Total Pageviews

Sunday, October 27, 2019

ගාල්ලේ බෝපේ ‘සිංගප්පූරු ගෙදර’ ඇත්තන්නෙ විත්ති


 ‘සිංගප්පූරුවේ රන් ආභරණ මාටින් 
අතින් හැඩවූ වගයි 









ඉහළ ඡායාරූපය-මාටින් ධර්මපාල මහතා සිය බිරිඳ සහ දරුවන් සමග සිංගප්පූරැවේ දී
පහළ ඡායාරූපය-ධර්මපාල මහතාගේ දෙවැනි පුත් පියදාස, ඔහුගේ දියණිය සමග ඕස්ටේර්‍්‍රලියාවේ දී
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-සුපුන් රංජන)
ගාල්ලේ, කලේගාන, බෝපේ පිහිටි ‘ශ්වේතබිම්බාරාමය’, (පොල්කඳවිල පන්සල) ශ‍්‍රී ලංකාවෙන්  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණයවූ ටී. බී. එලියස් නමැති ලොව සුප‍්‍රකට ‘මුතු’ අලංකරණ ශිල්පියාගේ ධන පරිත්‍යාගයෙන් වැඩි දියුණු කෙරුණු විහාරස්ථානයයි. ඔහු බෝපේ ගමේ ඉපිද  එහි හැදී වැඩුණු තැනැත්තෙකි.  එලියස් මහතා වර්ෂ 1887 දී ශ‍්‍රී ලංකාවෙන් සිංගප්පූරුවට නික්ම ගොස්, 1888 වසරේ දී  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වෙයි. ඉන් පසුව ඔහු ‘මුතු’ කැඞීමේ සහ අලංකරණය කිරීමේ ව්‍යාපාරයක් මෙහෙයවයි. එයින් ඔහු මහා ධන කුවේරයෙකු බවට පත් වේ!

ටී. බී. එලියස් මහතා ගැන සඳහන් කරමින් මේ සටහන පෙළ ගස්වන්නට ආරම්භ කළේ විශේෂ කාරණයකට ය. එනම්, බෝපේ ගමෙන් බිහිවී ජාත්‍යන්තරයට ගිය, ‘ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත‍්‍රයට’ සම්බන්ධ තවත් ගාලූ පුත‍්‍රයෙකු ගැන කියන්නට ය. ඔහු, බෝපේ විසූ ‘මාටින් ධර්මපාල මහතා’ ය. 

ධර්මපාල මහතා කවරෙකු දැයි හඳුනා ගත හැකි යම් සඳහනක්, බෝපේ ශ්වේතබිම්බාරාම විහාරස්ථානයේ ආවාස ගෘහයේ දී දැනුදු දැකිය හැකි ය. එය පැරණි දැන්වීම් පුවරුවකි. දැන්වීම් පුවරුව සකස්කර ඇත්තේ වර්ෂ 1941 දී ශ්වේතබිම්බාරාමයට විදුලි පහන් මිලයට ගැනීම සඳහා බරපැන දැරූ පින්වතුන් ගැන තොරතුරු දැක්වීමට ය. දැන්වීම් පුවරුවෙහි දැක්වෙන ආකාරයට, මාටින් ධර්මපාල මහතා ඒ සඳහා පරිත්‍යාගකර ඇති මුදල රුපියල් සියයකි. එය අංක එකට සටහන්කර තිබේ. ඊළඟට වැඩි ම මුදල පරිත්‍යාගකර ඇත්තේ එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතා ය. ඔහු පරිත්‍යාග කළ මුදල රුපියල් පණහකි. එය අංක දෙකට සටහන්කර තිබේ. එතැනින් පහළට ලියා ඇත්තේ රුපියල් තිහ, විස්ස, දහය ආදී වශයෙන් පරිත්‍යාග කළ පින්වතුන්ගේ නම් ය.

පන්සලට රුපියල් පණහක් පරිත්‍යාග කළ එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතා ප‍්‍රකටව ඇත්තේ දකුණු පළාතෙන් බිහි වුණු මහා ධනවතෙකු වශයෙනි. ඔහු ගාල්ලේ සුප‍්‍රකට අමරසූරිය පවුලේ ප‍්‍රබල පුරුකකි. එහෙත් මාටින් ධර්මපාල මහතා, අමරසූරිය මහතා මෙන් දෙගුණයක මුදලක්, එනම් රුපියල් සියයක් පරිත්‍යාගකර තිබේ. මහා ධනවතෙකු සේ සැලකුණු එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාටත් වඩා මුදලක් පරිත්‍යාග කළ මේ දානපතියා කවරෙක් ද? යන්න, මහත් කුතුහලයක් උපදවයි!
චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය සිය සැමියා ද සමග බෝපේ නිවසේ දී

ලියුම්කරු මේ කාරණය නිරික්ෂණය කළේ 2019 වසරේ පෙබරවාරි මස 02 වැනි දා බෝපේ ශ්වේතබිම්බාරාම විහාරස්ථානයට ගිය අවස්ථාවේ ය. විහාරාධිපති කොටවෙල විමලචන්ද්‍ර හිමියන් එහි දී මුණගැසිණි. උන් වහන්සේ පැවසුවේ, මාටින් ධර්මපාල මහතා බෝපේ ගමෙන් බිහිවී සිංගප්පූරුවට සංක‍්‍රමණය වූ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු බවයි. එසේම  ඔහු සිංගප්පූරුවේ ‘ලංකාරාම පන්සල’ ආරම්භ කරන්නට මූලිකත්වය ගත් කණ්ඩායමේ කෙනෙක් ද වන බවයි. 

