Total Pageviews

Showing posts with label ආදි මානව කාලේ. Show all posts
Showing posts with label ආදි මානව කාලේ. Show all posts

Saturday, February 20, 2016

කුරුවිට බටදොඹ ලෙන පිළිබඳ අලුත් කියැවීමක්



 
Human Evolution සහ Science සඟරාවල හෙළිදරව්ව



(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

(ආචාර්ය නිමල් පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවක් අසුරිණි)

රත්නපුර දිස්ත‍්‍රික්කයේ, කුරුවිට පිහිටි ‘බටදොඹ ලෙන’, දකුණු ආසියාවේ ඇති පැරණිම ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාසවලින් එකකි. එය අදින් වසර 40,000ක් පැරණි ය. (නිමල් පෙරේරා-2005) බටදොඹ ලෙන, මධ්‍ය ශිලා යුගයට අයත් ‘නවීන මානවයන්ගේ’ ජනාවාසයකි. තවත් ආකාරයකට කියනවා නම්, එය ලංකාවේ විසූ ‘බලංගොඩ මානවයන්ගේ’ පැරණිම ජනාවාසයකි.
 
බටදොඹ ලෙන පිහිටා ඇත්තේ, සුප‍්‍රකට ශ‍්‍රී පාද වන අඩවියේ කුරුවිට බෑවුමේ ය. එය මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් පමණ උසින් පිහිටි අතර, ලෙන ආශ‍්‍රිත ශ‍්‍රී පාද වනය වැසි වනාන්තරයකි. ලෙනෙහි ඇතුළත පළල මීටර් 10කි. ලෙන් විවරයේ උස මීටර් 11කි. අදින් වසර මිලියන 400කට ඉහත පැවති, පෘථිවි ඉතිහාසයේ ප‍්‍රාකේ‍්‍රම්බීය යුගයේ දී ලෙන නිර්මාණය වන්නට ඇතැයි, පුරාවිද්‍යාඥයෝ කියති. වසර මිලියන ගණනක් මුළුල්ලේ ලෙන ආශ‍්‍රිතව පැවති අධික ජල ක‍්‍රියාකාරිත්වයක් හේතුවෙන් ‘ලෙන් කුහරය’ සෑදුණු බව ඔවුහු පිළිගනිති. ලෙන් කුහරය නිර්මාණය වීමෙන් පසුව, ඒ අවට පරිසරය මිනිස් වාසයකට සුදුසු ලෙස සැකසිණි. ඉන් පසුව, අදින් වසර 40,000කට ඉහත දී නවීන මානවයන් විසින් එය මුල් වරට ජනාවාසකර තිබේ. (සිරාන් දැරණියගල-1986/නිමල් පෙරේරා-2005)
 
පර්යේෂණ ඉතිහාසය සහ කාලනිර්ණය
බටදොඹ ලෙනෙහි මුල්ම පුරාවිද්‍යා පර්යේෂණය කෙරුණේ, 1937 වසරේ දී ය. ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු මෙන්ම, සුප‍්‍රකට සත්ත්ව විද්‍යාඥයෙකු ද වන ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා අතින් එය සිදු විය. එහි ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාසය අදින් වසර 10,000ක් පැරණි, හොලෝසීන යුගයේ මුල් අවධියට අයත් වන බවට, ඔහු එකල නිශ්චය කළේ ය.
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ‘කැණීම් අංශය’ 1968 වසරේ ඇරඹිණි. එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධුරය හෙබවූ ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි, ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ මෙහෙය වීමෙන් එය ක‍්‍රියාත්මක විය. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයන් ගැන පර්යේෂණ කිරීම, එහි ප‍්‍රධාන අරමුණක් විය.
 
ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,  1979 වසරේ සිට 1986 දක්වා වරින් වර බටදොඹ ලෙනෙහි පර්යේෂණ කැණීම් කළේ ය. කැණීම් මෙහෙය වූයේ ආචාර්ය සිරාන් දැරණියගල මහතා ය. ඔහු එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂවරයා විය. එම පර්යේෂණයෙන් හෙළිදරව් වූයේ බටදොඹ ලෙනෙහි පැවති ආදි මානව ජනාවාසය, අදින් වසර 36,000ත්, 17,000ත් අතර කාලයට  අයත් වන බවයි.
 
ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ 1980-1982 කැණීම් වාරයේ දී, ‘කැණීම් ක්ෂේත‍්‍ර නිලධාරියා’ ලෙස කටයුතු කළේ නිමල් පෙරේරා මහතා ය. එහි දී පුද්ගලයන් (මානවයන්) 09 දෙනෙකුගේ පමණ ඇටසැකිලි කොටස් සහ අනෙකුත් ශාරීරික අවශේෂ හමු විය.
 
අලූත්ම පර්යේෂණය-2005
ඉන් පසුව 2005 වසරේ අප‍්‍රියෙල් මාසයේ, නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ (කැණීම්) ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් බටදොඹ ලෙන යළි කැණීම් කෙරිණි. ආචාර්ය සිරාන් දැරණියගල, ස්කොට්ලන්තයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලයේ පුරා භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉයන් ඒ. සිම්ප්සන් යන මහත්වරු ඇතුළු දෙස්-විදෙස් විද්වතුන් පිරිසක් ද, එයට සහභාගි වූහ. එහිදී අදින් වසර 27,000කට ඉහත විසූ බලංගොඩ මානවයන්ගේ ඇටසැකිලි සහ අවශේෂ ද, ජ්‍යාමිතික ශිලා මෙවලම්, සත්ත්ව ඇට කටු සහ තවත් පොසිල ද සොයා ගැනුණි. වර්ෂ 1979 සිට 2005 දක්වා බටදොඹ ලෙනෙහි කළ කැණීම්වලින් බලංගොඩ මානවයන් 35 දෙනෙකුගේ පමණ ඇටසැකිලි සහ ශරීර අවශේෂ  හමු විය.
 
බටදොඹ ලෙනෙහි පැවති නවීන මානව ජනාවාසය, අදින් වසර 13,000ක සිට 37,000ක් දක්වා පැරණි බවට, නිමල් පෙරේරා මහතාගේ පර්යේෂණයෙන් කාලනිර්ණය කෙරිණි. ලෙනෙහි මානව සාධක ඇති ආදිතම පස් තට්ටුව, අදින් වසර 40,000ක් පැරණි බව ද ගණනය කෙරිණි. (පෙරේරා-2010)
 
විශේෂ කාරණයක්
බටදොඹ ලෙනෙහි විසූ බලංගොඩ මානවයන්, අදින් වසර 20,000කට පමණ ඉහත දී තාල වර්ගයේ ශාකවල (වේවැල්/කිතුල්/කටු කිතුල්/පුවක්/බට/දෝතලූ වැනි) ගොබ, පත‍්‍ර සහ අනෙකුත් කොටස්වලින් නිදා ගැනීමේ ඇතිරිලි බඳු ද්‍රව්‍ය, දඩ මස් තබන මැසිවලට එලන ඇතිරුම් ද්‍රව්‍ය සහ කුඩා පැසක් බඳු මළු ආදිය සකසා ගත් බව, අලූත්ම පර්යේෂණවලින් හෙළි විය. ඊට අමතරව මුහුදුබඩ ජනාවාස අතර සංක‍්‍රමණය, ධීවර කර්මාන්තය පිළිබඳ පැරණිම තොරතුරු යන කාරණා ද ඉන් අනාවරණය විණි. (නිමල් පෙරේරා/නිකෝස් කොරම්පාස්/ඉයන් ඒ. සිම්ප්සන්/සිරාන් යූ. දැරණියගල/ඩේවිෙඩ් බුල්බෙක්/ජෝන් කමින්ගා/ජූඞ් පෙරේරා/ඩොරියන් කියු. පූලර්/කැතරින් සාබෝ/නූනෝ ඩී. ඔලිවේරා-2005)
 
බටදොඹ ලෙනෙහි අලූත්ම පර්යේෂණ දත්ත ඇතුළත් විශේෂ ලිපියක්,
(People of the ancient rainforest:Late Pleistocene foragers at the Batadomba-lena rockshelter, Sri Lanka/Journal of Human Evolution-2011-Sep. -Volume-61, Issue-3.) නමැති ජාත්‍යන්තර මානව පුරාවිද්‍යා සඟරාවේ, 2011 සැප්තැම්බර් කලාපයේ පළ විය.

