Total Pageviews

Sunday, January 8, 2017

සහල් යන්ත‍්‍රාගාරධාරී මහත්වරුනි, ඔය ලාභ යා දෙනවා ද?

වී-හාල් රාජ්‍යයේ බලය හිනි පෙත්තට නැගීම-02
සහල් යන්ත‍්‍රාගාරධාරී මහත්වරුනි, 
ඔය ලාභ යා දෙනවා ද?
 


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘වලස්පති අඩවියට’ කලින් ලියූ ලිපිය මගින් අපේ රට ‘වී-හාල් රාජ්‍යයක් ලෙස හඳුන්වා දීමට උත්සාහ කළෙමි. ඊට හේතුව වූයේ ලංකාවේ මහජනතාව හෙවත් ‘බත් කන මිනිසුන්’ සහ ‘බත් හදන මිනිසුන්’, දැනට වසර ගණනාවක් මුළුල්ලේම මහා පරිමාණ වී සහ සහල් මෝල් හිමි ව්‍යාපාරිකයන් සමූහයකගේ ගල ග‍්‍රහණයට හසුවී සිටීමයි!
 
මේ සටහන ලියන්නේ 2017 ජනවාරි 07 වැනි දා ය. 2016 වසරේ දෙසැම්බර් මාසයේ ඉහළ යන්නට පටන් ගත් සහල් කිලෝවේ මිල තවමත් පහත වැටී නැත. 2017 ජනවාරි 06 වැනි දිනයේ එක්තරා ප‍්‍රකටතම සුපිරි වෙළෙඳසැල් ජාලයක රතු සහ සුදු කැකුළු සහල් කිලෝව අලෙවි වුයේ රුපියල් 110.00ක මිලට ය. රටේ බොහොමයක් තැන්වල සහල් කිලෝවේ මිල රුපියල් සියය ඉක්මවා යමින් තිබේ. මෙය මෑත ඉතිහාසයේ සහල්  කිලෝවක් සඳහා පැනවුණු ඉහළම මිලයි! මීට ඉහත අන් කවර කලෙක හෝ සහල් මිල මේ තරම්  ඉහළ ගියේ නැත. මෙම තත්ත්වය වූ කලී, ‘වී-හාල් රාජ්‍යයේ’ බලය කූට ප‍්‍රාප්තියට ළඟා වීමක් ය යන්න. ලියුම්කරුගේ අදහසයි.
 
පොදුවේ කවුරුත් දන්නා පරිදි, කොළඹ ‘මහා ආණ්ඩුව’ සහ ‘සියඹලාණ්ඩුව’ හැරෙන්නට, මේ රටේ වෙනත් ආණ්ඩු තිබුණේ නැත. එසේ වුව ද දැන් බොහොම කලක් තිස්සේ අපේ රටේ ‘තවත් ආණ්ඩුවක්’ ක‍්‍රියාත්මක වන බව පෙනී යයි. එය බොහොම බල සම්පන්න එකකි. රට වැසියන්ගේ ප‍්‍රධාන ආහාරය වූ ‘බත’ පාලනය කරමින් එයට මිල නියම කරන්නේ, ඔවුන් විසිනි!
 
එක් වරම ඇසට නො පෙනෙන ඒ ආණ්ඩුවේ අය, ලංකාව වී-හාල් රාජ්‍යයක් බවට පත්කර ගෙන, රට වැස්සන් ගල ග‍්‍රහණයට හසුකර ඇති බව, සහල් කිලෝවේ මිල අහස උසට නැගීමෙන්ම පෙනී යයි! කොළඹ සිට රාජ්‍ය විචාරන ආණ්ඩුව ද එය පාලනයකර රටට සහනයක් දීමට සාධනීය පියවරක් තබන බවක් නො පෙනෙයි. වී ගොවියෙක් රාජ්‍ය පාලකයාව සිටින වකවානුවක මෙවන් තත්ත්වයක් හට ගැනීම ද සුවිශේෂ ය.
 