පසුව කොටවෙල විමලචන්ද්‍ර හිමියන්ගේ හඳුන්වා දීමෙන්, බෝපේ ලන්දෑව හන්දියේ පදිංචිව සිටින බැසිල් උඩුමලගල මහතා මුණ ගැසීමට හැකි විය. ඔහුගේ මග පෙන්වීම මත ලියුම්කරුට මාටින් ධර්මපාල මහතාගේ පවුලේ අය දැන හැඳින ගැනීමට අවස්ථාව ලැබිණි. 

බෝපේ, ලන්දෑව හන්දියෙන් වටරැක පාරට හැරී මීටර් පණහක් පමණ යන විට, දකුණු පසින් අලූත් පන්නයේ නිවසක් දැකිය හැකි ය. කලකට ඉහත එතැන තිබුණු පැරණි නිවස, ගමේ වහරෙන් නම් ‘සිංගප්පූරු ගෙදර’ ය. එය මාටින් ධර්මපාල මහතාගේ නිවසයි. ඔහු සහ ඔහුගේ පවුලේ බොහොම දෙනෙක් සිංගප්පූරුව සමග සබඳතා පැවැත්වීම එවන් නාමකරණයකට හේතුව ය. ගමේ බාල පරපුර ඔහු හඳුන්වන්නේ ‘සිංගප්පූරු සීයා’ යනුවෙනි.

ගාලූ වරාය සරුසාරව පැවති බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ, ගාල්ලේ ව්‍යාපාරිකයන් බොහොම දෙනෙක් විදෙස් රටවලට ගොස් ධනවතුන් බවට පත් විය.  මාටින් ධර්මපාල මහතා සිංගප්පුරුවට සංක‍්‍රමණය වීම ද එබඳු කතා පුවතකි. 

බෝපේ, කලේගාන, වැකුණගොඩ සහ හීන්පැන්දල යනු එකිනෙකට සමීප ගම් ප‍්‍රදේශයන් ය. අතීතයේ සිට ම ඒවා ප‍්‍රසිද්ධව තිබුණේ, පාරම්පරික කැටයම් කර්මාන්ත ශිල්පීන්ගේ නිජබිම් වශයෙනි. ඒවායෙහි විසූවෝ අනාදිමත් කාලයක් මුළුල්ලේ මැණික් සහ ස්වර්ණාභරණ, ලී, ගල් ආදී කැටයම් කැපීමේ ශිල්ප කලාවන්හි නියැලී සිටියෝ ය. මාටින් ධර්මපාල නමැති ව්‍යාපාරිකයා බිහි වන්නේ ද කලා ශිල්ප සම්බන්ධයෙන් පාරම්පරික උරුමයන් කර පින්නා ගෙන ය. මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ එක්තරා ‘අතුරු වෘත්තියක්’ ඔහුගේ ජීවනෝපාය විය. එය ඉංග‍්‍රීසි බසින් නම් ‘Engraver’ ය. සිංහල බසින් නම් එයට තනි වචනයක් නැත. මැණික් හෝ රනින් නිම කළ මුදු, මාල, පෙන්ඩන් ආදී ආභරණවල සියුම් ‘අකුරු’, ‘මෝස්තර’ හෝ ‘රූප’ කෙටීම මේ වෘත්තියෙහි කාර්්‍යභාරයයි. එය බොහොම දුලබ, දුෂ්කර, සියුම් කලා ශිල්පයකි. මාටින් ධර්මපාල මහතා ද ‘එන්ගේ‍්‍රවර් ශිල්පියෙකි’. කොතෙක්  දස්කම් දැක්වුව ද, මාටින් ධර්මපාල මහතා කිසි දිනක එම ශිල්පය හදාරා නැත. ඔහු එය ප‍්‍රගුණකර තිබෙන්නේ ස්වෝත්සාහයෙනි.

සය දරු පියෙක් වන මාටින් ධර්මපාල මහතා, සිය ජීවිතයේ වැඩි කාලයක් වාසය කළේ සිංගප්පූරුවේ ය. වර්තමානයේ බෝපේ, වටරැක වෙසෙන චන්ද්‍රවතී ධර්මපාල (80) මහත්මිය, ඔහුගේ දූ පුතුන් අතරින් සිවු වැන්නියයි. ඇය සිය පියාණන් ගැන අතීත තොරතුරු දිග හරින්නේ මහත් අභිරුචියෙනි.

