Total Pageviews

Sunday, September 18, 2016

සපරගමු මහ සමන් දේවාල ඇසළ උළෙල ගැන වෙනස් කියවීමක්

සපරගමු මහ සමන් දේවාල ඇසළ උළෙල ගැන 
වෙනස් කියවීමක්

 



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
රත්නපුර මහ සමන් දේවාලය යයි කී පමණින්ම මට අතීත මතකයන් කිහිපයක් සිහිපත් වෙයි. ඉන් එකක් වන්නේ, මා කුඩා ළමයෙක්ව සිටි සමයේ ඇසළ පෙරහැර නරඹන්නට කිරිඇල්ලේ සිට පැමිණි ගමන් බිමන් ය. කිරිඇල්ලේ සිට රත්නපුරයට සැතපුම් 12කි.
 

මඩ ගොහොරුවෙන් සැදුණු පෙරහැර වීදි, පොල් අතු සෙවිලි කළ සල්පිල් කඩ, ඒ වගේම ‘නටන අලියා’ නමින් ජන ව්‍යවහාරයට පැමිණි හස්තියාත්, ඒක දන්ත ඇතාත්, ඒ මතකයන් අතර දැනුදු ස්පර්ශ කරන්නට හැකියි. දේවාලය මෙන්ම, එහි පෙරහැර ද, ‘දේවාල පොළ’ නමින් හැඳින්වුණු කඩ සල්පිල් ද කුඩා අපේ සිත් පැහැර ගත්තේ වේගයෙනි. එය අපූර්ව ලෝකයකි.
 

පොල් අතු සෙවිලි කළ කඩ සල්පිල් පැවතියේ, පෙරහැර වීදි දෙපස ය. ඒවා අප වන් ළමයින්ගේ සෙල්ලම් බඩු මෙන්ම මීගමු අළුවා, කජු, බූන්දි, ආදී රස කැවිලි ආදියෙන් පිරී තිබුණේ ය.  තැනින් තැන නවතා තිබුණු ‘අයිස් ක‍්‍රීම්’ වෑන් රථ ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ට එක සේ රස බෙදුවේ ය.
 

සමන් දේවාලය පිළිබඳ ඊළඟ මතකය බොහොම කටුක එකකි. පෙරහැර සුන්දර එකක් වුව ද, මැදියම් රැයේ එළඹෙන එහි සමාප්තිය නම් බෙහෙවින් පීඩාකාරී ය. පොල් පොදියේ හිරවෙන සෙනග කන්දරාව අතරින් රිංගා දේවාල වාහල්කඩින් එළියට ඒමත්, ඉන් පසුව ඉඩංගොඩ හෝ පානදුර බසයක් සොයා කහංගම දෙසට පයින්ම යන්නට සිදු වීමත්, අමිහිරි-කටුක අත්දැකීමකි. බසයේ ද හිරවී, තෙරපී ගොසින් අලූයම් යාමයේ ගෙවල්වලට යන්නේ නිදි මරගාතයේ ය!
 

කරුණු කොයි හැටි වෙතත්, කල් යාමේ දී අපට අවබෝධ වූයේ ‘සමන් දේවාලය’ යනු කළු ගඟ ඉහළ නිම්නයේ, එනම් සපරගමුවේ පිහිටි විශාලතම සංස්කෘතික මංගල්‍යය පවත්වන බෞද්ධාගමික සහ සමාජීය කේන්ද්‍රස්ථානය  බවයි. එම සංස්කෘතික මංගල්‍යය ඇසළ පෙරහැර උළෙලයි. අනාදිමත් කාලයක් මුළුල්ලේ කළු ගඟ ඉහළ නිම්න වැසි ජනයා, නො වැරදීම ඊට සහභාගි වීමේ පුරුද්දක් ඇතිකර ගෙන සිටියහ. සමන් දේවාලයේ පැවැත්වෙන ඇසළ පෙරහැර උළෙල, කළු ගඟ නිම්නයේ කෙරෙන විශාලතම සංස්කෘතික මංගල්‍යය බව නො දන්නා කෙනෙක් නැත. ඊට ගැලපෙන ඉතිහාස පුවතක් මෙන්ම ජන සමාජය සමග ගැලැප්පුණු සංස්කෘතික වටාපිටාවක් ද එයට තිබිණි.
 