බටදොඹ ලෙනෙහි විසූවන්, ආසියානු නවීන මානවයන්ගේ ශාරීරික නවීනත්වය මෙන්ම, නවීන හැසිරීම් විලාශයන් ද පෙන්නුම් කරති.

සයන්ස් සඟරාවේ අනාවරණය 
ලංකාවේ විසූ නවීන මානවයන් සම්බන්ධ විශේෂ කාරණයක්, ජාත්‍යන්තර ‘සයන්ස් සඟරාවේ’, 2105 මාර්තු 13 කලාපයෙන්
^Science/Vol-347no6227/13March 2015& අනාවරණය කෙරිණි. එය පර්යේෂණ ලිපියකි. එය ඉදිරිපත්කර ඇත්තේ බි‍්‍රතාන්‍යයේ, ඔක්ස්ෆර්ඞ් විශ්වවිiාලයේ පැටි‍්‍රක් රොබර්ට්ස්, ලංකාවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආතනයේ ආචාර්ය නිමල් පෙරේරා, ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ඔෂාන් වෙදගේ, බි‍්‍රතාන්‍යයේ, බ්රැඩ්ෆෝර්ඞ්  විශ්වවිද්‍යාලයේ පර්යේෂක, ආචාර්ය සිරාන් දැරණියගල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ජූඩ් පෙරේරා සහ සමන් ඇරෑගම, බි‍්‍රතාන්‍යයේ, ඇන්ඩෘ ග්ලෙඩ්හිල්, මහාචාර්ය මයිකල් ඩී. පැට‍්‍රාලියා සහ ජුලියා ඒ. ලී-තොර්ප් යන විද්වතුන් විසිනි.
 
එහි සඳහන් වන ආකාරයට, ලොව නවීන මානවයන් ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර පරිසරයට අනුගතව ජීවත්වූ බවට ප‍්‍රථම විද්‍යාත්මක සාක්ෂි සමූහය ලැබෙන්නේ ශ‍්‍රී ලංකාවෙනි. එය සිදුව ඇත්තේ අදින් වසර 20,000ක් තරම් ඈත කාලයේ දී ය. පර්යේෂකයන් මෙම තොරතුරු අනාවරණයකර ගෙන ඇත්තේ, ලංකාවේ ප‍්‍රකට ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීම් භූමි වන, කුරුවිට ‘බටදොඹ ලෙන’, බුලත්සිංහල ‘පාහියන් ලෙන’, බලන්ගොඩ ‘කූරගල ලෙන්’ සහ උඩ වලවේ ‘බෙල්ලන්බැඳිපැලැස්ස’ යන ස්ථානවලින් ලැබුණු නවීන මානව අවශේෂ, බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ දී ගැඹුරු හැදෑරීම්වලට ලක් කිරීමෙනි.
 
කෙසේ වෙතත්, පාහියන් ලෙන සහ බටදොඹ ලෙන ඇතුළු ලෙන් කැණිම්වලින් හෙළි වූයේ, එකල විසූ මානවයන් ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර පරිසරයෙහි අභියෝග සාර්ථකව ජය ගෙන ජීවත්වූ බවයි. ඔවුන්ගේ ආහාර අපද්‍රව්‍යය අතර, ශාක ද්‍රව්‍යය ද, කුඩා සතුන්ගේ අවශේෂ ද බහුලව තිබිණි. එය ඔවුන්, ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර පරිසරයෙහි අභියෝග සාර්ථකව ජය ගෙන ජීවත්වූ බවට සාක්ෂියක් විය. ‘සයන්ස්’ ජාත්‍යන්තර සඟරාව හෙළි කරන්නේ ඒ කතා පුවතයි.
 
අදින් වසර 20,000ක් තරම් අතීතයේ දී ලංකාවේ විසූ නවීන මානවයන්, දඩයම් කළ සතුන්ගේ මස් මෙන්ම, ශාක ද්‍රව්‍යය ද එක සේ ආහාරයට ගෙන තිබූ බව, ‘සයන්ස්’ සඟරාව කියයි. එය ඔවුන් අලූත් ආහාර සංස්කෘතියකට එක් වුණු අවස්ථාවකි. පර්යේෂක පැටි‍්‍රක් රොබර්ට්ස් මහතා පවසන අන්දමට, අදින් වසර 20,000ක් තරම් ඈත වකවානුවක එවන් සාක්ෂි හමු වන්නේ ලංකාවෙන් පමණි. ඔහුට අනුව එය, නවීන මානවයා ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර ආශ‍්‍රිතව සාර්ථකව යැපුණු බවට ලොව හමුවන පැරණිම සාක්ෂියකි.
 
‘සයන්ස්’ සඟරාවේ සඳහන් වන අන්දමට, පැටි‍්‍රක් රොබර්ට්ස් ඇතුළු පර්යේෂකයන්, ලංකාවෙන් හමුවූ නවීන මානව දත් ගැඹුරු පරීක්ෂාවන්ට ලක්කර තිබේ. එහි දී ඔවුන් ඒවායෙහි එනමලය කාබන් සහ ඔක්සිජන් සමස්ථානික ක‍්‍රමයකට (Isotope Analysis) විශ්ලේෂණයකර ඇත. නවීනයෙකු වන්නට පෙර දඩ මස් පමණක් ආහාරයට ගත් ඔවුන්, අදින් වසර 20,000ක සන්ධිස්ථානයේ දී ශාක ද්‍රව්‍යය ද ආහාරයට එක්කර ගත් බව හෙළිවී ඇත්තේ එයිනි.
^Science/Vol-347no6227/13March 2015&

එය ලෝක මානව පරිණාමයේ තවත් යෝධ පියවරකි.

2016.02.21.





Sunday, November 15, 2015

පුුරාවිද්‍යාඥයන්ට මග හැරුණු කූරගල නෑයා

පුුරාවිද්‍යාඥයන්ට මග හැරුණු කූරගල නෑයා
 කූරගල අරභයා අලුත් කතිකාවතක්

කූරගල කැණීම් පරිශ්‍රය

 (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-විමුක්ති)

බලංගොඩට නුදුරු ‘කූරගල’ ලෙන් සංකීර්ණයේ කෙරුණු පුරාවිද්‍යා කැණීම් වැඩ පිළිවෙල ඇරඹුණේ, එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙනි. කැණීම් ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවූ අතර, ඉන් කූරගල අරභයා අලූත් කතිකාවක් හට ගෙන තිබේ. එදා-මෙදා තුර වලවේ ගඟ නිම්නයේ පර්යේෂණ කළ පුරාවිද්‍යාඥයන්ට මගහැරුණු, බලංගොඩ මානවයන්ගේ ‘ලේ නෑයා’ කූරගල ලෙනෙන් හමුවීම කතිකාවතට හේතුවයි.

 


කූරගල


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන අන්දමට, කූරගල ලෙනෙන් හමුවූ ආදි මානව ජනාවාසයේ වයස අදින් වසර 16,000කි. ඒ අනුව, බලංගොඩ මානවයන්ගේ ‘කූරගල මුතුන් මිත්තන්’ හෙවත් ලේ නෑයන්, අදින් වසර 16,000ක් පැරණි ය.

‘වර්ෂ 1887 සිට 1908 වෙනකල් ‘සැරසින් සහෝදරයෝ’ මේ ප‍්‍රදේශයේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ කළා. ඊට පස්සේ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන් උග්ගල් කල්තොට කඳු වැටියේ පර්යේෂණ කළා. පසුකාලීනව ආචාර්ය සිරාන් දැරණියගල මහතාත් මේ ප‍්‍රදේශයේ පර්යේෂණ කළා. ඒත් ඒ කාටවත්ම කූරගල ආදි මානව ජනාවාසය හමු වුණේ නෑ. ඒ නිසා ‘කූරගලින් හමුවූ මානවයා’, පුරාවිද්‍යාඥයන්ට මග හැරුණු කෙනෙක් කියලා කියන්නත් පුළුවන්’, කූරගල කැණීම් භාරව සිටි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය.