‘බෝපේ  ‘වටරැක’ කියන්නේ අපේ තාත්තා උපන් ගමයි. මෙහේ ඉතින් ඔය කැටයම් වැඩට බොහොම ප‍්‍රසිද්ධයි. මුල් කාලේ තාත්තා ‘හරක් ඇටවලින්’ බොත්තම් හදන ව්‍යාපාරයක් කළා. ඒවා කොළඹ ගෙනිහින් අලෙවි කළා. තාත්තාට ඔය බොහොම සියුම් වැඩ හොඳට පුළුවන්. පස්සේ වර්ෂ 1930 දි විතර තමයි තාත්තා සිංගප්පූරුවට සංක‍්‍රමණය වෙලා තියෙන්නේ’, යයි ඇය සිය අතීත මතකයන් සිහිපත් කරන්නී ය. 

සිංගප්පූරුවට ගිය මාටින් ධර්මපාල මහතාට මුලින් ම, යම් යම් ආයතනවල රැුකියා කරන්නට සිදු විණි. එහෙත් කල් යාමේ දී ඔහු සිය ‘එන්ගේ‍්‍රවර්’ වෘත්තිය මුල්කර ගෙන ව්‍යාපාරික කටයුතු ඇරඹී ය. සිංගප්පූරුවේ ඔහුගේ නිවස පිහිටා තිබුණේ ‘සිලිංගි පාර’ ප‍්‍රදේශයේ ‘කැෆේ සිනමාහල’ අසල ස්ථානයක ය. නිවසේ කොටසක ‘එන්ගේ‍්‍රවර් වැඩ පොළ’ ද  පවත්වා ගෙන යනු ලැබිණි.

මාටින් ධර්මපාල මහතාගේ විවාහය සිදුව ඇත්තේ ද සිංගප්පූරුවේ දී ය. ඒ වන විට ද සිගප්පූරුවේ පදිංචිව සිටි පී. ඒ. ලූසි නෝනා නම් ලාංකික තරුණිය ඔහුගේ මනාලිය වූවා ය. ලූසි නෝනා ද බෝපේ ගමේ උපත ලද්දියකි. විවාහය ද සමග මාටින් ධර්මපාල මහතා, ටී. බී. එලියස් මහතාගේ ඥාතිවරයෙක් බවට පත් විය! 

‘අපේ අම්මාගේ (පී. ඒ. ලූසි නෝනා) අක්කා, ඒ කියන්නේ අපේ ලොකු අම්මා විවාහ වෙලා හිටියේ එලියස් සීයාගේ බෑණා කෙනෙකු සමගයි.  ඒක නිසා, එලියස්ගේ බෑණා බැන්ද පවුලෙන් කෙල්ලෙක් ගේන්න  ඕනෑ කියලා අපේ තාත්තලාගේ  පවුලේ අදහසක් කතා වෙලා තියෙනවා. ඔය වෙන කොට අපේ අම්මා පදිංචිවෙලා හිටියේ සිංගප්පූරුවේ. ඉතින් අපේ තාත්තා අපේ අම්මව විවාහකර ගෙන තියෙන්නෙත් සිංගප්පූරුවෙදි මයි’, චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය පවසන්නී ය. 

දැනට අසූ හැවිරිදි වියෙහි පසු වුව ද, ඇයට අතීත විත්ති හොඳින් මතක ය. 

‘එන්ගේ‍්‍රවර් ශිල්පියෙකු’ ලෙස කටයුතු කරන්නට පටන් ගෙන බොහොම කෙටි කලක දී මාටින් ධර්මපාල මහතා සිය දියුණුවේ මාවත පාදා ගත්තේ ය. සිංගප්පූරුවේ  වෙළ-හෙළඳාම් සරුසාර වීමත්, රන් ආභරණ පැළඳීම ජනප‍්‍රිය විලාසිතාවක් පවට පත් වීමත් ඊට හේතුව විය. අනෙක, එකල සිංගප්පූරුවේ ක‍්‍රීඩා තරඟ ආදිය බහුලව තිබිණි. ජයග‍්‍රාහකයන්ට පිදෙන කුසලානවල ‘නම් වාසගම්’ කෙටවුණේ ‘එන්ගේ‍්‍රවර් ශිල්පීන්’ අතිනි. මේ ශිල්පයේ දක්ෂයන් හිඟ ය. එබැවින් මාටින් ධර්මපාල මහතාගේ සාප්පුවට ඉහළ ඉල්ලූමක් තිබිණි. ආභරණවල අකුරු හෝ රූප කෙටීම සම්බන්ධයෙන් අංක එකට ගණන් ගැනුණේ ඔහු ය. ඔහු වැඩ කරන්නේ අතිනි!

