Total Pageviews

Friday, March 26, 2021

දෙපැත්තෙන් හාරා ගෙන යනවා - පොළොව මැද දී එකට මුණගැසුණාම පාටි දානවා!


 


දෙපැත්තෙන් හාරා ගෙන යනවා

පොළොව මැද දී එකට මුණගැසුණාම පාටි දානවා!

 

 


 

 

(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

ඔවුන්ගේ වැඩ පාලක ඉංජිනේරුවරයා සුද්දෙකි’. ඒ කියන්නේ ස්වීඩන්ජාතිකයෙකි. සුද්දාමදක් එහා මෙහා වන තුරු බලා සිටි උමං කම්කරුවන්දෙදෙනා, කරමින් සිටි කාරිය මොහොතකට නවතා  බුලත් විටක් හපන්නට ගත්තෝ ය. ඉක්බිති සීරුමාරු බලා, කිසිවෙකුට නො පෙනෙන තැනකට කෙළ ගැසූහ.

මේකේ වැඩ කරන අයට බුලත් විට කෑමත් තහනම් කරලයි තියෙන්නේ. සුද්දා දැක්කොත් ඉතින් බලු බැණුම් තමයි’, බුලත්  කෑ කට නො පෙන්වන්නට පරිස්සම් වෙමින් ඔවුහු අපට කීහ.

අප දැන් සිටින්නේ කුකුළේ ගඟජල විදුලිබලාගාර ව්‍යාපෘතියේ දිගින් කිලෝමීටර් පහක් පමණ ඈත, පොළොව මට්ටමේ සිට අඩි පන්සියයක් තරම් ගැඹුරින් භූගතව දිවෙන උමගය ඇතුළේ ය. මහ පොළොව කුහරයෙහි ඇත්තේ ගල්, පස්, වතුර සහ මඩ ආදී දේවල් ය. උමගක් කණින්නේ ඒවා හාරා ඉවත් කිරීමෙනි. එහෙත් උමං කණිද්දී මිනිස් අපද්‍රව්‍යවලින්තොරව, පිරිසිදුව තබා ගැනීමට උමං කණින්නෝ වග බලා ගනිති. කැණීම්වල නිරත වීම මෙන් ම, භූගත උමං මාර්ගයක් ඇතුළේ වැඩ කිරීම ද, රැයක් දවාලක් නො දකින අමුතුම තාලේ ජීවිතයකි.  කුකුළේ විදුලි බලාගාරයේ ප්‍රධාන උමගය දිගින් කිලෝමීටර් 5.71කි.

කුකුළේ ජල විදුලිබලාගාර ව්‍යපෘතියඉදි කෙරෙන සමයේ ගිය මාධ්‍ය චාරිකාව ලියුම්කරුට සිහිපත් වූයේ, ඉකුත් පෙබරවාරි 05 වැනි දා රූපවාහිනී නාලිකා ඔස්සේ දිග හැරුණු ආසියාවේ දිගම වාරි උමගපිළිබඳ පුවත නිසා ය. එහි දිග කිලෝමීටර් 28කි. උමගය ඉදි කිරීම පිණිස, එදින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් පලුගස්වැව දී පස් පිඩැල්ලක් කපා වැඩ ඇරඹිණි.  මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියෙහි කොටසක් වශයෙන් ඉදි කරන්නට යන මේ උමගය ඇරඹෙන්නේ ඇලහැර, කෝඳුරුවාවෙනි. එය පලුගස්වැව, මීගස්වැවෙන් අවසන් වේ.

ලියුම්කරුගේ මතකයේ හැටියට, කුකුළේ මාධ්‍ය චාරිකාව යෙදුණේ 2000 වසරේ මුල් කාර්තුවේ දී ය. පොළොව ඇතුළත වායු ධාරා දුබල බැවින් තරමක් රස්නේ ය. එහෙත් කුකුළේ උමගය නම් හරියට ඒසීකළා වාගේ ය. එළියේ සවිකළ දැවැන්ත සිසිලන යන්ත්‍ර මගින් නිපැයෙන ඔක්සිජන්වායුව මුසු කළ පිරිසිදු සුළං ධාරා උමග ඇතුළට පොම්ප කෙරේ. එය කෙරෙන්නේ පොල් ගසක්තරම් මහත නළයක් මගිනි. එය උමගයේ වහලයට එල්ලා සවිකර තිබේ. උමං කට දෙස ඈත සිට බලන කෙනෙකුට පෙනෙන්නේ, පොළොවේ කණින ලද ගුහාවකට (ගුලකට) දැවැන්ත සර්පයෙකු රිංගා ගෙන ඇති සෙයකි!

උමං පිවිසුම ඔස්සේ වරින්වර විශාල ට්‍රක් රථ, ඩබල් කැබ් රථ සහ ජීප් රථ ද ඇතුළට යති. එළියට එති. උමගයේ ඇතුළත ටියුබ් ලයිට්දමලා ය. එබැවින් පොළොව යට සිටිය ද. කිසිදු අඳුරක් නැත්තේ ය. හරියට මහ දවල් වාගේ ය. දොර දෙකේ බස් රථයක් පදවා ගෙන යන්නට තරම් උමග උස මහත ය. උමගය තුළින් ගලන වතුර ඉවත් කිරීම පිණිස නිරන්තරයෙන් ම එළියට පොම්ප කෙරේ. ඇතැම් වලකින් වතුර ඉසින්නේ ගැමියන් අතර ජබොස් මාදිලියයයි ප්‍රකට ජලයේ ගිල්වන යන්ත්‍ර මගිනි. කුකුළේ දිගින් කිලෝමීටර් 5.71ක් පමණ වන බව මීට පෙර ද සඳහන් කළෙමු. විදුලිය නිපද වීමෙන් පසුව ජලය පිටතට ගෙන යන්නේ ද උමගයක් ඔස්සේ ය. එය ද කිලෝමීටර් 1.5ක් පමණ දිග ය.

