Total Pageviews

Wednesday, September 21, 2016

සපරගමු මහ සමන් දේවාල ලිපියට පසු වදනක්




විචාරකඇතුළු කොමෙන්ටු සහෘදයන්ට සුහද පිළිතුරක්

ජන කතාවේ එන හැටියට, කුරුවිට තැඹිලියන රාළසහ කහවත්තේ රත්නැක රාළයන සටන්කරුවන් දෙදෙනාගේ කතාව අතිශයින්ම විචිත්‍රයි. අපි ඒක කියවමු.
0000000000000000000000000000000000000000
තැඹිලියන  රාළ සහ රත්නැක රාළ, එකල කඩු සටන් සඳහා ‍බොහොම ප්‍රසිද්ධයි. හිටිවනම අහසට පැන, කරණම් ගසමින් කරන කඩු සටන් සම්බන්ධයෙන් ඔවුන් සපරගමුව පුරා විශාල කීර්තියක් දරා සිටියා. එය පෘතුගීසීන් තැතිගැන් වූ කාරණයක්.

දිනක් හැන්දෑවක පෘතුගීසි හේවායින් සමන් දේවාල යුද කඳවුර ඉදිරිපිට රැස්වී සුහද කතාබහේ යෙදී සිටියා. එහි දී තැඹිලියන  රාළ සහ රත්නැක රාළගේ මනරම් කඩු සටන් ගැන ද කතා කෙරුණා. වෙනදාත් ඔවුන් මේ වගේ කතාබහේ යෙදී සිටිනවා. ඒවාට ගමේ අය ටික දෙනෙක් ද එකතු වෙනවා.

එදා, යම් බඩු පොදි ද කර ගසා ගෙන පාරේ යමින් සිටි ආගන්තුක ගැමියන් දෙදෙනෙකුත් හැන්දෑ සල්ලාපයට එකතු වුණා

තැඹිලියන රාළලාට තරම් බැරි වුණත් මේ දෙන්නාටත් කරණම් සටන් පුලුවන්යයි,  එතැන සිටි කීප දෙනෙක් ආගන්තුකයන් පෙන්වමින් පෘතුගීසීන්ට කියා සිටියා. නිකම් ඉන්න හැන්දෑවේ සිංහලයන්ගේ කඩු-කරණම් බලන්න පෘතුගීසීන් කැමති වුණා.

අපට සිංහල කරණම් පෙන්නපල්ලාඔවුන් අණ කළා.

ආගන්තුකයන් දෙදෙනා වැඩේට එතරම් කැමැත්තක් දැක්වූයේ නෑ. ඒත් පෘතුගීසීන්ගේ අණ හමුවේ ඔවුන්ට වෙන කරන්න දෙයක් තිබුණෙත් නෑ.

ඉතින් සිංහල කරණම් සන්දර්ශනයක් ආරම්භ වුණා. පෘතුගීසීන් මවිතයෙන් බලා සිටියා. එය හරිම අලංකාරයි. ටික වේලාවක් යනකොට කඳවුරේ සිටි පෘතුගීසි සෙබළුන් විශාල පිරිසක් එතැනට රැස් වුණා. කරණම් නරඹන්න ගමේ අයත් කඳවුර ඇතුළට ඇවිත් හිටියා. ‘පාරේ ගිය දෙන්නෙක් මෙහෙම නම්, තැඹිලියන රාළලාගේ කරණම් කොහොමට හිටීවි දැයි හුඟ දෙනෙක් කතා වුණා. කරණම් ඉතාමත් අලංකාරයි.

ආගන්තුකයන් දෙදෙනා උන්හිටි ගමන් තමන්ගේ බඩු පොදි අතරින් තල් කොලවල  එතූ  යමක් ඇද ගත්තා. ඒවා ඇත්තම කඩු. ලෙලෙනකොට දිලිසෙනවා. කවුරුත් සිතුවේ එය කරණම් සන්දර්ශනයේම කොටසක් කියලයි. හැමෝම විශ්මයෙන් බලා සිටියා.

ඒත් එක් නිමේෂයකින් සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. කරණම්කරුවන් දෙදෙනා අහසින් පාවී යමින් පෘතුගීසි සෙබළුන්ගේ හිස් සිඳින්නට වුණා.

පෘතුගීසීන් විශාල පිරිසක් මරණයට පත් වුණා. තවත් පිරිසක් තුවාල ලබා කළු ගඟ දිගේ පලා යන්නට ඇති. සමන් දෙවොල කඳවුර යළිත් සිංහල මිනිසුන්ට අයිති වුණා.

එදා ඇවිත් සිටි ආගන්තුකයන් දෙන්නා අන් කිසිවෙකුත් නොව, ඇත්තම තැඹිලියන  රාළසහ රත්නැක රාළබව ජන කතාවේ කියැවෙනවා. නිසැකවම මේ සටනට දෙවොල අසල ගැමියන් ද සහාය වන්න ඇති. ‘තැඹිලියන  රාළසහ රත්නැක රාළයන දෙදෙනා  දේවාලය අවට ජන සමාජයෙන් බිහිවූ සෙන්පතිවරුන් බව පැහැදිලියි.

ඔවුන්ගේ කරණම් සටන, මහ සමන් දේවාලයේ වර්තමාන මළුවපෙදෙසේ ‍සිදු වන්න ඇති කියා මට සිතෙනවා. දෙවොලේ, දේවාල මන්දිර ගොඩනැගිල්ලට පිටුපසින් කළු ගඟ ගලා බසිනවා. පෘතුගීසි පාලන සමයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය වූයේ ගංගාවේ යාත්‍රා කිරීමයි. දෙවොල පිටුපස ග‍ඟේ හොරෙන් කෙරෙන ඇදුම් පතල්වලින්’ (මැණික් පතල්) දිරා ගිය කඩු ඇතුළු පැරණි ආයුධ කොටස් හමු වීම, සුලභ එහෙත් රහසිගත සිද්ධියක්. ඒවා තැඹිලියන  රාළසහ රත්නැක රාළගේසටනට සාක්ෂි සපයන බව මට සිතෙනවා. (මැටි බඳුන් සහ පෝසිලේන් පිඟන් කැබලිත් හමුවෙන බව කියැවෙනවා. මැණිකුත් හමුවෙනවා.)

ග‍‍ඟේ මැණික් පතල් හොරෙන්  ‍කෙරෙන නිසාත්, පුරාවිද්‍යාවට ඇති බිය නිසාත්, හමුවන පුරා වස්තු එළියට එන්නේ නෑ. සමහරු ඒවා යළි ගගටම වීසිකර දමනවා. ඔවුන්ට ඒවායින් ඇති වැඩකුත් නෑ.
විචාරකපළකරන අදහසට මම එකඟයි.  මහ සමන් දේවාලය පෘතුගීසි ආර්‍කමණිකයන් ගෙන් මුදා ගැනීමට, ‘තැඹිලියන  රාළසහ රත්නැක රාළකළ සටන අතිශයින්ම සංවිධානාත්මක එකක්. යුද්ධෝපායක්.

