හිරිහැරයක් නම් තමයි
ඒත් වැස්ස කියන්නේ අපේ පණ කෙන්දයි!
වැස්ස!
සැප්තැම්බර් මාසයේ පටන්, වැසි එපා වෙන්නම වැස්සා. ගංගා ඉතිරුවා. පාරවල්, ගෙවල් දොරවල් යටකර ගෙන වතුර ගැලූවා. කොළඹ රටේ වීදිත් ජලයෙන් යට වුණා. කඳු නාය ගියා. ගෙවල් දොරවල් අතුරුදන්වී, ජීවිත පවා හානි වුණා. පස් කඳු කඩා හැලූණා. ඇතැම් නිවාස බිඳී ගියා. රාත්තිරියට සීතලයි. වරින් වර විදුලිය ඇණහිටියා. දහවල් දවසම අන්ධකාරයි. හොඳටෝම අකුණු ගහනවා. සවස් වන තුරුම තොරතෝංචියක් නැතිව වැස්ස. සැප්තැම්බරයේ 24 වැනි දා සිට 31 වැනි දා දක්වා කාලය, 2015 වසරේ 39 වැනි සතියයි. මේ කාලය තුළ රටේ බස්නාහිර සහ දකුණ යන පළාත්වලට මිලිමීටර් 300ක (සතියට) පමණ වර්ෂාවක් ලැබුණා. සෙසු ප‍්‍රදේශවලට ද හොඳටෝම වැස්සා. කාලගුණ විද්‍යාඥයන් පැවසුවේ එය ‘වැඩි වර්ෂාපතන තත්ත්වයක්’ යනුවෙනුයි. ඒ දිනවල ලංකාව ආශ‍්‍රිත වායුගෝලයේ හට ගත් කැළඹීම් නිසා වර්ෂාව ඇතිවූ බව, කාලගුණ විද්‍යා නිවේදනවල සඳහන් වුණා. දැන් 2015 වසරේ ඔක්තෝම්බරයත් ඇවිත්. වැස්ස තවමත් ඉවර නෑ!
මිනිස්සුන්ට මේක හරිම අකරතැබ්බයක්. වැඩි දෙනෙකුට යල කන්නයේ වගා කළ ගොයම් ටික හරියට කපා ගන්ටත් බැරි වුණා. සමහරුන්ට ඉතිරි වුණේ ‘තෙත වී’ විතරයි. තෙත් කලාපේ ඇතැම් ප‍්‍රදේශවල තේ දළු ටික කඩා ගන්නත් අසීරු වුණා. එළිමහනේ කරන වැඩ කටයුතු, රැකී රක්ෂා එහැමපිටින්ම ඇණ හිටියා. කොරටුවල එළවළු වගාවන් පවා හේදිලා ගියා. එළවළු ග‍්‍රෑම් 250ක් රුපියල් 30නුත් එහාට ගිහින්.
ඇයි මේ තරම් වැස්සක්? කවුරුත් ඒ ප‍්‍රශ්නේ අහනවා. සමහරු වැස්සට බණිනවා.
දෙන්නට තියෙන උත්තරේ බොහොම සරලයි. නිරිත දිග මෝසම් වර්ෂාවේ බලපෑම ටිකක් කලින් ම ඇවිත්! ඒත් ඒක ගැන තේරුම් ගන්නට නම් ලංකාවේ වර්ෂාපතන රටාව ගැන යමක් දැන කියා ගන්න වෙනවා. අපි ජීවත්වන පරිසරයේ හට ගන්නා පාරිසරික ප‍්‍රපංචයන් දැන කියා ගන්න එක කොහොමත් හොඳයි, වැස්සට බැණ බැණ ඉන්නවාට වඩා!
හිත මිතුරු මෝසම් සුළං
ප‍්‍රධාන වශයෙන් ගත් කල ලංකාව, නිරිත දිග සහ ඊසාන දිග යන මෝසම් වර්ෂා දෙක ඔස්සේ වැසි ලැබෙන රටක්. ඒ නිසා අනාදිමත් කාලයක් මුළුල්ලේ අපේ රටේ වී ගොවිතැන ඇතුළු ආහාර බෝග වගා කටයුතු පවා, සැකසී ඇත්තේ ඒවාට අනුරූපවයි. වර්ෂා රටාවත් සමග ගැට ගැසුණු වගා රටාව, ‘යල’ යහ ‘මහ’ නමින් හඳුන්වන බව අපි කවුරුත් දන්නවා. රටේ ප‍්‍රධාන වර්ෂා වකවානු දෙක, නිරිත දිග සහ ඊසාන දිග යන මෝසම් යයි කීවාට, ඒවා අතර ‘අන්තර් මෝසම් වකවානු’ දෙකක් ද දකින්නට පුළුවන්. මෙම වර්ෂා ක‍්‍රියාවලිය, අපේ රටේ ‘සම්මත වැසි රටාව’ යනුවෙන් ද හැඳින්විය හැකියි.