කිලෝමීටර් හයකටත් වඩා අඩු උමගයක හැටි සුබාව එහෙම නම්, කිලෝමීටර් 28ක් දිගැති උමගයක සාර සුබාව කොහොමට හිටීවි දැයි ලියුම්කරුට කල්පනා වේ. සිහිපත් වන්නේ ම, ‘උම්මග්ග ජාතකයෙහිඑන දීර්ඝ උමං මාර්ග වර්ණනාවයි!

 

 


 

කුකුළේ ප්‍රධාන උමග ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව පැවරී තිබුණේ ස්වීඩනයමුල්කර ගත් ස්කන්ස්කා’  නම් ජාත්‍යන්තර ඉදි කිරීම් සමාගමට ය. ඊට පෙර ද ශ්‍රී ලංකාවේ උමං කැණීම් හා භූගත ජල විදුලිබලාගාර ඉදි කිරීම් වැඩවලට දායකත්වය දී තිබුණු ස්කන්ස්කාසමාගම, කුකුළේ ව්‍යාපෘතියට ද තෝරා ගෙන තිබුණේ ය. කොත්මලේ, ලංකාවේ ප්‍රථම භූගත ජල  විදුලි බලාගාරයයි. එය ඉදි කළේ ද ස්කන්ස්කාය. ඔවුහු ලොව අංක එකේ උමං කණින්නන්ලෙස මහා පරිමාණ ඉංජිනේරු සහ ඉදි කිරීම් ක්ෂේත්‍රයෙහි ප්‍රසිද්ධව සිටියහ.

ඕවරෝල්ඇඳුම් ඇඳ, හිසට හෙල්මට් දමා, සපත්තු ද පැළඳ සිටිය යුතු වීම, උමගේ නීතියකි. බොහොමයක් දෙනෙකු පැළඳ සිටි හෙල්මට්වල කුඩා විදුලි පන්දමක් ද සවිකර තිබිණි. මාධ්‍යවේදීන් කණ්ඩායම උමගය ඇතුළට කැඳවා ගෙන ගියේ ද ඒ ආකාරයට සරසවා ගෙන ය. ගමන සිදු වූයේ වායු සමනිත වෑන් රථවලිනි. උමගේ ඇතැම් ස්ථානවල අපේ මහා මාර්ගවල මෙන් පාකින් ඒරියා, වාහන අතරමගින් හැරවීම සඳහා ඉඩකඩ පුළුල් කළ ස්ථාන ද දක්නට ලැබුණේ ය. උමගය ඇතුළේ සන්නිවේදන කටයුතු කෙරුණේ වෝකිටෝකියන්ත්‍ර ආධාරයෙනි.

භූගත උමං මාර්ග පිළිබඳ කතා පුවත් උඩරට රජවරුන්ගේ පාලන සමයන්හි ද  පැවති බව අසන්නට ලැබේ. යම් සතුරු උපද්‍රවයක දී ආරක්ෂා සහිතව පලා යාම හෝ සැඟවී සිටීම, වටිනා බඩු භාණ්ඩ සඟවා තැබීම සහ අප ජලයබැසයන මගක් ලෙස භාවිතා කිරීම ඒවා පවත්වා ගෙන ගිය බව ඉතිහාස පුවත්වල කියැවෙයි. මහනුවර නගරයෙහි පැවති පැරණි උමං පද්ධතියක කොටස් මෑතක දීත් හමු විණි. උඩරට රාජ්‍යයේ අවසන් කාලයේ සබරගමුවේ මහ දිසාවේ තනතුර දැරූ ඇහැලේපොළ මහ නිලමේවිසින් කළ උමං මාර්ගයක් ගැන තොරතුරු රත්නපුරයේ දී අසන්නට ලැබේ. කෝට්ටේ රාජධානි සමයේ ද උමං මාර්ග භාවිත කළ බවට තොරතුරු ඇත.

අපේ රටේ සම්ප්‍රදායික මැණික් පතල් සහ මිනිරන් හෑරීමේ කර්මාන්තයෙහි ද දෝනාහමු වෙයි. පොළොව යටින් තිරස් අතට විහිදෙන ඒවා ඒ තරම් දිග නැත. මැණික් පතල් සහ මිනිරන් පතල් ක්ෂේත්‍රයේ දී දෝනායයි හැඳින් වුව ද ඒවා ද උමංයයි හැඳින් වීමට පුළුවන. රත්නපුර දිස්ත්‍රික්කයෙහ,ි කළුතර දිස්ත්‍රික් අන්තයෙහි දී කළු ගඟ ආශ්‍රිතව හමුවන දුම්බර මිනිරන් පතල් සංකීර්ණයෙහිද එවන් ප්‍රසිද්ධ දෝනාවක් තිබේ. එය කළුගල් දෝනාවයි’. එහි වැඩ කළ පතල්කරුවන් මහත් පරිශ්‍රමයක් දරා කළු ගලක් විද ගෙන ගොස් මිනිරන් ඉල්ලමක් පාදා ගෙන තිබේ. ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යටයන්වෙන් ඇරඹෙන මිනිරන් පතල් කවිය නිර්මාණය කෙරී ඇත්තේ එයිනි. 1990 දශකය මුල් භාගයේ දිනක ඇල්ලගාවා පදිංචි ගුරුවරයෙකු වන සරත් දවුන්ඩසේකර ද සමග ලියුම්කරු කළුගල් දෝනාව නරඹන්නට ගියේ ය. පිවිසුම නටබුන්ව ගිය ද, දෝනාවේ ඇතුළත බස් රථයක් වුවත් පදවා ගෙන යන්නට තරම් ඉඩකඩ තිබේ. දෝනාව ඇතුළත අන්ධකාර ය. එහි පත්ලෙන් කුඩා දොළ පාරක් බඳු වතුර දහරක් ගලා යයි. ඒ මදිවාට එය දැන් වවුලන් දහස් ගණනකගේ ජනාවාසයකි. අපට විදුලි පන්දම් ආධාරයෙන් මීටර් සියයක් පමණ දුරක් දෝනාව ඇතුළට ගමන් කරන්නට හැකි විය.  රත්නපුර-පානදුර පාරේ ඇල්ලගාවා මංසන්ධියෙන් කළු ගඟ තරණයකර හැරී ගිය විට, කළුගල් දෝනාව දැනුදු දැකිය හැකි ය. එහි පිවිසුම නම් දැන් හොඳටම අබලන්ව ගොසිනි. දුම්බර මිනිරන් පතල්සරුසාරව තිබී ඇත්තේ බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ ය.

