Total Pageviews

Sunday, October 5, 2014

17ත් වයසක් ද?


"අපිත් එක්ක මොන කෆීර්ද මල්ලී"

වාහන වැකිවලින් පිළිබිඹු වන 

ප්‍රවාහකයන්ගේ සිතුම් පැතුම්


බස්, ලොරි සහ  ත්‍රී රෝද රථ ආදියෙහි පිටුපස විවිධ වැකි පින්තාරුකර තිබීම, දැන් සාමාන්‍ය කාරණයකි. ඉන් ප්‍රවාහකයන්ගේ වෘත්තීය ජීවිතයෙහි ඇති කටුක බව පිළිබිඹු වේය යන්න, සමාජ පිළිගැනීමයි. තවත් සමහරුන් කියන්නේ ඉන් ඔවුන්ගේ සිතුම්-පැතුම් ද පිළිබිඹු කෙරෙන බවයි.

ගාල්ල බස් නැවතුම්පොළට නිතර එන එක්තරා පෞද්ගලික බස් රථයක පිටුපසල අපූරු වැකියක් දක්නට ලැබේ.

‘අපිත් එක්ක මොන කෆීර් ද මල්ලී’

අමුතු තාලේ වාහන වැකි පිළිබඳව උනන්දුවක් දක්වන ලියුම්කරුට, එය දුටු සැනින්ම සිහිපත් වූයේ දිනෙන් දින ඉහළ යන රිය අනතුරු ය. "කෆීර්’යනු, උතුරේ යුද්ධයේ දී මහඟු සේවාවක් කළ අධිවේගී පුහාරක ගුවන් යානයකි. මෝලංගිරි බස් රථාචාර්යවරුන් අතලොස්සක්, සිය දඩබ්බර පාපුවරු ගෝලයන් ද සමග, මහ පාරේ කරන මරණීය ක්‍රීඩාවේ තොරතුරු දිනපතාම පාහේ අසන්නට ලැබේ. ඒවා සියොලඟ කිළි පොළා යන තරම් බිහිසුණු ය. "අපිත් එක්ක මොන කෆීර් ද මල්ලී’ යන වැකිය පින්තාරු කළ බසය මෝලංගිරි බසයක් ද? නැද්ද? යන්න, ලියුම්කරු නො දනී. එහෙත් වැකිය දුටු මතින්ම සිහියට නැගෙන්නේ, අධික වේගය, පාරේ රේස් යාම, අනෙකා පරයා ඉස්සර වීම ආදීි  "සංත්‍රාසජනක ජනක ප්‍රයිවේට් බස් සැරියට" ආවේණික ගුණාංගයෝ ය. ඒ අර්ථයෙන් ගත්කල, "අපිත් එක්ක මොන කෆීර් ද මල්ලී’ යන වැකිය නියෝජනය කරන්නේ මෝලංගිරිකාර රථාචාර්ය පරපුරේ දඩබ්බරයන් ය.
 

මීට දශකයකට පමණ ඉහතල අලූත්ගම ලංගම ඩිපෝව මගින් බලංගොඩ බසයක් ධාවනයට යෙදා තිබිණි. එහි රියැදුරා  "ශ්‍රියාපාල’ නමින් ප්‍රකටව සිටියේ ය. බසයේ වැඩිපුරම ගියෝ, රත්නපුර සහ බලංගොඩට වෙළඳාමේ ගිය මුස්ලිම් ජාතික මැණික් ව්‍යපාරිකයෝ ය. එය පානදුර, හොරණ, කිරිඇල්ල, රත්නපුරය, පැල්මඩුල්ල ඔස්සේ බලංගොඩට ධාවනය විය. බසයේ ගමන වේගවත් ය. "එය යකා මාක්’එළවිල්ලකි. නියමිත වේලාවට ගමනාන්තයට ද ළගා වන්නේ ය. එබැවින් මිනිස්සු එයට  'ශ්‍රියාපාල කුරුල්ලා’ යයි නමක් පට බැඳ තිබිණි.
 

මහමග මෝලංගිරි තරඟයක් ඉස්මතු වන්නේ විනෝදයටම නොවේ. යහමින් මුදල් සෙවීමේ අරමුණෙනි. මුදල් අවශ්‍යම බව ඇත්ත ය. එහෙත් මුදල් යනු සියල්ලම නොවේ. කොළඹ, පිටකොටුව, මධ්‍යම බස් නැවතුම්පොළේ දී නිතර දකින ලංගම බසයක පිටුපස මේ වැකිය දක්නට ලැබේ.

‘අහිතක් නෑ, කාසි නැතත් අපි යනවා’

ලංගමයේ අය එසේ කීව ද, පෞද්ගලික බස්වලට නම් ලිහිලක් නැත්තේ ය. එබැවින් දෝ ගම්පහ-කොළඹ දුවන පෞද්ගලික බසයක පිටුපස පින්තාරුකර තිබුණේ, 

‘දැන් එහෙම බැහැනෙ මචං, ටයිම් යනව මං’ යනුවෙනි.
 

