Total Pageviews

Sunday, February 8, 2015

ලංකාවේ ප‍්‍රදීපාගාර ගැන තොරතුරු ටිකක්

ලංකාවේ ප‍්‍රදීපාගාර ගැන තොරතුරු ටිකක්
ලොව දකුණු කෙළවරේ අන්තිම ප‍්‍රදීපාගාරය ලංකාවේ
 

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
රළපතර කිතිකවමින් වෙරළට දිව එන සිහිලස් සුළං රැළි, පොල්රුප්පාවෙන් සජ්ජිත හැන්දෑව මෘදු රිද්මයකට නළවමින් සිටින්නේය. ඈත මුහුදේ සිතිජ රේඛාව පසුබිමින් නෞකාවක සේයාවක් ඇස ගැටෙයි. මේ සුප‍්‍රකට දෙවුන්දර වෙරළ තීරයයි. එය නැගෙනහිර - බටහිර වෙළෙඳ නැව් මාර්ගයේ යාත‍්‍රා කරන නාවිකයන් අතර ප‍්‍රකටව තිබෙන්නේ, ‘දෙවුන්දර තුඩුව’ යන අරුත් දෙන'Dondra Head' නමැති ඉංග‍්‍රීසි වදනිනි. පොල්රුප්පාවට ඉහළින් නැගී සිටින දෙවුන්දර තුඩුවේ ඉපැරණි ප‍්‍රදීපාගාරයෙහි යෝධ රූපකාය, 'Dondra Head' නමැති ඉංග‍්‍රීසි වචනයට පුළුල් අරුතක් එක් කරනු වැන්න. ? රාත්තිරියක, මාතර සිට වැල්ලමඩම ඔස්සේ දෙවුන්දර දෙසට පියමනින කෙනෙකුට, සිත් සතන් මහත් ආනන්දයෙන්ද, කුතුහලයෙන්ද පුරවාලන දෙවුන්දර ප‍්‍රදීපාගාරයෙහි ආලෝක කදම්බය ඇසට හසුකර ගත හැකිය.
 

දෙවුන්දර තුඩුව පිහිටා ඇත්තේ මාතර සිට හම්බන්තොට දෙසට විහිදෙන අලංකාර වෙරළ තීරයේය. කාරණා කිහිපයක් නිසාම එය බොහොම ප‍්‍රසිද්ධියක් උසුලයි. දෙවුන්දර තුඩුව යනු ලංකා භූමියේ දිගම දෙකෙලවරින් එකක් වීම, එක් කාරණයකි. ඒ අනුව දකුණේ දෙවුන්දර තුඩුවේ සිට, උතුරේ පේදුරුතුඩුව තෙක් ඇති දුර කිලෝමීටර් 447 කි. අනෙක ලංකාවේ ප‍්‍රකටතම උපුල්වන් දෙවොලද දෙවිනුවර නගරයෙහි පිහිටා තිබීමයි. ඊළඟ කාරණය, වෙරළ තීරය අරා නැගී සිටින ප‍්‍රදීපාගාරයයි.
 

දෙවුන්දර ප‍්‍රදීපාගාරය, ඉදිකර ඇත්තේ වර්ෂ 1887 දීය. එනම්, ලංකාවේ බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේදීය. එකල එය ඉදිකර ඇත්තේ, දෙවුන්දර තුඩුවට නුදුරු මුහුද ඔස්සේ වැටී ඇති නැගෙනහිර - බටහිර ලොව ප‍්‍රධානතම වෙළෙඳ නැව් මාර්ගයට මගපෙන්වීම පිණිසය. දෙවුන්දර ප‍්‍රදීපාගාරයෙහි උස මීටර් 47 (අඩි 165) කි. එය දෙවුන්දර තුඩුව භූමියේ මුහුද දෙසට නෙරා ගිය සවිමත් බිම්කඩක ඉදිකර තිබේ. එමෙන්ම එය, ශ‍්‍රී ලංකාවේද, ආසියානු කලාපයේද ඇති උසම ප‍්‍රදීපාගාරයද වෙයි.
 

දෙවුන්දර, ලංකාවේ ඉපැරණි වෙළෙද නැව්තොටකි. ආචාර්ය කඹුරුපිටියේ වනරතන හිමියන්, ‘මාතර පුරාවිද්‍යාත්මක ඉතිහාසය’ නමැති තම මාහැඟි ග‍්‍රන්ථයෙහි දෙවුන්දර තුඩුව සම්බන්ධයෙන් තවත් අපූරු තොරතුරක් හෙළිදරව් කරති. එනම්, දෙවුන්දර තුඩුව යනු ලංකාවේ මෙන්ම ලෝකයේද දකුණු කෙළවර බවය. එහි සිට බැලූ විට, මහ මුහුද මිස, දක්‍ෂිණ ධ‍්‍රැවයට යන තෙක්ම කිසිදු ගොඩබිමක් නැත්තේය. එබැවින් දෙවුන්දර ප‍්‍රදීපාගාරය, ලොව දකුණු කෙළවරේ ඇති අවසාන ප‍්‍රදීපාගාරයද වන්නේය.
 