මාටින් ධර්මපාල මහතා සහ ලූසි නෝනා යුවළට දරුවන්  හත් දෙනෙකි. දියණිය, ‘ලීලා’ වැඩිමලා ය. ඊළඟට සිරිල් සහ පියදාස යන පුතුන් ය.  ඔවුනට බාල චන්ද්‍රා, කුසුමා සහ විමලා යනුවෙන් තවත් දූවරුන් තිදෙනෙකි. පවුලේ බාල පුතණුවන් වූයේ සුනිල් ය. ‘අපි ඔක්කොම ඉපදුණේ සිංගප්පුරුවේදි’, යයි චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය සිහිපත් කරන්නී ය. 

ඇය සහ ඇගේ සොහොයුරු සොහොයුරියන්  පාසැල් අධ්‍යාපනය ලැබුවේ ද සිංගප්පූරුවෙනි. කුඩා  චන්ද්‍රවතී, ලංකාවට ආවේ පාසැල් අධ්‍යාපනයේ හතර වැනි වසරට ය.   එහෙත් ඇය ද වැඩි කාලයක් ගත කළේ සිංගප්පූරුවේ ය. 

කෙසේ වෙතත් ඔවුන්ට ‘නරක දසාවක්’ උදා වූයේ දෙවැනි ලෝක යුද්ධය (වර්ෂ 1939-1945) එළඹීමත් සමගිනි.  සිංගප්පුරුව එකල බි‍්‍රතාන්‍යයට පක්ෂපාතී රටක් සේ සැලකිණි. එබැවින් නිරන්තරයෙන් ම, ජපන් හමුදාවල තාඩන පීඩන එල්ල විය. ඒවා එ රට වෙළෙඳපොළ තත්ත්වයන්ට ද බලපෑම් ඇති කළේ ය. ඉක්බිති ජපාන රාජකීය ගුවන් හමුදාව 1942 වසරේ දී බෝම්බ හෙළා සිංගප්පූරුව යටත්කර ගත්හ.
චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය, දෙවැනි ලෝක යුද සමයේ අත්දැකීම් මුවට නංවන්නේ මෙසේ ය. 

‘ඔය කාලේ අපට සුද්දන් ගෙන් බොහොම කරදර සිද්ධ වුණා. තාත්තා අපිවත් අරන් පිටිසරකට ගියා. එහේ බංකරේක හැංගිලයි අපි හිටියේ. සුද්දෝ එනවා, චීන්නුත් එනවා. චීන්නු මොනවාවත් කියන්නේ නෑ. ඒ අය හරි නපුරුයි. අපිව රැක ගන්න තාත්තා බොහොම දුක් වින්දා. එක් අවස්ථාවක සැඟවෙන්න ගිහිල්ලා, බිම ඇද වැටිලා කකුලකුත් බිඳුණා’,
මේ කාලයේ සිංගප්පූරුවට ආහාර හිඟයක් ද ඇති විය. එබැවින් මාටින් ධර්මපාල මහතාට සිය දරු පවුල රැක ගැනීම දුෂ්කර එකක් විය. ඔහු කොහේ හෝ ඇවිද ගොස් සහල් ටිකක් ගෙන එයි. ඉක්බිති එයින් කැඳ පිස දරුවන්ගේ කුසගිනි නිවයි. ‘ඒ කාලේ මංඤ්ඤාක්කා අලේ සිවිඞ්ඩ විතරයි නො කෑවේ. මංඤ්ඤාක්කා කොල පවා  කෑවා. කෑම හිඟය ඒ තරම් ම උග‍්‍රයි’, මාටින් ධර්මපාල මහතාගේ පවුලේ අය කියති.
චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය, සිය පියාණන්ට සිංගප්පූරුව අත්හැර එන්නට සිදු වුණු කාරණය ද පැහැදිලි කළා ය.

‘දවසක් තුවක්කු ගත්තු සුද්දෝ කට්ටියක් ඇවිත් අපේ සාප්පුවට අත දික් කරලා මොනවා දෝ කීවා.ඒත් අපේ තාත්තාට ඒක හරියට ඇහිලා නෑ. එයා ඒ ගැන ඇහුවාම, උන් තාත්තාට තුවක්කු ඇල්ලූවා. ඉතින් තාත්තා බය වුණා. ඊට පස්සේ තාත්තා අපිත් එක්ක නැවෙන් ලංකාවට එන්න තීරණය කළා’, චන්ද්‍රවතී මහත්මිය අතීත මතකයන් දිග හරිමින් පවසන්නී ය.