වසරේ සෑම මැයි මාසයකම පටන් සැප්තැම්බරය දක්වා, සාගරය දෙසින් රටේ නිරිත දිග දෙසට සුළං ධාරා හමා එනවා. ඒවා ‘නිරිත දිග මෝසම් සුළං’ යනුවෙන් ප‍්‍රකටයි. ඒ සමග එන ජල වාෂ්ප ඔස්සේ අපට වර්ෂාව ලැබෙනවා. ඒවා හඳුන්වන්නේ ‘නිරිත දිග මෝසම් වැසි’ යන නමින්. අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන විදිහට, නිරිත දිග මෝසම ඔස්සේ රටට මිලි මීටර් 100ත්, 3000ත් අතර ප‍්‍රමාණයක වර්ෂාපතනයක් ලැබෙනවා. ඒ වගේම, වසරේ දෙසැම්බරයේ පටන් ඊළඟ අවුරුද්දේ පෙබරවාරිය දක්වා, සාගරය දෙසින් රටේ ඊසාන දිග දෙසට සුළං ධාරා හමා එනවා. ඒවා ‘ඊසාන දිග මෝසම් සුළං’ යනුවෙන් ප‍්‍රකටයි. ඒ සමග එන ජල වාෂ්ප ඔස්සේ අපට වර්ෂාව ලැබෙනවා. ඒවා හඳුන්වන්නේ ‘ඊසාන දිග මෝසම් වැසි’ යන නමින්. අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන විදිහට, ඊසාන දිග මෝසම ඔස්සේ රටට මිලි මීටර් 750ත්, 1200ත් අතර ප‍්‍රමාණයක වර්ෂාපතනයක් ලැබෙනවා. මේක රටේ ප‍්‍රධාන වර්ෂාපතන ක‍්‍රියාවලියයි. ඒ අනුව සැප්තැම්බරයේ අහස-පොළොව බදා ගෙන සිටියේ ‘නිරිත දිග මෝසමේ’ වැසි රටාවයි.
නිරිත දිග සහ ඊසාන දිග යන ප‍්‍රධාන වැසි මෝසම් වකවානු දෙකට අමතරව, අපේ රටට ‘අන්තර් මෝසම්’ වකවානු දෙකක් ද තිබෙනවා. එයින් ද රටට විශාල වර්ෂාවක් ලැබෙනවා. ඒවා ‘අන්තර් මෝසම්’ නමින් හඳුන්වන්නේ, ප‍්‍රධාන වැසි මෝසම් දෙක අතරේ ක‍්‍රියාකාරී වන නිසයි. මෙයින් වසරේ ‘පළමුවන අන්තර් මෝසම’ එළඹෙන්නේ, මාර්තු-අප‍්‍රියෙල් සමයේ දී යි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, ඉන් රටට ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 250ක් පමණ වෙනවා. ‘දෙවැනි අන්තර් මෝසම් වැසි සමය’ ඔක්තෝබර්-නොවැම්බර් මාසවල එළඹෙනවා. ඉන් රටට මිලිමීටර් 1280ක පමණ වැස්සක් ලබා දෙනවා. මේවාට ‘සංවහන’ වැසි ද අයත්.
‘අන්තර් මෝසම් වැසි’ හරියට, සොබාදහමේ දූතයෙක් වගෙයි. ‘ඔන්න ප‍්‍රධාන වර්ෂා වකවානු ළඟම එනවා. ඉතින් සූදානම් වෙයල්ලා’ වගේ පණිවුඩයක් එයින් ගෙන එනවා. එහි අරුත, වී ඇතුළු බව බෝග වගා කරන ගොවීන්ටත්, අවදානම් තැන්වල පදිංචිව ඉන්න මහජනතාවට මෙන්ම, අබලන් වහලවල් ඇති අයට, නිවෙස් ළ`ගම ගස් කොලන් ඇති අයට, ඇල මාර්ග සහ කාණු පද්ධති වැනි ජල බස්නා මාර්ග බලා කියා ගන්නා රාජ්‍ය ආයතනවලටත් අදාලයි. සොබා දහමේ දූතයා පණිඩුඬේ දුන්නාට, රටේ පෙර සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නෑ! දැන් ඔක්තෝබරයේ පළවැනි සතිය ගෙවී ගිහින්. එහි තේරුම දැන් අපට දෙවැනි අන්තර් මෝසම් සමය එළඹිලා කියන එකයි.