 
කූරගල කැණීම්-ආචාර්ය නිමල් පෙරේරාගේ නිරීක්ෂණයට

බලංගොඩට කිලෝමීටර් 25ක් පමණ දුරින්, කල්තොට පාරේ පිහිටි කූරගල පර්වතය සහ ලෙන් ගුහා, ඉපැරණි බෞද්ධ නටබුන් ද සහිත ගල් ලෙන් සංකීර්ණයකි. වලවේ ගඟේ ඉහළ නිම්නයට අයත් එම ප‍්‍රදේශය, සුප‍්‍රකට කල්තොට කඳු වැටිය ආශ‍්‍රිතව පිහිටියකි. එය, ඉපැරණි බ‍්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපි, කටාරම් කෙටූ ලෙන්, දාගැබ් අවශේෂ ආදියෙන් සමන්විත ය. ඒවා ඉදිකර තිබුණේ ඓතිහාසික යුගයේ දී ය. එහෙත් පසුකාලීනව එය අන්‍යාගමික මධ්‍යස්ථානයක් බවට පත්ව තිබිණි. ඔවුන් ගල් ලෙන් සංකීර්ණයෙහි අවනසරයෙන් ගොඩනැගිලි ආදිය ඉදි කළ අතර, එයින් ලෙන් සංකීර්ණයෙහි පැවති සෙල් ලිපි සහ නටබුන්වලට බලවත් හානි සිදු විය. කූරගල ශ‍්‍රී පාද දිවා ගුහා රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත වටද්දර ඤාණිස්සර හිමියන් ඇතුළු ප‍්‍රදේශයේ බෞද්ධ වැසියන් කොතෙක් ඉල්ලීම් කළ ද, අන්‍යාගමික මධ්‍යස්ථානය ඉවත්කර ගන්නට නොහැකි විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද ඒ සඳහා උත්සාහ කළ අතර, එය ද ව්‍යවර්ථ විය. පුරාවිද්‍යා පර්යේෂණ කරන්නට ද නො හැකි විය.

 


කූරගල කැණීම්-ජූඩ් පෙරේරා
 පසුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රශ්නයට මැදිහත් විය. ඒ අනුව, සිය ආගමික මධ්‍යස්ථානය එතැනින් ඉවත්කර ගන්නට එහි භාරකරුවෝ එකඟ වූහ. ඉන් පසුව අනවසර ගොඩනැගිලි කඩා ඉවත් කෙරිණි. ඒ සඳහා යුද හමුදාව, පොලීසිය, සහ සිවිල් ආරක්ෂක බලකාය යන ආයතනවල සහාය ලැබිණි කූරගල පර්වතය, ගල් ලෙන් සහ එහි නටබුන් අරභයා පර්යේෂණ කැණීමක් පවත්වා, එහි ඉතිහාසය මතු කිරීමේ කටයුත්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරිණි. ඒ අනුව, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි, පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ (කැණීම්), ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් 2013 වසරේ අප‍්‍රියෙල් 25 වැනි දා කූරගල ලෙන් පරිශ‍්‍රයේ කැණීම් ඇරඹිණි. එහිදී ලෙන් සංකීර්ණයෙහි පැවති ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයක සාධක මතු වන්නට පටන් ගත්තේ ය. එය ලංකාවෙන් මෙතෙක් හමු නොවූ තරම් අති විශාල මානව ජනාවාසයක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස විය.

 
කූරගලින් පහළ වලවේ නිම්නය


කූරගලින් හමුවූ ආදි මානව මෙවලම් සහ බෙලි කටු   (පින්තූරය-ජයන්ත විජේරත්න හේරත්)
රටේ මධ්‍යම කඳුකරය පටන් ගන්නා කඳු රේඛාවේ, බෑවුම් සහිත මුදුනක කුරගල පිහිටා තිබේ. බෑවුම කෙළවරින්වූ තැනිතලාව ඔස්සේ වලවේ ගඟ ගලා බසින අතර, තැනිතලා භූමිය සුප‍්‍රකට උඩවලවේ ජාතික වනෝද්‍යානයයි. මේ පිහිටීම සුවිශේෂ ය. අදින් වසර 13,000කට ඉහත බලංගොඩ මානවයන් ජීවත්වූ බෙල්ලන්බැඳිපැලැස්ස ජනාවාසය පැවති භූමිය ද එහි පිහිටා තිබීම, ඊට හේතුවයි. බෙල්ලන්බැඳිපැලැස්ස, කූරගලට පෙනෙන තරම් සමීප ය.

‘කූරගල කියන්නේ ප‍්‍රාග් ඓතිහාසික බලංගොඩ මානවයන්, රටේ තෙත් කලාපය සහ වියලි කලාපය අතර සංක‍්‍රමණය වීමේ දී භාවිත කෙරුණු අතරමැදි කඳවුරක් වගේ තැනක්. පහළ බෙල්ලන්බැඳිපැලැස්ස වියලි කලාපීය භූමියක්. කූරගලින් එහාට තියෙන්නේ තෙත් කලාපය. කූරගල පිහිටලා තියෙන කඳු වැටිය තියෙන්නේ හරියටම මේ දේශගුණ කලාප දෙක අතර මැදයි. මේක අන්තර් දේශගුණ කලාප ජනාවාසයක්. මෙතැනින් ලංකාවේ මානව ඉතිහාසය ගැන, මානව පරිණාමය ගැන බොහෝ තොරතුරු හෙළි වේවි’, යයි කැණීම් ආරම්භ කළ දිනවල පුරාවිද්‍යා නිලදාරීහු පැවසූහ.
 


ඔවුන්ගේ අනුමානය නිවැරදි විය. 2013 මැයි මාසයේ ඔවුහු ලෙන කැණීමෙන් ආදි මානව ඇටසැකිලි දෙකක් මතුකර ගත්හ. ඊට අමතරව, මානව අවශේෂ, ශිලා මෙවලම්, ගොඩ බිම සහ සමුද්‍රික සත්ත්ව අවශේෂ ආදී ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු රාශියක්ම ඔවුන්ට හමු විය.

2013 සැප්තැම්බර් 18 වැනි දා, පුරාවිද්‍යා නිලධාරීහු තමන් මතුකර ගත් ඇටසැකිලි ප‍්‍රවේශමින් ගොඩ ගත්හ. ඒ සමගම, ලෝක මානව පරිණාමයේ ලාංකේය වංශකතාවට තවත් අලූත් පරිච්ෙඡ්දයක් එක් වූයේ ය. ‘බලංගොඩ මානව පරපුරේ ‘කූරගල නෑයා’, වසර දහස් ගණනකට පසුව සිය ලෙන් දොරින් නික්ම වර්තමානයට පා තැබීම, ඒ අලූත් කතා පුවතයි. ‘කූරගල නෑයා’ ලෙන් දොරින් නික්මීම සංවිධානයකර තිබුණේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි. වසර දහස් ගණනක් මුළුල්ලේ වැතිර සිටි පෞරාණික, පාෂාණිභූත, පස් කුට්ටිය ද සමගින් ලෑලි පෙට්ටියක සැතපුණු හෙතෙම, සිය අනභිබවනීය පරපුරේ වර්තමානික මිනිසුන්ගේ කර මතින් නික්ම ගිය දසුන ඉමහත් සංවේදී එකක් විය. ඒවායෙහි විශ්ලේෂණ තවම අවසන් නැත.

මේ අතර  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, ඇමරිකාවේ බීටා ඇනලිටික් පුරාවස්තු රසායනාගාරයෙන් වාර්තාවක් ලැබිණි. ඉන් කියැවුණේ, කූරගලින් හමුවූ බලංගොඩ මානව ජනාවාසය අදින් වසර 16,000ත්, 6000ත් අතර කාලයට අයත්වන බවයි. එයට කාල අවධි පහක් ඇතුළත් වන බව ද වාර්තාවේ සඳහන් විය. පුරාවිද්‍යාඥයන්ට මගහැරී ගිය කූරගල මානවයා, අදින් වසර 16,000ක් පැරණියෙකු බව එහි සරල තේරුමයි.