කළු ගඟ ඉහළ නිම්න ගම් වැස්සෝ එක් පැත්තකින්, මාස් කන්නයේ වී ගොවිතැනින් බත සරිකර ගත්හ. අනෙක් පැත්තෙන් මැණික් පතල් කර්මාන්තයෙන් ජීවනෝපාය සලසා ගත්හ. බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ රබර් වගාව ද ඔවුන්ගේ ජීවනෝපායට එක් විය. එකල ආණ්ඩුවේ වතුවල තිබුණු තේ වගාව, වර්තමානයේ ගම්වලට පැතිර ගොස් ආදායම් සලසා දෙන අයුරු දැකගත හැකි ය.
 

සමන් දේවාල ඇසළ පෙරහැර එළඹෙන වකවානුව අයත් වන්නේ, ලංකාවේ වර්ෂාපතන රටාවේ නිරිත දිග මෝසම් වැසි සමයට ය. එය මැයි මාසයෙන් ඇරඹී, සැප්තැම්බර් මාසය දක්වා පැතිර යයි. නිරිත දිග මෝසම් වැස්ස, කළු ගඟ ඉහළ නිම්නය ද ඇතුළුව රටේ නිරිත දිග තෙත් කලාපීය ප‍්‍රදේශවලට වර්ෂාව ලැබෙන ප‍්‍රධානතම මූලාශ‍්‍රයයි. මාස් කන්නයේ තෙත් කලාපීය වී ගොවිතැනට ජලය ලැබෙන්නේ එයිනි. කළු ගඟ ඉහළ නිම්න වාසී ගොවීන් බහුතරයක් වී වැපිරීම් කරන්නේ සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් යන මාසවල ය.
සමන් දේවාලයේ පෙරහැර උළෙල ඇරඹෙන්නේ ඊට කලින්, එනම් ඇසළ මාසයේ දී (අගෝස්තු/සැප්තැම්බර්) ය. මෙය, රත්නපුර සබරගමු මහ සමන් දේවාලය පිළිබඳ වෙනස් කියැවීමකට අප පොළඹවන කාරණයකි.
 

අතීත ගොවීන් මාස් කන්නයේ ‘කුඹුරු කොටන්නට’, එනම් ‘මුල්ම මඩ වැඩ මුරය’ අරඹන්නට ‘උදළු තල’ මිලට ගන්නට එන්නේ සමන් දේවාලයටයි. දේවාල පොළටයි. ඒවා අතර, කුරු ගඟ ද්‍රෝණියට අයත් ‘තෙප්පනාව’ ගමේ නිපදවන ‘පෝරු උදළු’ හෙවත්  ‘කෙටුම් උදළු තල’ බොහොම ප‍්‍රසිද්ධ ය. ඊට අමතරව ඔවුහු ගොයම් කපන දෑකැති, කැති, වක් පිහියා, පිහියා, ආදී අනෙකුත් කෘෂි උපකරණ ද සමන් දේවාල පොළෙන් මිල දී ගනිති. ගොවිතැන යනු මනුෂ්‍යයන්ගේ ආහාර පිළිබඳ ක‍්‍රියාදාමයයි. එය ආරම්භ කරන්නට පෙර සමන් දෙවියන් වැඳ ආශිර්වාද ලබා ගැනීමේ සිරිතක්, කළු ගඟ ඉහළ නිම්න වැසි ගොවීන්  ඇසළ පෙරහැර උළෙලට සහභාගි වීමෙන් පිළිබිඹු වේ!
 

