Total Pageviews

Wednesday, October 28, 2015

සේයා ඝාතන සිද්ධියේ පසු නාටක!



සේයා ඝාතන සිද්ධියේ පසු නාටක,
පොලීසිය සහ මාධ්‍ය

සේයා ඝාතන සිදධියෙන් හෙළිවන කාරණා ගැන, ‘වලස්පතියෙහි’ මී පෙර ද ලිපි දෙකක්ම පළ කළෙමි. ඒ 2015.09.24 සහ 27 යන දිනවල ය. මේ එහි තුන් වැන්නයි.
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
අලි ඇතුන් කුලප්පු වීම, මීට දශක කීපයකට ඉහත ලංකාවේ ඇසළ පෙරහැර බොහොමයක හට ගත් සංසිද්ධියකි. සුලභව නො වුණත් එය පෙරහැර නරඹන්නන් භීතියෙන් මුසපත් කරවන කාරණයකි. පෙරහැර අතරට වදින කවුරුන් හෝ අබිරහස් තැනැත්තෙක්, අලියෙකුගේ පශ්චාත් භාගයට ගිනි පන්දමක් ඇල්ලීමෙන් ‘අලි කුලප්පුව’ ඇති වන බව දන්නෝ දනිති. එයින් ඇතිවන කලබෑගෑනිය අතරේ, පෙරහැර පොළේ කඩ සල්පිල්වල ඇති වටිනා බඩු භාණ්ඩ ද අතුරුදන් වේ. අලි කුලප්පුව, පෙරහැර පොළේ වටිනා බඩු භාණ්ඩ කොල්ලකෑමේ කූට අරමුණින් සංවිධානාත්මකව ඇති කළ එකක් බව පසුව ආරංචි වෙයි.


ලියුම්කරුට මේ පැරණි කතාව සිහිපත් වූයේ, ඉකුත් සතියේ (2015 ඔක්තෝබර් මැද භාගය) යළි දිග හැරුණු කොටදෙණියාවේ, බඩල්ගමුව, අකරංගහ ගමේ, සේයා සදෙව්මි (05) දැරිය ඝාතන සිද්ධියේ ‘පශ්චාත් නාටක’ දකිද්දී ය. ඒවා, ඇගේ ඝාතනයත් සමගින් මතුවූ ගැටළු ගැන තවදුරටත් කතිකා කරන්නට පොළඹවයි. ඇය 2015 සැප්තැම්බර් 11 වැනි දින රාත‍්‍රී කුරිරු ලෙස දූෂණයකර මරා දමා තිබිණි.

දැරිය ඝාතනය සම්බන්ධයෙන් කෙරුණු ඞී. එන්. ඒ. පරීක්ෂණවලින්, ඊට සැක කෙරුණු ‘කොණ්ඩයා’ නිදොස් විය. එබැවින් ඔක්තෝබර් 19 වැනි දා මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් ඞී. ඒ. රුවන්පතිරණ මහතා ඔහු මුදා හැරියේ ය. එහෙත් වෙනත් නඩු දෙකක් නිසා ඔහු තවදුරටත් ‘රිමාන්ඞ් භාරයට’ යැවිණි. ඉන් දින කිහිපයකට පසුව එයින් ද ඇප ලැබූ ඔහු එළියට ආවේ ය. මීට ඉහත ද සිද්ධියට චෝදනා කෙරුණු 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යයෙක් ද, විවාහක පුද්ගලයෙක් ද, දැරිය ඝාතනයට සම්බන්ධයක් නැතැයි කියා නිදහස් කෙරිණි. දැරියගේ පියා ද සැකකොට, ඞී. එන්. ඒ. පරීක්ෂණයකට යොමු කෙරිණි. එහෙත් දැරිය ඝාතකයාගේ ඞී. එන්. ඒ. සාම්පල, ඇගේ පියාගේ ඞී. එන්. ඒ. සමග ගැලපුණේ නැත. ඉන් ඔහු ගැන පැවති සැකය ද ඉවත් විය.