රත්නපුරය, ගම්පහ, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල එකල මිනිරන් පතල් තිබී ඇත. ඒවායෙහි පැවති දෝනා  අදත් වරින්වර හමු වේ.

පාරම්පරික මැණික් හෝ මිනිරන් පතල් කර්මාන්තයේ දී පොළොව යටට වලවල් බැස, තිරස් අතට දෝනා කැණීම වෙනම තාක්ෂණයකි. එබඳු දෝනා එක්කෝ මිනිසෙකුට සිටගෙන යාමට තරම් උස ය. නැතිනම් උක්කුටිකව ගමන් කිරීමට හැකි වන සේ දෝනාව සකස් කෙරේ. දෝනාව කොතෙක් උසට කණිනවා ද යන්න තීරණය වන්නේ මැණික් හෝ මිනිරන් ඉල්ලම පිහිටා ඇති ආකාරය සහ එම ස්ථානයේ පසෙහි ස්වභාවය අනුව ය. ඒවායෙහි ඇතුළත ආලෝකය පිණිස ද, ‘ඔක්සිජන් වායුවඇති නැති නියාව දැන ගැනීමට ද පාවිච්චිකර ඇත්තේ ඉටිපන්දම්ය. ඒවා සාමාන්‍ය ඉටිපන්දමකට වඩා මහත ය. හඳුන්වන්නේ පතල් ඉටිපන්දම්යනුවෙනි. ඉටිපන්දම නිවෙනවානම් එතැනින් එහාට ඔක්සිජන්හීන බව පතල්කරුවෝ දනිති. ඉන් පසුව ආරක්ෂක පියවර ගනු ලැබේ!

පතල් දෝනාව දීර්ඝ එකක් නම්, මුල් පතලයට ටිකක් ඇතින්, දෝනාවට එක එල්ලේ සිරස් අතට හුළං වලක්කණිනු ලැබේ. එය ද පතල් වලක් බඳු ය. එය දෝනාවට සම්බන්ධ කෙරෙයි. මෙය අලුත් වාතය දෝනාවට ලබා ගැනීමේ පාරම්පරික උපක්‍රමයකි. වර්තමානයේ නම් රත්නපුරයේ මැණික් පතල් සහ දොඩම්ගස්ලන්දේ කහටගහ’, ‘කොලොන්ගහආදී මිනිරන් පතල්වලට විදුලි ආලෝකය ද, යන්ත්‍ර මගින් ඔක්සිජන් ද සැපයේ.

මෑත කාලීනව අපේ රටේ උමං කැණීම් ඇරඹුණේ කැලණි ගඟ ඉහත්තාවේ ලක්ෂපාන ජල විදුලිබල ව්‍යාපෘතියඉදි කිරීමත් සමගිනි. එය නිර්මාණය කෙරුණේ ඩී. ජේ. විමලසුරේන්ද්‍ර නම් ප්‍රවීණ ඉංජිනේරුවරයාගේ සැලසුමක් අනුව ය. මෙහි දී ලක්ෂපාන විදුලි බලාගාරයට’ (පැරණි ලක්ෂපාන විදුලි බලාගාරයට) දියවර ගෙන ඒම සඳහා කිලෝමීටර් 3.8ක් දිගැති උමගක් තැනවිණි. කාසල්රී ජලාශයේ සිට නව ලක්ෂපානවිදුලි බලාගාරයට දියවර ගෙන ඒම සඳහා කිලෝමීටර් 6.0ක තවත් උමගක් ඉදි කෙරිණි. ඒවා ඉදි කෙරුණේ 1960 දශකයේ අග භාගයේ ය.