සිංගප්පූරුව දෙවැනි ලෝක යුද්ධයෙන් බැටකන අවස්ථාව වන විට, ලාංකිකයන් විශාල පිරිසක් එ රට විවිධ රැකියා ආදියෙහි නියැලෙමින් උන්හ. යුද්ධයත් සමගම ඒ අයට යළි ලංකාවට එන්නට සිදු විය. එකල ලංකාවේ බලය පතුරුවා ගෙන සිටි බි‍්‍රතාන්‍ය පාලකයෝ ඔවුන් ලංකාවට ගෙන ඒම පිණිස නෞකා තුනක් යෙදවූහ. චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය ඇතුළු මාටින් ධර්මපාල මහතාගේ දරු පවුල ලංකාවට පැමිණියේ එයින් තුන් වැනි නෞකාවේ ය.

දෙවැනි ලෝක යුද්ධය වර්ෂ 1945 වසරේ දී හමාර විය. ඉන් පසුව මාටින් ධර්මපාල මහතා යළිත් සිංගප්පුරුවට ගොස් ව්‍යාපාර කටයුතුවල යෙදුණේ ය. එතෙක් ව්‍යාපාරය පවත්වා ගෙන ගොස් තිබුණේ ඔහුගේ එ රට කාර්යමණ්ඩලයයි. 

ගාලූ වැසියන් නැව් නැගී යාම සුලභව සිදු වුයේ, ගාලූ වරාය බි‍්‍රතාන්‍යයන්ගේ පාලනය යටතේ පැවති සමයේ ය. එකල මාටින් ධර්මපාල මහතා ද වසර දෙකකට වරක් ලංකාවට ආවේ-ගියේ ගාලූ වරාය ඔස්සේ නැව් නැගී මෙනි. මාටින් ධර්මපාල මහතාගේ පවුලේ අයගේ මතකයන් අනුව, එකල ගාල්ලේ සිට සිංගප්පූරුවට යාත‍්‍රා කිරීමට නැවකට ගත වන කාලය දින තුන හමාරකි. 

‘හරි විනෝදයි ඉතින්. තට්ටු ඇඳන් තමයි තිබුණේ. නැවේ දි ගල් ගෙඩි වගේ හයිය බනිස් කන්න දෙනවා’, ඔවුහු කියති. 

මාටින් ධර්මපාල මහතා සිංගප්පුරුවේ දී ‘බෞද්ධ නායකයෙකු’ ලෙස ද කටයුතුකර තිබේ. ඔහු එ රට බෞද්ධ සමිතිවල ක‍්‍රියාකාරිකයෙකි. සිංගප්පූරුවේ ලංකාරාමය විහාරස්ථානය ඉදි කරන්නට මුල් වුණු කණ්ඩායමට ඔහු ද ඇතුළත් විය.

ධර්මපාල මහතා මියයන්නේ, වර්ෂ 1960 දී ඔහු බෝපේ ගමට පැමිණ සිටි අවස්ථාවක ය. ඒ වන විට ඔහු 64 වැනි වියෙහි පසු විය. ධර්මපාල මහතාගේ  අභාවයෙන් වසර 41කට පසුව, එනම් 2001 වසරේ දී ඔහුගේ බිරිඳ ලූසි නෝනා ද මියගියා ය. ඇය මියගියේ ද සිය සැමියා මෙන් ලංකාවේ,  බෝපේ නිවසේ දී ය.

පියාණන් අභාවයට පත් වන අවස්ථාව වන විට, ඔහුගේ දෙවැනි පුත් පියදාස ධර්මපාල මහතා සේවය කරමින් සිටියේ හොංකොං රටේ බී. පී. ද සිල්වා ස්වර්ණාභරණ සමාගමේ ය. ඊට පෙර ඔහු මහනුවර ප‍්‍රැන්සිස් පෙරේරා ස්වර්ණාභරණ සමාගමේ ද සේවයකර තිබිණි. පියාණන්ගේ අභාවයෙන් පසුව සිංගප්පූරුවේ  ‘එන්ගේවර්’ ව්‍යාපාරය පැවරුණේ දෙවැනි පුත් පියදාස ධර්මපාලට ය. පසුකාලීනව ඔහු  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය විණි. පියදාස ධර්මපාල මහතා මියගියේ ද  ඕස්ටේ‍්‍රලියාවේ දී ය. මාටින් ධර්මපාල මහතාගේ වැඩුමල් පුත් සිරිල් ධර්මපාල සේවය කළේ සිංගප්පූරුවේ පොලීසියේ ය.

මේ අතර ‘එන්ගේ‍්‍රවර්’ ශිල්පය සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර පැමිණියේ ය. එයින් එන්ගේ‍්‍රවර් වැඩ සඳහා සිංගප්පූරුවේ පැවති ඉල්ලූම අඩු විය. ව්‍යාපාරය පසුබෑමකට ලක් විය. එයින් මාටින් ධර්මපාල මහතාගේ ව්‍යාපාරය ද බිඳ වැටිණි. 

චන්ද්‍රවතී ධර්මපාල මහත්මිය විවාහ වූයේ අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කළ කේ. එල්. ඩබ්ලිව්. දයානන්ද මහතා සමගිනි. විවාහය සිදුව ඇත්තේ 1959 වසරේ ය. ඔවුන්ට දරුවන් පස් දෙනෙකි. 