පොලීසිය දැන් කියන්නේ ‘කොණ්ඩයාගේ’ සහෝදරයා, තමන් දැරිය ඝාතනය කළ බව පිළි ගෙන ඇති බවයි. ඔහුගේ ඞී. එන්. ඒ. පරීක්ෂණය ද ගැලපී තිබේ! දැන් ඔහු ‘රිමාන්ඞ්’ භාරයේ ය.

අධිකරණයෙන් මුදා හැරුණු ‘කොණ්ඩයා’ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, කන් හිරි වැටෙන තරම් කතාවකි. තමන් ඒ අපරාධය නො කළ බවත්, රහස් පොලීසිය තමන්ට පහර දී, වධ හිංසාකර කොලයකට අත්සන් ගත් බවත් හෙතෙම පැවසී ය. පොලීසියේ හිංසාවන් ඉවසන්නට බැරිම තැන, තමන් ඊට අත්සන් කළ බව ද ඔහු කීවේ ය.

මීට පෙර මුදා හැරුණු 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යයා සහ විවාහක පුද්ගලයා ද ප‍්‍රකාශ කළේ මෙබඳුම කතා ය. දැරිය ඝාතනය කළේ තමන් යයි දන්නා බවත්, එය කළ ආකාරය පමණක් කියන ලෙස පොලීසිය තමන්ට බල කළ බවත්, පාසැල් ශිෂ්‍යයා පවසා තිබිණි. ඔහු නිරුවත් කොට, උඩ එල්ලා පහර දුන් බව ද කියැවිණි. විවාහක තැනැත්තාට ද බරපතල ලෙස පහර  දී තිබිණි.  එළඹුණු හිංසාවන් සම්බන්ධයෙන්, ඔවුන් මේ වන විට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත්කර තිබේ.

මේ අතර ඔක්තෝබර් 25 වැනි ඉරිදා රාත‍්‍රී ‘ස්වර්ණවාහිනිය’ අපූරු පුවතක් විකාශනය කළේ ය. එය, සේයා සදෙව්මි දැරියගේ පියා සහ පවුලේ අය කිහිප දෙනෙක් පෙනී සිටින ප‍්‍රවෘත්ති සාකච්ඡාවකි. ඔවුන් එයින් ප‍්‍රකාශකර සිටියේ, ‘කොණ්ඩයා’ බඳු පුද්ගලයන්ට ඉතා විශාල ප‍්‍රසිද්ධියක් ලැබෙද්දී, සිද්ධියේ වින්දිතයක් වන තම පවුලේ අයට නිසි අවධානයක් නො ලැබෙන බවයි. එය මාධ්‍යයට එල්ල කළ චෝදනාවකි. කිසිවෙක් අද තමන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටළු ගැන නො විමසන බව ඔවුහු කීහ. ‘කොණ්ඩයා’ තවත් නඩු දෙකක සැකකරුවෙකු වන බැවින්, මාධ්‍ය ඔස්සේ ඔහු මේ තරම් ඉහළට ඔසවා තැබීම ගැටළුවක් බව ද ඔවුහු පැවසූහ.

එකින් එක පෙළ ගැසුණු සිද්ධීන් දෙස බැලීමේ දී පෙනී යන්නේ, දැරිය ඝාතන පරීක්ෂණ පැවැත් වීමේ දී සියලූම පොලිස් විමර්ශන කණ්ඩායම් ‘හත් පොළේ ගා ගෙන’ ඇති බවයි! සිද්ධිය රටට හෙළි කිරීමේ දී බොහොමයක් මාධ්‍ය විසින් රඟ දක්වා ඇත්තේ, ලියුම්කරු මුලින් සඳහන් කළ ‘අලි කුලප්පුවකට මග පෑදූ’ රහසිගත ගිනි පන්දම්කාරයාගේ භූමිකාවයි. ඔහු අලි කුලප්පුවක් ඇතිකර, පෙරහැර සල්පිලේ වෙළෙඳ බඩු පැහැර ගන්නට අවස්ථාව සලස්වා දී තිබේ. එසේම සේයා ඝාතන සිද්ධියේ දී ඇතැම් මාධ්‍ය ද, මහජනතාව අනවශ්‍ය ලෙස කළඹවා (කුලප්පු කරවා), මඩිය තරකර ගත්තා නොවේ ද?

