්වා
නම සඳහන් කරන්නට අකමැති, මාර්ගෝපදේශකයෙක්
‘මම සිංහරාජයේ ගයිඩ් කෙනෙක්. දෙවැනි දා උදේ මංජුල
කියන බීට්ටු වන නිලධාරී මහත්තයයි, සුරංග කියන වන ව්‍යාප්ති නිලධාරී මහත්තයයි මට කතා කළා. සුද්දෝ කට්ටියක් එනවා. උන් සැකයි, බලන්න යමු කියලා මට අඬ ගැහුවා. පස්සේ අපි උඩට ගියා. ඔවුන්ගේ වෑන් එක
නවත්තලා තිබුණේ මාර්ටින් මාමාගේ ගෙවල්වලට පහළ නිවසක් ලඟයි. අපි එතැනට යනකොට ඒක
එතැන තිබුණේ නෑ.’
‘ඊට පස්සේ අපි මාර්ටින්
මාමාට කතා කළා. එයා ‘මේ ගොල්ලෝ දැන් පිටත් වෙන්නයි යන්නේ. එයාලා සැකයි, ඒ ගැන කියන්න කලින්
ඔයාලාගේ පෝන් වැඩ කළේ නෑ’
කියලා කිව්වා.’
‘ඊට පස්සේ අපි වෑන් එක
සොයා ගෙන ආයෙමත් පහළට ගියා. ඒක පහළ තියෙන හෝටලේක
නවත්වලා තිබුණා. පස්සේ අපි ඒක එළියට
එනකල් හැංගිලා හිටියා. ඔය වෙලාවේ බීට්ටු වන
නිලධාරී අනුර මහත්තයත් එතැනට ගෙන්වා ගත්තා. මේ ගොල්ලෝ ආවේ කුලී
ජීප් එකක. බෑග් ටික බාලා, වෑන් එකට පටවනවාත්
එක්කම අපි පැනලා ඔවුන් අත්අඩංගුවට ගත්තා. එකන හිටියේ හතර දෙනයි. අනිත් කෙනා ගෙදරක
හංගපු බෑග් එක ගේන්න මගින් බැහැලා. අපි සැකකරුත් එක්ක ඒ
බෑග් එකත් සොයා ගත්තා’
්උන් එක්ක කතා කරද්දී එකෙක් (39 හැවිරිදි තැනැත්තා), තමන් අට වතාවක් ලංකාවට
පැමිණ ඇති බව කිව්වා. එයා කරන්නේ පින්තූර
ගන්න එක විතරයි කියලා ඒ සුද්දා කිව්වා.’
‘මම 1993 ඉඳලා ගයිඞ් කෙනෙක්
විදිහට වැඩ කරනවා. එක සැරයක් සමනල්ලූ
අල්ලන කෙනෙක් අල්ලලා දුන්නා. සමනල්ලූ තුන් දෙනෙකුට
උසාවියෙන් රුපියල් හැට පන්දාහක් දඩ ගැහුවා‘
000000000000000000000000000000000000000000
කලින් අවුරුද්දේ දෙනියාය පැත්තෙන් ගියාලු
නම සඳහන් කරන්නට අකමැති, කලක් පරිසර සංවිධානයකට
ද සම්බන්ධව සිටි ‘කොළඹ ගයිඩ් මලයා’
‘මම පාටියක් එක්ක
සිංහරාජේ ගියේ පෙබරවාරි 30 වැනි දා. අපි නැවතුණෙත්
මාර්ටින් ලොජ් එකේ. එතකොට මේ සෙට් එකත්
ඒකේ හිටියා. උන් ප‍්‍රයිවෙට් වෑන්
එකකයි ඇවිත් තිබුණේ. අපි උඩහට යනකොට ඒක
දැක්කා. උන් ටිකට් අරන් ආවේ
නැති නිසා අද කැලේ නො ගිය බව මාටින් අයියා කිව්වා. මං අපේ කට්ටියත් එක්ක
කැලේ ගියා.’
‘අපි ආපහු ආවේ හවස හයට
විතර. ඒ වෙනකොටත් මේ කට්ටිය
ලොජ් එකේ හිටියා. උන් වැඩිය කතාවට ආවේ
නෑ. ටීම් එකේ ලීඩර් වගේ පෙනුණු සුද්දා පින්තූර
ගනිමින් හිටියා.’
‘ටිකට් ගත්තා නම් අද
ගයිඩ් කෙනෙක් එක්ක කැලේ යන්න තිබුණා නේද කියලා මං
ඌට කිව්වා.
‘ලෝන්ලි ප්ලැනට් එකේ
ලංකාව ටොප් එකේ දාලා තියෙනවා. ඒත් මෙහේ ඉංග‍්‍රීසි
දන්න අය නෑ’ කියලා සුද්දා උත්තර
දුන්නා.