2016 වසර අවසානයේ රටට සහල් හිඟයක් ඇති වීමට කොහෙත්ම ඉඩක් නැති බව, කලින් ලිපියෙහි ද සඳහන් කළෙමි. ඉකුත් වසර දෙක තුනෙහි රටට ලැබුණ අස්වැන්නට පින් සිදු වන්නට, රටට ඇති තරම් වී තොග තිබේ. ගැටලූවක්ව තිබෙන්නේ, ඒවා සහල් බවට පත්ව වෙළෙඳපොළට නො ඒම ය. වී තොග අත්පත්කර ගෙන සිටින මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයන් ඒවා සහල් වෙළෙඳපොළට එවන්නේ, ඉතා සීමිතව ය. එනම්, රට පුරා කෘත‍්‍රිම සහල් හිඟයක් මවා පාමිනි. එවිට සහල් කිලෝවේ මිල, නිරන්තරයෙන්ම ඉහළ තලයක පවතින්නේ ය. එය ඔවුන්ට අධික ලාභ ලැබෙන කාරණයකි. ඔවුන් අත වැඩිපුරම ඇත්තේ කිලෝව රුපියල් 26ත් 36ත් අතර පරාසයකට මිල දී ගත් වී තොග බව නො රහසකි!
 
සහල් හිඟය සහ ආණ්ඩුවේ භීතිය
මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයන්ගේ ක‍්‍රියාවලිය, වෙළෙඳපොළ සහල් ඉල්ලූම නො තකා හරිමින් වී තොග සඟවා ගෙන සිටීමකි. කෘත‍්‍රිම සහල් හිඟයක් ඇතිකර, සැපයුම සීමාකර, මිල ඉහළ යන්නට සැලැස්වීමකි. එය අධික ලාභ තීරුවක් වෙනුවෙන් පුරන දුෂ්ට, පිළිකුල් සහගත ප‍්‍රාර්ථනයක් බව පැහැදිලි ය!
 
වත්මන් ආණ්ඩුව මෙන්ම ඊට පෙර බලයේ සිටි ආණ්ඩු ද මහා පරිමාණ වී මෝල්  ව්‍යාපාරිකයන්ගේ පිළිිකුල් සහගත ක‍්‍රියාදාමය පාලනය කළේ නැත. වර්තමාන ආණ්ඩුව ද එවැන්නක් කරන බවක් පෙනෙන්නට නැත. ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ඔවුන් තෝරා ගෙන ඇති විකල්ප විසඳුම වන්නේ, සහල් ආනයනය කිරීමයි. ඒ අතර සහල්වලට පාලන මිලක් පැනවීම ගැන කතා කරනු ද ඇසෙයි. ජනවාරි මාසයේ මුල් සතිය අවසානයේ සහල් ආනයන බදු පවා අඩු කළ බව ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය විය.
 
සහල් ආනයනය කරන්නට තීරණය කිරීමෙන්ම, ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව දරන මතය පැහැදිලිව පෙනේ. ඔවුන් සිතා සිටින්නේ, රට තුළ වී-සහල් හිඟයක් හට ගෙන ඇති බවයි. එබැවින් සහල් මිල ඉහළ ගිය බවයි! සහල් ආනයනයකර වෙළෙඳපොළට දැමීමෙන් හිඟය මගහැරී, මිල පහත බසිනු ඇතැයි යන්න, ඔවුන්ගේ කල්පනාව බව පෙනේ. නැතිනම් සහල් මිල ඉස්සූ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ‘පාඩමක් උගන්වනු පිණිස’ සහල් ආනයනය කරන්නට සිතනවා ද විය හැකි ය!
 
කෙසේ වෙතත්, මෙය මහත් විකාර සිතිවිල්ලකි. රට තුළ වී හිඟයක් නැති වීම, ඊට හේතුවයි. ආණ්ඩුව සහල් තොග ආනයනය කරන්නට යන්නේ, පෞද්ගලික අංශය සතුව පවතින වී තොග පිළිබඳ නිසි තක්සේරුවක් නැතිව ය. ඔවුන් සතුව අති විශාල වී තොග තිබෙන බව නො රහසකි!
 