පොලීසියේ සහ මාධ්‍යයේ භූමිකාව
සේයාගේ සිද්ධිය විමර්ශනය කිරීමේ දී පොලීසිය රටට පෙන්නුම් කළේ ඉතාමත් දුර්වල, මහජනතාවගේ විශ්වාසය දිනා ගන්නට අපොහොසත්වූ, එමෙන්ම කාගේත් සැකයට පාත‍්‍ර වන සුළු, භූමිකාවකි. ඔවුහු තමන්ගේ සැකයට පාත‍්‍ර වන සියල්ලන් ගැන, අටුවා ටීකා සහිතවම මාධ්‍යට කීහ. මාධ්‍ය ද කිසිදු සෙවිල්ලක් බැලිල්ලකින් තොරව, මාධ්‍ය ආචාරධර්ම එක රුපියලකට වත් මායිම් නො කරමින් සියලූ තොරතුරු රටට කීහ. අන්තර්ජාලයේ බොහෝ වෙබ් අඩවි සහ ෆේස් බුක් ජාලා ද, තමන්ට ලැබෙන හැම ආරංචියක්ම නො පමාව බෙදා හැරියහ. මාධ්‍ය, පොලීසිය පවසන සියල්ල ‘දේව භාෂිත’ සේ සලකන බව පෙනුණි. ඒ සියල්ල ඔස්සේ සිද්ධියට එරෙහිව ඇවිළ ගියේ උග‍්‍ර ජන විරෝධයකි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම පොලීසියේ සැකයට පාත‍්‍ර වූයේ සේයාගේ පියා සහ පවුලේ අයයි. ඊළඟට අසල්වැසි 17 හැවිරිදි පාසැල් සිසුවෙක් සහ විවාහකයෙක් සැක කෙරිණි. පොලීසිය ඉන් පසුව පැවසුවේ, ‘කොණ්ඩයා’ නමැත්තා සේයා ඝාතනය තමන් කළ බව පිළිගෙන ඇති බවයි. ඔහු එය කළ ආකාරය ගැන ලැබුණු හෙළිදරව්ව ඇසුරෙන්, ‘ආකර්ෂණීය කතා පුවතක්’ ද පොලීසිය මාධ්‍ය හමුවේ දිග හැරියේ ය. ඉන් ‘කොණ්ඩයා’ නමැත්තා ගැන වෛරී සමාජ ආකල්පයක් ද ගොඩ නැගිණි. ජන විරෝධය රැගෙන ගිය උදවිය, එල්ලූම් ගස යළි ගෙන එන්නනැයි කියමින් රට කැළඹූහ. අවසන ඒ කිසිවෙක් දැරිය ඝාතන සිද්ධියට සම්බන්ධ බවක් හෙළි නො වීය! එබැවින් පොලීසියට වූයේ, ඇතැම් මාධ්‍ය ද සමග හවුලේ පස්ස බිම ඇණ ගන්නට ය!

දැනට හෙළිවී ඇති කරුණුවල ඇතුළාන්තය ඉතා බිහිසුණු ය. එය පොලීසිය යම් අපරාධයක් විමර්ශනය කරන ආකාරය ගැන, ඉතා බරපතල ගැටළුවක් මතුකර වන්නේ ය! අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් ‘පොලීසියේ තාක්ෂණය’ ඉතාමත් ප‍්‍රාථමික බවත්, එය සම්මත සිවිල් නීති පවා උල්ංඝණය කරන බවත්, ඉන් පැහැදිලි වේ. පොලීසියේ අපරාධ විමර්ශන ක‍්‍රමවේදය වන්නේ, සැකකාර පුද්ගලයන්ට ලවක් දෙවක් නැතිව තඩි ගසා, උඩ එල්ලා තබා, වධ හිංසා කොට අපරාධය පිළිගැනීමට සැලැස් වීම බව, හෙළිදරව් වූ කරුණුවලින් පෙනී යයි! සැකකරුවන් අපරාධය  කළා ද? නැද්ද? යන්න ඔවුන්ට අදාළ නොවේ. ඔවුන්ට අශ්‍ය වන්නේ ‘මොකෙක් හෝ එකෙක්’ අපරාධකාරයා බවට පත් කිරීමයි. 17 හැවිරිදිි පාසැල් ශිෂ්‍යයා, විවාහකයා සහ ‘කොණ්ඩයා’ ආදීන් නිදහස් වීමෙන් පසුව කියූ දේවල්වලින් එය සනාථ කෙරෙයි. ඇත්තටම පොලීසිය දන්නේ, මිනිසුන්ට හැකි තරම් තඩි ගසා කරුණු හෙළිකර ගැනීමේ ශිල්පය පමණක් ද? යන සැකය ද එයින් මතු වෙයි.