කලකට පෙර ඇතැම් වාහනවලල මහමග තරඟය සහ එකිනෙකාට කපා ගෙන යාම පිළිබඳව කදිම වැකියක් ලියා තිබෙනු දක්නට ලැබිණි. ඒ, ඊර්ෂියාව ලොකුම රෝගයයි’ යනුවෙනි. ඇතැම් බස් රථ පිටුපස ලියා ඇති වැකි දෙස බලන විට පෙනී යන්නේ, දැන් ඒ අදහස තවදුරටත් ඔප මට්ටම්වී ඇති සෙයකි,

  •     ‘හදිස්සි ද?’
  •    ‘සිංහ නාද-බලු කෙඳිරිලි’
  •     ‘බලන අයට බුදු සරණයි-රවන අයට දෙවි පිහිටයි’
  •     ‘සෙල්ලන්ද කොල්ලෝ’
වැනි බස් වැකිවලින් ඒ බව පිළිබිඹු වේ.
 

සමහර අය, තම වාහන වැඩවලට උදව් දුන් පවුලේ අය ගැන ද අමතක කරන්නේ නැත. මේ එබඳු වැකි කිහිපයකි.

  •     ‘මල්ලිගෙයි මගෙයි’ (පෞද්ගලික බසයක පිටුපස)
  •   ‘අතහිත අම්මා ගෙන්’ (ත්‍රීවීලරයක පිටුපස)
  •     ‘මව්පිය සෙනෙහස’ (ත්‍රීවීලරයක පිටුපස)
  •    ‘අක්කාට පින් සිද්ධ වෙන්න’ (ත්‍රීවීලරයක පිටුපස)
  •     ‘අලූත ගෙනා මනමාලි’ (ත්‍රීවීලරයක පිටුපස)
  •    ‘සුදු නංගී’ (ත්‍රීවීලරයක පිටුපස)
  •    ‘රත්තරං දෙමව්පියෝ’ (පෞද්ගලික බසයක පිටුපස)
ත්‍රී  රෝද රථ පදවන බහුතරයක් දෙනා තරුණයන් ය. සිය රථවල ලියා ඇති වැකිවලින්, යොවුන් ප්‍රේමය සහ ආදරය පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් සහ අදහස් බොහොම අපූරුවට පෙන්නුම් කෙරේ. විවාහ ජීවිතය පිළිබඳ කරුණු ද ඊට ඇතුළත් ය.

  •     ‘පුංචි ආඩම්බරකාරි’
  •    ‘ප්‍රේම කළොත් ගෙවල්වලිනුත් නඩු’
  •     ‘අපි බොක්කෙන්-අපිට බෙලෙක්කෙන්’
  •     ‘සල්ලි ගස්වල හැදෙනවා නම්-කෙල්ලෝ වඳුරන්ටත් ටෝක් කරාවි’
  •     ‘අපේ ප්‍රේම නගරේ’
  •    ‘17ත් වයසක් ද?’

සියලූ දේ මුදල් මත තීන්දු කිරීම, වත්මන් සමාජයේ එක් අංගයකි. යමෙකු ඉන් දිනන්නට ද පුළුවන. අතිශයින්ම ඛේදනීය ලෙස පරදින්නට ද පුළුවන. තමන් ජීවත්වූ සමාජයේ තරම පෙනෙන්නේ පැරදුණු පසුව ය. එහෙත් මුදල් නැතුව ද බැරි ය.

  •    ‘වෙලාවකට පිස්සු වගේ’ (ත්‍රීවීලරයක)
  •     ‘දින පලයන්-මොනරු වරෙන්’ (වත්තල පොහොර ගබඩාවට එන තට්ටු ලොරියක)
  •      ‘සල්ලිත් නෑල සනීපත් නෑ, ලඟ හිටිය යාළුවොත් නෑ,   තනියම සැපයි’ (ත්‍රී   වීලරයක)
  •     ‘ගොලූ වූ අයත් කතා කළා මට ඇති දා-කතා කළ අයත් ගොලූ වූවා මට නැති දා’ (බොරැල්ල හන්දියේ දී දුටු  ත්‍රී රෝද රියක)
  •    ‘මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපිට’ (ත්‍රී  වීලරයක)

ලෝකයේ කොතැනත්, 'හොඳ සහ නරක’ අතර වෙනස කැපී පෙනෙයි. කොතෙක් හරි හම්බ කළ ද, යමෙක් දුසිරිතෙහි ඇලී-ගැලී සිටිත් නම් පලක් නැත. මේ ධර්මතාව බෙහෝ ත්‍රී  වීලර්වල විවිධ වෙනස්කම් සහිතව පින්තාරුකර තිබේ.
  •    ‘දෙවියො ගෙනත් දෙනවා-යක්කු අරන් යනවා’
  •    ‘දෙවියො දෙනවා-යක්කු රවනවා’
  •     ‘දෙවියො දෙනකොට-යක්කු ඔරවනවා’
  •     ‘මේ වෑයම රජ වෙන්න නොවේ’
  •     ‘මොනා කරන්ඩ ද මල්ලී’

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

2013.12.10



No comments:

Post a Comment