‘තවම අපේ පවුල්වල කට්ටිය සිංගප්පූරුවේ ඉන්නවා. සමහරු ව්‍යාපාර කරනවා. දැන් බෝපේ ගමේ ‘සිංගප්පූරු ගෙදර’ කියලා කියන්නේ අපේ ගෙදරටයි’,  කේ. එල්. ඩබ්ලිව්. දයානන්ද මහතා පැවසුවේ ය!

(මෙම ලිපිය 2019/10/27 සතිඅග අරුණ පුවත්පතේ පළවිය)


                                   



Saturday, October 19, 2019

මා වී බතේ අරුමය සහ තවත් කතා


ලිංගික ශක්තිය වඩවන
මා වී බතේ අරුමය සහ තවත් කතා

 





(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පුරාණයේ මාතර නිල්වලා ගං නිම්නයේ කෙරුණු ‘මා වී’ ගොවිතැන  හා බැඳුණු ඇතැම් සිරිත් විරිත් මහත් කුතුහලය දනවන්නේ ය. ඉන් එක් සිරිතකට අනුව, ‘මා වී’ වගා කරන කලාපයේ ගොවි තරුණයෙකුට ‘හිරයක්’ ගේන්නේ (විවාහයට තරුණියක් සොයන්නේ) ද, මා වී වගා කරන පවුලකිනි. එසේ කරන්නේ ඇයි ද? කියා විමසන කෙනෙකුට ලැබෙන්නේ බොහොම ‘කෘෂිකාර්මික’ පිළිතුරකි!
 

‘මේකනේ, ‘මා වී’ වගා කරන ගොවි ගෙදරක තියෙන වැඩ සම්භාරය ගැන දන්නේ ‘මා වී’ වගා කරන පවුල්වල අය විතරයි. ඉතින් වෙන තැනකින් කෙල්ලක් ගෙනාවොත් එයා ඔය ‘මා වී තෝත්තරේ’ දන්නෙ නෑනේ. එතකොට වැඩ ටික අවුල් වෙනවා. මා වී ගැන දන්න ගෙදරකින් කෙල්ලන් සොයන්නේ ඒකයි’ යනුවෙන් එහි සඳහන් වෙනු ඇත!
මා වී සම්බන්ධයෙන් ගත් කල, මේ කාරණයත් බොරුවක් නො වේ. එහෙත් ඇත්ත, එළිපිට කතා නො කරන වෙනත් කාරණයකි. එය රහසක් බඳු ය.
 

නිල්වලා නිම්න වැසි ගොවීන් දැන් නම් වගා කරන්නේ ‘මහ  මාවී’ නමැති දේශීය පාරම්පරික වී ප‍්‍රභේදයයි. ඊට ඉහත නම් ඔවුහු ‘හිවල් මාවී’ වගා කළහ. පැරණි නිල්වලා නිම්නය නිරන්තරයෙන් ගංවතුර උවදුරට හසු වන බැවින් ගොවීහු මා වීවලට හුරු පුරුදුව සිටියහ. මා වී සහලෙහි බත, පෝෂණ ගුණයෙන් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද පොහොනේ ය. එබැවින් එකල ගොවීහු සිය වගා කටයුතුවල දී ‘බුද්ධ භෝගය’ යයි ගෞරවයෙන් සැලකුවේ ද ‘මා වීවලට’ ය.
 

අතීතයේ දී  අපේ රටේ දේශීය පාරම්පරික ‘මා වී’ වර්ග 28ක් පමණ පැවතිණි. ඒවා වගා කෙරුණේ රටේ තෙත් කලාපීය ප‍්‍රදේශවල ය. විශේෂයෙන් ම, නිල්වලා, ගිං, කළු, කැලණි සහ අත්තනගලූ ඔය ආදී තෙත් කලාපීය ගංගා නිම්නවල ය.
 

ගොයම් ගසක් හැටියට ‘මා වී’ ශාකයේ ගති සොබාවන් විශ්මයජනක ය. එය ගංවතුර හෝ අධික ජල තත්ත්වයන්ට ඉතා හොඳින් ඔරොත්තු දෙයි. එය ජලයට කුණු වෙන්නේ නැත. පීදුණු ගොයම ගංවතුරට හසු වුව ද, වී කරල ජලයෙන් ඉහළට ඇදී එයි. එබැවින් ගොවීන් කියන්නේ ‘ඔරුවෙන් ගිහින් හෝ ගොයම් කපන්නට හැකි’ බව ය.
 