අපරාධකරුවන් ද ‘බබාලා’ නොවේමයි! ඔවුහු ලෙහෙසියෙන් ඇත්ත නො කියති. තම වැරදි පිළි නො ගනිති. විමර්ශකයන් නො මග හරිති. සාක්ෂි වසන් කරති. සඟවති. එබැවින් යම් අපරාධයක් හෙළිකර ගැනීමේ දී පොලීසියට කිසියම් ‘බලයක්’ පෙන්වීමට සිදු වේ. එසේ වුවත් පොලීසිය එහි සීමාවන් ඉක්ම යන ආකාරයක් පෙන්නුම් කරයි. ඇත්තටම පොලීසිය, මිනිසුන්ට තඩි ගසා කරුණු (අපරාධ) හෙළිකර ගැනීමේ ක‍්‍රමයට වඩා දෙයක් දන්නේ නැද්ද?, එවන් ප‍්‍රාථමික ක‍්‍රමවලට වඩා දියුණු ක‍්‍රමවේද ගැන ඔවුන්ට උගන්වා නැද්ද? යන්න විමසිය යුතු කාරණයකි. මන්ද ‘පොලීසිය’ වූ කලී, මහජන බදු මුදලින් නඩත්තු කෙරෙන ආයතනයකි. විවේචන කොතෙක් තිබුණ ද, ඉන් ජන සමාජයේ යහ පැවැත්මට කෙරෙන සේවාව ඉවත දැමිය නො හැකි ය. අනෙක එහි සේවය කරන්නේ ද අපේ රටේම සහෝදර පුරවැසියන් ය. මීට වඩා නවීන, අපරාධ විමර්ශන ක‍්‍රම ශිල්ප ගැන ඔවුන්ට උගන්වා නැතිනම්, වහාම කළ යුත්තේ ඒවා ගැන ඔවුන්ට පුහුණුවක් දීම ය. පොලීසියට බැණ බැණ සිටිනවාට වඩා එය යහපත් ය. එය රටේ පාලක කාරකාදීන්නේ වගකීමකි.

සේයා ඝාතන සිද්ධියේ දී ‘හත් පොළේ ගා ගත්ත ද’ අපේ පොලීසිය දුර්වල ආයතනයක් නොවේ. එහි යටගියාව දෙස බලන විට ඔවුන්, රටේ හට ගත් බිහිසුණු අපරාධ බොහොමයක් තියුණු ලෙස විමර්ශනයකර, අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා ඇති බව ද පෙනී යයි. එය රටේ කෙරෙන සියලූම අපරාධ පසිඳලන්නට තරම් ප‍්‍රබල නො වන බව ද ඇත්ත ය. ඒ හේතුව නිසා පොලීසිය එහැමපිටින්ම දුර්වලයයි කියන්නට ද පුළුවන්කමක් නැත. එසේ නම් ඔවුන්ට සේයා ඝාතන පරීක්ෂණවල දී කුමක් වූයේ ද? පසුගිය කාලයේ දී පොලීසිය වඩාත්ම මහජන දෝෂ දර්ශනයට ලක් වූයේ අසාමාන්‍ය ලෙස දේශපාලන හස්තයන්ට ගොදුරු වීම හේතුවෙනි. තක්කඩි දේශපාලන නිර්දේශ අනුව කටයුතු කිරීම හේතුවෙනි. කොටදෙණියාවේ දීත් එවැන්නක් වී ද? යන්න විමසිය යුතු ගැටළුවකි.