 
දෙවුන්දර ප්‍රදීපාගාරය

 ලංකාව ඉන්දියන් සාගර පරිධියේ පිහිටි රටකි. කාර්යබහුලත්වයෙන් අනූන, ලොව නැගෙනහිර - බටහිර ප‍්‍රධාන වෙළෙඳ නැව් මාර්ගය පිහිටා ඇත්තේ ලංකා භූමියට දකුණු සහ ගිනිකොණ දිගිනි. එබැවින් ලොව ජාත්‍යන්තර නැව් ගමන් ඇරඹුණු මුල් වකවානුවල පටන්ම, අපේ රට නාවිකයන් අතර පතළ විය. මුල් කාලයේදී, එනම් ක‍්‍රිස්තු පූර්ව 03 වැනි සියවසේදී හම්බන්තොටට නුදුරු ‘ගොඩවාය’ වරාය ක‍්‍රියාත්මක විය. ලංකාවේ ප‍්‍රමුඛතම ජාත්‍යන්තර වරායක් වශයෙන් පැවති එය ක‍්‍රිස්තු වර්ෂ 11 වැනි සියවස පමණ දක්වා හොඳින් භාවිත කෙරිණි. ඉන් පසුව 13 වැනි සියවස පමණ කාලයේ සිට ගාල්ල ජාත්‍යන්තර වරායක් බවට පත්විය. පසුව වර්ෂ 1882 න් පසුව ‘කොළඹ’, ලංකාවේ ප‍්‍රධාන ජාත්‍යන්තර වරාය බවට පත් විය. ඒ වන විට ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව තිබුණේය.
 

ලංකාවේ දකුණ සහ ගිනිකොණ දිග මුහුදු තීරය ජාත්‍යන්තර මට්ටමේ වරාය ක‍්‍රියාවලියකට නතු වූයේ අනෙකක් නිසා නොවේ. ලංකා භූමිය ලොව නැගෙනහිර - බටහිර ප‍්‍රධාන වෙළෙඳ නැව් මාර්ගයට සමීපයෙන් පිහිටා තිබීම නිසාය. එක් එක් වකවානුවල ලංකාව වටා ප‍්‍රදීපාගාර පද්ධතියක් ඉදි වූයේද එහි යාත‍්‍රා කරන වෙළෙඳ නැව්වලට මග පෙන්වීම පිණිසය.
පැරණි තොරතුරු මූලාශ‍්‍රවල එන හැටියට, ලංකාවේ ප‍්‍රදීපාගාර ඉදි කරන්නට මුලපුරා ඇත්තේ බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලකයන්ය. එකල ඔවුහු සිය යුද හා වෙළෙඳ නාවික කටයුතු සඳහා ගාල්ල, කොළඹ සහ ත‍්‍රිකුණාමලය යන වරායයන් තුනම භාවිත කළහ. ඔවුන් වර්ෂ 1848 දී ගාල්ල ප‍්‍රදීපාගාරය ඉදිකළහ. එය ලංකාවේ තැනූ මුල්ම ප‍්‍රදීපාගාරයයි. එකල යුද කටයුතු සඳහා වැඩිපුරම පාවිච්චි වූයේ ත‍්‍රිකුණාමලය වරායයි. බි‍්‍රතාන්‍යයන් වර්ෂ 1863 දී, ත‍්‍රිකුණාමලයේ පවුල් තුඩුවෙහි මීටර් 32ක් උසැති ප‍්‍රදීපාගාරයක්ද, රවුන්ඞ් අයිලන්ඞ් නමැති ස්ථානයෙහි මීටර් 21ක් උසැති ප‍්‍රදීපාගාරයක්ද ඉදි කළහ. ඉන් පසුව ඔවුහු, වර්ෂ 1873 දී කිරින්දේ ‘මහා රාවණා’ සහ 1878 දී ‘කුඩා රාවණා’ යන ප‍්‍රදීපාගාරද, වර්ෂ 1890 දී මීටර් 20ක් උසැති මුලතිව් ප‍්‍රදීපාගාරයද ඉදිකළහ.
 