එයින් පසුව 1970 දශකය මුල් භාගයේ දී මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපාරයටමුල පිරුණි. ඒ යටතේ මහවැලි ගඟේ ඉදි වුණු පොල්ගොල්ල වේල්ලේ සිට, උකුවෙල විදුලි බලාගාරය දක්වා දිය ගෙන ඒම සඳහා 1976 දී කිලෝමීටර් 8.06ක් දිග උමගක් නිර්මාණය කෙරිණි. එහි කැණීම් කළේ ඉන්ග්‍රානම් යුගෝස්ලෝවියානු සමාගමකි. වර්ෂ 1977න් පසුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයකඩිනම් කෙරුණි. එයින් වික්ටෝරියා (වික්ටෝරියා වේල්ල ඉදි කළේ බැල්පර් බීටිනම් බි්‍රතාන්‍ය සමාගමයි), බෝවතැන්න, රන්දෙණිගල, රන්ටැඹේ, කොත්මලේ සහ ඉහළ කොත්මලේ වශයෙන් ඉහළ කඳුකරයෙහි ජල විදුලි බලාගාර ගණනාවක් ඉදි විය. මින්, බෝවතැන්න විදුලි බලාගාරයෙන් පිට කෙරෙන ජලය කලාවැව නිම්නයට හරවා යැවෙන ලෙනදොර උමගයකිලෝමීටර් 6.85ක් දිග ය. වාරි ඉංජිනේරුවරයෙකු වන ආරියතිලක පීරිස්ට මතක හැටියට, එය ඊ. ඩී. ඊ.නම් සමාගමකි. 1984 වසරේ විවෘත කෙරුණු කොත්මලේ විදුලි බලාගාරයේ උමග කිලෝමීටර් 6.08ක් ද, වික්ටෝරියා විදුලි බලාගාරයට දිය සැපයෙන උමග, කිලෝමීටර් 5.06ක් ද දිග ය. 

 

 


2012 වර්ෂයේ විවෘත වුණු ඉහළ කොත්මලේ විදුලි බලාගාර උමගය කිලෝමීටර් 13ක් දිග ය. මහවැලියේ රත්කිඳ ජලාශයේ සිට මාදුරු ඔය ජලාශයට දියවර ගෙන යන්නේ කිලෝමීටර් 5.72ක් දිග උමගකිනි. එය ඉදි කළේ කැනේඩියානු සමාගමකි. රන්දෙණිගල, රන්ටැඹේ සහ සමනලවැව ජල විදුලිබලාගාර ආශ්‍රිතව දියවර ගෙනයාම පිණිස විවිධ පරිමාණ උමං තනා තිබේ. පසුගිය කාලයේ විවෘත කෙරුණු මොරගහකන්ද ව්‍යාපෘතියේ ද උමං කිහිපයක් ඇත. ඒවායෙහි සමස්ත දිග කිලෝමීටර් නමයක් පමණ වේ. නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව තවමත් ඉදි වෙමින් පවතින උමාඔය ව්‍යාපෘතියඉරාන රජයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන්නකි. එහි ද ප්‍රධාන උමං හතරක් ඇති අතර. ඒවායෙහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 26ක් පමණ වේ. ඉදි කිරීම් කෙරෙන්නේ ඉරානයේ ෆාරාබ්සමාගමයි.

වර්තමානයේ උමං කැණීම් කෙරෙන්නේ නවීන යන්ත්‍ර සූත්‍ර මගිනි. බොහොමයක් අවස්ථාවල උමගය දිශාගත කෙරෙන්නේ දැඩි පාෂාණ ස්තරයක් ඔස්සේ ය. යන්ත්‍ර මගින් උමං මුහුණතෙහි ඇති කරන සිදුරුවලට වෙඩි බෙහෙත් පුරවා, ප්‍රවේශමෙන් පුපුරුවා හැරීමෙන් කැණීම කිරීම මෙහි ක්‍රමවේදයයි. පිපිරීමෙන් කුඩා කැබිලිතිවලට බිඳී යන පාෂාණ කොටස් ට්‍රක් රථ මගින් උමගයෙන් පිටතට රැගෙන එනු ලබයි. උමං ඇතුළත වැඩ කිරීම සඳහා වෙසෙස් පළපුරුද්දක් අවශ්‍ය ය. ඒ සඳහා බඳවා ගන්නේ ද පළපුරුදු උමං කණින්නන් ය.

මේවා, ජල විදුලිබලාගාරවලට දිය රැගෙන යාම හෝ එයින් දිය පිට කිරීම සඳහා ඉදි කෙරුණු භූගත උමං ය. එහෙත් මහාමාර්ග සහ දුම්රිය මාර්ගවල ද උමං ඉදිකර තිබේ. කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව, ගම්පොළ-නුවරඑළිය මාර්ගයේ රම්බොඩ උමග (මීටර් 225), හැටන්-බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන සිංගිමලේඋමගය (මීටර් 590), කොළඹ-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ කැකණදුර නාකුට්ටියගම උමගය (මීටර් 615) ඒවාට නිදසුන් ය.

උමගය දිග නම් බොහෝවිට කෙරෙන්නේ කණ්ඩායම් දෙකක් වශයෙන්, දෙපැත්තෙන් හාරා ගෙන යාම ය. ඒවා සිදු වන්නේ අතිශයින් ම නිවැරදි මිණුම් අනුව ය. ඒ අනුව, පොළොව යට යම් නිශ්චිත ස්ථානයක දී කැණීම් කණ්ඩායම් දෙක එකට මුණගැසෙති. එය ප්‍රිය සාදයක ආකාරයෙන් සැමරීම සිරිතයි!

0000000000000000000

2021/03/27

 

 

 

Wednesday, February 17, 2021

‘සිරස ලක්ෂපති’ ජයගත් ශුක්රා දැරිය අහම්බයක් නොවේ! ඇය ගාල්ල, උණවටුණ වෙරළබඩ උගතුන්ගේ තීරුවේ අලුත් ම නියෝජනයයි

 


සිරස ලක්ෂපතිජයගත් ශුක්රා මුනව්වර් දැරිය අහම්බයක් නොවේ!