සමන් පවසන කාරණය ඇත්තයි. පෙරහැර පොළ කියන්නේ ඒ කාලේ අපට දිව්‍යලෝකයක්. ඔහු දෙවොල උළෙලට පැමිණි බව කියන මාර්ග පවා, පෘතුගීසි කාලයේ කුරුවිට දෙල්ගමු විහාරයත්, සමන් දේවාලයත් අතර රහසින් ගමන් කරන්නට භාවිත වන්න ඇති.
කොමෙන්ටු දැමූ හැමෝටම ස්තුතියි.
-ක්‍රිෂ්ණ විජේබණ්ඩාර.


Sunday, September 18, 2016

සපරගමු මහ සමන් දේවාල ඇසළ උළෙල ගැන වෙනස් කියවීමක්

සපරගමු මහ සමන් දේවාල ඇසළ උළෙල ගැන 
වෙනස් කියවීමක්

 



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
රත්නපුර මහ සමන් දේවාලය යයි කී පමණින්ම මට අතීත මතකයන් කිහිපයක් සිහිපත් වෙයි. ඉන් එකක් වන්නේ, මා කුඩා ළමයෙක්ව සිටි සමයේ ඇසළ පෙරහැර නරඹන්නට කිරිඇල්ලේ සිට පැමිණි ගමන් බිමන් ය. කිරිඇල්ලේ සිට රත්නපුරයට සැතපුම් 12කි.
 

මඩ ගොහොරුවෙන් සැදුණු පෙරහැර වීදි, පොල් අතු සෙවිලි කළ සල්පිල් කඩ, ඒ වගේම ‘නටන අලියා’ නමින් ජන ව්‍යවහාරයට පැමිණි හස්තියාත්, ඒක දන්ත ඇතාත්, ඒ මතකයන් අතර දැනුදු ස්පර්ශ කරන්නට හැකියි. දේවාලය මෙන්ම, එහි පෙරහැර ද, ‘දේවාල පොළ’ නමින් හැඳින්වුණු කඩ සල්පිල් ද කුඩා අපේ සිත් පැහැර ගත්තේ වේගයෙනි. එය අපූර්ව ලෝකයකි.
 

පොල් අතු සෙවිලි කළ කඩ සල්පිල් පැවතියේ, පෙරහැර වීදි දෙපස ය. ඒවා අප වන් ළමයින්ගේ සෙල්ලම් බඩු මෙන්ම මීගමු අළුවා, කජු, බූන්දි, ආදී රස කැවිලි ආදියෙන් පිරී තිබුණේ ය.  තැනින් තැන නවතා තිබුණු ‘අයිස් ක‍්‍රීම්’ වෑන් රථ ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ට එක සේ රස බෙදුවේ ය.
 

සමන් දේවාලය පිළිබඳ ඊළඟ මතකය බොහොම කටුක එකකි. පෙරහැර සුන්දර එකක් වුව ද, මැදියම් රැයේ එළඹෙන එහි සමාප්තිය නම් බෙහෙවින් පීඩාකාරී ය. පොල් පොදියේ හිරවෙන සෙනග කන්දරාව අතරින් රිංගා දේවාල වාහල්කඩින් එළියට ඒමත්, ඉන් පසුව ඉඩංගොඩ හෝ පානදුර බසයක් සොයා කහංගම දෙසට පයින්ම යන්නට සිදු වීමත්, අමිහිරි-කටුක අත්දැකීමකි. බසයේ ද හිරවී, තෙරපී ගොසින් අලූයම් යාමයේ ගෙවල්වලට යන්නේ නිදි මරගාතයේ ය!
 

කරුණු කොයි හැටි වෙතත්, කල් යාමේ දී අපට අවබෝධ වූයේ ‘සමන් දේවාලය’ යනු කළු ගඟ ඉහළ නිම්නයේ, එනම් සපරගමුවේ පිහිටි විශාලතම සංස්කෘතික මංගල්‍යය පවත්වන බෞද්ධාගමික සහ සමාජීය කේන්ද්‍රස්ථානය  බවයි. එම සංස්කෘතික මංගල්‍යය ඇසළ පෙරහැර උළෙලයි. අනාදිමත් කාලයක් මුළුල්ලේ කළු ගඟ ඉහළ නිම්න වැසි ජනයා, නො වැරදීම ඊට සහභාගි වීමේ පුරුද්දක් ඇතිකර ගෙන සිටියහ. සමන් දේවාලයේ පැවැත්වෙන ඇසළ පෙරහැර උළෙල, කළු ගඟ නිම්නයේ කෙරෙන විශාලතම සංස්කෘතික මංගල්‍යය බව නො දන්නා කෙනෙක් නැත. ඊට ගැලපෙන ඉතිහාස පුවතක් මෙන්ම ජන සමාජය සමග ගැලැප්පුණු සංස්කෘතික වටාපිටාවක් ද එයට තිබිණි.
 

කළු ගඟ ඉහළ නිම්න ගම් වැස්සෝ එක් පැත්තකින්, මාස් කන්නයේ වී ගොවිතැනින් බත සරිකර ගත්හ. අනෙක් පැත්තෙන් මැණික් පතල් කර්මාන්තයෙන් ජීවනෝපාය සලසා ගත්හ. බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ රබර් වගාව ද ඔවුන්ගේ ජීවනෝපායට එක් විය. එකල ආණ්ඩුවේ වතුවල තිබුණු තේ වගාව, වර්තමානයේ ගම්වලට පැතිර ගොස් ආදායම් සලසා දෙන අයුරු දැකගත හැකි ය.
 

සමන් දේවාල ඇසළ පෙරහැර එළඹෙන වකවානුව අයත් වන්නේ, ලංකාවේ වර්ෂාපතන රටාවේ නිරිත දිග මෝසම් වැසි සමයට ය. එය මැයි මාසයෙන් ඇරඹී, සැප්තැම්බර් මාසය දක්වා පැතිර යයි. නිරිත දිග මෝසම් වැස්ස, කළු ගඟ ඉහළ නිම්නය ද ඇතුළුව රටේ නිරිත දිග තෙත් කලාපීය ප‍්‍රදේශවලට වර්ෂාව ලැබෙන ප‍්‍රධානතම මූලාශ‍්‍රයයි. මාස් කන්නයේ තෙත් කලාපීය වී ගොවිතැනට ජලය ලැබෙන්නේ එයිනි. කළු ගඟ ඉහළ නිම්න වාසී ගොවීන් බහුතරයක් වී වැපිරීම් කරන්නේ සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් යන මාසවල ය.
සමන් දේවාලයේ පෙරහැර උළෙල ඇරඹෙන්නේ ඊට කලින්, එනම් ඇසළ මාසයේ දී (අගෝස්තු/සැප්තැම්බර්) ය. මෙය, රත්නපුර සබරගමු මහ සමන් දේවාලය පිළිබඳ වෙනස් කියැවීමකට අප පොළඹවන කාරණයකි.
 