අනෙක රට තුළ වී හිඟයක් නැති බවට, ශ‍්‍රී ලංකා මහ බැංකුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන ද පවසා සිටිති. ඔවුන් වාර්ෂිකව රටට ඉදිරිපත් කරන දත්ත වාර්තා මගින් ඒ බව පැහැදිලිව පෙනේ. රට තුළ වී හිඟයක් ඇති බව සත්‍යයක් නම්, එක්කෝ ඔවුන්ගේ දත්ත වාර්තා ‘පට්ට කෙප්ප’ ය. එසේම රටට වී හිඟයක් ඇත්තේ නැති නම්, ආණ්ඩුව දරණ මතය ද ‘පට්ට කෙප්පයකි’. ඒ අනුව, පිටරටින් සහල් ගෙන් වීම ද, ‘පට්ට කෙප්පයක්’ මත පිහිටා ගනු ලැබූ තීන්දුවකි!
 
ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ආණ්ඩුවට ගත හැකි හොඳම විසඳුම විය යුතුව තිබුණේ, සහල් ආනයනය කරන්නට යාම නොවේ. පෞද්ගලික අංශය සතුව පවත්නා වී තොග, සහල් බවට පත්කර එළියට ඇද දමන වැඩ පිළිවෙලකට තල්ලූවී යාමයි. 1980 දශකයේ පටන් පැවති ආණ්ඩු මෙන්ම වර්තමාන ආණ්ඩුව ද එබඳු පියවරක් තැබුවේ නැත! ඒ වෙනුවට, ‘සහල් ආනයනය’ හොඳම විකල්පය වශයෙන් තෝරා ගත්හ. එසේ වූයේ ඇයි?
 
ආහාර වූ කලී, සකලවිධ ජීව ප‍්‍රාණීන්ගේ පැවැත්ම තීන්දු කරන මහා සාධකයයි. ‘බත’ ලංකා වාසීන්ගේ ජීවිතයයි. රට බත බුලතින් සරු කිරීම, ඉපැරණි රජුන් දවස පටන්ම රාජ්‍ය පාලකයන්ගේ ප‍්‍රමුඛතම කටයුත්ත විය. ‘බත’ සරිකර රට වැසියන්ගේ කුස ගිනි නිවීම, උත්තම කටයුත්තක් ලෙස සැලකිණි. රටට බත සැලසීම, රාජ්‍ය පාලකයන්ගේ ප‍්‍රමුඛතම රාජකාරිය, වැඩ පිළිවෙල මෙන්ම වගකීම ද විය. ‘බත’ පිළිබඳ සකලවිධ පාලන බලය ද පාලකයාට හිමි විය. අතීත රට වැසියෝ කුසගින්නේ නො සිටියහ. ‘බත’ පිළිබ`ද වර්තමාන සංකල්පය එසේ නො වන බව, ජනතාවට දරාගත නො හෙන තරමට සහල් මිල ඉහළ යාමෙන්ම පෙනේ!
 
එහි තේරුම වන්නේ ‘බත’ අරභයා වෙනම වෙනම ‘පාලන තන්ත‍්‍රයක්’ අදෘෂ්‍යමානව ක‍්‍රියාත්මක වන බවයි! එය ‘වී-හාල් රාජ්‍යයකි’. මහජනතාවගේ ‘බත’ තීන්දු කරන්නේ එයිනි.
 
මින් හැඟී යන්නේ කුමක් ද?, 1980 දශකයේ පටන් පැවති ආණ්ඩු මෙන්ම වර්තමාන ආණ්ඩුව ද, අදෘෂ්‍යමාන ‘වී-හාල් රාජ්‍යයේ’ පාලක කාරකාදීනට ‘භය පක්ෂපාතව’ හැසිරෙන බවයි. නැතිනම් ඔවුන් ගෙන් ලැබෙන අප‍්‍රසිද්ධ වාසි, වරදාන, හෝ වෙන යම් ඵල ප‍්‍රයෝජන නිසා, ඔවුන්ගේ ක‍්‍රියාවලියට අත නො තබන බවයි! ‘වී-හාල් රාජ්‍යයේ’ වැඩවලට අත තබා, ‘සල්ලං වෙනවාට’ වඩා, පිට රටින් සහල් ගෙන් වීම යහපත් බව, ඇතැම් විට ආණ්ඩුවේ කල්පනාව වන්නට ද පුළුවන!
 