ඇය ගාල්ල, උණවටුණ ඔස්සේ දිවෙන,

වෙරළබඩ උගතුන්ගේ තීරුවේ අලුත් ම නියෝජනයයි

 


(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

ගාල්ල, වියත් කලාකරුවන් සහ විද්වතුන් රාශියකගේ උපන් බිමයි. ඒ අතරින් තවත් ගාලු වියතුන් තිදෙනෙකු ඉකුත් දිනවල අපෙන් සමුගෙන ගියහ. වර්ෂ 1921 දී ගාල්ලේ කොග්ගල උපන් මහාචාර්ය සිරිමල් රණවැල්ල, 1922 දී උණවටුනේ ජන්ම ලාභය ලැබූ කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස සහ ගිංතොට දී 1937 වසරේ උපත ලද මහාචාර්ය බන්දුසේන ගුණසේකර, ඒ තුන් දෙනා ය. මින් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා 2020 වසරේ දෙසැම්බර් 26 වැනි දාත්, මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා 2021 ජනවාරි 06 වැනි දාත්, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා 2021 ජනවාරි 22 වැනි දාත් මියැදී තිබුණේ ය.

ඔවුන්ගේ අභාවයන් සමගම, ගාලු ජන සමාජයේ කතාබහට ලක් වූ තවත් සිදු වීමක් වූයේ උණවටුණේ, කටුගොඩ පදිංචි දාහත් හැවිරිදි පාසැල් සිසුවියක් සිරසරූපවාහිනී නාලිකාවේ ජනප්‍රිය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වූ සිරස ලක්ෂපතිජයග්‍රහනය කිරීමයි. මාගාල්ලේ සුධර්මා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටින ඇය, 2021 ජනවාරි 25 වැනි දා පැවති ලක්ෂපතිවැඩ සටහනින් ජය ලබා රුපියල් මිලියන දෙක ම දිනා ගත්තා ය. ඇය ශුක්රා මුනව්වර් මෙනවියයි’. ඇය වැඩ සටහනෙහි දී පිළිතුරු දෙමින් හැසිරුණු ආකාරය, මුළු රටේ ම ප්‍රසාදයට හේතු විණි.

ශුක්රාලක්ෂපති වැඩ සටහන අතරතුර දී පැවසූ ආකාරයට, ඇගේ පියා ලෙඩ ඇඳේ ය. තමන්ට සියලු දෑ සරිකර දෙන්නී ඇගේ මෑණියන් ය. ඔවුන්ට අගහිඟකම් එමට ය. කොරෝනා වසංගතයනිසා දැන් අධ්‍යාපන ක්‍රියාවලිය සිදු වන්නේ ඔන් ලයින්ක්‍රමයට ය. එහෙත් ඇයට ඒ සඳහා මුහුණ දීමට වත්කමක් නැත. ශුක්රා දියණිය සිරස ලක්ෂපතියටගොඩ වැදී ඇත්තේ ලැප්ටොප් පරිගණකයක්මිල දී ගැනීමට මුදල් සොයා ගැනීමේ අපේක්ෂාවෙනි. පාසැල් දරුවන් බොහොම දෙනෙක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ද ඇය සඳහන් කළා ය. ඇගේ ජයග්‍රහනය වාර්තා කෙරුණේ ජනවාරි 25 වැනි දා ය. එදා පටන් ශුක්රා සමාජ මාධ්‍යවල කතාබහට සහ අවධානයට ලක්ව සිටින්නී ය. 

ශුක්රා උපන් උණවටුණ, ගාලු දිසාවෙන් රටට බිහිවූ වියතුන් විශාල පිරිසකගේ නිජබිම ය. ගාලු නගරයේ සිට අහංගම දක්වා වෙරළබඩ තීරුව ගත් විට, ගිහි පැවිදි වියතුන් රැසක් මුණගැසෙති. සමස්ත ගාලු දිස්ත්‍රික්කය ම ගත් විට, වියතුන්, සාහිත්‍යකරුවන්, කලාකරුවන් ආදී උගතුන්ගේ පාරාදීසයක් බඳු ය. ඒ අර්ථයෙන් ගත් කල, මහාචාර්ය සිරිමල් රණවැල්ල, මහාචාර්ය බන්දුසේන ගුණසේකර සහ ආචාර්ය එඩ්වින් ආරියදාස යනු සුවිශේෂ චරිත බව කිවයුතු ය.

සිරිමල් රණවැල්ල සහ එඩ්වින් ආරියදාස දෙපල ද උපන්නේ කොග්ගල සහ ඊට නුදුරින් පිහිටි උණවටුණ ප්‍රදේශයේ ය. මහාචාර්ය සිරිමල් රණවැල්ල මූලික අධ්‍යාපනය ලබන්නේ උණවටුණේ සිංහල බෞද්ධ මිශ්‍ර පාසැලෙනි’. ඔහු වර්ෂ 1953 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසයවිෂය හදාරයි. රණවැල්ලගේ උනන්දුව ශිලා ලේඛනසම්බන්ධයෙනි. පසුව ඔහු සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් එවකට විද්‍‍ේ‍යා්දය විශ්ව විද්‍යාලයට (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) එක් වෙයි. ඒ අතර බි්‍රතාන්‍යයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හදාරයි. රටට ප්‍රසිද්ධ මහාචාර්ය සිරිමල් රණවැල්ල ඉතිහාසඥයෙකි. රුහුණේ ඉතිහාසය සම්බන්ධ විද්වතෙකි. ඔහු ලියූ පර්යේෂණ ග්‍රන්ථ ද ගණනාවකි.