වැස්සේ හැඩරුව
කාලගුණ විද්‍යාඥයන් පවසන අන්දමට, ලංකාවට මෝසම් වැසි ලැබීමට අපේ රටේ පිහිටීමත් බලපානවා. රටේ එක් පැත්තකින් අරාබි මුහුද. අනෙක් පැත්තෙන් සුවිසල් ඉන්දියන් සාගරය සහ සුප‍්‍රකට බෙංගාල බොක්ක. සෑම වසරකම මාස 06ක් ඉන්දියානු සාගරයෙන් හමන සුළං ධාරා, නිරිත දිගට හමා යනවා. එයින් අපට නිරිත දිග මෝසමේ වැසි ගෙන එනවා. ඉතිරි මාස 06ක කාලයේ, බෙංගාල බොක්ක පැත්තේ, එනම් ලංකාවට ඊසාන දිග සාගර කලාපය ඔස්සේ ‘ඊසාන දිග මෝසම් සුළං’ හමා එනවා. එයින් අපට ඊසාන දිග මෝසම් වර්ෂාව ලැබෙනවා. මෝසම් සුළං ක‍්‍රියාවලිය අපට පමණක් නොවෙයි, මුළු දකුණු ආසියාවටම, සමස්ත ඉන්දියානු අර්ධද්වීපය ආශ‍්‍රිත රටවලටම බලපානවා. ඉන්දියානු කලාපය ආශ‍්‍රිත වායුගෝලයේ එක් එක් වකවානුවල හට ගැනෙන අඩු පීඩන තත්ත්වයන්, මෝසම් සුළං ඇති වීමට හේතුවයි. මින් වැඩිම වර්ෂාපතනයක් ගෙන එන්නේ නිරිත දිග මෝසම් සුළෙඟනුයි. මෝසම් සුළං රටා ගැඹුරු සංසිද්ධියක්. මුළු දකුණු ආසියාවේම ආහාර නිෂ්පාදනය (කෘෂිකර්මාන්තය), ජල සම්පත, වන සම්පත, ජෛවවිවිධත්වය, සහ ස්වාභාවික විපත් ආදී බරපතල කාරණා සියල්ල එයින් තීරණය වීම, ඊට හේතුවයි. අපේ රටට ද එහි බලපෑම ඉතා විශාලයි.
වැස්ස වෙනස් වීම
කොයි හැටි වෙතත්, මෑතක සිට අපේ වර්ෂාපතන රටාව යම් පමණකට වෙනස්වී ඇති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ අධ්‍යයනවලින් හෙළිවී තිබෙනවා. ඔවුන්ගේ වෙබ් අඩවියෙහි මෙසේ සඳහන් වෙනවා.
zනිරිතදිග මෝසම් වැසි සහ ඊසානදිග මෝසම් වැසි A2 විවරණය යටතේ HadCM3 ආදර්ශය සමග වර්ෂාපතනය ඉහළයාමg නියමිත බව හෙළිදරව් වී තිබේ. වර්ෂාපතනය ඉහළ යාමත් සමග ඉහළම වර්ෂාපතනය සීමාවූ ගුවන් කලාපය ද පුළුල් වීමට නියමිතය. ඊසානදිග මෝසම් සමයට වඩා නිරිතදිග මෝසම් සමයේ වර්ෂාපතන විපර්යාසය අධික වේ. සෑම මෝසම් සමයකම මධ්‍යම කඳුකරයේ සුළං මුහුණතේ වඩා ඉහළ වැඩිවීම් ද සුළං මුවාවේ පහළ වැඩිවීම් ද දක්නට ලැබේ. එබැවින් අනාගතයේදී ජනගහන වර්ධනයත්" ජලය සඳහා ඇති වැඩිවන ඉල්ලුමත් සමග මධ්‍යම කඳුකරයේ විශේෂයෙන්ම සුළං මුවාවේ සහ යාබද වර්ෂාපතනය අඩු ප්‍රදේශවල මෝසම් කාල වල ජල හිඟයක් ඇති වීමේ තදබල හැකියාවක් තිබේ. A2 විවරණය අනුව වායුගෝලයේ හරිතාගාර වායු ඉහළ යාමත් සමග මධ්‍යන්‍ය උෂ්ණත්වය ඉහළ යාමට නියමිත නිසා මෙම තත්ත්වය වඩාත් උත්සන්න වනු ඇත. මෙම තත්වය කෘෂිකාර්මික, ජල සම්පත් සහ භූමි පරිභෝජන ක්ෂේත්‍ර වලට තදින් බලපානු ඇති අතර පෙර සඳහන් කළ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා විශේෂයෙන් වියළි කලාපයේ වැසි ජලය රැස් කිරීමg කුඩා වැව් වල රොන්මඩ ඉවත් කිරීම සිදු කළ යුතුය.