කොයිහැටි වෙතත්, 1980 දශකයේ පටන්ම වී-හාල් ක්ෂේත‍්‍රයෙහි හට ගත් සිදුවීම් ආන්දෝලනයට තුඩු දුන්නේ ය. එකල පටන්ම වී අස්වැන්නට සාධාරණ මිලක් නො ලැබිණි. වී අලෙවි මණ්ඩලයේ ක‍්‍රියාවලිය කෙරෙහි බරපතල විවේචන එල්ල විය. එහි ගබඩා වසා දමා ඇඟළුම් කම්හල් විවෘත කෙරිණි. වී අස්වනු නෙලන කාලයට සහල් තොග පිටින් ආනයනය කෙරිණි. ගොවීන්ගේ ණය බර අධික විය. වී තොග නිසි මිලකට විකුණා ගන්නට හැකියාවක් නො වීය. වී මෝල් හිමි පෞද්ගලික වෙළෙන්දෝ කුණු කොල්ලයට වී මිල දී ගන්නට පෙළඹුණහ. බැරිම තැන වී ගොවීහු අධික ණය බරින් මිරිකී, සියදිවි නසා ගන්නට වූහ! වර්ෂ 1994 අගෝස්තුවේ බලයට පැමිණි ‘චන්ද්‍රිකා ආණ්ඩුව’ ගොවීන්ගේ ණය කන්ද කපා හැරිය බව ඇත්ත ය. එහෙත් වී කිලෝව සාධාරණ මිලකට විකුණා ගැනීමේ විධිමත් යාන්ත‍්‍රණයක් බිහි කෙරුණේ නැත. ඉක්බිති ‘වී-හාල් රාජ්‍යයේ’ බලය ටිකෙන් ටික ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ ය. පාලකයන් කිසිවෙකු එයට අත තැබුවේ නැත.
 
මේවා දෙස බලන විට පෙනී යන්නේ, අදෘෂ්‍යමානව පැවතුණ ද ‘වී-හාල් රාජ්‍යය’ ඉතාමත් බල සම්පන්න එකක් බවයි. වී මිල දී ගැනීම, මිල නියම කිරීම, සහල් නිපදවීම සහ අලෙවිය අරභයා ඔවුන් එක් කතිකාවකට අනුව හැසිරෙන බව ද පැහැදිලි ය.
අදෘෂ්‍යමාන බලය
එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති, මුදිත පෙරේරා මහතා 2016.12.14 දින ‘රිවිර’ පුවත්පතට පවසා තිබුණු ආකාරයට, දැනට රට තුළ ක‍්‍රියාත්මකව පවතින පෞද්ගලික වී මෝල් සංඛ්‍යාව 200කි. වසර 2000 දී එය වී මෝල් 2000ක් වූ බව ද ඔහු පවසා තිබිණි. පසුගිය කාලයේ සුළු පරිමාණ වී මෝල්  විශාල සංඛ්‍යාවක් වැසී ගිය බව ද නො රහසකි.
 
වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායක මහතා උපුටා දක්වමින් 2016.12.25 දින ආණ්ඩුවේ ‘සිළුමිණ’ පුවත්පත සඳහන්කර තිබුණේ, රට තුළ ඇති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් සංඛ්‍යාව 307ක් බවයි. 
 
ගණනින් 307ක් හෝ වේවා, 200ක් හෝ වේවා, මේ කියන පෞද්ගලික වී මෝල්, ගොවීන්ගේ වී කෑල්ල දෙක කුලියට කොටා දෙන මෝල් නො වන බව තේරුම් ගැනීම වැදගත් ය. මේවා, වී තොග සකසා, සහල් කොටා, ඇසුරුම්කර, වෙළෙඳපොළට දමන ව්‍යාපාරික ස්ථාන ලෙස සැලකිය යුත්තේ ය!
 