ආචාර්ය එඩ්වින් ආරියදාසයන් ද මුල් අධ්‍යාපනය ලබන්නේ උණවටුණේ සිංහල බෞද්ධ මිශ්‍ර පාසැලෙනි’. ඉන් පසුව උණවටුණේ බොනවිස්ටා විද්‍යාලයෙනි’. එතැනින් ඔහු කොළඹ විශ්ව  විද්‍යාලයට ඇතුළු වෙයි. එහි දී ඔහු මහාචාර්ය ඊ. එපේ. සී. ලුඩොවයික් මහතා යටතේ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නේ ය. විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසුව එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට’ (ලේක්හවුස්) බැඳුණු ඔහු පුවත්පත් කලාවේදියෙකු වශයෙන් නැගී ආවේය. මාධ්‍ය ගුරුවරයෙකු, විදෙස් විත්ති විචාරකයෙකු, කලා විචාරකයෙකු සහ ලේඛකයෙකු වශයෙන් විවිධ භූමිකාවන්ට පණ දුන්නේ ය. එඩ්වින් ආරියදාස මහතා ප්‍රකටව සිටියේ ඇවිදින විශ්ව කෝෂයක්යනුවෙන් මහත් ගරු බුහුමනිනි.

මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා පදිංචිව සිටියේ ගාල්ල නගරයේ ය. ඔහුගේ උපන් ගම, ගාල්ලට නුදුරු ගිංතොට ය. දඩල්ලේ ගා/දේවානම්පියතිස්ස විද්‍යාලයෙන් දෙටුපෙළ සමත් වන  බන්දුසේන ගුණසේකර, ‘ආධුනික ගුරුවරයෙකුවශයෙන්  වර්ෂ 1951 දී වැල්ලේතොට සුගතානන්ද විද්‍යාලයට එක් විය. ඉන් පසුව ගම්පහ, නිට්ටඹුව ගුරු විදුහලට බැඳී වැඩිදුර ගුරු පුහුණුව ලබා, එතැන් සිට ගුරු වෘත්තියෙහි නියැලුණේ ය.

බන්දුසේන ගුණසේකරයන් ඉක්බිති, වැඩිදුර අධ්‍යාපනය පිණීස වර්ෂ 1959 දී ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට’ (වර්තමාන කැළණිය විශ්ව විද්‍යාලය) බැඳුණි. එයින් ඔහු ප්‍රථම උපාධිය ලැබී ය. සිංහල භාෂාව සහ සාහිත්‍ය සම්බන්ධයෙන් ඔහුට තිබුණේ විශාල උනන්දුවකි. හෙතෙම, 1968 දී සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට එක් විණි. පසුව බන්දුසේන ගුණසේකර සූරීහු එහි සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා බවට පත් විය. ඔහු 1971 දී එංගලන්තයට ගොස්, ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ගත්තේ ය. 1985 වසරේ අධි ශිෂ්‍යත්වයක් ලැබ සෝවියට් දේශයට ගිය ගුණසේකර මහතා, එ රට පුෂ්කින් භාෂා අධ්‍යන ආයතනයෙන්ද වැඩිදුර අධ්‍යාපනය ලැබී ය. විශ්‍රාම යෑමෙන් පසුව ද ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ උපදේශක මහාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කළේ ය. මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා විසින් රචනාකර ඇති ග්‍රන්ථ සංඛ්‍යාව සියයක් පමණ වේ.

සිරස ලක්ෂපතිදිනූ ශුක්රා මුනව්වර්දැරිය උපන් කටුගොඩ ද පිහිටියේ උණවටුණට අයත්ව ය. එය ගාලු දිසාවෙන් බිහිවුණු විද්වතුන්, වියතුන් සහ කලාකරුවන් විශාල පිරිසකගේ ද නිජබිම ය. ගාලු නගරයේ සිට අහංගම දක්වා වෙරළබඩ තීරුව ගත් විට, ගිහි පැවිදි වියතුන් රැසක් මුණ ගැසෙති.

ශ්‍රී ලංකාව් ජල විදුලිබලාගාර නිර්මාණයේ පුරෝගාමියා වූ ඩී. ජේ. විමලසුරේන්ද්‍ර (1874-1953) ඉංජිනේරුවරයා ද, ලොව පතළ විද්‍යාඥයෙකු වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1923-1994), මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914-1996), සංගීතඥයෙකු වූ මොරිස් දහනායක (1935-2013), ළමා කතා හා කාටුන් ශිල්පිනී සිබිල් වෙත්තසිංහ (1928-2020), ලංකාවේ වීදි නාට්‍ය කලාවේ පුරෝගාමියා සේ සැලකෙන මහාචාර්ය ගාමිණී හත්තොටුවේගම  (1938-2009) යන විද්වතුන් බිහි වූයේ ද ගාල්ලෙනි. ලංකාවේ ඉංග්‍රීසි නාට්‍ය කලාවේ සහ නූතන නාට්‍ය කලාවේ පුරෝගාමියා සේ සැලකෙන මහාචාර්ය ඊ. එපේ. සී. ලුඩොවයික් මහතා (1906-1985) ද හැදී වැඩුණේ ගාල්ලේ ය.