අතීත ගොවීන් මාස් කන්නයේ ‘කුඹුරු කොටන්නට’, එනම් ‘මුල්ම මඩ වැඩ මුරය’ අරඹන්නට ‘උදළු තල’ මිලට ගන්නට එන්නේ සමන් දේවාලයටයි. දේවාල පොළටයි. ඒවා අතර, කුරු ගඟ ද්‍රෝණියට අයත් ‘තෙප්පනාව’ ගමේ නිපදවන ‘පෝරු උදළු’ හෙවත්  ‘කෙටුම් උදළු තල’ බොහොම ප‍්‍රසිද්ධ ය. ඊට අමතරව ඔවුහු ගොයම් කපන දෑකැති, කැති, වක් පිහියා, පිහියා, ආදී අනෙකුත් කෘෂි උපකරණ ද සමන් දේවාල පොළෙන් මිල දී ගනිති. ගොවිතැන යනු මනුෂ්‍යයන්ගේ ආහාර පිළිබඳ ක‍්‍රියාදාමයයි. එය ආරම්භ කරන්නට පෙර සමන් දෙවියන් වැඳ ආශිර්වාද ලබා ගැනීමේ සිරිතක්, කළු ගඟ ඉහළ නිම්න වැසි ගොවීන්  ඇසළ පෙරහැර උළෙලට සහභාගි වීමෙන් පිළිබිඹු වේ!
 

එසේම මහ සමන් දේවාලයේ කෙරෙන පුද පූජා අතර, ‘අලූත් සහල් මංගල්‍යයක්’ ද වේ. එය දේවාල වහරට අනුව ‘දුරුතු මහ කාර්තියට’ අයත් කටයුත්තකි. එහි ප‍්‍රථම වී මිට පූජා කරන්නේ බුදුන්ට ය. ඊළගට සමන් දෙවියන්ට ය. අලූත් සහල් මංගල්‍යයේ කටයුතු ආරම්භ වන්නේ, දෙවොලට අයත් කුඹුරුවල මාස් කන්නයේ පැසුණු වී අස්වනු (ගොයම් කරල්) සුභ නැකතින් නෙලා ගැනීමෙනි.
 

මේ කරුණු ගැන කල්පනා කිරීමේ දී පෙනී යන්නේ කුමක් ද?, මහ සමන් දේවාලය යනු, එක් අතකින් එය පිහිටි කළු ගඟ ඉහළ නිම්න වාසී ගොවි ජනතාවගේ ජීවිතය ආලෝකවත් කරන බෞද්ධ සංස්කෘතික පුද බිමක් වන බවයි!
 

ප‍්‍රසිද්ධියට පත්ව ඇති ඉතිහාස පුවත් අනුව, සපරගමු මහ සමන් දේවාලය බිහි වන්නේ ද රත්නපුරයේ මැණික් සම්පත මුල්කර ගනිමිනි. අදින් වසර 774කට පමණ ඉහත දෙවැනි පරාක‍්‍රමබාහු රජු (ක‍්‍රි. ව. 1228-1263) දවස, ‘ආර්යකාමදේව’ නම් ඇමතිවරයා විසින් එය ඉදි කළ බව ඉතිහාසයෙහි සඳහන් ය. ඔහු එය ඉදි කරන ලද්දේ, රජු වෙනුවෙන් මැණික් ගැරීම සඳහා සමන් දෙවියන්ට වූ බාරයක් ඔප්පු කිරීම පිණිස ය.
 

එක් පැත්තකින් වී ගොවිතැන් කිරීම ඇතුළු කෘෂි කර්මාන්තය ද, අනෙක් අතින් මැණික් පතල් කර්මාන්තය ද, කළු ගඟ ඉහළ නිම්න වැස්සන්ගේ අතීත ජීවනෝපාය විණි. අදත් සමන් දේවාලය අවට ප‍්‍රදේශයේ  පවා මැණික් ගැරීම් බහුලව සිදු වේ. දැනුදු කළු ගඟ ඉහළ නිම්න ජනයා මැණික් පතල් කැපීමේ දී බාර-හාර වන්නේ සමන් දෙවියන්ට ය.
 

මේ කාරණා අපට බල කරන්නේ කුමකට ද?. සමන් දෙවියන් යනු කළු ගඟ නිම්න වැසි ජනයාගේ ගොවිතැන් කටයුතු මෙන්ම මැණික් කර්මාන්ත කටයුතුවලට ද අනුපමේය අනුග‍්‍රහ දක්වන දෙවි කෙනෙකු යයි පිළිගැනීමට නොවේ ද?. මහජනයා උන්වහන්සේ අදහති!
සමන් දෙවොලෙහි සිරිත් අනුව, සැම විටම මුල් තැන ලැබෙන්නේ බුදුරදුන් පිදීමට ය. සමන් දෙවියන් පුදන්නේ දෙවනුව ය. දෙවොලෙහි දී උන් වහන්සේට කෙරෙන පූජාව ‘පලතුරු වට්ටියකි’.  ඉන් පිළිබිඹු වන්නේ එතුමෝ සොබාදහම සමග බැඳුණු කෙනෙක් වන බවයි. එතුමන්ගේ වාස භවනය ද, අතීතයේ බුදු පා පහස ලැබූ ‘සමනොළ අඩවිය’ මහ  වනයයි. එය, සමන් දෙවියන්ගේ ජීවිතය සොබාදහම සමග බැඳුනු එකක් බව අපට නිහඬව ඉඟි කරයි. ඉතින් සමන් දෙවොල යනු සොබාදහමට හිතැති පින් බිමක් බව පිළිගැනීමට සිදු වේ.
 

සමන් දෙවොල අසලින් යන-එන වාරයක් වාරයක් පාසා මගේ සිතට නැගෙන තවත් කාරණයක් තිබේ. ක‍්‍රි. ව. 1618 දී පමණ පෘතුගීසීන් විසින් අල්ලා ගත් මහ සමන් දේවාල පුදබිම, යළි ඔවුන් ගෙන් මුදා ගැනීමට කටයුතු කළ සිංහල සෙන්පතියන් දෙදෙනා ඊට නිමිත්ත වෙයි. ඉන් එක් අයෙක් කුරුවිට, ‘තැඹිලියන රාළ’ ය. අනෙකා කහවත්තේ, ‘රත්නැක රාළ’ ය. දෙවොල වැනසූ පෘතුගීසීහු ඒ වන විට එතැන ඔවුන්ගේ යුද කඳවුරක් සහ ක‍්‍රිස්තියානි පල්ලියක් ද ඉදිකර තිබිණි. කළු ගඟ ඉහළ නිම්න ජන කතාවල එන හැටියට, සිංහල සෙන්පතිවරුන් දෙදෙනා පෘතුගීසි යුද කඳවුර අල්ලා ගෙන ඇත්තේ, උපක‍්‍රමශීලී කරණම් සංදර්ශනයක මුවාවෙනි. දෙවොල අවට ගම්වැසි ජනයා ද සටනට එක්වී තිබේ. මේ භූමිය අතීතයේ දී මහා සටන් පැවති තෙදවත් ස්ථානයක් බව ද මට නිතරම කල්පනා වේ. වර්තමානයේ දේවාලය අසල කළු ග‍ඟේ කෙරෙන, ‘ඇදුම් පතල්වලින්’ හමු වන දිරා ගිය ‘කඩු’ ආදී පැරණි ආයුධ අවශේෂ අපට මේ කාරණය සිහිපත් කරවයි. ඊළඟට දෙවොල් බිමේ ඇති ඉපැරණි ‘පෘතුගීසි කැටයම’ ද ඒවාට සාක්ෂි සපයයි. පෘතුගීසි බසින් එහි ලිියා ඇත්තේ, ‘දොන් සිමන් පින් යං වන මම, මේ රණ ශූරයා පරාජය කළෙමි’ යනුවෙනි.
 