තතු දන්නා අය කියන හැටියට, රට තුළ තිබෙන මහා පරිමාණයෙන් සහල් නිපදවන පෞද්ගලික වී මෝල් සංඛ්‍යාව 50ක් පමණ වේ. එයින් ද විශාලතම ධාරිතාවක් සහිත වී මෝල් සංඛ්‍යාව, අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ය! මේවා ඉතාමත් නවීන තාක්ෂණයෙන් පිරිපුන් වී මෝල් ය. ‘වී මෝල්’ යයි කීවාට, ඒවා ඉතාමත් නවීන  ‘සහල් නිෂ්පාදන යන්ත‍්‍රාගාර’ යනුවෙන් හැඳින්වීමෙහි වරදක් නැත. ඒවායෙහි ඇතැම් හිමිකරුවන් දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉහළ තැන්වලට සම්බන්ධ බව ද, ප‍්‍රකට කාරණයකි. එබඳු තැන්වල රුපියල් කෝටි ගණන් වටිනා වී තොග රඳවා ඇතැයි කියැවේ.
 
ලංකාවේ ප‍්‍රධාන වී වගා දිස්ත‍්‍රික්ක වන, වවුනියාව, අනුරාධපුරය, කුරුණෑගල, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට යන සෑම ප‍්‍රදේශයකම පාහේ මහා පරිමාණ පෞද්ගලික වී මෝල් හිමියන් විශාල පිරිසක් සිටිති. ඔවුන් රුපියල් කෝටි ගණන්වල වී තොග රඳවා ගෙන සිටිතැයි, එම ප‍්‍රදේශවල දී අසන්නට ලැබේ. එළඹෙනු ඇතැයි සිතන ‘නියං සාය’ නිසා, කිසිවෙක් තම වී තොග හොලවන්නේ නැති බව ද කියති.
 
කෙසේ වෙතත්, තමන් සතු වී තොග කොපමණ ද? යන්න, පෞද්ගලික වී මෝල් හිමියන් හෙළිදරව් නො කරති. එසේම ඔවුන් සතු වී හෝ සහල් තොග කොපමණ දැයි හෙළිකර ගැනීමේ නීතිමය ක‍්‍රමවේදයක් ද ආණ්ඩුවට නැත. 1980 දශකයේ පටන් ගෙවී ගිය කාලය පුරාවට කිසිදු ආණ්ඩුවක්, එවන් නීතියක් ගෙන එන්නට උත්සාහ කළේ ද නැත. ඉතින් බලයට එන ආණ්ඩුවලට සිදුව ඇත්තේ, ‘අනුමාන ඉලක්කම්’ මත පදනම් වෙමින් රට තුළ ඇති වී තොග ගණන් බලන්නට ය!
මාස 10කට ඇති තරම් සහල්
සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සහ වී තොග රැස් කරන්නන්ගේ සංවිධානය එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවක වාර්තාවක්, 2106.12.20 වැනි දා ‘ඒෂියන් මිිරර්’ වෙබ් අඩවියෙහි පළකර තිබිණි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, නාමල් කරුණාරත්න මහතා ද ඊට එක්වූ බව එහි දැක්විණි. එහි දී හෙළිදරව්කර තිබුණේ, මහා පරිමාණ වී මෝල් හිමි අතලොස්සක කණ්ඩායමක් සඟවා ගෙන සිටින වී තොගය, මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 15ක් පමණ වන බවයි. මෙය, රටේ සහල් අවශ්‍යතාවයෙන් මාස දහයකට ප‍්‍රමාණවත් වන තරම් වී තොගයකි!
අයුක්ති සහගත ලාභ!
සහල් මිල ඉහළ යන්නට සලස්වා, බත් කන මිනිසුන්ගේ ගෙල මිරිකා දමන ක‍්‍රියාදාමය කොහෙත්ම ශෝභා සම්පන්න එකක් නොවේ! එබැවින් මහා පරිමාණ සහල් යන්ත‍්‍රාගාරධාරී අතලොස්සක ගෙන් විමසිය යුතු ප‍්‍රශ්නයක් තිබේ.
 
