Total Pageviews

Sunday, January 11, 2015

කරාපිටියට අසාධ්‍යයි




 පාලක-කාරකාදීන් ගෙන් ගිලිහුණු කරාපිටිය



(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
වේලාව දහවල් දොළහේ කණිසම පසුවුණා විතරය. ගාල්ල, කරාපිටිය මහ රෝහලේ සෑම වාට්ටුවක්ම පාහේ රෝගීන්ගේ දුක සැප බලන්නට පැමිණි නැදෑ හිතවතුන්ගෙන් පිරී ගොසිනි. එක් අදිසි මොහොතක වාට්ටු කෙළවරකින් නැගුණේ සවන් පත් කිරී ගස්වන තරම් අමිහිරි, කඨෝර නාදයකි. ‘ඥාව් ඥාව්’

හා පුරා කියා රෝහලට පැමිණ උදවිය නම් ගල් ගැසී යන්නට ඇත. වේදනාවට පත් රෝගියෙක් කෑ ගසනවා යයිද සමහරුන් සිතන්නට ඇත. කඨෝර නාදය කිමෙක් දැයි විපරම් කළ අයට දැන ගන්නට ලැබුණේ රෝහල් වාට්ටුවක් අසල අහුමුල්ලක ගැවසෙන බළලූන් රංචුවකි. පුහුල් ගෙඩි වන් පුෂ්ඨිමත් සිරුර ඇති උන්, මහ හඬින් කෑගසමින් එකිනෙකා සමග දබරකර ගනිමින් උන්හ.

ගාල්ලේ, කරාපිටිය ශික්‍ෂණ රෝහල දැනට මුළු රුහුණේම ඇති විශාලතම රෝහලයි. අතිශයින්ම නවීන පහසුකම් සහ වෙද - හෙද සම්පතින් පිරිපුන් එය රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම අතින් මුළු රුහුණේම නම් දැරූ රෝහලකි. ඉන් වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම සඳහා දකුණු පළාතෙන් පමණක් නොව අම්පාර, මොණරාගල, සියඹලාණ්ඩුව, ඇඹිලිපිටිය, කලවාන සහ රත්නපුරය යන ප‍්‍රදේශවලින්ද රෝගීහු පැමිණෙති. ප‍්‍රතිකාර අතින් ගත් කළ කරාපිටිය රෝහල මහජනයා අතර කොතෙක් යශෝකීර්තියක් උපයා ගෙන ඇත්ද යන්න, ඉන් වටහා ගත හැකිය. රෝහල නිසාම දැන් මුළු කරාපිටිය ප‍්‍රදේශයම ‘මහා වෛද්‍ය නගරයක්’බවට පත්ව තිබෙනු පෙනෙයි.

දහවල් හෝ රාත‍්‍රී කාලයට රෝහල තුළ සැරිසරන කෙනෙකුට පෙනෙන්නේ එහෙව් වටිනා රෝහල් පරිශ‍්‍රය අයාලේ යන බල්ලන් සහ බළලූන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති බවයි. රෝහලේ වාට්ටු අහුමුළු, කොරිඩෝර සහ තවත් නොයෙකුත් ස්ථානවලට අරක් ගත් බල්ලන් සහ බළලූන් අතිශයින්ම නිර්භීත ලෙස උන්ගේ චර්යාවන් පවත්වනු දැකගත හැකිය. ඇතැම් බල්ලන් රෝගීන්ගේ බත් මුල් පවා ඩැහැගෙන යන අවස්ථා විරල නැත. සමහර නේවාසික රෝගී ජනයාද, රෝහලට එන ඇතැම් අමුත්තන්ද, ‘අනේ අපොයි’ කියා බලූ බළලූන්ට ආහාර දෙන බැවින් උන් දැන් රෝහලේ නිත්‍ය පදිංචිකාරයන් වී සිටිති. මෙම තත්ත්වය නිසා රෝහල් පාලකයන්ද බලූ - බළල් කරදරය පාලනය කර ගත නොහැකිව අසරණ වී සිටිති.