උන් රියදුරෙක් හරි ගයිඩ් කෙනෙක් හරි නැතිව, වෑන් එකක් කුලියට අරන්
ආ බවයි කිව්වේ. එහෙම කළා නම් ඒ අයටත්
ගෙවන්න වෙනවා කියලාත් කිව්වා. ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් එක්ක ආවා නම්
ග‍්‍රවුන්ඩ් ලෙවල් එකේ වැඩ ටික කරලා දෙනවානේ කියලා මං කිව්වා. කලින් අවුරුද්දේ උන්
දෙනියාය පැත්තෙන් ආපු බවත්,
එහේ දී නිදහසේ කැලේට ගිය බවත් සුද්දා කිව්වා.’
‘මට මුං ගැන සැක හිතුණා. අපේ රට ගැන කියපු
දේවල්වලට තරහකුත් ආවා. පස්සේ මාර්ටින් අයියාට
කතා කරලා මුන් සැක බව කිව්වා.’
‘අපි ?ට කෑම කාලා ඉන්නකොට
දැනෙනවා, මුන් ටික මිසින්. කොහේ ගියා ද දන්නේ නෑ. මාර්ටින් අයියාටත්
කිව්වා. උන් කොහේ ගියාද කියලා
එයා දන්නෙත් නෑ. පස්සේ මම අපේ
රියදුරුත් එක්ක ඇවිදලා බැලූවා. ඒත් හමු වුණේ නෑ. මුන් කලෙක්ෂන්වලට ගියා
ද කියලාත් මට සැක හිතුණා’
‘පහුවදා උදේ (පෙබරවාරි පළ වැනි දා) මේ කට්ටිය ටිකට් ගන්න
පහළට ගිහින් තිබුණා. ඔවුන් මට කැලේදිත්
හම්බ වුණා. ඔවුන් ඇවිත් හිටියේ ‘තණ්ඩුල’ කියන ගයිඩ් එක්කයි. ‘මුන් ගේමකට ඇවිල්ලා
ඉන්නේ’ කියලා මං තණ්ඩුලටත්
කිව්වා. උන්ගේ ගෲප් එකේ
එකෙක්වත් වෙනම තනි වෙන්න අරින්න එපා කියලත් මං කිව්වා’
‘මම ආපහු ලොජ් එකට
එනකොට හවස් වුණා. එදා රෑ (පළ වැනි දා) රාත්‍රී අපි නිදා ගන්න ගියා. ඒත් මුන්ගේ කාමරවල
ලයිට් දාලයි තිබුණේ. මුන් ගැන පොරස්ට් එකට
කියන්න කියලා මං එවේලෙත් මාර්ටින් අයියාට කිව්වා. අපි නිදා ගත්තේ නෑ. රාත‍්‍රී එකොළහට විතර
එළියෙන් ටෝච් එළියක් දැක්කා. ඒක ටිකක් වෙනස් එළියක්. අපිත් (මායි රියදුරුයි) ඒ පැත්තට ගියා. අරුන් ගෙන් දෙන්නෙක්
එළියේ ඉන්නවා. එකෙක් යමක් කිහිල්ලේ
ගසා ගන්නවාත් දැක්කා. මුන් සත්තු සාම්පල්
එකතු කරන බව මට වැටහුණා. අපි ටිකක් දුරිනුයි
හිටියේ.’
‘ටික වේලාවකින් උන් පහළ
පැත්තට යන්න හැරුණා. උන් කතා කළේ ඉංග‍්‍රීසි
නෙමෙයි. ඒත් ‘බූෆෝ-බූෆෝ’ කියලා කතා වෙනවා ඇහුණා. මුන් සබ්ජෙක්ට් එක
දන්නා අය බව මට තේරුණා. පස්සේ අපිත් එතෙන්ට
ගියා. එතැන ගෙම්බෙක් හිටියා. උඹලා සත්තු ගැන දන්නවා
ද? කියලා මං ඇහුවා. දන්නේ නෑ කියලා උන්
එකෙක් ඉංග‍්‍රීසියෙන් කිව්වා. පස්සේ අපි ආපහු ලොජ්
එකට ආවා. මාර්ටින් අයියාට විස්තරේ
කියලා. මුන් ගැන පහළට (කුඩව වන කඳවුරට) කියන්න කියලත් කිව්වා.
‘මං උදේත් කෝල් කළා, ඒත් පෝන් වැඩ කළේ නෑ’ කියලා ඔහු කිව්වා.’
‘දැන් මට හරි අප්සෙට්. පහුවදා උදෙන්ම උඩහට
ආවේ ධනුෂ්කයි. එයා ගයිඞ් කෙනෙක්. මං එයාට විස්තරේ කියලා, වාහනේ චෙක් කරන්න
කිව්වා. ධනුෂ්ක පහළට කෝල් කළා. පස්සේ උදේ 9.30ට විතර උන් ටික අල්ලා
ගෙන තිබුණා’
(මෙම ලිපිය 2019/02/10 දින අරුණ පුවත්පතේ
පළවිය.)
(මෙම ලිපියේ පින්තූර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ බී.බී.සී. වෙබ් අඩවියෙනි)
Good work by our (SL) nature lovers. Must lockup these guys for a while to teach them a lesson.
ReplyDelete