දිනකට තුන් වේල නොව, දෙවේලක්වත් බත් කන්නට වත්කමක් නැති මිනිසුන්ගේ කුස ගින්දර ද පරදුවට තබා, ඔබ ඔය උපයන ලාභ යා දෙනවා ද?, එසේම සදාචාර සම්පන්න ද? යන්න, එම ප‍්‍රශ්නයයි.
ඇත්තටම ඔවුන්ගේ ක‍්‍රියාවලියෙහි කුමන හෝ සදාචාර සම්පන්න භාවයක් ඇත්තේ නැත. ඊට හේතු රාශියකි.
 
x-ලංකාවේ වී ගොවීන්ට පොහොර සහනාධාර ලබා දෙන්නේ, 2005 වසරේ සිට ය. සහල් යන්ත‍්‍රාගාරධාරී අතලොස්සක පිරිස අප‍්‍රසිද්ධියේ රඳවා ගෙන සිටින වී තොග බොහොමයක්, පොහොර සහනාධාරය ද ලබමින් නිපදවුණු ඒවා ය. පොහොර සහනාධාර යනු ජනතාවගේ මුදල් ය.
 
x-ගොවීන්ගේ අස්වනු නෙලන සමයට, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීමෙන්, වී මිලදී ගැනීම පිණිස මහා පරිමාණ මෝල් හිමියන්ට ණය මුදල් ලැබෙන්නේ සියයට දෙකේ වාර්ෂික පොලියට ය. අද රුපියල් සීයේ මිලට විකිණෙන සහල් ටික නිපදවා ගන්නට වී තොග මිලට ගන්නට ඇත්තේ, එම සහන  ණය අරමුදල්වලිනි.
 
x-එසේම වාරි ජලය, වගා උපදෙස් සහ විවිධ යටිතල පහසුකම් ආදිය සපයමින් ආණ්ඩුව ද ජාතික වී නිෂ්පාදනයට දායකවී තිබේ.
 
x-ඉහත සඳහන් කළ සියල්ල (සහන) සපයන්නට, රටේ සමස්ත මහජනතාව ද දායකවී ඇත. ඒ, රජයට විවිධ බදු මුදල් ගෙවමිනි.
 
කරුණු මෙසේ හෙයින්, සාධාරණ මිලකට සහල් කිලෝවක් ලබා ගැනීමේ යුක්ති සහගත අයිතියක්  මහජනයාට ද ඇත. අද ඒ අයිතිය උල්ලංඝනයවී ගොසිනි. ආණ්ඩුව ද සැබෑ ප‍්‍රශ්නයට අත නො ගසමින්, අඳුරේ අතපොවමින් සිටින්නේ ය. ඒ හැසිරීම ද යුක්ති සහගත නොවේ.
 
වී අලෙවි මණ්ඩලයේ වී තොග, වී මෝල් පවා නැති අතරමැදියන්ට විකිණීම මෙන්ම සහල් ආනයනයේ දී කොමිස් ගසන්නට අවස්ථාව ලැබීම වැනි චෝදනා ද, මේ දිනවල ආණ්ඩුවට එරෙහිව කරළියට නැගී ඇති බව පෙනෙයි. ඒවා ද බරපතල කාරණා බව සැබෑවකි!
 
එහෙත් සැබෑ ප‍්‍රශ්නය වන්නේ, එය නොවේ. ජාතික වී නිෂ්පාදනයෙන් සියයට 90කටත් වඩා ඩැහැ ගන්නා නවීන සහල් යන්ත‍්‍රාගාරධාරී පෙද්ගලික ව්‍යාපාරිකයන් අතලොස්සක් විසින්, රට වැසි හුදී ජනයින්ගේ ‘බත් පත’ සමග පිළිකුල් සහගත සෙල්ලමක යෙදී සිටීමයි!
2017/01/08.

1 comment:

  1. බොහොම අර්ථපූර්ණ ලිපියක්. මේ තුළ තියෙන්නෙ පිළිකුල් සහගත සෙල්ලමක්.
    ඔබ කිව්වා වගේම තුන් වේලක් නෙවෙයි දෙවේලක් බත් කටක් කන්න බැරි මිනිස්සි කොතරම්ද......

    ReplyDelete