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ බලූ - බළල් කරදරය නිමාවට පත් කරන්නට, ඒ සඳහා පරිචයක් ඇති පිටස්තර රාජ්‍ය ආයතන මැදිහත් වන්නේද නැත. රෝහල් කමිටුව, ගාල්ල මහ නගර සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ගාල්ලේ පාරිසරික පොලිසිය ආදී ආයතන හෝ සත්ත්ව අහිංසා සංවිධාන ද ඒ ගැන යමක් කරන බවක් පෙනෙන්ට නැත.
මේ සටහන ලියන්නේ කරාපිටිය මහ රෝහලේ බලූ - බළල් කරදරය ගැන කියන්නටම නොවේ. රෝහලට කෙළින්ම සම්බන්ධ නැතත්, රෝහල රැුක බලා ගැනීමේ වගකීම තිබෙන අනෙකුත් රාජ්‍ය ආයතන කරාපිටියේ මහ රෝහලට නොසැලකීම ගැන කියන්නටය. රෝහල අත්විඳින බලූ - බළල් කරදරය ඒ ගැන එක් උදාහරණයක් පමණය.

රෝහල මුහුණ දෙන බාහිර ප‍්‍රශ්න ගැන කතා කරන්නට පෙර, ‘කරාපිටිය ශීක්‍ෂණ රෝහල’ යනු කවර තරාතිරමේ ප‍්‍රපංචයක් දැයි අවබෝධකර ගත යුතු වේ. කරාපිටිය රෝහලේ 2013 වසරට අදාළ නිල සංඛ්‍යාලේඛන අනුව, බාහිර ප‍්‍රතිකාර, නේවාසික ප‍්‍රතිකාර සහ සායන සඳහා දිනකට 3000කට ආසන්න පිරිසක් රෝහලට පැමිණෙති. 2013 වසරේදී රෝගීන් 1,63,047 දෙනෙක් නේවාසික ප‍්‍රතිකාරද රෝගීන් 936, 3,63, 936 දෙනෙක් බාහිර ප‍්‍රතිකාරද ලබාගෙන තිබේ. එම වසරේ පැවති වෛද්‍ය සායන සඳහා රෝගීන් 4,74,796 දෙනෙක් සහභාගිවී තිබේ. වෛද්‍යවරුන්, ඇතුළු රෝහලේ සමස්ත කාර්යමණ්ඩලය 3100ක් පමණ වේ. මේ අනුව බලන විට සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයන් 10,000ක පමණ පිරිසක් රෝහල පරිහරණය කරති. රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසන අන්දමට එම පිරිස, රෝගීන්, රෝහලේ කාර්යමණ්ඩලය සහ රෝගීන් බලන්නට එන බාහිර අමුත්තන්ගෙන් සැදුම් ලද්දේය. මෙයින් පෙනෙන්නේ, කොළඹින් පිටත පැවතියද කරාපිටියේ රෝහල පුළුල් ධාරිතාවක් ඇති රෝහලක් බවය. රෝහල් බලධාරීන් පවසන අන්දමට, ඇතැම් රෝගාබාධ සුව කර ගැනීම සඳහා කුරුණෑගල, අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, මඩකලපුව සහ යාපනය වැනි ඉතා දුර බැහැර පෙදෙස්වලින් රෝගීහු පැමිණෙති.


මෙම තත්ත්වය නිසා කරාපිටිය රෝහල පිහිටි ඉසව්ව, දැන් මහා වෛද්‍ය නගරයක සිරි ගෙන තිබේ. පෞද්ගලික රෝහල්, චැනල් මධ්‍යස්ථාන, වෛද්‍ය රසායනාගාර, ඖෂධ අලෙවි සැල්, රෝගීන්ට නැවතුම් කාමර සපයන ආයතන, රෝගීන්ට අවශ්‍ය උපකරණ සපයන ආයතන සහ පෞද්ගලික උපස්ථායක සේවා සහ පොලිස් මුරපොළක් ආදී අංග රාශියක් ඊට ඇතුළත්ය. ඒවාට අමතරව ඉන්ධන පිරවුම් හලක්, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගණනාවක්, සුපිරි වෙළෙඳසැල් කුඩා බස් නැවතුම්පොළක්, ආපනශාලා, කුලී රථ සේවා, පෞද්ගලික රථ ගාල් ආදී තවත් අංගද බිහි වී තිබේ.

සියල්ල ඉතා හොඳය. ගැටලූව වී තිබෙන්නේ, කරාපිටිය නමැති මහා වෛද්‍ය නගරයට එන රෝගියා, ඒ නගරය විසින්ම සූරා කෑමටත්, පීඩාවටත් පත් කිරීමයි. ඒ ගැන විස්තර කීම ආරම්භ කළ යුත්තේ රෝහල ඉදිරිපස වැටී ඇති පිවිසුම් මාර්ග පද්ධතියෙනි.