මුලින් සඳහන් කළ මහාචාර්ය සිරිමල් රණවැල්ල සහ ආචාර්ය එඩ්වින් ආරියදාස දෙපළගේ උපන් බිම ද කොග්ගල සහ උණවටුණ ය. ඊට අමතරව, මහාකවි මිහිරිපැන්නේ ධම්මරතන නාහිමියන් (1768-1851), කොග්ගල පඬිතුමා හෙවත් දොන් අන්ද්‍රයස් ද සිල්වා (1827-1867), මහාචාර්ය සෙනරත් පරණවිතාන (1896-1978), මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ (1890-1976), මහාචාර්ය සේනක විලියම් බිබිලේ (1920-1977), සාහිත්‍යසූරී අරීසෙන් අහුබුදු (1920-2011), හෙළ හවුලේ  ද. දු. න. වීරකෝන්, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ (1929-1997), මහාචාර්ය ඩී. වී. ජේ. හරිශ්චන්ද්‍ර (1938-2013), කෝදාගොඩ ඤාණාලෝක නාහිමි, ප්‍රවීණ ලේඛක පී. මලල්ගොඩ (1921-1985), ප්‍රවීණ පුවත්පත් කලාවේදී කිත්සිරි නිමල්ශාන්ත (1956-2002), සර්වෝදයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න (1931), ප්‍රවීණ ලේඛක අනදපිය කුඩාතිහි ඇතුළු විද්වතුන් රැසක් ඒ අතර වේ. ඔවුන් එක්කෝ අහංගම ය. නැතිනම් කතළුවේ ය. කොග්ගල හෝ මිහිරිපැන්නේ ය. නැතිනම් උණවටුණේ ය.  මහා පත්‍ර කලාවේදී ඩී. බී. ධනපාලයන් (1905-1971) , ගාලු මහින්දයේ ඉගෙන ගන්නා කාලයේ නැවතී සිටියේ ද උණවටුණේ ය. ලෝක ප්‍රකට අභ්‍යවකාශ විද්‍යාඥයෙකු වන ආචාර්ය ආතර් සී. ක්ලාක් ද කලක් උණවටුණේ නිවසක ලැගුම් ගෙන සිටි බව ප්‍රකට ය.

කොග්ගල වෙල්ලාල ජයමහ කවියා, ලේඛක ඒ.  ටී. සී. ජිනදාස, විශේෂ`ඥ හෘද උරස් ශල්‍ය වෛද්‍ය, නාමල් ගමගේ, චන්ද්‍රකුමාර වික්‍රමරත්න කවියා (1964-1990), කුමාර හෙට්ටිආරච්චි කවියා, ජන ගී ගායක සමන් ලෙනින් කුමාර, නාටය කලාකරුවෙකු වන පී. එච්. ඩේවිඩ්, සහරිසි කුලතන්තිල කවියා, මිහිරිපැන්නේ කිත්සිරි කුමාරසිංහ කවියා ද උපන්නේ උණවටුණේ හෝ ඒ අවට ගම්වල ය.

මේ ඉසව්වෙන් බිහි වූ ව්‍යාපාරිකයන් ද බොහොම දෙනෙකි. උණවටුණ අමරගිරි වලව්වේවාසය කළ  වැවිලිකරුවෙකු වූ මුහන්දිරම් මහේන්ද්‍රපාල තෝමස් ද සිල්වා අමරසූරිය (1847-1907), බඩු භාණ්ඩ අපනයන ව්‍යාපාරයක යෙදුණු පවුලක සාමාජිකයෙකුවූ, ශුක්රා දැරියගේ නිජබිමවූ කටුගොඩ  උපන්  අල්හාජ් ඒ. ආර්. එම්. තාසිම්, ‘ට්‍රයැඩ්’, ‘දෙරණ මාධ්‍ය ජාලය’, ‘සිට්‍රස් සංචාරක හෝටල් ව්‍යාපාරයසහ ජොර්ජ් ස්ටුවට්ඇතුළු වෙළෙඳ ව්‍යාපාර ගණනාවක ම හිමිකරුවා වන දිලිත් ජයවීර ද ඔවුන් අතර කැපී පෙනෙයි.

බඩු භාණ්ඩ අපනයන ව්‍යාපාරයක යෙදුණු පවුලක සාමාජිකයෙකුවූ අල්හාජ් ඒ. ආර්. එම්. තාසිම් මහතා, 1909 වසරේ ගාල්ල කටුගොඩ දි උපත ලැබී ය. ඔහු දානපතියෙක් සහ සමාජ සේවකයෙක් හැටියට ද ප්‍රකට වුවෙකි. ගාල්ලේ ඒ. ආර්. අබ්දුල් හමීඩ් සහ පුත්‍රයෝසමාගම ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරය විය. එයින් ගාලු වරාය ඔස්සේ රබර්, කොප්පරා සහ පොල් තෙල් ආදී භාණ්ඩ අපනයනය කෙරිණි.

පසුව තාසිම් මහතා ගාලු නගරසභාව ඔස්සේ දේශපාලනයට ද පිවිසියේ ය. ඔහු වර්ෂ 1950-1951 සහ 1954-1962 යන වකවානුවල ගාල්ලේ නගරාධිපති ධුරය ද හෙබවී ය. හෙතෙම බි්‍රතාන්‍යයේ OBEගරු නාමධාරියෙකි. ගාල්ල, වක්වැල්ල පාරේ පිහිටි තාසිම් ළය රෝහලඉදිකර ඇත්තේ ඔහුගේ ධන පරිත්‍යාගයෙනි. ඒ. ආර්. එම්. තාසිම් මහතා 1963 වර්ෂයේ අභාවප්‍රාප්ත විය. සිරස ලක්ෂපති දිනූ ශුක්රා සහ තාසිම් එක ගමේ ය.