‘තැඹිලියන රාළ’  සහ ‘රත්නැක රාළ’ යන දෙදෙනා කවුරුන් ද? යන්න, ඉතිහාසය ප‍්‍රිය කරන්නන් අතර බොහෝ කලක් තිස්සේ විවාදයට බඳුන්ව ඇති කාරණයකි. එහෙත් මට ඒ ගැන සිතෙන්නේ වෙනස් දෙයකි. ඔවුන් නිසැකවම එකල සමන් දෙවොල අවට ප‍්‍රදේශයේ ගොවීන් සහ මැණික් පතල්කරුවන් නියෝජනය කළ දෙදෙනෙක් බව, මගේ පෞද්ගලික පිළිගැනීමයි! ඒ අය සිය දිවි හිමියෙන්ම සටන්කර, යළි කළු ගඟ ඉහළ නිම්න වැසියන්ට තිළිණකර දී ඇත්තේ, කුමක් ද?. ඉහත සඳහන් කළාක් මෙන් කෘෂි කර්මාන්තයට ද, සොබාදහමට ද අනුග‍්‍රහ කළ දෙවි කෙනෙකු වෙනුවෙන් ඉදි කළ පුද බිමයි!
 

ඔවුන්, පෘතුගීසි ආක‍්‍රමණය නමැති ‘ව්‍යසනය’  හෙවත් ‘ආපදාව’, දෙවොල අවට ගම් වැසියන්ගේ ද සහායෙන් පලවා හැර තිබේ! ‘තැඹිලියන රාළ’  සහ ‘රත්නැක රාළ’ කළ සටන ද අතිශයින්ම උපක‍්‍රමශීලී ය.
 

ඒ අර්ථයෙන් ගත් කල, සමන් දෙවොල අවට විසූ අතීත වැසියන්, ‘ව්‍යසන’ හෝ ‘ආපදා’ මැනවින් කළමනාකරණයකර ගැනීමේ දැනුමින් පූර්ණ වූවෝ වෙති. ඒවාට ‘ගැලැප්පී’ ජීවත් වීමේ ගුණය ද ප‍්‍රගුණකර සිටියෝ වෙති.
 

ඔවුහු පෘතුගීසි ආක‍්‍රමණ එල්ලවූ සමයෙහි පවා, ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේ රත්නපුර, කුරුවිට, දෙල්ගමු විහාරයේ යෝධ කුරහන් ගලක සඟවා රැුක ගත්හ. පෘතුගීසීන්ට හොරෙන් එය මහ සමන් දේවාල ඇසළ පෙරහැරට වැඩමවා, ‘පෙරහැර වතාවත’ ඉටු කළහ. (සමන් දොවාල පෙරහැරට ‘දළදා පෙරහැරක්’  එක් වූයේ මෙම සිද්ධියෙන් පසුව යයි කියති.) මේ ගුණය කුමක් ද? එය ව්‍යසන හෝ ආපදා කළමනාකරණය පිළිබඳ පරිචයක් නොවේ ද? ඒවාට ගැලැප්පී ජීවත් වීම පිළිබඳ පරිචයක් නො වේ ද? සපරගමු මහ සමන් දේවාල පුදබිම පෘතුගීසීන් ගෙන් නැවත අත්පත්කර ගැනීම ද ඒ බුද්ධි සම්පන්න පරිචයට නිදසුන් වෙයි!
 

ආක‍්‍රමණයෙන් පසුව ඉදි වුණු සමන් දෙවොලේ අප අද දකින රූපකාය ද මේ කාරණය සිහිපත් කරවයි. එහි දෙවොල් මන්දිරය මෙන්ම විහාර මන්දිරය ද ඉදිකර තිබෙනුයේ ඉතා උස් බිමක ය. උසට තැනූ මළුවක ය. ඊට පිටත මළුව පවා උස් බවක් පෙන්වයි. දෙවොල් ද්වාරයට සම්මුඛව නුදුරින් තැනූ ‘සිංහාසන මණ්ඩපය’ ද උස් වේදිකාවක් මත ඉදිකර තිබේ. සාමාන්‍යයෙන් දේවාල මන්දිර පූජනීය ස්ථාන වන බැවින්, ඒවා උස් වේදිකා මත ඉදි කළා යයි කියන්නට ද පුළුවන. රටේ අනෙකුත් පැරණි දේවාලවල ද මෙම ලක්ෂණය දැකිය හැකි ය. එහෙත් සමන් දේවාලයෙහි එය වෙනස් කාරණයක් පෙන්වන බව ලියුම්කරුගේ අදහසයි.
 

සමන් දෙවොල පමණක් නොවේ. දෙවොල අවට ඇති පෞද්ගලික නිවෙස් පවා ඉදිකර ඇත්තේ උස් අත්තිවාරම් මත පිහිටමිනි. බොහොමයක් නිවෙස්වල  උඩු මහල් හෝ සොල්දර ද දක්නට ලැබේ. රත්නපුර නගරය ආශ‍්‍රිත බොහොමයක් නිවෙස්වල ද මේ ඉදි කිරීම් ලක්ෂණය දැකිය හැකි ය. එයට හේතුව කුමක් ද?
 

කළු ගඟ ඉහළ නිම්නය කවදත් වර්ෂා සම්පතින් සාර ය. ගංගාව පටන් ගන්නා සමනොළ වන පියසට සෑම නිරිතදිග මෝසමකින්ම ඉහළම වර්ෂාවක් ලැබේ. එය ලංකාවේ ඉහළම වර්ෂාපතන කලාපය යයි ද ප‍්‍රකට ය. කළු ‍ඟඟේ දැඩි බෑවුම් සහගත භූගෝලීය පිහිටීම නිසා  වැසි ජලය වේගයෙන් රත්නපුරයට කඩා වැදී ‘ගංවතුර’ ඇති කරයි. වර්ෂා කාලයට රත්නපුර නගරය පමණක් නොව, සමන් දේවාලය අවට ගම් දනව් පවා ගංවතුරට හසු වෙයි. මහා ජල තලාවන් බවට පත් වෙයි. සමන් දෙවොල ද, ඒ අවට නිවාස ද උස් අත්තිවාරම් මත ඉදිකර, උඩු මහල් ද තනා ඇත්තේ ‘ගංවතුර’ නමැති ව්‍යසනයෙන් මිදීම සඳහා ය. මේ කාරණයට, ‘සොබාදහමට ගැලැප්පී, එයට ඔරොත්තු දෙන ආකාරයට ජීවත් වීමේ ගුණය’ යයි කියන්නට පුළුවන. එය ඇත්තටම කළු ගඟ ඉහළ නිම්න වැස්සන්ගේ පාරම්පරික ඥාණයකි. 

රත්නපුරයේ පහත් භූමිවල මෙන්ම, සමන් දේවාලය අවට ගම් දනව් වැසි ජනයා ද එහි හිමිකරුවන් වෙති. ගංවතුරට හසු වුව ද, රත්නපුරයේ දියේ ගිලී සිදු වන මරණ බෙහෙවින් අඩු ය. එය ද ඔවුන් ගංවතුර සමග ගැලැප්පී සිටීම පෙන්වන සාධකයකි. කළු ගඟ නිම්නයේ වැඩි දෙනෙක්  දියෙහි පීනන්නට ද, ඔරු අඟුල් පදින්නට ද හපනුන් වෙති!
 