එසේම මහ සමන් දේවාලයේ කෙරෙන පුද පූජා අතර, ‘අලූත් සහල් මංගල්‍යයක්’ ද වේ. එය දේවාල වහරට අනුව ‘දුරුතු මහ කාර්තියට’ අයත් කටයුත්තකි. එහි ප‍්‍රථම වී මිට පූජා කරන්නේ බුදුන්ට ය. ඊළගට සමන් දෙවියන්ට ය. අලූත් සහල් මංගල්‍යයේ කටයුතු ආරම්භ වන්නේ, දෙවොලට අයත් කුඹුරුවල මාස් කන්නයේ පැසුණු වී අස්වනු (ගොයම් කරල්) සුභ නැකතින් නෙලා ගැනීමෙනි.
 

මේ කරුණු ගැන කල්පනා කිරීමේ දී පෙනී යන්නේ කුමක් ද?, මහ සමන් දේවාලය යනු, එක් අතකින් එය පිහිටි කළු ගඟ ඉහළ නිම්න වාසී ගොවි ජනතාවගේ ජීවිතය ආලෝකවත් කරන බෞද්ධ සංස්කෘතික පුද බිමක් වන බවයි!
 

ප‍්‍රසිද්ධියට පත්ව ඇති ඉතිහාස පුවත් අනුව, සපරගමු මහ සමන් දේවාලය බිහි වන්නේ ද රත්නපුරයේ මැණික් සම්පත මුල්කර ගනිමිනි. අදින් වසර 774කට පමණ ඉහත දෙවැනි පරාක‍්‍රමබාහු රජු (ක‍්‍රි. ව. 1228-1263) දවස, ‘ආර්යකාමදේව’ නම් ඇමතිවරයා විසින් එය ඉදි කළ බව ඉතිහාසයෙහි සඳහන් ය. ඔහු එය ඉදි කරන ලද්දේ, රජු වෙනුවෙන් මැණික් ගැරීම සඳහා සමන් දෙවියන්ට වූ බාරයක් ඔප්පු කිරීම පිණිස ය.
 

එක් පැත්තකින් වී ගොවිතැන් කිරීම ඇතුළු කෘෂි කර්මාන්තය ද, අනෙක් අතින් මැණික් පතල් කර්මාන්තය ද, කළු ගඟ ඉහළ නිම්න වැස්සන්ගේ අතීත ජීවනෝපාය විණි. අදත් සමන් දේවාලය අවට ප‍්‍රදේශයේ  පවා මැණික් ගැරීම් බහුලව සිදු වේ. දැනුදු කළු ගඟ ඉහළ නිම්න ජනයා මැණික් පතල් කැපීමේ දී බාර-හාර වන්නේ සමන් දෙවියන්ට ය.
 

මේ කාරණා අපට බල කරන්නේ කුමකට ද?. සමන් දෙවියන් යනු කළු ගඟ නිම්න වැසි ජනයාගේ ගොවිතැන් කටයුතු මෙන්ම මැණික් කර්මාන්ත කටයුතුවලට ද අනුපමේය අනුග‍්‍රහ දක්වන දෙවි කෙනෙකු යයි පිළිගැනීමට නොවේ ද?. මහජනයා උන්වහන්සේ අදහති!
සමන් දෙවොලෙහි සිරිත් අනුව, සැම විටම මුල් තැන ලැබෙන්නේ බුදුරදුන් පිදීමට ය. සමන් දෙවියන් පුදන්නේ දෙවනුව ය. දෙවොලෙහි දී උන් වහන්සේට කෙරෙන පූජාව ‘පලතුරු වට්ටියකි’.  ඉන් පිළිබිඹු වන්නේ එතුමෝ සොබාදහම සමග බැඳුණු කෙනෙක් වන බවයි. එතුමන්ගේ වාස භවනය ද, අතීතයේ බුදු පා පහස ලැබූ ‘සමනොළ අඩවිය’ මහ  වනයයි. එය, සමන් දෙවියන්ගේ ජීවිතය සොබාදහම සමග බැඳුනු එකක් බව අපට නිහඬව ඉඟි කරයි. ඉතින් සමන් දෙවොල යනු සොබාදහමට හිතැති පින් බිමක් බව පිළිගැනීමට සිදු වේ.
 