 

 
මහා රාවණ

  ලංකාව යයි කී පමණින්ම ජාත්‍යන්තර නාවිකයන් දැන හැඳින ගන්නා ප‍්‍රකටතම ස්ථාන දෙකක් අපේ රටේ තිබේ. ඉන් පළමුවැන්න දැවැන්ත ප‍්‍රදීපාගාරයක් සහිත දෙවුන්දර තුඩුව හෙවත් 'Dondra Head ය. අනෙක කිරින්දට ඔබ්බෙන් මුහුද මැද පිහිටි ගල්පර යුගලක් මත ඉදිකළ, ‘කුඩා රාවණා’ (Little Basses) සහ ‘මහා රාවණා’ (Great Basses) නමැති ප‍්‍රදීපාගාර යුගලයයි. දෙවුන්දර තුඩුව මෙන් නොවේ. කිරින්දට ඔබ්බෙන් පිහිටි මුහුදු තීරය, නාවික යාත‍්‍රාවලට බොහොම බිහිසුණු බාධක ගෙන එන ඉසව්වකි. එහි ඇති පිටතට නොපෙනෙන ගල්පර නිසා නෞකා ගණනාවක්ම මුහුදේ ගිලී ගියේය. විනාශ වී ගියේය.

නාවිකයන් මේ ඉසව්ව හැඳින්වූයේ ‘පෙරදිග මුහුදු මාර්ගයේ මරු කපොල්ල’ වශයෙනි. අතිශයින්ම ප‍්‍රචණ්ඩ ලෙස හැසිරෙන රළ පන්ති සහ මුහුදෙහි ගිලී ඇති අබිරහස් ගල්පර සහ වැටි කිරින්ද මුහුදට ආවේණික අංගයෝය. ඒවා නිතරම සැදී පැහැදී සිටින්නේ වෙළෙඳ නෞකා බිලි ගැනීමේ අරමුණිනි. 1813 වසරේ ජූලි මස 02 වැනිදා ‘ඩෙඞ්ලස්’ නමැති බි‍්‍රතාන්‍ය යුද නෞකාව, රාවණා ගල්පර අසල ගිලී ගියේය. එය බි‍්‍රතාන්‍යයන් තුළ ඇති කළේ මහත් කම්පනයකි. ඉක්බිති එතැනින් යන නෞකාවලට සංඥා දෙන්නට යෙදවූ නෞකාවක්ද ගිලී විනාශ විය. තත්ත්වය ඉවසිය නොහෙන තැන බි‍්‍රතාන්‍ය පාලකයන් තීරණය කළේ රාවණා ගල්පර ආශ‍්‍රිතව ප‍්‍රදීපාගාර යුගලයක් පිහිට විය යුතු බවයි.
අනතුරුව, 1857 වසරේ දී මහා රාවණා ප‍්‍රදීපාගාරය ඉදි කිරීම ඇරඹිණි. ඒ සඳහා බි‍්‍රතාන්‍යයේදීම සුවිසල් යකඩ කුළුණක් සහ විදුලි පහනක්ද ඇතුළු උපකරණ සකස් කෙරිණි. ඒවා නැව් මගින් ගාලූ වරායටද, එතැන් සිට යළිත් කුඩා නැව් මගින් කිරින්ද මුහුදටද ගෙන යාමට සැලසුම් කෙරිණි. වැඬේ හිතූතරම් ලෙහෙසි නොවූ අතර, ප‍්‍රදීපාගාරය ඉදිකිරීම අත්හැර දමන්නට සිදු විය. ගෙනා උපකරණ සහ කුළුණේ කොටස් යොදා ගනිමින් කැරිබියානු මුහුදේ බහමාස් දූපතෙහි නව ප‍්‍රදීපාගාරයක් තැනවිණි.
ඉන් පසුව වර්ෂ 1870 දී බි‍්‍රතාන්‍ය පාලකයෝ මහා රාවණා ප‍්‍රදීපාගාරය ඉදිකිරීම සඳහා යළිත් වැඩ ඇරඹූහ. නව සැලසුමේ හැටියට එය ඉදිවන්නේ ගලින් කළ ටැඹක් පරිද්දෙනි. ඒ සඳහා අවශ්‍ය ගල්කුට්ටි ස්කොට්ලන්තයේ සිට නැව් මගින් ගෙන එනු ලැබීය. එහි සවි කරන විදුලි පහන තැනුණේ, සුප‍්‍රකට විදුලි විද්‍යාඥයෙකු වන මයිකල් පැරඩේ (ලොව ප‍්‍රථම විදුලි බුබුල හැදූ) මහතාගේ උපදෙස් මතය. ප‍්‍රදීපාගාරය ඉදිකිරීම භාරව ප‍්‍රධාන ඉංජිනේරු ජේ.එම්. ඩග්ලස් සහ ඔහුගේ සොහොයුරු විලියම් ඩග්ලස් යන මහත්වරු කටයුතු කළහ. මහා රාවණා ප‍්‍රදීපාගාරය මීටර් 37ක් උසය. එය 1873 වර්ෂයේ දී විවෘත කෙරිණි. මීටර් 37ක් උස කුඩා රාවණා ප‍්‍රදීපාගාරය 1878 වසරේදී ඉදිකෙරිණි. රාවණා ප‍්‍රදීපාගාරය යුගලය අදත් ලොව බටහිර - නැගෙනහිර ප‍්‍රධාන වෙළෙඳ නැව් මාර්ගයට මග පෙන්වන්නේය.
 