පාරම්පරික මා වී ගොයමෙහි ඵල දරන වයස මාස හයකි. එහි ගොයම් ගස අඩි පහක් හයක් පමණ දිග ය. පුරුක් සහිත ය. මාස හයට එහි පුරුක් හතක්  වැඩෙයි. ගොයම ඵල දරා වී කරල් හැදෙන්නේ හත් වැනි පුරුකේ ය. කුමන මාසයක වී වැපිරුව ද, ගොයම පීදී කරල් හැදෙන්නේ දෙසැම්බරයේ ය. ලෝකයේ වෙනත් වී වර්ග සෑම එකකම පාහේ ගොයම් පැලයක් ලබා ගැනීමට ‘වී ඇටයක්’ සිටුවිය යුතු ය. එහෙත්  ‘මාවී’ එසේ නොවේ. මා වී ගොයම් ගසක පුරුක් වෙනම කපා සිට වූ විට, එයින් නව ගොයම් ගසක් හට ගනියි!
 

මා වී සහලේ බත බොහොම රස ය. මෘදු ය. යමෙකුට එය හිතූ තරම් අනුභව කරන්නට ද නුපුළුවන. බත් ටිකක් කෑ විට මහත් බර ගතියක් දැනෙයි. එසේ වන්නේ එහි ඉහළ පෝෂණ ගුණය නිසා ය. මා වී සහලේ බත පිසෙන ප‍්‍රමාණය ද වැඩි ය. මා වී බත, මිනිස් ශරීරයේ බර නිසි පරිදි පවත්වා ගෙන යයි. දේශීය වෛද්‍ය ග‍්‍රන්ථ ආදියෙහි සහ ජන වහරෙහි දැක්වෙන අන්දමට, මා වී වු කලී, ‘කාය ශක්තිය වර්ධනය කෙරෙන ගුණයෙන් යුත්’ සහලකි. එනම්, ‘වාජීකරණ ගුණයෙන් යුත්’ බතක් උපදින සහලකි. එහි ඇති ප්‍රෝටීන ප‍්‍රතිශතය සියයට 7.80ක් තරම් ඉහළ මට්ටමක ඇති බව පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ. මා වී සහලේ බත වැළඳීමෙන් ‘ලිංගික ශක්තිය වර්ධනය වන බව’ නිල්වලා ගං නිම්නවාසී ගොවීන්ගේ පිළිගැනීමයි.
 

මා වී ගොවිතැන් කරන පවුලක තරුණයෙකුට, මා වී ගොවිතැන් කරන පවුලක කෙල්ලෙක් ම කාර බැන්ද වීමේ සිරිත සම්බන්ධයෙන් එළිපිට කතා නො කරන රහස එළියට එන්නේ මෙතැන දී ය. මා වී බත වළඳන පිරිමින් ජවාධිකයන් ය. එවැනි පිරිමින්ගේ ‘ගති සොබාවන්ට’ ඔරොත්තු දෙන්නට නම්, තරුණියකට වුව ‘මා වී’ බතේ හයිය තිබිය යුතු ය. මා වී වගා කරන ගොවි පවුලක කොල්ලෙකුට, එවන් ගොවි පවුලකින් ම කෙල්ලෙකු කැන්දා ගෙන ඒමේ රහස එයයි! 
 

මාතර නිල්වලා නිම්න වාසී ගොවීහු මා වී සහලේ කුරුට්ටෙන් ‘කුඩු පිට්ටු’ නම් ආහාරයක් සකසා ගනිති.  එය ‘ඇඟිල්ලේ ගා ගෙන කන’ දියර පිට්ටුවකි. ‘අපි ඉතින් කුඩු පිට්ටු නම් හාමුදුරුවරුන්ට වළඳවන්නේ නෑ. ඒවා වැඩිපුර කන්න කියන්නේ අලූත බැඳපු අයටයි’ යයි ඔවුහු කට කොනෙන් හිනැහෙමින් කියති.
 

වාජීකරණ ඔසු ගුණය පමණක් නොවේ. ලංකාවේ දේශීය පාරම්පරික සහල් වර්ග බොහොමයක් දියවැඩියා රෝගය සහ එයින් හට ගන්නා අතුරු ආබාධ, පිළිකා, ස්නායු, ඉදිමුම් රෝග ඇතුළු බෝ නො වන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දක්වන බව, පසුගිය කාලයේ කාර්මික තාක්ෂණ ආයතනය මගින් කළ පර්යේෂණ මගින් හෙළි විය. ඒ පිළිබඳ තොරතුරු, ජර්මනියේ දී ඉංග‍්‍රීසි බසින් පළ කෙරුණු ‘Health Food Properties of Traditional Rice in Sri Lanka’ නම් පර්යේෂණ ග‍්‍රන්ථය ඔස්සේ අනාවරණය කෙරිණි. ආචාර්ය කාංචනා අබේසේකර සහ ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර යන අපේ විද්වතුන් දෙදෙන, එහි කතුවරුන් වූහ.
 