අතීතයේ ඔවුහු සමන් දෙවොල රැක ගත්හ. දෙවොලේ කටයුතුවලට උදව්කර එහි ඇති ශිල්ප කලාවන් පවා ආරක්ෂාකර ගත්හ. පාරම්පරික දේශීය මැණික් පතල් තාක්ෂණය සහ එහි සම්ප‍්‍රදායන් ද රැක ගත්හ. සොබාදහමෙන් එන අහිතකර තත්ත්වයන්ට ගැලැප්පීමෙන් ජීවිතය ගොඩනගා ගත්හ. ඔරු අඟුල් පදිමින් ගංවතුර ද ජය ගත්හ. මේ කිසිවෙකුත් පාරම්පරික ගැමියන් විනා, නවීන පන්නයේ ඉංජිනේරුවන් නො වෙති. සම්මත අච්චුවේ උගතුන් නො වෙති. ඔවුන් සිය පරපුරෙන් පරපුරට ලැබුණු දේශීය ඥාණය වැඩි දියුණු කරමින් ඵල නෙලා ගත් පිරිසකි.
 

නවීන ලෝකය, අද ‘ආපදා කළමනාකරණය’ නමින් අපට නිතර උගන්වන දෙය, අතීතයේ පටන්ම අප මුතුන්මිත්තන් දැන උන්හ. මහ සමන් දෙවොල මෙන්ම, රත්නපුරය ද එයට සාක්ෂියකි. ‘ආපදා කළමනාකරණය’ ඉගෙන ගන්නට නම්, රත්නපුර නගරයට, සමන් දේවාලයට හෝ දෙවොල වටා ඇති ගම්වල ඇවිදින්නට එන්නැයි මම කියන්නෙමි!
 

රත්නපුර මහ සමන් දේවාල පෙරහැර, ඇසළ සමයේ සමස්ත කළු ගඟ ඉහළ නිම්නයම බැතිබර වින්දනයකින් කුළු ගන්වන සංස්කෘතික මංගල්‍යයකි. එය එක් අතකින්, කළු ගඟ ඉහළ නිම්න වැසියන්ගේ පාරම්පරික දැනුම් සම්භාරය, කලා මාධූර්්‍යයෙන් සංකේතවත් කරන කූටප‍්‍රාප්ති සන්දර්ශනයක් වන්නේ යයි ද මට සිතේ!
2016/08/21.








Sunday, September 4, 2016

ඇඟ හිිරි වැටෙන ‘වකුගඩු සටන’

‘වකුගඩු සටන’
ඇඟ හිිරි වැටෙන පොතක්!




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
බොහොමයක් විද්වතුන්ට අනුව, රජරට ප‍්‍රදේශයෙන් ඇරඹුණු මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට නිශ්චිත හේතුකාරකයක් තවම සොයා ගෙන නැත! එයට ‘ආසනික්’ ඇතුළු බැර ලෝහ සහ ඒවා මහ පොළොවට ගෙන එන කෘෂි රසායන බලපාන්නේ යයි කීම, තවම තහවුරු නොවූ කතාවකි!
 

විද්වතුන් යයි පෙනී සිටින පිරිසක් පතුරුවන මෙම මතවාදය හරියට, ‘අසුවල් එක හංගා ගෙන වෘෂණ කෝෂ මගින් අවල කෙළියේ යෙදෙන්නේ යයි කියන’ ගමේ කතාව සිහි ගන්වයි! මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට හේතුව, කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන ආසනික්, කැඞ්මියම් ඇතුළු බැර ලෝහවල ක‍්‍රියාකාරිත්වය බව, ලොව මහත් සම්භාවනාවට පාත‍්‍ර වූ විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවී තිබීම, ඊට හේතුව ය. ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ කළ පර්යේෂණ මගින් ද අනාවරණය විය. එසේ තිබිය දීත් සමහර පිරිස් තම ‘අහවල් එක’ සඟවා ගෙන කතා කරති!
 

මෙබඳු පූර්විකාවක් සටහන් කරන්නට සිතුණේ,  පසුගිය දා (අගෝස්තු 02 වැනි දා) නිකුත්වූ ‘වකුගඩු සටන’ ග‍්‍රන්ථය කියවීමෙන් පසුව ය. කෘතියෙහි කතුවරයා, ලංකාවේ කෙරුණු සුප‍්‍රකට වකුගඩු රෝග ඵර්යේෂණයේ නියමුවා වන ආචාර්ය චන්න සුදත් ජයසුමන සූරීහු ය. වෛද්‍යවරයෙකු ද වන හෙතෙම, රජරට විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහුගේ ග‍්‍රන්ථයෙහි පිටු සංඛ්‍යාව 478කි. එය පුරාවට සිය වකුගඩු රෝග පර්යේෂණය ගැන සවිස්තර කතා පුවත ඔහු විසින් හෙළිදරව්කර තිබේ. ‘වකුගඩු සටන’, එක හුස්මට කියවා ගෙන යා හැකි තරම් අගනා සරල ශෛලියකින් ලියැවී ඇති, පාඨකයාගේ මනස බුද්ධියෙන් පුබුදුවන දැනුම් සම්භාරයකින් හෙබි ග‍්‍රන්ථයකි. එය පළකර ඇත්තේ ‘සරසවි ප‍්‍රකාශකයන්’ ය.
 

රජරටින් ඇරඹී, රට පුරා පැතිරෙමින් යන මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට හේතුකාරක කවරේදැයි විස්තර කරන අතරතුර ඔහු, අතුරු කාරණා කිහිපයක් ද අපට කියා දෙයි. ඉන් එකක් නම්, කෘෂි රසායන සම්බන්ධයෙන් වෙළෙඳ සමාගම් එල්ල කරන බලපෑම සහ ඒ පිටුපස සැඟව ඇති දේශපාලනයයි. අනෙක, කෘෂි රසායන පේ‍්‍රමී උගතුන්, ඊට එරෙහි වන අය කෙරෙහි පතුරුවන වෛරී ක‍්‍රියාමාර්ග සමූහයයි. ඉන් ලංකාවේ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත‍්‍රය කොතෙක් දුරට කුණුවී තිබේ ද? යන කාරණය ගැන ද පාඨකයා දැනුවත් කෙරේ. 
 
ආචාර්ය චන්න ජයසුමන මහතා

ඇත්ත ඇති හැටියෙන් කියනවා නම්, ‘කෘෂි රසායන වෙළෙඳ මාෆියාව’, ආණ්ඩුවලටත් වඩා ප‍්‍රබල භූමිකාවක් රඟ දක්වයි!
 