සුප‍්‍රකට ලන්දේසි කොටුවත් (ගාලූ කොටුව), රූමස්සල කඳු වැටියත් අතර පිහිටි ගාලූ බොක්ක, අතීත නාවික රහස් සම්භාරයක්ම සඟවා ගත් මනරම් මුහුදු තීරයකි. ඊට නුදුරු රූමස්සල කන්දේ මුදුන් භූමියක ඇති ඉපැරණි කාලවර්ණ ටැඹක් (කුළුණක්) අද පවා මහත් කුතුහලයක් දන්වන්නේය. එය උසින් අඩි 60ක් පමණ වන අතර කුමන කටයුත්තක් සඳහා ඉදිකළාද? යන්න දන්නා කෙනෙක් නැත. ගාලූ ජනප‍්‍රවාද අනුව, එය ඉදිකර ඇත්තේ ලන්දේසීන්ය. ඒ, සතුරු නෞකාවල ගමන වරද්දා, රූමස්සල මුහුදේ ගල්පරවල හැපෙන්නට සලස්වනු පිණිසය. ජන ප‍්‍රවාදයෙහි එන හැටියට එය ව්‍යාජ ප‍්‍රදීපාගාරයකි. වර්ෂ 1921 වසරේ කුළුණ නිරීක්‍ෂණය කළ ආර්.එල්. බ්‍රෝහියර් මහතා පවසා ඇත්තේ, එය මිනින්දෝරු කටයුතු සඳහා ඉදිකළ ත‍්‍රිකෝණමිතික ස්ථානයක් බවයි.
 

කෙසේ වෙතත් බි‍්‍රතාන්‍යයන් ලංකාවේ ප‍්‍රථම ප‍්‍රදීපාගාරය ඉදිකර ඇත්තේ වර්ෂ 1848 දී ගාලූ කොටුවේය. ගාල්ල එකල ලංකාවේ ප‍්‍රධාන වරාය විය. යකඩ සැකිල්ලක් මත ඉදිකළ ගාලූ ප‍්‍රදීපාගාරයෙහි පැවති පහන, පොල්තෙල්වලින් දැල්වෙන්නකි. එය 1939 වසරේ මහා ගින්නකට හසුව විනාශ විය. ප‍්‍රදීපාගාර පාලකයා වූ කේ.එන්. ප‍්‍රනාන්දු මහතා දිවි ගලවා ගැනීම පිණිස මුහුදට පැන්නද, ඔහු මිය ගියේය. ගාලූ කොටු බැම්ම මත අද අප දකින ප‍්‍රදීපාගාරය 1939 වසරේ දී ඉදිවූවකි.
 

කොළඹ වරාය විවෘත වීමත් සමගම කොළඹ සමුද්‍ර තීරය ආශ‍්‍රිතවද ප‍්‍රදීපාගාර ඉදිවිණි. වර්ෂ 1860 දී කොළඹ චැතැම් වීදියේ මීටර් 29ක් උසැති ප‍්‍රදීපාගාරය බිහි විය. එය 1952 වසරේ දී අක‍්‍රිය කෙරිණි. මීටර් 34ක් උස කොළඹ ගල් බොක්ක ප‍්‍රදීපාගාරය 1952 දී ඉදි විය. මීටර් 34ක් උසැති බේරුවල බාබේරියන් ප‍්‍රදීපාගාරය ඉදි වූයේ වර්ෂ 1890 දීය.
රට වටා පිහිටි සියලූම ප‍්‍රදීපාගාර පාලනය වන්නේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගිනි. ඒ සඳහා ඔවුන්ට ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සහායද ලැබේ.

(ඉරුදින-2015/01/25.)

No comments:

Post a Comment