කූරගල කැණීම භාරව කටයුතු කරන්නේ යු. ඩබ්ලිව්. කරුණාසේන, කමල්නන්ද සිරිසේන, සමන් කුමාර ඇරෑගම, ඞී. ආර්. අබේකෝන්, ජේ. එම්. ජයන්ත සහ ශ‍්‍ර‍්‍රීලාල් කුමාර යන කැණීම් නිලධාරීන් ඇතුළු කණ්ඩායමකි. ඔවුන් කියන්නේ කූරගල කැණීම, ඔස්සේ බලංගොඩ මානවයාගේ මුහුදු සම්බන්ධතා ගැන ද බොහෝ තොරතුරු හෙළිදරව් වන බවයි.

 
කැණීම් කණ්ඩායම

සමනොළ හිමය පාමුල, කුරුවිට පිහිටි ‘බටදොඹ ලෙන’ බලංගොඩ මානව ජනාවාසය අදින් වසර 40,000ක් පැරණි ය. කූරගල අදින් වසර 16,000ක් පැරණි ය. ඊට පහළින් පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස ආදි මානව ජනාවාසය අදින් වසර 13,000ක් පැරණි ය. ඊට මෙපිටින් රංචමඩමේ මැටි සොහොන් ජනාවාස භූූමිය අදින් වසර 3368ක් පැරණි ය. කූරගලට නුදුරින් පිහිටි හල්දුම්මුල්ලේ මානව ජනාවාසය අදින් වසර 3750ක් පැරණි ය. කූරගල සහ බෙල්ලන්බැඳිපැලැස්සේ සිට බලන විට, බූන්දල, පල්ලේමලල සහ මිණිඇතිලිය ආදී වෙරළබඩ ආදි මානව ජනාවාස, අදින් වසර 4000ක් පමණ පැරණි ය.

‘මේකෙන් පේන්නේ, පසු කාලීනව ආදි මානවයා රටේ එක් පැත්තකින් වලවේ නිම්නය ඔස්සේ වෙරළබඩට සංක‍්‍රමණයවී ඇති බවයි. කූරගල කාලනිර්ණ දත්ත මගින්, ඒ  සංක‍්‍රමණ රටාව අපට හෙළිදරව් කරනවා’, ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය.

2015/11/16.
    










Thursday, August 6, 2015

ලංකාවේ ගල් යුගය හමාර වූයේ කෙසේ ද?

ලංකාවේ ගල් යුගය හමාර වූයේ කෙසේ ද?
 
 

පාහියන්ගල

 (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-ප්‍රෑන්ක් ද සොයිසා)
පරිණාමයේ යෙදෙමින් ශිෂ්ටාචාරගතවූ මනුෂ්‍යයා, ගල් යුගය හෙවත් ‘දඩයමින් සහ වනජ ද්‍රව්‍ය’ රැස් කීරීමේ’ සංචාරක දිවිපෙවෙතින් බැහැරව, කෘෂිකාර්මික යුගයකට එළඹියේ කෙසේ ද? එය ශ‍්‍රී ලංකාවේ දී මහත් විවාදාපන්න මාතෘකාවකි. මානව ශිෂ්ඨාචාරයේ මුල් අදියරයන් රැඳුණු අප‍්‍රිකානු මහද්වීපය, ඉන්දියාව සහ  ඕස්ටේ‍්‍රලියාව ආදී රටවල නම්, මනුෂ්‍යයෝ ගල් යුගයෙන් කෙලින්ම ‘කෘෂි යුගයකට පිළිපන් බවට පැහැදිලි පුරාවිද්‍යාත්මක සාධක තිබේ. ඒ රටවල කියන්නේ, ආදි මනුෂ්‍යයන් ගල් යුගයේ සිට කෙලින්ම ‘නව ශිලා යුගයකට’ ඇතුළුවූ බව ය.
 

‘නව ශිලා යුගය’ වූ කලී, මනුෂ්‍යයා වී වගාව ඇතුළු කෘෂිකර්මාන්තය, සතුන් ඇති කිරීම, මැටි බඳුන් භාවිතය සහ ඒවායෙහි උයා-පිහා කෑම, ආභරණ පැළදීම, යකඩ ඇතුළු ලෝහ වර්ග භාවිතය සහ ස්ථිර වාසස්ථානවල විසීම ආදියෙහි යෙදෙමින් ජීවත්වූ වකවානුවයි. ඇතැමුන් එය ‘කෘෂි යුගය’ ලෙස ද හඳුන්වති.  ආසියාව, යුරෝපය සහ අප‍්‍රිකාව සම්බන්ධයෙන් ගත් කල, නව ශිලා යුගයට අයත් ප‍්‍රධාන සංකේත ද්විත්වයක් වෙයි. ඉන් එකක්, ‘මැටි බඳුන්’ ය. අනෙක ‘ඔපවත් පොරව’ නමින් හැඳින්වේ. මේ දෙකම, කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය මෙවලම් ය.
 
ලංකාවේ පුරාවිද්‍යාඥයන් පවසන්නේ, ගල් යුගය කෙළවර ක‍්‍රමිකව, එබඳු කෘෂි යුගයක් එළඹුණු බවට පැහැදිලි සාධක අපේ රටෙන් හමු නො වන බවයි. ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය සිරාන් දැරණියගල මහතා පවසා ඇති අන්දමට, ලංකාවට පෙර ඉන්දියාවට ‘නව ශිලා යුගය’ එළඹී තිබේ. එය කෙලින්ම, ඒ වන විටත් ලංකාවේ පැවති ගල් යුගය මතට පතිතවූ බව, ඔහුගේ අදහසයි. එය සිදුව ඇත්තේ ජන සංක‍්‍රමණ ඔස්සේ ය. ‘කෘෂි යුගයක’ හැඩතල දන්නා පිරිස් කෙලින්ම ඉන්දියාවෙන් ලංකාවට සංක‍්‍රමණය වීමෙන්, ලංකාවේ ද කෘෂිකාර්මික දිවිපෙවෙතක් ඇරඹුණු බව හෙතෙම පවසයි.
 
 
පාහියන්ගල පුරාවස්තු විශ්ලේෂණය


එසේ වුව ද ඇතැම් පුරාවිද්‍යාඥයන්, ඒ මතය පිළි නො ගනිති. ඔවුන් කියන්නේ, ලංකාවේ ‘නව ශිලා යුගයක්’ පැවති බවට යම් යම් සාධක මෙන්ම විවිධ ‘ඉඟි’ ද, මෑතක කෙරුණු පුරාවිද්‍යා  කැණීීම්වලින් හමුවී ඇති බවයි. ඒ ගැන කතිකා කිරීම, ලිපියේ අරමුණයි.
 
ගල් යුගයේ විසූ මනුෂ්‍යයන්, කෘෂි යුගයකට එළඹ ඇත්තේ එක්වරම නෙවේ. ක‍්‍රමිකව ය.  ලංකාවේ දී ඔවුන් අදින් වසර 34,000කට ඉහත ගින්දර සොයා ගත්හ. (ඒ බව හෙළි වූයේ, ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය එච්. ඩබ්ලිව්. විජයපාල මහතා 1986 සහ 1998 යන වර්ෂවල බුලත්සිංහල පාහියන් ලෙනෙහි කළ කැණීම්වලිනි.) ඉන් පසුව ඔවුන් තම ආහාරයට, දඩමස් මෙන්ම ශාක ද්‍රව්‍යය ද එකසේ එක්කර ගත්හ. 2015 මාර්තු 13 වැනි දා පළවූ ජාත්‍යන්තර ‘සයන්ස්’ සඟරාව, අදින් වසර 20,000ක් තරම් අතීතයේ දී ලංකාවේ විසූ නවීන මානවයන්, දඩයම් කළ සතුන්ගේ මස් මෙන්ම, ශාක ද්‍රව්‍යය ද එක සේ ආහාරයට ගෙන තිබූ බව, පළකර තිබිණි. එය ඔවුන් අලූත් ආහාර සංස්කෘතියකට එක් වුණු අවස්ථාවකි. පර්යේෂක පැටි‍්‍රක් රොබර්ට්ස් මහතා පවසන අන්දමට, අදින් වසර 20,000ක් තරම් ඈත වකවානුවක එවන් සාක්ෂි හමු වන්නේ ලංකාවෙන් පමණි. ඔහුට අනුව එය, නවීන මානවයා ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර ආශ‍්‍රිතව සාර්ථකව යැපුණු බවට ලොව හමුවන පැරණිම සාක්ෂියකි.
 