චන්න ජයසුමනයන් සිය ග‍්‍රන්ථයෙන් හෙළිකරන කාරණා සම්භාරය, යමෙකුගේ ඇඟ හිරි වැටෙන තරම් ය! එය ඇත්තටම සැබෑ සටනකි.
එබැවින් නව ග‍්‍රන්ථය ගැන මෙන්ම, ඉන් මතු කෙරෙන කාරණා සම්බන්ධයෙන් ද යමක් ලියා තැබීම සමාජ යුතුකමක් සේ දකින්නෙමි. එය ඔහු වැනි යහපත් පර්යේෂකයන්ට ද, ඊට සහාය දුන් සැමට ද කෙරෙන ගෞරවයක් වන්නේ ය.
 

‘වකුගඩු සටන’ කෘතියෙහි සඳහන් වන ආකාරයට, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය මුලින්ම නිරීක්ෂණයවී තිබුණේ 1990 දශකය මැද භාගයේ ය. ඒ, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවිය ගොවි ජනපද ප‍්‍රදේශයෙනි. ඉන් පසුව අද වන විට එය ලංකාවේ වියලි කලාපීය කෘෂිකාර්මික ප‍්‍රදේශ ගණනාවක පැතිරෙමින් තිබේ.
 චන්න ජයසුමනයන් රැුස් කළ තොරතුරු අනුව, එදා පටන් අද දක්වා අඩු තරමින් පුද්ගලයන් 18,000ත් 22,000ත් අතර සංඛ්‍යාවක් රෝගයෙන් මියගොස් තිබේ. මේ වන විට රෝගය වැළ`දී ඇති ජන සංඛ්‍යාව 75,000කට ආසන්න බව කියනු ලැබේ. තවත් දහස් ගණනක පිරිසක් තමන්ට රෝගය වැළ`දී ඇති බවක් නො දැන ජීවත් වෙමින් සිටිති.
 

චන්න ජයසුමනයන් කියන හැටියට, බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇති ක‍්‍රමවේද අනුව, නිදන්ගත වකුගඩු රෝගයට කෙරෙන ප‍්‍රතිකාර, ‘බෝල එන හැටියට බැට් කිරීමක්’  බඳු ය. (පිටුව-51) එසේම රුධිර කාන්දුකරණ ක‍්‍රියාවලිය යනු, පුද්ගලයෙකු ජීවත් කරවන ප‍්‍රතිකාරයක් නොවේ. එය මරණය පමා කරන ක‍්‍රමවේදයකි! (පිටුව-53)
 

එහි තේරුම, යම් හෙයකින් රෝගය වැළඳුන හොත් මරණය ඒකාන්ත වන බවයි!
 

කෙසේ වෙතත්, චන්න ජයසුමනයන් කියන්නේ දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා යම් යම් ප‍්‍රතිකාර ඇති බවයි. තමන් ඒවා ගැන තොරතුරු සෙවීමෙහි ද නියැලෙමින් සිටින බවයි.
 

පර්යේෂණ මගින් හෙළිවූ අන්දමට, රෝගය වැඩිපුරම වැළඳී ඇත්තේ ‘කිවුල් ජලය’ පානය කරන්නට සිදුවූ පිරිසට ය. ඔවුන් පානය සඳහා ජලය සපයා ගෙන ඇත්තේ නො ගැඹුරු ළිං මගිිනි. රෝගය වැළදුණු බහුතරය රටේ වියලි කලාපීය ජනපදවල වෙසෙන ගොවීන් ය.
 

රෝගයට හේතුව, කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන ආසනික් සහ කැඞ්මියම් ඇතුළු බැර ලෝහ බව කලින් ද පැවසුවෙමු. පර්යේෂණවලින් අනාවරණය වූයේ රෝගයට ගොදුරුවූ අයගේ මුත‍්‍රා, හිස කෙස් සහ නියපොතු ආදියෙහි ආසනික් සහ බැර ලෝහ අන්තර්ගතව ඇති බවයි! ඒවා ශරීරයට ලැබී ඇත්තේ බැර ලෝහ සහිත පළිබෝධනාශක හ කෘතිම රසායනික පොහොර යොදා නිපදවන සහල්වල බත අනුභව කිරීමෙනි. බතින් ලැබෙන විෂ, පානය කරන කිවුල් ජලය සමග සංයෝග වීමෙන් රෝගය හට ගන්නා බව හෙළි විණි.
 

කරුණු මෙසේ වුව ද, ඇතැම් උගතුන් මේ කාරණා පිළිිගැනීමට කොහෙත්ම සූදානම් නැත. ඊට හේතුව වන්නේ, ඔවුන් කෘෂි රසායන වෙළෙඳ සමාගම්වල ක‍්‍රියාවලිය කෙරෙහි ඇති දැඩි කැමැත්තයි! කැමැත්ත හට ගෙන ඇත්තේ රුපියල් හෝ ඩොලර් ලැබීමේ පදනමිනි! විදෙස් සංචාර හෝ වෙනත් වරදාන සහ වරප‍්‍රසාද ලැබීමේ පදනමිනි!
 

ලංකාවේ කෙරුණු නිදන්ගත වකුගඩු රෝග පර්යේෂණයේ නියමුවා වූයේ චන්න ජයසුමනයන් ය. ඒ සඳහා ඔහුට, මහාචාර්ය නලීන් ද සිල්වා, මහාචාර්ය ප‍්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ සහ ප‍්‍රියන්තා සේනානායක ඇතුළු විද්වත් පිරිසකගේ මගපෙන්වීම ලැබිණි. ඇමරිකාවේ කැලිපෝනියාවේ කළ පර්යේෂණ කොටස් ස`දහා මහාචාර්ය සරත් ගුණතිලක මහතාගේ මාර්ගෝපදේශකත්වය හිමි විය. මෙම කටයුතු සඳහා අති විශාල පිරිසක් පසුබිමෙහි සිටිමින් සහාය දී තිබේ. පර්යේෂණ කටයුතු කෙරුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ දී ය.
 

අනාදිමත් කාලයක් මුළුල්ලේ ලංකාවේ පැවති බහු වැදෑරුම් ක‍්‍රම ශිල්පයකි. එයට ආහාර විහරණය, ශාක ඖෂධ භාවිතය, රස වෙදකම, නාඩි ශාස්ත‍්‍රය, ආදිය මෙන්ම භෞතික ලෝකයට නො පෙනෙන බලවේගවල ශක්තිය ද යොදා ගැනුණු බව ප‍්‍රකට ය. යන්ත‍්‍ර-මන්ත‍්‍ර, බලි-තොවිල්, ශාන්තිකර්ම සහ ජ්‍යෝතිෂ්‍ය මෙන්ම විවිධ පුද පූජා, බුදු ගුණ කවි සහ පිරිත් ආදිය ද එයට භාවිත කෙරිණි. ‘සිංහල වෙදකම’ නමින් ප‍්‍රකට වූ ලංකාවේ දේශීය වෛද්‍ය ක‍්‍රමය, බටහිර වෛද්‍ය ක‍්‍රමය ප‍්‍රචලිත වන්නට පෙර රටේ ප‍්‍රධාන වෛද්‍ය ක‍්‍රමය විය. එය බොහෝ කාලයක් මුළුල්ලේ ලක් වැසියන් සුවපත් කිරීමට යොදා ගැනුණි.
 

