Total Pageviews

Tuesday, October 20, 2015

ගාමිණී සහ ලංකා දේශපාලන ඉතිහාසයේ ඡායාරූප පැතිකඩක්



ගාමිණී සහ ලංකා දේශපාලන ඉතිහාසයේ පැතිකඩක්

ප‍්‍ර‍්‍රවීණ ඡායාරූප ශිල්පී ශ‍්‍රී ලාල් ගෝමස්ගේ 
                          කැමරා ඇසින්
 

 
ශ්‍රී ලාල් ගෝමස්

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
සිිංහරාජය වැනි රක්ෂිත වනාන්තරවලට ඇතුළු වන ස්ථාන අසල සවිකළ පුවරුවල මෙබඳු වැකියක් දක්නට ලැබේ.
 


‘නරඹා ආපසු යන විට පා සටහන් පමණක් ඉතිරිකර යන්න.

හිටපු ජනපති ජේ. ආර් සහ ගාමිණී
 

ඡායාරූප පමණක් රැගෙන යන්න’
 

වනාන්තරයක ඡායාරූප යනු, එහි වෙසෙන සතා-සීපාවා, භූමි දර්ශන සහ ගහ-කොලවල හෘද්‍යංගම රිද්මයේ මතකයයි. එය ජීවමාන කරන්නා, ‘ඡායාරූප ශිල්පියා’ ලෙස හැඳින්වේ.
 



මේ කාරණාව දේශපාලනයට ද අදාළ ය. දේශපාලනය යනු, ප‍්‍රීති ඝෝෂා, ඔලවරසන්, ජයග‍්‍රහණ හෝ පරාජයන්, රැවුම්-ගෙරවුම්, කැපිලි-කෙටිලි, කුමන්ත‍්‍රණ, ගුටි හුවමාරු, හිරේ ලැගීම්, චෝදනා, කෙළවරක් නැති උත්සව, උද්ඝෝෂණ, මහජන රැළි, ජනතා හඬට කන් දීම් ආදී, පුළුල් ක‍්‍රියාදාමයක එකතුවකි. එය අවිවේකයෙන් ද ගහණ ය. කොතෙක් යස ඉසුරු පැවතිය ද, බොහොමයක් දේශපාලනඥයන්ට අවසන ඉතිරි වන්නේ මතකයන් දෙකකි. ඉන් එකක් වන්නේ, තමන් කළ හොඳ හෝ නරක ඔස්සේ එන, ජනතා කැමැත්ත හෝ ජනතා කෝපයයි. අනෙක, දේශපාලනය නමැති ඉතා පුළුල් ක‍්‍රියාවලිය තුළ ඡායාරූප ශිල්පීන් විසින් ඉතිරි කළ මතක සටහන් ය! දේශපාලනය නමැති මහා ක‍්‍රියාවලිය විසින් ඒවා ‘ඉතිහාසයට අයත් පිටු’ බවට පත්කර තිබේ. රටක ඉතිහාසයේ පිටු අතරට පිවිසෙන්නට ලැබීම, යමෙකුට කලාතුරකින් ලැබෙන වාසනාවකි.
 

දිවංගත ගාමිණී දිසානායක මහතා, ඒ වාසනා මහිමය නො අඩුවම ලැබූවෙකි. කොත්මලෙන් බිහිවූ ඔහු, ජාතික දේශපාලන කරළියට පිවිසෙන්නේ 1977 දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවත් සමගිනි. එක්සත් ජාතික පක්ෂයෙන් බලයට පැමිණ රටේ ජනපති පදවියට පත් ජේ. ආර්. ජයවර්ධන මහතා, මහවැලි සංවර්ධන දැවැන්ත ව්‍යාපාරය භාර දුන්නේ ගාමිණීට ය. එකල එය අභියෝගාත්මක කාර්්‍යයක් විය. ඊට එරෙහිව මෙන්ම ගාමිණීට එරෙහිව ද දැඩි විවේචන එල්ල විණි. එහෙත් ඔහු වර්ෂ 1994 ඔක්තෝබර් 24 වැනි දා,  කොළඹ තොටළඟ කොටි බෝම්බයෙන් හදිසියේ මියයන තුරුම රටට සේවය කළේ ය. එය රටේ ඉතිහාසයෙහි පිටු අතර රැඳෙන දේශපාලන ගමනකි.
 