‘වර්ධනය වූ වර්ෂාපතන සහ උෂ්ණත්ව තත්ත්වය අවදානම් සහිත ක්ෂේත්‍රයන්හි සිදුවන දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ගැටළු සහ අවදානම ඇගයීමේ ඒකකයක් ලෙස ද අනුගත වීමේ නියමයන් වැඩි දියුණු කිරීමේ ක්‍රමෝපායන් බිහිකර ගැනීමේ මෙවලමක් භාවිත කළ හැකිය. මෙම වර්ෂාපතන සහ උෂ්ණත්ව තත්ත්වයන් IPCC මගින් යෝජනා කරන ලද උපකල්පිත විමෝචන තත්වයන් මත පදනම් වී තිබේ. පෙර පල කරන ලද දේශගුණික විපර්යාසයන්ට අනුව ඉදිරි වර්ෂයන්හි වර්ෂාපතනය සහ උෂ්ණත්වය කුමන ආකාරයේ වේදැයි ඇස්තමේන්තු කිරීම සඳහා මෙම විශ්ලේෂණ වලදී මධ්‍යම විමෝචන තත්ත්වය, HadCM3 මාදිලිය සමග භාවිතා කරනු ලැබේ. IPCC මගින් යෝජිත විමෝචන තත්වයන් හා බැඳී ඇති අවිනිශ්චිතතාවය හේතු කොටගෙන මෙම වර්ෂාපතන සහ උෂ්ණත්ව තත්ත්වයන් හෙළදරවු කර ගැනීමේ යම් අවිනිශ්චිතතාවන් ඇති වන බව සඳහන් කිරීම වැදගත් ය. වර්ෂාපතනය සහ උෂ්ණත්ව තත්ත්වය ඌන පරිමාණනය කිරීමට භාවිතා කළ රටා පරිමාණන ක්‍රමය (සංඛ්‍යානික ඌනපරිමාණන ක්‍රමය) ගෝලීය ක්ෂේත්‍ර ප්‍රාදේශීය හේ ස්ථානික පරිමාණය කරා ඌනපරිමාණනය කිරීමේ ආකල්පය වඩාත් පිළිගත හැකි බව පෙනී යයි. එයට හේතුව ගතික ඌනපරිමාණන ක්‍රමය සඳහා වියදම් අධික පරිගණක සම්පත් සහිත අති නවීන සීමිත ක්ෂේත්‍රමය සංඛ්‍යා මාදිලියක් අවශ්‍ය වීමය.’
මෙහි තේරුම වැසි වැටීම කෙමෙන් ඉහළ යමින් තිබෙන බවයි. මෝසම් වැසි ගැන පර්යේෂණ කළ ජාතික පරමාණුක බලශක්ති අධිකාරිය ද වර්ෂා රටාවේ වෙනස් වීමක් ගැන හෙළි කළා. පළමු අත්තර් මෝසම් සමය මාර්තු සිට මැයි දක්වා දීර්ඝවී ඇති බවත්, නිරිත දිග මෝසම් සමය පවා දීර්ඝවී ඇති බවත්, ඔවුන් පවසා තිබුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වර්ෂා රටාවේ වෙනස්කම් ගැන සිය වෙබ් අඩවියෙහි මෙසේ සඳහන් කරනවා.
‘m%ධාන වශයෙන් වර්ෂාපතනයේ වෙනස්වීම් නිසා කාලගුණයේ විපර්යාස සමග (IPCC, 2001) කාලගුණයේ අත්‍්‍යන්ත තත්වයන් (ජලගැලීම් නියඟ ආදිය) වඩාත් තීව්‍ර ලෙස සහ නිරන්තරයෙන් ඇති වනු ඇත. මෙයට අමතරව දේශගුණික විපර්යාස සමග තෙත් ප්‍රදේශ තව තවත් තෙත් භාවයට පත්වනු ඇති අතර, වියළි ප්‍රදේශ තව තවත් වියළි වනු ඇත. ලබාගත් ප්‍රතිඵල අනුව දිවයිනේ බස්නාහිර සහ නිරිතදිග ප්‍රදේශ වලට සීමා වූ නිරිත දිග මෝසම් වැසි තත්වය යටතේ 2025 වන විට වැඩි වන බව පෙනේ. විමෝචන තත්ත්වයන් යටතේ, 2025- 2050 සහ 2100 යන වර්ෂයන්හි ඊසාන දිග මෝසම් වැසි මගින් විශේෂයෙන්ම නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවල ඊසාන දිග මෝසම් වැසි ඉහළ යාමක් පෙන්නුම් කරයි.