කරාපිටිය රෝහල පිහිටා ඇත්තේ ගාලූ නගරයෙන් කිලෝමීටර් 05ක් පමණ රට ඇතුළට වන්නටය. එයට පිවිසීමට ඇති ප‍්‍රධාන මාර්ග දෙකකි. ඉන් එකක් නම්, ගාල්ල, සරෙන්තුකඬේ හන්දිය, අම්බලන්වත්ත සහ ලබු¥ව හන්දිය ඔස්සේ වැටී ඇති මාර්ගයයි. අනෙක ගාල්ල සරෙන්තුකඬේ, බෙලිගහ හන්දිය, ගලගෙඩිය ඔස්සේ වැටී ඇති මාර්ගයයි. ගාල්ල - මාපලගම මෙන්ම ගාල්ල තලගහ හන්දිය හරහා යක්කමුල්ල දෙසට බස් රථ ධාවනය වන්නේද එම මාර්ගය ඔස්සේය. එය දිවෙන්නේ කරාපිටිය රෝහල ඉදිරිපිටිනි. රෝහලට එන ගිලන් රථ මෙන්ම රෝගීන් රැුගෙන යන වාහන ද වැඩිපුරම භාවිත කරන්නේ එම මාර්ගයයි. රෝහල බිහි වී වසර ගණනාවක් වුවද, මාර්ගයේ බෙලිගහ හන්දිය සහ ලබුදූව හන්දිය අතර කොටස තවමත් රෝහලට සරිලන තරම් පුළුල් වී නැත. මේ දිනවල පාර පුරා අලි නාවන වළවල්ය. වළවල්වල වතුර පිරෙන වැසි දිනවල රෝහලට එන ගිලන් රථ ඇතුළු වාහනවලට යාමට සිදුව ඇත්තේ උඩ පැන පැනය. රෝහල ඉදිරිපිටින් වැටුණු මහා මාර්ගයට එබඳු ඉරණමක් අත්වීම බරපතළ කාරණයකි. මාර්ග පිළිබඳ කරාපිටිය රෝහලට සලකන ආකාරය එයින්ම පෙනේ.

හික්කඩුව, උණවටුන සහ ඒ අවට සංචාරක පුරයන්ගෙන් එන විදේශික රෝගීන්ද, ගාල්ල වරාය ඔස්සේ එන විදේශික රෝගීන්ද, පැමිණෙන්නේ ඒ මාර්ගය ඔස්සේය. වළවල්වල වැටෙමින් එන ඔවුන් කුමක් සිතනවා ඇත්ද ?

කරාපිටිය රෝහලේ නේවාසික රෝගීන්ට සහන සැලසූ පෞද්ගලික උපස්ථායක සේවා ආයතන රාශියක් පසුගිය කාලයේ ක‍්‍රියාත්මක විය. උපස්ථානකයන් සිය ගණනක් ඒවායෙහි බැදී දවස් කුලියට රෝගීන් නේවාසිකවම උපස්ථායකකම් කළහ. රෝහල තුළ ඔවුන්ගේ ඒකාධිකාරයක්ද ක‍්‍රියාත්මක වනු පෙනුණි. කෙසේ වෙතත් ඉකුත් දිනවල රෝහලේ පරිපාලනය විසින් පෞද්ගලික උපස්ථායක සේවා ආයතන රෝහල තුළ ක‍්‍රියාත්මකවීම තහනම් කෙරිණි. පෞද්ගලික ආයතනවලින් එන උපස්ථායකයන් නොමනා ලෙස හැසිරීම, රෝගීන්ගේ ජංගම දුරකතන ආදිය සොරකම් කිරීම, රෝගීන් හරි හැටි බලා නොගැනීම, වාට්ටුවල පරිපාලනයට අවනත නොවීම, ආදී කාරණා රාශියක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම නිසා එම පියවර ගත් බව, රෝහල් බලධාරීහු කීහ. කෙසේ වෙතත් පෞද්ගලික උපස්ථායක ආයතන ඒ  සම්බන්ධයෙන් දිගින් දිගටම විරෝධය පළ කළහ.

එහෙත්. රෝගීන්ට හෝ ඔවුන්ගේ භාරකරුවන්ට අවශ්‍ය නම් රෝහල් බලධාරීන්ගේ අනුමැතියට යටත්ව තමන්ගේ කෙනෙකු ළඟ නවත්වා ගැනීමට පුළුවන. රෝහල ඒ අවසරය දෙන්නේ ‘අමාරු ලෙඩුන්’ සඳහා පමණි. මේ අතර පෞද්ගලික උපස්ථායක ආයතනවල සිටි සමහර පිරිස් රෝගීන් සමග සබඳකම් ඇති කර ගනිමින්, ඔවුන්ගේ ඥාතීන් ලෙස පෙනී සිටිමින් රෝගීන් ළඟ නතර වී සිටිති. ඔවුන් සඳහා පැය 24ක සේවා ගාස්තුව රුපියල් 1400/- කි. ඊට අමතරව ආහාර පාන සඳහා වෙනම මුදල් දිය යුතුය. ඒ මුදල කරාපිටියේ චැනල් ගාස්තුවටත් වඩා වැඩි යයි මහජනයා කියති.