දැන් ගෙවී යන්නේ 2015 වර්ෂයයි. අද රටට සැපයෙන බතින් තුනෙන් එකක් පමණ නිපැයෙන්නේ මහවැලි කුඹුරුවලිනි. 2011 වසරේ සංඛ්‍යාලේඛන අනුව, වී වගා කෙරනෙ මහවැලි කුඹුරු ප‍්‍රමාණය හෙක්ටයාර් 1,75,113කි. ඉන් නිපැයෙන වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් 7, 89,321ක් පමණ වේ. මහවැලිය ගැන කොතෙකුත් විවේචන තිබෙන බව ඇත්ත ය. එහෙත් අද රටේ කුසගිනි නිවීම පිණිස ඉන් ලැබෙන දායකත්වය අමතක කිරීමට නුපුළුවන. ගාමිණී දිසානායක මහතා අද අප අතර නැත. එසේ වුව ද, ඔහු කළ මෙහෙවරෙහි ගුණ සුවඳ තවමත් රටට දැනෙයි.
 

ගාමිණී දිසානායක මහතා පිළිබඳව මේ සටහන ලියන්නේ විශේෂ කාරණයක් නිසා ය. ඔහුගේ 21 වැනි ගුණ සමරුව, ඔක්තෝබර් 24 වැනි දින කොළඹ 07, ගාමිණී දිසානායක පිළිරුව ඉදිරිපිට පවත්වන්නට කටයුතු යොදා තිබීම, ඒ කාරණයයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, ගාමිණීගේ බිරිඳ ශ‍්‍රීමා දිසානායක, පුතුන් වන නවීන් (වැවිලි කර්මාන්ත ඇමති) සහ මයන්ත (පාර්ලිමේන්තු මන්ත‍්‍රී) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වෙති. ඇත්තටම සටහනට නිමිත්ත එයමත් නොවේ! ඔහුගේ ගුණ සමරුව නිමිත්තෙන් අප හිතමිත‍්‍ර ඡායාරූප ශිල්පී ශ‍්‍රී ලාල් ගෝමස් මහතා, ‘වලස්පතිගේ අඩවියට’ එවූ පින්තූර සමූහයයි! ඉන් ගාමිණීගේ දේශපාලන ක‍්‍රියාවලිය රටේ ඉතිහාසයේ පිටු අතරට ගොස් ඇති ආකාරය අපූරුවට චිත‍්‍රණය වෙයි. එසේම ලංකාවේ දේශපාලන කතා පුවත්වල වැදගත් පැතිකඩක් ද ඉන් නිරූපනය වෙයි. අපේ ශී‍්‍ර ලාල්, ගාමිණී දිසානායක නමැති ප‍්‍රබල දේශපාලන චරිතය, බොහොම ගැඹුරු දැක්මකින් යුතුව රටේ ඉතිහාසයේ පිටු අතරට රැගෙන ගොස් තිබේ. ශ‍්‍රී ලාල් දැන් සේවය කරන්නේ, ගාමිණීගේ පුත් වැවිලිි කර්මාන්ත අමාත්‍ය, නවීන් දිසානායක මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වශයෙනි.
 