සමන් දෙවොල අසලින් යන-එන වාරයක් වාරයක් පාසා මගේ සිතට නැගෙන තවත් කාරණයක් තිබේ. ක‍්‍රි. ව. 1618 දී පමණ පෘතුගීසීන් විසින් අල්ලා ගත් මහ සමන් දේවාල පුදබිම, යළි ඔවුන් ගෙන් මුදා ගැනීමට කටයුතු කළ සිංහල සෙන්පතියන් දෙදෙනා ඊට නිමිත්ත වෙයි. ඉන් එක් අයෙක් කුරුවිට, ‘තැඹිලියන රාළ’ ය. අනෙකා කහවත්තේ, ‘රත්නැක රාළ’ ය. දෙවොල වැනසූ පෘතුගීසීහු ඒ වන විට එතැන ඔවුන්ගේ යුද කඳවුරක් සහ ක‍්‍රිස්තියානි පල්ලියක් ද ඉදිකර තිබිණි. කළු ගඟ ඉහළ නිම්න ජන කතාවල එන හැටියට, සිංහල සෙන්පතිවරුන් දෙදෙනා පෘතුගීසි යුද කඳවුර අල්ලා ගෙන ඇත්තේ, උපක‍්‍රමශීලී කරණම් සංදර්ශනයක මුවාවෙනි. දෙවොල අවට ගම්වැසි ජනයා ද සටනට එක්වී තිබේ. මේ භූමිය අතීතයේ දී මහා සටන් පැවති තෙදවත් ස්ථානයක් බව ද මට නිතරම කල්පනා වේ. වර්තමානයේ දේවාලය අසල කළු ග‍ඟේ කෙරෙන, ‘ඇදුම් පතල්වලින්’ හමු වන දිරා ගිය ‘කඩු’ ආදී පැරණි ආයුධ අවශේෂ අපට මේ කාරණය සිහිපත් කරවයි. ඊළඟට දෙවොල් බිමේ ඇති ඉපැරණි ‘පෘතුගීසි කැටයම’ ද ඒවාට සාක්ෂි සපයයි. පෘතුගීසි බසින් එහි ලිියා ඇත්තේ, ‘දොන් සිමන් පින් යං වන මම, මේ රණ ශූරයා පරාජය කළෙමි’ යනුවෙනි.
 

‘තැඹිලියන රාළ’  සහ ‘රත්නැක රාළ’ යන දෙදෙනා කවුරුන් ද? යන්න, ඉතිහාසය ප‍්‍රිය කරන්නන් අතර බොහෝ කලක් තිස්සේ විවාදයට බඳුන්ව ඇති කාරණයකි. එහෙත් මට ඒ ගැන සිතෙන්නේ වෙනස් දෙයකි. ඔවුන් නිසැකවම එකල සමන් දෙවොල අවට ප‍්‍රදේශයේ ගොවීන් සහ මැණික් පතල්කරුවන් නියෝජනය කළ දෙදෙනෙක් බව, මගේ පෞද්ගලික පිළිගැනීමයි! ඒ අය සිය දිවි හිමියෙන්ම සටන්කර, යළි කළු ගඟ ඉහළ නිම්න වැසියන්ට තිළිණකර දී ඇත්තේ, කුමක් ද?. ඉහත සඳහන් කළාක් මෙන් කෘෂි කර්මාන්තයට ද, සොබාදහමට ද අනුග‍්‍රහ කළ දෙවි කෙනෙකු වෙනුවෙන් ඉදි කළ පුද බිමයි!
 