චන්න ජයසුමනයන් ඇතුළු පිරිසගේ වකුගඩු රෝග පර්යේෂණය ද, එවන් ආභාෂයක් ලැබූ බව පෙනේ. ඒ, යම් යම් කාරණා සඳහා නාථ දෙවියන්ගේ මග පෙන්වීම් ද දායකකර ගැනීමෙනි. නවීන විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා නො පෙනෙන බලවේගවල පිහිට ලබා ගැනීම අති විශාල ලෙස විවේචනයට ද ලක් විය. ‘වකුගඩු සටන’ ග‍්‍රන්ථයේ චන්න මෙසේ කියයි.
 

‘ථෙරවාදී බුදු දහම ගැන හොඳ අවබෝධයකින් පසුවූ මට දෙවියන්, බඹුන්, භූතයන් හෝ වෙනත් ඇසට නො පෙනෙන ජීව කොටසක සම්මුති පැවැත්ම ගැන ප‍්‍රශ්නයක් නො වීය.’ (පිටුව-100)
චන්න කියන හැටියට, කිවුල් ජලය පානය කරන ප‍්‍රදේශවල අයට රෝගය වැළඳීමට හේතුව ආසනික් විය හැකි බවට මුල්ම අනුමානය ලැබී ඇත්තේ එතැනිනි!
 

නවීන විද්‍යාත්මක පර්යේෂණයකට නාථ දෙවියන් ගාවා ගැනීම, යම් විසම්මුති බවක් ජනිත කරවන බව ඇත්ත ය. එහෙත් ආසනික් ඇතුළු බැර ලෝහ කතාව පර්යේෂණය මගින් ද සනාථ විය. එසේම නාථ දෙවියන් සමග කොහෙත්ම සම්බන්ධයක් නො පැවති ලෝක සෞඛ්‍ය සංවිධාන පර්යේෂණයෙන් ද ඒ බව සනාථ විය. දෙවියන්ගේ බැල්ම කෙසේ වෙතත්, පර්යේෂණය ඔස්සේ සත්‍යය මතුකර ගැනීම පිණිස ඉන් මහත් පිටිවහලක් ලැබුණු බව පිළිගැනීමට සිදු වේ.
 

නිදන්ගත වකුගඩු රෝගය වැළඳීම කෙරෙහි ‘ග්ලයිපොසේට්’ අඩංගු වල්නාශක වර්ග බලපාන බව සොයා ගැනීම, විශේෂ කාරණයක් විය. ඒ සඳහා පර්යේෂණ කෙරුණේ, ඇමරිකාවේ කැලිපෝනියා විශ්වවිද්‍යාලයේ ද සහායෙනි. ග්ලයිපොසේට් අනාවරණයකර ගැනීම, අපේ රටේ පමණක් නොව ලෝකයේ ද මහත් ආන්දෝලනයට තුඩු දුන් බව ග‍්‍රන්ථයෙහි සඳහන් වේ.  ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන නිපදවා ලෝකයට බෙදා හරින්නේ ඇමරිකාවේ ‘මොන්සැන්ටෝ’ සමාගමයි. එය ලොව කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ඉතා ප‍්‍රබල වෙළෙඳ සමාගමකි.
 

ග්ලයිපොසේට් අනාවරණය වීමත් සමගම, සමාගමට හිතවත් බලවේග චන්න ජයසුමනලාට එල්ල කරන්නේ විශාල පීඩනයකි. මේ හෙළිදරව්ව බොරුවක් බව ඔප්පු කරන්නට ඔවුන් දැරූ උත්සාහය අති විශාල ය.
 

ග්ලයිපොසේට් යනු කොල පැහැයෙන් යුත් සියලූම ශාක විනාශකර දමන රසායනයකි. එබැවින් වගා බිම් සකස් කිරීමේ දී ඉහළ ඵලදායකත්වයක් හිමිකර ගනියි. ඒවා මුලින්ම ලංකාවේ භාවිතකර ඇත්තේ 1983 වසරේ දී පමණ ය.
 

චන්න සිය කෘතියේ ස`දහන් කරන ආකාරයට,  පදවිය ප‍්‍රදේශයේ ගොවීන් 1980 දශකය මුල් භාගයේ සිට ඒවා භාවිතකර ඇත. ඒ ගැන ගොවීන් පවසා ඇත්තේ, ‘කුඹුරු පස බටර් මෙන්  මෙලෙක් කරන මැජික් ද්‍රාවණයක්’ යනුවෙනි. (පිටුව-250-251) ඉන් අඩු ශ‍්‍රමයකින් බිම් සකස් කළ හැකි බව ගොවීන් අත්දැක ඇත.
 

පදවියේ ඇතැම් ගොවීන් උදේ කාලයේ ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන (රවුන්ඩප්) යොදා, එදාම අත් ට‍්‍රැක්ටරයෙන් කුඹුර මඩකර, එදිනම වී වැපිරූ අවස්ථා ද තිබී ඇති බව කතුවරයා කියයි! (පිටුව-214) රෝද දෙකේ ට‍්‍රැක්ටරයත්, ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායනත්, ‘අමුඩෙයි-පුකයි මෙන්’ ගැලපුණු බව ඔහු ගැමි වහරින්ම පවසයි.
 

මහවැලි බලධාරීහු 1980 දශකය මුල් භාගයේ දී, මහවැලි ‘සී’ කලාපයේ කෙත් බිම් සකස් කිරීම සඳහා ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන මහා පරිමාණයෙන් යොදා ගත් ආකාරය ද චන්න ජයසුමනයන් සිය ග‍්‍රන්ථයෙහි විස්තරකර තිබේ. 1983 වසරේ පටන් ඉන්දීය ග්ලයිපොසේට් නිෂ්පාදන රජරට ප‍්‍රදේශයේ අලෙවිකර ඇති බව ඔහු කියයි. (පිටුව-213)
 

අද මහවැලි ‘සී’ කලාපය ද (ගිරාඳුරුකොට්ටේ සහ දෙහිඅත්තකණ්ඩිය ආදී) නිදන්ගත වකුගඩු රෝගයේ ගොදුරු බිමකි.
 

මහවැලි සංවර්ධන ව්‍යාපාරය හේතුවෙන් ලංකාවේ වී වගා බිම් ප‍්‍රමාණය විශාල ලෙස ඉහළ ගියේ ය. එය කවුරුත් දන්නා කාරණයකි. ඊට සාපේක්ෂව පළිබෝධනාශක භාවිතය ද වේගයෙන් ඉහළ ගිය බව කෘතියෙහි සඳහන් වේ. වර්ෂ 1976ට සාපේක්ෂව, 1979 වසරේ දී පළිබොධනාශක ආනයනය සියයට 237කින් ඉහළ ගිය බව කතුවරයාගේ නිරීක්ෂණයයි. (පිටුව-154)
 

රසායනික බැර ලෝහ අහිතකර මාත‍්‍රාවලින් ශරීරගත වීම නිසා වකුගඩු රෝගය සෑදෙන්නට සාමාන්‍යයෙන් වසර 15ක් පමණ ගතවේ. ඒ අනුව බලන කල, රජරට වැසියන් ග්ලයිපොසේට් භාවිත කළ වකවානුවත්, ඔවුන් රෝගයට ගොදුරුවූ වකවානුවත් එකට ගැලපෙයි! ආසනික් සහ කැඞ්මියම් ආදී බැර ලෝහ මිනිස් වකුගඩුවලට උග‍්‍ර ලෙස විෂ සහිත වේ. (පිටුව-158)
 