පොලීසියේ තිගැස්සීම
 කාරණය සම්බන්ධයෙන් ලියුම්කරුට ඇත්තේ වෙනස් අදහසකි. එනම්, සිද්ධිය විමර්ශනයේ දී පොලීසිය ‘තිගැස්සී’, අනවශ්‍ය ලෙස කලබල වීමෙන් සියල්ල අවුල්කර ගත් බවයි. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්, විද්‍යුත්, මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ලැබුණු අවිචාරවත් ප‍්‍රසිද්ධියත්, ඒ ඔස්සේ ගොඩ නැගුණු ඝාතක විරෝධී ජන රැල්ලත් මධ්‍යයේ පීඩනයට ද පත්ව තිගැස්සුණු පොලීසිය, වැඩේ අවුල්කර ගෙන ඇති බවයි. කලබල වීම යනු කිසිවක් නිවැරදිවකර ගන්නට බැරි වන සුළු තත්ත්වයකි!

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ලැබුණේ අධික ප‍්‍රසිද්ධියකි. විද්‍යුත් මාධ්‍ය එය සෑම පැයකම ‘ඉස්මත්තේ ප‍්‍රවෘත්තිය’ (ලීඩ් ස්ටෝරි) වශයෙන් තබාගන්නට උත්සාහ කළහ. මුද්‍රිත මාධ්‍ය එය සෑමදාම මුල් පිටුවේ තබා ගන්නට උත්සාහ කළ හ. එය නිකම්ම කළ හැක්කක් නොවේ. ඒ සඳහා අලූත් ‘ප‍්‍රවෘත්ති කතා’ ගොඩ නැගිය යුතු ය. නිසියාකාර සෙවුම් බැලූම් සහිතව, සාධාරණ මූලාශ‍්‍ර සහිතව, සත්‍ය කරුණු මත පදනම්ව එසේ කරනවා නම් එහි වරදක් ද නැත. එසේ කිරීමෙන් ‘ප‍්‍රවෘත්ති වෙළෙඳපොළ’ ජය ගත්තාට ද කමක් නැත. එහෙත් සේයාගේ සිද්ධියේ දී කෙරුණේ කුමක් ද? අතිශයින්ම අවිචාරවත්ව, පොලීසිය විසින් කියන කියන තොරතුර, ‘ප‍්‍රවෘත්ති’ බවට පත් කිරීමයි. ඇතැම් වෙබ් මාධ්‍යයක් සේයාගේ පින්තූර හැඩ ගන්වා තිබුණේ අශ්ශීල පෙනුමක් ආරෝපණය කරමිනි. නිසි, එමෙන්ම විශ්වසනීය මූලාශ‍්‍ර රහිතව උලූප්පා දෙන ‘කතා’ ප‍්‍රවෘත්ති නොවේ!

සාමාන්‍යයෙන් ලිංගික දූෂණයන්ට ලක්වූ හෝ එයින් ඝාතනය වූවන්ගේ පින්තූර පළ නො කිරීමත්, ඔවුන්ගේ නම් ගම් පළ නො කිරිමත්, පුවත්පත්වල ආචාර ධර්මයකි. එසේම, මිනීමැරුමක්, දූෂණයක් හෝ දිවි නසා ගැනීමක් කෙරුණු ආකාරය ගැන ගැඹුරින් විස්තර නො කිරීම ද සම්ප‍්‍රදායකි. මියගිය උදවියගේ පවුල්වල අය අපහසුවට පත් වීම වැළැක් වීම පිණිසත්, තවත් කෙනෙකුට අපරාධ පාඩමක් ඉගැන් විය යුතු නැති නිසාත්, එසේ කිරීම සිරිතයි. පින්තූර පාවිච්චි කරන්නේ ද පරිස්සමිනි. අනෙක, සැකකරුවන් කවුරුන් දැයි හෙළි කරන්නේ ද නැත. යමෙක් නීතිමය අර්ථකතනයෙන් ‘සැකකරුවෙකු’ වුව ද, සමාජය ඔවුන් දකින්නේ ‘අපරාධකරුවන්’ වශයෙනි. ලංකාවේ නීතියේ හැටියට, යමෙක් අධිකරණයක් මගින් ‘වරදකරුවෙකු’ බවට තීන්දු කෙරෙන තුරු, ඔහු ‘සැකකරුවෙකි’. ඇතැම් සැකකරුවෝ උසාවියේ දී ‘නිදොස් කොට’ නිදහස් වෙති. එබැවින් මාධ්‍ය ඔස්සේ ‘සැකකරුවා’ එක්වරම ‘අපරාධකරුවෙකු’ බවට පත් කිරීම යුක්ති සහගත නොවේ. යම් හෙයකින් වැරදිකරුවෙකු නො වුණ හොත් ඔහුට, ජන සමාජයේ ගෞරවාන්විතව ජීවත් වීමේ අවස්ථාව තිබිය යුතු ය. සැකකරුවන් හෙළි නො කරන්නැයි මාධ්‍ය ආචාර ධර්මයක් පනවා ඇත්තේ එබැවිනි. සේයාගේ සිදධියේ දී මේ කිසිවක් නො සැලකිණි!