ගල් යුගයේ විසූ මනුෂ්‍යයන්, ක‍්‍රමිකව කෘෂි යුගයකට එළඹුණු බව සිතිය හැකි අනෙක් සාධකය හෙළිදරව් වන්නේ, ආචාර්ය ටී. රත්නසිරි පේ‍්‍රමතිලක මහතා කළ පර්යේෂණ ඔස්සේ ය.
වර්ෂ 2003 වසරේ දී, පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ආචාර්ය ටී. රත්නසිරි පේ‍්‍රමතිලක මහතා, හෝර්ටන්තැන්න ප‍්‍රදේශයේ කළ ‘විදුම් පරීක්ෂණයක්’ මගින්, අදින් වසර 10,000-17,000 ක් තරම් පැරණි ධාන්‍ය පරාග සොයා ගත්තේ ය. ඒවා, ‘බාර්ලි’ සහ ‘ ඕට්ස්’ යනුවෙන් හඳුනා ගැනුණි. ඉන් කියැවුණේ, එම කාලයේ දී හොර්ටන්තැන්නේ විසූවෝ, ‘බාර්ලි’ සහ ‘ ඕට්ස්’ යන ධාන්‍ය වගාකර ඇති බවයි. වත්මනෙහි නම්, ලංකාවේ බාර්ලි හෝ  ඕට්ස් වගා නො කෙරේ. ඊට අමතරව එළ හරකුන් ඇති කිරීම පිළිබඳ සාධක ද හෝර්ටන්තැන්න පර්යේෂණයෙන් හමු විය.
 
‘අදින් වසර 17,000ක් තරම් ඈත කාලේ බොහොම ප‍්‍රාථමික මට්ටමේ කෘෂිකර්මාන්තයක් කෙරෙන්න ඇති. ඊට පස්සේ අදින් වසර 10,000ක් විතර වන විට, එය ඊට වඩා පිරිපුන් ස්වරූපයක් ගත් බවට සාධක තියෙනවා’ යයි ප‍්‍රවීණ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය. ඔහු එසේ කියන්නේ,  හෝර්ටන්තැන්නෙන් ආචාර්ය ටී. රත්නසිරි පේ‍්‍රමතිලකයන්ට ලැබුණු සාධක ගොන්න, කෑගල්ලේ, දොරවක ලෙනෙන් හමුවූ සාධක සම්භාරයට සම්බන්ධ කරමිනි.
 


කෑගල්ලේ දොරවක්කන්ද ලෙන, සුවිශේෂ පුරාවිiා කැණීම් බිමකි. ඉන් ලංකාවේ ‘නව ශිලා යුගයක්’ ගැන විද්වත් කතාබහක් ඇවිළ යාම ඊට හේතුවයි. වර්ෂ 1992 දී ඒ පර්යේෂණය කළේ, ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය එච්. ඩබ්ලිව්. විජයපාල මහතා ය. ඔහුට අනුව, කෑගල්ලේ ‘දොරවක ලෙන’ ලංකාවේ ‘නව ශිලා යුගයක’ සාධක හමුවූ එක් තැනකි. එය අදින් වසර 6,300ක් පැරණි බලංගොඩ මානව ජනාවසයක් බව විජයපාල මහතාගේ කැණීමෙන් හෙළි විණි. අදින් වසර 5,300ක් පැරණි ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලා මෙවලම් සහ කාල රක්ත මැටි බඳුන් (දියුණු මැටි බඳුන්)කොටස්, දොරවක ලෙනේ එකම සන්දර්භයකින් හමු වීම,  විශේෂත්වයක් විය. කැණීමෙන් හමුවූ මැටි බඳුන් කොටස් අදින් වසර 3,100ක් පැරණි බවට කාලනිර්ණය කෙරිණි. ලෙනෙන් හමුවූ මානව ජනාවාස සාධක අතර, ධාන්‍ය වර්ගයක අවශේෂ ද විය. ඒවා අදින් වසර 7,000ක් පැරණි බවට වාර්තා විය.
 
එපමණක් ද නොවේ! බුලත්සිංහල, ‘පාහියන් ලෙන’ ද එබඳු සාධක හමුවූ ස්ථානයකි.
ආචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතා ද පාහියන් ලෙනෙහි 2012 වසරේ පර්යේෂණයට එක් විය. ඔහු ඊට සහභාගි වූයේ, ලෙනෙන් මතුකර ගත් මානව ජනාවාස පස් ස්ථර ආශ‍්‍රයෙන් ශාක ද්‍රව්‍යය හා පරාග ආදිය සියුම් ලෙස විශ්ලේෂණය  ස`දහා ය. ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන අන්දමට, ආචාර්ය පේ‍්‍රමතිලක මහතාගේ පර්යේෂණයෙන් පාහියන් ලෙන් වැසියන්, අදින් වසර 37,000 ක් තරම් ඈත කාලයේ දී, ‘ඇටි කෙසෙල්’, ‘වල් වී’, සහ ‘වල් දෙල්’ යන ආහාර ද, උණ ශාක ද භාවිතා කර තිබේ. මේවා කිසියම් ප‍්‍රාථමික කෘෂිකර්මාන්තයක සලකුණු නොවේ ද?
 
ලංකාවේ ආදි මානවයන් ක‍්‍රමිකව නව ශිලා යුගයකට එළඹුණු බවට තවත් ඉඟියක්, 2005 වසරේ කුරුවිට ‘බටදොඹ ලෙනෙහි’ කෙරුණු කැණීම්වලින් ද ලැබිණි. කැනීම් මෙහෙය වූයේ, ආචාර්ය නිමල් පෙරේරා මහතා ය. ලෙනෙහි විසූ බලංගොඩ මානවයන්, අදින් වසර 20,000කට පමණ ඉහත දී තාල වර්ගයේ ශාකවල (වේවැල්/දෝතලූ/කිතුල්/කටු කිතුල්/බට/පුවක් ආදී) ගොබ, පත‍්‍ර සහ අනෙකුත් කොටස්වලින් නිදා ගැනීමේ ඇතිරිලි බඳු ද්‍රව්‍ය, දඩ මස් තබන මැසිවලට එලන ඇතිරුම් ද්‍රව්‍ය සහ කුඩා පැසක් බඳු මළු ආදිය සකසා ගත් බව, පර්යේෂණවලින් හෙළි විය. ඊට අමතරව මුහුදුබඩ ජනාවාස අතර සංක‍්‍රමණය, ධීවර කර්මාන්තය පිළිබඳ පැරණිම තොරතුරු යන කාරණා ද ඉන් අනාවරණය විණි. මෙම තොරතුරු ඇතුළත් ලිපියක්,
‘People of the ancient rainforest:Late Pleistocene foragers at the Batadomba-lena rockshelter, Sri Lanka/Journal of Human Evolution-2011-Sep. -Volume-61, Issue-3‘ නමැති ජාත්‍යන්තර මානව පුරාවිද්‍යා සඟරාවේ, 2011 සැප්තැම්බර් කලාපයේ පළ විය.
 
ඇතැම් පුරාවිද්‍යාඥයන් එකඟ නො වෙතත්, ඉහත දැක්වූ තොරතුරු මගින් පෙනී යන්නේ, ලංකාවේ ද ‘නව ශිලා යුගයක්’ පැවති බව ඉඟි වෙන සාධක හමුවී ඇති බවයි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇඹිලිපිටියේ, ‘රංචමඩම’ සහ හපුතලේට නුදුරු ‘හල්දුම්මුල්ල’ යන ප‍්‍රදේශවල කළ කැණීම්වලින් මැටි නළ ආදියෙන් නිර්මිත ආදාහනාගාර පවා හමු විය. දියුණු ශිෂ්ඨාචාරයක් පෙන්වන එම ජනාවාස, අදින් වසර 3,000-3,750ක් තරම් පැරණි බවට කාලනිර්ණය විය. එය මැටි බඳුන් භාවිතාවටත් එහා ගිය දියුණු සමාජයකි!
 