චන්න ජයසුමනලා වකුගඩු රෝග පර්යේෂණය කරන අතරතුර, මෙරට විද්වතුන් වැඩි දෙනෙක් සිට ගත්තේ ජනතාව සමග නොවේ! ඔවුන් සිට ගත්තේ කෂිි රසායන සමාගම් සමග ය! මුලින්ම ඔවුහු ආසනික් ගැන හෙළි වෙනවාට එරෙහිව ගියහ. ඊළඟට, ආසනික්, කැඩ්මියම් ඇතුළු බැර ලෝහ සාන්ද්‍රණය සහ කෘෂි රසායන අතර සම්බන්ධය හෙළි වෙනවාට එරෙහි වූහ. එයින් පසුව ‘ග්ලයිපොසේට්’ බේරා ගැනීම සඳහා සටන් කළහ. චන්න ජයසුමනලා කරන දෙයින් ලංකාවේ කෘෂි කර්මාන්තය බිඳ වැටෙතියි මතවාද පැතිර වූහ. පර්යේෂකයන් ‘ප‍්‍රීමා’ තිරිඟු පිටි සමාගමේ කොන්ත‍්‍රාත්තුවක් ඉටු කරතියි තර්ක කළහ.වකුගඩු රෝග ප‍්‍රශ්නය ‘ප්ලෝරයිඩ්’ සහ ඇලූමිනියම් හැලි-වළං මත පටවන්නට උත්සාහ කළහ.
 

වකුගඩු මාරයා ග්ලයිපොසේට් බව හෙළි වීමත් සමගම දැන් ඔවුන් අලූත් පුහු තර්කයක් මතු කරමින් සිටිති! ‘වකුගඩු රෝගයට හේතුව, ගොවීන් අධික ලෙස හිරු රශ්මියට නිරාවරණයවී, විජලනයට පත් වීමයි’ යන්න, ඒ අලූත් කර්කයයි. කතුවරයා සඳහන්කර ඇති ආකාරයට, එය කෘෂිි රසායන සමාගම් විසින් සිය කුලී අන්තේවාසික විද්‍යාඥයන් යොදවා, බටහිර දී ගොඩ නැගූ මතවාදයකි. එය බටහිර රටවලදීම පරාජය විය. එසේ වුවත් ලංකාවේ ඇතැමුන් දැන් එය අපේ රටේ වපුරමින් සිටිති!
 

කෘෂි රසායන වෙළෙඳ සමාගම්වලට කුලියට කඩේ යන ලංකාවේ විද්වතුන් කොතරම් නිහීන ලෙස හැසිරුණාදැයි යන කාරණය ද, වකුගඩු රෝගය පිළිබ`ද සංවාදයේ දී හෙළිදරව් විය. ලංකාවේ පළිබෝධනාශක රෙජිෂ්ඨාර්වරයා වරක් මාධ්‍ය මගින් ප‍්‍රකාශකර තිබුණේ, ආසනික් යනු මනුෂ්‍ය ශරීරයට අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යයක් බවයි! (පිටුව-135)
 

නිදහස් අධ්‍යාපනයෙන් හැදී වැඞී, විද්වතුන් වූ බොහොම දෙනෙක් රට වැසියන්ට ද්‍රෝහිවී ඇති ආකාරය මෙන්ම, සමහර මහජන නියෝජිතයන් ද, ඇතැම් මාධ්‍ය ආයතන ද, ඒ මග ගිය ආකාරය, කෘතිය මගින් නිරූපනය වේ.
 

x    පේරාදෙණිය සරසවියේ සිටි එක්තරා මහාචාර්යවරයෙක්, වරක් ලෝක ප‍්‍රකට කෘෂි රසායන සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කළේ ය. ඔහු ගැන රේගු පරීක්ෂණයක් ද පැවැත් විණි. හෙතෙම පසුව කාර්මික තාක්ෂණ ආයතනයේ තනතුරකට ද පත් විය! (පිටුව-132)
 

x    වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් පත් කෙරුණු කමිටුවකට වරක් කැබිනට් ඇමතිවරයෙකුගේ සහෝදරයෙකු ද පත් කෙරිණි. හෙතෙම ලංකාවට පළිාබා්ධනාශක ගෙන්වන සමාගමක හිමිකරුවෙකි! (පිටුව-197-198)
 

x    පේරාදෙණිය සරසවියේ එක්තරා මහාචාර්යවරයෙක්, කෘෂි රසායන ආනයන සමාගමක ද අධ්‍යක්ෂවරයෙකි!
 

x    ලංකාවේ ප‍්‍රකටතම විද්‍යුත් මාධ්‍ය ආයතනයක හිමිකාර සමාගමෙහි උප සමාගමක්, ලංකාවට ග්ලයිපොසේට් ආනයනය කරයි! නිතරම මහජනයා වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කියා ගන්නා විද්‍යුත් මාධ්‍ය ආයතනය,  ලංකාවේ වකුගඩු රෝගය ගැන හෝ ග්ලයිපොසේට් ප‍්‍රශ්නය ගැන කටක් අරින්නේවත් නැත!
 

x    ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනයේ සේවය කළ අධ්‍යක්ෂවරයෙකුගේ පුත‍්‍රයා, රැකියාව කරන්නේ කෘෂි රසායන සමාගමක ය.
 

x    චන්න ජයසුමනයන් වකුගඩු රෝගය පිළිබඳ සිය පශ්චාත් උපාධි පර්යේෂණය කරන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයෙහි ශිිෂ්‍යයෙක් වශයෙනි. එහෙත් ඔහුට සරසවිය ඇතුළෙන්ම බරපතල ලෙස කෙණිහිලිකම් සහ බාධා කිරීම් එල්ල වෙයි. පසුව ඔහුට ඉන් ඉවත්වී, පර්යේෂණය සඳහා රජරට විශ්වවිද්‍යාලය තෝරා ගැනීමට සිදු වෙයි. (පිටුව-231-233) ඔහු පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්නේ එතැනිනි.
 

‘වකුගඩු සටන’ ග‍්‍රන්ථය, අපට ලංකාවේ මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ගැන බොහෝ දේවල් කියා දෙයි. එය සැබවින්ම සටනකි. එසේම, කෘෂි රසායන සමාගම් මාෆියාවට මුළු රටම බිළිවී ඇති ආකාරය ගැන ද ඉන් විස්තර කෙරේ. ගොවීන් දහස් ගණන් මියගොස් තිබියදීත් ඒ අය, කෘෂි රසායන ඊට හේතු වෙතියි පිළි ගන්නට මැලි වෙති. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ විෂ සහිත කෘෂි රසායන ආරක්ෂාකර ගැනීමට ය!
 

මෙය දිගින් දිගටම රටවැසි සංවාදයට ලක්විය යුතු කාරණයක් ද වන්නේ ය.
චන්න ජයසුමනයන්ගේ ග‍්‍රන්ථය, ‘ඇඟ හිිරි වැටෙන’ කෘතියක් යයි පැවසුවේ ඒ නිසා ය.
(ඡායාරූප-අන්තර්ජාලයෙනි)
2016/09/05.