ඔවුන්, පෘතුගීසි ආක‍්‍රමණය නමැති ‘ව්‍යසනය’  හෙවත් ‘ආපදාව’, දෙවොල අවට ගම් වැසියන්ගේ ද සහායෙන් පලවා හැර තිබේ! ‘තැඹිලියන රාළ’  සහ ‘රත්නැක රාළ’ කළ සටන ද අතිශයින්ම උපක‍්‍රමශීලී ය.
 

ඒ අර්ථයෙන් ගත් කල, සමන් දෙවොල අවට විසූ අතීත වැසියන්, ‘ව්‍යසන’ හෝ ‘ආපදා’ මැනවින් කළමනාකරණයකර ගැනීමේ දැනුමින් පූර්ණ වූවෝ වෙති. ඒවාට ‘ගැලැප්පී’ ජීවත් වීමේ ගුණය ද ප‍්‍රගුණකර සිටියෝ වෙති.
 

ඔවුහු පෘතුගීසි ආක‍්‍රමණ එල්ලවූ සමයෙහි පවා, ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේ රත්නපුර, කුරුවිට, දෙල්ගමු විහාරයේ යෝධ කුරහන් ගලක සඟවා රැුක ගත්හ. පෘතුගීසීන්ට හොරෙන් එය මහ සමන් දේවාල ඇසළ පෙරහැරට වැඩමවා, ‘පෙරහැර වතාවත’ ඉටු කළහ. (සමන් දොවාල පෙරහැරට ‘දළදා පෙරහැරක්’  එක් වූයේ මෙම සිද්ධියෙන් පසුව යයි කියති.) මේ ගුණය කුමක් ද? එය ව්‍යසන හෝ ආපදා කළමනාකරණය පිළිබඳ පරිචයක් නොවේ ද? ඒවාට ගැලැප්පී ජීවත් වීම පිළිබඳ පරිචයක් නො වේ ද? සපරගමු මහ සමන් දේවාල පුදබිම පෘතුගීසීන් ගෙන් නැවත අත්පත්කර ගැනීම ද ඒ බුද්ධි සම්පන්න පරිචයට නිදසුන් වෙයි!
 

ආක‍්‍රමණයෙන් පසුව ඉදි වුණු සමන් දෙවොලේ අප අද දකින රූපකාය ද මේ කාරණය සිහිපත් කරවයි. එහි දෙවොල් මන්දිරය මෙන්ම විහාර මන්දිරය ද ඉදිකර තිබෙනුයේ ඉතා උස් බිමක ය. උසට තැනූ මළුවක ය. ඊට පිටත මළුව පවා උස් බවක් පෙන්වයි. දෙවොල් ද්වාරයට සම්මුඛව නුදුරින් තැනූ ‘සිංහාසන මණ්ඩපය’ ද උස් වේදිකාවක් මත ඉදිකර තිබේ. සාමාන්‍යයෙන් දේවාල මන්දිර පූජනීය ස්ථාන වන බැවින්, ඒවා උස් වේදිකා මත ඉදි කළා යයි කියන්නට ද පුළුවන. රටේ අනෙකුත් පැරණි දේවාලවල ද මෙම ලක්ෂණය දැකිය හැකි ය. එහෙත් සමන් දේවාලයෙහි එය වෙනස් කාරණයක් පෙන්වන බව ලියුම්කරුගේ අදහසයි.
 

සමන් දෙවොල පමණක් නොවේ. දෙවොල අවට ඇති පෞද්ගලික නිවෙස් පවා ඉදිකර ඇත්තේ උස් අත්තිවාරම් මත පිහිටමිනි. බොහොමයක් නිවෙස්වල  උඩු මහල් හෝ සොල්දර ද දක්නට ලැබේ. රත්නපුර නගරය ආශ‍්‍රිත බොහොමයක් නිවෙස්වල ද මේ ඉදි කිරීම් ලක්ෂණය දැකිය හැකි ය. එයට හේතුව කුමක් ද?
 