කරුණු හරි හැටි නො දැන, සැකකරුවන් එක්වරම අපරාධකරුවන් බවට පත් කිරීම මහා පාපකර්මයකි. සේයාගේ සිද්ධිය මෙයට හොඳ නිදසුනකි. එහි මුල් වටයේ දී ඇගේ පියා, 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යයා සහ විවාහකයා හා ‘කොණ්ඩයා’ යන තැනැත්තන් මාධ්‍ය මගින් මිනීමරුවන් බවට පත් කෙරුණි. පසුව ඔවුන්ගේ නිදොස් බව ඔප්පු විය. එය ද මාධ්‍ය මගින් රටට කී බව ඇත්ත ය. එහෙත් ඔවුන්ට වැදුණු ‘මිනීමරු හංවඩුව’ ජන සමාජයෙන් තුරන්වී ගියේ ද? නැත! ඔවුන් මිනීමරුවන් බවට මතයක් ගොඩ නැගූ මාධ්‍ය (අන්තර්ජාල මාධ්‍ය ද ඇතුළුව) දැන් කුමක් කියන්නේ ද? ඔවුන්ගේ නැතිවුණු යශෝකීර්තිය යළි ගෙන වුත් දෙන්නේ ද? නැත. මාධ්‍ය ඔස්සේ පොලීසියෙන් රටට දුන් ‘සැකකරුවන්ට’ එරෙහිව වීදි බැසගත් ජනයා අද කොහි ද? මාධ්‍ය ද බලා සිටින්නේ ඊළඟ සිද්ධිය ප‍්‍රවෘත්ති මේසයට පැමිණෙන තුරු ය!

මෙබඳු ආරවුලකින් රට මුදා ගැනීමට නම්, කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ලියුම්කරුගේ අදහසයි. ඉන් එකක් වන්නේ, මිනිසුන් අපරාධවලට පෙළඹෙන මානසිකත්වයෙන් ඉවත් කිරීමයි. ඊළඟට අපේ පොලීසිය, ලොව දියුණු අපරාධ විමර්ශන ක‍්‍රමවලින් සන්නද්ධ කිරීමයි. පොලීසියට හෝ ජන සමාජයට අනවශ්‍ය පීඩනයක් ඇති නො වන ආකාරයට, අපරාධ වාර්තාකරණයෙහි යෙදෙන්නේ කෙසේ ද? යන්න ගැන මාධ්‍ය අතර සංගායනාවක් ඇතිකර ගැනීම ඊළඟ කාරණයයි. මීලඟට අන්තර්ජාලය සහ එහි ‘සමාජ මාධ්‍ය ජාලා’ ය. ඒවා මෙහෙයවන අයට නිවැරදි ප‍්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ පුහුණුවක් සැපයීම, අනෙක් කාරණයයි. එවිට තමන්ට ලැබෙන ‘ප‍්‍රවෘත්තිය’ ඇත්තක් ද?, එය හෙළි කිරීම සාධාරණ ද? යන්න ගැන ඔවුන් තව වාරයක් කල්පනා කරනු ඇත.
2015.10.28.






No comments:

Post a Comment