මහවැලිය බාරගත් ගාමිණීගේ මාධ්‍ය ලේකම්වරයා වූයේ ප‍්‍රකට මාධ්‍යවේදියෙකු වූ බී. එච්. හේමප‍්‍රිය මහතා ය. කලින් වාරිමාර්ග විෂය භාරව සිටි, සී. පී. ද සිල්වා සහ මෛත‍්‍රීපාල සේනානායක යන ඇමතිවරුන් යටතේ ද වැඩ කළ හේමප‍්‍රිය මහතා, ඒ සම්බන්ධයෙන් හසල දැනුමක් ලැබූවෙකි. ඔහු කොතෙක් කැපවීමෙන් වැඩ කළේ ද යත්, ගාමිණීගේ මහවැලි මාධ්‍ය ඒකකය, එකල ලංකාවේ පැවති ප‍්‍රබලම මාධ්‍ය සංචිතය බවට පත් විණි. ඇමතිවරයාගේ අනුදැනුම පරිදි, හේමප‍්‍රිය මහතාගේ මෙහෙය වීමෙන්, ලංකාවේ ඉතා ප‍්‍රබල මාධ්‍යකරුවන් සහ කලාකරුවන් රැසක් එහි සේවය කළහ. රජරට සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාරයන්ගේ සොහොයුරා වූ, ශිවපාල බණ්ඩාර හෙවත් ‘ශිව බණ්ඩාර’ (ඉසුර සඟරාවේ කර්තෘ) සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සනත් ගුණතිලක, සනෝජා බිබිලේ, ජයලත් මනෝරත්න, ප‍්‍රසන්න විතානගේ වැනි කලාකරුවන් ද, ආනන්ද ධර්මප‍්‍රිය සහ සුගත් වටගෙදර ඇතුළු මාධ්‍යවේදීන් මෙන්ම ඡායාරූප ශිල්පීන් ද රැසක් ඒ අතර වූහ. අපේ ශ‍්‍රී ලාල් ගෝමස්, 1980 වසරේ පටන් 1990 දක්වාම සේවය කළේ ගාමිණීගේ මාධ්‍ය ඒකකයේ ය. ඔහු ගාමිණී දිසානායක පවුලේ හිතවතෙකු ද වෙයි. ඒ කාලය තුළ, ලංකාවේ දේශපාලන තලයේ බොහෝ හැඩතල තම කාචයට හසුකර ගැනීමට ඔහුට හැකි විය.
 

‘වලස්පතිගේ අඩවියේ’ මේ සමග පළ කෙරෙන ඡායාරූප බහුතරයක්, ශ‍්‍රී ලාල්ගේ කැමරාවෙනි. සමහරක් ඔහුගේ වෘත්තීය සගයන්ගේ කැමරාවෙනි. අපේ උත්සාහය ගාමිණී දිසානායක නමැති දේශපාලනඥයා ගැන යම් මතක සමරුවක් ඔබ හමුවේ තැබීම ය. එහෙත් ඉන් කියැවෙන කතා පුවත්,  මතක සමරුවෙන් ඔබ්බට ගිය දේශපාලන ඉතිහාසයක් විදහා දක්වනු පෙනෙයි.
2015/10/20.


 

එංගලන්තයේ එළිසබෙත් මහ රැජින පැමිණි අවස්ථාව

දිඹුලාගල නාහිමියන් සමග


මාග්‍රට් තැචර්, ජේ. ආර් සහ ගාමිණී
ගාමිණී ජනාධිපති නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් දා ලලිත් ගෙන් උණුසුම් සුභ පැතුම් 
ගාමිණී ජනාධිපති නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් දා රනිල් (වත්මන් අගමැති) සමග-ශ්‍රීමා දිසානායක මහත්මිය ද ඡායාරූපයේ වෙයි
ආර්. ප්‍රේමදාස ජනපති සමග
ඉන්දීය සාම හමුදා කාලේ
ධර්මසිරි, බන්දුල සහ ගාමිණී
චන්ද්‍රිකා සහ ගාමිණී
භීෂණ කාලේ
ක්‍රිකට් ගැන ඇල්ම
සිය බිරිය ද සමග ගාමිණී දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවා සමග-දකුණේ පාලිත පැල්පොල මහතා
එහෙමම නෙවෙයි ගාමිණී!
ජේ. ආර්., ජේ. එන්. ඩික්සිත් (මැද) සහ ගාමිණී
කොත්මලේ දියවර නිකුත් කළ දා-ජේ. ආර්, රොනී සහ ගාමිණී (ශ්‍රී ලාල් ගෝමස් ද කැමරාව අතේ තබා ගෙන පින්තූරයේ සිටියි)
ශ්‍රී ලාල් ගාමිණී සමග
 

No comments:

Post a Comment