පෞද්ගලික උපස්ථායක සේවා, ඉහළ ගුණාත්මකභාවයක් සහිතව කළමනාකරණය කිරීම කෙරෙහි කිසිදු බලධාරියෙකුගේ අවධානයක් යොමු වී ඇති බවක් ද නොපෙනෙයි. එවැන්නක් කිරීම රෝගීන්ගේ පැත්තෙන් වැදගත්ය. මන්ද, හදිසි අවස්ථාවලදී රෝගීන් ළඟ නතර කිරීමට සුදුසු තැනැත්තන් සොයා ගැනීම දුෂ්කර කටයුත්තක්ව ඇති බැවිනි.

කරාපිටිය රෝහලේ පරිශ‍්‍රය සඳහා දැනට තිබෙන්නේ ‘හුණ්වක් බඳු’ කුඩා බස් නැවතුම් පොළකි. එසේ වුවද, දහවල් දොළහේ පැයට වලස්මුල්ල, මාතර, අම්බලන්ගොඩ, තිස්සමහාරාම, ඇඹිලිපිටිය, බලංගොඩ, අම්බලන්තොට, සූරියවැව ආදී දකුණු පළාතේ දුරබැහැර නගරවලට බස් රථ ගණනාවක් එහි සිට ධාවනය කෙරේ. බස් නැවතුම් පොළ කුඩා එකක් බැවින් දහවල් කණිසමට එහි බස් රථ හසුරුවා ගැනීම අසීරුය. දිනකට මිනිසුන් දස දහසක් පමණ යන - එන රෝහලක් සඳහා ඇති කළ බස් නැවතුම් පොළෙහි මගී ආවරණ ඇත්තේ ද තුන හතරක් පමණි. ඒවාද කුඩාය. වැසි දිනවල කොහෙත්ම ප‍්‍රමාණවත් නැත්තේය. මගී ප‍්‍රවාහන කටයුතු භාර බලධාරීන් මෙන්ම ගාලූ මහ නගර සභාවද කරාපිටියට එන රෝගී ජනයාට සලකන්නේ එපරිද්දෙනි.

රෝහල ඉදිරිපිට ඇති බොහෝ ආපනශාලා බෙහෙවින් අපිරිසිදුය. පරණ කෑම විකුණන තැන් මෙන්ම අධික මිල ගණන් අය කරන තැන් ද එමටය. හෝටල් සේවකයෝ කෙටි ආහාර අතින් අල්ලා පිළිගන්වති. රෝහල වටා ඇති නාමධාරී සහ නාමධාරී නොවන බටහිර ඖෂධ ශාලා ද රාශියකි. එකම බෙහෙත විවිධ මිල ගණන්වලට විකිණෙයි. චැනල් සේවා ආයතනවල චැනල් තුණ්ඩුවේ මිල ගණන් ද අධිකය. රෝහල වටා ඇති සමහර ත‍්‍රීරෝද රථ පිට පළාත්වලින් එන රෝගීහු ගසා කති. ඔවුහු රෝහලේ සිට ගාලූ නගරයට යන්නටත් රුපියල් 600/-ක් ඉල්ලති. සමහර රසායනාගාර රුධිර හෝ මුත‍්‍රා පරීක්‍ෂණ සඳහා අධික මිල ගණන් අය කරති. කරාපිටියේ පිහිටුවා ඇති ආණ්ඩුවේ ඔසු සල නිතරම අධික තදබදයෙන් යුක්තය. එහි තුණ්ඩු ගන්නට යොදවා සිටින්නේ එක් සේවකයෙක් පමණි.

මේ සියල්ල දකින විට එක් කාරණයක් මැනවින් පසක් වේ. ඒ ගාල්ල භාර දේශපාලන අධිකාරියේ පටන් අනෙකුත් රාජ්‍ය නිලධාරීන් දක්වා පිරිස් කරාපිටිය රෝහල අත්හැර දමා ඇති බවක් නොවේද ?
2014/12/28-ඉරුදින

No comments:

Post a Comment