එළඹෙන තත්ත්වයන් රටේ වී වගාව ඇතුළු ආහාර නිෂ්පාදන කර්මාන්තයට බලපාන්නේ කෙසේ ද? යන්න අපි, ඔක්තෝබර් 07 වැනි දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාගෙන් විමසුවා. ඔහු මෙසේ පැවසුවා.
‘ගෙවී ගිය අන්තර් මෝසම් වකවානුව ‘සංවහන වර්ෂා’ ක‍්‍රියාවලියක්. එය කලින්ම ආවා. මෝසම් වර්ෂා වකවානු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට යම් පුරෝකතන කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වර්ෂාව ප‍්‍රමාද වෙනවා නම්, අඩු වයස් වී වර්ග වගා කරන්න පුළුවන්. ඒත් සංවහන වැසි ගැන පුරෝකතනය කළ නො හැකියි. ඒ ආරවුල තමයි ඉකුත් දිනවල වුණේ. ගෙවී ගිය යල කන්නයේ, අඩු තරමින් මාර්තු වන විට බිම් සකස් කරලා අලූත් අවුරුද්දෙන් පස්සේ වපුරලා තිබුණා නම්, මේ වර්ෂාවෙන් ගැල වෙන්න තිබුණා. ඒත් අපට අන්තර් මෝසම ඔස්සේ පැමිණි සංවහන වර්ෂා ක‍්‍රියාවලිය ගැන පුරෝකතන කරන්න බැරිකම නිසා ඒ ගැන කල් තියා දැන ගන්න ක‍්‍රමයක් තිබුණේ නෑ. ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන මහතා ඇතුළු විද්වතුන් දැන් සංවහන වැසි ගැනත් අධ්‍යනයකර ගෙන යනවා. මේක දේශගූණ ‘විචල්‍යතාවක්’ ලෙසත් හඳුන්වන්න පුළුවන්.’
‘ඉකුත් වසර 30-40ක කාලය තුළ, ලංකාවේ වාර්ෂික වර්ෂාපතනයේ ලොකු වෙනස් වීමක් දකින්නට නෑ. ඒත් වැස්ස පවතින ‘කාලාන්තරය’ වෙනස්වී තිබෙනවා. ඒක අහිතකරයි. අනෙක ඉකුත් වසර 20-25ක කාලය තුළ, අධික තීව්රතාවයෙන් යුතුව වැසි වැටීමේ ප‍්‍රවණතාවක් ඇති වෙලා තිබෙනවා. එය දේශගුණ විපර්යාස නිසා ඇතිවූ තත්ත්වයක්. ‘එක පාරටම ගොඩාක් වහිනවා’ කියා මිනිස්සු කියන්නේ ඔය කාරණයයි. කොහොම වුණත් ‘කලට වැසි වසීවා’ කියලා බුදු බණේත් තියෙන්නේ ඔය කාරණය තමයි. වගාවන් සාර්ථක වන්නට නම් කලට වැසි වසින්නට ඕනෑ. එහෙම නො වන විට, අපි අපේ වගාවන් ඊට අනුරූපව ගලපා ගත යුතුයි. මං හිතන්නේ මුල් වැසිත් එක්ක වගා වැඩ පටන් ගන්න පුළුවන් නම්, මේකෙන් ගැලවෙන්න පුළුවන්.’ ඔහු කියන්නේ ය.
එක්වරම අධික තීව්රතාවයෙන් යුතුව වැටෙන වැස්ස, ජල බස්නාවලට පවා ඔරොත්තු දෙන්නේ නෑ. ඉතින් හදිසි ජල ගැලීම් ඇති වෙනවා. නගර යට වෙනවා. කඳු නාය යනවා. විපත් බොහොමයි. මේවා හඳුනා ගෙන ඊට ගැලපිය හැකි නම්, වැස්සෙන් වන හානි අවමකර ගත හැකි වේවි. විශේෂයෙන්ම රටේ වී වගාවට. මොකද, රටේ කුසගින්න නිවෙන්නේ එයින්. වැස්ස නවත්වන්න බෑ. ඒත් අසිරුවෙන් හෝ අපේ වී වගා කටයුතු ඊට ගලපා ගත යුතුයි.
2015/10/12.
No comments:
Post a Comment