මෙතෙක් කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණ අනුව, ලංකාවේ ගල් යුගයේ අවසානය සනිටුහන් වන්නේ අදින් වසර 3,800නි. වර්ෂ 1986 දී මන්නාරමේ ‘මාතොට ඉපැරණි වරාය’ කැණීම් කරද්දී, මධ්‍ය ශිලා යුගයට (ගල් යුගයට) අයත් ආදි මානව ජනාවාසයක සාධක හමු විය. පුරාවිද්‍යාඥයන් පවසන්නේ, එය ලංකාවේ මධ්‍ය ශිලා යුගයට අයත් අවසාන කාල සීමාව යනුවෙනි. එයින් පසුව ගල් යුගයේ මානව සාධක හමු නොවී ය. ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ප‍්‍රධානත්වයෙන්, 1969 වසරේ අනුරාධපුර ඇතුළුපුරයේ කළ කැණීම්වලින්, කෙලින්ම දියුණු කෘෂිකාර්මික ශිෂ්ඨාචාරයක සාධක හමු විය. ඒවා අදින් වසර 2,900ක් පැරණි බවට කාලනිර්ණය කෙරිණි. අනුරාධපුරය ඒ වන විටත් නගරයකි. පාලන කේන්ද්‍රස්ථානයකි. හමුවූ කෘෂිකාර්මික ශිෂ්ඨාචාරය, ඉන්දීය සංක‍්‍රමණ ඔස්සේ පැමිණි බව, දැරණියගල මහතාගේ අදහස විය.
 
 
පාහියන්ගල කැණීම්
කොයි හැටි වෙතත් අපේ රටේ ගල් යුගයේ විසූ මනුෂ්‍යයන්, කෘෂිකාර්මික යුගයකට පරිවර්තනය වූයේ කෙසේ ද? යන්න, විවාදාපන්න මාතෘකාවකි. පාහියන් ලෙන සහ බටදොඹ ලෙන ඇතුළු ප‍්‍රාග් ඓතිහාසික ගල් ලෙන්වල, මතුපිට පස් තට්ටු පසුකාලීන මිනිස් ක‍්‍රියාකාරකම් නිසා හානියට පත්ව ඇති බැවින්, ඒ පරිවර්තනීය අවධිය ගැන තොරතුරු සොයා ගැනීම ද දුෂ්කර කාරණයක්ව තිබේ.
2015/06/28-ඉරුදින

Saturday, April 11, 2015

පාහියන්ගල කෙල්ල -වයස අවුරුදු 10,000යි

පාහියන්ගල ආදි කල්පික කෙල්ල-වයස අවුරුදු 10,000යි

උස හීන්දෑරි එකියක්

පාහියන්ගල 
(පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පර්යේෂක සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් විෂය භාර හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරිණි.)

ආචාර්ය නිමල් පෙරේරා මහතා

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එය 2012 වසරේ ජූනි මාසයයි. ඒ වන විට ද, බුලත්සිංහල, පාහියන්ගල ප‍්‍රාග් ඓතිහාසික ගල් ලෙනෙහි රැන්ද යටින් මතුවෙමින් තිබුණු ‘පාෂාණිභූත මිනිස් රූපකාය’, ගැහැණියක් ද?, පිරිමියෙක් ද? යන්න ගැන, කිසිවෙකුට පැහැදිලි අදහසක් නොවී ය. ඒ පිළිබ`ද මුල්ම ආරංචිය පැතිර ගියේ, එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් විෂය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා මහතා කළ දැනුම්දීම අනුව ය. ඉක්බිති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල යන මහත්වරු ඇතුළු විද්වතුන් රැුසක් කඩිනමින් පාහියන්ගලට පැමිණියහ. ‘පාහියන්ගලින් අලූත් ඇටසැකිල්ලක් හමු වෙලා’ යනුවෙන් ජන මාධ්‍ය ඔස්සේ පැතිරුණු ආරංචිය, රට පුරා ඇවිල වූයේ මහා කුතුහලයකි.

ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි, ප‍්‍රාදේශීය කැණීම් කෞතුකාගාර නිලධාරී, පාලිත වීරසිංහ, කැණීම් නිලධාරීන් වන කමල්නන්ද සිරිසේන, යූ. ඩබ්ලිව්. කරුණාසේන, සමන් කුමාර ඇ?ගම, ඇල්ප‍්‍රඞ් ද මැල් (මැල් අයියා), සුසන්ත නිහාල්, සහ පී. පී. ගුණදාස, ජූඞ් පෙරේරා, රුවන් ප‍්‍රමෝද්, කේ. පී. සුමනදාස, යන මහත්වරු ඇතුළු කැණීම් කණ්ඩායමේ පිරිස, ඒ වන විටත් ‘පාෂාණිභූත මානව රූපකාය’ රැක ගෙන සිටියහ. පාහියන්ගල පුරාවිද්‍යා කැණීමෙහි ස්ථාන භාර නිලධාරිවරයා ලෙස කටයුතු කළ, ඔෂාන් වෙදගේ මහතා ඔවුන් මෙහෙය වූයේ ය. 

මතු කෙරෙමින් පැවති පාෂාණිභූත රූපකාය නිරීක්ෂණය කළ විද්වතුන්ගේ මතය වූයේ, එය මෙතෙක් දකුණු ආසියානු රටකින් හමුවූ ප‍්‍රථම, ‘පෞරාණික සම්පූර්ණ මානව ඇටසැකිල්ල’ වන බවයි. එබ`දු වටිනා මානව පුරාවස්තුවක් මින් පෙර අසල්වැසි ඉන්දියාවෙන් පවා සොයා ගෙන නො තිබිණි. ඒ සමගම 1986 වසරේ සිට පාහියන් ලෙනේ පුරාවිද්‍යා කැණීම්වලින් හමුවූ සමස්ත මානව ඇටසැකිලි සංඛ්‍යාව ද 15 ක් දක්වා ඉහළ නැංගේ ය. ‘මට හිතෙන විදිහට නම් මේක ළාබාල ගැහැණු ළමයෙකුගේ ඇටසැකිල්ලක්’, ඇල්ප‍්‍රඞ් ද මැල් (මැල් අයියා) ප‍්‍රමුඛ කැණීම් ශිල්පීන් ද සමග ඇටසැකිල්ල නිරීක්ෂණය කළ ආචාර්ය සිරාන් දැරණියගල සූරීහු මහත් හැ`ගුම්බරව කීහ. 

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප‍්‍රමුඛ පුරාවිද්‍යාඥයන් ද, කැණීම් නිලධාරීන් ද, මාධ්‍යවේදීන් ද, මහජනයා ද, මොහොතකට ගල් ගැසුණි. මෘදු නිහැඬියාවක් පැතිරිණි. ආදි කල්පික ලාලිත්‍යයෙන් යුත් කෝමල රේඛාවන් සියල්ල දිරාපත්වූ  ඕ, පාෂාණිභූතව වැතිර සිටියා ය. හරිත වර්ණයෙන් යුත් නිවර්තන තෙත් කලාපීය වර්ෂා වනාන්තරය සෙවණෙහි ඇති සිහිල, ඇයට හො`දින් හුරුපුරුදු ය.  ඕ වසර දහස් ගණනක් මුළුල්ලේ, එහි සිහිලසත්, පොළෝ ගැබෙහි උණුසුමත්, රිසි සේ විඳ ගනිමින් නිසොල්මනේ වැතිර සිටින්නට ඇත. 

‘බලංගොඩ මානව පරපුරේ ගෑණු ළමයෙක්?, ඒ අතර කවුදෝ නිහැඬියාව බින්දේ ය. ඒ එදා ය. 2012 වසරේ ජූනි මාසයේ දවසක ය.