එහි සාකච්ඡාවට ගැනෙන විෂය වන්නේ ලංකාවේ දේශීය පාරම්පරික සහල්වල ඇති ඖෂධීය සහ පෝෂණීය ගුණාංග සම්බන්ධයෙන් ‘කාර්මික තාක්ෂණ ආයතනය’ කළ පර්යේෂණ මාලාවේ අපූර්ව තොරතුරු ය. ශ‍්‍රී ලංකාවේ දේශීය පාරම්පරික රතු සහල් වර්ග බොහොමයක්, දියවැඩියාව, පිළිකා, ස්නායු ආබාධ ආදී බෝ නොවන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දරන බව, එයින් අනාවරණය විය.
 

දියවැඩියාව සහ එයින් ඇති වන අතුරු ආබාධ , පිළිකා, ස්නායු සහ ඉදිමුම් රෝග, එසේ දේශීය පාරම්පරික සහලින් මැඩ පැවැත්විය හැකි රෝග අතර වේ. දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ බොහොමයකි. ඇස් පෙනීම දුර්වලවීම, තුවාල සුව නොවීම, වකුගඩු දුර්වලවීම, ශරීරය දුර්වලවීම සහ හෘද රෝග තත්ත්වයන් පවා ඇති වීම, ඒවා අතර වේ. දේශීය පාරම්පරික රතු සහල් වර්ගවල ඒවා ද පාලනය කිරීමේ සහ මැඩ පැවැත්වීමේ ගුණාංග තිබෙන බව, කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණයෙන් සොයා ගැනුණි.
 

අනාවරණය වූ වැදගත්ම කාරණය වූයේ, ‘නිවුඞ්ඩ’ : (Bran) (කුරුට්ට) සහිත,‘මසුරන්’, ‘සුදු හීනැටි’, ‘දික් වී’ සහ ‘ගොඩ හීනැටි’ යන පාරම්පරික රතු සහල් වර්ගවලට, දියවැඩියාව පාලනය කිරීම සම්බන්ධයෙන් ඉහළම තැනක් හිමි වන බවයි. ඒවාට අමතරව, වන්නි දහනල, හේරත් බණ්ඩා, කොට්ටියාර් සහ සුලැයි (සූල) යන දේශීය රතු සහල් වර්ග ද රුධිරයේ සීනි පාලනය සම්බන්ධයෙන් උසස් තත්ත්වයන් පෙන්නුම්කර අත.
 

ශරීර පෝෂණය යහපත් තත්ත්වයෙන් පවත්වා ගෙන යාම සහ බෝ නො වන රෝගවලින් මිදුණු සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම ද යහපත් ලිංගික ජීවිතයකට හේතු කාරක වෙයි. දේශීය පාරම්පරික වී වර්ග බොහොමයක එවන් ගුණාංග යහමින් තිබේ. ‘කුරුළු තුඩ’ නම් වියෙහි සහල (බත), කුඩා දරුවන්ගේ පෝෂණය කෙරෙහි දැඩිව බලපාන බව ගොවීන්ගේ පිළිගැනීමයි.
 

මා වී  පමණක් නොවේ. මිනිසුන්ගේ ලිංගික ශක්තිය වඩවන සහල් වර්ග ගණනාවක් ම    දේශීය පාරම්පරික සහල් වර්ග අතර එයි. ‘චරක’, ‘සුශ‍්‍රැත’ සහ ‘සාරාර්ථ සංග‍්‍රහය’ ආදී ආයුර්වේද වෛද්‍ය ග‍්‍රන්ථවල ද ඒවා ගැන සඳහන්ව තිබේ. මේ සහල් වර්ගවල ප්‍රෝටීන ප‍්‍රතිශතය ඉහළ ය. සුවඳැල්, කුරුළු තුඩ, රත් හැල්, කළු හීනැටි, මුතු මාණික්කන්, පොලයල් ආදිය ඒවා අතර වෙයි. මුතු මාණික්කන් සහලේ බත, කාන්තාවන්ගේ සමේ වර්ණය පැහැපත් කරවන බව ප‍්‍රකට ය. කෝට්ටේ රජ වාසලේ බිසෝවරුන්ට ආහාර පිණිස මුතුමාණික්කන් සහල් රැස්කර තැබූ බව කියැවේ. පොලයල් සහලේ බත, මහළු විය එළඹෙන විට මතුවන ශරීර ලක්ෂණ යටපත් කරන බව පැරණි ව්‍යවහාරයෙහි සඳහන් වේ.
 

අපේ රටේ දැනට කෙරෙන්නේ, මේවා වගාකර ගෙන  ‘බත්’ වශයෙන් අනුභව කිරීම පමණකි. එහෙත් පාරම්පරික සහලේ ඇති ‘වාජීකරණ’ ගුණයන් පදනම්කර ගනිමින් යම් ‘ඔසුවක්’ හෝ ‘ශක්තිජනක’ ආහාරයක් නිපදවන්නට හැකි නම් එය මහත් සේ ප‍්‍රචලිත වෙනවා සිකුරු ය!  එසේම, කාන්තා රූ සිරිය වඩවන යම් නිපැයුමක් ද කරන්නට පුළුවන!
2019/10/10