කළු ගඟ ඉහළ නිම්නය කවදත් වර්ෂා සම්පතින් සාර ය. ගංගාව පටන් ගන්නා සමනොළ වන පියසට සෑම නිරිතදිග මෝසමකින්ම ඉහළම වර්ෂාවක් ලැබේ. එය ලංකාවේ ඉහළම වර්ෂාපතන කලාපය යයි ද ප‍්‍රකට ය. කළු ‍ඟඟේ දැඩි බෑවුම් සහගත භූගෝලීය පිහිටීම නිසා  වැසි ජලය වේගයෙන් රත්නපුරයට කඩා වැදී ‘ගංවතුර’ ඇති කරයි. වර්ෂා කාලයට රත්නපුර නගරය පමණක් නොව, සමන් දේවාලය අවට ගම් දනව් පවා ගංවතුරට හසු වෙයි. මහා ජල තලාවන් බවට පත් වෙයි. සමන් දෙවොල ද, ඒ අවට නිවාස ද උස් අත්තිවාරම් මත ඉදිකර, උඩු මහල් ද තනා ඇත්තේ ‘ගංවතුර’ නමැති ව්‍යසනයෙන් මිදීම සඳහා ය. මේ කාරණයට, ‘සොබාදහමට ගැලැප්පී, එයට ඔරොත්තු දෙන ආකාරයට ජීවත් වීමේ ගුණය’ යයි කියන්නට පුළුවන. එය ඇත්තටම කළු ගඟ ඉහළ නිම්න වැස්සන්ගේ පාරම්පරික ඥාණයකි. 

රත්නපුරයේ පහත් භූමිවල මෙන්ම, සමන් දේවාලය අවට ගම් දනව් වැසි ජනයා ද එහි හිමිකරුවන් වෙති. ගංවතුරට හසු වුව ද, රත්නපුරයේ දියේ ගිලී සිදු වන මරණ බෙහෙවින් අඩු ය. එය ද ඔවුන් ගංවතුර සමග ගැලැප්පී සිටීම පෙන්වන සාධකයකි. කළු ගඟ නිම්නයේ වැඩි දෙනෙක්  දියෙහි පීනන්නට ද, ඔරු අඟුල් පදින්නට ද හපනුන් වෙති!
 

අතීතයේ ඔවුහු සමන් දෙවොල රැක ගත්හ. දෙවොලේ කටයුතුවලට උදව්කර එහි ඇති ශිල්ප කලාවන් පවා ආරක්ෂාකර ගත්හ. පාරම්පරික දේශීය මැණික් පතල් තාක්ෂණය සහ එහි සම්ප‍්‍රදායන් ද රැක ගත්හ. සොබාදහමෙන් එන අහිතකර තත්ත්වයන්ට ගැලැප්පීමෙන් ජීවිතය ගොඩනගා ගත්හ. ඔරු අඟුල් පදිමින් ගංවතුර ද ජය ගත්හ. මේ කිසිවෙකුත් පාරම්පරික ගැමියන් විනා, නවීන පන්නයේ ඉංජිනේරුවන් නො වෙති. සම්මත අච්චුවේ උගතුන් නො වෙති. ඔවුන් සිය පරපුරෙන් පරපුරට ලැබුණු දේශීය ඥාණය වැඩි දියුණු කරමින් ඵල නෙලා ගත් පිරිසකි.
 

නවීන ලෝකය, අද ‘ආපදා කළමනාකරණය’ නමින් අපට නිතර උගන්වන දෙය, අතීතයේ පටන්ම අප මුතුන්මිත්තන් දැන උන්හ. මහ සමන් දෙවොල මෙන්ම, රත්නපුරය ද එයට සාක්ෂියකි. ‘ආපදා කළමනාකරණය’ ඉගෙන ගන්නට නම්, රත්නපුර නගරයට, සමන් දේවාලයට හෝ දෙවොල වටා ඇති ගම්වල ඇවිදින්නට එන්නැයි මම කියන්නෙමි!
 