දැන් ගෙවී යන්නේ 2015 වසරේ අප‍්‍රියෙල් මාසයේ පළමු සතියයි. හරියටම ඉකුත් සතියේ, එනම් මාර්තු 28 වැනි සෙනසුරාදාවේ, ‘පාහියන්ගල ගෑණු ළමයා’ පිළිබ`ද අබිරහස හෙළි වුණේ ය. ඒ, ඇය පිළිබ`ද පර්යේෂණ පවත්වන එංගලන්තයේ, කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ජීව මානව විද්‍යාඥ, ආචාර්ය ජේ. ස්ටොක් මහතා, කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ දී කළ විශේෂ දේශනයක දී ය. ‘ඉරුදින’ මේ සමග දිග හරින්නේ, එහි දී හෙළිවුණු කරුණු අනුව, ‘පාහියන්ගල ගෑණු ළමයා’ගේ කතා පුවතයි.


ශ‍්‍රී ලංකාවේ ඇති විශාලතම ප‍්‍රාග් ඓතිහාසික ගල් ලෙන ලෙස සැලකෙන, ‘පාහියන් ලෙන’, කළුතර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල නගරයට නුදුරුව යටගම්පිටිය ග‍්‍රාමයෙහි පිහිටියේ ය. එය ‘පාහියන් ලෙන’ නම්න් ප‍්‍රකට වූයේ, ක‍්‍රිස්තු වර්ෂ 05 වැනි සියවසෙහි ලංකාවේ චාරිකා කළ ‘ෆාහියන්’  නමැති චීන ජාතික බෞද්ධ භික්ෂුව නිසා වෙනි. ලංකාවට පැමිණි උන් වහන්සේ, ශ‍්‍රී පාද වන්දනාවේ යන අතර, ලෙනෙහි විහරණය කළ බවක් ජන ප‍්‍රවාදයෙහි එයි. ඒ කාරණය නිසා යටගම්පිටියේ ගල්ලෙන ‘ෆාහියන් ලෙන’ (පාහියන් ලෙන) නමින් ප‍්‍රසිද්ධ විය. පසු කාලීනව මහනුවර යුගයේ දී එය ආශ‍්‍රිතව බෞද්ධ විහාරයක් ඉදිවූ අතර, මෑත භාගයේ ලෙනෙහි විහාරයක් ද ඇරඹිණි.





පාහියන්ගල ඇටසැකිල්ල හමුවූ අවස්ථාවේ
පාහියන් ලෙනෙහි, මුල්වරට ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීම් කෙරුණේ, වර්ෂ 1986 සහ 1998 කාලයේ දී ය. ඒ, එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂවරයාවූ ද, පසු කලෙක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ද, ආචාර්ය එච්. ඩබ්ලිව්. විජයපාල මහතාගේ මෙහෙයවීමෙනි. පර්යේෂණයෙන් එය, දකුණු ආසියාවේ විසූ ‘නවීන මානවයා’ හෙවත් ‘බලංගොඩ මානවයාගේ’, පැරණිතම ජනාවාසයක්  බව හෙළි විය. ඔහුගේ කැණීම්වලින් මානවයන් 14 දෙනෙකුගේ අවශේෂ හමු විය. මානව ඇටසැකිලි සහ අවශේෂ විශ්ලේෂණය කළේ, ඇමරිකාවේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. ඒ. ආර්. කෙනඩි මහතා ය. ලංකාවේ ආදි මානවයන් ගින්දර භාවිතා කිරීම පිළිබඳව පැරණිම සාධක හමු වූයේ ද පාහියන් ලෙනෙනි. එය අදින් වසර 34,000 ක් පැරණි ය. පසුව 2005 වසරේ දී පාහියන් ලෙනෙහි ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීම් යළි ඇරඹිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (කැණීම්) ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් එය ක‍්‍රියාත්මක විය. 

 පෘථිවි ඉතිහාසයේ පැවති අවසන් ‘ප්ලයිස්ටෝසීන යුගය’ හෙවත් අවසන් හිම යුගය, ලෝක මානව පරිණාම ඉතිහාසයේ දී අතිශය වැදගත් කාල පරිච්‍ෙඡ්දයකි. එතැන් පටන් එළඹි වකවානුව හඳුන් වන්නේ, ‘මධ්‍ය ශිලා යුගය’ හෙවත් ‘ගල් යුගය’ නමිනි. ලංකාව සම්බන්ධයෙන් ගත් කල, මධ්‍ය ශිලා යුගය අදින් වසර 48,000 ක් පමණ පැරණි ය. මේ කියන කාලයේ ලංකාවේ වාසයකර ඇත්තේ ‘නවීන මානවයන්’ ය. ලංකාවේ පුරාවිද්‍යාඥයන් ඔවුන් හ`දුන් වන්නේ, ‘බලංගොඩ මානවයන්’ නමිනි. ආචාර්ය නිමල් පෙරේරා මහතා 2005 වසරේ කළ කැණීම් මගින්, පාහියන් ලෙනෙහි පැවති බලංගොඩ මානව ජනාවාසය අදින් වසර 37,000ක් පැරණි බව අනාවරණය විය. ඉන් පසුව ඔහු 2012 වසරේ කළ කැණීම්වලින් එය අදින් වසර 48,000ක් පැරණි බව, 2014 වසරේ මැයි මාසයේ හෙළි විය.

ආචාර්ය සිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා යන පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, ලංකාව යනු දකුණු ආසියාවේ විසූ නවීන මානවයා පිළිබඳව පැරණිම සාධක හමුවන රටකි. එබඳු පැරණි සාධක හමුවන ගල් ලෙන් තුනක් අපේ රටේ තිබේ. ඉන් ප‍්‍රමුඛතම ස්ථානය පාහියන් ලෙන ය. ඊළඟට, අදින් වසර 40,000ක් පැරණි කුරුවිට බටදොඹ ලෙන ය. අනෙක කිතුල්ගල බෙලි ලෙන ය. එහි පැවති නවීන මානව ජනාවාසය අදින් වසර 31,000 ක් පමණ පැරණි ය. 

පාහියන් ලෙනෙහි නව කැණීම් වාරයට මුල පිරුණේ, ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ගල් ලෙන්වලින් හමුවන මානව අවශේෂ නවීන තාක්ෂණික ක‍්‍රමවේද මගින්, වඩා විධිමත් ලෙස කාලනිර්ණය කිරීම ස`දහා කෙරුණු වැඩ පිළිවෙලක් ඔස්සේ ය. එය, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මග පෙන්වීම යටතේ සිදු විය. 2007 වසරේ සිට එය ඇරඹී තිබිණි. ඒ අනුව, පාහියන් ලෙනෙහි නව කැණීම් වාරය, 2012 වසරේ පෙබරවාරියේ පටන් ගැනුණි. විජයපාල මහතා කැණීම් කළ ගල් රැුන්දේ පැරණි කැණීම් වලට සමීපව, නව කැණීම ඇරඹිණි. එය ද ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙය වීමෙන් සිදුවූ අතර, ව්‍යාපෘතියේ ස්ථාන භාර නිලධාරිවරයා ලෙස කටයුතු කළේ, ඔෂාන් වෙදගේ මහතා ය. රට පුරා මහත් කුතුහලයක් ඇවිලවූ ඉපැරණි මානව ඇටසැකිල්ල, ඔවුන් විසින් 2012 ජූනි මාසයේ දී සොයා ගන්නා ලදී. 

එය තැන්පත්ව තිබුණේ, කැණීම් වලේ ගල් තට්ටුවක් මත ය. එබැවින් ඇටසැකිල්ල නිරුපද්‍රිතව ගොඩ ගැනීම, දුෂ්කර කටයුත්තක් විය. ඒ ස`දහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ද ලංකාවට නැත. එබැවින්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල යන මහත්වරුන්ගේ උපදෙස් මත, එය ගොඩ ගැනීම ස`දහා විදේශීය විශේෂඥයන්ගේ සහාය ගැනීමට තීරණය කෙරුණි. 

බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යාව පිළිබඳ සුප‍්‍රකට මහාචාර්යවරයෙකු වන මයිකල් පැට‍්‍රාලියා මහතා, පාහියන්ගල ඇටසැකිල්ලගැන ඒ වන විටත් මහත් විමසිල්ලෙන් පසු වූවෙකි. ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ ද මිතුරෙකි. ලංකාවේ තීරණය දැනගත් ඔහු සිය මිතුරා අමතා, එ රට කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ සේවය කරන, ආචාර්ය ජේ. ස්ටොක් නමැති ජීව මානව විද්‍යාඥයා හඳුන්වා දුන්නේ ය. ඒ සබඳතාව අනුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි, ඔහුට ශ‍්‍රී ලංකා රජයේ අවසරය ලැබිණි. ඉන් පසුව ආචාර්ය ජේ. ස්ටොක් මහතා වහාම ලංකාවට පැමිණියේ ය. අනතුරුව ඔහු, රට පුරා අති විශාල ජන අවධානයක් දිනා ගත් මානව ඇටසැකිල්ල ප‍්‍රවේශමෙන් ගොඩ ගෙන, 2012 වසරේ ජූනි මාසය අග භාගයේ දී, වැඩිදුර පර්යේෂණ සඳහා බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයට රැුගෙන ගියේ ය. කෙසේ වෙතත්, ඇටසැකිල්ල සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය සැකසූ මූලික කාලනිර්ණ වාර්තාවක්, අගෝස්තු මාසයේ දී ආචාර්ය ජේ. ස්ටොක් මහතා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එවා තිබිණි. එය සකස් කෙරුණේ, ඔක්ස්ෆර්ඞ් සරසවියේ  කාලනිර්ණ රසායනාගාරයේ අධිපති, මහාචාර්ය ටොම් හිග්හැම් මහතා අතිනි. ඒ අනුව පාහියන් ලෙනෙහි නව ඇටසැකිල්ල, අදින් වසර 10,000ක් පැරණි බව අනාවරණය විය. ඇටසැකිල්ල හිමි මානවයා, නිවර්තන කලාපීය වර්ෂා වනාන්තර සහිත පරිසරයෙන් යැපුණු බව ද හෙළි විණි. 

ඉක්බිති පාහියන්ගල මානව ඇටසැකිල්ල යළි කරළියට ආවේ, ඉකුත් සෙනසුරාදා (මාර්තු 28) ය. ඊට නිමිත්ත වූයේ එංගලන්තයේ, කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ජීව මානව විද්‍යාඥ, ආචාර්ය ජේ. ස්ටොක් මහතා, එතෙක් කළ සිය පර්යේෂණ අරභයා කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ දී කළ විශේෂ දේශනයයි. ඉන් හෙළිවූ තොරතුරු අනුව, පාහියන්ගල පාෂාණිභූත ඇටසැකිල්ල නිසැකවම බලංගොඩ මානව පරපුරේ ‘තරුණියකි’. අවුරුදු 18ත්, 22ත් අතර වයස්කාරියක වන ඇය, කිලෝග‍්‍රෑම් 54ක් පමණ බරැති, තැනැත්තියකි. ඇගේ උස සෙන්ටිමීටර් 155-165ක් (අඩි 05යි, අඟල් 03ක්) පමණ වේ. පෘථිවි ඉතිහාසයේ අදින් වසර 1,00,000ත්, 4000ත් අතර වකවානුව, අවසන් ප්ලයිස්ටෝසීන යුගයෙන් (අවසන් හිම යුගයෙන්) පසුව එළඹුණු ‘හොලෝසීන යුගයයි’. ආචාර්ය ජේ. ස්ටොක් මහතා පවසන අන්දමට, පාහියන්ගල තරුණිය ඒ යුගයෙහි විසූ, හොඳින් වැඩුණු සිහින් සිරුරැති, උස කාන්තාවකි. ඇගේ උස සහ සිහින් සිරුර අසාමාන්‍ය ලක්ෂණයකි. දකුණු ආසියාවේ කිසිදු ප‍්‍රාග් ඓතිහාසික කැණීමකින් මෙතෙක්, ඇය වැනි උස කෙනෙකුගේ සම්පූර්ණ පාෂාණිභූත ඇටසැකිල්ලක් හමුවී නැත. තරුණියට සෞම්‍ය පෙනුමක් තිබෙන්නට ඇතැයි ස්ටොක් මහතා විශ්වාස කරයි. තරුණිය කිසියම් දන්ත රෝගයකින් ද පෙළුණා ය. ඇය මියගොස් ඇත්තේ නිදන්ගත රෝගයකිනි. ලෙන් වාසීහු ඇගේ මළ සිරුර, තම ගෙබිමෙහි කෙළවරක, නො ගැඹුරු වලක තැන්පත්කර ඇත. සිරුරට යටින් ගල් තුනක් තැන්පත්කර තිබිණි. එය අවමගුල් චාරිත‍්‍රයක් ද යන්න පැහැදිලි නැත. නිසැකවම ඇය, ලංකාවේ විසූ ‘නවීන මානවයන්’ හෙවත් ‘බලංගොඩ මානවයන්’ගේ පරපුරේ තැනැත්තියකි.




ආචාර්ය ජේ. ස්ටොක් මහතා පාහියන්ගල දී
විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝෂයට අනුව, ලංකාවේ වර්තමාන ගැහැණුන්ගේ සාමාන්‍ය උස (උසෙහි සාමාන්‍යය) සෙන්ටිමීටර් 151.4කි. එනම්, අඩි 04යි අඟල් 11කි. ඒ අනුව, පාහියන්ගල තරුණිය අදට වඩා උසැති එකියකි. වර්තමාන ලංකාවේ උසම තරුණිය ලෙස වාර්තාවී ඇත්තේ, දර්ශනී සිවලිංගම් ය. ඇගේ උස සෙන්ටිමීටර් 208.3කි. එනම් අඩි 06කි. ඇය හා සසඳන විට, පාහියන්ගල තරුණිය මිටි එකියකි. ලංකාවේ බලංගොඩ මානවයන්ගේ රූපකාය පිළිබඳව මුල්ම විශ්ලේෂණය කෙරුණේ, ඇමරිකාවේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ  මහාචාර්ය කෙනත් ආර්. කෙනඩි මහතා විසිනි. වර්ෂ 1972 දී බෙල්ලන්බැඳිපැලැස්සේ මානව අවශේෂ විශ්ලේෂණය කරමින් ඔහු පැවසුවේ, බලංගොඩ මානව පිරිමියෙකුගේ උස සෙන්ටිමීටර් 174ක් (අඩි 05යි අඟල් 08ක්) සහ ගැහැණියකගේ උස සෙන්ටිමීටර් 166ක් (අඩි 05යි අඟල් 05යි) වන බවයි. ඔහු එම දත්ත ඉදිරිපත්කර තිබුණේ පාහියන්ගල ඇටසැකිල්ල බඳුසම්පූර්ණ ඇටසැකිලි ආශ‍්‍රයෙන් නො වේ. කෙසේ වෙතත් පාහියන්ගල තරුණිය, යෝධියක් බඳු උසැති එකියක බව පිළි ගැනීමට සිදු වේ.

ඇය පිළිබඳ පර්යේෂණ ද තවම අවසන් නැත. එබැවින් ආචාර්ය සෙනරත් දිසානායක, ආචාර්ය සිරාන් දැරණියගල, ආචාර්ය නිමල් පෙරේරා, ආචාර්ය ජේ. ස්ටොක්, මහාචාර්ය මයිකල් පැට‍්‍රාලියා, කැණීම් කණ්ඩායමේ ඔෂාන් වෙදගේ, පාලිත වීරසිංහ, කමල්නන්ද සිරිසේන, යූ. ඩබ්ලිව්. කරුණාසේන, සමන් කුමාර ඇරෑගම, ඇල්ප‍්‍රඞ් ද මැල් (මැල් අයියා), සුසන්ත නිහාල්, සහ පී. පී. ගුණදාස, ජූඞ් පෙරේරා, රුවන් ප‍්‍රමෝද්, කේ. පී. සුමනදාස, යන දෙටු සහ කණිටු පුරාවිද්‍යාඥයන් පාහියන්ගලට බැඳි අකලංක පේ‍්‍රමය, තව බොහෝ කලක් පවතිනු නිසැකය.
ඉරුදින-2015/04/05.