දැනට ගාල්ලේ ඇති පැරණිතම පාසැල රිච්මන්ඩ් විද්‍යාලයයි’. එය ආරම්භ කෙරී ඇත්තේ වර්ෂ 1814 දී ය. ඉන් පසුව රිපන් බාලිකා විද්‍යාලය (1817), ගාලු කොටුවේ ඕල්සේන්ට් විද්‍යාලය (1871), ශාන්ත මේරි විද්‍යාලය (1874), මහින්ද විද්‍යාලය (1892), කළුවැල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලය (1895), ශ්‍රී හෘදය කන්‍යාරාමය (1896) සහ වක්වැල්ල පාරේ සංඝමිත්තා විද්‍යාලය (1919) ද ඇරඹිණි. ගාල්ලෙන් බිහි වුණු උගතුන් අඩු වැඩි වශයෙන් අධ්‍යාපනය ලබා ඇත්තේ මේ පාසැල්වලිනි.

එකල උණවටුනේ ජනප්‍රියතම පාසැල වූයේ බොනවිස්ටා විද්‍යාලයයි’. රූමස්සල කන්දට පිවිසෙන බොනවිස්ටා මාර්ගයේ මද දුරක් ගමන් කළ විට, පැරණි බොනවිස්ටා විද්‍යාලයහමුවේ. මිෂනාරී ඉංග්‍රීසි පාසැලක්වශයෙන් එය ආරම්භකර ඇත්තේ වර්ෂ 1847 දී ය. එනම් බි්‍රතාන්‍ය පාලන සමයේ ය. පාසැල ආරම්භ කරන්නට පුරෝගාමීවී ඇත්තේ මාක්ස්නම් පියතුමෙකි.

ඉංග්‍රීසි බසින් ඉගැන්වීම් කෙරුණු බොනවිස්ටා විද්‍යාලය, එකල ගාලු ප්‍රදේශයේ බොහොම ජනප්‍රිය පාසැලක් විය. එය බොනවිස්ටා ඉංග්‍රීසි පාඨශාලාවලෙස ද හැඳින්විණි. වර්ෂ 1869 දී බොනවිස්ටාව වැඩි දියුණු කළ පාසැලක් බවට පත් විය. පසුකාලීනව එය රජයට පවරා ගනු ගැනුණි. වර්තමානයේ එය රජයේ පාසැලකි.

එකල බොනවිස්ටා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අය අතර, ප්‍රථම ශ්‍රී ලාංකික ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, මහාචාර්ය සෙනරත් පරණවිතාන, හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, සර්වෝදයේ නිර්මාතෘ ඒ. ටී. ආරියරත්න, ජ්‍යෙෂ්ඨ කලාකීර්ති එඩ්වින් ආරියදාස සහ සාහිත්‍ය සූරී අනදපිය කුඩාතිහි ආදී කීර්තිමත් පුද්ගලයන් ද වෙති.

මාල දිවයිනේ හිටපු ජනාධිපති, ‘මව්මූන් අබ්දුල් ගයුම්’ (Mamoon Abdul Gayoom) මහතා ද මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බොනවිස්ටා විද්‍යාලයෙනි. පසුව ඔහු කොළඹ, රාජකීය විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා තිබේ. 1978 වසරේ සිට 2008 වසර දක්වා මාල දිවයිනේ ජනාධිපති ධුරය දැරුවේ ගයුම් මහතා ය.

ගාල්ලේ සිට අහංගම දක්වා වෙරළබඩ තීරුවෙහි උගතුන් රාශියක් බිහි වන්නට, ‘බොනවිස්ටා විද්‍යාලයත්,’ ඒ ඔස්සේ ගාල්ල පුරා හට ගත් අධ්‍යාපනික ප්‍රබෝධයත්, පසුව මහින්ද විද්‍යාලය ආදී බෞද්ධ විද්‍යාල බිහි වීමේ ප්‍රවණතාවයත් හේතුකාරක වන්නට ඇත. අධ්‍යාපනය සම්බන්ධයෙන් කලක පටන් ම ගාල්ලේ පාසැල් අතර පවතින්නේ උග්‍ර තරඟයකි. ගාල්ලේ ජනප්‍රිය පාසැල්වලට යන්නට නො හැකි වන දරුවන්  සඳහා පසු කලෙක ලබුදූවේ සිරිධම්ම, සුධර්මා සහ අනුලා ආදී විකල්ප උසස් පාසැල් පවා බිහි විය.  මේවාට අමතරව ගම් මට්ටමෙන් ද පාසැල් පද්ධතියක් ක්‍රියාත්මක වේ. ඒ සියල්ල ගාලු ජන සමාජයේ දැනුම් සම්භාරය පෝෂණය කිරීම පිණිස හේතු වී යයි කියන්නට පුළුවන.

උණවටුණේ කටුගොඩ ගමේ උපන්, ගාල්ලේ සුධර්මා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශුක්රා මුනව්වර් දැරිය, ‘සිරස-ලක්ෂපතිඔස්සේ පෙන්නුම් කළ දැනුම් සම්භාරය සහ සමාජශීලීත්වය තක්සේරු කළ යුත්තේ කුමන පසුබිමක ද? එය තක්සේරු කළ යුත්තේ ගාල්ලේ සිට අහංගම දක්වා වූ වෙරළබඩ තීරුවෙන් උගතුන් රාශියක් බිහි වුණු පසුබිමක තබමිනි. තමන්ට  මේ තරම් දැනුමක් ලැබුණේ පාසැල් පුස්තකාලයේ ඇති පොතපත කියවීමෙන් බව ද ඇය ලක්ෂපතිවැඩ සටහනේ දී කීවා ය.

ඇය අහම්බයක්නො වන්නී, ඒ තීරුවේ අලුත්ම නියෝජනයයි!

2021/02/17