රත්නපුර මහ සමන් දේවාල පෙරහැර, ඇසළ සමයේ සමස්ත කළු ගඟ ඉහළ නිම්නයම බැතිබර වින්දනයකින් කුළු ගන්වන සංස්කෘතික මංගල්‍යයකි. එය එක් අතකින්, කළු ගඟ ඉහළ නිම්න වැසියන්ගේ පාරම්පරික දැනුම් සම්භාරය, කලා මාධූර්්‍යයෙන් සංකේතවත් කරන කූටප‍්‍රාප්ති සන්දර්ශනයක් වන්නේ යයි ද මට සිතේ!
2016/08/21.








8 comments:

  1. බොහොම අගනා ලිපියක්. හිටපු හමුදා නිලධාරියකු ලෙස මට පෙනීයන කරුණක් වන්නේ, ‘තැඹිලියන රාළ’ සහ ‘රත්නැක රාළ’ යුද්ධෝපාය න්‍යාය පිළිබඳව හොඳ දැණුමක් තිබුණු අයවලුන් බවයි. සමහරවිට, ඔවුන් ඒ කාර්යය සඳහාම, සමාජය තුළ සඟවා තබාගන් සටන් කරුවන් වියහැකියි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටු දැමුවාට ස්තුතියි. ඔබේ අදහසට එකඟයි. ලිපියට 'පසු වදනක්' දැමුවා.

      Delete
  2. ස්තුතියි ඔබට මෙවැනි රසවත් ලිපි අප වෙත ගෙන ඒම ගැන, නොදත් බොහෝ දේද දැනගන්නට එකම මඟ මේ වගේ දැනුම බෙදීම..අපිට ආයේ උඩුඟං යන්න හැකි වේවි ද..

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටු දැමුවාට ස්තුතියි.

      Delete
  3. අපි මහා සමන් දේවාලේ පෙරහැර බලන්න ගියේ කරපිංච කොස්ගල හරහා කහන්ගමට ගිහින්..... නැත්නම් හල්පේ හරහා ගොරකඇල හන්දියට ගිහිං ..... එහෙමත් නැත්නම් ගෝනපිටිය හරහා කුරුවිටට ගිහින් රත්නපුර මොරගහයට හන්දියෙන් බැහැල පයින් ගිහින්..... කොහොම උනත් දේවාලේ පෙරහැර බලන්න යනවා කියන්නේ හරියට දිවියලෝකේ යනවා වගේ සතුටක්.
    දේවාලේ ගිහින් නොවරදවාම ගත්ත මහානාර්ඝ වස්තුව තමයි කැප්රෝල් දාන සෙල්ලම් පිස්තෝලය.....

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටු දැමුවාට ස්තුතියි. මුල් ලිපියට 'පසු වදනක්' දැමුවා.

      Delete
  4. ඔබගේ බ්ලොගය ගැන සටහනක් මෙතැන අැත.
    http://patayakagepituwa.blogspot.com/2016/09/blog-post_21.html

    ReplyDelete
    Replies
    1. ඔබ දැමූ විචාරය කියවූවා. මා කරන දෙය එතරම් වැදගත් ද? කොහොම වුණත් මගේ 27 වසරක මාධ්‍ය භාවිතය ගැන ඔය වගේ විචාරයක් පළවුණේ මුල්ම වතාවටයි. එය මට ශක්තියක්. ඉදිරියේ දී ඔබේ විචාරයට කොමෙන්ටුවක් ලියන්න අදහස් කරනවා. මගේ බ්ලොගය ගැන විචාරයක් ලිව්වාට ඔබට බොහොම ස්තුතියි.

      Delete